Pages

Thursday, 5 May 2016

ලංකාවේ සිනමාව පිළිබඳ මහා දුකකින් මෙසේ ලියා තබමි.....


ඊයේ ලසන්තද සිල්වා නම් සහෘදයා ලියා තිබූ අපූරු ලිපියෙන් ලංකාවේ සිංහල සිනමාවේ වත්මන් තත්වය ගැන ඇති වූ විස්සෝපයෙන් මෙම සටහන ලියන්නට සිත්වුණි. හය හතර තේරුම් ගන්නටත් පෙර සිටම චිත්ර කතාවට සහ සිනමාවට අසීමිත ලෙස පෙම් බැන්ඳෙකු ලෙස මට ඇතිවයේ දුකකි. කණගාටුවකි. අපේක්ෂා භංගත්වයකි. 

කුඩා කල අනුරාධපුරයේ මහජන පොළ අසබඩ පිහිටි කාටු විජේන්ද්රා( අනුරාධපුර නගරයේ විජේන්ද්රා නමින් සිනමා හල් දෙකක්ම විය. දෙකම ටකරං වහලින් හා ටකරං බිත්ති වලින් යුක්ත වූ අතර ශාලාව මැඳින් වූ ලී කණු පේලියකින් වහලට මුක්කු ගසා තිබිණි. අනුරාධපුර පොළ අසල වූ විජේන්ද්රාව " කාටු විජේන්ද්රා වූ අතර අනුරාධපුර මාර්කට් ටවුමේ වූ විජේන්ද්රාව " නිව් විජේන්ද්රා " විය. ) සිනමා හල ඉදිරිපිට කුණු ගොඩින් අහුලා ගත් ඔවුන් වීසි කළ සිනමා පට කැබැල්ලක් ගෙදර ගෙනගොස් කුඩා පෙට්ටියක ඉදිරියෙන් සවි කොට ඊට පිටුපසින් ටෝච් බල්බයක් දල්වා, අඳුරු කළ කාමරයක බිත්තියට අල්ලා විශාල වී පෙනෙන සිනමා රූප රාමුව බලා අහිංසක විනෝදයක් ලැබූ අයුරු අද මා සිහිකරන්නේ කඳුළු පිරි දෙනෙතිනි. අප එකල චිත්ර කතා බලා ඒවා අනුකරණය කරමින් අපේම චිත්ර කතා ඇඳ , නිර්මාණය කර ලැබුවේද මෙවැනිම විනෝදයකි. මෙම සටහනේ අරමුණ සිනමාව ගැන කතා කිරීම නිසා චිත්ර කතා පිළිබඳව වෙනම ලියමි. 

එකල අනුරාධපුරයේ සිනමා ශාලා තුනක් තිබිණි. මා ඉහත කී විජේන්ද්රා යුගලයට අමතරව අනුරාධපුර පොලීසිය අසල සිත්තම්පලම් නමින් අනඟි සිනමාහලක් විය. ඒ කාලයේ හැටියට එය කොළඹ රීගල් සිනමා හල මෙන්ම පහසුකමින් යුක්ත වූ බව මම විශ්වාස කරමි. බැල්කනියට අමතරව පළමු පංතිය පසුපස , තම තමන්ගේ පවුලට වෙනමම සිනමා ආස්වාදය ලැබීමට තැනූ " බොක්ස්" දහයක් පමණ ද තිබිණි. වර්තමානයේ පෙම්වතුන්ට පමණක් සීමා වූ ඔවුනගේ පෙම් රජදහන් වූ මේ බොක්ස් තුළ එකල නම් පවුල් පිටින් තම දුවා දරුවන්ද සමඟ සිනමා පට නැරඹූ බව මට මතකය. 

මේ සිනමාහල් තුනම අයිති වූයේ දමිළ ජාතිකයන්ටය. ඒත් වැඩිපුර දිව්වේ සිංහල චිත්රපටය. ඒ අතර බටහිර හා හින්දි චිත්රපටද විය. අපගේ සිනමාවේ ස්වර්ණමය යුගය වූ එකල හැම මාසයකම වාගේ වාණිජ හා කලාත්මක සිනමාපට පෝලිමේ අප අතරට ආහ. වාණිජ චිත්රපට වුවත් ඒවායේ තිබුණේ මහා ගුණාත්මකබවකි. මිනිසුන් පවුල් පිටින් ගොස් චිත්රපට නැරඹූහ. ඒවා ගැන කතා කළහ. 

