Pages

Saturday, 14 February 2015

යටඳොලවත්ත 3 - රබර් රොටී....



මාමාට අලුයමින්ම කළ යුතු කාරිය වූයේ අක්කරයක් පමණවූ ඔවුන්ගේ රබර් වත්තේ රබර් කිරි කැපීමයි. මේ රබර් වත්ත ලොකු ලොකු අම්මලාගේ ඉඩමට පිටපසින් අල්ලපු වැටේ පිහිටා තිබිණි.

මේ සඳහාම අඳින රබර් කිරිවැටී දුර්වර්ණ වූ පරණ සරමක් හා කමිසයක්ද මාමාට තිබිණි. 

උදේම නැඟිට ලිපෙන් නිවා ගත් අඟුරැ කැටයක් කටට දමා හපා අසල ගසකින්(මට ගසේ නම මතක නැත. බෝඹු වගේ කියනු යාන්තමට මතකයේ ඇත) කඩාගන්නා කොටු කැබැල්ලක් හපා සාදා ගන්නා බුරැසුවකින් බුලත් කහටින් පිරැනු දත් මනාවට මැදගන්නා මාමා උදෑසන සීතල පින්නෙන් බේරිමට ජටාවක් හිස බැඳ කිරි කපන පිහිය හා ඔට්ඨපාලු දමා ගැනීමට ගෙනයන බෑගයද එල්ලාගෙන රබර් වත්ත බලා පිටත් වන්නේ යුද්ධයට යන සෙබළකු පරිද්දෙනි.

ඔට්ඨපාලු යනු ඊට පෙරදා ඉනූ කිරි, රබර් ගසේ කැපුම් දාරයේ හා එල්ලා ඇති පොල් කටුවල මිදීමෙන් සැදුණු දෙයකි. මේවා එකතු කොට වේලා යම් අඩු මිලකට විකුණා ගත හැකිවිය.

අප මේ ඔට්ඨපාලු වලින් රබර් බෝල ආදිය තනාගෙන සෙල්ලම් කළෙමු. ඉන් වහනය වූ දුගද අපට ප්රශ්නයක් නොවිණි.

ගසින් ගසට යන මාමා කැපුම් දාරයේ මිදුණු ඔට්ඨපාලු පටිය ඇද ගලවා පොල් කට්ටේ මිඳුණු රබර් කිරි ලඩයද සමග බෑගයට දමා පොල් කට්ට නැවත එල්ලා ඉතා සීරැ මාරැවට කිරි කපන පිහියෙන් ගසේ පොත්ත කලාවකට කපන්නට පටන් ගනී. කැපුම් පහර දිගේ සුදෝ සුදට ගලා හැලෙන කිරි දහරාවෝ බලන්නට ආස හිත පිරෙන දසුනකි. ඉන්පසු පොල්කට්ටට කිරිටික පිරෙන්නට සලස්වා මාමා අනෙක් ගසට යයි. මේ ලෙසට වත්තේ සෑම ගසකටම යා යුතුය. 


ඉතා සීරැ මාරැවට මේ කැපීම සැමටම කරන්නට බැරැය. එයට මනා සංයමයත් පළපුරැද්දත් උවමනාය.

රබර් පේළි කඳු බෑවුමේ එක් එක් තට්ටුවට වෙන්නට තනි පේළියට සිටුවා තිබීම නිසා එක පේළියක් ඉවරවූ පසු අනෙක් පේළිය වශයෙන් ක්රමානුකූලව කිරි කැපීම කළ හැකි විය.

පැය දෙක තුනකින් කිරිකපා ලේ ගලන දෙපයින් යුතු මාමා ගෙට ගොඩවනු මට අද මෙන් මතකය. ලේ ගලා ආවේ කූඩැල්ලන් පාද වල එල්ලී ලේ උරා බීමෙනි. සීතල තෙත බරිත මේ පරිසරයේ ඉතා පුංචි තණ කොලේ පවා කූඩැල්ලන් යහමින් සිටියහ.

අනුරාධපුරයේ වියළි පරිසරයේ ජීවත් වූ අපට මේ කූඩලු කරදරය තිබුණේ නැත. 

