Pages

Thursday 23 February 2017

පිස්සා...




මුළු පළාතම හරියට ඇවිස්සුණ කඩි ගුලක් වගේ. මෙලෝ සිහියක් නැතිව හැමෝම එහෙ මෙහෙ දුවනවා. සමහරැ තවමත් හරියට අවඳි වෙලා නෑ වගේ. මහා බර කන්දරාවක් ඔලුවල පුරෝගෙන හති දම දමා දුවනවා.

අපිටත් අද ගෙදරින් පැන ගන්න විනාඩි 5 ක් පරක්කු වුණා. ඒ ටික ඇති අනික් කෙළවරින් පැය භාගයක් කාබාසිනියා වෙන්න. ඔක්කොම හරි විනාඩියක් පරක්කු වුණාම ලොක්කගෙ මූණෙ තියෙන වවුල් පෙනුම තමයි කාලා ඉන්න බැරි.

ඊයේ රෑත් ගොඩක් වෙලා ගියා නිදා ගන්නකොට. එක එක ප්‍රශ්න. ගෙදර ටැප් එකක් ලීක් වෙනවා කියල බිරිඳ මට කියන්නෙ දැන් සති ගණනක ඉඳලා. ඒ මදිවට දැන් වහින කොට වහලෙත් ලීක් එකක්ලු. හැමදාම සති අන්තයට කරන්න කල් දම දමා හිටියට සති අන්තය ආවම මේ එකකට වත් වෙලාවක් නෑ. එහෙන් මස්සිනාගේ රස්සාව නැති වෙලාලු. ඒ ගැනත් මොනව හරි කරන්න ඕනෙ.

අම්මයි තාත්තයිත් වයසට යනවා. උන්දැල බලන්න ගිය කාලයක් මතක නෑ. ඊයෙත් නංගි ඒ ගැන මට දොස් කියල ලියමනක් එවල තිබුණා.

ඒ අස්සෙ දුවගෙ ඉස්කෝලෙන් එන ලියුම්. ආයිත් මොකක්ද බිල්ඩිමකට කියල සල්ලි ඉල්ලලා එවල තිබුණා.

මේවා හිත හිතා සුවිමාලිවත් ඇදගෙන පාර පනිනකොට පිඹගෙන ආපු කාර් එක ළඟටම එනකල් දැක්කෙ නෑ. අපරාදෙ කියන්න බෑ මිනිහට එකපාරටම අපේ අම්මව මතක් වුණා. සුවිමාලිත් රැව්වෙ මට.

මට එක පාරටම ඇය දිහා බැලුණා. අපි යාළුවෙන කාලෙ කොච්චර ලස්සනට , සැහැල්ලුවෙන් හිටිය කෙල්ලක්ද? දැන් එයා හොඳටම ඇදිලා ගිහිල්ලා. වයසට වඩා වයසක පෙනුමක් ඇවිත්.

මම සුවිමාලිට ඇඳුමක් කැඩුමක් අරගෙන දුන්න කාලයක් මතක නෑ. ගෑනි, මමයි , දරැවයි වෙනුවෙන් කොච්චර නම් මහන්සි වෙනවද? වැඩට ගිහින් ආව ගමන් ආයෙත් ගෙදර වැඩ. ඒත් කවදාවත් මට මැසිවිල්ලක් කියල නෑ. මේ මාසෙ පඩියෙන් නම් සුවිමාලිට සාරියක් කොහොම හරි අරගෙන දෙනවා කියල මම ඒ වෙලාවෙ හිතා ගත්තත් පඩි පත අතට ගත්තම ඒක වාෂ්ප වෙලා යන හැටි මතක් වුණාම ඒ ගැනත් වැඩිය බලාපොරොත්තු තියාගන්න බැරි බව මට තේරැනා.

අපි හැටට හැටේ දුවලා ගිහින් ස්ටේෂමට ගොඩ වෙද්දිත් 07:04 ප්ලැට්ෆෝම් එකට ඇවිත්. දනි පනි ගාලා සුවිමාලිවත් ඇදගෙන අන්තිම පෙට්ටියට රිංගනකොටම කෝච්චිය ඇද්දුවා. තව ටිකෙන් මම බිම.

අපි හිටපු පෙට්ටිය පණ ඇද ඇද ප්ලැට්ෆෝම් එක පහු කරනකොටම වේදිකාවෙ බංකුවක් උඩ නිදි කිරමින් ඉන්න මිනිහෙක් දිහා හැමෝගෙම වගේ අවධානය යොමු වුණා. මටත් ඒ දිහා බැලුනෙ නිතැතින්ම. මිනිහත් එවෙලෙම හිස ඔසවලා අපි ඉන්න දිහා බැලුවා. මොකක්දෝ විඳුළි කොටනවා වගේ හැඟීමක් මිනිහගෙ තියුණු දෑස් වලින් මගෙ දිහාවට එල්ලවෙනවා වගේ මට දැනුණා.

