Pages

Tuesday, 10 May 2016

එංගලන්තවාසී ආදීආනන්දීයයන් අපට පෙන්වා දුන් ආදර්ශය.....




ඉතාමත්ම වේගයෙන් වෙනස්වන ලෝකයේ හැම දෙයකදීම ඇත්තේ මහා තරගයකි. ඉගෙනීමට ඇත්තේ තරගයකි. මුදල් සෙවීමට ඇත්තේ තරගයකි. කොටින්ම ජීවත්වීමම මහා තරගයකි. සමහරු දිනති. සමහරු පරදිති. සමහරක් හති වැටී ඉවත් වෙති. ඒ අතර සමහරු මංමුළා වී දිවියම අඳුරු කර ගනිති. 

මා මේ තරගය ගැන විස්තර ඔබට ගෙනහැර පෑවේ වර්තමානයේ දරුවකු උපන් මොහොතේ පටන්ම දෙමාපියන් නිරතවන තරගය ගැන කතා කිරීමට පිවුසුමක් වශයෙනි. අද කාලයේ දරුවකු පාසලකට දමා ගැනීමේ තරගයෙන් පසු ඊළඟ මහා තරගය පස්වන වසරේ ශිෂ්යත්වයයි. බාලාංශයේදීම හොඳ , එසේත් නැතිනම් ජනප්රිය පාසලකට දරුවා දමා ගැනීමේ තරගයෙන් පැරදුණු දෙමාපියන්ගේ දරුවාව , එවැනි පාසලකට දමා ගැනීමේ ඊළඟ අවස්ථාව වන්නේ පහේ ශිෂ්යත්වය නිසා දරුවන්ට බාලාංශයේ පටන්ම ඒ සඳහා වෙහෙසීමට සිදුවේ. එහෙත් මෙම තරගයේ ඇති අති තියුණුභාවය නිසා එයින් ජයගන්නේ ඉතා සුළු පිරිසකි. 

අප කුඩා සංදියේ ගමේ පාසලේ සිට නගරයේ මධ්ය මහා විද්යාලයකට හෝ අගනුවර උසස් , ජනප්රිය පාසලකට ඇතුලත්වීමේ කඩ ඉම වූයේද පහේ ශිෂ්යත්වයම වුවත් මෙවැනි තරගයක් එකල නොතිබුණි. විභාග දෙකකින් යුක්ත වූ පහේ ශිෂ්යත්වය සඳහා විශේෂිතවූ වෙනම සූදානමක් නොවූ අතර අප විභාගයකට ලියන බවවත් නොදැන සිටියෙමු. නොදැනම විභාගයටද වාඩි වූයෙමු. 

අපට හෝ අපේ අම්මලාට එසේ වූවත් සමහර අම්මලාට නම් තම පුතුන් අගනුවර උසස් පාසල්වලට දමා ගැනීමේ සිහින තිබිණි. අප හතරවසරේ ඉගෙනුම ලබද්දී පාසලෙන් කොළඹ විශේෂ ස්ථාන නැරඹීම සඳහා අප රැගෙන ගිය අධ්යාපන චාරිකාවේදී සමහර අම්මලා,  අප රාජකීය විද්යාලය, ආනන්ද විද්යාලය හා නාලන්දා විද්යාල වැනි ජනප්රිය පාසල් ඉදිරිපසින් ගමන් කරද්දී අප ගිය බසයෙන් ඔළුව එළියට දමා එම පාසල් වෙත අත් දිගු කරමින් " අන්න බලාගන්න පුතා , ඔයාව අපි ලබන අවුරුද්දේ එවන ඉස්කෝලෙ..." කියමින් කෑමොර ගැසූ හැටි මට අද ඊයේ වගේ මතකය. කිසිත් නොදත් මම අටමස්ථානය වඳින්නට යද්දී අනුරාධපුරයට පළමු වරට පැමිණි ගැමියෙකු රුවන්වැලිසෑය හෝ අභයගිරිය දැක ,  දෑස් හා මුව ආයාගෙන ඒ දෙස බලා සිටින්නා සේ ඒ විසල් පාසල් දෙස නෙතු ආයා ගෙන බලා සිටියෙමි. 

