Pages

Wednesday, 22 March 2017

තමරා මිස්......






" Que sera, sera
Whatever will be, will be
The future's not ours to see
Que sera, sera
What will be, will be"

මම මෙම ඇමෙරිකානු ජන ගීතය මුලින්ම ඇසුවේ ඇයගෙනි. එමෙන්ම තවත් එවැනිම අති ජනප්රිය ගීතයක් වූ,

" Country roads, take me home to the place I belong.
West Virginia, mountain mamma, take me home, country roads." 

ගීතයද මා උගත්තේ ඇයගෙනි.

1978 වසරයි. අනුරාධපුර ශාන්ත ජෝස්ෆ් විද්යාලයේ මගේ පාසල් දිවියේ ඇරඹුමයි. පුංචි පාසලක සිට මහා විද්යාලයකට පැමිණෙන ඕනෑම සිසුවකු මුහුණදෙන සංක්රාන්ති සමයේ මමද ගිලී ගොස් සිටියෙමි. විශාල සිසු පිරිසක්, නානාප්රාකාර ගුරුවරු, ගොඩනැඟිලි හා ක්රීඩාපිටි අතරේ මම අතරමං විමි. එහෙත් කල් ගතවෙත්ම මව්පියන් වන් ගුරුවරු හා හමුවූ කලණ මිතුරන් අතරේ පාසල් දිවිය සුන්දර ඉසව්වක් කරා ඇදෙමින් පැවතිණි.

අපගේ පංතිභාර ගුරුතුමිය ඉංග්රීසි බස හා සංගීතය හැරුණු  කොට අපට අනෙකුත් සියලුම විෂයන් ඉගැන්නුවාය. ,කුලතිලක ගුරු මෑණියන්වද මේ මොහොතේ මම, ඉතාමත්ම බැති සිතින් නමදිමි.

සංගීතය ඉගැන්වීමට ගුරුවරියන් දෙදෙනකු වූහ. පෙරදිග හා අපරදිග සංගීතය සඳහායි. මෙහිදී අපට අපරදිග සංගීතය ඉගැන්වූ ගුරුවරිය මට සිහිගැන්වූයේ මා කුඩා කල කියැවූ පොත්වල වුන් සුරංගනාවකි. ඇය තරම්ම ලස්සන වූවාය. බෝල දෙකක් වන් නිතරම දිලිසෙන, ගැස්සෙන, ඇහිපිය හෙළන මනරම් බළල් ඇස්( cat eyes) යුගලක් ඇය සතුවිය. පුංචි තොල් පෙති උල්කොට ඇය " කේ...සරා සරා..." ගයන අන්දම කුඩා අප බලා සිටියේ වශීවූ ආතුරයන් පිරිසක් විලසිනි. ඇය සාරි පොට ඉනේ ගසාගෙන ඉස්සෙකු මෙන් එහෙ මෙහෙ පනිමින් අපට සංගීතය ඉගැන්නුවාය. ඇයගේ පාදයක තිබූ පුංචි නොන්ඩිය ඇයගේ ස්ත්රී ලාලිත්යයට ගෙනආවේ මහා ආලෝකයකි. එයින් ඇයගේ ගමන තවත් හැඩ විය. අප ඇයගේ විෂය උගන්වන කාල වේලාව එනතෙක් ඇසිපිය නොහෙළා බලා සිටියෙමු. ඇය එනතුරුය. මේ ලිපියේ කතානායිකාව වූ " තමරා මිස්" එනතුරුය.

එකල පාසලේ ඉංග්රීසි ඉගැන්වූ සමහර ගුරුවරියන් ( හැමෝම නොවේ) අනෙකුත් සෙසු ගුරුවරියන්ගෙන් වෙන්වී ඔවුනොවුන් පමණක් වෙන්ව සිටි බවක් මගේ මතකයේ යාන්තමින් ඇත. ගුරු විවේක කාමරයේදී මේ වෙනස අපට හොඳින්ම පෙනිණි. විශේෂයෙන්ම ඔවුනගේ ස්වාමිපුරැෂයන් කළ රැකියාවල මානය ඔවුන් පළ කළාදැයි මම නොදනිමි. ඔවුන් සමාජ මට්ටමින් උසස්බව පෙන්නීමට වෙහෙසුණාදැයි දැන් මට සිතේ. ඔවුන් ඇන්දේ, කතාබහ කළේ වෙනස්ම අයුරිනි. ඔවුන්ගේ තොල් දිලිසුණි. මනාවට වවා හැඩයට කැපු නිය පෙළින් සුසිනිදු අතඟිලි තවත් හැඩ වැඩ වී පෙනිණි. ඔවුන් ළඟින් යනවිට හැමුවේ අනර්ඝ සුවඳ විළවුන්වල සුවඳය. මේ අතර මගේ පංතියේ( අපේ මව්පියන්ගේ සමාජ තත්වයේ) වූ ගුරුවරියන්ගේ වියළි තොල් සහ ගෙදර දොරේ වැඩපල කොට ගෙවී ගිය නිය හා ගොරෝසු වූ අත් මට මගේ මෑණියන්ව සිහි කැඳවීය. ඔවුන් වෙතින් හැමුවේ සුවඳ විළවුන් සුවඳ නොවේ.ආහාර පිසූ සුවඳය, කැපූ ලූණු වල සුවඳය. කොටින්ම අප පෙම් කළ අව්යාජ ජීවන සුවඳය.

