ඒ උදැල්ලේ මිට අඩි හතරක් හෝ පහක් පමණ දිග වූ අතර උඳලු තලය කුඩා කුල්ලක් සිහියට නැගීය. කබොක් ගලින් යුතු යටඳොල පොළොව හා ඔට්ටු වූ තලයේ මුවහත හිරැ එළිය වැටී දිලිසුණි.
කුඩා මට උදැල්ලක් උවමනාවූයේ මීටත් බොහෝ කලකට පෙරාතුවය.
ඒ මා පාසලේ දෙවැනි වසරේ ඉගෙන ගන්නා කාලයයි. සෑම අවුරැදක්ම අවසානයේ නව වසර සඳහා ගතයුතු අච්චු පොත් ලැයිස්තුව අපට දෙනු ලැබිණි.
නිවාඩුව පටන්ගෙන පළවෙනි දිනම නංගී හා මම අම්මාට ඇවටිලි කොට ටවුමට යන්නේ පොත් ගැනීමට පොත් සාප්පුවටයි. එහිදී මිලට ගන්නා පොත් අතර මාගේ ප්රියතම පොත වූයේ සිංහල අච්චු පොතයි. ඒ අළුත් පොත් වල නැවුම් සුවඳ මේ දැන්ද මගේ නහයට දැනෙනවා වැනිය.
සිංහල පොත ලැබී දින දෙකක් යන්නට පෙර එය කියවා නිම කිරීම මගේ පුරැද්ද විය. දෙකේ පංතියට නිර්දේශිත පොතේ තිබූ කතා හා සමහර කවි මට අදටත් මතකය.
දසමහා යෝධයන් ගැන තිබූ කතා, අතේ ඇඟිලි පහ පිළිබඳව තිබූ තේරවිලි කවි මට දැනුත් සිහිවේ.
මේ කතා අතුරින් මගේ සිත තදින්ම ඇද බැඳ ගත්තේ මගේ වයසේ ළමයෙකු විනෝද ගමනක් තම දෙමාපියන් හා නෑදෑයින් සමඟ බසයකින් අනුරාධපුරයට ගිය කතාව සහ තම සහෝදරයෙකුගේ ගෙවත්තකට ගොස් එහි වවා තිබූ එළවළු හා පලතුරැ වගාවන් දැකීමෙන් ඒ ගැන ඉතාමත්ම ආශාවට පත්වී තමනුත් ඒ අයුරින්ම ගෙවත්තක් වගා කළ කථාවටයි.
එයිනුත් ගෙවත්තක් වඟා කිරීම පිළිබඳව මගේ සිත ඇදීගියේ බොහොමත්ම තදිනි. මටද ගෙවත්තක් සැදීමට උවමනා වුණි. දිනක් අනුරාධපුරයට එද්දී මාමා මට කුඩා උඳලු තලයක් ගෙනැවිත් තිබිණි. ඔහුම ගසක ලීයක් කපා එහි පොත්ත අයින් කොට පිහියෙන් හොඳින් ගා එය සුමට කොට උඳලු තලයට ගසා මට පුංචි උදැල්ලක් තනා දුන්නේය.
එතැන් පටන් මගේ සෙල්ලම වූයේ නංගීත් සමඟ වත්තේ එක් කොටසක් කොටා පාත්ති සාදා එළවළු හා පලතුරැ ඇට සිටුවීමයි.
අපේ තාත්තාට එළවළු පාත්ති මනාවට සැකසීමේ පුරැද්දක් තිබිණි. තාත්තාද විනෝදයට වත්තේ මුකුණුවැන්න පාත්ති ආදිය වඟා කළේය.
මට තිබූ එකම අසතුට වූයේ මාමාගේ උදැල්ල මෙන් මගේ උදලු තලයේ මුවහත දිලිසෙන්නේ නැතිකමයි.
මේ අතර දිනක් මා උදෑසන පියාණන් හා පාසල වෙත යන අතර අපේ ගේ ඉදිරිපට පාර අයිනේ පොළොවෙන් පැනනැඟුණු වතුර මලක් දුටිමි. මා මේ බව තාත්තාට පැවසූවිට තාත්තා ජලසම්පාදනයට ඒ බව දැන්වීය.
පහුවෙනිදා මා පාසල ඇරී නිවසට එනවිට පාරේ මා වතුර මල දුටු තැන විශාල වළක් කපා මිනිසුන් කිහිප දෙනෙකු වැඩ කරමින් සිටිනු දක්නට ලැබිණි. ඔවුහු පාරේ ජල නළයේ තිබූ සිදුර ප්රතිසංස්කරණය කොට ඒ විශාල වලද වසා දමා අත්පා සහ ආයුධ සෝදා ගැනීමට අපේ ළිඳට පැමිණියහ.
