Pages

Saturday 27 May 2017

කාරැනික හදවත් ඇත්තනී අපි ඔවුනට සවියක් වෙමු

.

වෙසක් සඳ අවපසට හැරී සති දෙකක් වත් ගියේ නැත. නියගය හමාර කරමින් වැසි ඇද හැළුණේ කුඩා දරුවන් එල්ලූ වෙසක් කූඩුද සෝදා පාළු කරමිනි. එයින් නොනැවතී ගංඟා පිටාර ගලා ගම්බිම් යටකරමින්ද කඳු නායා යවා මිනිසුන් පණපිටින් වළලා දමමින්ද වැස්ස එන්න එන්නම දරුනු විය. සොබාදහම් දෙව්ලිය අපට මෙතරම් කුරිරු වූයේ ඇයිදැ මටනම් සිතාගන්නටවත් බැරිය. අපේ පුංචි රටට සිදුවන මේ විපතවල කෙළවරක් නැතිදැයි මට සිතනේනේ හදවතේ ඇවිලෙන ගින්නත් සමඟිනි.

ගිය වසරෙත් මේ දිනවලම ගංවතුර ගලා ගම් බිම් යට විය. අසරණ මිනිසුන් දියේ ගිලී හා පස් කඳුවලට යටවී තම ජීවිත වලින් වන්දි ගෙවූහ. මේ වසරේදිත් ඒ ව්‍යසනයම වේයැයි මම සිහිනයෙන් හෝ නොසිතුවෙමි. එහෙත් සොබා දහම නැවතත් අප හා උරන වී ඇති බව ලංකාවෙන් එන තොරතුරු වලින් අපට පෙනේ. මෙවර සිදුවී ඇති විනාශය හා තවදුරටත් සිදුවෙමින් පවතින ආපදාව ගියවරටත් වඩා වැඩි බැව් පෙනෙන්නට තිබේ.

රටක සිදුවන අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති හා මහා පරිමාණයේ වනාන්තර සංහාරය මීට වගකිව යුතු බව අපි දනිමු. මන්ද පෙර කාලයේදිත් ලංකාවට මෙවැනිම වැසි වැටිණි. එහෙත් ස්වභාවයෙන්ම ඒවා ගලා ගොස් තැන්පත් වීමට පහත් බිම් හා වඟුරු බිම් තිබිණි. ඒවා ලවක් දෙවක් නොමැතිව ගොඩ කර නිවාස සැදීමත්, කඳු කප්පාදු කොට හොර ලී ජාවාරම් කිරීමත් මේ විපත් වලට වගකිව යුතු වූවත් දැන් ඒ ගැන සෙවීමෙන් හෝ ඒවා කළ අමනයන්ට දොස් දෙවුල් තැබීමෙන් පලක් නැත. අද අපට කළ හැකි එකම දෙය නම් ඉන් විපතට පත් අපේම සහෝදර සහෝදරියන්ට අපට හැකි පමණින් උදව් වීමය. අපට දැන් කළ හැක්කේ එයයි.

විශේෂයෙන්ම මව් බිමින් පිටත වසන මගේ ආදරණීය සහෘදයිනී, අසරණ වූ අපේ මිනිසුන්ට පිහිටක් වීමට අප සමඟ එක් වන්න.

ගියවර මෙන්ම ලංකාවේ සිට ජයන්ත සුබසිංහ සොයුරා මේ සත් කාරිය දැනටමත් අරඹා ඇත. රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම තේ ජනපදයේ මහින්දාරාමයේ පවුල් 120 ක් පමණ අවතැන් වූ අපේම මව්වරුන්, පියවරුන්, සහෝදර සහෝදරියන් හා දූ පුතුන් රැඳී සිටිති. සමහර දූ පුතුන්ගේ දෙමාපියන් පස් කඳුවලට යටවී මිය ගොස්ය. සමහර දෙමාපියන්ගේ දරැවන් පස් කඳු යටම මිහිඳන් වෙලාය. දැනට සිරරු 5ක් පංසලේ තබා ඇති අතර ඔවුන්ගේ දරවුන් ජීවත්ව සිටිති. මේ සිරුර මිහිදන් කිරීම සඳහා මිනීපෙට්ටි ගෙනඒමට පිරිසක් ගොස් ඇති අතර ඒ සඳහා යායුතු දුර වූ කිලෝ මීටර 35 ක දුර ඔවුනට යන්නට සිදුවී ඇත්තේ ගංවතුර මැදිනි. මේ එහි පවතින තත්වයේ එක් උදාහරණයක් පමණි.

