අප කළුතර සිට පැමිණ බසයෙන් බැසගන්නා බස් නැවතුමේ තනා තිබුණේ ඉතා අපූරැ බස් හෝල්ට් එකකි. ඒ අවට තරැණ කැලගේ එකමුතු කමේ ප්රතිඵලයක් විලස ඔවුනගේ ශ්රමයෙන් එය ඉදිවී තිබිණි.
මතුගම යෑම සඳහා බසයක් එනතුරැ සිටින ප්රදේශ වාසීන්ට අව්වෙන් හා වැස්සෙන් බේරි මෙය යටට වී කදිමට ඉන්නට ලැබුණි.
පොළේ යෑමට, ඇඳුම් පැළදුම් ගැනීමට හා තමන්ගේ රබර් රොටී විකුණා ගැනීමට යාමට තිබූ ළඟම ටවුම වූයේ මතුගමයි.
මේ අනගි බස් හෝල්ටය ඉඳිකිරීම සඳහා මූලිකව ක්රියා කොට තිබුණේ එවකට විශ්ව විද්යාල සිසුවකු වූ ලොකු ලොකු අම්මාගේ එකම පුතු විසිනි. අප ඔහුට පට බැඳ තිබූ නම වූයේ " කැම්පස් කොල්ලා " යන්නයි.
ඔහු සෑම විටම පාහේ අපේ තාත්තත් සමඟ දේශපාලන වාද විවාද කරනු අපට ඇසී ඇත. අපේ තාත්තා දේශපාලනය නොකළත් සැමවිටම කතා කළේ යූඇන්පියට පක්ෂවය. විශ්වවිද්යාල සිසුවකු වූ අයියා සමසමාජ අදහස් දැරීය. ඔහුගේ සෝවියට් රැසියානු සංගම් සමඟ සම්බන්ධකම් තිබිණි.
ඔහු වරක් සෝවියට් පොත් ප්රදර්ශනයකින් ගෙනා රැසියානු පොත් දෙකක් පොත් පිස්සකු වූ මාහට තෑගි කළේය. පොත් දෙකම දැදිගම වී රැද්රිගූ මහතාගේ පරිවර්තන වූ අතර එක පොතක් " ලස්සන වසීලිස්සා " සහ අනෙක "මගේ හපන්කම්" නම් විය. ලස්සන පිංතූර වලින් විචිත්රවූ ලස්සන වසීලිස්සා පොත මා එදාම කියැවූවත් මගේ හපන්කම් කියැවූයේ ඊට අවුරැදු කිහිපයකටම පසුවය. ඉන්පසුව සෑම නිවාඩුවකම කියවන මගේ අත් පොතක් තත්වයට මගේ හපන්කම් පොත පත්විය. ඒ පොත රොටියක් හපමින් කියැවීම මගේ විනෝදාංශය විය. එම පොතෙහි නානාවිධ රොටි වර්ගත් එහි කතා නායකයා ඒවා කන අන්දමත් ඉතාමත්ම රසවත් ලෙස විස්තර කර තිබීම ඊට හේතුවයි.
ඒ කාලයේ මේ පළාතක විදුලි බලය තිබුණේ නැත. කදුවැටි වලින් හා රෑස්ස රබර් වතු වලින් වටවී තිබූ නිසා සවස හතර පමණ වන විට පළාතම වසා ගත්තේ මූසල පාළුවකුත් සමඟ එන කළුවරිණි. තැනිතලා අනුරාධපුරයේ සවස හය පමණ වන තුරැ ලැබුණු ඉර එළිය හා වියළි දේශ ගුණයට හුරැවී සිටි අපට ඉර මහා කඳුවලට මුවාවීමත් සමඟම දැනුණේ තද සීතලකි.
විදුලි බලය නොතිබීම නිසා ගෙයත් ඒ අවටත් අඳුරින් වැසීගියේ කලු ඇඳුමින් සැරසුණු මන්තර කාරියක් තම විශාල අත් යුගලයෙන් පළාතම මිරිකාගන්නාක් මෙනි.
එවිට නිවස එළිය වූයේ චිමණි ලාම්පු හා කුප්පි ලාම්පු වලනි. එහෙත් සාලය ආලෝකමත් කිරීමට ගෙන ආ එක්තරා ලාම්පුවක් සමඟ අපේ පොඩි මාමා ඔට්ටුවනු සෑම සවසකම දක්නට ලැබුණු සුලභ දසුනකි.
එම ලම්පුව හැදිනවූයේ පැට්රෝල් මැක්ස් කියාය. එහි මැද චිමිනිය ඇතුළේ ආලෝකය විහිදුන කොටස " මැන්ටලය" නමින් හැදින්විණි.