පහේ ශිෂ්යත්වය පැමිණියේය. කොළඹ යන්නට පෙරුම් පිරූ සමහරු එම සිහිනය සැබෑකරගෙන වුන් අතර සමහරු සිහිනය බොඳ කර ගත්හ. කිසිදු සිහිනයක් නොතිබූ මා ඇතුළු කිහිප දෙනෙකු නොදැනීම විභාගය සමත් වී තිබිණි. 

මේ ගැන ලියද්දී දෙවන ශිෂ්යත්ව විභාගය දා උදේ සිදුවූ අමිහිරි සිදුවීමක්ද මගේ හදවත පසාරු කරමින් මතුව එයි. එදා උදයේ විභාග ශාලාවට යන්නට පෙර තාත්තා මාව ජය ශ්රී මහා බෝධිය වැඳ ආශීර්වාද ගැනීමට රැගෙන ගියේය. අප අපේ පාවහන් මකර තොරණ අබියස ගලවා තබා බෝධිය වන්දනා කර ආපසු ආ විට තාත්තා මට විභාගයට දමාගෙන යන්නට රැගෙන දුන් අලුත්ම සෙරෙප්පු කුට්ටම පෙනෙන්නට නොතිබිණි. මගෙ දෑස් කඳුළින් තෙත්වුණි. වහාම මා රැගෙන මර්කට් ටවුමේ බාටා සාප්පුවට ගිය තාත්තා මට එවැනිම සෙරෙප්පු කුට්ටමක් අරගෙන දී මා විභාග ශාලාවටද ඇරලුවේ මගේ ඔළුවද අතගා " ඕවා ගනන් ගන්න එපා පුතා " යැයි කියමිනි. එවෙලේ තාත්තා අතේ ඒ හදිසියට මුඳල් තිබුණාදැයිවත් මා නොදත් බව අද මම සිහිකරන්නේ කඳුළුපිරි දෙනෙතිනි. 

මේ වැල්වටාරම් කියා මම තවත් ඔබ වෙහෙසට පත්නොකරමි. එදා මා අනුරාධපුරයේ තනි කොට අගනුවරට පැමිණි මගේ මිතුරන් ඇතුළුවූයේ මගේ මේ ලිපියේ නිමිත්ත වූ පාසලටය. එනම් කොළඹ ආනන්ද විද්යාලයටය.  මගෙන් යමකු ඔබ කැමතිම පාසල කුමක්දැයි විමසුවහොත් මම කැමතිම පාසල මා උසස් පෙළ දක්වා අකුරු කළ අනුරාධපුර ශාන්ත ජෝශප් මහ විදුහල බවද මගේ දෙවැනියට කැමතිම හා මම ගරුකරන පාසල නම් කොළඹ ආනන්ද විද්යාලය බවද මගේ පිළිතුර වනු ඇත. එය හරියට මගේ මව් බිමවන ලංකාවට මගේ පළමු ආදරය හා ගරුත්වයද මම දැන් ජීවත්වන හා යමක් හරිහම්බ කරගන්නා එංගලන්තයට මා දෙවනුව ආදරය කරනවා වැනිය. 

ආනන්දයට මා ආදරය කරන්නේ ඇයි? අප සමග ලංඩනයේ වෙසෙන ශ්රී ලංකිකයින්ගෙන් පොදු වැඩක් කිරීමේදී ඉදිරිපත් වන හා එයට හදවතින්ම උදව්කරන හා යම්කිසි සේවයක් අපේ මව්බිම වෙනුවෙන් කරන අය ගතහොත් ඉන් බහුතරය ආදී ආනන්දයන් වීම මා ආනන්දය ගැන මෙතරම් පැහැදීමට හේතුවූ පළමු වැන්නයි. අනෙක් කාරණය නම් මා දැඩිලෙස ආදරය කරන ලේඛකයන්, ගීත රචකයන්, මාධ්යවේදීන් , ගායකයන් හා නළුවන් ඇතුළු කලාකරුවන්, දේශප්රේමීන් , දේශපාලඥයන්, ක්රීඩකයන්, වෛද්යවරුන් , ඉංජිනේරුවන් වැනි වෘතිකයන් ඇතුළු මෙකී නොකී යහපත් පුරවැසියන් රාශියක් ආනන්දයෙන් ලක්මවට ජනිත කර දීමයි. 