අප මේ රසාස්වාදය ලැබුවේ අති සුඛෝපභෝගී වාතාවරණයක නොවේ. සිත්තම්පලම් ශාලාවේ පහසුකම් තිබුණත් එකල ශාලා ඇතුළේ මිනිසුන් දුම් පානය කළහ. බොන මිනිහා බිව්වේ එක වර්ගය දුමක් වුවත් දුම් නොබිව් අපි බ්රිස්ටල්, නැවිකට්,ගෝල්ඩ්ලීෆ් හා ත්රීරෝසස් යන සිගරට් දුම්වල සම්මිශ්රණයම පානය කළෙමු. කොණ්ඩයේ සිගරට් ගඳ කාවැදුනි. එහෙත් අපි මැසිවිලි නොකීවෙමු. චිත්රපටයේ රසම වින්ඳෙමු. ශාලාවේ සමහර පුටු මකුණන්ගේ රාජධානි විය . ලේ දන් දිදී වුවද චිත්රපටයේ රසම වින්ඳෙමු. කාටු විජේන්ද්රා හී මැද කණු අතරින් සිනමාපටය නැරඹුවෙමු. 10:30 හා 2:30 දර්ශන වලදී ටකරං රත්වී ශාලාව එකම පෝරණුවක් වුවත් අප සිනමාපටය රස වින්ඳෙමු. ටකරං අතරින් පෙරී ආ දැඩි හිරු කිරණ පරයා අප වින්ඳේ සිනමාපටයයි. ධර්මසේන පතිරාජ ,එච් ඩී ප්රෙමරත්න ,වසන්ත ඔබේසේකර ,ධර්මසිරි බංඩාරනායක ,තිස්ස අබේසේකර , ලෙස්ටර් ජේම්ස්, ඩී බී නිහාල්සිංහ, සේන සමරසිංහ හා යසපාලිත යන අධ්යක්ෂක මහතුන් අපව නැලැවූහ. හැඬවූහ. විස්මයට පත් කළහ. සිතන්නට යමක් ඉතිරි කළහ. අපගේ කළා රසය ඔප් නැංවූහ. ගාමිණී, විජය, ජෝ, රවීන්ද්ර, කලං, සනත් ඇතුළු මෙකී නොකී ප්රතිභාසපිරි නළුවන්ද මාලනී, ශ්රියානි,නීටා, ගීතා, ස්වර්ණා, අනෝජා, වීණා ඇතුළු නිලියන්ද අපව අමන්දානන්දයට පත් කළහ. එමෙන්ම පසුබිම් ගායක ගායිකාවන් වූ ජෝති, බෙග් , මිල්ටන් පොරේරා, මිල්ටන් මල්ලවආරච්චි, අමරදේවයන් , ලතා , ඇන්ජලීන් ,රුක්මණීදේවී හා සංගීත අධ්යක්ෂකවරුන් වූ පී එල් ඒ සෝමපාල, ක්ලැරන්ස්, සරත් දසනායක, ප්රේමසිරි කේමදාස, රෝහණ වීරසිංහ අපගේ ලෝකය ගීතවත් කළහ. 

මෙසේ ජය කෙහෙලි නැංවූ සිංහල සිනමාවට වූයේ කුමක්ද? ඊයේ මා කියැවූ ලසන්ත ද සිල්වා සහෘදයාගේ ලිපියට අනුව මෑතක දී පිට වූ ඉතාමත් විචිත්ර චිත්රපටයක් වූ ජයන්ත චන්ද්රසිරි මහතාගේ සමනල සංධ්වනිය චිත්රපටය නැරඹීමට ඔහු ගිය දිනක පැමිණ ඇත්තේ 15 දෙනෙකුටත් වඩා අඩු ප්රේක්ෂක සංඛ්යාවකි. එදා රැස් කකා පොර කකා චිත්රපට නැරඹූ රසිකයින් සිනමා ශාලාවෙන් ඈත් කළේ කවුරුන්ද? ගැටලුවකි. 