" ඇයි ඔයා ඔය මනුස්සයව මීට ඉස්සර දැකල නැද්ද? " සුවිමාලිගෙ හඬින් මාව ගැස්සිලා ගියා.

" න්නෑනේ...." මට කියවුණේ ඉබේටම. එහෙම කියන ගමන් මම මිනිහගෙ ස්වරෑපය හිතේ මවා ගන්න උත්සහ කළා.

මුහුණ පුරා වවා ගත් කළුම කළු රැවුලත් , ජීවිතේට කතුරක් හෝ පනාවක් දැක නොතිබුණු දිග කොණ්ඩෙත් මිනිහගෙ මූණට එකතු කරල තිබුණෙ මහා මුස්පේන්තු මරැමුස් පෙනුමක්. ඒත් ඔහුගේ ඝන ඇස් දෙබැම යටින් ගිනි පුළිඟු විහිදවපු ඇස් දෙකනම් මට විඳුලියක් වගේ හිතේ හොල්මං කළා.

මිනිහා ඇඳගෙන හිටියේ මජං, නාවර පෙරැනු , කළු ගැහිලා පිච්චුවත් පිච්චෙන්නෙ නැති කිලුටු පිරැනු කඩමලු කමිසයක් සහ ඒ වගේම කලිසමක්.

" ඇයි සුවිමාලි ඔයා මේ මනුස්සයව කලින් දැකල තියෙනවද? " මම ඇහුවෙ තව ඒ ගැන විස්තර දැනගන්න අටියෙන්.

" ඔව් අනේ.. දැන් කාලයක ඉඳල ඔතනට එනවා. ඇයි මම ඔයාට කීප දවසක්ම කිව්වෙ මහා මරැමුස් පිස්සෙක් මේ පළාතට ඇවිත් කියල. කොහේද ඔයා මං කියන ඒවා කල්පනාවෙන් අහගෙන ඉන්නවයැ." එහෙම කියල සුයිමාලි මගෙ දිහා නොරැස්සනා ගතියකින් බැලුවා.

" මිනිහා යන එන ගෑනු දිහා කන්ඩ වගේ බලාගෙන ඉන්නෙ. මහා අසහන කාරයෙක්ද කොහෙද? පිස්සො හැම තැනම.....මේ ඒක නෙමේ අද රෑට මොනවද කන්නෙ?"

සුවිමාලිගෙ ඒ ප්‍රශ්නෙන් මම අර පුද්ගලයා ගැන සිතිවිල්ලෙන් මොහොතකට මිඳුණා.

" ආ.... ඔයා දුව අරගෙන කෙළින්ම ගෙදර යන්න. අද උයන්න මහන්සි වෙන්න එපා. ඊයෙත් දානෙට උයල ඔයාට මහන්සිනේ. මම කොත්තු හරි ගෝදම්බ රොටී හරි හවසට එනකොට අරගෙන එන්නම්. හංදියේ අලුතින් ඇරපු කඩේ කෑම හොඳයි කියල කීප දෙනෙක්ම කිව්වා. " මම මෙහෙම කිව්වම සුවිමාලිගෙ මූණ එළිය වුණා.

සුපුරැදු පරිදි ඊළඟ නැවතුමින් අත වනාගෙන සුවිමාලි බැහැල ගියා. මට තව නැවතුම් 5 ක් යන්න එපායැ. මම හිටපු මැඳිරියෙත් ඒ වෙද්දි වැඩිය සෙනඟක් හිටියෙ නෑ. මම ළඟ තිබුණ අසුනට බර වෙලා ඊයේ පුස්තකාලෙන් ගත්තු නව කතා පොතට දෑස් යොමු කළා.

ඒත් මට පෙනුණෙම අර පිස්සගෙ මගෙ දිහාවට එල්ල වෙච්ච ඇස් දෙක. මට පුදුමයි ඇයි මේ මිනිහව මම මීට කලින් දැක්කෙ නැත්තෙ කියල. එතකොට තමයි මට මතක් වුණේ සාමාන්‍යයෙන් සුවිමාලි ස්ටේෂමට එන්නෙ දුවව ඉස්කෝලෙට දාලා මට වඩා පැය භාගෙකට විතර පස්සෙනෙ කියල. අද දුව එයාගෙ යාළුවෙකුගෙ අම්මත් එක්කයි ඉස්කෝලෙට යැව්වෙ. මේ මිනිහ වෙනදට මේ තරම් වේලාසන ඔතනට එන්නෙ නැතිව ඇති. හවසට ගෙදර යනකොට මිනිහව හොඳට බලා ගන්න ඕනෙ කියල මම හිතා ගත්තා.

