Pages

Sunday 19 January 2014

කොරළ වැල්ලේ අසිත.....




2012 අවුරුද්දයි. රැකියාවෙන් ලද මඳ විවේකයෙන් ප්රයෝජනයක් ගැනීමට සිතූ මම දින දහයකට ලංකාවට යෑමට තීරනය කලෙමි.  සැප්තැම්බර් මාසයේ දිනයක් වූ බැවින් ගුවන් ප්රවේශ පත්රද වෙනදා මෙන් ගිනි ගනනක් නොවූ අතර ඒ පාසල් කාළය බැවින් බිරිඳ හා දරුවනටද මේ ගමනට එක්වීමට නොහැකි විය.

ලද අවසරයෙන් කාලයකට පසු නිදහස් කුරුල්ලෙකු සේ ලංකාව බලා ඉඟිලුනෙමි. ගමනෙහි මූලික අරමුණ වූයේ මගේ මව් පියන් හා නැඟෙණියත් මගේ බිරින්ඳෑගේ මෑණියන්දෑවත් දැක බලා ගැනුම විය.

දහවල් දොළහට පමණ නියමිත වේලාවට ලංකාවට ගොඩ බට මා බිරින්දෑගේ ඥාති සොයුරෙකුත් සමඟ ඔහු ගෙනා වෑන් රථයේ අනුරාධපුරය බලා ගමන් ඇරබීමි.

පුත්තලම් පාරේ ගමන් කල අප ගොම්මං අඳුර දස අතින් පරිසරය වසා ගද්දී අනුරාධපුරයට සේන්දු වීමු. කළකට පසු ලංකාවට පැමිණි මා සිටියේ ගතවන සියළු මොහොතක්ම රස විඳිමිනි. එම නිසා මා හට කිසිඳු ගමන් මහන්සියක් හෝ කෙතරම් වේලාවක් ගතවුනිදෝ යැයි කිසිදු හැඟීමක් නොවීය.

පෙර දැණුම් දීමකින් තොරව එක් වරම නිවසට ඇතුල් වූ මා දුටු අම්මා හා තාත්තා පළමුව පුදමයට පත්ව ඉනික්බිතිව සිහි එලවා ගත්තෝ සතුටු කඳුළු වඟුරන්නට පටන් ගති. ඔවුනට මා කුඩා නැඟෙණියද එක් වූයේ විමතියෙන් ලොකු කරගත් දෑසන්ද යුක්තවය. 

සැවොම සිහි එලවා ගැන්මෙන් පසු ආගිය තොරතුරු කථා කෙරුම ඇරඹිනි. සියල්ලෝම ඉතාමත් සතුටින් යුතුව රාත්රී භෝජනයෙන් සප්පායම් වීමෙන් අනතුරුව අවුරුදු දාහහතකට පමණ පසු මව් පිය සෙනෙහේ සොයා පැමිණි කුඩා දරුවකු පරිද්දෙන් මා සුව නින්දට වැටුනෙමි. මට එක් කරුණක් නොකියාම බැරිය. එය නම් එදා රෑ නින්දට ගියේ ඒ කාමරයේ ඊට අවුරුදු විසි පහකට පමණ පෙර උසස් පෙළ විභාගයට පාඩම් කල ඒ පැඟිරි කොල්ලාම බවය.

වටින් ගොඩින් අරුණළු කිරණින් ලොව බබලද්දී අවඳිවු මා අම්මා සදා දුන් තේ කෝප්පයෙන් සැනැහී කළකට පසු දෙමාපියන් සමඟ දවස ඇරැබීමි. 

එඳින අපගේ විවාහ සංවත්සරයද යෙදී තිබුන අතර බිරින්දෑට ස්කයිප් මාර්ගයෙන් සුභ පතා දරුවන්ගේද සුවදුක් විචාරීමට අමතක නොකෙලෙමි.

දහවල් භෝජනය රසවත් කිරීමට මා කැමතිම කෑමක් වූ බැඳපු වැව් මාළුද එක්කිරීමට අම්මා වග බලාගෙන තිබුනාය.

දිවා ආහාරයෙන් පසු පවුලේ සියල්ලන් හා සතුටු සාමීචියෙන් අනතුරුව බොහෝ කළකට පසු බත් ඇටේ හරස් වීමට සුළු නින්දක පහස විඳීමේ භාග්යද ලැබීමි.

සන්ද්යා භාගයේ ඉතාමත් ප්රබෝධයෙන් අවදි වු මා දෙමාපියන් හා කුඩා නැඟෙණියත්,ඇගේ සැමියාවූ ජයන්ත මල්ලී හා ඇය දරුවන් දෙදෙනාත් සමඟ ජය සිරි මහා බෝරජුන් හා ස්වර්න මාළී චෛත්ය රාජයා බොහෝ ශ්රද්ධාවෙන් යුක්තව වැඳ පුදා ගතිමි.

පසුදින කොළඹ බලා ගොස් පානදුරේ බිරින්දෑගේ මව් බැහැදැකීම මගේ අබිප්රාය විය.

උදැහැනැක්කේම අවදි වූ අප සියළු දෙනාම වෑන් රථයෙන් පානදුර බලා ගමන් ඇරබීමු. ඒ ගමන්ම තාත්තාගේ උපන් ගම වූ මහ ඉඳුරුවට යාමත් ආපසු එන ගමනේ අම්මාගේ උපන් ගම වූ මීරිගම බෝතලේ ගම්මානයට යාමත් මගේ චාරිකාවේ ප්රධානතම අරමුණු දෙකක් විය.