ආන්නදය ගැන ලිවීමට බොහෝ දේ ඇත. එය දිගු ඉතිහාසයකි. පුරාවෘතයකි. මෙවැනි ලිපියකින් හදිසියේ ඒවා ලිවීම එහි අභිමානයට කරන කැළලකි. එමෙන්ම ඒ ගැන බොහෝ ප්රවීණයෝ ලියා ඇත. එහෙයින් ඒ ගැන විස්තර ලිවීම මෙතැනින් හමාර කොට මට මෙම ලිපිය ලිවීමට හේතු පාදක.වූ කාරණය ඔබ වෙත ගෙන ඒමට අවසර. 

මට පසුගිය සෙනසුරාදාවේ , එංගලන්තයේ වෙසෙන ආදීආනන්දීයයන්ගේ සංගමය විසින් සංවිධානය කළ " ආනන්ද විද්යාලීය බක් මහ උළෙලට " සහභාගී වීමේ භාග්ය උදා විය. මා ආනන්දයේ අධ්යාපනය නොලැබුවද ලංඩනයේ වෙසෙන ආදීආනන්දීයයන් බහුතරයක් මා ප්රියකරන මගේ මිතුරන්වීම හා මා ඉහත කී ලෙස ආනන්දයට ඇති මගේ ආදරය නිසා ඊට සහභාගීවන ලෙස මගෙ සිත මා පෙළැඹවීය.

වැඩි ශෝභන කතා නොමැතිව බෞද්ධ හා ශ්රි ලාංකික සංසකෘතියට මුල් තැන දෙමින් උළෙල ඉතාම චාම්ව ඇරඹිණි. පිරිස පංච ශීලයේ පිහිට වූ වැඩ වඳාළ ලංඩනයේ ප්රධාන සංඝනායක බෝගොඩ සීලවිමල හා ලංඩන් බෞද්ධ විහාරවාසී කෝන්වැවේ අරියරතන යන ස්වාමීන්වහන්සේලා පිරිත් සජ්ගායනා කොට උළෙලට සෙත් පතා ආශීර්වාද කළහ. ආදිආනන්දීයයන්ගේ දරුවන් ගී ගැයුමින් හා රැඟුමින් අප පිනවූහ. ඒ අතරතුර වැඩිහිටියන් සඳහාද පොල් ගෑම හා කඹ ඇදීම වැනි තරග පැවැත්වුණි. පැමිණවුන් සැවොම පාහේ මේවා නැරඹීමෙන් උපරිම වින්ඳනයක් ලබන අයුරු දක්නට ලැබිණි. 

අළුත් අවුරුදු චාරිත්ර වාරිත්ර සංකේතමත් කරමින් කිරිබතින් හා කැවිලි පෙවිලින් පැමිණවුන් පිරිසට සංග්රහයක්ද පැවැත්වුණි. ඉන්පසුව වේදිකාව සංගීතවත් වූයේ ශ්රාස්ත්රීය ගායනා කිහිපයකින් යුතු පුංචිපහේ පැඳුරු සාජ්ජයකිනි. ඊළඟ අංගය වූයේ කවුරුත් පුල පුලා බලා සිටි නාට්යයයි. භූමින්ද, ජනප්රිය, පණ්ඩුල , හර්ෂ , ලුම්බිනී හා රොහාන් ඇතුළු ආදීඅනඳ පුතුන් හා ඔවුනගේ බිරින්ඳෑවරුන් එක්ව රඟ දැක්වූ ඒ හාස්යයෙන් පිරි නාටකය මුළු ශාලාවම සිනාවේ ගිල්ලීමට සමත් වූ අතර ඔවුන්ගේ රංගන කුසලතාවයන්ද මේ මගින් මොනවට විදහාලීය. 

අවුරුදු කුමාරිය තේරීමේ අංගයද ප්රේක්ෂක අත්පොළසන් මැඳ මහා ජයට පැවැත්වුණි. උලෙළේ කථනයෙන් සහය වූ අනඳ පුතුන්ද ඒ පිළිබඳව වූ ඔවුනගේ ප්රතිභාව මනාව විදහා ලීමට සමත් වූහ. 