සමහර කූඩැල්ලන් කෙතරම් තදින් මාමාගේ දෙපා වල එල්ලී ලේ බොමින් සිටියාද කියතොත් උන් ගැලවීමට ලුණු වතුර පවා දැමීමට සිදුවිය. සමහර දිනවල මාමා දෙපා වල සබන් අතුල්ලාගෙන රබර් වත්තට ගියේය. සබන් ඇතිල්ලූවිට කූඩැල්ලන් කකුලට ගොඩවීම අඩු වීම මෙයට හේතුවයි.

කූඩැල්ලන් මතක් කරද්දී මට ඔවුන් සම්බන්ධ කතා කිහිපයක් සිහියට එයි. 

එකක් අප කළ ඉතා පව්කාර වැඩකි. කුඩා කල එය කළත් පහුවෙනවිට එහි වැරද්ද පෙනී අප එය නැවත නොකළමු. ඒ නම් කූඩැල්ලන් අල්ලා ගින්දරට දැමීමයි. ගිනි රස්නයට බැලුමක් මෙන් පිම්බී උන් පිපිරී යනු බලා ඒ දිනවල අප තුටු වූවත් එහි පව්කාර බව වැටහුණු පසුව අප යළි එසේ නොකළෙමු.

අනෙක් කාරණය නම් මටම සිදුවූ ඇබැද්දියකි. චිත්ර කතා කියවීමේ පිස්සකු වූ මා ( චිත්ර කතා හා බැඳුණු මගේ ළමා කාලයේ අත්දැකීම් මා වෙනම ලිපියක ලියා ඇත) ලොකු ලොකු අම්මලාගේ නිවස අසල ඔවුන්ගේ රබර් වත්ත පාමුළු තිබූ ප්රාදේශීය පුස්තකාලයට යන්නට ඇබ්බැහි වී සිටියෙමි. ඒ කුඩා ගොඩනැඟිල්ලේ එක කොටසක පුස්තකාලයද අනෙක් කොටසේ යටදොල ප්රදේශීය ඩිස්පැන්සරියද පිහිටා තිබිණි.

උදේ කෑමෙන් පසු පුස්තකාලයට වදින මා නැවත නිවසට ආවේ දිවා ආහාර වෙලාවටත් පසුවය.

එහිදී මා සුසිල් ප්රේමරත්නයන්ගේ 'ලංදේසි හටන ' නම්වූ මණරම් චිත්ර කතා පොත් ගොන්නම කියැවූයෙමි.

දිනක් මෙලෙස මුළු ලොවම අමතක වී ලංදේසි හටනේ සටන් කරමින් සිටින විට හදිසියේම මගේ වම් පාදයේ කුඩා ඇඟිල්ල හා ඊට යාබද ඇඟිල්ල අතර යමක් සිරවී ඇතිබවක් ඈත්ව තිබූ ඇඟිලි අතරින් දක්නට ලැබිණි.

කලබල වූ මා හොඳටම බියවී ඒ කුමක්දැයි කකුල ගසා දමමින් බැලුවිට ඒ වනවිටත් පැය ගණනක් නිදහසේ මගේ ලේ උරා බී සන්තෘප්තව උන් කූඩැල්ලා ලේ මතින්ම මත්වී බිමට වැටුණි.

ඉබේම වැටුණු නිසා ලේ ගලා නොආවත් එතනට කඩදාසි පුච්චා ගාන ලෙස පුස්තකාලාධිපති තුමාගෙන් මට ඊට පුංචි ප්රතිකර්මයක්ද ලැබිණි.

කිරිකපා ගෙට ගොඩවන මාමා උදේට පිළියෙල කර තිබෙන බත් සම්බෝල හා පරිප්පු හෝ පතෝල හොදි සමඟ අනුභව කරන අයුරැ බලන්නට ආසය.

කෑමෙන් පසු හොඳවයින් විටකයකුත් ගහගන්නා මාමා කිරි එකතු කරන භාජනත් සමඟින් නැවත රබර් වත්තට නික්ම ගියේ කැපූ කිරි එකතු කරගැනීම සඳහයි.

පැය කිහිපයකින් කිරි එකතු කරගෙන කුස්සිය පැත්තෙන් ගෙට ගොඩවන මාමා නිවසේ පිටුපසට වන්නට තනා තිබූ ඉවීමට නොව කෑම ගැනීම සඳහා භාවිතා කළ කුස්සියත් ඊට යාබදව මඩුවක් විලස සාදා තිබූ සැබැවින්ම ආහාර පිසූ කුස්සි කෑල්ලත් අතර පුංචි බරාධය වැනි කොටසේ ඈදි ගන්නේ ඔහුගේ රබර් රොටී සෑදීමේ ව්යාපෘතියේ ඊළඟ පියවර සඳහාය.

