දෙදහස් පහළොවේ නොවැම්බර් 3
ඊයෙ සුනිල් මාධවයන්ට කතා කළාට පස්සෙ හිතට දැනුණෙ මහ පුදුම තනිකමක්. ප්රේමකීර්ති ද අල්විස් සූරීන්ගේ චරිතාප්රදානය කියවලා ඉවරකළ දවසෙත් මෙවැනිම හැගීමක් තිතට දැනුණු බව මට මතකයි. ඒක වචනයෙන් විස්තර කළ නොහැකි අමුතුම හැගීමක්. මම , මොනවද අපෙන් කෙරෙන්න ඕන කියල ඇහුවම මොනවත් ඕන නෑ හැමදාම සහෘදව ඉන්න කියපු එක තමයි මගේ හදවතට තදින්ම කා වැදුනෙ.
අදත් එතුමට කතා කළා. හරිම සතුටුයි. එක වෙලාවක ඒ පැත්තෙන් කිසිම හඬක් නැති නිසා ඔබතුමාට මාව ඇසෙන්නේදැයි මම විමසුවම " ඔව් ඔව් ඇහෙනවා ඒත් මට සතුටටයි දුකටයි කතා කරගන්න බැරිවයි ඉන්නෙ " කියල එතුමා කිව්වහම මගේ දෑස් වලට පිරුනු කඳුළු නවත්වාගත්තෙ බොහොම අමාරැවෙන්. මේ තමයි අව්යාජ සංවේදිත්වය. එතුමා එකක් හිතේ තියාගෙන තව එකක් ලියපු කෙනෙක් නෙමෙයි. සැබෑම කලා කරැවකු නම් තමන් ලියන කියනදේ තමන්ගෙම ආත්මයම විය යුතුයි යන්න මගේ විශ්වාසයයි. එසේ නැතිනම් එහි ඇත්තේ රඟපෑමක් පමණයි.
කලා කරැවන් ගැන , විශේෂයෙන්ම අපේ රටින් බිහිවූ අය ගැන මගෙ හිතේ තියෙන්නේ අසීමිත ආදරයක්. ඒ මම ඔවුනගේ නිර්මාණ මගේ ආත්මයම කරගෙන සිටින නිසා වන්නට ඇති. මේ අය වයසට ගියාම පුදුම විදිහට අසරණ වෙන්නේ. එංගලන්තය ඇමෙරිකාව වැනි රටවල නම් ඔවුන් කළ නිර්මාණ වලින්වත් ඔවුන්ට ආදායමක් ලැබෙන විදිහටයි ක්රමවේදීන් සකස්කරලා තිබෙන්නෙ. ඒත් ලංකාවෙ කොහෙද එහෙම වැඩ පිළිවෙළක්.
පොදු ජනතාවත් සමඟ ඉතා විනෝදෙන් සහ සැහැල්ලුවෙන් ගත කළ අති සංවේදී බහුතරයක් කලාකරැවන් පුළුවන් කාලේ අනාගතයට යමක් හරි හම්බ කර නොගත් එකට සමහරු ඔවුනට දොස් කියන්න පුළුවන්. ඒත් මම නම් එහෙම හිතන්නෙ නෑ. කලාව වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතයම කැප කළ ඔවුන්ගේ ඒ දුර්වලතා අමතක කොට අපට හැකි පමණින් ,ඔවුන් අප වෙනුවෙන් කළ සේවයට කෘතගුණ සැලකීමයි අප අතින් විය යුත්තේ.
මෙවන් වැඩ වලට මූලික වෙල වැඩ නොකොළොත් එය හරියට නොකෙරෙන බව මා අත්දැකීමෙන් දන්නවා. එමෙන්ම එහෙම වැඩවලට අතගැහුවම ඒවා කරන්න අය නැති වුණාට දොස් කියන්න, වැරඳි හොයන්න නම් ඕනතරම් අය ඉන්න බවත් අත්දැකීමෙන්ම මම දන්නවා. ඒත් හොඳ වැඩක් කරල ඒ අසරණයන්ගේ මුහුණෙ සිනහවක් දකිනවිට ඒ ලැබෙන දෝෂාරෝපණ මට අමතක කරන්න පුළුවන්.
