Pages

Saturday 28 February 2015

යටඳොල වත්ත 5 - කපු සීයා.........




අප අපේ ගෙදර අවුරැදු සමරන විට අම්මලා පන්සල් යාම, සුබ නැකතට කිරිබත් ඉවීම ආදිය නැකතටම කළත් ආහාර අනුභව කරන නැකතට පෙර අපට බඩගිනි වූ විට කෙසෙල් ගෙඩියක් හෝ කැවුම් මුට්ටියෙන් කැවුමක් හෝ කෑමට නීති පැනවූයේ නැත. ඒත් මා මේ කියන අවුරැද්දේදී ලොකු ලොකු අම්මලා කෑම අනුභවය සඳහා නැකත් වෙලාව එනතුරැ අපට කිසිවක් කන්නට ඉඩ නැනොදුන්හ. නැකතට වැඩ අල්ලා ගනු දෙනු කොට කිරිබත් කන වෙලාව වෙන විට නංගිලා සහ මම සිටියේ හොඳටම හෙම්බත් වීය. එදානම් මට ගම එපා විය. ඒත් ඒ එපාවීම පැවතුණේ දිනකටත් වඩා සුළු කාලයක් පමණි. ඔවුන් එසේ කළේ අපව බඩ ගින්දරේ තබන්නට නොව සිංහල හා දමිළ අවුරැද්දේ සුබ නැකැත් හා ඒවා අනුගමනය කිරීමේ සංස්කෘතික වටිනාකම අපට ඒත්තු ගැන්වීමට බව පසුව අපට වැටහුණි.

මේ අයුරින් අවුරැදු සමය හීන්සීරැවේම ගෙවුණී.

ං ං ං ං ං ං ං ං ං ං ං ං ං

ලොකු ලොකු අම්මලාගේ ඉඩම පාර මට්ටමෙන් ඉහළ කඳු ගැටයක පිහිටා තිබීම නිසා වත්තේ කපා තිබූ ළිදේ ජලය තිබුණේ ඉතාමත්ම පහළිනි. ඉතාමත් ගැඹුරැවූ එම ළිඳෙහි ජලය කුඩා අපට පෙනුණේ ළිඳ වටා පැලවී තිබූ ජලජ ශාක අතුරින් ඉතාමත්ම පුංචියටය.

ජල නල පහසුකම් නොතිබුණු ඒ කාලයේ බීමට ජලය මෙන්ම උයන පිහන කටයුතු, ඇගපත මුහුණ සෝදා ගැනීම,නෑම සහ රෙදි සෝදා ගැනීම සිදු වූයේද මෙම ගැඹුරැ ළිඳේ වතුරිනි. 

අනුරාධපුරයේ අපේ ළිඳේ කිවුල් ජලය හා සසදන කල මේ යටඳොල ජලය දැන් තිබෙන බෝතල් කළ ජලයටත් වඩා නැවුම් විය. මිහිරි රසකින් යුක්ත විය. 

නමුත් ළිඳේ ගැඹුරැ කම නිසා වතුර ඇද දිය නෑමනම් ඉතාමත් දුෂ්කර විය. එක වතුර පනිට්ටුවක් ඇඟට දා ඊළඟ පනිට්ටුව ගොඩට අදින වෙලාවේ ඇඟපත ඉබේම වේලී තිබිණි.

මේ නිසා බොහෝ දිනවල දහවල් එකොළහට පමණ අප ලොකු ලොකු අම්මලාගේ ගෙවල් වලට උඩැහින් ගලා ගිය ඳොලට නෑම සහ රෙදි සෝදා ගැනීමට යාමට පුරැදුව සිටියෙමු.

ඳොල අසල පහත් බිමේ වතුර කට ළඟින්ම උතුරා යන ළිඳක්ද විය. ඒත් අප ප්රිය කළේ ඳොලේ බැස නටමින්, දියඹුන් ගසමින් හා වතුර ගසා ගැනීමේ තරග කරමින් නාන්නටය.

අනුරාධපුරයේ ඕනෑපදම් වැව් තිබුණත් අම්මා අපට ඒවායේ නාන්නට ඉඩ නොදුන්නාය. ඒ වැව් වල තිබූ වළවල් වල ගිලී මිනිසුන් මිය යාම ඊට හේතුව විය. එහෙත් අප ඉදහිට තාත්තා සමඟ මල්වතු ඔයට නම් නාන්නට ගියෙමු.

යටඳොල වත්තේ මේ ඳොලපාර ඉහළ කඳුවලින් ආරම්භ වී කුඹුරැ මැදින් ගලාවිත් කළුතර මතුගම මහපාර අද්දරදී පිංවලට වැටී පාරේ අනෙක් පස ඇති කුඹුරැ මැදින් නිසලව ගලා ගියේ පහළට දගර දමමින් ඇදී යන සර්පයෙකු පරිද්දෙනි. දොළ පාර දෙපස සරැවට වැඩී තිබුණු උණ පඳුරැ මද පවනේ එහෙමෙහේ වැනුණේ සිහින් ගීතයක් දෙසවනට මුමුණමිනි.