ජයන්ත සුබසිංහ සොයුරා සහ පිරිස 29 වෙනිදා එනම් මේ සඳුදා වියළි ආහාර රැගෙන මහින්දාරාමයේ රැඳී සිටින්නන් හා ඒ අවට ගම්මාන වල 1000 ක පමණ පිරිසක් වෙත යාමට කටයුතු යොදා ගෙන ඇත. අපට මේ දුරු රට සිට කළ හැක්කේ යම් මුඳලකින් ඔවුනට සහය වීම පමණකි.

ගිය වරත් සහෘද ඔබ සැවොම මට සහය වූ බව මම දනිමි. අපි එය ඉතාමත්ම සාර්ථකව හා වගකීමෙන් යුතුව කළෙමු. මෙවරත් අපි ඔවුනට අපට හැකි අයුරින් සහය වෙමු. මිනිසුන් වශයෙන් ඉපැදුණු අපට මිනිසුන්ට විපතක් වූ විට පිහිට වීම හැර අහක බලා අඳ බිහිරන් සේ සිටිය හැකිද? අපට කළ හැකි සෑම උදව්වක්ම කිරීමට අප අත්වැල් බැඳ ගනිමු.

ඔබට මුඳලින් සහය විය හැකි නම් පහත ගිණුම් වලට ඔබගේ වටිනා ආධාරය බැර කරන්න.

PayPal ගිණුම. helpinghand18@yahoo.com

බැංකු ගිණුම
Chandana Gunasekera
Santander
Sort code 09-01-28
Acc no. 44180802

චන්දන ගුණසේකර

Thursday 25 May 2017

සත් සමුදුර අපට තනා සත්සමුදුරින් එතෙරදී අප හැර ගිය වියතානෝ....



පාසලේ වූයේ වෙනදා නොතිබුණු අමුතුම කලබලයකි. මිනිසුන් පිරිසක් විසින් ක්‍රීඩා පිටිය අසලම වූ පාසල් ගොඩනැඟිල්ලේ කොට බිත්තිවල සිට වහල දක්වා පොල් අතු පැලලි බඳිමින් ශාලාව ලහි ලහියේ ආවරණය කරමින් වුන්හ. එවකට හත වසරේ ඉගෙනිමින් වුන් මට මෙය මහා උභතෝකෝටික ප්‍රශ්නයක් විය. 

හීන් සීරුවේ අපගේ පංතිභාර ගුරුතුමිය වූ සුනීතා මිස් ළඟට කිට්ටු වී මේ ගැන මා විමසා සිටියේ ඉවසාගෙන සිටීමට බැරිම වූ තැනය. 

" හෙට ඉස්කෝලෙ චිත්‍රපටයක් පෙන්වනවා පුතා. ඔයාලට ඒක බලන්න පුළුවන්."

කුඩා අවධියේ පටන්ම චිත්‍රපට නැරඹීමේ උන්මාදයෙන් පෙළුණු චිත්‍රපට පිස්සකු වූ මාහට මීටත් වඩා වටිනා තොරතුරක් මිහිපිට තිබේදැයි කියා සිතා ගැනීමටවත් නොහැකි විය. එදා දවසත්, පහුවෙනිදා චිත්‍රපටය පෙන්වන වේලාව වනතුරුත් මා කෙසේ ගතකළාදැයි මට මතක නැත. එහෙත් ඉන්පසු ඉගැන්වූ කිසිම දෙයක් නම් මගේ ඔළුවට ගියේ නැතිබවනම් මතකය. 

පහුවදා එම සිනමා පටය " සත් සමුදුර " බවත්. එහි අධ්‍යක්ෂක, සිරි ගුණසිංහ නම් වූ මහා වියතකු බව සහ එහි සංගීතය සෝමදාස ඇල්විටිගල නම්වූ මහා සංගීත වේදියෙකුගේ බවත් සුනීතා මිස් අපට පැහැදිලි කළාය. එහි රඟපාන නළු නිළියන් ගැනත් විස්තර කළ ඈ මෙම සිනමා පටය සම්මාන රාශියක් දිනාගත් ඉතා විශිෂ්ට කෘතියක් බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේ එය නැරඹීමේ කුතුහලය සහ ආශාව සත් සමුදුරක්ම කරවමිනි. 