මාමා සීරැ මාරැවට ඊට හුළං ගසා එහි මැන්ටලය හොඳින් දැල්වුණු පසු එහි එළිය මුළු පළාතටම විහිදුණි. ඒ අතරම ඉන් නිකුත්වූ රැහැයියෙකුගේ බදු හඬ මට මේ දැනුත් ඇසෙන්නාක් බඳුය. මේ ක්රියාවලිය දෙස බලාසීටීමට අප ආශා කළත් මෙය ඒ පිළිබඳ හොඳ පළපුරැද්දක් නැත්තෙකුට පහසුවෙන් කළ හැකි කාර්යයක් නොවීය. එමෙන්ම ඉතාමත් අනතුරැදායකද විය.
රාත්රියේ එළියේ වූයේ කෑලි කැපිය හැකි ඝන අඳුරකි. නිවස ඉදිරිපසින් පිහිටි විසල් රබර් යාය එයටම රැකුලක් විය. ඒ අතර එළිය විහිදුවමින් ඒ මේ අත ඉගිල්ලුණු කලාමැඳිරියන් දෙස බලා සිටින මට හැගී ගියේ අහසට අමතරව ගස් වැල් හා අප අවටත් තරැ පලසක් එලා ඇති සැටියකි. මේ දසුන් වලින් කුල්මත්වූවත් දැඩි අඳුරට බියවූ අප සැමවිටම සිටියේ කවුරැන් හෝ වැඩිහිටියෙකුට ළංවීය.
ඒ අතරසමහර රාත්රි කාල වල අවට ඇති ලැයිමකින් ඇදී ආවේ මහා මූසල බෙරයකට තට්ටු කරන හඬකි. මා එය කුමක්දැයි අපේ පොඩි මාමාගෙන් විමසූ විට ඔහු පැවසුවේ ලයිමේ කෙනෙකු මිය ගොස් ඇති බවය. ඒ අසා අප තවත් බිය වීමු.
රබර් ගස් වල කොළ හැලෙන කාලයේ නිවස ඉදිරිපසින් විරාජමාන වූ මහා කන්ද හොඳින් පෙනෙන්නට පටන් ගනී. රාත්රියේ කලුවරත් සමඟ මේ දෙස බලා සිටින අපට එක්තරා ආලෝකයක් කන්දට පිටුපසින් මතුවී අඳුරැ අහස් කුස එළිය කොට කැරකී ආපසු යනු දක්නට හැකි විය. එය බේරැවල පිහිටි ලයිට් හවුස් එහෙම නැතිනම් පහන් කන්දකින් නිකුත් වෙන ආලෝකය බැව් පොඩි මාම අප සමඟ පැවසීය.
අප නිවාඩුවට එන තුරැ ලොකු ලොකු අම්මාද බලා සිටියේ නොඉවසිල්ලෙනි. අපේ අම්මා මෙන්ම ඇයද අපට ආදරය කළාය. අපද ඈට අපේ අම්මාට මෙන්ම ආදරය කළෙමු. ඈ නොයෙක් නොයෙක් දේ කුඩා අප වෙනුවෙන් ගෙනාවාය. අප ආස කරන කෑම උයා දුන්නාය.
මා ආසම ලොකු ලොකු අම්මා සවසට පැයක් පමණ ගාථා කියමින් බුදුන් වඳින හඬට සවන් දීමය. ඇය කියූ ගාථා අතුරින් මගේ සිත තදින්ම ඇදී ගියේ "සුපටිත්තිත රක් අනුරාධපුරේ සමදිට්ඨිත දක්ඛිණ සාකබවන්" කියා අනුරපුර ජය ශ්රී මහා බෝධිය වන්දනා කළ ගාතාවටය. ඈ එය ලයාන්විතව ගායනා කළ ආකාරයට මා පෙම් කළෙමි.
රාත්රි අඳුරත් සමඟ නිවසේ තැන් තැන්වල හොල්මන් සේ අප සැම වාඩිවී සිටියේ ඒ වෙලාවට කළහැකි අන් වැඩක් නොතිබූ බැවිනි.
අනුරාධපුරයේදී ඔහුගේ යහළුවන් සමඟ බොහොම විනෝදයෙන් සන්ධ්යාවන් ගත කිරීමට හුරැවී සිටි අපේ තාත්තාටනම් යටඳොල විසුම හිරගෙයක් බඳු විය. දින දෙකකට වඩා එහි ගත නොකළ ඔහු අපව යටඳොල නවත්වා අනුරාධපුරයට ගියේ එහෙයිනි.
