Pages

Wednesday, 1 March 2017

සිරිබො අයියා.........



සිරිබො අයියා චිත්‍රපටයේ තිරපිටපත කියවා නිම කළෙමි. මගේ හදවත යම් තැනෙක නතර වී ඇති සෙයක් මට දැනෙයි. හිතේ ඇත්තේ තිගැස්මකි. මගේ සිත 70 දශකයට දිව යයි. 

පියදාස පලන්සූරිය සූරීන් ලියූ " සිරිබො අයියා " කෙටි කතාව මෙම චිත්‍රපටයේ කතා තේමාවයි. පිටු 80 ක් වැනි කුඩා පොත් පිංචක වූ තිර රචනයෙන් පිටු 800 ක බලපෑමක් පාඨකයාට දී ඇත. එය ඉතා බරය. එහෙත් පොතේ ඇත්තේ පරිච්ඡේද 19 කි. රස බර හරවත් හදවතේ රැඳෙන කවි කිහිපයකි. සිනමා පටයේ මෙම කවි , පංඩිත් අමරදේවයන් හා විශාරද නන්දා මාලිණියන් විසින් ගැයූ බව මතකය. 

එකල 80 දශකයේ රූපවාහිනී ජනතාව අතරට ආ මුල් යුගයේ සෑම බ්‍රහස්පතින්දා රැයකම අපේ ගෙවල් අසල නිවසකට ගොස් කුඩා අඟල් 12 කලු සුදු රූපවාහිනියක සිරිබො අයියා බැලූ හැටි වසර ගණනාවකට පසු මට අද සිහිවිය. අනුනගේ ගෙදරක යන්තම් පුටු කෑල්ලක පස්ස ඔබාගෙන එය නැරඹුවා නොව බැලුවා පමණි. " මහ ගෙදර " බැලුවේත් " බක් මහ දීගෙ" බැලුවෙත් මෙසේමය. 

කුඩා කෙටි කතාවක් වුවත් මෙයින කියැවෙන්නේ මහා පතරංග ජාතකයකි. සමාජයේ අනිත්‍යයය. නැතිවීමය. කර්මයය. 

මෙහි වූ මා සිත් ගත් දෙබස් මට තවම මතකය. එකල ගුවන් විඳුළි ප්‍රචාරක වැඩසටහන් වලදී ප්‍රචාරය කළ දෙබසක් වූ " ගියා නෙමේ මල්ලියේ ග්‍රහය අරං ගියා" යන්න අදටත් එදා මෙන්ම මතකය. 

එමෙන්ම පහත සිදුවීම මනසේ ඇඳී ගියේ එදා නැරඹූ ලෙසටමය. 

// සිරිබොහාමි ( ජෝ අබේවික්‍රම) කඩයට ඇතුල් වී මුදලාලි සිටින තැනට පැමිණියේ, මුදලාලිට නොපෙනෙන්නට ඒ අසල සිටි එමා නෝනාගේ( ගීතා කුමාරසිංහ) නිතඹ කොනිත්මිණි. 

" යකාගෙ විසයක්නෙ තියෙන්නෙ" එමා නෝනා මුමුණන ස්වරයෙන් ආදර බරව කීවාය. // පිටුව 3

බලන්න මේ වැකි දෙකෙන් චිත්ත රූප මැවෙන අපූරුව. 

එමෙන්ම සිරිබො අයියාගේ හදිසි අනතුරින් පසු කියැවෙන මේ දෙබස් කන්ඩ බලන්න. 

" සිරිබො අයියෙ තුවාල තාම රිදෙනවද?"

" තුවාල රිදෙන එක ඉවසන්න පුළුවං මලයා"

" සිරිබො අයියා මොනවට ගියාද වෙඩිල්ල පත්තු වෙන තැනට"

මට මතකනම් සිනමා පටයේ මේ පැණයට සිරිබො අයියාගේ පිළිතුර වූයේ
" ගියා නෙමේ මල්ලියෙ , ග්‍රහය අරන් ගියා" යන්නයි. ඒත් මේ පොතේ සඳහන් වූයේ, 
" ගියා නෙමේ මලයා, ඉරණම මා එක්ක ගියා " යනුවෙනි. මෙය සිනමාපටයේදී මා ඉහත කී ආකාරයට වෙනස් කළා දැයි නොදනිමි. 

