Pages

Saturday, 25 February 2017

" දඩයක්කාරයාගේ කතාව " කියැවූයෙමි....







මට පුංචි සංදියේ සිටම වනාන්තරය ගැන තිබුණේ අසීමිතවූ ආදරයක් හා බැඳීමකි. , අප ඉපදී හැදි වැඩුණු නිවස දෙපසම එකල වූයේ මහා කැලෑව නිසා බව දැන් මට සිතේ. මහා කැලෑවක් කියූවාට අප කුඩා නිසා එලෙසින් අපට පෙනුණා විනා එය අලි කොටි වලසුන් සිටින කැලයක් නම් නොවීය

එකල අපේ නිවසට වම්පසින් වූ ඉඩම් 3 ක්ම එක දිඟටම කැලෑවෙන් යටවී තිබිණි. දකුණු පස ඉඩමේද වූයේ එවැනිම වන අරණකි. කූරටියා, පොඩිසිඥ්ඥොමරං , එරමිණියා ආදී පඳුරැද , අන්දර , කහට ආදී වූ අධික විෂ සහිත කටු ගස්ද බහුල වූ මේ වන ලැහැබ් පුරා කෝවක්කා, පඩ, මදටියා හා ඔළිඳ වැනි වැල්ද යමරෙට එතී තිබිණි

මේ උඩු වියන යටින් හා පඳුරැ අතරින් කුඩා අප බඩගාගෙන මෙන් ගොස් තනා ගත් පුංචි අඩි පාරවල් එකල විය. හා බෙටි වලින් ගහන වූ මෙම පෙදෙසේ සර්පයන් හැරැනු විට උණ්නේ අහිංසක සාවුන් පමණි. නරියෙකු දෙන්නෙකු සිටින්නට ඇත. එහෙත් අපට කිසිදාක නරියකු නම් ඇස ගැටී නොතිබුණි

වරක් මේ කැලය මැදට වන්නට තිබූ අතු පතර විදාගත් පතංදර කහට ගහේ විශාල බළල් තඩියෙකු නිදා සිටිනවා මම දිටිමි. කොළ දිවියෙකු බව අපේ තාත්තා මා සමඟ පැවසූ හෙයින් නංගී සහ මම කිහිප දිනක් යනතුරැ පැත්තේවත් නොයෑමට වගබලා ගතිමු

මේ උඩු වියන යටට වන් කළ ගතට සිතට දැනුණේ අමුතුම ප්රබෝධයකි. අතර නිතර ඉගිලෙමින් සෙල්ලම් පෑ, ගේ කුරැල්ලන්, පැණි කුරැල්ලන්, මයිනන්, ඇටි කුකුළන් හා දෙමලිච්චන්ගේ කිචි බිචිය හා දසුන මැව්වේ අමුතුම චමත්කාරයකි. දිනක් අත්තක වසා වුන් බකමූනකුගේ බකුසු මුහුණ දැක අපි මහත් සේ තැති ගත්තෙමු

අපි කූරටියා කෝටු කපා නවා ලණු ඇඳ දුනු හී සාදා ගතිමු. පේර ගස්වලින් මනාව හැඳුණු කරැ කපා රබර් ටියුබ් පටි බැඳ කැටපෝල සෑදුවෙමු. එහෙත් එක් මූසල දිනයක් එනතුරැ මම කිසිම දඩයමක්නම්  කර තිබුණේ නැත

එදා අපගේ පවුලේ හිතවත් මල්ලී කෙනෙකු අප හා සෙල්ලම් කිරීමට පැමිණ වුන්නේය. වයසට වඩා මෝරා යම් තරමක ඇම්ඩන් කෙනෙකු වූ ඔහු මා අතවූ කැටපෝලයද ඉල්ලාගෙන මාත් සමඟ වන අරණට වැදුණි. උඩු වියන යටින් බඩ ගා ගිය ඔහු මානය අල්ලා පුංචි කුරැල්ලෙකුට ගලක් විද්දේය. ගල වැදී කුරැල්ලා බිම වැටිණි. ඔහු වහා පැන අහිංසකයාව ඩැහැ ගත්තේ පළපුරැදු දඩයක්කාරයෙකු මෙනි. මෙය දුටු නංගී මහ හයියෙන් කෑමොර දෙන්නට පටන් ගත්තීය. එය ඇසී දුව අපේ අම්මා සිදුවූ නස්පැත්තිය දැක මල්ලීට නොව මට දෙහි කපන්නට පටං ගත්තාය. මම මහා මිනීමැරැමක් කළ වරදකාරයෙකියි මට එවෙලේ සිතිණි. එදා එදායින් පසු මීයකු මැරීමට මී කතුරක් ඇටැවූවා විනා මම කිසිඳු දඩයමකට කෙළින්ම හෝ වක්රාකාරව සම්බන්ධ නොවිමි

