" සුනිල්" යන නාමය ලංකාවේ ඉතා ප්රචලිතය.අපට බොහෝ හුරැය. හදවතට සමීපය. ආදරණීයය.
කලා ලෝකයේ නම් සුනිල්ලා බොහෝය.
සිංහල සංගීතයේ පෙරටු ගාමීයෙකුවූ හා එයට අපේ කමක් රිංගවූ සංගීතවේදී "සුනිල්" සාන්තයෝ මුලින්ම මගේ සිහියට එන සුනිළුන්ය. ගීත දහස් ගණනක් ලියූ සිංහල ගීතයට හා සාහිත්යයට අනුපමේය සේවයක් කරන්නාවූ මහාචාර්ය "සුනිල් " ආරියරත්නයන්, ප්රවීණ ගායනවේදී " සුනිල්" එදිරිසිංහයන්, ගේයපද රචක " සුනිල්" සරත් පරේරා, සිනමාවේදී " සුනිල්" සෝම පීරිස් , සිනමාවේදී සුනිල්" ටී ප්රානාන්දු හා ජිප්සීස් නායක ගායනවේදී " සුනිල්" පෙරේරා කලාලොව බැබළවූ තවත් සුනිළුන් කිහිප පොළක් පමණි.
මේ සුනිළුන් සමූහය අතර තවත් " සුනිල් " කෙනෙකු සිටියේය. ඔහුව බොහෝ දෙනෙකු ඇමතුවේ " සුනිල් අයියා" යන ආදර නාමයෙනි.
ඒ අසූව දශකයේ මැඳ භාගය විය. රටේ නීතිය වල් වැදුණු රාජ්ය ත්රස්තවාදය ඇතුළු නිලලත් හා නොලත් මහා ත්රස්තවාද බූවල්ලෙකූගේ අඬු පඬු සතර දිග්භාගයේම විහිදී ජනතාවගේ හුස්ම පොද සිරවී තිබුණු යුගයයි. මරණය හැරැනු කොට ඔවුනට දැකගත හැකි වෙනත් එකදු සිහිනයක් හෝ නොවිණි. ඒත් ඒ කලාතුරකින් මහන්සියටම නින්ද ගිය රැයකදී පමණි. භීෂණය රජ කළ ඒ අඳුරැ රාත්රීවල සඳ පවා වලාකලු අතර. සැඟවුණේ මේ අවනීතිය දෙස බලා සිටින්නට බැරි තැනය.
යාමට තැනක් නොමැතිව, කිසිදු විනෝදයක් නොලබා මරණ බියෙන් ඇළලී ගෙයි මුල්ලේ එකතැනක සිරවූ යෞවනයේ උරැමකාරයන්වූ අපට ඒ මොහොත ගැන සිතනවා හැරෙන්නට වෙන කළ හැකි කිසිදු දෙයක් නොවුණි.
මෙවන් පරිසරයක කළහැකි අන්කිසිත් නොමැතිව ගෙයි ඉදිරිපස ඉස්තෝප්පුවේ බිම දිගාවී අකුරක් නෑර කියවූ ඉරිදා දිවයින සංග්රහය පුවත්පතේද කිසිදු සිහින නොතිබුණි. එකල කරැණාදාස සූරියආරච්චි හා චන්ද්රසිරි දොඩංගොඩ යන ලේඛකයන්ගේ ලිපි කියෙව්වා නොව උරා බිව්වා යැයි පැවසුවොත් මා නිවැරදිය.