දෙදහස් පහළොවෙ නොවැම්බර් 4
බ්රිතාන්යයේ වසරකට දික්කසාද වන සංඛ්යාව ලක්ෂ දෙකක්ලු. අද උදේ සේවයට යන අතරෙ නිවුස් වල කියනව ඇහුණා. බඳින උන් ඔක්කොම දික්කසාද වෙනවද මන්දා. මේක මහා අබුද්දස්ස කාලයක්.
අපි කුඩා සංදියේ ලංකාවෙ දික්කසාදය කියන වචනයත් හරියට මිනී මරනවා වගේ කවුරැත් කරන්න සහ කියන්න පවා බියවූ වචනයක්. ඒත් දැන්නම් ලංකාවෙත් දික්කසාදය සාමන්ය දෙයක් බව ඇසෙන කතා වලින් පෙනෙනවා. අපේ අම්මලගෙ කාලෙ ඉතිං බැන්ඳොත් බැන්ඳම තමයි. මොන දුකක් හරි දරාගෙන එකට උන්නා. විශේෂයෙන්ම දරැවො නිසා. ඒත් එහෙමත් ඕන නෑ කියලත් හිතෙනවා. නමුත් මෙවැනි දෙයින් අසරණ වෙන්නෙ දරැවෝ. පුදුම වැඩේ කියන්නෙ පෙම්වතුන් විදිහට හොඳින් සිටින අයම විවාහය කියන නීතිමය ලියවිල්ලට යටත් වුණාම වෙනස්වන ආකාරයනෙ.
මේ රටවල සංස්කෘතිය අනුව නම් එයාලා එකට ජීවත් වෙලා දරැවොත් ලැබුණට පස්සෙ තමයි තමන්ට විවාහ වෙලා එකට ඉන්න පුළුවන්ද බලන්නෙ. මෙහෙ දහ දෙනෙකුට කතා කළොත් නම දෙනෙකුම දික්කසාද වෙලා. එක්කො එකට ජීවත් වෙනවා විවාහ වෙලා නෑ. බහුතරයක් එකට ඉන්නවා ඒත් පහුගිය විවාහ වල ළමයි දෙන්නටම ඉන්නවා. හරිම සංකීර්ණ සහ සම්බන්ධතා. ඒත් හරිම සැහැල්ලුවෙන් ඉන්නවා.
විවාහය හෝ ආදරය කියල දෙකක් නෑ. දෙකම එකයි. එකිනෙකා කෙරෙහි අවබෝධය, කැපවීම හා එකඟතාවය තමයි මේදේවලට මුල්වෙන්නේ. ආදරය කරන්න ඕනෙ කැපකිරීමෙන් සහ ආපිට දෙයක් බලාපොරොත්තු නොවී. එතකොට දුකක් නෑ. ජීවිතය කොච්චර නම් කෙටිද? කවුරුත් මේ ගැන හිතනවනම් ප්රශ්ණ සෑහෙන දුරට අඩුවෙයි.
මේවා ගැන හිත හිත ඔළුව තෝන්තු වෙලා ගෙදර යන කොට තමයි ලස්සන මුතු අකුරින් මගෙ නමට ලංකාවෙන් ආපු ලිපයක් මේසෙ උඩ තියෙනවා දැක්කේ. තාක්ෂණයේ දියනුවත් සමඟ අතින් ලියුම් ලිවීමේ සංස්කෘතිය වැළලී ගිය මේ යුගයේ අවුරුදු පහළොවකට පමණ පස්සේ මට ලබුණු මේ ලිපිය විවෘත කළේ ඉතාම නෙඉවසිල්ලෙන් හා කුතුහලයෙන්.
ලියුම එවලා තිබුණේ සම්මානනීය සිනමාකරැවෙක්. අඹ යහළුවෝ ටෙලිනාට්ය නිර්මාණය කොට අපේ හදවත් දිනාගත් සුදත් දේවප්රිය එතුමයි. මේ තාක්ෂණයට පිංසිදුවන්නට එතුමා දැන් මගේ සමීපතම හිතවතෙක්. මගේම සහෝදරයෙක්. මා කපුගේ සූරීන් ගැන ලියූ ලිපියට සහ එතුමා ගැනම ලියූ ලිපියටත් ස්තූති කරමින් ලියා තිබූ ඒඅව්යාජ ලිපිය මම හදවතට තුරුළු කරගත්තේ ඉතාමත්ම සෙනෙහසින්. සුදත් දේවප්රියයන් කෙතරම් නම් නිහතමානී සුන්දර පුදගලයෙක්ද? එතුමාට මගේ ආචාරය.
