Pages

Friday, 8 April 2016

පරිත්‍යාගය - පළමු කොටස



ඉර බැහැල ගිහින් වැඩි වෙලාවක් ගත නොවුණත් පළාතම මූසල අඳුරකින් වැහිලයි තිබුණෙ. අහසෙ දම්පාට කපා ගෙන පැතිරිලා තිබුණු ඝන කළු වැහි වලාකුළු එළිය කරමින් විඳුළි කොටන කොට, එයින් දර්ශනය වන සොහොන් කොත් වලින් වෙනදා නොදැකපු මහා බියකරු බවක් පෙනෙන්න ගත්තා. මොනවද මම මේ හිතන්නෙ ,හැමදාමත් ඔය සොහොන් කොත් දකිනවනෙ කියල හිත හදා ගන්න හැදුවත් හිතේ මොකක්දෝ විස්තර කළ නොහැකි හැගීමක් තෙරපෙන බව නම් මට තේරුණා. 

හැන්දෑවෙ , ආණ්ඩුවෙ වියදමින් මිහිඳන් කළ , රෝහලේ දී මැරුණු ඒ කාත්කවුරුවත් නැති වයසක ගැහැනියගෙ මිනී වල කපලා, මිනියත් වැලලුවේ මම. ඒ මම හාරපු පළමු වළ නොවේ. වසර විස්සකටත් වඩා මගෙ මේ සොහොන් දිවියෙ මේ අත් දෙකින් වළවල් කීයක් නම් කපල ඇද්ද? කීයක් මිනී වළලලා ඇද්ද? ඒ අතර කාත් කවුරුවත් නැති අය නම් කොච්චරද? එක අතකින් බැලුවම මමත් ඒ අයවගේම කාත් කවුරුවත් නැතිව තනි වෙලා නේද කියලත් මට හිතෙනවා. තනිවම මේ ලෝකයට බිහිවූ අප දිනයක යන්නෙ නම් තනිවම තමයි. ඒත් තනිවම ජීවත්වීමනම් මැරි මැරී ඉපදීමක්. 

මිනී වළලන එකනම් මට දැන් මහ අරුමයක් නෙමේ. ඒක මගෙ ජීවිතයෙම අංගයක් වෙලා. පුංචි සංදියෙ මළ ගෙයක් ළඟින් යද්දි , බයවෙලා අපේ අම්මගෙ ඇඟේ එල්ලුණේ මේ මමද කියල මටම පුදුම හිතුණෙ වරක් දෙවරක් නෙමේ. ඒත් අදනම් මොකක්ද මගෙ හිතට වෙලා. මෙච්චර හිත නොසන්සුන්වූ දවසක් හිතා ගන්නවත් බෑ. මේ පාළු කුටියේ තට්ට තනියමේ ඉන්න මට හැමදාම තනියට ළඟ උන්නේ මේ මළවුන් නිඳන සොහොන් කොත් විතරයි. 

අදනම් හිතට හරිම නෑ. මහන්සි වෙලා හවස නා ගත්තට පස්සෙ ඇඟටත් දැනුණෙ සනීපයක් නෙමේ අමුතුම සීතලක්. වැහි කෝඩෙත් එක්ක ගස් වැල් අඹරගෙන හමා ආපු හුළං පාරත් ඒ සීතල තවත් වැඩි කළා. 

සිගරට් එකක් පත්තු කරගත්තෙ හිත පොඩ්ඩක් උණුසුම් කරගන්න. ෆිල්ටරය තුළින් ඇදිල ආපු ටුබැකෝ රසින් පිරි උණුසුම් දුමාරය පෙනහලු දෙක ආදරයෙන් වැළඳ ගත්තා. එතකොටම තමයි හීනියට පොඳ එක දෙක වැටෙමින් පැවතුණු වැස්ස මහා වරුසාවක් බවට පත් වුණේ. දොඹ ගෙඩි වගේ වැහි පොඳ මගේ කුඩා කුටියෙ ටකරං වහලට බැට දුන්නෙ කිසිම හිතක් පපුවක් නැති විදිහට. ඒ වැස්සෙ ඝෝෂාවට නම් මම හැමදාම ආස කළා. 

ඇගේ පතේ මහන්සියයි කාන්සි ගතියයි යන්නත් එක්ක ඇඳ යට තිබුණු ගල් භාගයෙන් කට කපල එකක් අශෝක වීදුරුවට හලා ගත්තෙ පුරුද්දට වගේ. වීදුරුවෙන් , උඟුර හීනියට පුච්චගෙන ආමාශ ගතවුණු ඇල්කොහොල් ,හිතටයි ගතටයි අමුතු ප්රබෝධයක් ගෙනාවේ ක්ෂණිකවම. 