දිනක මේ විසල් ලිපි අතර තිබූ එක්තරා පුංචි තීරැ ලිපියක් අහම්බෙන් කියැවූ මට ඒ කතාකරන්නේ මගේම හදවත නොවේදැයි සිතුණේ එය ඒ තරමට අව්යාජ හා ආදරණීය සටහනක් වු නිසාවෙනි. එහි ශීර්ෂය " සත්යවාදියෙකුගේ දිනපොත" විය. එය ලියා තිබුණේ මා කලින් සඳහන් කල අනිකුත් සුනිළුන් අතර වුන් " සුනිල් අයියාය" හරියටම කියනවානම් සුනිල් මාධව ප්රේමතිලක නම්වූ මානව හිතවාදියය. සත්යවාදී පත්රකලාවේදීයය. මහා කවි මීමන ප්රේමතිලකයන්ගේ ආදරණීය පුත්රයාය.
එතැන්පටන් දිවයින ඉරිදා සංග්රහය අතට ලැබුණු විගස මගේ නෙතු මුලින්ම සොයා ගියේ " සත්යවාදියෙකුගේ දිනපොතයි". ගත දාහයෙන් තෙමූ ඒ කර්කශ අව්වේ ගිනි රශ්මිය මේ සහෘද සටහන් කියවද්දී මට නොදැනිණි. වියළි සුළඟේ හමා ආ මිනී පිළිස්සෙන සුවඳ මගේ නාසයේ නොවැදිණි. ඒ සටහන්වල වූ අව්යාජත්වය අපේකමනම් එයයි.
1986 ජූලි12 එතුමාගේ දිනපොතේ සටහන වූයේ මෙසේයි.
" තාත්තා මිය ගොස් අදට වසර 21 කි. හාමුදුරැවන්ට දානයක් දීමට අම්මා තුළ ආශාවක් තිබුණත් හැම දෙයකටම හරස්වන ආර්ථිකය එයටද හරස් විය. හිඟන මිනිසුන්ට කෑම පාර්සල් කීපයක් බෙදා දීමට තීරණය කළේ ඒ නිසාය. ඒවා බෙදා දීමට වෙලාවක් ලැබුණේ නැත. නගරය මැද කෑම පාර්සල් අතරැදහන් වූවා සේය. රටේ වැඩි දෙනා හිඟන්නන් වී ඇත. "
" තාත්තා ගැන මට දුකක් නැත. ඔහු සුන්දරත්වය විඳ මිය ගිය මිනිසෙකි. එහෙත් අද සෑම දෙයක්ම අසුන්දර වී ඇත. ඔහු ලියූ දේ අද ලිවිය යුතු නැත. "
එදා දෑසේ කඳුළු පුරවාගෙන අතේ ශත පහක් නැති , අනාගතය ගැන කිසිඳු නිශ්චිත නිගමනයක් නොමැති හා මරණයේ දොරකඩ වුන් තරැණයකු ලෙස මා මේ සටහන කියැවූ බව මට අද මෙන් මතකය.
එතුමා ලියූවේ අපේ කතාවයි. අපගේ හෘදසාක්ෂියයි. එම සටහන් හා අප , දෙදෙනකු නොව එකකු වූයේ එහෙයිනි.
භීෂණය , මර්දනය සහ ඝාතනයට එරෙහිව වසර ගණනාවක් තිස්සේ පුවත්පත් කලාවේදියෙකු තම පන්හිද මෙහෙයවමින් කළ හුදෙකලා අරගලයනම් එයයි. . එමෙන්ම එය හුදෙක් නමට පමනක් සිටින බොහෝ කාඩ්බෝඩ් සත්යවාදීන්ගේ මෙන් නොව මුළු ආත්මයෙන්ම සත්යවාදීවූ සැබෑ මිනිසෙකුගේ හද ගැහුණු රාවයයි.
එහෙත් එදා අප වෙනුවෙන් ලියූ, පීඩිත පංතිය වෙනුවෙන් හඬක් නැගූ එතුමාගේ පන්හිඳ අද නිහඬව ගිලන් ඇඳකය. එතුමාට ඇවිදින්නට පවා නොහැකිය. ආර්ථිකය අඩපනය.