එය නැරඹූ මට , ස්වර්ණා මල්ලවආරච්චි, දෙනවක හාමිනේ, සිරිල් වික්‍රමගේ ආදීන්ගේ විශිෂ්ට රංගනයන් , සෝමදාස ඇල්විටගලයන්ගේ ඒ අමරණීය සංගීතය හා පණ්ඩිත් අමරදේවයන්ගේ මධුර ගායනය මා වෙනම ලොවකට රැගෙන ගිය බවක් හැඟුණි. ඒ අත්දැකීම මහා විශාල ඊයම්බරැ මෙන් ඉන් වසර 35ක් පමණ ගෙවී ගොස් ඇති අදටත් මා හදතුළ තැන්පත් වී ඇත්තේ එහෙයිනි. 

අද මට හදිසියේම " සත් සමුදුර" සිහියට ආවේ මුහුණු පොතේ පළවූ එක්තරා ඉතාමත්ම කනගාටුදායක දැන්වීමක් ඇස ගැටීමෙනි. එයනම් සත්සමුදුර නම් වූ ඒ අමරණීය නිර්මාණය කළ ඒ යුඟ පුරැෂයා , මහාචාර්‍ය සිරි ගුණසිංහයන්ගේ නික්ම යෑමයි. මිය යනවිට 92 හැවිරිදි වියේ පසුවූ එතුමන් 1970 වසරේ සිට මිය යනතුරුම විසුවේ කැනඩාවේය.

1967 දී එතුමන් සත්සමුදුර සිනමා පටය ජාත්‍යන්තර තලයේ තැබිය හැකි මට්ටමින් නිර්මාණය කළේ එවකට අපට තිබූ අවම පහසුකම් මධ්‍යයේය. එයින්ම එතුමන් සතුව තිබූ ප්‍රතිභාව හා හැකියාව අපට සිතා ගත හැකිය.

එතුමා ලියූ " මස් ලේ නැති ඇට" කාව්‍ය සංග්‍රහය නවමු මාදිලියේ කවි වලින් සමන්විත විය. එමෙන්ම " අබිනික්මන", " හෙවනැල්ල", " මන්දාරම" හා " රතු කැකුළු " එතුමා අතින් ලියැවුණු අගනා නවකතාවන්  හා කාව්‍ය සංග්‍රහයන්ය මේවා අතුරින් " හෙවනැල්ල" නවකතාව රසික ප්‍රජාව අතර කතාබහට සහ ඉමහත් ප්‍රසාදයට පත්වූයේ එහිවූ කතා තේමාවේ වූ විශේෂිතබව නිසාය.

පසුගිය මාසයේ මා මාටින් වික්‍රමසිංහ සූරීන්ගේ " උපන්දා සිට" කෘතිය කියවන විට එතුමන් සිරි ගුණසිංහයන්ගේ " හෙවනැල්ල" ගැන එහි සඳහන් කර තිබෙනු දැකගන්නට ලැබිණි. වික්‍රමසිංහයෝ එහි විවේචනාත්මක අයුරින් ගුණදාස අමරසේකරයන්ගේ " යළි උපන්නෙමි" හා සිරි ගුණසිංහයන්ගේ " හෙවනැල්ල " විග්‍රහ කර තිබිණි. මෙම කෘති දෙකෙහිම කතා නායකයන්, එනම් හෙවනැල්ලේ ජිනදාසත් යළි උපන්නෙමි හි රණතුංගත් මරදානේ ගණිකාවන් වෙත චකිතයෙන් යුක්තව යෑම හා එහිදී හැසිරෙන ආකාරයත් ඔවුන්ගේ චරිත ලක්ෂණත් ඇසුරින් වික්‍රමසිංහයන් විවේචනය කර තිබුණේ ඒවායේ  රචකයන්වය. 