අත්පා සෝදා ගෙන අම්මා ඔවුනට සාදා දුන් තේ ද පානය කොට ඔවුන් සමුගෙන ගියද ඔවුනට අමතකවූ යමක් ළිඳ ළඟදී මගේ ඇස ගැටුණි. ඒ මාමාගේ උදැල්ලම මෙන් මුවහත හොඳින් දිලිසෙමින් වූ උදලු රජෙකි.
බොහෝ ප්රීතියට පත් මා කාටවත්ම නොකියා උදැල්ල හොඳින් සෝදා පරිස්සමින් තබා ගතිමි. එය මට ලැබුණු මහා වටිනා වස්තුවක් ලෙස සිහින දකිමින් සිටියදී එදා සවසම
එහි අයිතිකරැ පැමිණ එය ඉල්ලාගන
ගියේ මගේ සිහින ලෝකය කුඩු පට්ටම් කරමිනි.
මේ අයුරින් ගොවිතැනට හා ගැමි ජීවිතයට මගේ තිබූ ඇල්ම සුළුපටු නොවීය.
ඒ සඳහා මා කියැවූ චිත්ර කතා, නැරඹූ චිත්රපට හා සවන් දුන් ගුවන් විදුලි නාටකද හේතුවන්නට ඇත.
ඒ කෙසේ වෙතත් ගෙවත්තට උදේ ආහාරයෙන් පසු විටකයකුත් හපමින් අවතීර්ණවන මාමාට කළයුතු දහසකුත් එකක් වැඩ තිබිණි.
වල් තණ කොළ උදලු ගා මඤ්ඤොක්කා ගස් වලට හා බතල වැල් වලට පස් දැමීම, කරවිල,පතෝල හා මෑ වැනි වැල් වලට මැසි ගැහීම හෝ ඉනි සිටුවීම, මැරැනු කොළ කපා දමා කෙසෙල් පඳුරැ ශුද්ධ කිරීම, අන්නාසි පඳුරැ වල හට ගෙන පැහෙමින් තිබූ අන්නාසි ගෙඩි සතුන්ගෙන් වහන් කිරීම, පොල් ගස් වලට පොහොර දැමීම හා පස් සේදී යාම වැළැක්වීම සඳහා ගල් වලින් වැටි බැදීම ඒ දහසකුත් එකක් වැඩ වලින් කිහිපයක් පමණි. එමෙන්ම ඔහුගේ වටිනාම සම්පත වූ බුලත් කොරටුවටනම් සාත්තු කළේ තමන්ගේම දරැවකට මෙන් ඉතාමත්ම ආදරයෙනි.
මාමා වත්තේ වවා තිබූ කරාඹුනැටි ගසක දල්ලක් කඩා කෑම හෝ කුරැඳු ගසක ළපටි ඉත්තක් කඩා විකීමට මා ප්රිය කළෙමි.
බොහෝවිට මා කරාඹුනැටි,කෝපි හෝ ගම්බිරිස් කැඩීමටද මාමාට උදව් වුයේ ඒ කර්මාන්ත සඳහා මා තුළ තිබූ ඇල්ම හේතුවෙනි.
වඟාවන්ට අමතරව මාමාගේ ඇල්ම බැල්ම හෝ පහස නොලැබූ එකදු ගලක් හෝ මුලක් වත්තේ නොතිබුණි.
තාර පාරේ සිට ලොකු ලොකු අම්මලාගේ ගෙදර පසුකරන් දිවුනු ගුරැ පාරේ තිබූ බෑවුමේ වැඩිකම නිසා වාහනයක් ඒ පාරේ උඩට ගත නොහැකි විය. එහෙත් කල් ගත වෙත්ම ඒ පාරේ බෑවුම කපා වාහනයක් ගැනීමට හැකිවනසේ පහත් කොට තිබිණි.
මේ හේතුවෙන් ලොකු ලොකු අම්මලාගේ ඉඩම පාරට වඩා මීටර දෙකක් පමණ උස් විය. අප වරක් නිවාඩුවට ගමේ ආ විට මාමා පාරේ සිට ඉඩමට ගොඩවීම සඳහා ගල් හා පස් යොදා ඉතා අපූරැ පඩි පෙළක් සාදා තිබිණි.
