Pages

Thursday, 22 October 2015

කාන්තාරයේ කුසුම..........



ඇය නිමක් නොපෙනෙන කාන්තාරය මැදින් අඳුරේම තම ජීවිතය සොයා දිව ගියාය. ගල් මුල් වල වැදී නිරැවත් දෙපා රිදුම් දෙද්දී , තුවාල වී ලේ ගලා හැළෙද්දී ඇයට නතරවීමට අවකාශ නොතිබිණි. ගිනි කාෂ්ටක අව්වේ තිබහට දිය පොදක් නොමැතිව කුස ගින්නට කන්නට දෙයක් නොමැතිව සිතේ තිබූ අධිෂ්ඨානය නැමති ශක්තියෙන් ඇය සැතපුම් සිය ගණනක් දිව ගියාය. 

තිරිසන් සතකුවූ සිංහයෙකුගෙන් අභයදානය ලැබූ ඈ මිනිස් වෙසින්වූ තිරිසනුන්ගේ පහත් කාමතුර ආශාවන්ට ගොඳුරැ නොවී බේරැනේ ඇයගේම දක්ෂකමටය. එතරම් අසරණ තත්වයේ ඉතාමත්ම දුර්වලවී වුන් ඇයට පිහිට වෙනවා වෙනුවට මිනිස් වෙසින්වූ ඒ කාමතුරයන් කළේ තම පහත් ආශාවන් සතපවාගත හැකි තවත් එක් ගැහැණු සිරැරක් ලෙස ඇය දෙස බැලීමයි. මේ ම්ලේච ක්රියාකාරකම් කියැවීමේදී පිරිමියෙකු වශයෙන් මට ඇතිවූයේ මහාම ලැජ්ජාවකි. ඒ පාපතර අමනයන් කෙරෙහි විස්තර කළ නොහැකි ක්රෝධයකි. 

පිරිමින්ගේ උවමනාවට තමන්ගේ මුලික ස්ත්රී අයිතිවාසිකම් අහිමිවූ ඉතාමත් නින්දිත හා කෘර අන්දමින් චර්ම ඡේදනය නම්වූ ඒ පාපතර සංස්කෘතික අවලම් ක්රියාවලියෙන් බැට කෑ ඇය තවත් එක් දැරියක පමණක් නොවේ. එවන් පාපිෂ්ඨ සංස්කෘතියක් ඇති සියලුම රටවල සමස්ත අසරණ ස්ත්රී වර්ගයාගේම නියෝජනයයි. 

එදා කාන්තාරයේ ගලක් මත ඒ නන්නාදුනන අහිකිණ්ඨික ගැහැනියගේ මලකෑ බ්ලේඩයෙන් තම ස්ත්රී අවයව අමු අමුවේ කැපී සුනුවිසුනු වී යද්දී ඇයට ඉවසාගත නොහැකි වේඳනාවෙන් කෑ ගසනවා හැරෙන්නට වෙන කළ හැකි අන් කිසිවක් නොවුණි. පූර්ණ ස්ත්රියක වශයෙන් ලිංගික සුරතාන්තයක උපරිම සුවය ඇයට අහිමිවූවා පමණක් නොව ඒ කැපූ අවයව මසා දැමීම හේතුවෙන් ඇයට මුත්රා කිරීමට පවා අපහසු තත්වයක් ඇති විය. වැඩිවියට පත්ව මාස් ශුද්ධිය ඇතිවීමේදීද මසකට වරක් ඇය ඒ හේතුවෙන් අපා දුක් වින්ඳාය. 