// "යළි උපන්නෙමි " කතාවෙනුත් " හෙවනැල්ලෙනුත්" එළියට එන්නේ ආත්ම සංයමයෙන් හා තැන්පත් නුවණින් තොරවූ වැටහෙන නුවණින් අඩු ශක්තිය ඇති සිත් දෙකකි. ඔවුන්ගේ හදවත් එක්තරා කඨිනත්වයකින් තොර නොවන බව කතා දෙකේ නායක චරිත වලින් හෙළිවෙයි. //( පිටුව 382- උපන්දා සිට) මෙතනින් වික්‍රමසිංහයන් විවේචනය කරන්නේ කෙළින්ම රචකයන්වය. එතුමා එසේ පැවසුවද රසිකයින් නම් මේ කෘති සෙනෙහසින් වැළඳ ගත්හ. 

එමෙන්ම සිරි ගුණසිංහයන් 'කතා කරන සිංහල 'සහ 'ලියන සිංහල 'යනුවෙන් දෙකක් පවත්වා නොගත යුතු බවත් සාර්ථක ලිවීමක් සඳහා ඉංග්‍රීසියේ මෙන්ම කතාකරන බසම යොදා ගැනීමේ ප්‍රායෝගිකබව හා කියවන්නාගේ හදට වැඩියෙන් දැනීමේ ප්‍රවණතාවය ගැන සඳහන් කරමින් මහත් බලපෑමක් කළේය. 

මේ මා සඳහන් කළේ සත් සමුදුරක් තරම් විසල් වූ එතුමන් කළ කාර්‍යභාරයෙන් සහ සේවයෙන් පුංචි දිය බිඳක් තරම් ප්‍රමාණයක් පමණි. එතුමා බිහි කළ නිර්මාණ යුඟ යුඟ ගානේ සාහිත්‍ය හා කලාවට පෙම් බඳින සහෘදයින් අතර පවතිනු ඇත. එමෙන්ම අවසාන වශයෙන් එතුමන් අප හැර ගියද එතුමන් විසින් අපට දායාද කළ " සත් සමුදුර" සදා කල්හීම රළ නගන බවද මට විශ්වාසය. සිරි ගුණසිංහ මහැඳුරැතුමනි, සුබ රාත්‍රියක් පතමින් ඔබගෙන් සමුගෙන යාමට මට අවසර...

පිපුණු කුසුම පරවුවා 
 බඹර කිකිණි ගොළුවුණා 
 මුතුකැට සුද සැඟවුණා 
 හසරැළි වියළී ගියා..... 
හසරැළි වියළී ගියා.....//

Saturday 20 May 2017



ඇය සියල්ල අත හැරියාය. වෙසෙසින්ම කාන්තාවන් ඉතාමත්ම ප්‍රිය කරන කණකර ආභාරණ ඇය පසෙකට දැමුවේ අලුයම ඉවත හෙළූ කෙළ පිඩක් සේය. එමෙන්ම කාන්තාවන්ගේ පංච කල්‍යානයෙන් වැදගත්ම අංගයක්වූද ඇයගේ අන්‍යතාවයේ කැටපතක්බඳුවූද ඇගේ දිඟු වරලසද ඇය කපා දැමුවාය. වයිවාරන විලාසිතා, ඇඳුම් පැළඳුම් හා රූපලාවණ්‍ය කළමනා පසෙකලූ ඇය ඉතාමත්ම චාම්වූ සැහැල්ලු හා සරල දිවිපෙවෙතකට අවතීර්ණ වූවාය. ආගම දහමට නැඹුරැවූවාය. මේ වර්තමානයේ ඇයයි. 

අප සැමටම මෙන් ඇයටද අතීතයක් තිබිණි. එය එසේ මෙසේ අතීතයක් නොවීය. 1987 වසරේ එක්තරා දිනෙක ඉන්දියාවේ නවදිල්ලි නුවර ජාත්‍යන්තර සිනමා උළෙල පැවති විසල් ශාලාව හෙල්ලුම්කන තරමට අත්පොළසන් නාදයක් නැගුණේ ඇය වෙනුවෙනි. එදා ලොව හොඳම නිළිය ලෙස අභිෂේක ලැබූ ඇය අද එම සම්මානය පවා සලකන්නේ ඉතාමත්ම පහසුවෙන් අතහැරිය හැකි නොවටිනා තවත් එක භෞතික වස්තුවක් විලසිනි. 