මේ කාලය වනවිට අපේ පවුලට තවත් පුංචි සිඟිත්තියක් එක්වී සිටියාය. ඒ මගේ පුංචි නැඟෙනියයි. එහෙත් ඈ කුඩා කාලයේ බොහෝ විට විශේෂයෙන් නිවාඩු කාලවල උනින් පෙළුණාය. වරක් මහ රෝහලේ පවා නවත්වා ඇයට ප්රතිකර කිරීමට සිදුවිය.
මේ හේතුවෙන් වරක් අපට ගමේ යාමට පවා නොහැකිවිය. එයින් උරණවූ නංගී සහ මම අපේ චූටි නැඟෙනියට නමක් පවා පට බැන්ඳෙමු.
දිනක් අප දුම්රියෙන් ගමේ යමින් සිටින විට දුම්රිය කවුළුවේ ෂටරයක් හදිසියේම පහත්වී ඇයගේ ඇඟිලි මත පතිත විය. වාසනාවකට පුංචි ඇඟිලි වලට එතරම් හානියක් නොවුණි.
වරක් අප ගමේ ගියේ අවුරැදු නිවාඩුවටය. මාමා ලොකු පොල් ගස් දෙකක් මැද අපට ඔංචිල්ලාවක් සාදා දුන්නේය. උදේ සිට රෑවනතුරැත් අප කළේ ඔංචිලි පැදීමය. ඒ අතර අක්කලා සමඟ එකතුව පංච දැමීම, කැට ගැසීම හා කාඩ් ගැසීම වැනි ක්රීඩාවල නිරත විමු. කාඩ් ගැසීමේ අති දක්ෂයකු එහෙම නැත්නම් කප්පිත්තෙකු වු අපේ තාත්තා සමඟ කාඩ් ගසා වෙන කෙනෙකුන් දිනුවේ බොහොම කලාතුරකිනි. ඒ කාඩ් සෙල්ලම් අතර ඕමි, පස් වාසි, හත් වාසි, තුන්සිය හතර හා කුන්ජුස් නමින් හැදින්වූ ක්රීඩා කිරීමට අප ලොල් වුණෙමු. මේ ක්රීඩා කරන අතර පුංචි අඩියක් ගැසීමටද තාත්තා අමතක නොකළේය.
මේ දිනවල ලොකු ලොකු අම්මලාගේ කුස්සියේ පැවතියේ වෙනදාට වඩා කලබල ගතියකි. වැඩ කිරීම සඳහා ගමේ වයසක කාන්තාවන් කිහප දෙනෙකුම පැමිණ තිබිණි.
තැනෙක පිටි කොටන කෙනෙකි. තවත් තැනෙක ආච්චි කෙනෙකු ලිපක් ළග ඇණබාගෙන කොණ්ඩ කැවුම් බදින අයුරැ බලන්නට කදිමය. උතුරන තෙල් තාච්චියකට හැන්දකින් කලින් අනා පිළියෙල කරගත් පිටි සහ සීනි වලින් තැනූ තලපයක් දමා අනෙක් අතින් අල්ලා ගත් ඉරටුවකින් එහි කොණ්ඩය ගන්නා ගමන් හැන්දෙන් එයට නටන තෙල් ඉසීම එසේ මෙසේ වැඩක් නොවීය. ඒ සඳහා නම ගත් කැවුම් ආච්චිලා කිහිප දෙනෙකුම ඒ ගමේ විසූහ. මේ කාලයේ නම් ඒ සඳහා දක්ෂ පළපුරැදු අය ටවුමේ තබා ගම් වලවත් ඇතිදැයි සැක සහිතය.
තවත් තැනෙක මුං කැවුම් හැදුණු අතර ආස්මී හදන හැටිද බලන්නටම කඳිම දසුනක් විය.
එහිදීද උතුරන තෙලට ඉඳි ආප්ප රැළි මෙන් සිටින ලෙස පදමට අනාගත් පිටි සීනි මිශ්රණයක් වත් කරනු ලැබීය. එය හොඳින් පිසුණු පසු පත්තර ඇතිරෑ වට්ටියක තැන්පත් කෙරිණි. ඉන්පසු නටවා ගත් පැණි රටාවකට ආස්මී මතට වක්කරනු ලැබිණි. මේ සෑම රස කැවිල්ලක්ම බොහොම පරිස්සමින් මුට්ටිවල අඩුක් කොට කටට පත්තර කොළයක් තබා ලණුවකින් බඳින ලද්දේ ලොකු ලොකු අම්මා විසිනි. කුස්සියේ පැතිරැනු ගිනි රස්නය තුළින් නාස් පොලු පීරා ඇදුණු ඒ තෙල් මිශ්ර කැවුම් සුවඳ මේ දැනුත් මට දැනෙනවා වැනිය.