උපන්දා සිටම බැටළුවන් හා ඔටුවන් බලා ගත් ඉතාම දුෂ්කර දිවියක් ගෙවූ එඬේර කෙල්ලකවූ ඇයව , ඇයගේ පියා විසින්ම තවත් ඔටුවන් කිහිපදෙනෙකු ලබාගැනීමේ අරමුණින් මහලු මිනිසෙකුට සරණපාවා දීමට තැත් කිරීම කෙතරම් නම් නින්දිතද? ඒ පිරිමින් තම මවට, සොයුරියට, බිරිඳට හා දියණියට කළහැකි උපරිම අවමාන චිරාත් කාලයක් තිස්සේම කළහ. නීති තැනුවේ ඔවුන්මය. ස්ත්රිය ඔවුන්ගේ කාම ආශාව සතපා ඉන්පසු වහලියකමෙන් ඔහු ඇතුළු ඔහුගේ දරැවන් බලා ගන්නා තවත් හුස්ම ගන්නා ප්රාණියකු පමණක් විය. ඒ ජීවිතවල කිසිදු වටිනාකමක් නොතිබුණි. මෙවන් තත්වයක් යටතේ ඇය තමන් මෙන්ම අසරණ තම මෑණියන්ට පමණක් දන්වා තම ජීවිතය සොයා පලා ගියාය. 

ඒ පලා ගිය එඬේර කෙල්ලට විඳින්නට වූ දුක් ගැහැට නම් අපමණය. තම නෑදෑයින්ගෙන් පවා ඇයට සරණක් නොලැබිණි. එහෙත් ඇය තුළවූ අධිෂ්ඨානය හා ධෛර්ය අවසානයේදී ඇය දිවියේ උසස්ම තැනකට ගෙනයාමට සමත් විය. 

දුක දිනා දිවිය ජයගත් ඇය තමන්ට ඒ කෘර චාරිත්ර නිසා විඳින්නට වූ වේදනාව හා අවමානය අනෙකුත් ස්ත්රීනට උරැම නොවන්නට කටයුතු කරන්නට පෙරමුණ ගත්තාය. හඬ නැගුවාය. 

වාරිස් ඩයිරි නම්වූ ඒ එඬේර කෙල්ල අවසානයේ ලෝක ප්රසිද්ධ මෝස්තර නිරෑපන ශිල්පිනියක් වීමේ සත්ය කතා පුවත " කාන්තරයේ කුසුම" නමින් සිංහල පාඨකයා වෙත එළිදක්වා ඇත. මෙම ග්රන්ථය රංජිත් කුරැප්පු මහතා විසින් " Dessert Flower " නම්වූ ඉංග්රීසි පොත අනුසාරයෙන් සිංහලට නැගීය. 

මම මේ පොත පසුගිය සති අන්තයේ කියවා නිම කළෙමි. මෙය සත්ය කතාවක් නිසා සහ දිවියට යමක් ගතහැකි අපූරැ අධිෂ්ඨානශීලී ගැහැනියකගේ චරිතාප්රදානය නිසා කෙතරම් අවිවේකීවුවත් මට ඉතා ඉක්මනින්ම පොත කියවා නිම කළ හැකි විය. 

පොත කියවා ඇතිවූ කුතුහලය නිසා ඉංග්රීසි පොතද මිලදී ගෙන සමහර සිද්ධීන් සහ වාක්ය සසදා බැලුවෙමි. බොහෝදුරට රංජිත් කුරැප්පු මහතා ඒ ඉංග්රීසි වාක්ය ඉතා සීරැමාරැවට එලෙසින්ම සිංහලට හරවා ඇති බවක් මට හැගුණි. එහෙත් මීට වඩා තව නිර්මාණශීලී අයුරින් අපේ කනට හුරැ වචන යොදා පරිවර්තනය කළා නම් මෙය තවත් අනර්ඝ විය හැකිව තිබුණ බව මගේ හැගීමයි. 

මම උදාහරණයක් ලෙස සද්ධාතිස්ස වඩිගමංගාව මහතා පරිවර්තනය කළ " සෝර්බා නම් ග්රීකයා" කෘතියේ එන එක යෙදුමක් ගෙන හැර දක්වන්නට කැමැත්තෙමි. එනම් සෝර්බා බොහෝ අවස්ථාවල භාවිතා කළ " ලොක්කා " යන වචනයයි. ඉංග්රීසි පොතේ තිබෙන්නේ "Boss" කියාය. එය ලොක්කා කියා යෙදීමෙන් කතාව අපට වඩාත් සමීප වූවා පමණක් නොව අපේ කතාවක්ම මෙන් සිංහල පාඨකයාට දැනුණි. 