එදා , ඩී බී නිහාල්සිංහයන් අධ්‍යක්ෂණය කළ , ඇරැව්වල නන්දිමිත්‍ර සූරීන්ගේ නවකතාවක් ඇසුරින් නිමවූ " මල්දෙණියේ සිමියොං" චිත්‍රපටයේ රඟපෑ ද්විත්ව චරිතය වෙනුවෙන් ලොව හොඳම නිළිය වූ ඈ අනෝජා වීරසිංහ මහත්මියයි. 

අනෝජා කාන්තී වීරසිංහ, ඒ ඇයට දෙමාපියන් තැබූ නමයි. බදුල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක මෙලොව එළිය දුටු ඇය දිනෙක ලොව හොඳම නිළිය වේයැයි ඇයගේ දෙමාපියන් පවා ඇයවත් සිහිනයෙන් හෝ නොසිතන්නට ඇත. දේශපාලනය නම්වූ කුරිරු හස්තය නිසා රැකියාව අහිමිවූ ඇයගේ පියාට බදුල්ලෙන් මොණරාගලට සංක්‍රමණය වීමට සිදුවූයේ ඇය ඇතුළු 12 දෙනෙකු වූ ඇයගේ පවුල, දරිද්‍රතාවයේ පතුලටම ඇද දමමිනි. ඇය බොහෝ දුක් වින්ඳාය. එහෙත් ඇය ඒ දුක පරදා රඟපෑමේ හිනිපෙත්තටම නැග්ගාය. ඒකටුක අතීතය පරයා නැගුණු මේ ඒ සුන්දර අතීතයයි. ඇයට දැන් නොවටිනමුත් සිනමා පිස්සන්වූ අපට නම් සිත සිතා සතුටුවිය හැකි ඇයගේ සාර්ථක සිනමා දිවිය වූ ඒ අතීතය ගැන පසුවට කතා කිරීමට තබා වර්තමානයට ඔබ රැගෙන යාමට මට අවසර දෙන්න.

1989 වසරේදී එංගලන්තයේ London Academy of Music and Dramatic Arts ආයතනයට අනුයුක්ත වී වසරක පාඨමාලාවක් හැඳෑරීමට ඇය ලැබූ භාග්‍ය , මෙතෙක් ඇය ආ ගමන් මඟ උඩු යටිකුරු කිරීමට සමත්විය. ඇය එංගලන්තයට යාමට සුදුසුකම් ලැබුවේ ඊට ඉල්ලුම් කළ 3600 ක පිරිසකින් තෝරාගත් 36 දෙනාගෙන් එකෙකු වශයෙනි. ලංඩනයේ වසරක් ගතකොට එම පාඨමාලාව හදාරා ආපසු මව්බිමට පැමිණියේ අමුතුම අනෝජා කෙනෙකි. ඇය බොහෝ පරිණත වී සිටියාය. එහිදී හොඳින් උගත් යෝගී භාවනාවන් ඇයව අධ්‍යාත්මිකව ඉතාමත්ම දියුණු හා නිවුණු මනසක් ඇත්තියක බවට පත්කොට තිබිණි. 

එදා ,එනම් මීට වසර 27 කට පෙර ආපිට මව්බිම වෙත පැමිණි අනෝජාගේ සිහියට ආවේ අමුතුම සිතිවිල්ලකි. ඒකාලය වනවිට රූපයෙන්, හැකියාවෙන් හා කීර්තියෙන් අගතැන්පත්ව වුන් ඇයවන් කාන්තාවක් සිහිනයෙන් හෝ ගන්නා අන්දමේ තීරණයක් නොවූ එය, වහාම ඇරඹීමට ඇය උත්සුක වූවාය. 