පැය දෙකක් පමණ අම්මා අපට සැරවනතෙක් වතුරේ නටා ගොඩට එන අපට දැනුණේ අධික බඩ ගින්නකි. අප ගෙදර දුව ආවේ බත් පත බලාගෙනය.

අප ගෙදර එනවිට මාමා ගෙදර ගසකින් කැඩූ කොස් ගෙඩියක් ලොකු ලොකු අම්මා හොඳට කොස් ඇටද යහමින් දමා තම්බා තිබුණාය. තවත් කටට කෙළ උනන කිරි හොද්දක් සහ කට්ටා කරවල බැඳුමක් පසෙක විය. හොඳින් ගෑ පොල් තැම්බූ කොස් වලටම කලවම් කොට තිබිණි.

එදා අප කෑවේ දිව්ය භෝජනයකි. එදා පටන් තැම්බූ කොස් මගේ ප්රියතම ආහාරයක් විය.

මාමා කොස් ගස් කීපයක්ම වත්තේ වවා තිබිණි. මේ ගෙඩිය කඩා තිබුණේ මුලේ සිටම ඉතා විශාල ගෙඩි හටගෙන තිබූ ගේ ඉස්සහ ගහෙණි.

තව ගසක් නම්දරා තිබුණේ පොලොස් ගැට වලටය. ඒ කාලයේ බඩදරැ අම්මලාට මේ ගසින් පොලොස් කඩා දෙනු මා දැක තිබිණි. තව ගසක් වෙන් කොට තිබුණේ වරකා වලට වූ අතර වත්තේ කොනක ගසක් කුරැල්ලන්ගේ පරිභෝජනයට වෙන් කොට තිබිණි. ඒ ගස වටේම ඉඳුනු වැල ගෙඩි වල කටු හා කොස්ඇට විසිරී තිබිණි.

ලොකු ලොකු අම්මලාගේ නිවසට නිතර එන ගමේ මිනිසුන්ට අමතරව තවත් අපූරැ පුද්ගලයෙක් දිනක් අප දහවල් කෑම සඳහා සූදානම්වන විටම පැමිණියේය. 

දිගට වවා තිබූ සුදුවන් කොණ්ඩය පස්සට පීරා පොඩි ගෙඩියක් වන්නට බැඳ තිබිණි. දිඟු සුදු රැවුල හා ඇඳ සිටි කළු කෝට් බෑය හා අත රැඳි කළු කුඩය ඔහුට යම් ප්රතාපවත් බවක් එක් කිරීමට සමත්විය. වැඩි උසක් නැති ඔහුට තිබුණේ කපටි බැල්මකි. 

ලොකු ලොකු අම්මා හා මාමා ඔහුට කපු උන්නැහේ කියා ඇමතූ නිසා අපි ඔහුට කපු සීයා යැයි කීමු.

ලොකු ලොකු අම්මා සමඟ ආගිය තොරතුරැ කතා කළ මේ කපු සීයා ඉන්පසු හරිබැරි ගැහී වාඩිවී වටපිට බැලු ආකාරයෙන් ඔහු ඉතා වැදගත් කතාවකට මුලපුරන්නට යන බැව් අපට තේරැණි. 

ඔහු එදා මොනවා කතා කලෑදැයි අපි නොදත්තෙමු. ඉන්පසු මාමා ඔහුට කෑමට ආරාධනා කළේය. ඉතා රස තරමින් කෑම කෑ ඔහු කුඩා අපටද විහිළුවක් කර වැඩි වෙලාවක් නොරැදී නික්ම ගියේය. එදා තම්බා තිබූ වත්තෙන්ම ගලවා ගත් අල වර්ගයක් ඔහු හොඳින්ම රස වින්ඳේය. මාද කුඩා කල සිටම අල වර්ග,පලා හා ධාන්ය වර්ග කෑමට ලොල්වීමි. ඒ ආශාවන් මා කියැවූ දයා රාජපක්ෂයන්ගේ චිත්රකතාවලින් මට ආරෝපණය වූවාදැයි මම නොදනිමි. ධාන්ය ගැන සිහිවන විට මා කුඩා කාලයේ දිනෙක හේනකදී අනුභව කළ කුරක්කන් පිට්ටුවක් පිළිබඳව මගේ මතකය අවදිවෙයි.

අපේ අම්මාට උප ගුරැවරියක වශයෙන් මුල්ම පත්වීම ලැබී තිබුණේ මිහින්තලයේ දුෂ්කර පාසලකටයි. මිහින්තලයේ සිට තවත් වන්නිය ඇතුළට යනවිට රොටවැව නම් හද්දා පිටිසර ග්රාමය හමුවෙයි. අපේ යටඳොල ලොකු ලොකු අම්මා , මහප්පාත් ජීවත්වන කාලයේ රොටවැව ඉස්කෝලයේ මුල් ගුරැතුමිය වශයෙන් සේවය කොට තිබුණාය. ඒ හේතුවෙන් ඒ ගමේ අහිංසක ගම්මු ඇයට දේවත්වයෙන් සැලකූහ. 