ඒ කෙසේ වෙතත් එතුමා පොත කියවා රස විඳ එය තමන් ළඟම තබා නොගෙන සිංහල පමණක්ම කියවන පාඨකයන්ටද එහි ගුණ සුවඳ විඳ ගන්නට සැලසීම ප්රශංසා කළ යුතුය. 

මම මීට වඩා කථාවේ විස්තර කියා ඔබගේ රස වින්ඳනයට බාධා කිරීමට අදහස් නොකරමි. 

එහෙයින්, වාරිස් ඩයිරි නම් වූ ඒ සෝමාලියානු එඬේර කෙල්ල මුළු ලොවෙහිම පතල මෝස්තර නිරෑපිකාවක් බවට පත්වීමේ ලේ සහ කඳුළින් පිරි ඒ අධිෂ්ඨානයේ කතන්දරය කියවා රස විඳ ඉන් දිවියට යමක් එකතුකරගන්නා ලෙස යෝජනා කරමින් මම නිහඬ වෙමි. 

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය



20 comments:

  1. මේ චිත්‍රපටිය මා ළඟ තියනවා. හරිම ලස්සන චිත්‍රපටියක්. මෙය මෙලෙස සිංහලෙන් පොතක් ලෙස පිටවීම ගැන සතුටුයි. සිංහල පාඨකයන්ට හොඳ අද්දැකීමක් ලැබිය හැකි පොතක් වනු ඇති.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචාරක! චිත්‍රපටය බලන්න ඕනෙ.

      Delete
  2. කියවා අැත... හරිම ලස්සන පොතක්.... අැගේ ජීවිත කතාව.... මේ පොතයි කාන්තාරයේ දරුවෝ පොතක් ඒකේ ම පොත් දෙකක් නේද??????

    ReplyDelete
    Replies
    1. කාන්තාරයේ දරැවෝ මෙහි දෙවැනි කොටස.

      Delete
  3. පරිවර්තනය ගැන නම් මම දන්නේ නෑ. මේ පොත මම කීප වතාවක් කියවන්න හදලා අතෑරලා දාපු පොතක්. මේ අච්චුවෙම තව පොත් කීපයක් තියෙනවා. අදට වුනත් ඒක කියවන්න ආසාවක් නෑ. හිතේ වෛරය වැඩි වෙනවා විතරයි.
    චන්දන, මේ මට හිතෙන හැටි විතරයි, හොඳද?

    ReplyDelete
    Replies
    1. හිතේ වෛරයනම් වැඩි වෙනවා තමයි. ඒත් පුදුම අධිෂ්ඨානයක්. ඔබට ස්තූතියි අදහසට!

      Delete
    2. මටත් එහෙමයි...

      ඔය වගේ පොත් කීපයක් තියෙනව... අරාබි කතන්දර සෙට් එකක්ම.. ආදරණිය ඩාලියා විතරයි නම වත් මතක... මේව කියවද්දි ඇතිවෙන්නෙ මිනිස්සු සංහතිය ගැනම පුදුමාකාර වෛරයක්.. ඒක නිසා මේ පොත එකම එක පාරයි කියෙව්වෙ... ගිනි තියල දැම්ම ඊට පස්සෙ...

      Delete
  4. කාලෙකට ඉහත පොත කියෙව්වෙ. අපි ජීවත් උන අප්‍රිකාවෙ මේ සිදුවීම හරිම සමීපයි. බොහොම ආසාවෙන් කියවපු හොඳ පොතක්. ඇගේ අධිශ්ඨාන ශක්තිය, ධෛර්යය, උත්සාහය හා කැපවීම යන මේ සියල්ලම ඇගේ ගමනේ සාර්ථකත්වයට ඉවහල් වූවා. ස්තූතියි! මේ සටහනට. කාන්තාරයේ දරුවෝ මේ පොත තරම් ලස්සන නෑ. ඒක කලබලෙන් ලියැවිලාද? නැත්නම් එක එක විස්තර වැඩි නිසාද මන්දා.