ඇයගේ සිහිනය වූයේ ඇය උගත් දෙයින් හා ඇයගේ හැකියාවෙන් තම මව්බිමට සේවයක් කොට රටට ණය නැති දුවක ලෙස දිනෙක සතුටින් මිය යාමයි. එදා මෙදා තුර සිංහල සිනමාවේ ජෝ මහත්තයා( ජෝ අබේවික්‍රම), ගාමිණි ෆොන්සේකා, සිරිල් වික්‍රමගේ, ස්වර්ණා මල්ලවආරච්චි වැනි මෙකී නොකී , ජාත්‍යන්තර තලයේ තැබිය හැකි චරිතාංග රංගන ශිල්පීන් බිහිවූවත් ඒ කිසිම ආයතනයකින් හෝ ගුරුවරයෙකුගෙන් ඉගෙනගෙන නොවීය. ඔවුන්ගේ ලේ, ඇට, මස් හා නහරවල සැඟවී තිබූ ජනමයෙන්ම ගෙනා හැකියාවෙනි. ප්‍රතිභාවෙනි. එලෙසින්ම අනෝජාද ලොව හොඳම නිළිය වූ මල්දෙණියේ සිමියොං සිනමා පටයේ රඟද්දී ඇයටද තිබුණේ උපතින්ම ගෙනා හැකියාව සහ ඩී බී නිහාල්සිංහ නම්වූ ඒ අති විශිෂ්ට සිනමාවේදියාගේ මඟ පෙන්වීම විනා උගත් ශාස්ත්‍රයක් නොවේ. මේ අඩුව පියවා සිංහල සිනමාව ඉතා උසස් තැනකට ගෙනඒම ඇගේ සිහිනය වූයේ එහෙයිනි. තමන් උගත් දෙය රංගනයට හා ගායනයට එක්වන යොවුන් පරපුර වෙත ප්‍රදානය කිරීම ඇගේ අරමුණ විය. ඒ සඳහා තමන්ගේම ශක්තියෙන් ගොඩනැඟිල්ලක් සදා ගැනීමට සුඳුසු ඉඩම් කැබැල්ලක් ලබා ගැනීමට පැවති හැම රජයකින්ම ඇය ඉල්ලා සිටියාය. අරගල කළාය. එහෙත් ඒ සියල්ලම බීරි අලීන්ට වීණා වැයුමක්ම වුවද එයින් ඇයගේ පන්නරය තව තව මුවහත් වුණි. ශක්තිමත් වුණි. ඔප වැටුණි.

මේ කාලයේදී රටේ පැවති තත්වයද එතරම් යහපත් වූයේ නැත. උතුරේ හා නැගෙනහිර යුද ගිනි බුර බුරා ඇවිලිණි. යුද්ධයෙන් මිය යන හා අනාථවන පිරිස් දිනෙන් දිනම ඉහළ ගියේ ජීවත්වන්නන්ගේ මානසික ආතතිය හා බිය අහස උසට ගෙන යමිනි. මානසික රෝහල් හා පුනරුත්ථාපන කඳවුරැ පිරී ඉතිරී ගියේ මේ වකවානුවේය. අපගේ කතා නායිකාව , අනෝජා වීරසිංහ මහත්මිය මේ අවස්ථාවේ ස්වේච්ඡාවෙන්ම පෙරමුණ ගත්තාය. රජයේ කිසිදු අනුග්‍රහයක් නොමැතිව ඇය මනෝ වෛද්‍යවරුනට තමන්ගේ උපරිම සහය දුන්නාය. මානසිකව අන්ත අසරණ අඩියට වැටී වුන් කාන්තාවනට, හමුදාවේ හා LTTE සංවිධානයේ වුවද අපේම රටේ දරුවන්ට ඇයගේ සහන හස්තයේ පහස ලැබිණි. මේ අතර 2004 වසරේදී රට තව තවත් ආගාධයටම හෙළමින් සුනාමි ව්‍යවශනයටද ලංකාව බිලී වූයේ අපේම කරුමයටය. එහිදීද ඇය අනාථවූ පිරිස්වල මානසික සුවය සැලසීමට ඔවුන් රැඳීවුන් අනාථ කඳවුරුවලට ගියේ දෙව්ලොවින් ආ සුරදූතියක් විලසිනි. 

මෙසේ කාලය සෙමින් ගෙවී ගියේ කාටත් හොරාය. රංගනය පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ගොඩනැගීම, තවදුරටත් සිහිනයක්ම වුවත් ඇය එම සිහිනයෙම එල්බ සිටියයා. මේ අතර ඒ දිනවල රූපවාහිනී නාලිනාවල ඉතා ජනප්‍රිය වූ සිහින තරු තේරීමේ වැඩසටහන්වල එම තේරීපත්වන දරුවන්ට හඬ නිසියාකාරව හැසිරවීම( voice training ) හා ඉදිරිපත්කිරීමේ කලාව (performing Arts) වැනි ක්‍රියාකාරකම් ඇය ලබා දුන්නාය. 