හැන්දෑවෙ ගල් බාගෙ ගන්න පද්මෙ අයියගෙ බාර් එකට ගිය වෙලාවෙ ජේන් අක්කගෙ ටේස් කඩල කරත්තයෙන් ගත්තු කඩල බයිට් එකෙන් ඇට දෙක තුනක් කටට වීසි කරන කොටම වගේ තමයි පළාතම එළිය කරගෙන මහා හෙණ හඬක් නගමින් අකුණක් පුපුරල ගියේ. මුළු සොහොනම ගිනි දවල් වගේ එළිය වුණා. ඉරවල් හතක් පායල වගේ. 

එතකොටම වගේ මම දුටු දසුනින් ඇඟ සීතල වෙලා ගියා. මේ අවේලාවෙ ඊටත් වඩා නාකපන වැස්සෙ මෙහෙම දෙයක් මම බලාපොරොත්තු වුණේම නෑ. අරක්කු වඩියෙ සැර කොහෙන් ගියාද දන්නෙ නෑ. ටෝච් එකත් අරගෙන මාව නැඟිට්ටුනේ යන්ත්රානුසාරයෙන් වගේ. අතේ තිබුණු සිගරට්ටුව උඩටම ඇදලා පපුව පුරෝගෙන දොරෙන් එළියට මම කෑලි පහේ ටෝච් එක ගැහුවා. ඊයෙ දමාපු අළුත් බැටරි නිසා අකුණෙ එළිය වගේම ටෝච් එළියත් අඳුර කපාගෙන ඉදිරියටම ඇදුණෙ අස්ප වේගෙන්. 

එවෙලෙම තවත් අකුණක් පුපුරල ගියේ මගෙ කණ ළඟින්ම වගේ. ඒක නම් මේ ළඟටම වැදුණු බව මට තේරුණා. ඒ එළියෙන් මම හවස මිනිය වළදාපු තැන වාඩි වෙලා වැස්සෙ තෙමි තෙමි ඔළුව නමාගෙන ඉන්න ගැහැනියකගේ හෝ පිරිමියෙකුගේ ඡායාවක් පැහැදිලිවම දෘශ්යමාන වුණා. 

මට කරන්න දෙයක් තිබුණෙ නෑ. වෙන දෙයක් වෙද්දෙන් කියලා තවත් අශෝක වීදුරුවෙන් එකක් උඟුරට හලාගෙන එක අතකින් ටෝච් එකයි අනික් අතින් අලවංගුවයි අරගෙන එළියට බැස්සා. 

" ඒයි ඔතන කවුද ඔය?" කියල මම මහ හයියෙන් කෑ ගැහුවෙ හිත දැඩි කරගෙන. 

වැස්සෙ සද්දෙ නිසා මගෙ හඬ අඩි කිහිපයක් ඈතටවත් ඇහුණද දන්නෙ නෑ. ඒත් ටෝච් එකේ එළියටද කොහෙද මිනී වළ ළඟ දන ඔබාගෙන උන්නු අමුත්තා එක පාරටම ඔළුව උස්සලා මගෙ දිහා බැලුවා. 

මතු සම්බන්ධයි. 

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

13 comments:

  1. හප්පට සිරි....හොල්ම්න් කතාවක් ද ? මට හිතුනේ "යාමය" කියවනවා කියලා..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මචං!

      Delete
    2. පොඩි උත්සහයක්. උඹලගෙ කොමෙන්ටු බොහොම වටිනවා. ජය!

      Delete
  2. හොඳටම මදි, ටිකක් දිගට කොටසක් ලියමුකො.


    අනික් කොටස එනතුරු

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලේ උඹට!

      Delete
  3. නියම කථාවක්, ඉතුරු ටිකත් ඉක්මණින් ලියන්න..

    ReplyDelete
    Replies
    1. ඉක්මනින් ලියන්නම්. ගොඩක් ස්තූතියි!

      Delete
  4. කුතුහලය ඇවිස්සෙන කතාවක්.. ඉක්මනටම දෙවනි කොටස දෙන්ඩෝ....
    //ෆිල්ටරය තුළින් ඇදිල ආපු /ටුබැකෝ/ රසින් පිරි උණුසුම් දුමාරය පෙනහලු දෙක ආදරයෙන් වැළඳ ගත්තා//
    මෙතන ටුබැකෝ වෙනුවට දුංකල වගේ වචනයක් තිබුන නම් ගල්,කඩල බයිට් වලට සෙට් වෙයි නේද?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රස වින්ඳට! ෆිල්ටරය සමඟ දුම්කොළ වලට වඩා ටුබැකෝ යයි කියල හිතුණා. විවේචනය ඉතාම ඉහලින් අගයනවා.

      Delete
  5. අලුත් කතාවක් පටන් ගත්තු එක හොඳයි. ඊළඟ කොටස?

    ReplyDelete
  6. ඉක්මණින් ලියන්න..කම්මැලි නැතුව කියවන්න පුලුවන් මේක...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චතූ! ඉක්මනින් ලියන්නම්

      Delete