Pages

Monday, 28 July 2014

හේලංකඩ.....


හේලංකඩ ඇන තියාන
මොකදෑ බර කල්පනාව
කොයි උඹෙ අර මල් හිනාව
වෙනදා ඔය මුව පැලැන්ද
සුදුබංඩයියේ... සුදු බංඩයියේ...

කොළදින් වැඩ පහු වුණාද
වැස්සෙන් කරදර වුණාද
මෙදා සැරෙත් ණය වුණාද
නැත්නං අර මක් වුණාද
සුදු බංඩයියේ... සුදු බංඩයියේ...

උඹේ සිහින පැතුම් කන්ද
බොල්වී හුලගේ ගියාද
කනේරැ මල් පිපෙන ලන්ද
අනේ මෙදා මල් වරන්ඩ
සුදු බංඩයියේ.... සුදු බංඩයියේ.....

ගේය පද: පූජ්ය කෝන්වැවේ අරියරතන හිමි
සංගීතය: දර්ශන රැවන් දිසානායක
ගායනය: තුෂාරි බොලුකඳුර

මෙම ගීතය බොහෝවිට ඔබ අසාත් ඇති. මට මේ ගැන දැනගන්නට ලැබුණේ පහුගිය සති අන්තයේ මේ ගීය ලියූ පූජ්ය කෝන්වැවේ අරියරතන හිමියන් හා දොඬමළුවන්නට මා ලද මහඟු අවස්ථාවට පින්සිදු වන්නටයි.

අප කවුරැත් දන්නා නැගී එන අනර්ඝ සංගීතවේදියකුවන දර්ශන රැවන් දිසානායකයන්ගේ සංගීතයට නවක ගායිකාවක වන  තුෂාරි බොලුකඳුර තම අව්යාජ ගැමි හඬින් ගයන මේ ගීතය වන්නි හත්පත්තුවේ ඉතා දුෂ්කර ගම්මානයකට මගේ හිත රැගෙන ගියේ මටත් නොදැනීමයි.

ගීතය පුරාවටම හමන්නේ ගැමි සුවඳ. ඉතාමත් දුකින් බලාගත් අත බලාන ඉන්න සුදුබංඩට තවත් තරැනියක්( ඔහුගේ පෙම්වතිය වන්නට පිළිවන්) එසේ ඉන්නේ මන්දැයි අසා සිටින පුවතකුයි මින් කියවෙන්නේ.

" හේලංකඩ ඇනතියාන 
මොකදෑ බර කල්පනාව"

මේ පළමු පදයෙන් කියවෙන "හේලංකඩ යනු කුමක්ද? සමහරවිට ඔබ දන්නවත් ඇති. අවංකවම මම දැනගෙන හිටියේ නෑ. මම හාමුදුරැවන්ගෙන් ඒ වචනයේ තේරැම විමසූ අවස්ථාවේ එතුමා බොහොමත්ම නිහතමානීව මට එය පැහැදිලි කළා.

හේලංකඩ කියන්නේ ගැමි කටුමැටි ගෙවල්වල එළියේ බිත්තිය පාමුල බිත්තියටම අල්ලලා සාදන වැටිය. මෙය මැටියෙන්ම අඩියක් පමණ පළලට හා පොළොවේ සිට අඩියක් පමණ උසටයි හදන්නේ. වැස්ස වැටෙන විට වහලේ පොල් අතු හෝ පිදුරැ දිගේ වෑහෙන වැහි වතුර ඉසී ගෙදර බිත්ති සේදී යාම වැළැක්වීමටයි මේ හේලංකඩ සාදන්නේ.

ඉතිං මේ සුදුබංඩා ඒ වැටිය උඩ ඇන තියාන ඒ කියන්නේ ඉඳගෙන ඉන්නකොට ඒ යුවතිය වෙනදා මූණේ තිබුණ මල් හිනාව කෝ කියා අසනවා.

බංඩයියගේ උත්තරයක් නෑ. දර්ශන ඉතාමත් මනරම් අයුරින් මේ අවස්ථාව සංගීතයෙන් අපට මවා පෙන්වනවා.

ඉන්පසු දෙවන කොටසින්, පිළිතුරක් නැති නිසා යුවතිය නැවත අසනවා...