මේ අතර පැවති රජයන් සියල්ලම ඇය වෙත ගොලුවත පාද්දී, ඇය මේ කරන්නට යන පරම්පරා ගණනකට සේවය සලසන කාලීන ව්‍යායාමය ගැන පැහැදුණු බෙල්ලන්විල විහාරාධිපති ස්වාමීන්වහන්සේ , විහාරභූමියට අයත් ඉඩම් කැබැල්ලක් ඇයගේ " අභින" නමින්වූ රංගනය,ගායනය හා යෝගී අභ්‍යාස පුහුණු කිරීමේ ආයතනය ගොඩනැගීම සඳහා ලබා දීමට ඉදිරිපත්වූ සේක. උන්වහන්සේලාට පිංසිදුවන්නට, ඇය ඉතිරිකර ගත් මුදල් හා ජපානයේ වෙසෙන ඇයගේ මිතුරියක එවූ මුදලින් ඇය එම ගොඩනැඟිල්ල ඉඳි කළාය. එදා එනම් මීට වසර 27 කට පෙර ඇයගේ සිතට ආ එම සුන්දර සිහිනය හෙට එනම් දෙදහස් දාහත වසරේ මැයි 21 වනදින සැබෑවන්නට නියමිතය.

මේ කරැනු ඇය ගෙනහැරපෑවේ පසුගියදා ඇය සහභාගීවූ ජාතික රූපවාහිනියේ නුඟසෙවණ වැඩසටහනේදීය. එහිදී ඇය තවත් බොහෝ දෙනෙකු නොකරන අභීත ක්‍රියාවක්ද කළාය. එනම් ඇයගේ ජංගම දුරකථන අංකය ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කිරීමයි. මම ඊට පහුවෙනිදාම ඇයට ඇමතුමක් ගතිමි. දුරකථනය කිහිපවරක් නාද විය. අනෙක් කෙළවරින් ඇසුණේ සවනේ රැඳී තිබූ සුපුරැදු කට හඬයි. මට එකවරම සිහියට ආවේ කෙලිමඩල චිත්‍රපටයේ රංජනීය. සිරිමැඳුරේ ලීලාය.සෙයිලමේ සිසිලියා. ගුරුගෙදර විශාඛාය. මල්දෙණියෙ සිමියොංහී සෝමාය. එහෙත් එතන ඒ කවුරුන්වත් හෝ නොසිටියහ. අඩුමතරමින් අනෝජා වීරසිංහ නම්වූ එදා අපි දුටු ඒ අග්‍රගණ්‍ය සම්මානනීය නිළියවත් නොසිටියාය. එතන සිටියේ මහා නිවීමක් ලැබූ තැනැත්තියකි. අත්හැරීම ප්‍රගුණකළ අධ්‍යාත්මික දියුණුවක් ලැබූ තැනැත්තියකි. 

එදා , 1987 නවදිල්ලි ජාත්‍යන්තර සිනමා උලෙළේ හොඳම නිළිය වූ ඈ, 1986 වසරේ මල්දෙණියෙ සිමියොං හා 1993 වසරේ ගුරුගෙදර සඳහා හොඳම නිළිය ලෙස ජනාධිපති සම්මානයෙන් පිදුම් ලද ඈ, 1987 වසරේ මල්දෙණියෙ සිමියොං, 1990 වසරේ සිරිමැඳුර, 1992 වසරේ කෙලිමඩල හා 1994 වසරේ සුරබිදෙන යන සිනමාපට වල කළ රංගනය වෙනුවෙන් හොඳම නිළිය ලෙස සරසවිය සම්මානයෙන් පිදුම්ලද ඈ හෝ 1994 වසරේ කලාශූරී සම්මානයෙන් පිදුම් ලද ඈ එතන නොසිටියාය. 