අසරණ මිනිසුන්ට සුබ සෙත සලසන්නට සහ සිනමාවේ අභිවෘද්ධියට විශාල සේවාවක් කළ දිරිය කතක්වූ සෝමා එදිරිසිංහ මැතිනියගේ අභාවය ගැන දැනගත්තේ මුහුණු පොතින්. ජීවත්ව සිටියදී එතුමියගේ පිංතූරයක් පවා පළ නොවූ මුහුණු පොත එතුමියගේ පිංතූරවලින් හා ගුණ ගායනා වලින් වැසී ගිහින්.
ලංකාවෙ පහළ වූ දිරිය කතුන් ඉතරින් සිරිමාවෝ බංඩාරනායක මැතිනිය ඇරුනම මගෙ සිතේ විශාල ගෞරවයක් සෝමා එදිරිසිංහ මැතිනියටත් තිබුණා. තම සැමියාගේ අකල් වියෝවින් පසු දරුවන් සමඟ තනිවූ එදිරිංසිංහ මැතිනිය දියණුවේ හිණි පෙත්තටම නැග , මෙතෙක් කල් පැමිණි ගමන සැමටම ආදර්ශක්. ඇය ව්යාපාර අංශයෙන් ලැබූ දියුණුව සුළු පටූ නැහැ. එමෙන්ම සමාජ සේවා වැඩ සහ සිනමාපට දහනමයක් තැනීම සඳහා ලබාදුන් සහයෝගය අපට කවදාකවත් අමතක කරන්නට බැහැ. සිනමාට නිත්ය නිෂ්පාදක යන තනතුරක් නොමැති ලංකාවේ බොහෝ වටිනා චිත්රපට අධ්යක්ෂකගේ මනසේ ඇඳි සිහිනයක්ම පමණක් වී තිබෙන්නේ සෝමා එදිරිසිංහ මැතිනිය වන් නිෂ්පාදකවරු අපට නැති නිසා. එතුමියගේ වියෝව අපේ රටටත් විශේෂයෙන්ම සිංහල සිනමාවටත් පිරවිය නොහැකි පාඩුවක් වේවි.
දෙදහස් පහළොවෙ නොවැම්බර 5
තවත් ශ්රේෂ්ඨ මිනිසෙකුගේ නික්ම යාමක් ආරංචි වුණේ ඊයේ රාත්රියෙමයි. පේරාදෙණිය සරසවියෙ යාන්ත්රික ඉංජිනේරු අංශයේ හිටපු ප්රධානියාවූ මහාචාර්ය මහලිංගම් ගුරු පියාණන්ගේ අභාවයයි ඒ. එතුමා ගැන ගුණගී හා කථන වලින් මුහුණු පොත පිරී යද්දී මගේ මතකයත් අවුරුදු විස්සකකට විසි තුනකට පසු පසට ගියා. බොහෝ ගුරුවරුන් අතරේ එතුමා පොළොවෙ පයගසා , සිසුන් සමඟ සිටි හා කෙළින් වැඩ කළ ආචාර්ය වරයෙක්. ලෝකයේම නමක් තබන වැඩක් කොට ඒ සඳහා ලැබුණූ වරප්රසාද පසෙකලා ඒ වෙනුවට ජෙට් ඇංජිමක් පමණක් ඉල්වාගෙන ලංකාවේ සිසුනට ඉගැන්වීමට එතුමා පැමිණීම අති උතුම් පරිත්යාගයක්. එවැනි පුද්ගලයන් දැන්නම් මේ සමාජයේ ඉන්නවාදැයි සැක සහිතයි.