වේදිකා නාට්යවල තත්වයද මීට දෙවැනි නැත. වසර 20 කට පමණ පෙර ලංකාවේ සිටියදී මහා ජන ගඟක සිර වී නාට්ය බලා පළපුරුද්දක් තිබූ මම , පසුගිය වසරේ ලක්බිමට ගියවිට නාට්ය ඇරඹීමට පැයක් පමණ කලින් නාට්ය ශාලාවට ගියේ ජන ගඟේ තදබඳයෙන් මිදී නාට්ය ශාලාවට ඇතුළුවීමටයි. විශ්වාස කරන්න ,එදා ශාලාවටම සිටියේ මා ඇතුළු 25 ක් පමණ ප්රේක්ෂක පිරිසකි. ඔවුන්ගෙන් 15 ක් පමණ රණවිරු සෙවණින් පැමිණි ආබාධිත සෙබළුන් වූහ. ඔවුන් නොඑන්නට නාට්ය සජීවිව පස් දෙනෙකුට පෙන්විය හැකිව තිබිණි. කෙතරම් නම් විශාල කලාවේ පරිහානියක්ද? ඛේදවාචකයක්ද?

රටේ ඇති වූ සිවිල් යුද්ධය, ජාතිවාදී කළ කෝලහල, ත්රස්තවාදී උවදුර මෙයට මද වශයෙන් වග කිව යුතුය. ජනතාවට සිනමාවක් රස විඳිනවාට වඩා දිවිය රැක ගැනීමේ අරගලයක නිරතවන්නට සිදුවිය. ඊනියා ජාතිආලය අපට සිනමාහල්, ශබ්දාගාර හා රසායනාගාර රාශියක් අහිමි කළේය. වැඩ නිම වූ සිනමාපට කොපියකුදු ඉතිරි නොකොට විනාශ විය. 

අසූව දශකයේ මුල් භාගයේ ඇරඹුණු රූපවාහිනිය ප්රේක්ෂකයා සිනමාහළින් දුරස්කළද එයට සම්පූර්ණ වරද පැටවිය නොහැක. මන්ද සාර්ථක සිනමා කර්මාන්තයක් ඇති බටහිර රටවල්, ඇමෙරිකාව හා ඉංදියාව වැනි රටවල රූපවාහිනිය තිබුණද සිනමාව කඩා වැටුණේ නැත. එමෙන්ම සමහරු දැන් දැන් ගෙන්වන හින්දි චිත්රපට මෙයට හේතුව බව කියති. එහෙත් හැත්තෑව දශකයේ අගභාගයේදී කොළඹ වසරක් පුරා දිවූ අභිමාන් හෝ ගීත් වැනි සිනමා පට නිසා අපේ සිනමපට බිඳ නොවැටුණි. සරුංගලේ නරඹන්න සෙනඟ අඩු වූයේ නැත. බඹරු ඇවිත් නරඹන්න සෙනඟ අඩු වූයේ නැත. 

එසේනම් අපට වූයේ කුමක්ද? හැත්තෑ හතේ අපට ලැබුණු විවෘත ආර්ථිකය චිත්රකතාවේ හා සිනමාවේ කඩා වැටීමට හේතු වුණිද? කොදෙව් මානසිකත්වයෙන් මිඳී රටක් ලෝකයට විවෘත වීමට හා ලෝකය සමඟ වෙළඳ සබඳතා හා ගනුදෙනුවලට ආර්ථිකය විවෘත වීම වැදගත්ය. එහෙත් ඉන් ලබාගත යුතු ඵලදායී ආයෝජන වෙනුවට අප ගත්තේ කුමක්ද? රටට අනවශ්ය හැමදේම කිසිදු වගකීමක්, කිරා මැන බැලීමක් හෝ සීමාවක් නැතිව අප ලබා ගත්හ. අපගේ ස්වයංපෝෂිත ජීවන රටාව වෙනුවට බල්ලො මරා හෝ සල්ලි සොයන සංසකෘතියක් බිහිවිය. පාතාලේ සොල්දාදුවන් කිරුළු පැළැන්දුහ. අපගේ ආචාර ධර්ම, හොඳ නරක මිනිසුන්ට අමතක විය. මිනිසාට මිනිසෙකු ගරු කිරීම රටින් තුරන් විය. කොටින්ම අපගේ මුළු අධ්යාත්මයම කාබාසිනියා විය. සුන්නදූලි විය. අමන දේශපාලුවන් මේ හැම දේම නැතිකර දැමූහ. අපෙන් උදුරා ගත්හ. 

