Pages

Friday 24 February 2017

ඒ මහා ගාන්ධර්වයා ඔහු විය....



එදා දිනය නම් මගේ මතකයේ හරියටම නැතත් සිදුවූ සිදුවීම නම් දෑස් පියා ගත් විට සිනමා පටයක රූ ප රාමු මෙන් අදටත් මට එදා මෙන්ම මතකයට නගා ගත හැක.

ඒ හැත්තෑව දශකයේ මැඳ භාගය පමණ වන්නට ඇත. මගේ පැඟිරි සමය වු එකල අප නිවසේ භද්‍ර යෞවනයේ පසුවූ බෝඩිං කාරයෝ කිහිප දෙනෙකු නවාතැන් ගෙන සිටියහ. දිවයිනේ නන් දෙසින් පැමිණ තිබූ ඔවුන් අනුරාධපුරයේ තම තමන්ගේ රාජකාරීන්හී නිරත වූවෝය. ඔවුන් අතරින් රඹෑව ඩී ආර් ඕ කන්තෝරු වේ සේවය කළ උඳුගොඩ මාමාත්, ටවුමේ තිබූ ලංකා බැංකුවේ සේවය කළ බැංකු මාමාත් මගේ සිත් ගත් චරිත විය. මම ඔවුන් සමඟ අටමස්ථානයේ ඇවිඳින්නට ගිය හැටි, අප වත්තේ ළිඳෙන් නානවිට වතුර පිටතට යන කාණුව වසා ජලය පිරෙන්නට හැර එය මහා ජලව්‍යාපෘතියක වේල්ල අරින ආකාරයෙන් විවෘත කොට විනෝද වූ හැටි අදටත් මිහිරි සිහිනයක පරිද්දෙන් මගේ මතකයට ඉඳ හිට එයි. බැංකු මාමා මට සාදා දුන් සරුංගල්  යැවූ කාලය කෙතරම් නම් සුන්දරද? අහිංසකද? අව්‍යාජද?

ඉතිං, මා මේ කියන දිනයේ දිවා ආහාරයෙන් පසු උඳුගොඩ මාමා හා බැංකු මාමා , අපේ තාත්තා සමඟ විවේක සුවයෙන් කාඩ් සෙල්ලම් කරමින් උන්හ. එදා ඉරිඳා දිනයක් වූ බැවින් මම රේඩියෝවේ ප්‍රචාරය වු සිනමාපටයක පූර්ව ප්‍රචාරක දැන්වීම් වලට සවන් යොමු කරමින් සිටියෙමි. දැන්වීම් අවසානයේ ගීතයක් ප්‍රචාරයවීම ඇරඹීමත් සමඟම පරල වූ උඳුගොඩ මාමා පුටුවද පෙරළාගෙන දඩි බිඩි ගා රේඩියෝව අසලට දිව ආවේය. මා මේ සිදුවන්නේ කුමක්ද කියා මදක් තැතිගෙන බලා සිටියෙමි. රේඩියෝව අසලට දුව ආ උඳුගොඩ මාමා රේඩියෝවේ හඬ තවත් වැඩිකොට එය අසලටම වී කණ යොමාගෙන දෑස් පියාගෙන ධ්‍යානයකට සම වැදිණි. ඔහුට රේඩියෝව ඇතුළට යාමට හැකියාවක් තිබිණි නම් ඔහු නවතින්නේ එය ඇතුළේ බව මේ දෙස බලා වුන් අපට සිතිණි. මගේ දෙසවන්ද ඒ ප්‍රචාරයවූ ගීතයේ නතරවූයේ නිතැතිනි. 

" තොටුපළ අයිනේ....ඒ ..ඒ..
කවුද අතවනන්නේ....?
කවුද අතවනන්නේ ඒ...ඒ ...
තොටුපළ අයිනේ..."

ගායකයා ගයයි. නිවසම මීයට පිම්බාක් මෙනි. ගායනය අතරේ වාදනය වූ එහි වූ වාද්‍ය කන්ඩ වැනි අරු ම පුදුම වාදනයන් මම උපන්තේකට අසා නොතිබිණි. දිය මත පාවෙන ඔරු  කඳක ගැටෙන දිය හඬ මට රේඩියෝවෙන් ඇසිණි. මගේද දෑස් පියවී තොටුපළ අයිනට ඇදී යන හැටියක් මට දැනෙන්නට විය. 