අප යටඳොලවත්තට යෑමට ආකර්ෂණයක් වූ තවත් පුද්ගලයෙකු විය. ඔහු අපේ පොඩි මාමාය. පැහැපත් වර්ණයෙන් හා ඉතා තද කළු කොණ්ඩයකින් හෙඹි අපේ පොඩි මාමාට ගමේ මිනිසුන් කීවේ "රතු මහත්තයා" කියාය. එකල මිනිසුන් සුදු පැහැපත් සමින් යුතු අයට රතු කියා ඇමතුහ. "රතු අක්කා,රතු හාමිනේ,රතු මාමා හා රතු සීයා " වැනි නම් ඇතිවුණේ එලෙසිනි.
අපේ අම්මාගේ පොඩි අයියා වූ අපේ පොඩි මාමා කසාදයක් බැඳ තිබුණේ නැත. අනුරාධපුරයේ අපේ නිවස සාදන සමයේ එහි නතරවී ගේ වැඩපල බලාගත්තේ මේ මාමා බව අපේ අම්මා මට පවසා තිබුණාය.
ඉන් පසුව අපේ ලොකු ලොකු අම්මාගේ ආදරණීය සැමියා හදිසියේ මෙලොවින් සමුගත් නිසා මාමා යටඳොලවත්තේ නැවතී ඒ ගේ දොර වතු පිටි හා කුඹුරැ බලා කියා ගනිමින් තම ලොකු අක්කා ළඟම නතර විය.
විවාහවක් ගැන නොසිතූ අපේ මාමා මුළු දිවියම තම අක්කාගේ පිය වියෝවෙන් තනිවුණු පවුල නඟා සිටුවීමට කැප කළේය. දැන් සිටිනා තමන්ගේ සහෝදර සහෝදරියන් අමතක කරන මිනිසුන්ට මෙතුමා කදිම ආදර්ශයකි.
මාමා අවුරැද්දට වතාවක් දුම්රියෙන් අනුරාධපුරයට ආවේය. අප සිටියේ ඔහු දකිනතුරැ ඇඟිලි ගනිමිනි. ඒ ඔහු ආ පසු අලිබබා සහ හොරැ හතළිහ කතාව අස්සවා ගැනීමටය. එය කීසැරයක් නම් ඔහු කියූවාදැයි මට මතක නැත. එහෙත් ඒ හැම වාරයේදීම මුලින්ම ඇසූ දවසේ ලැබූ වින්ධනයම ලැබූ බව නම් මතකය.
මාමා අනුරාධපුර ආවේ ජය ශ්රී මහා බෝධියට කුඹුරේ අස්වැන්නේ අග්රභාගයෙන් පිළියෙල කරගන්නා කිරිආහාර පූජා කිරීමටය. එය ඔහු කුඹුර වැපිරීමට පෙර වන්නාවූ භාරයක් ඔප්පු කිරීමකි.
මාමාත් සමඟ අටමස්ථානය වඳින්නට යාමට අප ප්රිය කළෙමු. මාමා අපුර ආවිට සතියක් දෙකක් නතරවී යාමට අමතක නොකළේය.
එවන් සමයක දිනයක් මා පාසල ඇරී ගෙදර එනවිට මාමා විසින්ම සෑදූ අපුරැ සෙල්ලම් බඩුවක් මා අත තැබීය.
එය පොල් පිත්තක් කපා එයට පොල් කට්ටකින් සෑදූ අං කුට්ටමක් ගැසූ පොල් පිති හරකෙකි. එය බිම දිගේ ඇදගෙන යාමට ලණුවක්ද ඊට සවිකොට තිබිණි. බොහෝ කලක් යන තුරැ මා හරකා දිගෙලි කරමින් හා ඌට තණකොළ කවමින් සතුටු වූ බව මට මතකය.
මහප්පාගේ හදිසි වියෝවත් සමඟම යටඳොලවත්තේ නතරවූ මාමා ගොඩින් අක්කර එකහමාරක් පමණ වූ ගෙය සහිත ඉඩම, රබර් කට්ටිය හා කුඹුර යන සංස්ථා තුනෙහිම වගකීම කරට ගෙන ඒවයේ උන්නතිය වෙනුවෙන් තම මුළු දිවියම කැප කළේය.
නිවස වටේ පිහිටි ඉඩමේ මාමා සිටුවා නොතිබුණු පැළයක් නැති තරම්ය.
අඹ,අන්නාසි,පේර,වෙරළු,දොඩම්,පැෂන් ෆෘට්, මැංගුස්,රඹුටන්,කෙසෙල් වැනි පලතුරැද කොස්,දෙල්,බතල හා මඤ්ඤොක්කා ආදී බව බෝගද පලා හා එළවළු වර්ගද, කෝපි,ගම්මිරිස්,කුරැඳු හා කරාඹු නැටි ආදී කුළු බඩු වර්ගද ඔහු වත්තේ වවා තිබිණි.