සල්ලී පමණක් තැකූ පිරිස් සංස්කෘතිය හා සභ්යත්වය බල්ලට දැමූහ. කලාත්මකව මෙතෙක් කල් රස විඳි නිරුවත හා ලිංගිකත්වය අමු අමුවේම කෙලෙසූහ. කුණුහරුප චිත්රකතා නිපදවා චිත්රකතා කර්මාන්තය නැතිබංගස්ථාන කළහ. එදා හංසවිලක්,කරුමක්කාරයෝ,මලට නොඑන බඹරු හා තුන්වැනියාමය වැනි සිනමාපට වලින් කතා කළ නිරුවත හා ලිංගිකත්වය අමු අමුවේම ඇගේ වෛරය, කාමසූත්ර වැනි උන්මත්තක චිත්රපට හරහා විනාශ කර දැමූහ. කෙලෙසූහ. චිත්රපටයක් හෝ ටෙලි නාට්යක් පෙන්වා ගැනීමට අදාළ ඇමතියාට පිරිමියෙකු නම් මුඳල් ද ගැහැනියක නම් තම ඇඟද පුද දෙන්නට සිදුවිය. 

තත්වය මෙසේ වෙද්දී අධ්යක්ෂකවරු සිනමාපට හැදීම නැවැත්වූහ. රචකයෝ හොඳ සිංදු නොලිව්වෝය. බොහෝ අය රට හැර ගියහ. මහා වැඩක් කළ හැකිව තිබූ වැඩකරුවෝ අකාලයේ දිවියෙන් ද සමුගත්හ. 

මේ අභාග්ය මධ්යයේම ප්රසන්න විතානගේ, ජයන්ත චන්ද්රසිරි, අශෝක හඳගම, ප්රසන්න ජයකොඩි, සුදත් දේවප්රිය, සුදත් මහදිවුල් වැව ,ඉනෝකා සත්යාංගනී හා ජැක්සන් ඇන්තනී වැනි අධ්යක්ෂකවරු උඩුගංබලා පීනීම අගය කළ යුතුය. එමෙන්ම ධර්මසේන පතිරාජයන්ගේ නැවත පැමිනීම අප ලැබූ මහා සම්පතකි. මම ඒ සක්කාරං නම් වූ පතිරාජ මහත්තයාගේ නවතම සිනමා කෘතිය ගැන බොහෝ බලාපොරොත්තු තබා සිටියෙමි. මා සිතුවේ සිනමා ශාලා පිරී ඉතිරී යයි කියායි. ඒත් ලසන්තගේ ලිපිය අණුව එය නැරඹීමටත් සෙනඟ පැමිණ නැත. අශෝක හඳගමගේගේ නවතම කෘතියේ ස්වර්ණා මල්ලවආරච්චි නම් ප්රවීණ නිළිය වසර 20 ක නිහැඬියාවකට පසු රංගනයෙන් එක් වී සිටින්නීය. එය නැරඹීමටවත් ප්රේක්ෂකයෝ යනු ඇතිද? මට නම් දැන් ඒ ගැනත් ඇත්තේ සැකයකි.ප්රේක්ෂකයා සිනමාහලට නොඑන්නේ නම් තව ටික කලකින් මේ හැදෙන සිනමාපට ටිකද නවතා ඔවුන්ද වෙන වැඩක් බලා ගනු ඇත. 

මෙයට හේතුව ශාලා වල පහසුකම් නැතිබවද අප ඩිජිටල්කරනය වී නැතිබවද බව මට මෑතකදී අසන්නට ලැබිණි. එයත් හේතුවකි. එහෙත් සිනමා නිර්මාණයක් හෝ ගීතයක් රස විඳින්නට මිනිසුන්ට උවමනාවක් නැතිද? සාහිත්ය රසය සිනමාරසය ඔවුන්ගේ දිවියෙන් පලාගොස් ඇතිද? ඔවුන්ට මේ රසය නැවත පෙවිය හැකිද? ඇයි එහෙම වුණේ? ප්රශ්න කෝටියකි. පිළිතුරු නැතිවෙන්නට බැරිය. එය සොයා ගත යුත්තේ අපේම අද්යාත්මයෙනි. අපේම හදවතට තට්ටු කිරීමෙනි. ඒත් අප බහුතරයකට ඇති කෙටිම සහ පහසුම පිළිතුර, මහගෙදර චිත්රපටයේ තිස්ස අබේසේකරයන්ගේ දෙබස් කාණ්ඩයකින්ම ඔබ වෙත ඉදිරිපත් කරමින් බොහොම කණගාටුවෙන් යුක්තව මම මේ සටහන අවසන් කරමි.