එහෙත් අපගේ අපරදිග සංගීත ගුරුවරියගෙන්, තමරා මිස්ගෙන් අපට මා ඉහත විස්තර කළ පැලැන්ති දෙකේම ගුණ සුවඳ සම්මිශ්රව දැනුණි. ඇය සිටියේ දෙකම අතර මැඳ මාවතකය. එමෙන්ම දෙපිරිසම සමඟ එකට එක්වී වැඩ කළාය. ඔවුන් දෙපිරිස යාකරන පාලමක් වූවාය.

මගේ මතකයේ හැටියට අසූව දශකයේ මුල් භාගයේ දිනෙක අපේ පාසලේ "ඉංග්රීසි දිනයක්"(English Day) පැවැත්විණි. සෑම කටයුත්තක්ම ඉංග්රීසි බසින්ම කෙරුණු  මෙය අප විදුහල්පති ආර් ස්ටැනිස්ලෝස් ගුරු පියාණන්ගේ සංකල්පයක් වූ අතර ඉංග්රීසි බස උගැනුමේ වැදගත්කම සිසුන්අතරට ගෙනයාම මෙහි ඒකායන පැතුම විය. මෙහිදී රඟදැක්වූ අංගයන් වූ ඉංග්රීසි ගීත හා නාට් , සිසුන්ට පුහුණු කිරීමේලා තමරා මිස් ගත් වෙහෙස, මහන්සිය හා කැපකිරීම අති මහත් විශාලය.

මෙසේ කාලය ගතවී 1987 වසරේ මා පාසල් මව්ගෙන් සමුගත් පසු මට තමරා මිස් කවමදාකවත් හමුවූයේ නැත. එහෙත් මට එතුමියව විටින් විට සිහිවිය. කේ...සරා.සරා හෝ කන්ට්රි රෝඩ්ස් යන ගීත ඇසෙන විටය. එනමුදු පසුගිය සිකුරාදා එනම් මාර්තු 17 උදයේ සේවයට යන අතරතුර මට එතුමියව නැවත සිහිවූයේ දෛවයේ සරදමකින්දෝයි දැන් මට සිතේ. විශේෂයෙන්ම  මාර්තු 19   යෙදෙන  අප පාසල් මව්ගේ ජන්ම දිනයට යමක් ලිවිය යුතුයැයි සිතද්දීය. එහෙත් වෙනුවට අද මට මෙවැනි ශෝකජනක ලිපියක් ලිවීමට සිදුවෙතැයි නම් මම සිහිනයෙන් හෝ නොසිතුවෙමි.

පසුගිය වසරක මම පාසල් දිනය වෙනුවෙන් අප ගරු විදුහල්පති ආර් ස්ටැනිස්ලෝස් ගුරු පියා ගැන ලියූ නිසා මෙවර, එකල පාසලේ වුන් අති විශිෂ්ට ගුරුවර ගුරුවරියන් පිළිබඳ සිහිකොට යමක් ලිවිය යුතු යැයි මට සිතිණි. එහදී ඔවුන් ගැන මෙනෙහි කරද්දී තමරා මිස්වද සිහියට ආවේ නිතැතිනි. දිලිසෙන බෝල බළල් ඇස්, හුරැබුහුටි සිහින් සිරැර මගේ මනසේ ඇඳිණි.

එදා දිනයේම වැඩපොළේ කාර්යබහුලත්වය නිසා මට මුහුණු පොතට යාමට නොහැකි වූ අතර හැන්දෑවේ නිවසට පැමිණ මුහුණු පොතේ සැරිසරද්දී දුටු පුවතකින් මගේ හදවත කීරි ගැසිණි. මා එදාම උදේ මෙනෙහි කළ තමරා ගුරු මෑණියන් අප හැර ගොස් ඇතිබව කියැවුනු පුවතයි. මට එය අදහාගත නොහැකි විය. ඉපදුනොත් අප දිනෙක මිය යන බව සත්යයයි. එහෙත් මෙතරම් කලින් ඇය ගියේ ඇයි? මේ දැන්ද මගේ බොඳවූ දෑස් පියා ගත්විට මට පෙනෙන්නේ එදා යොවුන් වියේ සුපුෂ්පිත කුසුමක්සේ විකසිත වූ ඇයගේ සුන්දර වත මලයි. දිලිසෙන බෝල බළල් ඇස් යුගලයයි. ලාලිත් ගමනයි. පුංචි දෙතොල උල් කොට ගැයූ ඇයගේ ගැයුමයි. එහෙත් අද ඇය නැත. අප සැවොම දිනෙක යායුතු ගමන ඇය ගොසිනි.

එතුමියට සුබ ගමන් පතමින් ඇය මට ඉගැන්වූ ජන ගීතයකින්ම මෙම පුංචි සටහන අවසන් කිරීමට මට අවසර.....

" County roads take me home to the place I belong "

8 comments:

  1. දරුවන්ගේ නැණස පැදූ අදටත් පාදන සුවහසක්වූ 'යහපත් ' ගුරුවරුන්ට උපහාරයක්ම වේවා.

    ReplyDelete
  2. Replies
    1. ඔබටත් ස්තුතියි බොහොමත්ම !

      Delete
  3. Replies
    1. ස්තුතියි ඉයන් සඳුන් සෙවනට ගොඩ උනාට ! ඔබගේ ලිපි මම ඉතාමත් ආසාවෙන් කියවනවා.ජය!

      Delete