දහවල් කෑමට පෙර ඉතාමත් විනෝදකාරී ගමනක් අවසන් කරමින් අප පානදුරයට සේන්දු විමු. මා දුටු බිරින්දෑගේ මව් තුමෝද සතුටින් ඉපිලී සතුටු කඳුළු වඟුරන්නට පටන් ගත්තාය. මා එම පවුලට බැඳීමටත් පෙර සිටම මගේම අම්මා මෙන් මට ආදරය කල ඈ ඉතාමත් යහපත් හා කරුණාවන්ත කාන්තාවක බැව් මා නොකියා සිටියොත් මම මහා ගුණ මකුවකු වනු නියතය.

ආගිය තොරතුරින් අනතුරුව ඉතා සරුවට පිළයෙල කර තිබූ දිවා ආහාරයෙන් සප්පායම් වූ අප හැන්දෑ වනතුරු විවේක සුවයෙන් කල් ගත කලෙමු.

එදින සවස් යාමයේ කොළඹ අවට ජීවත් වූ මගේ නෑ ගෙවල් කිහිපයකට හා මිතුරන් කිහිප දෙනෙකුගේ මව් පියන් බැහැදැකීම මගේ තවත් අරමුණක් විය.

පානදුරේ ගෙදර විසූ මා ඇඹේණියගේ මාමා කෙනෙකුට මුදල් දී බෝතලයක් හා බයිට් ගේන ලෙස ඉල්ලූ මා අපේ තාත්තාට ඔහු හා සෙට් වීමට අවශ්ය සියළුම යටිතල පහසුකම් සපයා දී මස්සිනා හා ඔහුගේ පුත්ර රත්නයත් සමඟ වෑන් රථයෙන් කොළඹ චාරිකාව ඇරබීමි. වෙලාව ඒ වන විට සවස හය පසුවූවා පමණි.

නුගේගොඩ, මහරගම හා කෝට්ටේ අවට කරක් ගසා රාත්රී දහය පමණ වන විට සියළුම ගමන් අහවර කර ගැනුමට අප සමත් වීමු. 

ගමන පානදුරින් අරඹන විටත් දැල්වෙමින් තිබූ ඉන්ධන දර්ශකය තව ඉස්සරැහින් ගසමුයි කිවූ මගේ අණ පිළිපැද නිසලව සිටි නිසාදෝ ටැංකියේ රතු කට්ටද පැන ඇංජිම පන ඇඳ පාර මැද්දේ නතරවන තුරුම ඉන්ධන ගැසීමේ කර්තව්යය  මගේ සිහියට නොආවේය. ඉද්ද ගැසුවාක් මෙන් නතර වූ වෑනය මහත් පරිශ්රමයක් දරා පාර අයිනට ගැනුමට අප සමත් වීමු.

එය ගාළු පාරේ මොරටුව නඟරයත් මුහුදුබඩින් දුවන අළුත් පාරත් අතර ප්රදේශයක් විය. වැහි බීරුම හා රාත්රී දහයේ කණිසමත් පසුවී තිබූ නිසාදෝ මාර්ගයේ වැඩිය මිණිසුන් හෝ වාහන නොවීය. 

ළඟ පාත කිහිප දෙනෙකු වෑනය දෙසට එනු පෙනිනි. ඔවුන් දැකුමෙන් මට සතුටක් මෙන්ම සියුම් භීතියක්ද හදෙහි විදිලි කොටා යනු දැනිනි. නොදන්නා පලාතක්. ඊටත් වැහි බීරුම් සහිත මූසල කළුවරින් පිරුනු රාත්රිය. මේ මුහුදුබඩ මාර්ගයේ සිදුවන වාහන මංකොල්ල ගැනද අසා තිබුනු මට එලෙස නොසිතී තියේවිද?

මම හිතුවාට වඩා ඔව්හූ මිත්රශීලී වූ අතර ළඟම ඇති ඉන්ධන පිරවුම් හලට යාමට ත්රීවීලයක් නවතා දීමට තරම් කාරුණිකද වූහ. 

මස්සිනා ඒ සඳහා පිටත් වූ පසු ඔහුගේ පුතංඩියා හා මම මහ මඟ තනි වුනෙමු.පානදුරේ අම්මා ඒ වන විටත් අපගේ පමාවට කරුණු විමසා ඇමතුම් දෙකක්ම දී තිබිනි. මම ඇයට සිදුවූ අකරතැබ්බය සැකෙවින් කියා ඉක්මනින් එන බැව් පැවසීමි.

විනාඩි විස්සකට හෝ තිහකට පසු මස්සිනා ඩීසල් බූලියකුත් රැගෙන පැමිනියේය. පරන පත්තරයකින් ගොට්ටක් සාදා ටැංකියට ඩීසල් පිරෙව්වෙමු. ඉන්පසු සතුටින් යුතුව ඇති යංතම් ඒ කරදරයත් ඉවරයැයි සිතමින් ඇංජිමේ යතුර කැරකූ මට තරු විසිවුනි. යතුර කිහිප විටක් කැරකුවද ඇංජිමේ හැලහොල්මනක් නොවීය. ඩීසල් නොමැතිව දිවීම නිසා ඇංජිමට හුලං ඇද ඇතිබැව් අපට සක්සුදක් සේ පැහැඳිලි වුනි.