ඒ සඳහා ඔහුට එකම ප්රමාණයේ රබර් රොටී සදන තැටි කිහිපයක්ම විය. ඒවා බිම හොඳින් මට්ටම් පොළොවේ තබා ඒවාට මාමා එකම ප්රමාණයට කිරි වක් කෙරැවේ හරියට බුද්ධ පූජාව සඳහා පැන් වත් කරනවාක් බඳු සැලකිල්ලකින් හා භක්තියකිනි.

ඉන් පසු කිරි ඉක්මනින් මිදීම සඳහා ඊට එක්කරන ඇසිඩ් පිරි බෝතලය බොහොමත්ම පරිස්සමින් ළඟට ගන්නා මාමා එය ඉතා පොඩි ඩප්පියකට වත් කොට ඉතා සීරැමාරැවට කිරි තැටිවලට එක් කළේ ඒ සඳහා වූ ඔහුගේ පළපුරැද්ද හා ඕනෑකම මනාවට ප්රදර්ශනය කරමිනි.

ඉන්පසු පුංචි පැතලි දැති නැති පනාවක් වැනි යමක් ගන්නා මාමා තැටිමත කැටිවී තිබෙන රබර් පෙණ ඉතාමත් සූක්ෂමව ඉවත් කොට දැමුවේ රබර් රොටියට ඉහළම පෙනුමක් ලබා දෙමිනි.

මෙසේ සකසුරැවමට සෑදූ රොටී නියමිත වෙලාව ගතවී මිදුන පසු තැටියෙන් ගලවා මදක් අත්වලින් පැතලි කොට දෙකට නමා එකම තැටියට දමා ගන්නා තුරැත් මේ ක්රියාවලිය නිරීක්ෂණය කරමින් සිටින මා සිටන තැනින් සෙලවෙන්නේ වත් නැත.

ඉන්පසු එළැඹෙන්නේ "රොටී ගහනා " මැෂිම තිබෙන ස්ථානයට ඒවා රැගෙන යාමයි. 

රොටී දැමු තැටිය හිස උඩ තබාගත් මාමා පිටුපස මේ ගමන සඳහා මාත් දින කිහිපයක්ම යන්නට පෙලැඹුණේ මෙවැනි තැන්වලට යාමට මගේ තිබුණු ආශාව නිසාමය. මාමාත් එයට විරැද්ද නොවීම මගේ සිතට මහා සැනසීමක් විය.

රබර් වතු මැදින් ගොස් වෙලක නියරවල් දිගේ මද දුරක් ගමන් කොට පුංචි ඇලකින්ද එගොඩවූ විට රබර් රොටි ගහන මැෂිම තිබූ ගෙදරට සේන්දුවිය හැකි විය.

එහි මැෂින් දෙකක් විය. මාමා දෙන රබර් රොටිය මැෂිම ක්රියා කරවන්නා මුලින්ම එක මැෂිමක රෝලක් මතින් යවා හොඳින් තුනී කරන්නේය. ඉන්පසු හොඳින් තුනීවූ රොටිය අනෙක් මැෂිමේ එවැනිම රෝලක් අතරින් යවා යම් දාර දාර වැනි හැඩයක් රොටියට ලබා දුන්නේ මාව විස්මයට පත් කරවමිනි.

ඉන්පසු නියමිත ගාස්තුව ගෙවූ මාමා ගහපු රොටීත් කර මත තබාගෙන මාත් සමඟ ආපසු එන්නට පටන් ගති.

ඒ නිවස පාරට වැටෙන තැන තිබූ ගසක ගොස් තිබූ බුලත් වැලකින් කොළයක් කඩා මම මුවේ රැවා ගතිමි.

හැපූ විට ආ රසයෙන් එය බුලත් නොවන බැව් තේරැම් ගත් මා වහාම එය ඉවතට දැමුවෙමි. සිනාසී මාව දැනුවත් කළ මමා ඒ ගම්මිරිස් වැලක් බැව් මාහට පැවසීය.

