මම දැනුම් තේරැම් ඇති වයසේ සිටම සඳට පෙම් කළෙමි. වනාන්තරයේ ඇති ගස් කොළට, වන මල් වලට හා අතු අතර සැඟවී සිට මිහිරි ගී ගයන කුරැල්ලන්ට ආදරය කළෙමි. පුරාණ වැව් හා නටඹුන් අතර වරැ ගණන් ගත කිරීම තරම් මා ප්රිය කළ වෙනත් දෙයක් පිළිබඳව මට සිතාගන්නටවත් බැරිය.
අප කුඩා කාලයේ අප නිවස ඉදිරිපිට පාර අද්දරට වන්නට පිහිටියේ විසල් කෝන් ගසකි. හොඳින් වැඩුණු මිනිසුන් හය හත් දෙනෙකු රවුමට සිට දෑත් විහිදුවත් බදා අල්ලාගත නොහැකි තරම් විශාල කඳක් මේ කෝන්ගස් රාජයා සතුවිය. එහිම පැලවූ නුග ගසක්ද එක් පැත්තකින් කෝන් කඳ බදා අල්ලාගෙන පොළවට ඇදී තිබිණි. නුග ගසින් පැන නැගි ඉහළ අතුවල සිට පහළට විහිදුණු රැහන් බඳු මුල් වල එල්ලී එකල අප ඔන්චිලි පැද්දයුරැ මට අදටත් සිහිවන්නේ ඒ ගස කපා දමා පාර පළල් කොට දැන් එහි ඇති හිස් අවකාශය දකිද්දීය.
කඳු වලින් තොර අනුරාධපුර නගරයෙන් හිරැ බැස ගියේ බොහෝ පමාවීය. පුර පසළොස්වක දිනට එකිනෙහිම වාගේ රත්තරන් රබානක් සේ ඒ විසල් කෝන් ගහට පිටුපසින් සඳ නැගී ආවාය. ඒ තරම් විශාලෙට මම සඳ කොතැනකදීවත් දැක තිබුණේ නැත.
එකල එතරම් ජනාකීර්ණ නොවූ අප නිවස යාබද ඉඩම්වල හා පාර දෙපසද වූයේ සුන්දර වන ලැහැබකි. ලේන්නුන්, පක්ෂීන්, සාවුන් හා මා එක දිනක් පමණක් දුටු විශාල බළලකු වන් කොළ දිවියෙකුද මේ වනයේ විසූහ. තලගොයින්, මුගටින් හා සර්පයින්ගෙන් නම් නිමක් නොවුණි.
වනය පුරා වැවී තිබූ කහට, කූරටියා, ටොක් ඇට හා අන්දර වැනි වෘක්ෂයෝද එරමිණියා හා පොඩිසිඥ්ඥොමරං වැනි පඳුරැ හා ඔළිඳ හා කෝවක්කා වැනි ලතාවෝද පැතිරැනූ සඳ වතුරේ නැහැවී කිරි පාටින් බැබළුණේ මෙවැනි සඳ පහන් රාත්රී වලදීය.
පාර දෙපස වූ වරා පඳුරැ වල හා ටොක් ඇට ගස්වල මල් පිරී තිබූ අතර වරා ගෙඩි පුපුරා එහිවූ බීජ සුළඟේ පාවී ගියේ යානයක සිට උඩුගුවනින් පැරෂූට් දමාගෙන පොලවට පාවී එන භට හමුදාවක් සිහි ගන්වමිනි.
මම පෝය දිනයට පූජා නගරයේ නටඹුන් මැඳ සිට හෝ රැවන්වැලි සෑයේ මළුවට වී සඳ දෙස බලා සිටියෙමි. එසේත් නැතහොත් තිසා වැව හෝ නුවර වැව බැම්මේ නැවතී සිට වැව පිස හමන මදනලින් මත්වී සඳ දෙස බලා වුන්නෙමි.