මේ වේලාවේ අපේ වෑනය දැක ඒ අසල ලී මඩුවක් වසමින් සිටි මල්ලිලා කිහිප දෙනෙකුද කිට්ටු විය. වාහන
එලෙව්වාට තෙල් වතුර මාරු කරනවාට වඩා වැඩි යමක් නොදැන සිටි මට ඇංජිමට ඇද ඇති සුලං අයින් කිරීම කෙසේවත්ම කල හැකි කාර්යයක් නොවීය. මස්සිනාටද ඒ ගැන අවබෝධයක් නොවූ අතර ඔහු ඒ වෙලාවේ බඩගින්නෙන් හා නිදිමතින් හෙම්බත්ව සිටි පුතුව සනසමින් සිටියේය.

වටවූ කිහිප දෙනෙකුම විවිධ අදහස් පලකරමින් ඇංජිම අතපත ගෑවද ඔවුනට ඩීසල් පොම්පය ක්රියා කරගත නොහැකි විය. ඒ අතරම ඒ සඳහා අවැසි ආම්පන්නද ඔවුන් අතර නොවිනි. 

මඳ වේලාවක් අවංකවම අපට සහය වීමට වෙර දැරූ ඔවුහු මට කණගාටුව පුකාශ කරමින් යන්නට සැරසුනේ අපව තවත් වලටම ඇද දමමිනි. එවෙලේ බොහෝදේ මට සිහිවිය. අපට ත්රීවීලයක හෝ නැඟී පානදුරට යා හැකිව තිබිනි. ඒත් නොදන්න පලාතක වාහනය කෙසේ නම් දමා යන්නද? 

මා දෙලොවක් අතර තනි වී අසරණ වූ අතර ඒ වෙලේ මට කල හැකිව තිබූ එකම දේ වූයේ දෙවියන් සිහිකිරීම පමනකි. මම ගණ දෙවියන් සිහිකලෙමි. ඔබ විශ්වාස කෙරුවා හෝ නැතා එවෙලේම බයිසිකලයක් පැදගෙන ආ කොල්ලෙකි. බයිසිකලයේ ඉදිරිපස කිහිලි කරු දෙකක්ද තිබිනි. ඉතාමත් කළු පැහැ කෙසඟ සිරුරින් හෙඹි ඔහු සුදුවන් දත් දෙපෙල විරිත්තා මහත්තයා මොකද වෑන් එකේ ප්රශ්ණයක්දැයි මගෙන් විචාලීය. 

මගේ විස්තරය ඇසූ ඔහු බයිසිකලය ස්ටෑන්ඩ් එක ගසා හේත්තු කොට කකුල් අද්දමින් වෑනයේ බොනට්ටුව තුලට කර පෙවීය. මගේ ෆෝනයේ ටෝචයේ ආධාරයෙන් මා ඔහුට ආලෝකය සැපයීමි. අතපත ගා පොම්පය සොයාගත් ඔහු එක් කෙලවරකින් ටැංකියේ සිට පොම්පයට ඩීසල් එන බටය ගැලවීය. එවෙලේ ඔහුගේ ඇඟිලි මට පැහැදිලිව දැකගත හැකි විය. ඒවාද අසාමාන්ය අයුරින් නැමී විකෘති ස්වභාවයක් ඉසිලීය.

එම බටේ කොන කට තබා ඉරූ ඔහු කට පුරවා ඩීසල් උඟුරක්ම ඉවත හෙලීය. ඉන්පසු එය සවිකර අතින් පොම්පය කිහිපවිටක් ගසා මට ඇංජිම පන ගන්වන මෙන් කියා සිටියේය. අපගේ නෙතුවලට සතුටු කඳුළු පුරවමින් ඇංජිම රජෙක් මෙන් පන ගසා ස්ටාට් විය. ඇංජිම එහෙමම දුවන්නට ඉඩ හැරි මා බිමට පැන දෑතින්ම ඔහුගේ දෑත මිරිකා ගතිමි.









එවෙලේ මා කෙතරම් අසරණ වී සිටියේදැයි කිවූහොත් ඔහුට ස්තූති කිරීමට වචන සෙවීමේ දුෂ්කර කාරියේ ගිලීමට මට සිදු විය. 

සාක්කුවට අත දැමූ මා අතට අසු වු මුදල් නෝට්ටු දෙක ඔහු අත තැබීමි. පාරේ එළියෙන් ඒ රුපියල් දෙදාහේ නෝට්ටු දෙකක් බැව් ඔහු දකින විටම මමද එව දිටිමි. 

මුදල් දෙස බැලූ ඔහු කුඩා දරුවකු පරිද්දෙන් ඉකි ගසා හඬන්නට පටන් ගති. මින් මහා කම්පනයට හා පුදුමයට පත් මා ඒ ඇයිද යන වඟ ඔහුගෙන් විචාලීමි.

ඔහු අක්කාගේ නිවසේ නතර වී සිටින බවත් රෑට කන්නට කිසි දෙයක් නොමැතිව බඩ ගින්නේ අතේ පිච්චියක් නොමැතිව නිවසින් පිටවී මහ මඟ බයිසිකලය පැද ආ බවත් හඬමින්ම පැවසුවේ මගේ මුළු හදවතම දුක් සයුරේ ගිල්වමිනි. 

මම නම ඇසූ විට " කොරළ වැල්ලේ අසිත " යැයි පැවසූ ඔහු ගිටාර් වැයීමට හා සිංදු කීමටත් දක්ෂ බැව් වැඩි දුරටත් කියා සිටියේය. මැඳපෙරදිඟ රටක මෝටර් කාර්මිකයෙනු වශයෙන් සේවය කලබවත් යම් කරදර නිසා ආපසු ලංකාවට ඒමට සිදුවූ බවත් පැවසුවේ මුළු ලෝකය ගැනම කළකිරුණු ස්වභාවයකිනි.