    ReplyDelete
  5. මමත් මේ පොත මේ දවස් වල කියවමින් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ආ . ඇත්තද? ඔබ කැමති වෙයි. ඉංග්‍රීසි පොතත් කියවන්න. චිත්‍ර පටයත් බලන්න.

      Delete
  6. මෙන්ඩේ නසීර් ගෙ ස්ලේව් පරිවර්තන වෙලා තියේ සුවද සොයන කුසුම කියල
    මලිකා අවුෆ්කර්ගෙ ජීවිත කතාව මිෂෙල් ෆිටෝසි ලියනව ස්ටෝලන් ලයිව්ස් කියල ඒක පරිවර්තනය වෙලා තියේ සොරාගත් ජීවිත කියල
    මේ ටයිප් එකේ මයි.. ඒත් මට මේ පොතට වැඩිය ඒ පොත් දෙක හිතට ඇල්ලුව. මං දන්නෑ පරිවර්තනයේ දුරස් බව නිසාද කියල.. හම්බුනොත් කියවල බලන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මහේෂ් සහෝදරයා තොරතුරට! ඔබ කියූ පොත් ගෙන්වා ගන්න ඕනෙ. මම කැමතියි එවැනි කතාවලට. කාන්තාරයේ කුසුම චිත්‍රපටය යූ ටියුබයේ තියෙනවා සොයාගෙන බලන්න. ඔබට ජය!

      Delete
  7. අදටත් ලක්ෂ ගානක් වාරිස්ලා ඇති හැමතැනම.... එයීන් කීයෙන් කීයද මේ වගේ එළියට එන්නෙ...

    ReplyDelete
  8. මමත් මේ පොත කියෝලා තියෙනවා මිට දශකයකට එහාදී. රසවින්දා කියල නම් කියන්න බැහැ. ඒ කෘරත්වය රසවිඳින්නේ කොහොමද?

    මේ ටයිප් එකේ පොත් වලට අලෙවියක්, අගයක් ලැබෙන්නේ එහි තියෙන දුක් දොම්නස් නිසා නොවේද? එහෙම නැත්තම් අගයක් නැහැ වගේ නේද? දුක් දොම්නස් විඳින්න අමාරුයි, මම හිතන්නේ පරිවර්තනේ අවුලක්ද මන්ද මට ඇටමැස්සා ඇතුලේ තියෙන වින්දනය නැහැ.

    මේ ටයිප් එකේ පොතක් නේද 'not without my daughter' කියන්නෙත්? ඕකේ වගේම ඒකෙත් මට 'කලන්ත ජේද' තිබ්බ. හි හි.. ( දන්නෝ දනිති)

    ReplyDelete
    Replies
    1. අප්පා ඔව්.. මේක තරම්ම නැතත්, ඒකත් කියවද්දි අඬලම අන්තිමට ඔලුව කැක්කුම හැදෙනව...

      Delete
  9. Film එකයි පොතයි දෙකම තියනවා...

    ReplyDelete
  10. මමත් කීප සැරයක් කියවල තියනවා.කෙනෙක්ගෙ දුක හරි ඉක්මනට මාකට් කරන්න පුළුවන්.අරාබි කාන්තාවො ගැන හරි හරියට මේ ටයිප් එකේ පොත් ලියවෙනව.ඒත් මේ ශක්තිමත් කාන්තාව නං අගේ කරන්න වටිනව.

    ReplyDelete
  11. මාක් ඔය හෙන්රි කිව්ව වගේ මේ වැනි කතා කියවන්න එතරං ප්‍රිය නෑ ගුනේ..

    ReplyDelete