මේ සඳ හා තිබූ ගනුදෙනුව මා අනුරාධපුරයෙන් පිටව පේරාදෙණිය සරසවියට ගිය පසුත් එලෙසම පැවතිණි. හන්තාන කඳු වැටියත් සඳත් මහවැලි ගඟත් මගේ ජීවිතයේම අංගවූයේ එහෙයිනි.
ඒ වසර විස්සකට පෙරය. මව්බිමෙන් වෙන්වී එංගලන්තයට පැමිණියත් සෑම පුර පෝය දිනකම වලාකුළු රහිත රාත්රියක් වේනම් මම එලෙසින්ම සඳ දෙස බලා සිටියෙමි. මේ ජනාකීර්ණ නගරවල ඇති අධික විඳුළි ආලෝකය නිසා මා අනුරාධපුරයේදී සඳ දුටු පරිසරයම මෙහි නොතිබුණත් මට සිතින් ඒ සුව විඳගන්නට ලංඩන් අහසෙහිද එතරම් ගැටලුවක් නොපෙනුණි.
මට හදිසියේම මේ සඳ පහන් රැය හා වනාන්තර ගැන සඳහන් කරන්නට සිත්වූයේ අද උදයේ මා කියවා නිම කළ අපූරැ පොතක් නිසාවෙනි.
මෙහි ගෙවන අධික කාර්යබහුල දිවියේ මට කියවන්නට මදක් හෝ අවකාශ ලැබුණේ , දුම්රියෙන් සේවයට යන එන අතරවාරයේය. එසේ ගමන් කරද්දී මේ පොතට මා කෙතරම් දැහැන්ගතවූවාදැයි කියූවොත් කිහිප විටක්ම මට දුම්රියෙන් බසින නැවතුම පවා අතපසු විය. දුම්රිය ගමන තවත් දික්වූවානම් හොඳ යැයි සිතුණු අවස්ථාද එමටය.
ඒ කෙසේ වෙතත් මා දුම්රියේ ගතින් වාඩිවී උන්නත් සිතින් සිටියේ භාරතයේ පූර්ණියා දිස්ත්රික්කයේ ලොබ්ටූලියාවේය. එසේත් නැතිනම් සරස්වතී වැව අසල වන අරණේ යුගලප්රසාද් නම් වූ ඒ අපූරැ මිනිසා , පරිසරකාමියා විසින් රෝපණය කළ ස්පයිඩර් ලිලී මල්වල සුවඳ විඳිමිනි. තවත් විටෙක මහාලිකාරෑප කඳුවැටිය පිටුපසින් හිරැ බැස යන අයුරැ නරඹමිනි. එසේම වනයෙන් වැසුණු මිටියාවත ඉහළින් සඳ රබානක් සේ නැගඑන අයුරැ බලමිනි.
ඇත්තෙන්ම මෙය සය වසරක් මේ වන අරණේ ගත කළ සත්යා නම් තරැණ බෙංගාලි ජාතිකයාගේ කතාව නොව මගේ කතාව යැයි මට සිතිණි. මම යුගලප්රසාද් සමඟ මල් පැල රෝපණය කිරීමට ගියෙමි. අකාලයේ දිවියෙන් සමුගත් ධාතූරියාගේ නැටුම් බැලුවෙමි. කුන්තා සහ පිංචී යන අහිංසක කාන්තාවන් ගැන දුක්වුණෙමි. රාජු පාංඩේ සමග ඔහුගේ හේනට ගොස් තේ බිව්වෙමි. රජදහන අහිමි දෝබරැ පන්නා රජතුමා බැහැදැක්කෙමි. රජතුමාගේ මිනිබිරිය භානුමතී කුමරිය සමඟ රැක්අත්තන මල් සුවඳේ මත්වී දංජරී පර්වතයට නැංගෙමි. මටකුණාථ ගුරැවරයා සිසුන්ට ශිල්පය දෙන අයුරැ බලා සිටියෙමි.