මට මේ වනාන්තර හා දඩයම් ගැන ඇත්තටම මේ හදිසියේ සිහිපත් වූයේ මා අද උදයේ කියවා නිම කළ පොතක් හේතුවෙනි. විශිෂ්ට ලේඛක සයිමන් නවගත්තේගම සූරීන්ගේ " දඩයක්කාරයාගේ කතාවයි" එතුමා මෙය එසේ නම් කළද මේ අප සැමගේම කතාව යැයි මට සිතේ. වනාන්තරය නම් අප වසනා මේ සමාජයම හැර වෙන කුමක්ද?

පොත ඇරඹෙන්නේම කවුරැන්ම හෝ යොදා නොමැති නවමු වැකියකිනි. එනම්, " මැයි මාර ගසේ වන්දනාවක් බරට මල්ඵල ගත් විගස, වෙසක් මාසය ආරම්භ වූයේය" ( පිටුව 9). වන්දනාවක් බරට මල් , බලන්න වැකියේ අපූරැව, නිර්මාණශීලීබව. වරක් මේ ගැන අගය කරමින් තිස්ස අබේසේකරයන් කතා කළ අයුරැ මට මතකය

එමෙන්ම මෙහි එන පහත දක්වා ඇති නවමු අව්යාජ යෙදුම්ද මගේ සිත පැහැරගැනීමට සමත් විය

" ඉඳුනු කිරි වැදුණු දිවුල් ගෙඩි , තප තප ගා හාත්පස වැටුණේය."( පිටුව 23)
"කඳු පිටින් හෑරී ඉගිලී යන තාවළු කෙත්යාය බොක බොකගා ගොජ දමමින්, මකබෑවී යනු අසා සිටින ඔහුගේ හිතට, තෘප්තිමත් භාවයක් නැඟී ආවේය. " ( පිටුව 41) 

" තප තප ගා, බොක බොක ගා" , මෙම අවස්ථා විස්තර කරන්නට මීටත් වඩා සුදුසු වචන මිහිපිට ඇද්ද?

එමෙන්ම මේ විස්තර බලන්න. සිංහල භාෂාවේ වචන තම අණසකට නතුකරගෙන ඇති උජාරැව, " දඩයක්කාරයා පද්මාසනයෙන් ගුහාව මධ්යයෙහි හිඳගෙන, ගුහාව එළියේ ඇටවූ උගුල දිහා, ද්යාගත මෙන් බලා සිටියේ . ඔහුගේ අත ක්රමයෙන් එසවී පිටුපස්සට පැමිණ, ඇගේ අතක් ගෙන ඇය සිටවූයේය. ඉන් පසු ඉදිරිපස ආරම්මණය දිහා බලාගෙනම, ඇය තමා ඉදිරියට ගත්තේය. තමා ඉදිරියේ සිටගත් සසල ඇගේ දෙවටොර වටා දෑත තබා, ආයාසයකින් තොරව ඇය ගෙන තම උකුළෙහි වාඩි කරවා ගත්තේය. හැඩිදැඩි නැඟී සිටි ඔහුගේ කයෙහි කිඳා ගිය ඇය කය පුරා , ගිනි ජාලාවක් මෙන් නැඟුණා වූ කාම වේදනා විඳ දරාගෙන ඔහුගේ ඉඟ වටා දෙකකුල පටලවාගෙන, දෑතින් ඔහුගේ පිට බදාගෙන ඔහුගේ පපුවෙහි වලස් මවිල් අතර දාඩිය කන්දරාව අතර හිස ඔබා ගත්තා . " ( පිටුව 141)

මා සයිමන් නවගත්තේගමයන්ගේ පොතක් මුලින්ම කියැවූයේ අටේ පංතියෙ පමණ සිටියදීය. " සුද්දිලාගේ කතාවයි" ඉන්පසුව මෑතකදී එතුමාගේ " සංසාරණ්යය අසබඩ" කියැවූයෙමි. " දඩයක්කාරයාගේ කතාව" මා කියැවූ එතුමාගේ තෙවැනි පොතයි

හැම පොතකම මෙන් මෙහිදී දඩයක්කාරයාට මුවාවී එතුමා පවසන්නේ අපේම කතාවයි. සමාජ අසාධාරණයයි. සිදුවෙන වැරැද්දයි

