Pages

Wednesday, 15 June 2016

සරුංගලේ........



මං පුංචි සංදියෙ අපේ තාත්තා මට සරුංගලයක් අරගෙන දෙන්න පොරොන්දු වුණා. එදා ඉදන් මම හීනෙන් පවා දැක්කෙ එක එක ජාතියෙ සරැංගල්. දවසක් මම පොතක් පිරෙනකන් සරුංගල් වල පිංතූර ඇන්ඳා. ඒත් තාත්තගෙ පොරොන්දුව දිනෙන් දිනම කල්ගියා. එය ඉටුවන පාටක් නොපෙනුණාම සරුංගල් සිහිනය මගේ හිතෙනුත් ටික ටික වියැකී යන්නට පටන් ගත්තා. 

ඔහොම ඉන්නකොට දවසක් හැන්දෑවෙ තාත්තා ගෙදර ආවේ මගේ සිහිනයත් ඔසවාගෙන. ඒක හරිම ලස්සන සරුංගලයක්. හරිම ලස්සන පාට සව් කොළ අලවලා ලස්සනම ලස්සන දිඟ රැළි දාලා තිබුණු එය මොණරෙක් වගේ ආඩම්බරයෙන් දිලිසුණා. 

මගේ ඇස් කඳුළින් පිරුණා. සතුටට. මම තාත්තව ඉඹගෙන ඉඹගෙන ගියා රටක් ලෝකයක් දිනුව වගේ. තාත්තා සරුංගලය මගෙ අතට දුන්නා. මම ඒක අතට ගත්තෙ හාමුදුරුවො තමන්ගෙ අතට දෙන ධාතු කරඬුව ඉතාම භක්තියෙන් අතට ගන්නා සැඳැහැවත් දායකයෙක් වගේ. හැබැයි තාත්තා සරුංගලය මගෙ අතට දෙන ගමන් එක දෙයක් කිව්වා. 

" සුද්දා( මම කලු උණත් තාත්තා මට කිව්වෙ සුද්දා කියල) මේක අද ලැබුණට කමක් නෑ මම හොඳ හයිය නූල් බෝලයක් හෙට ගෙනත් දෙනකන් උඩ යවන්න එපා. ඊටත් අද සුළඟත් සැරම සැරයි. ලොකු වැස්සකුත් එනවා. ඒ නිසා අද හවස නම් කොහොමවත් මේක එළියට ගන්න එපා" කියලා. 

මම හා කියලා ඔළුව හෙලෙව්වත් මට තිබුණෙ පුදුම කලබලයක්. මම සරුංගලය අතට ගත්තා විතරයි තාත්තාගෙ අවවාද එහෙමම අමතක වෙලා ගියා. සරුංගලය මගේ ඇස් වටා එලපු මායා දැලෙන් මට සුළඟෙ අධික සැර බවත් වැස්සක් එන බවත් නොපෙනී ගියා. 

තාත්තා එහෙම කියලා නාගන්න ගියා. මට ඉවසන්නම බෑ. පුදුම කලබලයක්. මම හිමිහිට මගෙ ළඟ තිබුණු වැඩිය ශක්තිමත් නැති පුංචි නූල් බෝලයත් අරගෙන ගෙදරින් පැනගත්තෙ අම්මටත් හොරෙන්. පළාතම කළු කරල තිබුණෙ. සුළං හැමුවෙ ගස් කොළං අඹරවාගෙන. ඒත් මට ඒ කිසි දෙයක් පෙනුණෙ නෑ. මම සරුංගලයත් අරගෙන පාර දිගේ දුවං ගියා. හුළඟට අහුවෙලා සරුංගලය උඩට නැංඟෙ හීයක වේගෙන්. සව් කොළ රැළි නැගෙන සද්දයට වැස්සෙ සද්දය හා සුළඟෙ සද්දය මට ඇහුණෙ නෑ. මට අහන්න උවමනාවක් තිබුණෙත් නෑ. මම ලෝකයම දිනුවා වගේ මගෙ ළඟ තිබුණ පුංචි නූල් බෝලය දිග හැර හැර සරුංගලයට තව තව ඈතට යන්න ඉඩ හැරියා. 

ඒත් එහෙම සතුටින් විනෝදයෙන් මට ඉන්න ලැබුණෙ පුංචි වෙලාවයි. හදිසියේම ඇදිල ආපු සැරම සැර සුළං පහරකින් මගේ පුංචි නූල කැඩිල ගිහින් සරුංගලය එක්ක තිබුණ මගේ සම්බන්ධය නැති කරල දැම්මා. මාව සිහින ලෝකයෙන් පියවි ලෝකයට වැටුණෙ එතකොට. සුළඟට අහුවුණු මගේ ලෝකය මගෙන් මිඳිල ඈතට ඇදිල යනවා බලාගෙන හිටපු මගේ දණහිස් පණ නැතිවෙලා පාරෙම මාව ඉන්ඳවුනා. 