මට ඇසුණේ ගෝන රංචු හා කුළ හරක් රංචු කැලේ බිඳගෙන දුවන හඬයි. දිවියන් කහින සහ හයිනාවන් සිනහවෙන හඬයි. මට පෙනුණේ වලසුන් මසං කන්නට මසං ගස් අවට සැරිසරන අයුරැ හා කුරැල්ලන් ගී කියමින් කැලෑ මල් වටා රඟන ආකාරයයි.
ඒත් අද ඒ සියල්ලක්ම සිහිනයක් සේ සිතේ ඉතිරිකරගනිමින් සත්යා වන අරණින් සමුගෙන කල්කටාවට ගියාමෙන් පොත කියවා අවසන් කොට මාද යථාර්ථයට මුහුණ දිය යුතුය. එහෙත් සිහිනලෝකයේ කිමිදී වුවත් මා කියැවූයේද දිවියේ යථාර්ථයයි.
දැන් නම් ඔබට මා මේ කියන්නේ කුමක් ගැනදැයි යන්න වැටහී ඇති. මේ පොතනම් මහා ගත්කරැ විභූතිභූෂණ බන්ද්යොපාද්යයන් විසින් " ආරණ්යක්" නමින් වංග බසින් ලියූ කිසිදු ඇගැයීමක් නොමැතිව කවුරැත් නොදැනීම අපෙන් සමුගත් චින්තා ලක්ෂ්මී සිංහආරච්චි නම්වූ ඒඅපූරැ ලේඛිකාව විසින් " අරනකට පෙම් බැඳ" නමින් සිංහල බසට නැගූ ඒ මහා රස ගුලාවයි.
එතුමිය විසින් මේ සත් ක්රියාව නොකරන්නට වංග බසින් වූ මේ රසාලිප්තය සිංහල පාඨකයාට ස්වප්නයක්ම වනු ඇත.
විභූතිභූෂණ බන්ද්යොපාද්යයන් විසින් තම සය වසරක වන අරනක ගෙවූ දිවිය ඇසුරින් රචිත මේ ග්රන්ථය මගේ කතාව ලෙස හැගුණේ චින්තා ලක්ෂ්මිය විසින් යොදාගත් ඒ සුමට බස් වහරයි. " සඳ පහන් රැය" , " දිගු සෙවනැලි වැතිරෙද්දී" වැනි වදන් ගැන මදක් සිතා බලන්න. " සොබාදහම් රැජිනිය" ," වනස්පති" කෙතරම් අපූරැ වචනද? වංග බස ඉගෙනගෙන එතුමිය මේ කටයුත්ත කිරීමට කෙතරම් නම් පරිශ්රමයක් ගන්නට ඇතිද? එමෙන්ම එතුමිය විසින් බන්ද්යොපාධ්යන්ගේම ලෝක ප්රකට නවකථා වූ " පොතෙර් පංචාලි" සහ " අපූර් සංසාර්" නම් කෘති " මාවතේ ගීතය", " අපරාජිත ජීවිතයක්" හා " අපූගේ ලෝකය" නමින් සිංහලට නගා ඇත. එමෙන්ම තව බොහෝ අපූරැ පරිවර්ථන කෘති ඇය පළ කළාය.
ජීවත්ව සිටින කාලයේදී බොහෝ කෙනෙහෙළිකම් වලට ගොඳුරැවූ ඇය ඒ සියලු දුෂ්කරතා මධ්යයේ අපට තිළිණ කළ මේ අපූරැ ග්රන්ථයෝ එතුමියගේ නාමට උපහාරයක්ම වේවායැයි පතමි. පිටිසරින් ලේඛන ලෝකයට පිවිස කාගේ නැතත් පාඨක රසික ප්රජාවගෙන් ලැබෙන ගෞරවය හා ආදරය , ඇය සදාකල්ම ජීවමාන කරනු ඇත. ඔබටත් ඉඩක් ලද විට මේ පොත් කියවන්නට ඇරයුම් කරමින් මම නිහඬ වෙමි.
