Pages

Monday 27 February 2017

සිත කැලඹූ නිධානය.........



මම ' නිධානය ' සිනමා පටය මුල් වරට නැරඹුවේ මීට වසර 25කට පමණ පෙරය. අද මුහුණු පොතේ සැරිසරද්දී එය මට හමු වූයේ පෙර පිනකින් යැයි මට සිතේ. මා එදාට වඩා අද වසර 25කින් වැඩිමහලුව සිටියද මා එදා යොවුන් වියේ ගැටයකුව සිටියදී ලැබූ චකිතය, බය , සන්ත්රාසය හා දුක, අදද එදාසේම දැනිණි. වයසින් මුහුකුරා ගොස් ඇති නිසාදෝ අද, එදාට වඩා දුක සිතිණි. එකල බෙහෙතකටවත් නොතෙමුණු දෑස අද තෙත් වූයේ නිසායැයි සිතමි.

සිනමාපටය නරඹා වසර 25 ඉකුත් වූවද එයට පාදක වූ පුංචි කෙටි කතාව මා කියැවූයේ මෑතකදීය. මහා ගත්කරු  ජී බී සේනානායකයන් ලියූ පොත් සොයා යෑමේදී මට අහම්බෙන් හමුවූ එතුමන්ගේ කෙටි කතා කිහිපයකින් සමත් වූ කතා එකතුවක් ඇස ගැටීමෙනි. පළිගැනීම නම්වූ එහි 34 වැනි පිටුවේ වූ කෙටි කතාව නිධානයයි. එය පිටු 9 කට සීමා විය. 



1972 වැනි ඈත අතීතයේදී නිමැවූවත් එහි වූ අමරණීය ගුණය මම තව තවත් අද අත්වින්ඳෙමි. මහා ශූර තිරකතා රචකයකු, අධ්යක්ෂකවරයකු, නළුවකු, ලේඛකයකු හා ඊටත් වඩා මහා විශ්ව කෝෂයක් බඳුවූ තිස්ස අබේසේකරයන් පිටු 9 තිබූ කතා තේමාව මහා විශාල කතා සාගරයක් කර තිබිණි. එමෙන්ම දෙබස් වල නැවුම් බව. වැලිකතර සිනමා පටයේ හා මහ ගෙදර වැනි චිත්රපටවල දෙබස් අපට තවමත් මතක තිබෙන්නේ ඒවායේ ඇති අද්විතීය බව නිසාය. අපේ අවාසනාවට එතුමන්ගේ නිර්මාණ අපට ලැබුණේ බොහෝ සුළු ප්රමාණයකි. මහගෙදර, විරාගය, රු මක්කාරයෝ ඔබට මතකද? එතුමා ලියූ අයාලේ ගිය සිතක සටහන් පොත ඔබ කියවා ඇත්නම් කලාව පමණක්ම නොව සෑම අංශයක් කෙරෙහිම එතුමා සතු වූ හසළ දැනුම පිළිබඳව ඔබට වැටහීමක් ලැබෙනු ඇත. 

මෙම සිනමා පටයේ අධ්යක්ෂකතුමන් වූ අද්විතීය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරින්ගේ අධ්යක්ෂණය ගැන මම මොනවා කියන්නද? සිනමා රූපී කෝණ, ආලෝක ධාරා, තෝරගත් නළු නිළියන්රූපක හා සංගීතයේ යොදා ගැනීම අති විශිෂ්ටය. මේ සිනමා කෘති අමරණීය වන්නේ එබැවිනි. 

එමෙන්ම ප්රතිභාපූර්ණ සංගීත අධ්යක්ෂක ප්රේමසිරි කේමදාසයන්ගේ අමරණීය සංගීතය එතුමන්ම හැර වෙන කාගෙන් නම් අප ලබා ගන්නද? ගොළු හදවත, තුන් වැනි යාමය, බඹරු  ඇවිත් හා හංස විලක් වැනි සිනමා පටවල සංගීතය ඔබට මතක ඇතැයි සිතමි. 

එපමණක් නොව සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සූරීන්ගේ විශිෂ්ට රංගනය ගැන අටුවා ටිකා කුමටද? මම එතුමන්ගේ රංගනයක් මුලින්ම දුටුවේ හුලවාලි චිත්රපටයේ රැහේ නායක ධාරාගේ චරිතයෙනි. ඉන්පසු වැලිකතර, පරසතුමල්සරුංගලය , සාගරයක් මැඳ වැනි චිත්රපටවල එතුමන්ගේ අති විශිෂ්ට රංගනයන් දුටිමි. එමෙන්ම වාණිජ චිත්රපට වූ චණ්ඩි පුතා, හිත හොඳ මිනිහෙක්, සක්විති සුවය, නිල්ල සොයා හා ආශා දෑසින් වැනි චිත්රපටවලදීද එතුමන්ගේ රංගනය දෙස කුඩා කොලුවකු ලෙස මම වශී වී බලා උන් බව අද මා සිහිකරන්නේ අද අපට එවැනි දේ දැක ගන්නට නොලැබෙන්නේ ඇයිදැයි යන කණගාටුවෙන්ද යුක්තවය.

මෙහි අයිරින්ගේ චරිතය නිරූපනය කරන සිනමා රැජිනිය වූ මාලනී ෆොන්සේකාගේ රංගනයද ඉතාමත් අනර්ඝය. අතිබිහිසුණු අවසාන ජවනිකාව අදත් මාවෙත ගෙනආවේ දුකකි, භීතියකි, සංත්රාසයකි. සමාජය ගැන කලකිරීමකි. 

ඇය දුප්පත් වූවත් හොඳින් හැදී වැඩී තම ස්වාමියා විශ්වාස කොට සරණ ආවාය. එහෙත් අවසන ඔහු අතින් ඇයට මැරු ම් කන්නට සිදුවිය. මෙලෙස මැරෙන හෝ දිවිය පුරාම මැරි මැරි ජීවත් වන අය නම් කොතෙක්ද? 

මට මෙවැනි යෝජිත විවාහ මගින් හෝ දෙමාපියන් සතුටු කිරීමට හෝ දිනයක් දෙකක් දැක ඇති නන්නාදුන පිරිමින් සමඟ යාමට සිදුවන අහිංසක යුවතියන් ගැන ඇතිවූයේ අපරිමිත දුකකි. සමහර විට පුරු ශයින් ඔවුනට වඩා බොහෝ වැඩිමහලු අයද වෙති. පුරු ශාධිපත් රජකරන සමාජයක යුවතියනට තීරණයක් ගැනීමටවත් නිදහසක් තිබේද? තමන් සරණ යන ආගන්තුකයා සමඟ යහන්ගත වීමේදී ඔවුනට කිසියම්ම හෝ පාලනයක් තිබේද? වෙලාවට ඔවුන් කෙතරම් නම් අසරණ වෙනවා ඇතිද? මට අද සිනමා පටය බැලන විට ඇතිවූයේ මෙවැනි සිතිවිලිය. කැළඹුණු සිත තවමත් එලෙසමය. මෙය සමාජයේ වරදද? නැතිනම් අප අපගේ අධ්යාත්මයේ වරදක්ද? මම තවම සිතමි....

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය


No comments:

Post a Comment