මගේ සිත මොහොතකට 1989 වසරේ මා නැරඹූ පරාක්‍රම නිරිඇල්ලයන්ගේ සිරිමැඳුර චිත්‍රපටයේ අවසාන ජවනිකාව වෙත දිව ගොස් නැවතිණි. මුළු සිනමා ශාලාවම මීයකට පිම්බාක්මෙන් නිශ්ශබ්දය. මගේ යාබද අසුනේ සිටින නරඹන්නාගේ හදවත ගැහෙනා රාවය පවා මට ඇසිණි. සිනමා ශාලාව දෙවනත් කරමින් ඇසුණේ වෙඩි හඬවල් දෙකකි. ඉන්පසු නැවතත් ඒ මූසල නිහැඬියාවය. එකෙණෙහිම තිරය පුරා දිස්වූයේ අසරණව , මරණ බියෙන් නිවසින් එළියට පැන ඉදිරියට දිව එන ලීලාය. තමන්ට හිමිව තිබූ ඒ ආදරය හා එයින් උපන්‍ රාගය තමන්ගෙන් උදුරාගන්නට ආ තැනැත්තියව සහ තමන්ට අහිමිවීයන තම පෙම්වතාව ඒ නූගත් කෙල්ල වෙඩි තබා මරා දමා තිබුණාය. 

දුරකථනයෙන් ඇදී ආ එතුමියගේ හඬින් නැවතත් මම පියවි ලොවට ඇද වැටුණෙමි. එදා හැත්තෑව දශකයේ අගභාගයේ සිට අනූව දශකය අග භාගය දක්වා චිත්‍රපට 90කට වැඩි වාණිජ හා සම්භාව්‍ය චිත්‍රපටවල රාශියක රඟපෑ ඇයගේ භූමිකාව සිහිනයක සිරවෙද්දී අද පොළොවෙ පයගසා ජීවත්වන ඒ සුන්දර දිරිය කත සමඟ මම දොඩමළුවිමි. ඇය 21 වෙනිදා අරඹන අභින ගැන ඉතාමත්ම සතුටින් හා තෘප්තියෙන් යුක්තව කතා කළාය. ඇයගේ හඬෙහිවූයේ ඉතාමත්ම දුක්විඳ ලබාගත් විජයග්‍රහනයක තේමාවය.
ඇය එම මාවතේ හෙට දින උපදින තවත් දහසක් මල් කැකුළු පුබුදුවමින් ගමන් කරනු ඇත. මම තවත් ඇයගේ වටිනා කාලය කා නොදමා ඇයට සමු දුනිමි. එදා කුඩා කාලයේ අනුරාධපුර කාටු විජේන්ද්‍රා සිනමා ශාලාව අබියස තිබූ කුණු ගොඩින් අහුලාගත් සිනමාපට දල සේයාපට කැබලි ඉදිරියෙන් තාත්තාගේ විදුලි පන්දම අල්ලා අඳුරු කළ කාමරයක බිත්තියක් මත ගෙදර අයට බයිස්කෝප් පෙන්නූ මට, සිනමාපටයක් නරඹා ගෙදරවිත් ගුවන්‍ විදුලියේ ප්‍රචාරයවන සිනමා වෙළඳ දැන්වීම් වලට සවන් දී සිනමාපටයේ දෙබස් කට පාඩම් කළ මට සහ එතැනින් නතර නොවී සිනමා ශාලා සහ ඒවා පිහිටි නඟර ගිරවකුසේ වැමෑරූ මට , මා ආදරය කළ නිළියකට කතා කිරීමට ලැබීමේ සතුට කෙතරම්ද යන්න මා මෙන්ම සිනමාවට පෙම් බැඳි හා එහි ජීවත්වූ සහෘද ඔබ සැමට අමුතුවෙන් විස්තර කිරීමට අවැසි නැතිබව මම දනිමි. අවසාන වශයෙන් ඇයට සුබ පැතූ මට ඇයගේ අභින ආයතනයේ ඊමේල් ලිපිනය දීමටද ඇය අමතක නොකළාය. ඔබටත් අවැසි නම් එතුමියට සුබ පැතුමක් එක් කරීම සඳහා එය මෙහි පළ කරමින් මම නවතිමි. දයාබර අනෝජා වීරසිංහ මහත්මියනී ඔබගේ සියලුම ඉදිරි කටයුතු ඔබ සිතූ පැතූ අයුරින්ම සාර්ථක කර ගැනීමට අවශ්‍ය ශක්තිය හා දහිරිය නිරතුරැවම ලැබේවා! 

abina@sltnet.lk එතුමියගේ ඊමේල් ලිපිනයයි.