මගේ දිවියේ හමුවූ බොහෝ උතුම් ගුරුවරුන් අතුරින් මහාචාර්ය මහලිංගම් මහතා හැරුනු කොට මගේ හදවතේ ඉහළම තැනක සිටිනා අනෙක් ගුරුවරයත් උපතින් දමිළ ජාතිකයෙක්. ජන්මයෙන් හෝ ජාතියෙන් මිනිසා උතුමකු හෝ වසලයකු හෝ නොවනබවට දෙසූ බුදු බණ නැවතත් පසක් කරමින් මා කියන්ට යන මේ ගුරු පියාණන්ද තම දිවිය කැප කළේ සිංහල දරැවන් වෙනුවෙන්. එතුමා තමයි මා ගිය අනුරාධපුර ශාන්ත ජෝශප් විදුහලේ හිටපු ප්රධාන ආචාර්ය ආර් ස්ටැනිලොස් ගුරු පියා. එතුමාත් මහාචාර්ය මහලිංගම් මහතා මෙන්ම අද්විතීය උතුම් චරිතයක්. මේ අවස්ථාවේ මේ පරහිතකාමී මිනිසුන් දෙදෙනාටම මගේ උපහාරය පුද කරමි.
ඔවුන් ජීවත්ව සිටින කාලයේ ලිපියකින්වත් මගේ උපහාරය පළ කරන්නට බැරිවීම ගැන මට දැනුණෙ වරඳක් කළා වැනි පසුවීමක් මහලිංගම් මහත්තයා ගැන ලිපියක් සහ කවියක් ලියල පළ කළත් හිතේ ඇතිවූ ඒ හැඟීම පහකරගන්න මුළු දවස පුරාවටම උත්සහ කළත් හැකිවූයේ නැහැ.
දෙදහස් පහළොවෙ නොවැම්බර් 6
ලංකාවෙ ඉන්න මගෙ පොඩි නංගිගෙ ජන්ම සංවත්සර දිනය අද. උදෙන්ම කතා කරලා ඇයට සුබ පැතුවත් හිතේ ඇතිවූනේ දුකක්. අපට කුඩා අවධියේ මෙන එකට ඉන්නට නැති එක තමයි එයට හේතුව වන්නට ඇත්තේ. අපේ අම්මවයි තාත්තවයි බලාගෙන ඇයගේ දරැපවුලත් සමඟ ඇය කරන කැපවීම ප්රශංසාසහගතයි. ඇය සහ ඇයගේ සැමියා, මගේ මස්සිනා කරන සේවය වචනයෙන් විස්තර කරන්නවත් මිල කරන්නවත් බෑ. මගේ දෙමාපියන්ට තමන්ගේම දෙමාපියන්ටම සේ සැලකුම් සත්කාර කරන එවැනි මස්සිනෙකු ලෙහෙසියෙන් කෙනෙකුට ලබන්නටත් බෑ. ඒ අතින් මම වාසනාවන්තයි කියලා හිතෙනවා. පොඩි නංගියේ ඔබ, ඔබගේ දරැ දෙදෙනාට පමණක් නොව අපේ දෙමාපියන්ටත් මවක් කියලයි මට සිතෙන්නෙ.
ඇය වෙනුවෙන් වසර කිහිපයකට පෙර මා ලියූ කවියක් ඇයට සහ මස්සිනාට උපහාර පිණිස නැවත මෙහි පළ කරමි.
බාල නඟේ මහා ගෙදරට තනි රකින
අප මවු පියන්ගේ දුක සැප නිති සොයන
ඔබ මස්සිනා සමඟින් සැමදා කරන
අඟනා මෙහෙය වැනුමට මට නැත වදන
දෙපා නොමැති පියාගේ වැඩ ඉටු කරමින්
මෑණියන්ගේ දුක සැප හැමවිට බලමින්
දරුවන් දෙදෙනවත් හරි මඟ වෙත යවමින්
ඔබ දිවි ගෙවයි පින් කන්දක්සේ දිලෙමින්
නුබ තනි වෙලා යැයි කිසිවිට නොසිතන්න
ගතින් ළඟ නැතත් හිත ඔහේ දැනගන්න
දෙමාපියන් හා ඔබ සැම දැක ගන්න
ළඟදිම ගෙදර එමි නංගියේ මා ඔන්න
දෙදහස් පහළොවේ නොවැම්බර් 7-8
සති අන්තය. මගෙ හොඳම යහළුවකුගේ පියාණන් නැතිවෙලා අවුරුද්දකුත් ගිහින්. එහෙට ගිහින් පොඩ්ඩක් උදව් පදව් කරලා ගෙදර ආවා. හැන්දෑවෙ පොඩ්ඩක් ලියන්න ඕන කියල හිතුවත් කිසිම දෙයක් ලියන්න හිතුණෙ නෑ. ඔයවගේ දවස් හැමෝටම එනවා. හරියට ක්රීඩකයන්ගේ දක්ෂතා ඉඳහිට වීයැකි යන කාලපරිච්ඡේද වගේ.