ඔහුගේ පිංතූර දෙකකුත් ගැනීමට අමතක නොකල මා ඔහුට පිංදී පානදුර බලා ගමන ඇරබීමි. ඒ වෙලාවේ දෙවියන් එවූ දුතයෙකු පරිද්දෙන් අඳුරින් මතුවූ ඔහු මා කරදරයෙන් මුදවා අඳුරෙහිම නොපෙනී ගියේය.

මට දැන් උවත් ඔහුට ඊටත් වඩා සැලකිල්ලක් කිරීමට තිබුනා නම් සිතෙයි. ඔහු මට ඔහුගේ අක්කංඩියගේ දුර කථන අංකය දුන් අතර මීළඟ සැරයේ ලංකාවට ගිය විට දෙමාපියන් බැහැදැකුමින් අනතුරුව කොරළ වල්ලේ අසිත බැහැ දැකුමට ගොස් මොනයම්ම හෝ උදව්වක් මගේ ශක්ති ප්රමාණයෙන් කෙරුමට මම අදිටන් කර ගතිමි. 

මෙම සටහන ඒ අහිංසක දක්ෂතා රාශියකින් සන්නද්ධ අසිත සහෝදරයාට උපහාරයක්ම වේවා!!!


අසිත, උඹට ජය!!!!

Sunday 12 January 2014

දුම් බොන තාත්තාට අසරණ පුතාගෙනි......


තාත්තාගේ හිත රිඳුවට මා හට දැන් සමා වෙන්න
දුම් ගේන්න දුන්න සල්ලි තාමත් මගෙ අතේ මෙන්න
තීරණයක් ගතිමිය යළි කිසිඳා දුම් මිල නොගන්න
මට බනින්න පහර දෙන්න ඒත් එපා දුම උරන්න
   
පාසල වෙත ගිය දිනයේ ගුරුතුමියත් මට රැව්වා
පුතේ නුඹේ හිස කෙස්වල සිගරට් ගඳ යැයි කිව්වා
පංතියේ උං එකතු වෙලා දුම් ගුඩ්ඩැයි කෑ ගැහුවා
පාසල් යන්නටත් බැරිව ඉකි ගහලා මං ඇඬුවා
   
නංගි මතින් වැනෙන අයුරු දුම් පටලය තුලින් පෙනේ
සිගරට් දුම වැදී ඇයට නින්ද නොයා තියෙද අනේ
පාඩම් පොත පෙනෙන්නෙ නෑ නෙතු විෂ දුම් පිරෙනු දැනේ
ඔබ කහිනා හඬ පමණයි දුම අතරින් මට ඇසුනේ
   
ඔබෙ වටිනා ජීවිතයෙන් ඇයි තාත්තේ පලිම ගන්නේ
ඔබත් සමඟ අපත් ඇයිද අපායටම ඇද දමන්නේ
ඇඟැට කෑම නැතිව මුදල් දුමටම පුච්චා හරින්නේ
පරක්කු නෑ නවතයි නම් ඔබේ පෙනහළුයි කියන්නේ
   

Photo credit: Birminghammail.co.uk
                     Baltimoretimes-online.com

Thursday 9 January 2014

චිත්‍ර කථාව සහ මම ( දෙවැනි කොටස).....

පලමු කොටස  මෙතනින් යන්න



සතුට පත්තරයේ මා ප්රිය කෙරූ කථා රාශියක්ම විය. 

ජනක රත්නායකයන්ගේ " පාට පාට හීනයක්" ඉන් එකකි. එහි වූ චරිත මට අද මෙන් මතකය. සුමේද ඉනෝකා හා නිමාලි අතර වූ ත්රිකෝණාකාර ප්රේම පුරානයක් එහි ප්රධාන කථා තේමාව විය. "මෙය ඔබ අප සැමදා දකින කළු සුදු හීනයක් නොව පාට පාට හීනයකි" යන්න කථාවේ තේමා පාඨය විය. මෙම සටහනේ පළමු කොටසේ මා පළකල සතුට පත්තරයේ මුල පිටුවේ වූයේ පාට පාට හීනයක්හී ජවනිකාවකි. "අත්තික්කා මල් " හා "සුසීමා" ජනක රත්නායකයන්ගේ මා සිත් ගත් තවත් කථා දෙකකි. ඔහු ඇඳි ගැහැණු සහ මිනිසුන් ඉතාමත් ලස්සන අය වූහ.

වික්රමගේ බට්ටී , අනුර විජේවර්ධනයන්ගේ මේඝ, කැළෑ කෙල්ල, දයා රාජපක්ෂයන්ගේ රක්තා, සිව් මංසල, බංදුල හරිශ්චන්ද්රයන්ගේ ක්ලියෝපැට්රා වැනි කථාත් කැමිලස්ගේ ගජමෑන් කාටුනයත් මගේ ළපටි සිත වසඟ කෙරූ කථාවන්ගෙන් කිහිපයක් පමනි.



ඉන්පසු " සිත්තර" පත්රය බිහිවිය. ඒත් සමඟ චිත්ර කථා ලෝකයට බලංගොඩ සරත්මධු නාමයද එක් විය. එතුමා විසින් නිර්මාණය කල ඉතිං ඊට පස්සේ හා යුනිකෝ යන කථා ජන හද කුල්මත් කරන්නට සමත් විය. එම පත්රයේම ටෝරස් නමින් කථාවක් තිබූ අතර මට එය ඇඳි චිත්ර ශිල්පියාගේ නාමය හරියට මතක නැත.