" ගමේ මිනිසුන් හා ගැහැනුන් හා හැම දෙනාම වෙසක් මාසය ලං වූවාම , තමන් දිහා අමුතු ඇහැකින් බලන්නේ මක් නිසාද? ඔහු මරා ගෙනෙන සතුන්ගේ මස් සියල්ලම වාගේ කා දමන්නෝ ඔවුහුය. ඔවුන් දඩමස් කන්නේ නැතිනම්,තමන්ට සහ ගෑනිට විතරක් කන්ඩ ඔතරම් සතුන් මරන්නට උවමනාවක්ද නොවන්නේය" ( පිටුව 11)

" දඩයක්කාරයා සුරා නොබොයි. මුසා නොකියයි. කාම මිථ්යාචාරයේ නො යෙදෙයි. සොරකම් නොකරයි. දඩයම් පමණක් කරයි. එහෙත් පස්පවෙහි කර වටක් ගිලුණකු සේ සලකනු ලබයි. " ( පිටුව 12)

බලන්න ඉහත වගන්තිවලින්ම සමාජ අසාධාරණය මොනවට ඔප්පුවෙනවා නොවේද කියා. මට රංබණ්ඩා සෙනෙවිරත්නයන් ලියූ ළඳුනේ ගීතය සිහිවෙයි. ඇයව පවුකාරකමට ඇදගත් , පොළඹවාගත් සමාජයම සුදනෝය. ඇය පමණක් පව්කාරිය කර ඇත්තේය. මෙහිදීද පව්කාරයා දඩයක්කාරයා පමණි. අනෙක් සැවොම සුදනෝය

" වනාන්තරයක් නොමැති දඩයක්කාරයකු නොවන්නේය. දඩයක්කාරයකු නොමැතිව වනාන්තරය අප්රකට අහසට හිස් නඟා සිටිනා හුදු ගස් ගොඩක් වන්නේය." ( පිටුව 48) සමාජය හා සර්වසාදරන මිනිසකු අතර සම්බන්ධයද මෙලෙසම නොවන්නේද

" දඩයක්කාරයකු වෙන්නට නම් , දඩයම් නීති පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත යුත්තේ වෙයි. වතුර බොන අවස්ථාවක , ආහාර ගන්නා අවස්ථාවක, නිදා සිටිනා විටක,ගැබ්බර කාලයෙක,පැටවා සමඟ සිටින විටෙක හෝ මෛථුනයේ පැටලී සිටිනා අවස්ථාවක , කිසියම් සත්වයෙකුට වෙඩි තැබීම හතර අපායේ වැටෙන මහා පාප කර්මයක් වන්නේය. " ( පිටුව 123) මේ සමාජයේද පැවතිය යුතු එහෙත් බොහෝවිට කඩවන සර්වසාධාරණවූ නීතිය නොවේද? ලෝක ධර්මතාවයම නොවේද?

මෙම පොතේ සෑම කතන්දරයක් පුරාම විහිදී යන්නේ සමාජ විවරණයයි. සර්ව සාධාරණ මිනිසකුව සමාජය විසින්ම සොරකු, දූෂකයකු හෝ මිණීමරැවකුබවට පත්නොට ඔහුව හෝ ඇයව නැතිබංගස්ථාන කරනා ආකාරයයි. රවටන ආකාරයයි. අද කාලයේ වචනයෙන් කියනවානම් ' කඩේ යවන' අන්දමයි

සෑමවිටම සමාජයේ යහපත වෙනුවෙන් පෙනී සිටි දඩයක්කාරයා, පසුව සමාජයේම වෛරක්කාරයා, වැරදිකාරයා බවට සමාජය විසින්ම පත්කරනු ලැබීය. තිත්ත ඇත්ත නම් එයයි

අවසානයේ ඔවුන් මහා අනර්ඝ වස්තුවකයැයි ලුහුබැඳ ගිය කස්තුරි මුවාව දඩයම් කරගත්පසු සියලුදෙහිම අනියතබව හා ශූන්යබව පසක් වෙයි. සර්වලෝක ධර්මතාවය වැටහෙයි