"කොළදින් වැඩ පහුවුණාද
වැස්සෙන් කරදර වුණාද
මෙදා සැරෙත් ණය වුණාද
නැත්නං අර මක් වුණාද"

මෙහි මොනවද මේ කොළදින් වැඩ කියන්නේ? මෙහි තේරැමත් හාමුදුරැවෝ මට පහදා දුන්නා.
ගොයම් පැහුණු පසු ඒවා කැපීම,කමතට ගෙනඒම,ගොයං කොලේ තැනීම,පෑගීම හා බැත හුළං කිරීම වැනි වැඩකටයුතු සියල්ලට තමයි කොළදින් වැඩ කියන්නේ.

මේ යුවතිය අසා සිටින හේතු තමයි ගොවීන්ට සාමාන්යයෙන් තියන ප්රශ්න. එකකටවත් උත්තර නැතිනිසා ඇය ආයිත් අහනවා නැත්නම් අර මක් වුණාද කියලා.

ගීතයේ අවසාන කොටසේදී ඇය ප්රාර්ථනාවක් කරනවා.
"කනේරැ මල් පිපෙන ලන්ද මෙදා සැරේ මල් වරන්ඩ"
මෙයින් අදහස් කරන්නේ කුමක්ද? 

ඔබට මතක ඇති ණය ආපසු ගෙවා ගත නොහැකිවූ රජරට ගොවීන් කනේරැ ඇට අනුභව කර දිවි නසා ගත් පුවත.

ඉතිං මේ යුවතිය අනේ දිවි නසා ගන්න එපා නොකියා එය සිඳුවිය හැකි මඟක්වූ කනේරැ ඇට සෑදෙන මල් පිපෙන්නට එපා කියනවා. බලන්න එතුමා කෙතරම්නම් ලස්සනට එය ප්රකාශකරනවාද කියා.

මේ ගීතයට නිර්මාණය කර ඇති රෑප රචනයටනම් මගේ වැඩි මනාපයක් නෑ. ඔබත් රෑප නොබලම මෙම ගීතයට සවන් යොමුකළොත් ඒ ගැමි කටහඬේ සහ දර්ශනගේ ඉතාමත්ම මැනවින් නිර්මාණය කොට ඇති සංගීතය රස විඳීමට හැකිවන බැව් මගේ විශ්වාසයයි.

මේ ගීතය බිහිවූ ආකාරයත් ඉතාමත්ම රසවත් කතාවකි. එය අරියරතන හිමියන් මා සමග ඉතාමත්ම සතුටින් පවසා සිටියා.

අප කවුරැත් දැනගන්නටත් කලින් දර්ශන රැවන් හාමුදුරැවන්ගේ ළගම හිතවතෙක්. හාමුදුරැවෝ රජරට ප්රදේශයේ පාසලක සේවය කරණ වකවානුවේ මේ තරැණ ගැටයා සංගීතය හා ගීත රචනාගැන කතා බහ කිරීමට හාමුදුරැවන්ගේ පන්සලට ඒම පුරැද්දක් කරගෙන තිබුණා. දිනක් ඔහු හාමුදුරැවන් ලියූ ගීත අතපතගාමින් සිටියදී මෙම හේලංකඩ ගීතය ඔහුගේ ඇසගැටී හාමුදුරැවන්ගෙන් ඉල්ළිගෙන ගොස් තිබෙනවා. 

මෙය සිදුවී බොහෝ කලක් ගතවුණාට පසු හාමුදුරැවන්ට එය දර්ශනට දුන් බවත් දර්ශනට එය හාමුදුරැවන්ගේ නිර්මාණයක් බවත් අමතක වී තිබෙනවා.

ඔය කාල වකවානුවේ දර්ශන මේ තරම් සියුමැලිද කළුගල් නිර්මාණයත් සමග ජනප්රියතාවයේ හිනිපෙත්තටම පැමිණුනා. හාමුදුරැවොත් ලංඩනයේ වැඩ වාසය කළා.

දර්ශන මෙවැනි ගීතයක් සොයමින් සිටිනවිට ඔහුගේ බිරිඳ මෙම ගීතය ඔහුගේ ගී රචනා ගොනුවකින් සොයා ඔහුට ඉදිරිපත් කිරීමෙන් අනතුරැව මෙම ගීතය බිහිවුවත් ගීතය
ලියූ තැනැත්තා සොයාගැනීමට නොහැකි වී තිබෙන අතර දර්ශන මාධ්ය හරහා එය ලියූ තැනැත්තාට ඉදිරිපත්වන ලෙස ඉල්ලා තිබෙනවා. 