" මේවට උත්තර නෑ. උඹ කුරුල්ලෙක්ගෙන් ගිහින් අහපං ඇයි ඌ සිංදු කියන්නෙ කියලා. ඒ උපමාව සුන්දර වැඩිනම් බල්ලෙක්ගෙන් ගිහින් අහපං ඌ කණුවක් හරි පඳුරක් හරි දැක්කම අණ්ඩ උස්සන්නෙ ඇයි කියල. මේවට උත්තර නෑ මල්ලී. මේවට උත්තර නෑ"

මේවා අපේම වැරදි.......

ලසන්ත ද සිල්වාගේ ලිපිය - https://www.facebook.com/chandana.gunasekera/posts/10209246664514131

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

14 comments:

  1. සිනමාකරුවන් ප්‍රේක්ශකයාට හිමි ගරුත්වය වත් නොදීමත් ප්‍රධාන සාධකයක්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. මුදලට වහල් වුනාම ප්‍රමිතිය හා ගුණ ධර්ම යන්නෙ වළ පල්ලට. ස්තූතියි උඔට අදහස් දැක්වූවට

      Delete
  2. බොහොම හොඳ ලිපියක්. කිවයුතු සියල්ල අඩංගු කර තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචාරක මහත්තයා කණගාටුවට බොක්කෙන්මයි ලිව්වෙ.

      Delete
  3. බලෙන් ගන්න බෑනේ සහෝ. මාත් ඒ සටහන දැක්කා.. ඔහු කියා තිබුනේ “ධර්මසේන පතිරාජ“ ට කරන මෙහෙයක් විදියට කරන්න කියලා. ඇයි ඒ.. මම නං හිතන්නෑ පතීට හිගාකාල පිලුම පෙන්නන්න ඕන කියලා..

    ReplyDelete
  4. සිංහල සිනමා කර්මාන්තය කඩා වැටුනේ එක අතකින් බාල, පහත්තුට්ටු දෙකේ වාණිජ සිනමා නිර්මාන සහ සාමාන්‍ය මිනිසුන්ට මෙලෝ දෙයක් නොතේරෙන අඳුරු පැහැති සම්භාව්‍ය චිත්‍රපට නිසයි.....හොලිවුඩ් මාදිලියේ Drama,Thriller කාණ්ඩයේ සිංහල චිත්‍රපට නිර්මාණය වුවහොත් තත්වය දැනට වඩා හොඳ විය හැකිය

    ReplyDelete
  5. ඔය ඉන්න ලොකු පොරවල් සෙට් කරල හොඳ tv සීරීස් එකක් හදවල අප්ලෝඩ්කරවල බලන්නකො අපේ උන් බලල රෙකෝඩ්තියයි.
    සිනමාවට මිනිස්සුගෙන්න ගන්න එක ඒ කර්මාන්තෙ ඉන්න අයගෙ වැඩක් මිසක් බලන උන් දේශප්‍රේමෙන් ගිහින් බලල වැඩක් නෑ. ඔය ටකරන් හෝල් ඇතුලෙ සවුන්ඩ් උනත් හොඳයි කියල හිතන්න ඇත්තෙ හරි දැනුමක් නැති කාලෙ. දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ නිර්මානකාරයගෙ පැත්තෙ. කොලිටි සවුන් ඩ් ලයිට් ඔක්කොම තියෙනව ඩිජිටල් හෝල් එකේ නැතුවත් ගෙදරහරි තියෙනව හදල පෙන්නනයි තියෙන්නෙ.
    හැබැයි මුලින් ගෙදර ඉඳන් නොමිලෙ බලන්න හදන්න වෙයි එහෙම පුරුදු කරගෙන වැඩිය හොඳට බලන්න හෝල් එකට එන්න කියන්න මුලදි වියදම් තමයි. ඒ හෝල් මිනිස්සුන්ට එපා කරවපු නිසා. අලුත් බිස්නස් එකක් විදියට පටන් ගමු.
    තව එකක්. ඔය කාම රැල්ලට බනින එක ලේසියි. ඒත් ඇගේ වයිරය කාලෙ ආපු හොඳ චිත්‍රපටියක් තිබුනනම් ලිංගික දර්ශන ඇතුලත් ඒකත් කියන්න. එහෙම එකක් පලාතෙවත් නෑ.