තැඹිලි හා හොඳ පොල් ගස් කිහිපයක්ද කජු ගස් කිහිපයක්ද වත්තේ විය.
වත්තේ පසෙක කිතුල් ගසක් පවා වවා තිබිණි. එහි මල් පීදී එනවිට මාමාම කිතුල මැද්දේ පැණි සෑදීමේ අරමුණෙනි. අපටත් ඉදහිට තෙලිජ්ජ ටිකක රස බලන්නට මේ නිසා හැකිවිය.
මත් පැන් පානය හෝ දුම් බීම නොකළ අපේ මාමා රා ඩිංගිත්තක් විනෝදයට මෙන් බීමට පැණි සඳහා නැටවීමට පෙර තෙලිජ්ජ ටිකක් පැහෙන්නට තබා තිබ්බේය.
නිවාඩු කාලයේ අප ආවිට තාත්තා හැන්දෑවට ටිකක් සප්පායම් වීමට ගෙනෙනා අරක්කු බෝතලයෙන් මාමටත් බොන්නට දුන්විට ටිකක් බිව්වා විනා පුරැද්දකට කිසි විටෙක මත්පැන් බොනු අප දැක නැත.
ඒ වෙනුවට මාමා ඉතා අධික ලෙස බුලත් සැපීමට නම් ඇබ්බැහිව සිටියේය. ඔහුට උදේ නැගිට්ට වෙලේ සිට බුලත් වඩි හත අටක්ම ඕනෑ විය.ඒ සඳහා ඔහු බොහොම පරිස්සමින් හා ආදරයෙන් සරැවට බුලත් වැලක් හා පුවක් ගස් කිහිපයක් වවා ගෙන තිබුණි. විටක් සඳහා අවශ්ය හුණු සහ දුංකොළ මාමා මතුගම පොළෙන් ගෙනාවේය.
ගෙදර සිවිලිං ගසා නොතිබුණු එම නිවසේ ඉස්සරහා කාමරයේ අයියා සහ මාමාත් දෙවැනි කාමරයේ ලොකු ලොකු අම්මා සහ අක්කා කෙනෙකුත් ඉතිරි කාමර දෙකේ අනෙක් අක්කලත් නිදා ගත්හ. අප ගිය දිනවල ඉස්සර කාමරයේ ඇඳ තාත්තාට දී මාමා සාලයේ බූරැ ඇඳක් දමා ගෙන එහි නිදා ගත්තේය.
රාත්රියේ පහන් නිවා ඇඳන් වලට ගිය පසු තම තමන්ගේ ඇඳන් වලම සිට නින්ද එන තුරැ කට්ටියම කතා කරමින් සිටිය අයුරැ නිදිමත අතුරින් මට ඇසී තිබිණි. සිවිලිං ගසා නොතිබුණු නිසා කාමරයෙන් කාමරයට කතා කරන හඬ එකිනෙකාට ඇසුණි.
ඒ කාලයේ රෑපවාහිනී යන්ත්ර තිබුණේ නැත. අප සැවොම ගුවන් විදුලියට සවන් දුනිමු. මාමා ගුවන් විදුලියේ ප්රචාරය වූ මුවං පැලැස්ස හා මොණරතැන්න වැනි කතා වලට සවන් දීම එක සතියකටවත් අත හැරියේ නැත. මාමා නිසා අපත් ඒ කතා ඇසීමට පෙලැඹුනෙමු. මුවං පැලැස්සේ කදිරා,ගුරැන්නාන්සේ මාමා,කෝරළේ මහත්තයා,මැණිකේ සහ පිනා අපේ ලෝකවල සැරිසැරෑ චරිත බවට පත්විය.
උදේම අවදිවන මාමාට කිරීමට රාජකාරි කිහිපයක්ම විය.
ලබන සතියේ තව කොටසක් .....
-චන්දන ගුණසේකර-එක්සත් රාජධානිය.
හිත අතීතයේ සැරිසරා
ReplyDeleteඑක මොහොතක් ගානේ
ඔබෙ එක පදයක් ගානේ
දෙනෙතට කදුළු එක්කරා
මචං යටදොලවත්තේ කළු රබර් කෑල්ල ගැනත් ලියහන්......
ReplyDeleteඅපූරුයි!. පොඩි මාමා (රතු මහත්තයා) තුන්මං හන්දිය සිහි ගැන්වූවා.. දැන් මේකට ඇඩික්ට් වීගෙන එන්නේ.. ඊලඟ තවත් රසවත් කෑල්ල ඉක්මණටම දාන්න වෙයි.. හහ් හහ් හා.. ජය ශ්‍රී!
ReplyDeleteරසවත් , කලාත්මක නිර්මාණයක්.. එල.
ReplyDelete