1975 වසර වන විට මා පාසල් යාම ඇරබූ අතර පාසලේදී පවා මා වැනිම චිත්ර කථා පිස්සන්ගේ සමාගමය මා ප්රිය කලෙමි.  ඒ අතර වූ රවී ගලගොඩ නම්වූ මාගේ මිත්රයා පිළිබඳ සඳහන් නොකරම බැරිය. 

ඔහුත් මාත් සතුට පත්රය බැලීමේ පිස්සුවෙන් පෙළුනෙමු. එකෙකුට කලින් අනෙකා පත්රය බලා තිබුනහොත් දෙදෙනාම එය බලන තෙක් ඒ ගැන කිසිදු කතිකාවක් බැරි බැව් අප දෙදෙනා අතර වූ සම්මුතියකි. ඔහුත් මාත් බොහෝ චිත්ර කථා නිර්මාණය කලෙමු. " ප්රෝටස්" නමින් කල අප මුල්ම කථාවේ අප ලියූවේ " රචනය සහ චිත්ර ගලගොඩ සහ චන්දන" කියාය. ඒවායේ පිටපත් ලඟතබා ගෙන ආරක්ෂා කරගැනුමට අප දෙදෙනාටම නොහැකි වීම ගැන මම අදටත් දුක් වෙමි.

මේ චිත්ර කථා කියැවීම නිසා අපගේ නිර්මාණාත්මක රචනා කලාව හා චිත්ර කලාව පංතියේ අනෙකුත් ළමයින් හා සසඳන කල ඉහලින් තිබූ බැව් පවසන්නේ අවිහිංසක ආඩම්බරයක් සිත තබාගෙනය. හයේ පංතියේ  ඉගෙන ගන්නා සංදියේදි සිංහල ගුරුතුමිය විසින් ඇරඹි පුවත් සඟරාවට මා ඉදිරිපත් කල රහස් පරික්ෂක චිත්ර කථාව ඇයගේ මවිතයට හේතු විය. එහි වූ උසාවියක නඬු අසන අවස්ථාවක මා යෙඳු දෙබස් පංතියේ අනෙකුත් ළමුනට මහා ප්රෙහෙලිකාවක් විය. 

මෙය කියවන ඔබ මා ගැන වැරදියට නොසිතාවි යැයි මා හුදෙක්ම විශ්වාස කරමි. මා මේ සිද්ධීන් පුන පුනා කීවේ මගේ මං පොර ජාතකය ප්රදර්ශනයට නොව චිත්ර කථා පිස්සුවෙන් මට අවැඩක් නොව වැඩක්ම වූ බැව් ඔබට ඒත්තු ගැන්වීමට පමනි.

මේ කාලයේ මා බැලූ තවත් චිත්ර කථා පොත් පෙළක් වූයේ මා යටඳොළ වත්තේ ලොකු අම්මලාගේ නිවසේ නිවාඩුවට ගොස් සිටින අතර ඒ ගමේ වූ කුඩා පුස්තකාලයේදී අහම්බෙන් ඇස ගැටුනු "ලංදේසි හටන" නම්වූ පොත් පෙළයි. මා මෙයට කෙතරම් ඇල්ම කලාද යත් එක් දිනක උදේම පුස්තකාලයට ගොස් කෑමක් හෝ බීමක් නොමැතිව මුළු දවසම ලංදේසි හටන කියැවූයෙමි. තවත් දිනෙක මගේ පයේ ඇඟිලි දෙකක් අතර එල්ලී ලේ බිව් කූඩැල්ලෙකු මගේ පාදයේ කුඩා ඇඟිල්ල තරම් විශාල වන තුරුත් මට නිනව්වක් නොවූයේ මා කථාවට ඒ තරමටම වශී වී සිටි හෙයිනි. මට මතක හැටියට එය සුසිල් ප්රේමරත්නයන්ගේ හෝ බංදුල හරිශ්චන්ද්රයන්ගේ නිර්මාණයකි.

මේ කාළයේ වූ තවත් ජනප්රිය සඟරාවක් වූයේ "ශ්රී " සඟරාවයි.  එහි අගට වන්නට වූ චිත්ර කථාව
මට කිසි දිනෙක අතපසු වූයේ නැත. 

එහි මා සිත් ගත් චිත්ර කථා කිහිපයක්ම විය. ඒ අතරින් රහස් පරික්ෂක කථාවක මිනීමරුවා අල්ලා ගැනීමට උදව් වූයේ කුඩා ළමුන් පිරිසක් හඳ එළියට බිත්තියක් මත පතිත වූ සෙවනැලි අඟුරු කැබැල්ලකින් සිතුවම් කරද්දී කළුවරේ ගස් අතර සැඟව සිටි මිනීමරුවාද චිත්රයට නැඟී තිබීමයි.

තවත් කථාවක මරණාසන්නව ඇඳක වැතිරී සිටිනා ලඳක් ඇය සිටින කුටියේ කවුළුවෙන් පිටත වූ රෝස ගසක වූ මලක පෙති හැලි හැලී යන ආකාරයට තම ජීවිතයද අවසානයට යන බව සිතන්නීය. අවසානයේ එම මලෙහි එක් පෙත්තක් පමණක් ඉතුරු විය. එය දුටු ඇය පහුවෙනිදා එම පෙත්තද ගිලිහුනු පසු තමාගේද අවසානය බැව් පැවසුවාය. ඇයට පනමෙන් ආදරය කලේ චිත්ර ශිල්පියෙකි. ඇය ඔහුව එතරම් ගනනකට නොගත් අතර එදින රැයේ ඔහු හොර රහසේම ඇද වැටුනු මහා වැස්සේ තෙමෙමින් අර රෝස මලේ අවසන් පෙත්ත ගිලිහී නොයන පරිද්දෙන් කෘතීමව නිර්මාණය කොට මලට බද්ධ කරන ලදී.