ගීතය අවසානයේ ඉතාමත්ම තෘප්තිමත් සුසුමක් හෙළූ උඳුගොඩ මාමා , ඒ ප්‍රාතිහාර්‍ය පෑ ගායකයා කවුරු න්දැයි යන්න ඉතාමත්ම කුතුහලයෙන් යුතු වූ මා හමුවේ ගෙන හැර පෑවේය. එදා ඒ පැඟිරි වියේදීම මගේ හදවත සොරාගත් ඒ ගායකයා වෙන කවුරු න් හෝ නොව වික්ටර් රත්නායක නම් වූ මහා ගාන්ධර්වයා විය. එකල භද්‍ර යෞවනයේ විසූ උඳුගොඩ මාමා වැනි සුවහසක් යෞවන යෞවනියනට එතුමා මුනිවරයෙකු මෙන් විය. උඳුගොඩ මාමා මට එතුමාගේ " ස" ප්‍රසංගය ගැනත් එතුමාගේ ගීත ගැනත් බොහෝදේ කියා දුන්නේය. 

මෙලෙස කාලය ඉඟිලිනි. උඳුගොඩ මාමලා පවුල් පංසල් වී අපෙන්ද අනුරාධපුරයෙන්ද සමුගෙන ඔවුනගේ ගම රට බලා ගියෝය. එහෙත් එදා මා උඳුගොඩ මාමා නිසා හඳුනා ගත් වික්ටර් රත්නායකයෝ නම් තව තවත් නවමු වී, වැඩි වැඩියෙන් ලෙංගතු වී මගේ හද පතුලේම තැන්පත් විය. 

මේ අතර 1976 දී පමණ එක්තරා සුන්දර සැන්දෑ යාමයක අපේ තාත්තා මා කැටුව නැරඹීමට ගිය හුලවාලී චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කර තිබුණේද වික්ටර් රත්නායකයන්ය. එහිදී මා ඇසූ සුනිල් එදිරිසිංහයන් ගයන " කුඩා ගමේ" ගීතය මා අමන්දානන්දයට පත් කිරීමට සමත් විය. එපමණක් නොව කුඩා කල සිටම චිත්‍රපට පිස්සකු වූ මා නැරඹූ මාතර ආච්චි, ශ්‍රී මදාරා,පොඩි මල්ලී, සරුංගලේ  , සිරිබෝ අයියා ඇතුළු හදවතේ ලැගුම් ගත් චිත්‍රපට රාශියකට ඒ අමරණීය සංගීතය සැපයුවේද මෙතුමන්මය. 

විශේෂයෙන්ම පොඩි මල්ලී චිත්‍රපටයේ වරෙක ශාස්ත්‍රීය ගීතයකට තනුව නිර්මාණය කළ එතුමන් ඩෙස්මන්ද සිල්වාට එහිදීම බයිලා ගායනයකටද තනුව සෑදීය. එපමණක් නොවේ මෙම සිනමා පටයේම රාත්‍රී සමාජ ශාලාවක නාට්‍යාංගනාවක විසින් ගැයෙන රාගික හා කාමුක හැඟුම් උද්දීපනය වන ගීතයක තනුව සෑදුවේද මෙතුමන්මය. 

ශ්‍රි ලාංකික සංගීතයේ නව මංපෙත් විවර කළ මෙතුමා කළ පර්යේෂණ නිර්මාණ අති සාර්ථක විය. සංගීතයේ සොඳුරැ පෙරළිකාරයෙකු හා නිර්මාණශීලී විප්ලව වාදියෙකු වූ වික්ටර් රත්නායකයෝ පෙරදිග, අපරදිග හා අපටම ආවේණික වූ ජන ගී සම්ප්‍රදායන් ස්වකීය නිර්මාණ සඳහා පාදක කර ගත්තේය. එතුමන්ගේ බොහෝ තනුවල තිබූ ප්‍රධාන සංගීත ඛංඩයට යටින් දිවෙන  අණු සංගීත ඛන්ඩ ගීතවලට ගෙනාවේ අමුතුම මිහිරකි. හදවතට ගෙනාවේ අමුතුම ගැස්මකි. 

අති ප්‍රේමනීය , සදා අමරණීය තනු තමන්ට මෙන්ම අනුන්ටද සෑදූ මෙතුමගේ ගායනය මධුර මනෝහර විය. ගැයීමේදී පමණක් නොව සාමන්‍ය කතා බහ පවා අපට ඇසුණේ ගීතයක්ම පරිද්දෙනි. එය සිතට ගෙනාවේ නිවීමකි. හදට ගෙනාවේ සැනසීමකි. 