කඳුළු පිරුණු දෑසින් මම දැක්කෙ පාරවල් දෙකකට එහායින් පිහිටි ගෙදරක වැටේ වවල තිබුණු උස ගසක මගේ සරුංගලය පැටලෙනවා. එතකොටම ඒ ගෙදර හිටපු මට වඩා ශක්තිමත් ළමයි දෙන්නෙක් එතනට දුවල කෙක්කක් දාලා මගේ සරුංගලය බිමට බාගන්නවා. එදා තමයි මට මුල් වරට දැණුනෙ තමන් පණ වගේ ආදරය කරන දෙයක් ඇස් පනාපිටම තමන්ට අහිමි වෙද්දී දැණෙන වේදනාව කොයි වගේද කියලා. මම පුළුවන් තරම් හයියෙන් කෑ ගැහුවා. 

" අනේ ඔය සරුංගලය මගේ. ඒක ගන්න එපා" ඒත් ඒ ආයාචනය කාටවත් ඇහුණෙ නෑ. සුළඟයි , වැස්සයි මගේ හඬ යටපත් කළා. මගෙ දෑසින් ගලා ගිය කඳුළු වැහි වතුරත් එක්ක එකතු වෙලා කම්මුල් දිගෙ ගලා ගියා. මම වැස්සෙ තෙතබරිවෙවී කඳුළු ඉවර වෙනකන් ඇඬුවා. හදවතේ ඇවිලුණු ගින්දර නිවන්න ඒ මහා වැස්සටත් බැරිවුණා. මම වැස්සෙ තෙමි තෙමී හිස් අතින් ගෙදර එනකොට තාත්තා හිටියෙ දොර ළඟ. තාත්තා මේ වෙච්චි හැමදේම බලාගෙන ඉඳල තියෙන බව මට තේරුණා. මගෙ හිතට පුදුම බයක් ආවෙ. දුකයි, බයයි , වැස්සෙ තෙමිලයි මාව වෙව්ලන්න පටන් ගත්තා. ඒත් තාත්තා මොකුත් කිව්වෙ නෑ. බැන්නෙත් නෑ. කිව්වෙ මෙච්චරයි. 

" සුද්දා ගෙට ගිහින් හොඳට ඔළුව පිහද ගන්න. අන්න අම්මා කෝපි එකක් හැඳුවා. අලුත් ඇඳුමක් දාගෙන ඒක බොන්න" 

එදා දවසට තාත්තා මට වෙන මොනවත් කිව්වෙ නෑ. මම කෑමත් නොකා නිදා ගත්තා. එදා රෑ තිස්සෙම මම හීනෙන් බය වුණා. මගෙ සරුංගලය ගත්තු කොල්ලො රාක්ෂයො වගේ ඇවිත් මාව බය කළා. මම රෑ තිස්සෙම කල්පනා කළා. කලබල වෙලා මම වරද්දගත්ත තැන මට සිහිවුණා. මම ආයිත් එහෙම කලබල වෙන්නෙ නෑ කියල හිතා ගත්තා. 

පහුවදා මම මේ සිද්ධිය අමතක කරන්න උත්සහ ගත්තත් දියේ ඔබාගෙන ඉන්න රබර් බෝලයක් දිය මතුපිටට එන්න දඟලනවා වගේ ඒකමයි මතක් වුණේ. 

මම එදා ගෙදර යනකොට තාත්තා ඒ වගේම සරුංගලයකුයි ශක්තිමත් නූල් බෝලයකුයි මට ගෙනත් තිබුණා. මගෙ හිතේ එහෙම පුංචි බලාපොරොත්තුවක් තිබුණත් තාත්තගෙ කීමට පිටින් මම වැඩ කළ නිසා ආයිත්නම් තාත්තා මට සරුංගලයක් ගෙනත් නොදෙයි කියලත් ඒගමන්ම හිතිලයි තිබුණෙ. මගේ දෑස් සතුටින් දැල්වුණා. 

එදා සුළි සුළගත් නැවතිලා පුංචි සියුමැලි සුළං කැරැල්ලක් හමමිනුයි තිබුණෙ. ඒත් මට සරුංගලය උඩ අරින්න බය හිතුණා. ආයෙත් මට ඒක නැතිවෙයි කියලා. ඒක නිසා එදා මම ඒක තුරුළු කරගෙන නිදා ගත්තා. 

තාත්තා මට එහෙම ඉන්න ඉඩ දුන්නා. මොකවත් කිව්වෙ නෑ. ඊට පස්සෙ අපි කෑම කාලා ඉවර උණාම මාව ළඟට අඩගහල මෙහෙම කිව්වා. 