තවත් මා සිත් ගත් එමෙන්ම හදවත කම්පා කළ දෙබසක් මෙසේය,
" මොනව බලන්නද නගෝ, තරු එළියෙන් උණත් කෙස් ගහ පෙනිච්ච මිනිහෙක් මං, දැං ඉතිං කෙස් ගස් තියා කොස් ගස් වත් පේන්නෑ."

ඊළඟට ඔහු මෙසේ කියන්නේ පෙරදා තමන්ව හිස මුඳුනේ තබා පිළිගත් හා සැලකූ උදවිය අද තමන්ව අමතක කර ඇති බැව් දැනීමෙනි. 

" එක අතකින් දැන් මට ඉස්සරට වැඩිය පේනවා.ඉස්සර මං දැක්කෙ , මිනිසුන්ගෙ ඇඳුම් කැඩුම් විතරයි,දැං මට මිනිස්සු පේනවා" ( පිටුව 66)

අවසානයේ තමන්ගේම බිරිඳ කර ගැනීමට සිහින මැවූ තමන්ටත් පණ මෙන් ආදරය කළ බිසෝ තමන්ට අහිමි වෙද්දී ඔහු නොසැලුණේය. ඇයට යහපතම පැතීය. 

සැබෑ ආදරය නම් මේ අවෛරී හැගීම් සමුදායම නොවේද? අත්හැරීමම නෙවේද? අනෙකා තමන්ට අහිමි වූවත් යහපතම පැතීම නොවේද?

එදා හුලවාලි චිත්‍රපටයේ ධාරා, තමන්ගෙන් වෙන්ව යන සුභා දෙස බලා සිටියේද මෙලෙසමය. ආලවඩන යන තේරුම බෝසත් කම සකී. 

අවසානයේ හැරමිටිය පමණක් තමන්ට තනි රකින අසරණ අන්ධයෙකු වූ සිරිබො අයියා සියල්ල අතහැර ගොස් නතරවන්නේ එමා නෝනා අසලය. 

සිරිබො අයියාව දකින " ඈ අතින් ඉදල අතහැරනි. ඈ පෙර මගට දිව ගොස් , ඔහුගේ සැරටිය අතින් ගත්තාය. " පිටුව 80

එයයි සැබෑ ආදරය. සමාජයේ තිබෙන ඒත් බොහෝ දුලබ සැබෑ ආදරය. 

අවසානයේ පහත කවියෙන් කතාව අවසන් විය. එහෙත් ඉන් මගේ හදට දැනුණු කම්පනය සදා කල්හිම පවතිනු ඇත......

" වැල්ලේ පිපෙන බිම් මල වාසනාවන්
ගොල්ලේ පිපෙන පන් මල වාසනාවන්
දෙපෝදාට පුන් සඳ වාසනාවන්
මතු ජාතියෙත් ඔබ මට වාසනාවන්......."



7 comments:

  1. Replies
    1. සොයාගෙන බලන්න. අගේ ඇති චිත්‍රපටයක්. වික්ටර් රත්නායකයන්ගේ සංගීතය

      Delete
    2. අන්තර් ජාලයේ ඇති නේද

      Delete
  2. ජෝ අබේවික්‍රම මහතා කියන්නෙ මම කැමතිම නළුවෙක්.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. ඉතාමත්ම දක්ෂයෙක්. ලෝක සිනමාවම ජයගත හැකි.

      හසිත ප්‍රසාද් සහෝදරයව සඳුන් සෙවනට ආදරයෙන් පිළිගන්නවා.

      Delete
  3. අන්තිමට සිරිබෝව ඒ ගෑණු කෙනා භාර ගන්නව නේද ?

    ReplyDelete
  4. Online link ekak thiyenawanam denawada. Mama Meka balala Naha. E unata me post Eka kiyawala Meka balannama ona kiyala hithuna. Thanks for the post.

    ReplyDelete