" මං ආදර පෙම් ආදර බිංදු මතී " හා " මාලිනියේ " වැනි පර්යේෂණ නිර්මාණ එකල එතුමන් සතුවූ අවම පහසුකම් යටතේ මහා ප්‍රාතිහාර්යක් සේ ශ්‍රාවක ප්‍රජාවට තිළිණ කළේය. " ගිගිරි ගීත රාවේ", වැනි ගීත බටහිර සංගීතය මූලාශ්‍ර කරගෙන නිර්මාණය කළේය. 

අමරදේවයන්ට " කුමරියක පා සළඹ සැලුනා" ගීතයට තනුව නිර්මාණ කළ එතුමාම ෆ්‍රෙඩී සිල්වාට " කුණ්ඩුමනී " ගීතය නිර්මාණය කළේය. සුනිල් එදිරිසිංහයන්ට " කුඩා ගමේ" ගීතය නිර්මාණ කළ අතර බංදුල විජේවීරට එම සිනමා පටයේම " කුළ ගෙදරින් දුම්බර කඳු වැටියේ" ගීතය නිර්මාණය කළේය. මිල්ටන් පෙරේරාට ගැලපෙන ගී රටාවට ගීයක් තැනූ එතුමන්ම මිල්ටන් මල්ලවආරච්චිට ඊට හාත් පසින්ම වෙනස් ගීතයක් තැනුවේය. එච් ආර් ජෝතිපාලයන්ට තැනූ ගීතය වෙනස්ම ආරක විය. එතුමන් සතුවූ විවිධාකාර වූත් විචිත්‍ර වූත් සංගීත කුසලතාවය යන්තමින් හෝ පෙන්වා දීමට මා දරන තැතේදී යොදාගන්නා  මේ සුළු උදාහරණ කීපයක් පමණි. 

බොහෝ ගායකයින්ට, සංගීතඥයින්ට හා ගේය පද රචකයින්ට තම සංගීත ගමන් මග තනා ගැනීමේ අඩි තාලම වැටුණේ වික්ටර් රත්නායකයින් නිසාය. ඒ එතුමන් නොමසුරු ව තම සංගීත ඥානය ඔවුන් වෙත බෙදා හල නිසාය. ප්‍රදානය කළ නිසාය. 

අබේවර්ධන බාලසූරිය, නිරංජලා සරෝජනී, සුනිල් එදිරිසිංහ, බංදුල විජේවීර ඇතුළු ගායික ගායිකාවන්ද රෝහණ වීරසිංහ වැනි සංගීතඥයන්ද වික්ටර් රත්නායකයන්ව ගුරු  කොට තම ගමන් මග සාදා ගත් උදවියයි. 

ප්‍රේමකීර්ති ද අල්විස්, බංඩාර කේ විජේතුංග, කේ ඩී කේ ධර්මවර්ධන, කුමාරදාස සපුතන්ත්‍රි ඇතුළු බොහෝ ගේය පද රචකයින් , කවීන් එතුමා නිසා බැබලුනි. එමෙන්ම එවැනි කවීන්ගේ අති රමණීය හා ගුණාත්මකබවින් අනූන ගේය පද ලැබීම අතින්ද වික්ටර් රත්නායකයින් ඉතාමත්ම වාසනාවන්ත විය. 

1973 දී කොළඹ ලුම්බිණි රංග ශාලාවෙන් ඇරඹි එතුමන්ගේ " ස" ප්‍රසංගය ඒකපුද්ගල ගී ප්‍රසංග කලාව සිරිලකට හඳුන්වා දුන්නා පමණක් නොව 2012 දී එය අවසන් කරන විටත් එම ප්‍රසිද්ධිය හා එම ප්‍රේක්ෂක ආකර්ෂණය වසර 39 ක් පුරාවටම අඛණ්ඩව පවත්වාගෙන යාමේ වාර්තාවටද හිමිකම් පෑවේය. එදා මෙදා තුර මෙතරම් රසික ප්‍රජාවක් සිප වැළඳගත් , ආදරය කළ සංගීත ප්‍රසංගයක් මෙරට නොවීය. එය එක්තරා උන්මාදයක් විය. ප්‍රේමනීය ආලිංගනයක් විය. දර්ශනවාර එක් දහස ඉක්මවා තිබිණි. 