ඒ අවස්ථාවේ කිහිපදෙනෙකුම ඉදිරිපත්වී ඇති අතර පූජ්ය පල්ලේගම හේමරතන හිමියන් මේ ගීය අරියරතන හිමියනගේ බැව් හඳුනාගෙන ලංඩනයට කතා කොට අරියරතන හාමුදුරැවන් දැනුවත් කිරීමෙන් වෙන්නට ගිය කලා මංකොල්ලයට වැට බැඳ තිබෙන අතර ගීතයේ නියම නිර්මාණකරැ කෝන්වැවේ අරියරතන හිමියන් බැව් රංජිත් රෑපසිංහ මහතා විසින් දර්ශන රැවන් දිසානායකයන්ට දැනුම් දී තිබෙනවා.

මෙවැනි වටිනා නිර්මාණ කිරීමට අපේ අරියරතන හාමුදුරැවන්ට සහ දර්ශන රැවන් දිසානායකයන්ට ශක්තිය හා දහිරිය නිරතුරැවම ලැබේවායි පතමි.






29 comments:

  1. සිංදුවේ voice clip එකක් දාගන්න් පුළුවන් වුනානම් මරු.

    ඔය කියපු හෙලංකඩ, කොලදින් වැඩ වගේ වචන මීට කලින් අහුවෙලා නෑ. //""කනේරැ මල් පිපෙන ලන්ද මෙදා සැරේ මල් වරන්ඩ""// මෙන්න මේ පදයන් හැඟුණු අර්ථය මතුවෙන ආකාරය ඔබ කියන ලෙසින්ම මාවත් විශ්මිත කළා ,
    //""මම හාමුදුරැවන්ගෙන් ඒ වචනයේ තේරැම විමසූ අවස්ථාවේ "එතුමා" බොහොමත්ම නිහතමානීව....""// මේ වාක්‍යයේ "එතුමා" කියන වචනය වෙනුවට "උන්වහන්සේ" කියලා යෝදාගත්තානම් ගැලපෙන බව මගේ අදහසයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉවාන් මලේ ඇත්තටම වීඩියෝ ක්ලිප් එක දාන හැටි මම දන්නේ නෑ. යූ ටියුබ් එකේ තියෙනවා.

      උඹට ස්තූතියි ඒ වරද පෙන්වා දුන්නට. උඹ හරි උන්වහන්සේ තමයි හරි.මම ගෙදර ගිහින් ලැපෙන් ලොග් වුනාම ඒක හදන්නම්.

      Delete
    2. ඉවාන්.....එතුමා, මෙතුමා කතාවෙත් ඇත්තක් තියෙනවා. .ඒත් වීඩියෝ එකේනම් නිකම්ම නිකම් K.Ariyarathna කියලා තමයි තියෙන්නේ. නිකන් කිව්වේ ගණන් ගන්න එපා.

      Delete
    3. දැනුයි සින්දුව ඇහුවේ ... ස්තුතියි සඳුන් සෙවනට

      Delete
    4. << ඒත් වීඩියෝ එකේනම් නිකම්ම නිකම් K.Ariyarathna කියලා තමයි තියෙන්නේ. >>

      අරූ, මේ වීඩියෝ එක එඩිට්/අප්ලෝඩ් කරලා තියෙන්නෙ ඒ හාමුදුරුවොමද කොහෙද ? ඒකයි ඒ මම හිතන්නෙ..

      Delete
  2. හරිම සුන්දර ගීතයක්

    ReplyDelete
  3. ස්තුතියි.. ලොකු දැනුමක් රාසාස්වදයක් ලැබුවා.

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තූතියි සංජීව මේ සටහන රස වින්ඳට!

      Delete
  4. යමකට ආසාවක් තියෙන අය තමයි ඒ දේවල් ගැන අවදියෙන් ඉන්නේ නේද? උඹ කියනකල් හාංකවිසියක් දන්නේ නෑ චන්දන.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හෙන්රි! අපි මේ දේවල් හොයාගෙන ගිහින් ඒ සැඟැවුන වටිනා නිර්මාණ අගයන්න ඕනේ. ඒක අපි ඒ කලා කාරයන්ගේ ඉදිරි ගමනට දෙන රැකුළක්. සියල්ල මුදලට නතුවූ මේ සමාජයේ හරිම අමාරැයි අව්‍යාජ ගැමි කලා කරැවකුට ඉදිරියට එන්න.