හැන්දෑවෙ මුහුණූ පොතට ගොඩ වුණාම තමයි දැක්කෙ එතන එකම යුද පිටියක් වී ඇතිබව. අතිපූජ්ය මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම පාදක කරගෙන දෙපිරිසක් මතවාදවල එල්ලිලා. එකිනෙකාට පරිභව කරගන්නෙ තිරිසන් සතුන් වගේ. මේ මහ ලොකුවට බෞද්ධ යැයි කියාගන්න පිරිස්ද කියලා මට හිතෙනවා. ඒ ඒ පුද්ගලයන් හැදූ වැඩූ දෙමාපියන්ට පමණක් නොව දරු මල්ලන්ට පවා අමු තිත්ත කුණු හරුපයෙන් බැණ අඬ ගසා ගන්නවා. අසූචි ගොඩක් වෙලා. මුළු මුහුණු පොතම ගඳයි.
සෝභිත හාමුදුරුවන්ට මේවා පෙනෙන්නෙ නැති එක හොඳයි. සැබෑ බෞද්ධයන්ට මෙසේ හැසිරිය හැකිද? රටේ මිනිසුන්ගේ අධ්යාත්මය නම් වළ පල්ලටම ගිහින්. මානව ආචාර ධර්මයක් පෙනෙන්නටවත් නෑ. බුදුන් වැඩි දේශද මේ කියල හිතෙනවා. බොරුවට පන්සලක් බෝධියක් ගානෙ වැඳ වැටෙන ,රටට ලෝකෙට පේන්න දාන මාන දෙන මේ මිනිස්සු මෙවැනි අවස්ථාවල හැසිරෙන ආකාරය නම් හරිම නින්දිතයි. ශෝකජනකයි. බුදුන්ගේ ධර්මය හරියට පිළිපදිනවනම් ඔවුන් මානව හිතවාදී විය යුතුයි. ජාති හෝ ආගම්වාදී මෙන්ම කිසිම කරැණක් අරබයා අන්තවාදීද නොවිය යුතුයි. මේ යන විදිහට නම් මගේ රටේ අනාගතය ගැන ඇතිවන්නෙ පුදුම බියක් සහ කලකිරීමක්.
චන්දන ගුණසේකර-එක්සත් රාජධානිය
//මේ යන විදිහට නම් මගේ රටේ අනාගතය ගැන ඇතිවන්නෙ පුදුම බියක් සහ කලකිරීමක්. // ලිපිය කියවගෙන එද්දී ආපු මිශ්‍ර හැඟීම මේ ටිකත් එක්ක තනිකරම වික්ෂිප්ත භාවයකට පෙරළුනා..
ReplyDeleteමේ බ්ලොගයට ආපු පළවෙනි දවස. කතා කරල තියෙන හැම දෙනා ගැනම හොඳ ම කියල තියෙන නිසා දැනුනේ නුපුරුදු ගතියක්. සමහර විට දකින දකින තැන මොකක් හරි කෙනෙක් හරි දෙයක් ගැන හරි විවේචනම ලියවෙන නිසා වෙන්න ඇති (මමත් වැඩිපුරම ලියන්නෙ එහෙම ඒවා තමා). ආසාවෙන් සටහන කියෙව්වා.
ReplyDeleteඅගේ ඇති දිනපොත... මානුෂික හදවතක දින සටහනක් වුණත් ජීවිතයට අලුත් දෙයක් එකතු කරනවා..
ReplyDeleteමේකේ දින වෙන් කරන්න විවිධ වර්ණ ගලපාගත්තනං කියවීම ඇල් මැරෙන්නෑ.. ජය වේවා
ReplyDelete