සුනිල් මාධවයන්ද තවත් අපට වුන් යුක්තිගරැක මිනිසුන් කිහිප දෙනෙකු මෙන් සමාජය වෙනුවෙන් වැඩකළා මිස හරි හම්බකර ගත්තේ නැත. අප ඔහුට ආදරය කෙරැවාට වඩා දස දහස් ගුණයකින් ඔහු අපට ආදරය කළේය. දැන් අපට ගිලන්වී අසරණව සිටින ඔහු වෙනුවෙන් ඒ අපට දැකවූ ආදරයට හා සමාජයට කළ සේවයට කළගුණ දැක්වීමේ අවස්ථාව උදාවී ඇත. අප සිතා නොසිටියත් එතුමාගේ ධර්මය හා ඇදහීම එය නොවුණත් රැපියල් ශත නැතිව කිසිම දෙයක් කළ නොහැක. එහෙයින් එතුමා බලන්නට ගොස් කළ හැකි උදව්වක් සපයාදී එතුමාට ශක්තියක්වීම අප සැමගේම යුතුකමය. වගකීමය. ඔබට හැකිනම් ඔබගේ වටිනා කාලයෙන් විනාඩි කිහිපයක් වැයකොට එතුමාට කළ හැක උදව්වක් තිබේදැයි බලන්න. මන්ද නැතිවූ දිනෙක දුක් වනවාට වඩා හෝ ගුණ ගයනවාට වඩා එය බෙහෙවින්ම වටිනා ක්රියාවක් වන බැවිනි.
සුනිල් මාධවයනී, දයාබර සුනිල් අයියේ ඔබට ඉක්මන් සුවය පතමින් මම ඔබගේම දිනපොතේම සටහනක් මෙලෙස ලියා තබමින් අදට නතරවෙමි. මන්ද ඒ සටහන් අදටත් වලංගු හෙයිනි. ඔබට චිරං ජයතු!
" 1986 ජූලි 11
ජීවිතය බෙහෙවින් ඛෙදජනකය. මෙබඳු කලක ජීවත්වීමට සිදුවීමත් ජීවන අරගලයට මුහුණ දීමට ඇති අපහසුතාවයත් එයට ප්රධානම හේතූන් යැයි මට සිතේ. ජීවිතය මොහොතින් මොහොත පරවෙමින් ගිලිහී යන දෙයක් මිස යළි යළිත් දළු ලමින් ලෝකයට එක්වන දෙයක් නොවන බව සත්යකි. එනමුදු මිනිසෙකු මිය යන තුරැම ජීවත් විය යුතය. ඒ සඳහා මේ දින පොත මට අනුබලයක් වනු ඇත. බොහෝ කලකට පසු යළිත් දිනපොත ලිවීමට සිත්වූයේ එනිසාය. රැපියල් ශත රජකරන යුගයක රැපියල් ශත නැති එවුන් අපායක ජීවත් විය යුතුය. සිහිනෙන් දුටු සුන්දර වූ පුෂ්පයක් මෙන් මනස විකසිත කොට ගෙන මිරිඟුවක් පසු පස දිව යන පාදඩයකු වීමට මා සූදනම් නැත. මා දකින, අසන සහ සිතන සත්ය තුළ ජීවත් වීමට මේ දිනපොත මට පිටුවහලක් වනු ඇත. එය මම අත්දැකීමෙන්ම දනිමි. මා පිළිගන්නා සත්ය මෙහි ලියන්නට කිසිවෙකුගෙන් හෝ අවසර අවැසි නැත. කිසිවකුටත් බියවිය යුතු නැත. සත්ය සමග ජීවත්වෙන්නා සැබවින්ම ජීවත්වන බව මම පිළිගනිමි. "
චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය
චන්දන,
ReplyDeleteඅැත්තට ම සුන්දර මිනිහෙක්....... අගෙයි
සුනිල් මාධව ප්‍රේමතිලක සැබවින්ම හදවතට එකඟ මාධ්‍යකරණයේ නියෙලුනු පුද්ගලයෙක්, ඔහු එක්ක හිරු පත්තරේ වැඩකරපු චරිත අද ඉන්න තැනයි සුනිල් ඉන්න තැනයි??