    ReplyDelete
  6. එකඟ වෙන්න අමාරුයි චන්දන... ඉස්සර හොඳයි දැන් නරකයි කියන එකනම් සිංහල සිනමාව සම්බන්ධයෙන් වලංගු නැතිම තර්කයක්, අඩුම ගානෙ මට හිතෙන හැටියට..

    වසන්ත ඔබේසේකරලට, ධර්මසේන පතිරාජලාට හැමදාම ‍ෆිල්ම් හදන්න බෑනේ.. ඒ තැන නවකයන්ට යන්න ඕනා...ජයන්ත චන්ද්‍රසිරිලා ඇවිත් ඉන්නෙ ඒකට තමා.. මටනම් ඔය කියන පරණ ‍ෆිල්ම් වලට වැඩිය අලුත් ‍ෆිල්ම් බොහොම හොඳයි...

    සමනල සංධවනිය දැන් පෙන්නුවොත් ඉතින් 15ක් එන එක අහන්න දෙයක් නැනේ.. සෙනග බලන්නනම් හෝල්වලට ආපු කාලේ යන්න ඕනා.. මම ගිය වෙලේනම් හෝල් එක පිරෙන්න සෙනග...මට හිතෙන්නෙ ලංකාවෙ දැනටත් හොඳ ‍ෆිල්ම් එකකට සෙනග ඉන්නවා...

    ඉංදියාවේ වගේ මෝඩ චූන් දීලා ෆෝර්ම් කරන්න පුළුවන් ප්‍රේක්ශකයෝ ලංකාවේ නැති නිසා හදන හැම හොඳ, නරක ‍ෆිල්ම් එකකටම එක වගේ සෙනග බලාපොරොත්හු වෙලා "අයියෝ දැන් සිනමාව කඩන් වැටිලා " කියන එක පිස්සු වැඩක්...

    හොඳ ‍ෆිල්ම් හැදුවොත් මිනිස්සු බලන්න එයි කියන තැන මම ඉන්න්නේ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෙන්නා උඔගේ සුබවාදී අදහස් වලට. ඔව් හොඳ චිත්‍රපට හදල සිනමාහල් වල තත්වය දිවුණු කරන්න වෙයි. හ්ම්ම්....

      Delete
  7. ඔව්ව ගණං ගන්ට එපා මල්ලි..සියළු සයන්ස්කාරයෝ අනිත්‍යය. එසේ හෙයින් සිංහල සිනමාවටද ඒ එලෙසම අදාලය...කිසිම රසවින්දනයක් කාටවත් බලෙන් දෙන්ට බෑ. :)

    අනිච්ඡා වත සංඛාරා,
    උප්පාද වය ධම්මිකෝ,
    තමේව අනුකම්පාය,
    ජම්බු දීපා ඉධාගතා.......

    ReplyDelete
    Replies
    1. +++++ මගේ අදහසත් මේකමයි

      Delete
    2. එහෙමවත් හිතමු රවී අයියේ. ඕවට උත්තර නෑ.

      Delete
    3. ස්තූතියි තිලකෙ උඹටත්!

      Delete
  8. අයියෝ..මොනා කියනවද...කවුද අනේ සිංහල චිත්‍රපටි, නාට්‍ය බලන්න හෝල් වලට එන්නේ..ගේ ඇතුළෙම ටීවී පොජ්ජෙ බඩවැල් වගේ දිගට කතා පෙන්නද්දී..අනෙක බොහොමයක් චිත්‍රපටි වගේම නාට්‍යත් බලං ඉන්න බෑ කියනවනේ. මාත් කීප විඩක්ම ටිකට් ඇරං ගෙහුං මගදි නැගිටල ආවා.
    ප්‍රසන්න විතානගේ ගේ "ඔබ නැතිව ඔබ එක්ක" බලන්න වෙනත් ගමනක් යන අතරෙ අනුරාජපුරේ නිව් විජේන්ද්‍රා එකට ගියා. අපි දෙන්න ඇරෙන්න තව දෙන්නයි උන්නේ.

    ReplyDelete