පහුවදා උදෑසන අවදි වූ ඇය කවුළුවෙන් පිටත බලන්නී තවමත් නොවැටී පවතින මල් පෙත්ත දැක තමන්ට තවත් කල් ජීවත් විය හැකි බව පසක් කර ගත්තද වැස්සේ තෙමී එම නිර්මාණය කල චිත්ර ශිල්පියා අධික ලෙස වැස්සට තෙමීම හා ශීතල හේතුවෙන් නිව්මෝනියාව වැළදී ජීවිතෙන් එම උදයේම සමුගත් පුවත ඇසීමෙන් මහත් කම්පාවට පත්වූ අයුරු මට අද ඊයේ මෙන් මතකයේ ඇත.

මේ කාලයේ ජනප්රිය වූ තවත් චිත්ර කථා පත්රයක් වූයේ " සුහද" පත්රයයි. එහි වූ කථා අතර අන්ටන් බී පෙරේරා චිත්රයට නැඟූ "රන් කුරැමිණියෝ" මාගේ ප්රියතම කථාව වූ අතර එය කපා පොතක අලවා එකතු කිරීමටද මම පසුබට නොවීමි. එය තුන් දෙනෙකුගේ සහයෝගයෙන් නිර්මාණය වූවකි. එහි වූයේ රචනය සහ චිත්ර ඇන්ටන් බී පෙරේරා, දෙබස් රෝඩා පෙරේරා හා කථාව ගුණතිලක මාඳොළුව කියාය.

එක දහස් නමසිය අසූවේ මුල භාගයේ රූපවාහිණියේ සංක්රමනයත් සමඟම චිත්ර කථාවට තිබූ මිනිසුන්ගේ නැඹුරුව ටික ටික හීන වූ අතර කථාවලද ක්රමයෙන් ඇතිවූ ප්රමිතියෙන් අඩු භාවය එය මිනිසුන්ගෙන් දුරස් කරලීමට තවත් පිටුවහලක් විය. මේ කාලයේ මා ඇබ්බැහි වී සිටි "  සතුට" යම් නීතිමය හේතුවක් නිසා "මධුර" නමින් නම මාරු කල අතර "සතුට" නමින් තවත් පත්රයක් බිහි විය.

චිත්ර කථා බොහොමයක් චිත්ර පටවලටද නැඟුන අතර දයා රාජපක්ෂයන්ගේ සක්විතිසුවය,හුලවාලී, රක්තා වැනි කථා ගෙන හැර දැක්විය හැක. ජනන රත්නායකයන්ගේ සුසීමා, සරත් මධුගේ ඉතිං ඊට පස්සේ, දයා රාජපක්ෂගේ "පස් "වැනි කථා ටෙලි නාට්ය විලසින් පුංචි තිරයද දිග් විජය කරන ලදී.

එහෙත් චිත්ර කථාවේ අභාවය එන්න එන්නම වැඩි වූයේ මිනිසුන්ට වෙන වෙන මාධ්ය වලට පාර කපමිනි.

මීට වසර කීපයකට ඉහත අපේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් ලියා පළ කල " චිත්ර කථාවේ වංශ කථාව" කියැවීමෙන් මගේ මතකය දශක තුනකට ඉහත චිත්ර කථාවේ ගැලී සිටි මගේ සොඳුරු ළමා අවධියට පියාඹෑවේ නිරායාසයෙනි.

මේ කාළයේම වාගේ රටේ ඇතිවුන ත්රස්තවාදී වාතාවරණය හා අරඟල නිසා මිනිසුන්ට චිත්ර කථා බලනවාට වඩා ජීවිත රැක ගැනීමේ සටනෙහි නිරත වීමට සිඳුවිය. මේ හේතුවද ජනතාව චිත්ර කථාවෙන් දුරස් වීමට පාදක වූ විශාලම කරුණක් විය.

මෙයින් චිත්ර ශිල්පීන්ද ජනතාවගෙන් ඈත් වූ අතර එයට පිළියම් යෙදීමටද කාටවත් උවමනාවක් නැති බව විද්යාමාන විය.

දුසින් ගනනින් බිහිවූ පත්තර මුදළාලිලාද  චිත්ර ශිල්පීන්ගේ ආත්මයම විනාශ කර දමන ලද්දේ කිසිම හිත් පිත් නැති විලාශයෙනි.

ඒ කාළයේ විවෘත ආර්ථිකයත් සමඟ ඇරඹි බල්ලෝ මරා හෝ සල්ලි සෙවීමේ ප්රතිපත්තිය සියළුම කළාවන් පවා කණපිට පෙරලන ලදී.

ඒ කෙසේ වෙතත් අගාධයටම වැටුනු චිත්ර කථා කළාව නැවත පෙර තත්වයට කිසිවිට පැමිනුනේ නැත. එය 70 දශකයේ ළමා අවධිය ගත කළ අප වැන්නවුන්ගේ සිතෙහි රජකල සිහිනයක්ම පමනක් විය.



ඔබට ස්තූතියි!! තව සති කිහිපයකින් ළමා අවධියේ මා හා බැඳුනු සිංහල සිනමාවේ විස්තරයකින් අප හමුවෙමු.
ඔබ සැමට ජයම වේවා!!!

Sunday 5 January 2014

චිත්‍ර කථාව සහ මම (පළමු කොටස)......