" සුද්දා ඊයෙ ඔයාට ඒ සරුංගලය නැතිවුණේ ඔයාගෙ කලබලය නිසා. අපි දෙයක් කරන්න ඉස්සර දැනගන්න ඕනෙ ඒක හරියට කරන්න අවශ්ය සුදුසුම කළමනා සහ ආම්පන්න අපි ළඟ තියෙනවද කියලා. ඊයෙ ඔයාට ඒ සරුංගලය උඩ අරින්න තරම් ශක්තිමත් නූලක් තිබුණෙ නෑ. අනික තමයි ඒ වෙලාව සරුංගලය උඩ අරින්න සුදුසු වෙලාව හෝ වාතාවරණය නෙමෙයි. ඒකයි ඔයාට සරුංගලය නැතිවුණේ. ඒ සුදුසු වෙලාව ඔයාට දවසක එනවා. කලබල නොවී ඒ වෙලාව එනකන් ඔයා ඉවසන්න පුරුදු වෙන්න ඕනෙ. තේරුණානෙ. "

මම " ඔව් තාත්තෙ" කිව්වා. 

එතකොට තාත්තා ආදරයෙන් මගෙ ඔළුව අත ගාලා" හොඳ පුතා. ඉතිං අද ඔයාට සරුංගලය උඩ අරින්න සුදුසුම ආම්පන්න සහ ගැලපෙනම වාතාවරණය තිබිලත් ඔයා ඒක උඩ ඇරියෙ නෑ. සරුංගල තියෙන්නෙ උඩ අරින්න පුතා. ඒක තමයි සරුංගලේ ඉරණම. ඒ වගේම ඒක ලස්සනත් උඩ යනකොට. අපි විනෝද වෙන්නෙත් උඩ යනවා බලලා. ඒකෙන් අපට හිතට ගන්න පුළුවනි මහා විශාල දෙයක් පුතා. ඒක තමයි ඔයා අසීමිතව යම් දෙයකට ආදරය කරනවනම් ඒ ආදරය කරන දෙයට නිදහසේ සැරිසරන්න ඉඩ දෙන්න. බදාගෙන තුරුළු කරගන්නවට වඩා එතකොට ඇතිවන සුන්දරත්වය වැඩියි. මේ සරුංගලේ වගේ. ඒ වගෙම සැබෑ ආදරය කියන්නෙත් එක්තරා විදිහක අතහැරීමක්. පුතා ඒක හිතට ගත්තනම් මට ඒ ඇති"

මම පහුවෙනිද යාළුවෙක් එක්ක ගිහින් සරුංගලය උඩ ඇරියා. ළඟ තුරුළු කරගෙන හිටියට වඩා සතුටක් මම ලැබුවා මඳ සුළඟෙ පාවි පාවි යන සරුංගලය දිහා බලලා. පුදුම සුන්දරත්වයක් ඒකෙ තිබුණෙ. මගෙ යාළුවටත් මම තාත්තා මට කියපු දේවල් කිව්වා. 

මගෙ යාළුව ටිකක් කලාකාමී දර්ශනවාදියා. මිනිහ ගත් කටටම කියාපි " උඔ සරුංගලයට ආදරය නිසා නිදහසේ හැසිරෙන්න ඉඩ දෙනව කිව්වට නුලකින් ගැටගහල අල්ලගෙනනෙ ඉන්නෙ "කියල. 

මම එතකොට ඌට කිව්ව මෙහෙම. " ඒ පුංචි නූල කාටවත් පේන්නෙ නෑ මචං. සරුංගලේ තියෙන්නෙ අහසෙ. මම ඉන්නෙ පොළොවෙ. අපි ආදරය කරන දෙයට හදවතේ ඇති බැඳීම ඒ නූල වගේ. හදවතේ විතරයි. කාටවත් පේන්නෙ නෑ. අඩුම තරමෙ සරුංගලයටවත්....යාළුවා මගෙ දිහා උපේක්ෂාවෙන් බැළුවා. 

චන්දන ගුණසේකර

6 comments:

  1. මේක හරිම ලස්සන වටින කතාවක්. මේ ළඟදි සයිබර් යායේ බුද්ධි ත් ලියලා තිබුණා බැලුම් බෝලයක් ගැන මේ වගේ කතාවක්. ගොඩක් ස්තූතියි මේ ලිපියට.

    ReplyDelete
  2. පුංචි ළමයින්ට කෝප් බොන්න දෙනවාද

    ReplyDelete
  3. ලොකු කථාවක් පොඩි සිදුවීමකින් කියල,අපුරුයි...

    ReplyDelete
  4. ලබන සතියේ දාන්න හිතං ඉන්න පොස්ට් එක මේ ගගින්ම යනවා

    ReplyDelete
  5. අයිසිං ටික ලස්සනයි රසයි.. කේක් එකත් ඊටම නොදෙවෙනි රසයි.
    ජයවේවා..!!

    ReplyDelete
  6. දෙන්න ඕන ලොකු ජීවිත ආදර්ෂයක් පුන්චි කතාවකින් කියලා . .හරිම අපූරුයි.

    ReplyDelete