අවුරැදු කාලයේදී කිරීමට මාමාට තවත් රාජකාරියක් තිබිණි. එනම් අවුරැදු මේසයට තැබීමට හොදවැයින් කෙසෙල් කැනක් ඉදවා ගැනීමයි.
මාමා මේ සඳහා සැලසුම් කළාක් මෙන් හොඳට පැහුණු කොසෙල් කැනක් හැම අවුරැද්දකම වාගේ මාමාගේ කෙසෙල් කොටුවේ තිබිණි.
වත්තේ ගෙදරට කිට්ටුව හොඳ තැනක් බලා කෙසෙල් කැනේ තරමට වඩා මදක් විශාලව වළක් කපන මාමා ඒ තුළ කෙසෙල් කොළ අතුරා කෙසෙල් කැන බොහොම පරිස්සමින් තැන්පත් කොට උඩින් ලෑල්ලකින් වසා ඒ උඩ පස් අතුරන්නේ හොඳ සීරැ මාරැවටය. වළේ එක් කොනකින් එළියේ සිට කෙසෙල් කැන දක්වා දිවෙන පුංචි බට කෑලක්ද සවි කරන්නේ ඊට පසුවය. එතැන් සිට දින කිහිපයක් බටයේ කට ළඟ තැබූ පොල් කටු අඟුරැ මතට භූමටලු හා හනසු දමා කුල්ලකින් ගසමින් ඉන් නිකුත්වන දුම බටය තුළින් කෙසෙල් කැනට වදින සේ ' දුම් ගැසීම' කරනු ලබයි. ඒ කාලයේ කෙසෙල් ඉදවා ගත්තේ මෙලෙසිනි.
මෙවැනි රසවත් සිද්ධීන් බලමින් හා එක් එක් ක්රීඩා කරමින් අප විනෝද වූවද අවුරැදු දා නම් මට ගම එපා විය.
තව කොටසක් ලබන සතියේ......
පළමු කොටස https://www.facebook.com/chandana.gunasekera/posts/10205699402714803:0
දෙවැනි කොටස https://www.facebook.com/chandana.gunasekera/posts/10205760375399082:1
තෙවැනි කොටස https://www.facebook.com/chandana.gunasekera/posts/10205808428520380:1
චන්දන ගුණසේකර - එක්සත් රාජධානිය
Agei sahodaraya obage Katha Nam....
ReplyDeleteගොඩක් ස්තූතියි සහෝදරයා ඔබට!
Deleteරසයි රසයි , ළමා කාලේ ආලේ කල කාලේ වෙනකං ලියාන යං
ReplyDeleteබොහොම ස්තූතියි මචං!
Deleteදැන් අවුරුදු එනව දන්නෙත් නෑ යනව දන්නෙත් නෑ.. අපිට ඉස්සර අවුරුදු මාසයක් තිස්සේ.. අපිත් ඔහොම කෙහෙල් කැන් ඉදවල තියෙනව.. එහෙම ඉදුණු කෙහෙල් කැනක ගෙඩියක් කනකොට මාර සුවඳයි..රසයි.. අනික සුමානෙකට වැඩිය ඉදිච්ච කැන තියෙනව කිසිම දෙයක් වෙන්නේ නෑ. දැන් බෙහෙත් ගහපු කෙහෙල් දහතුන කොළ, දා හතර කහ, පහලොව උදේ කලු.. සැක් විතරක් රටකට ගිය කල..
ReplyDeleteඅර නංගිට තවමත් ඒ නමින් විහිළු කරනවද? ජය ශ්‍රී!
බොහොම ස්තූතියි කල්‍යාණ මිත්‍රයා හැමදාමත් මෙහි ගොඩවෙලා මගේ ලිවීම් රස විඳිනවට!
Deleteඔබ හරි දැන් ඒ සුන්දරත්වය,අව්‍යාජකම තියෙනවද? ඔක්කොම අවුරැද්ද පවා වානිජකරණය වෙලා.
අනේ නෑ ඒ පුංචි නංගී සහ එම පවුල තමයි මගේ ඉටු දේවයන් දැන්. ඔවුන් තමයි මගේ දෙමාපියන් බලාගෙන මහ ගෙදර ඉන්නේ. ඔබට ජය!
චූටි නිවාඩුවක් ගත්තා හිමින් සැරේ කියවන්න ඕන චන්දන අයියෙ
ReplyDelete