Pages

Saturday 24 October 2015

ජේ ඒ මිල්ටන් පෙරේරා



" ඇස රැඳුණු රැඳුණු තැන්වල මුව මඩල හිනැහුනා
ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුණා "

ඔබව මා කෙසේ නම් අමතක කරන්නද? හීනියට මධුවිතින් සප්පායම්වූ සීතල සැදෑවල ඔබ ගැයූ ගීතයක් මුමුණමින් අප කෙතරම් නම් වරක් උණුසුම් වී ඇතිද? අද බිනර මහේ විසි හතර වෙනිදාට ඔබ අපගෙන් වෙන්වී වසර විසිහතරකි. 

මංජුල වෙඩිවර්ධනයන් පැවසුවාක් මෙන් ඔබවන් මිනිසුන් කිසිදිනක මිය නොයන බැවින් මම ඔබට ආයුබෝවන් කියා පිළි ගනිමි. 

පුර පස සඳ පසළොස්වකට සේන්දුවෙමින් පවතින මේ සීතල රාත්රීයාමයේ මගේ කුටියේ කවුළුවෙන් පෙනෙන සඳ දෙස බලාගෙන මම ඔබ සිහිකරමි. සැම තැනම නිසලය. පසළොස්වක නැතත් සඳ දියෙන් මුළු ලොවම වැසී ගොසිනි. මට එදා ඔබ සිකුරැලියා චිත්රපටයට ගැයූ " සිකුරැලියා බොළඳ ලියා මාව දමා යන්න ගියා " ගීතය සිහිපත් වෙයි. 

ඒ ගැඹුරැ කට හඬ එදා රිදී තිරය පසුබිමින් නිම්නාද දුන් අයුරැ මගේ සිහියට එයි. සාරවිට චිත්රපටයේ සාරයියා ගයන " සිරි සාර බුලත් විට කාලා වරෙං" ගීතය කෙතරම් නම් සුන්දරද? ජීවමානද? 

එකල එච් ආර් ජෝතිපාලයන් හා එම් එස් ප්රානාන්දු සමග ඒ තලයේ අපට සිටි අසහාය ගායකයා ඔබය.. 

ගීතයට මෙන්ම පියාගේ අඩිපාරේ යමින් දක්ෂ තබ්ලා වාදකයෙකූද වූ ඔබ ගැයූ ගීත අදටත් ජනප්රියය. ඔබ අමරණීය යැයි මා පැවසුවේ එහෙයිනි. 

වැඩි සද්දයක් බද්දයක් නැති සිරැරින්ද පුංචි මිනිසෙකුවුවද ඔබගේ හඬ මහා යෝධයෙකුගේ මෙන් සිංහල සිනමාව සහ ලාංකීය ගීත සාගරය කැළැඹීමට සමත් විය. 

ඔබගේ පුතුන් අද ඔබගෙ හඬ ඉදිරියට ගෙනයාම අපට ඇති එකම සැනසීමය. මේ පුංචි සටහන මීට වසර විසි හතරකට පෙර අදවන් දිනෙක අපව අතහැර ගිය ජේ ඒ මිල්ටන් පෙරේරා නම්වූ ඒ අමරණීය ගායන ශිල්පියාට උපහාර පිණිසය. 

" සඳුන් ගසක පිපි සමන් ලතාවක මල් පරවී යනවා
ඔබේ නමට පිදු මගෙ හදවත් මල තවමත් පිබිදෙනවා" 

මට කීමට ඇත්තේ එපමණකි. මේ සංගීත පිපාසිත දනන්ගේ සරතැස නිවාලන්නට ඔබ නැවතත් අප අතරම ඉපදේවා!

චන්දන ගුණසේකර-එක්සත් රාජධානිය

5 comments:

  1. මිල්ටන් පෙරේරා සමාජය තුල ජනප්‍රිය වුණේ හින්දි චිත්‍රපටි ගීත තනු අනුව ගායනා කළ ගීත වලින්. එය ඔහු පමණක් නොව සිසිර සේනාරත්න, එච් ආර් ජෝතිපාල, මොහිදීන් බෙග්, වැනි අයත් කළා. නමුත් හොඳ ගීත රචනා යටතේ හොඳ සංගීත අධ්‍යක්‍ෂ වරුන් මෙවැනි ගායකයන්ව ඉහලම තලයකට ගෙන ආවා.

    මිල්ටන් පෙරේරාගේ ඇති විශේෂත්වය වන්නේ ඔහු සතු උච්ච මන්ද්‍ර ස්වර දෙකම මිශ්‍ර අමුතුම කටහඬයි. එම කටහඬේ අග්‍ර ඵලයක් ලෙස සිකුරුලියා චිත්‍රපටියේ, 'කොමල ලියා - බොළඳ ලියා' ගීතය හඳුන්වන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඔබ හරියටම හරි විචාරක තුමා. ඒ ගීත හැම එකක්ම එතුමාටම අනන්‍යවූ ලතාවකටයි ගායනා කළේ.

      Delete
    2. අනේ ඔය තුමා කෑල්ල කපන්නකෝ.

      Delete
  2. නාමෙ නොදිරනා කුණු කය දිරනා
    අරුමෙකි සෝබා සංසාරේ....

    නැද්ද චන්දන අය්ය

    ReplyDelete