ReplyDeleteවටිනා සටහනක්.. සුනිල් අයියා මේ සමාජයට ගැලපෙන්නෑ. මොකද හැම එකාම ආත්මාර්ථකාමි නිසා.. ස්තුතියි දැනුවත් කිරීමට චන්දන
ReplyDeleteHmm..
ReplyDeleteමිනිස්සු වෙනුවෙන් කතා කරපු සැබෑ මිනිස්සු කවදාවත් මුදලට ගන්න බැරිවුණ නිසා ඒ මිනිස්සුන්ට මැරිලා යන්න සිද්දවුනේ දුප්පතුන් විදිහටම තමයි. එත් ඒ මිනිස්සු ජීවිත පරදුවට තියල රකින්න උත්සහ කරපු පන්තිය හැමදාමත් කඩේ යන්නේ ධනපති පන්තියට.. එහෙම බැලුවාම මේ සමාජ ක්‍රමය එක්ක පීඩිත පන්තිය ගැන කථාකරන එක තේරුමක් නැති වැඩක්ද මන්දා... සුනිල් මාධව ගැන ලිව්වට පිං
ReplyDeleteසුනිල් අයියාගෙ කතා ඉස්සර සිළුමිනේ තීරු ලිපියක් ලෙස කියෙව්වෙ හරිම ආසාවෙන්. මෙවන් සුන්දර මිනිසෙකු ගැන ලිව්වාට ස්තූතියි!
ReplyDeleteජීවිතය වරද්දා ගත් පුද්ගලයකු වේ නම් ඔහු පුවත්පත් කලාවේදියකු විය යුතු යැයි පත්තරකාරයන් සම්බන්ධයෙන් බටහිර වූ එක් අපූර්ව හැඳින්වීමක් වේ. එහෙත් මේ වරද්දා ගැනීම ද පත්තර කලාව තුළ මාධ්‍යවේදීන්ගේ විශ්වාසය මත රඳා පවතී. සියල්ලට වඩා ජීවිතය අගනේය යනුවෙන් වූ පාඩමක් ගවේෂණාත්මක මාධ්‍යකරණයේදී පවා උගන්වනු ලැබුව ද සිය ජීවිත පවා අනතුරේ හෙළා අතුරේ යෑමට නොපැකිළෙන මාධ්‍යවේදියෝ එදත් සිටියහ. අදත් සිටිති. ඔවුන්ට පැහැදිලි දේශපාලනයක් ඇති අතර ඒ දේශපාලනයේ සීමා මායිම් තීරණය වන්නේ පොදු ජනයාට ඇති ප්‍රේමය මතය. පන්හිඳ කගපතක් සේ දකින එවැන්නෝ මහජනයාගේ සෙනෙවිවරු වෙති. රාජ්‍ය පුරා භීෂණය පැතිරී ගිය අවසන් අඳුරු සමයේදී එසේ පන්හිඳ කගපතක් කරගත් සෙනෙවිවරු රැසක්ම වෙති. සුනිල් මාධව ප්‍රේමතිලක යනු එම සෙනෙවිවරුන් අතර සිටි පෙරමුණේ රාල කෙනෙකි. මාධ්‍ය දිවිසැරියේ අඩසියවසක් සපිරෙන මොහොතේ ජනතා පත්‍රකලාවේදියකු හැටියට සිය ආදරණීය සගයන්ගෙන් මෙන්ම සුවහසක් වූ සහෘද සටන් සගයන්ගෙන් පාඨක ජනයාගෙන් බුහුමන් ලැබීමට තරම් සුනිල් අයියා භාග්‍යවන්ත වී ඇත්තේ එහෙයිනි.
ReplyDelete