      Delete
  5. මම මේ ගීය අහලා නෑ.. අහලා බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. යූටියුබ් එකේ තියෙනවා මධූ මලේ. දර්ශන රැවන් හේලංකඩ කියලා සර්ච් කරන්න.

      Delete
  6. ගී සංවේදනාව ඉතාම අලංකාරයි. හර්ෂණ දිසානයකගේ ගීතයකත් මේ හේලංකඩ ගැන අහල තිබුනට වචන්යේ තේරුම හරියටම දැනගත්තෙ අද. දර්ශණ රුවන් කියන්නෙ නව පරපුරෙන් බිහිවුන ප්‍රතිභාපූර්ණ නිර්මාණ කරුවෙක්. ගොම රිටි අතර මැණිකක්.

    ReplyDelete
    Replies
    1. සහතිකම ඇත්ත මනෝෂ්! දර්ශනට ලොකූ ගමනක් යන්න පුළුවන්.

      Delete
  7. කොහොමද බන් මේ සින්දුව අහන්නේ..මේ හාමුදුරුවෝ කොයි පන්සලේද ඉන්නේ...ලස්සන පද රචනයක්නේ. අහන්නේ කොහොමද..

    ReplyDelete
    Replies
    1. පුදුම වේදනාකාරි හැඟීමක් එනවා. වීඩියෝ ක්ලිප් එක නොබලා සින්දුව අහන එක වඩාත් හොඳයි. තුශාරිගේ කටහඬ ඉතාමත් ලයාන්විතයි. තෑන්ක්ස් ගුණේ!!

      Delete
    2. යූටියුබ් එකේ තියෙනවා මචං! දර්ෂන රැවන් හේලංකඩ කියලා සර්ච් කරපං.
      හාමුදුරැවෝ අනුරාධපුරයේ සිවලා කුලම පැත්තේ කෝන්වැව කියන ගමේ. උන්වහන්සේ ලංඩනයේ චිසික්හි පිහිටි ලංඩන් බුඩිස්ට් විහාරයේ තමයි දැනට වැඩවසන්නේ.
      බොහෝ ජනප්‍රිය වූ දිවුල්ගනේ ගයන විරාජිනී ගීතයත් උන්වහන්සේගේ.

      Delete
  8. සිංදුවනම් මම අදමයි ඇහුවේ.. කොටිනම් හේලංකඩ කියන වචනෙත්.. ඒක තේරුමත් දාලම තිබුන හන්දා හොදයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ් මල්ලිට!

      Delete
  9. සංවේදී ගීතයක් චන්දන අයියේ..හැමදාම වගේ ඔබ අදත් අළුත් දෙයක් ගැන ලියලා..මේ පෝස්ටුව දකින තුරු මෙහෙම ගීතයක් ගැන දැනගෙන හිටියේ නෑ..බොහොම ස්තූතියි..:)

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ස්තූතියි තනි තරැවේ මගේ විචාරය රස වින්ඳට!

      Delete
  10. හේලංකඩ වචනෙ ඇහැව්වෙ අදයි ......
    ඔය ගෙවල් වල එළියේ ලනු ඇදක් හෝ බූරු ඇදක් තියෙනව .....
    ජෝ පප්ප ගම් වල ෂූටින් ගියාම ඔය ඇදක තමා නිදා ගන්නෙ ... ඒ ගෙවල් වල රාත්‍රිය ගත කරමින්.....
    විස්තරයට ස්තුතියි මචන්....

    ReplyDelete
    Replies
    1. විචාරය රස වින්ඳට ස්තූතියි මචං!

      Delete
  11. අපූරු ගීතයක් වගේම සුන්දර විචාරයක්...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මහේෂ් රස වින්ඳට!

      Delete
  12. හරිම අර්ථවත් ගීතයක්...අද වගේ රින්ග් ටෝන් වලට සිංහල ගීතය යට වෙලා තියෙන යුගයක පැහැදිලිවම උඩු ගං බලා පීනන්න ගත්ත උත්සාහයක් විදියටයි මේ ගීතය මම දකින්නෙ.හේලංකඩ වගේම තවත් වචන කීපයක් ඇහුවෙත් අද...ඒ වගේම ස්වාමීන් වහන්සේ ලවා ඒ වදන් වල අර්ථය විමසා ඔබ ඉදිරිපත් කර තිබෙන සටහනත් නිසා මේ පරිසරය අපට ආගන්තුක වුවත් ගීතය බොහොම සමීපව දැනෙනවා.

    ReplyDelete