එංගලන්තයේ ගෙවන කාර්යබහුල දිවිය තුළ මෙවැනි දේ සඳහා පුහුණුවට වෙලාව සොයාගෙන මෙම උළෙලට සහභාගිවු හා නන් අයුරින් සහය දැක්වූ සියලුම දෙනාහට අපගේ කෘතඥතාවය හිමි විය යුතුය. මෙතරම් දුරු රටක සිටියද තම පාසල් මෑණියන් අමතක නොකොට සහ දේශීය චාරිත්ර වාරිත්ර අමතක නොකොට ඉතා දුෂ්කරතා මධ්යයේ වුවද සමගිව එකා මෙන් ක්රියා කොට මේ කළාවූ මහඟු ක්රියාව අනෙකුත් සියලුම පාසල් වලටත් අනර්ඝ ආදර්ශයකි. ආනන්ද විද්යාලයේ අභිමානය තව තවත් ඔප් නැංවීමට මෙම ව්යායාමය සමත්වූ බවද නොකියාම බැරිය. 

වැඩිහිටි, මැදි වයසේ හා තරුණ ආදී සිසුන් එකට එකතු වී සිටිනු දැකීම කාගෙත් නෙතට ගෙනාවේ කඳුළකි. එය ඒ තරම්ම සංවේදී හා හැඟුම්බර දසුනක් විය. අවසන සැවොම එකතු වී ආනන්ද විද්යාලීය ගීය ගයද්දී ආනන්ද විද්යාලයෙන් දැයට බිහිකළ ප්රවීණ මාධ්යවේදියකු හා ලේඛකයකුවන සුනිල් මාධවයන් තමන් උගත් ආනන්දය ගැන සැමවිටම පාහේ අභිමානයෙන් විස්තර කරද්දී ඉතාමත් ආදරයෙන් සිහිපත් කරන ඒ එදා තිබූ සල් ගස් පෙළ මා දැක නොතිබුණත් ඉන් පිපී දිලුණු සල් මල් වල සුවඳ නම් මට අපූරුවට දැනිණි. 

සටහන : චන්දන ගුණසේකර

5 comments:

  1. අනුරාධපුරේ කිව්වම මට මතක් වෙන්නේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලය. මගේ ජීවිතේ ඉතාමත් කෙටි කාලයක් තුල ගොඩක් සුන්දර මතකයන් වගේම දැනට අසුන්දර මතකත් විසිරිච්ච තැනක් තමා සෙන්ට්‍ර‍ල් එක

    ReplyDelete
  2. මවුබිමෙන් ඈත් වෙලා ඉද්දි මේ වගේ සිදුවිම් බොහොම තදින් හිතට දැනෙනවා නේද, මං හිතන්නේ විවිධ හේතු මත වෙන රටක ජීවත් වුනත් හැදුනු වැඩුනු රට , සිරිත් , විරිත් අමතක කරන්න බැහැ.. හැබැයි එක දෙයක් මං දකිනවා ආසියාතික රටවවල මිනිස්සු අධ්‍යාපන තරඟය පස්සේ දුවනවා වැඩි සම්භාවිතාවකින් ලොකේ මොන රටේ ජිවත් වුනත් තමන්ගේ දරුවන් සම්බන්ධයෙන්...

    ReplyDelete
  3. /* මගෙන් යමකු ඔබ කැමතිම පාසල කුමක්දැයි විමසුවහොත් මම කැමතිම පාසල මා උසස් පෙළ දක්වා අකුරු කළ අනුරාධපුර ශාන්ත ජෝශප් මහ විදුහල බවද මගේ දෙවැනියට කැමතිම හා මම ගරුකරන පාසල නම් කොළඹ ආනන්ද විද්යාලය බවද මගේ පිළිතුර වනු ඇත. */

    ඒ කියන්නේ ඒලෙවල්ස් කරන්න ආපසු අනුරාධපුරේ ගියා ද?

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ රසිකලොජිස්ට්. මම අනුරාධපුරේමයි හිටියෙ. කොළඹ ආනන්දයට ආවෙ නෑ. ඒත් මම අපුර ශාන්ත ජෝශප් එකට පළමු කැමැත්තනම් දෙවැනියට කැමතිම පාසල ආනන්දය කියලයි මම කිව්වෙ. ඔබට ස්තූතියි සටහන කියෙව්වට! ජය!!

      Delete