වරෙක පූජ්‍ය පානදුරේ අරියධම්ම ස්වාමින් වහන්සේගේ බණ හා බෝධි පූජාමය වැඩසටහන් සිරිලක ඉතාමත්ම ජනප්‍රිය වී තිබූ කාලයක් විය. එකල කට හැකර කොල්ලන් අරියදම්මගේ "බ" , වික්ටර්ගේ " ස" යනුවෙන් විහිළුවට කී බව මට යාන්තමට මතකය. 

අපත් ටිකෙන් ටික යෞවනයට පාත්‍ර වෙද්දී අපටද ආදරය දැනුණි. එකලද අප පැඟිරි වියේ අපට ගැයූ වික්ටර් රත්නායකයන්ම එලෙසින්ම යොවුන් අපටද ගැයීමට සිටීම අප ලද මහම භාග්‍යක් විය. බංඩාර කේ විජේතුංගයන් ලියූ " සඟවාගනු මැන ඔබෙ රු ව සොඳුරියෙ", සුනිල් ආරියරත්නයන් ලියූ " දෛවයෝගයකින්" , සේන වීරසේකරයන් ලියූ " සිහින් සුළං රැල්ලේ" , බුද්ධදාස ගලප්පත්තීන් ලියූ " සිව් වසරක පෙම් ගීතය හා " එපා හිරු  පායන්න අදින් පසු මගෙ ලොවට" වැනි ගීත ප්‍රේමයෙන් පූදින හදක දොරකඩ අබිමුව වුන් අපට අමා පැන් මෙන් විය. ආතුර හදවත් නිවී සනහාලූ ඔසු පැන්ම විය. ආදරය උතුරා දෝරෙ ගලන තෝතැනිම විය. 

එමෙන්ම මම විශ්ව විද්‍යලයේ ඉන්නා සමයේදී අපගේ බැචෙකු ගාන්ධර්ව සභාවේදී ගැයූ ප්‍රේම කීර්ති ද අල්විස් සූරීන් ලියූ එතුමන්ගේ " ආදරයේ උල්පත වූ අම්මා" ගීතය අසා එදා කඳුළක් නොසැලු කෙනෙකු සිටියේ නැත. ඒ ගීතයට එතුමා යෙදූ තනුව හැර එතරම්ම හොඳින් ගැලපෙන තවත් තවත් තනුවක් නම් මිහිපිට ඇතිද? ජීවිතයේ තනිවී, හුදෙකලාවී මුළු ලොවම එපා වූ මොහොතක " දෙව්රම් වෙහෙරේ" වැනි ගීතයක් හදට ගෙන ආවේ පිරිත් ටිකක් ඇහුවා වැනි සැනසීමකි. 

" හෝපලු වන පෙත "වැනි අති ශාස්ත්‍රීය ගීතයක එතුමා සමඟ තබ්ලා වාදකයා පෑ පෙළහරද " දෛවයෝගකින් " වැනි ගීතයක ගිටාර් වාදකයා කළ පෙළහරද එතුමාගේම තනු නිර්මාණයන්හීම මහිමය හැර වෙන නම් කුමක්ද? 

වයස අවුරු දු 75 දීද එතුමන් ගයන්නේ එදා හැටේ දශකයේදී ගැයූ විලාසයටමය. ඒ හැඟුමින්මය. ඒ ආදරයෙන්මය. එය එතුමාගේ මෙන්ම අපගේද වාසනාවම වන්නේය. 

මේ වසරේ එනම් 2017 නවම් මස 18 වෙනිදා 75 වෙනි වියට පා තැබූ එතුමන් වෙනුවෙන් මා තැබූ මේ දුප්පත් සටහන එතුමන්ගේ ගුණ ගයන්නට අහලකින්වත් තැබිය නොහැකි බව මම දනිමි. එමෙන්ම සංගීත ක්ෂේත්‍රයේ , කලා ලොවේ දෑවැන්තයින් , පතාක යෝධයින්ගේ සටහන් , විචාර හා ඇගැයීම් හමුවේ මගේ මේ කුහුඹු සටහන පුංචි ලිලිපුට්ටෙකි. එහෙත් මගේ හදවතේ එතුමන් වෙනුවෙන් එදා උඳුගොඩ මාමාගෙන් දැන හැඳිනගත් දා පිළිසිඳුණු ආදරය නම් මේ සැවොම පරයා යන තරම්  මහා විසල් බව මම දනිමි. ඒ ප්‍රේමයේ නාමයෙන් දයාබර වික්ටර් රත්නායකයිනි මම මෙසේ ඔබට ප්‍රාර්ථනා කරමින් නිහඬ වෙමි. 