මම මේ සටහන මෙහෙම ආරම්භ කරන්නම්. මගේ මතකයේ හැටියට එදා 1972 වසරේ දිනක උදෑසනකි. මට එවකට අවුරුදු හතරක් පමන හා මා නැඟෙණියට අවුරුදු තුනක් පමන විය. 

එදින අප මහා සතුටකින් අපගේ ළපටි සිත් පුරවාගෙන දෙමව්පියන් සමඟින් මතුගම යටඳොළ වත්තේ විසු අපගේ ලොකු අම්මාගේ නිවස වෙත යන්නට යොදා ගෙන තිබිනි.

පාසල් ගුරුවරියක වූ අප මෑණියෝ රජයෙන් ලැබූ සුළු වරප්රසාදයක වූ දුම්රිය ප්රවේශ පත්ර කලින්ම වෙන්කරවා ගෙන තිබුනාය.  ඇයගේ සේවය අණුව අපට දෙවැනි කැලෑසියේ මැදිරියක ගමන් කිරීමට අවකාශ ලැබී තිබිනි.

ගමන යාමට නියම කර ගත් දිනට කලින් දා නංගීට හා මට නින්දක් නොවීය.  ඒ අප හදවත් වල වූ කුතුහලය සහ නින්ද ගොස් දුම්රිය වරදීවී යනුවෙන් වූ අනියත බිය නිසාය.

ඒ කෙසේ වෙතත් උදයේම අවදි වු අප සීතලයේ ගැහෙමින් මුව කට දොවා කුරුළන්ගේ කිචි බිචි නාදය මධ්යයේ බිමට එළිය වැටීමටත් මත්තෙන් දුම්රිය පළට සේන්දු වීමු.

එවකට අනුරාධපුර නවනගරය දුම්රිය පොළ නොතිබුන නිසා අනුරාධපුර මහා ඉස්ටේසමටම අපට යාමට සිඳුවිය. ගමන පිළිබඳව කුල්මත් වී සිටි අපට දුර පිලිබඳව කිසිදු ගැටළුවක් නොවීය.

කෙසේ හෝ නියමිත ප්රවේශ පත්ර ගෙන උදෑසන 5.05 ට කොළඹ කොටුව බලා පිටත් වූ රජරට රැජින දුම්රියේ අසුනකට බර වූ පසු මගේ සිතේ දුම්රිය වරදීවි යැයි තිබු අනියත බිය මහා විශාල විදුලි පහනක් අබියස දැල්වූ කුඩා ඉටි පන්දමක එළිය සේ පසු බා ගියේය.

දුම්රිය ගමනාරම්භ කරන ලදී. ඉස්ටේසමේදි හා දුම්රියේදී ඇසු දුටු දේ පසුව සටහනකින් ඔබ වෙත ගෙන එන්නෙමි. 

තාත්තා බෝතලයක දමා ගෙන උණු උණු කිරි තේ රැගෙන ආවේය. තිබුනු තදියම හා කුතුහලය නිසා වතුර පොඳකුදු නොබී නිවසින් පිටවූ අපට එවෙලේ එය දිව්ය අවුසදයක් බඳු විය. තේ බොන අතර මගේ සිතට පැන නැඟි විසල් පුරස්නයකි." මේ වේඟයෙන් දුවන දුම්රියේ සිට තාත්තා හෝටලයකට ගොස් කෙසේ නම් උණු කිරි තේ මිලදී ගත්තේද?" බොහෝ කළක් යනතුරු මා මෙයට පිළිතුර දැන සිටියේ නැත.

කිරි තේ ගෙනා තාත්තා ඊට අමතරව තවත් අමුත්තෙකු රැගන විත් සිටියේය. මීට පෙර කිසි දිනක දැක නොතිබුන එය චිත්ර වලින් පිරි පත්තරයක් විය. කොටින්ම කියතොත් එය "සතුට" පත්රය විය. 



කියැවීමට මළපොතේ අකුරක් වත් නොදැන සිටි මා එහි වූ චිත්ර මුල සිට අගටත් නැවත අග සිට මුලටත් දෑසින් උරා බීවෙමි. 

මා මේ කියන්නට යන කථාවේ ආරම්භය මෙලෙස ඇරබිනි. එදිනේ චිත්ර කථා පිස්සෙකු ලොවට බිහිවුනි.

එදිනේ පටන් සෑම අඟහරුවාදා දිනයක්ම එනතුරු මා පෙර මඟ බලා සිටියේ තමාගේ කුළුදුල් පෙම්වතිය එන තුරු පෙර මඟ බලා සිටින නව යොවුන් පෙම්වතෙකු පරිද්දෙනි. තාත්තා හෝ අයියා කෙනෙකුන් විසින් සතුට පත්රය ගෙනා අතර එහි නැවුම් සුවඳ විඳිමින් ඇස් වලින් පින්තූර කියැවීමට මම ලොල් වීමි. කොටින්ම මම ඊට ඇබ්බැහි වීමි. දැන් කාළයේ ළමුන් ඇබ්බැහිවන දෑ වල ඇති නපුරු හා භයානක කම දකින විට මගේ තිබුනේ ඉතාමත් අහිංසක ඇබ්බැහි වීමකි.

ඒ අඟහරුවාදා දිනය මට අද මෙන් මතකයේ ඇත. අවදිවූ හෝරාවේ සිටම සතුට පත්රය ලැබෙන තෙක් පෙර මඟ බලා සිටි මට රාත්රියේ ආහාරයෙන් පසුවද එය ලැබෙන අයුරක් නොපෙනිනි. එදා වැඩ අධික දිනයක් බැවින් තාත්තාට සතුට පත්රය ගෙදරට එවීමට නොහැකි වී තිබිනි. ඔහු රාත්රී අටට පමණ නිවසට ගොඩවිය. මට මතක හැටියට අම්මා ඔහුට මාගේ අසහනය කලින්ම දන්වා තිබිනි. 