" මේ සා කල පසුපස ලුහුබැන්ඳේ, මෙබඳු වූ කැත විරෑපි සතෙකු පිටුපස ? මූ මවෙකු තබා මීමින්නෙකු තරම්වත් ලස්සන නොවීය. උගේ කොන්ද කුදුය. හොම්බ හැකිළී ගොස් තිබිණි. දෑස වටාද හැකිළී ඉරි තැලී ගිය හමකි. උගේ කස්තුරි කොතරම් බලසම්පන්න වූද, ගුප්ත වූ සුවඳකින් යුක්ත වන්නේද ? නමුත් කස්තුරි මුවා, සාමාන් මුවෙකුගේ කිසිම සිරියාවන්තකමකින් වියුක්ත වූයේය. මලහෝන්තු ඌරකු ඇතිකරන තරමටවත් පැහැපත් හැඟීමක් කස්තුරි මුවාගේ ශරීර ලක්ෂණයෙන් ඔවුන් තුළ ඇති නොවීය. "( පිටුව 142) හැම දඩයමකම අවසන ප්රතිඵලය, පසුතැවිල්ල මෙයම නොවේද? ස්ත්රී දූෂකයකු එසේත් නැතිනම් මිණීමරැවකු තම දඩයමෙන් පසු කිසිවිටෙක නම් සතුටක් ලබද්ද? දිවිය ඇති තුරාවටම , සංසාරයෙන් සංසාරයට තමන් පසුපසුම හඹා එන දුකම පමණකි. සයිමන් නවගත්තේගමයන් මෙම කථාවෙන් අපට ගෙනඑන පණිවුඩය නම් මෙයයි



චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය



11 comments:

  1. සමාවෙන්න, වරදක් පෙන්නල දෙන්නයි හදන්නෙ. චන්දනට රු සහ රැ පැටලෙනව වගේ....:)

    පඳුරැ = පඳුරු,
    හැරැනු = හැරුනු
    යනතුරැ = යනතුරු

    සයිමන් කියන්නෙ මමත් ඉතාම ප්‍රියකරන ලේඛකයෙක්..ඔහුගේ සංසාරණ්‍යය අසබඩ කියවල නැත්නම් හොයාගෙන බලන්න. ඒකත් ඇත්තම කිව්වොත් වචන පෙළහරක්...:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රවී අයියා! වරඳක් පෙන්වා දෙන එකට සමාව ගන්න ඕනද? ඒක හරි උතුම් ගුණයක්. බොහෝ අය කරන්නෙ වරඳක් දැක්කම ඒක හදා ගන්න උදව් කරන එක නෙමේනෙ. තැන තැන කියල හිනා වෙන එක.

      ඔය රැ අවුල මම මේ අයි ෆෝන් එකේ කී බෝඩ් එක පාවිච්චිකරන නිසා අයියෙ. ඒක මම ඉදිරියේදි හදල දාන්නම්. ගොඩක් ස්තූතියි.

      සංසාරන්‍ය අසබඩ මම කියෙව්වා අයියෙ. ඔයා හරි.

      Delete
  2. කියවන්න ඕනේ
    ගන්න තැනක් ?

    ReplyDelete
    Replies
    1. සරසවි එකෙන් මම ගත්තෙ. හැම පොත් හලකම ඇති. පොඩ්ඩක් බලන්න. ස්තූතියි සඳුන් සෙවනට ආවට! ජය!

      Delete
    2. හෑ ..........මම උබගේ (සමාවෙන්න ) පැරණ රසිකයෙක් ...ඉදලා හිටලා මග අරුණට මම මෙහෙ ඇවිත් තියනවා

      Delete
    3. සයිමන් නවගත්තේගමගේ සියලුම පොත්වල නව මුද්‍රණ තියෙනවා මරදාන ‘‘සුරස‘‘ පොත් හලේ...

      ඔහුගේ පොත් අතර මට මගහැරුණු පොතක් මේ... කියවන්න ඕනි...

      Delete
    4. සමාවෙයං එලද බ්‍රා මෙන්ඩා! ජයම වේවා!

      Delete
    5. ඔව් තරැ නංගී කොහොම හරි හොයාගෙන කියවන්න.

      Delete
  3. According to Simon the hunter is a great symbol or a metaphor. This metaphor consists of Androgyny or the combination of masculine and feminine characteristics. He is more than a human. The hunter is a myth, crystallized undifferentiated psychic energy. The hunter symbolizes the human soul that travels through Saṃsāra which is the repeating cycle of birth, life and death. Although the Buddhist philosophy rejects the concept of an immaterial and immortal soul, Simon implies that hunter could be the karmic force that transcends to different psychic levels.

    Psychoanalytic Novels of Simon Navagattegama
    http://transyl2014.blogspot.ca/2015/05/psychoanalytic-novels-of-simon.html

    ReplyDelete
    Replies
    1. Thanks for your fantastic explanation. It's great. සංසාරන්‍ය අසබඩ has been proved the similar concept too.

      Delete