රොටවැව ග්රාමයේ මිනිසුන් කතා කළේ අමුතුම උරැවකිනි. බොහෝවචන සාමාන්යට වඩා මදක් ඇද ශබ්ද කිරීම ඒ උරැවයි. උදාහරණයක් විලස " කියලා ලියලා තියෙනවා" කියූවොත් ඔවුන් එය කියනු ලැබුවේ " කියාලා ලියාලා තියෙනවා " යනුවෙනි. 

ඒ ගම්මානයේ අපේ ලොකු ලොකු අම්මාගේ සිසුවියක් පාසල් ගමන අවසන් කොට රැකියාවක් කෙසේ වෙතත් විවාහයක් බලාපොරොත්තුව සිටියයා. අනුලා නම් වූ ඇය කුඩා මා බලා ගැනීමට අම්මාට සහය වීමට අපේ නිවසට කැඳවාගෙන එනු ලැබුවේ මේ කාලයේය. මට අකුරැ කියවන්නට බැරි කාලයේ චිත්ර කතා මාහට කියා දුන්නේ ඇය විසිනි.

පසුකලෙක අම්මලා අනුලාට ඒ ගමින්ම සුදුසු සහකරැවකු සොයා විවාහ කර දුන්හ.

අප දිනක් අනුලා බැලීමට රොටවැවේ ඔවුන්ගේ නිවසට ගියෙමු. එදින නිවස වසා තිබිණි. කවුරැත් පෙනෙන්නට නොසිටි නිසා තාත්තා අල්ලපු ගෙදරින් ඔවුන් කොහේදැයි විමසීය. අසල් වාසීන්ගෙන් ඔවුන් හේනට ගොස් ඇතිබැව් දැන ගන්නට ලැබිණි. හේනට යන පාර අසාගත් අප අනුලලාගේ හේන බලා පා එසවීමු. අප එහි යනවිට අනුලාගේ තාත්තාවූ කපුරැ නයිදේ ඇතුළු එම පවුලේ සැවොම ගිනි කාස්ටකයේ හේනේ වැඩ කරමින් සිටියහ.

අපව ඉතාමත්ම ආදරයෙන් පිළිගත් ඔවුන් එවෙලේ දිවා ආහාරයත් ළංව තිබූ හෙයින් ඔවුන් සමඟ දිවා ආහාරය ගන්නා ලෙස අපට ආරාධනා කළහ.

එදා මා ජීවිතයේ පළමු වතාවට කුරක්කන් පිට්ටු හේනෙන්ම කඩාගත් කැකිරි හොදි සහ සැමන් හොදි සමඟ අනුභව කළෙමි. වැඩි දෙයක් නොතිබුණත් ගමන් විඩාවෙන් හා බඩගින්නෙන් හෙම්බත් වී උන් අපට ඒ ආහාරය දිව්ය භෝජනයක් විය. එහි රස බොහෝ කලක් යනතුරැ මගේ මනසේ රැදී තිබිණි. එදා පටන් කුරක්කන් මගේ ප්රියතම ආහාරයක් විය.

එදා කපු සීයා රසකරමින් තම්බපු වැල් අල අනුභව කරද්දී මා ඊට කලකට පෙර රස විඳි කුරක්කන් පිට්ටු මට සිහිවිය.

ඊට පසු කිහිපවිටක්ම කපු සීයා පැමිණෙන අයුරැත් ලොකු ලොකු අම්මා සමඟ මොනවදෝ කතා කරන බවකුත් අප දුටුවෙමු.

ඊළඟ නිවාඩුවේ අප නැවත ගම පැමිණි විට කපු සීයා ආ ගිය කාරණය හොඳින්ම පැහැදිලි විය.

තව කොටසක් ලබන සතියේ.......



- චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය


4 comments:

  1. මුල් කොටස් සේරම මිස් වුණා මට.. ඔයා පිට්ටුයි,කැකිරියි,සැමනුයි ගැන ලියලා තිබ්බ හරිය කියෝගෙන එද්දී බදිගින්නක් ආවා , සැමන් සැලඩ් ටින් එකකින් බගේකුයි පාන් පෙති 4 කුයි කොපි එකකුයි හදන් ඉතුරු ටික කියවුවේ,, කතා ලියන්න පරණ දේවල් ඒත් කරුණාකරලා හැලප අයියා වගේ කෑම ෆොටෝයි විස්තරයි නම් එපා ඈ.... පරණ කොටස් කියවන්න ආස හිතුණා, අනුලා ගැන තවත් දැනගන්න ආසයි

    ReplyDelete
  2. අපවත් ඔබගේ ළමා කාලයට කැඳවාගෙන යමින් ඉතා සුන්දරව ලියවිලා තියෙනවා.මේ ලිපිය ඉදිරියටම ගෙනයන්න.

    ReplyDelete
  3. මචං මේ සුන්දර යටදොලවත්ත කතා පෙළ හරිම රසවත් . මෙච්චර සවිස්තරව ඒ දේවල් මතක හිටින්නේ, හොඳ රසවතෙකුටම තමයි තව ලියන්න . ජය !!

    ReplyDelete
  4. Patta Patta. Thanks for sharing :)

    ReplyDelete