ගෙදර ආ තාත්තා මඳ වේලාවකින් සතුට පත්රයක් මා අත තැබීය. පින්තූර බලා දෙනෙතේ ඒවා සිතුවම් කරගෙන සිටි මට මුල් පිටුව දුටු විටම එය පරණ පත්රයක් බැව් දැනීමට තප්පරයකුඳු ගත නොවිනි. පත්රය වීසිකර දැමූ මා හඬමින්ම එදා නින්දට ගිය බව මට මතකය. එදායින් පසුව පුත්රයා එසේ රවටනු බැරි බැව් තාත්තාද සිහියට ගත් අතර නොවරදවාම මට පත්රයද ලැබෙන්න සැලැස්වූ බැව් එතුමාට පිදෙන සෙනෙහසත් සමඟ ස්තූති පූර්වකව සිහිපත් කරමි.

මුලදී පින්තූර වලින් සැනසුනු මා හට කථාවද දැනගැනීමේ දොළ දුකක් ක්රම ක්රමයෙන් පහල විය. අකුරු හරියට නොදත් මා හට එය ඒබරං ආතා ඉංගිරිසි පත්තරය කියවනවා වැනි මහා භාරදූර කාරියක් විය.

මට පත්තරය කියවා දීමේ කාරියට බිලිවූයේ එවකට අම්මා පාසල් ගිය පසු අප මිත්තණියට උදව් පදව් කරමින් අපවද බලා ගත් අනුලාටය. පොත් පත්තර කියැවීමට මහත් ගිජු වු ඇය එම කාරිය දේව කාරියක් සේ මහත් භක්තියකින් යුක්තව කිරීමට දෙවරක් නොසිතා ඉත සිතින්ම කැමති වූවාය. 

එතැන් පටන් ඇය අනෙකුත් වැඩ රාජකාරියන් අවසන් වනතුරු පත්තරයේ චිත්ර කියැවූ මා ඉනික්බිතිව ඇය පස්සේ වැටුනේ ඉඳිකට්ට පසුපස වැටුන නූලක් මෙනි. ඇයට පිං සිදු වන්නට ඒ කථා මට හොඳින් තේරුම් ගත හැකිවිය. 

එක් කාරණයක් මේ අවස්ථාවේ නොකියාම බැරිය. එයනම් එකල තිබූ චිත්ර කථාවල තිබූ අමිල ගුණයයි. පවුලේ සැමටම එකට කියවිය හැකි හරවත් කථාවන් එහි විය.කිසිවිටෙක අනවශ්ය හුදු රාගය හෝ කාමය අවුස්සන කිසිදු කථාවක් එහි නොවීය. සෑම කථාවකම වාගේ අප හැමට උගත හැකි යමක් හෝ සමාජයට දෙන යහපත් පවිවුඩයක් ගැබ්වී තිබුනි.

පසු කළෙක හතු පිපෙන්නා සේ බිහිවූ චිත්ර කථා හුදු වෙළද ආදායම ගැනම සිතූ හෙයින් පත්රවල ප්රමිතියත් බාල වී මහා කුණුහරුපයක්ම පමනක් සමාජයට දීමට මාන බැලූ අතර චිත්ර කථාවේ පරිහානියටද අත්තිවාරම දැමීය. මේ ගැන සවිස්තරව පසුව ලියමි.

මෙම සටහන එක කොටසකින් ලියා නිම කෙරුමට සිතා සිටියත් ලිවීම පටන් ගත් පසු නොසිතූ අයුරින් දීර්ඝ වීම නිසා කොටස් දෙකකින් පළ කෙරුමට සිදුවිය. 

ළබන සතියේ ඉතුරු කොටස බලාපොරොත්තු වන්න.ඔබ සැමට ජය වේවා!!

Thursday 2 January 2014

නව හිරු උදාව.......


Photo Credit: mikemesserli.blogspot.com

පෙරදිඟ අහසේ සුපුරුදු විලසට රත් පැහැ පලසක්

ඇතිරීලා
අදත් වෙනදා මෙන් හිරු එයි හිනැහී මුළු ලොව නින්දෙන්නැඟිටුවලා
මමත් අවදිවී බැලුවෙමි හිරු දෙස දුටුවෙමි වෙනසක්පැතිරීලා
සුපුරුදු අහසේ අළුත්ම ඉරකුයි බලා සිටියෙ මදහසපාලා
   
බැලුවෙමි වටපිට දිව්වෙමි තැන තැන වෙනස් කමක් ඇතිදෝසිතලා
ගඟ දිය නිසලයි සියොතුන් පියඹයි දවස වෙනදා මෙන්ඇරඹීලා
කෙතරම් සෙව්වත් දක්නට තිබුනේ හිරුගෙ අළුත් බවමයිපිරිලා
කවුරුද අප්පේ පහදා දෙන්නේ ඇයි අද මේ හිරු අළුත්වෙලා
   
ටික ටික හිරු රැස් දැඩි වී අහසේ මුඳුනට ඇත හිරු මෝදුවෙලා
උත්තරයක් නැති ගැටළුව සිතමින් මමත් සිටියෙ හිරු දෙසමබලා
තවත් මොහොතකින් නිකමට වාගේ අද කවදාදැයි මෙනෙහිකලා
දුරුතු මහේ පළවෙනිදා නොවෙදැයි නව හිරු කීවාහිනැහීලා