ඉන්පසු මේ රබර් රොටී දුම්ගසා හොඳින් වේලාගත යුතු විය. ඒ සඳහා ඒවා දුම්මැස්සේ ගැටගැසූ වැල් වල රෙදි මෙන් වනා තැබුවේද මාමා විසිනි.

ඒවා පදමට වේලුණු පසු මතුගම රබර් කඩයට ගොස් විකුණා ගෙදරට උවමනා අඩුම කුඩුමද මතුගම පොළෙන් ගෙන ඉතුරැ සල්ලී සියල්ලම ලොකු ලොකු අම්මා අතට දෙන මාමා තමන්ට කියා කිසිත් ගත් බවක්නම් මට මතක නැත.

වැසිදිනවල රබර් ගස් නොකපන නිසා එවැනි දිනවල මාමාට උදේවරැවේ යම් නිවාඩුවක් ලැබිණි.

එවැනි දිනවල වැස්ස මදක් තුරල් කළ පසු උදැල්ලකුත් කරගසා ගන්නා මාමා කෙළින්ම ගියේ වත්තටය. ඒ උදැල්ල එසේ මෙසේ උදැල්ලක් නොවීය.

තව කොටසක් ලබන සතියේ.....

-චන්දන ගුණසේකර-එක්සත් රාජධානිය

6 comments:

  1. රබර් රොටි! ඔය මුල්ම රෝලට කියන්නෙ දිය රෝල. ඒකෙන් කරන්නෙ රොටියෙ වතුර මිරිකන එක. ඉන් පස්සෙ දාන කට්ට හැදෙන එක ඩයමන් රෝල. ඉස්සර අවිත්තාවෙ අම්මගෙ ගමේ ගියහම අපිත් යනව රබර් රොටි ගහනව බලන්න.

    කූඩැල්ලො සහ බුලත්විට කියන්නෙ අවියෝජනීය සම්භන්ධයක් මම හිතන්නෙ!

    ReplyDelete
  2. නියමයි මාත් රුවන්වැල්ලේ ගෙවුන මගේ ළමාකාලයට ගියා , දිගටම මේ අත්දැකීම් විස්තර කරන්න

    ReplyDelete
  3. අපි ඉස්කෝලෙ යන කාලෙත් හුගක් අයට තිබුණ ඔය චිත්‍ර කතා පිස්සුව. ඉස්කොලෙ ඇරිච්ච ගමන් දුවන්නෙ ඔය පත්තර ගේන ගෙදරකට. සත්සිරි, සිත්තර, මධුර වගේ පත්තර තමා වැඩි පුරම බලන්නෙ. කූඩැලි අත්දැකීම් නම් ඉතින් ඇත්තෙම නෑ. මොකද අවුරුද්දෙ වැඩි කාලයක් අව් රශ්මිය විහිදෙන කලාපෙක ජීවත්වෙන නිසා......නියමයි...දාන්න හැමදාම....කියවන්න....රසවිදින්න

    ReplyDelete
  4. රබර් රොටිය....මාවත් පොඩිකාලේ ගොඩක් කුතුහලයට පත්කරපු දෙයක්.ඩයමන්ඩ් රෝලට දානවා බලන්න පුදුම ආසාවක් තිබුනේ.ඒ අතීතය ආපහු මට මතක්කලා.
    ජය වේවා....

    ReplyDelete
  5. රබර් අපිට හුරු නෑ.. තේ තමයි ඒ වෙනුවට.. හැබැයි කූඩැල්ලොනම් ඕසෙට.. මගේ පුංචි කාලෙ විනෝදාංශෙ තමයි කූඩැල්ල ඇදල මැද්දෙන් ගැටයක් දාන එක.. පස්සෙ පස්සෙ පවු කියල හිතුන නිසා ඒක නතර කරා.. රබර් වතු වෙනුවට තේ වතු මැදින් අතීතෙට දුවල ගියා.. මේකට දැන් වහ වැටිල..

    ReplyDelete
  6. අපි පොඩි කාලෙ මාතලේ ලොකු අම්මලගෙ ගෙදර ගියාම ඔට්ටපාලු බෝලයක් නම් හදාගන්නවාමයි.හැබැයි ගහෙන් ඔට්ටපාලු ගලවනවා දැක්කොත් නං බලු බැනුම්.. තව රබර් ඇටේ මැද අරන් දාල රූනොත් හදනවා

    ReplyDelete