චන්දන ගුණසේකර - එක්සත් රාජධානිය
ෂම් ෂම් එකෙන් ගත්ත මවුන්ටන් එකෙන් සිංහ කණුවේ කඩ පනහේ මයිලගස් හංදියේ ඇවිද ඇවිද පුල්ලෙයාර් කෝවිලෙන් පළතුරු කාලා නුවර වැවට පැනල නාලා පුබුදුපුරෙන් රා කට්ටක් ගහලා මල්වතු ඔයේ බ්ජව්වක් දාලා ගෙවිච්ව අපේ රෙෂ්පට් ජීවිතේ නෙවැ. ඕ යේස්. පුරේ කියන්නේ දිවියලෝකේ !!!!
ReplyDeleteහරිම ආසාවෙන් කියෙව්ව පොතක් චන්දන අයියා.. පොත ඉවරවුනා කලින් වැඩිද කියලත් හිතෙනවා ඒ උනාට..ක්ලාක් මහත්තැං ආයෙ නගරෙට නොගිහිං අර ලස්සන කෙල්ල එක්ක ගමේම පදිංචි උනානං මරු තමා.:D
පොඩි කාලේ කියවලා තියනවා. සමහර වචන තේරුම් ගන්නත් බැරි තරමේ. ඒත් අමුතුම විදිහේ කතාවක් හින්දා ආසාවෙන් කියෙව්වා.
ReplyDeleteචින්තා ලක්ෂ්මි මහත්මිය මිය ගිහින් කියලා දන්නේ නෑ. එතුමියට නිවන් සුව
චන්දන ඔබ වාගේම මාත් මේ සුන්දර පරිසරය රස විඳීමට කැමත්තෙමි. ඒ කාලේ මගේ ගම් පියසත් ඒ වාගේම පසු කාලෙක අප ජීවත්වූ සැම්බියාවේත් මැලේශියාවේත් පරිසරය සිත් සේ වින්දෙමි. අදටත් මා ඈත පලාත්වල යන විට නිදහසේ සිතන්නටත් ඒ සුව විඳින්නේත් බොහොම කැමැත්තෙන්. අරණකට පෙම් බැඳ පොත මා කියෙව්වේ කලකට ඉහත දී ය. සන්ධ්‍යාවේ නිදි යහනට පිවිස මගේ සැමියාගෙන් ඔයා ඔය ලයිට් එක නිවන්නේ කීයට දැයි අසනාතුරුම මට ඉන් මිදෙන්නට නොහැකි විය. අන්තිමේදී මට ඇඳ විටිටමට විදුලි බුබුලක් හයි කරන්නට ඔහුට සිදුවිය. ඒ තරම් චත්කාරයක් මැවූ මේ රස ගුලාව තරම් පොතක් මා මෙතෙක් කියවා නැත. චින්තාගේ මාවතේ ගීතය, අපරාජිත ජීවිතයක් හා අපූගේ ලෝකය පොත් ත්‍රිත්වය ද මා ලග සුරක්ශිතව ඇත. ඇගේ මේ භාෂා විලාසය හා හසල දැනුම අපට අහිමි වූයේ මන්දැයි කුමන පවකට දැයි විටෙක මම තනිවම සිතමි. මෙවන් වූ කතුවරික් ගැන මෙසේ ලියා ගෞරව පිදීමම අගයමි. ඇයට නිවනේ නිවීමම වේවා!
ReplyDeleteHI Chanda na
ReplyDeleteThank you for writing about one of the most romantic books I have read in sinhalese .As you have said poetic words Chintha Luxmi has used take the reader into a mythical world of forests,lakes and strange people
Keep up the good work
Thusitha