මේ පාපතර ලෝකයේ දුක් විඳින රසික ප්‍රජාවගේ දුක් දෝමනස්ස පලවා හරින්නට , ඔවුනගේ ආතුර සිත් සුවපත් කරන්නට, තව චිරාත් කාලයක් ඔබට ගයන්නට හා අමරණීය තනු නිර්මාණය කරන්නට අවැසි ශක්කිය , දහිරිය , හිතේ සැනසීම හා නිරෝගි සුවය නිරතුරු වම ලැබේවා! චිරං ජයතු මහා ගාන්ධර්වයානෙණි ඔබට!!

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

8 comments:

  1. කිසිම විදිහකට එකිනෙකට සමාන නැති, එකිනෙකට නෑකම් කියන ආරයක් නැති විවිධාකාරයේ තනු නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාවේ බිහිවෙච්ච වන් ඇන්ඩ් ඔන්ලි තනු නිර්මාණකරු තමා වික්ටර් රත්නායක. එතුමාට දීර්ඝායු පතන්න මමත් මේක අවස්තාවක් කරගන්නවා.. එතුමා ජීවත්ව ඉද්දී මේ වැනි ලිපියක් ලිවීම සම්භන්ධයෙන් චන්දන ගුණසේකර ඔබටත් බොහොම ස්තුතියි..

    වික්ටර් රත්නායක යනු ලංකාවේ එල්විස් ප්‍රෙස්ලි කියලයි මගේ හැඳින්වීම..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට සඳුන් සෙවනට පිවිසුනාට! සහ මා ගැන කළ ඇගයීමට!!

      Delete
  2. මොකක් හරි හේතුවක් හින්දා මම මෙයාට කැමති නෑ.. ඒත් අති දක්ෂයෙක් හා රටට, සංගීතයට ලොකු සේවයක් කළ පුද්ගලයෙක් කියලා පිළිගන්න බැරි තරමට කුහක වෙන්නත් බෑ...

    ReplyDelete
    Replies
    1. ඒ මොකද සෙන්නා අකමැති? මමත් බොහෝ කලා කාරයන්ගෙ සැබෑ ජීවිතයට ප්‍රිය නෑ. මම ආදරය කරන්නේ ඒ නිර්මාණ වලට පමණයි. හැබැයි ඔය අතරෙ තමන්ගෙ ආත්මයයි නිර්මාණයි දෙකම එකක් වුණ අයත් නැතුවාම නොවේ

      Delete
    2. නිර්මාණය සහ නිර්මාණකරු 100% ක් සමපාතවෙන කලාකරුවන් බොහොම විරලයි. සංගීතයේ යෙදුන කෙනෙක් විදිහට මම සමහරක් පුද්ගලයින්ගේ ජීවිත සමීපව දැකලා තියෙනවා.. නිර්මාණය සහ නිර්මාණකරු 100% සමාන වෙච්චි පුද්ගලයෙක් තමයි ගුණදාස කපුගේ. එතුමාගේ නිර්මාණ ඇතුලේ තිබ්බ භාවාත්මක හැගීම් එතුමා ඇතුලේ තිබුනා කියා මම විශ්වාස කරනව.
      බහුතරයක් උදවිය මුදල්, සුරාව, ගැහැණිය කියන කරුණු තුන ඉදිරියේ තමුන් අමාරුවෙන් හංගාගෙන ඉන්නා සත්‍ය පුද්ගලයා එලියට දානව.

      Delete
    3. ඔබ හරියටම හරි. ගුණදාස කපුගේ මහත්තයා එහෙහයි කියල මටත් විශ්වාසයි.

      Delete
  3. ගාන්දර්වයා නෙවෙයි මල්ලි ගාන්ධර්වයා...එක අකුරක වෙනස උනාට අර ගාන්ධර්වයා කිව්වම එන හැඟීම ගැම්ම ගාන්දර්වයා කිව්වම එන්නෙ නෑ...:)

    වික්ටර් ගැන ඔබ ලියා ඇති දේට සපුරා එකඟයි. මම ඔහු කීප වරක් පෞද්ගලිකව හමුවී තිබෙනවා. එතුමා මගේ මාමගෙ ඉතා සමීප මිත්‍රයෙක්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රවී අයියා! ඒක හැදුවා. ලිපියෙත් කීප තැනක තියෙනවා හදන්න. කොම්පියුටරයට ලොග් වුනාම හදන්නම්. ඔයා හරි. එක අකුරෙ වරදින් ගැම්ම එන්නෙ නෑ තමයි.

      Delete