වෙනදා වගේම වැඩ ඉවර වෙලා අතුරෙ යනවා වගේ යන කෝච්චි ගමනින් හෙම්බත් වෙලා අපේ ස්ටේසමින් බහින කොට රෑ 7 ත් පහුවෙලා. වටින් ගොඩින් කළුවර ගලනවා. මම වටපිට බැලුවෙ අර පිස්සු මිනිහව දැක ගැනීමේ අරමුණින්. ඒත් පාළුවට ගිය බංකු කිහිපයත් වේදිකාවේ පහන් කණුවලින් පැතිරෙච්චි කලාමැඳිරි එළියයි ඇරෙන්න වෙන කිසිම දෙයක් මට දැක ගන්න ලැබුණෙ නෑ. කඩෙන් කොත්තු දෙකකුයි , ගෝදම්බ දෙකකුයි අරගෙන මම ගෙදරට පිය මැන්නෙ හීනෙන් ඇවිදිනව වගේ.

" අමිත්ත, අමිත්ත අද මොකෝ මේ තවම නිදි. වෙනදට මටත් ඇහැරවන මනුස්සයා අද තවම නිදිද?"

සුවිමාලිගේ හඬින් මම සිහින ලොවින් පියවි ලොවට වැටුණා. එතකොට තමයි මට සිහිවුනේ පාන්දර 4 විතර වෙනකල් මට නින්ද නොගිය වග. මුලු රෑ පුරාවටම අර පිස්සු මනුස්සයා මගේ හිතේ හොල්මං කළා.

" මොකද මේ හීනෙන් බය වුණාද? මූණත් සුදු මැලි වෙලා. හරි මහන්සි පාටයි. ඔයාට මොකක් හරි අමාරැවක්ද අමිත්ත? එහෙම කියලා සුවිමාලි මගේ නළලට අත තිබ්බා. මවක් වන් ආදරණීය බිරිඳගේ ප්‍රේමනීය උණුසුමක් මගේ සියොලඟම වෙලා ගත්තා.

ඉක්මනට ලෑස්ති වෙලා සුවිමාලියි දුවයි එක්කම මමත් එළියට බැහැලා එයාලත් එක්කම දුවගෙ ඉස්කෝලෙ පැත්තටම හැරැනම සුවිමාලි පුදුමයෙන් වගේ මගෙ දිහා බැලුවා.

" ඇයි ඔයාට අද ඉක්මනට යන්න ඕනෙ නැතිද? දුවනම් ආස වෙයි ඔයත් එයාගෙ ඉස්කෝලෙ ගාවට එනවනම්. නේද දුව" එහෙම කිව්වම දුවගේ මූණ පිච්ච මලක් වගේ විකසිත වුණා. එයා අම්මව අත ඇරලා මගේ අතේ එල්ලුණා.

" පරක්කු නම් වෙනවා තමයි සුවිමාලි. ඒත් මම ඔයත් එක්කම යන්නම්. " මම මෙහෙම කිව්වෙ අර මනුස්සයව පරක්කු වෙලා ගියාම දැක ගන්න හැකිවෙයි කියල හිතලා. ඒත් ඒ බව මම සුවිමාලිට කිව්වෙ නෑ. එයා හිතයි මටත් පිස්සු කියලා.

දුවව පංතියට දාලා අපි ස්ටේෂමට ආවෙ දුවගෙන වගේ. එතකොට වෙලාව හතට පහක් විතර ඇති. මම හිතපු විදිහටම අර මනුස්සයා ප්ලැට්ෆෝම් එකේ හිටියා.

" අපෝ අන්න අර මිනිහා අමිත්ත. බලන්නකො රාක්ෂයෙක් වගේ" සුවිමාලි මෙහෙම කිව්වෙ මගේ අතේ එල්ලීගෙන.

එතකොටම මමත් මිනිහ දිහා හොඳට බැලුවා. පිස්සු පෙනුම තිබුණට මිනිහට හොඳ හැඩි දැඩි සක්‍තිමත් සිරැරක් ඇති බව මට ඈතටම පෙනුණා. මොනව හරි ක්‍රීඩාවක් කරපු එහෙම නැතිනම් බොඩි බිල්ඩින් කරපු කෙනෙක් කියලයි මට බැලු බැල්මට හිතුණේ.

මිනිහ අතේ උංඩිකරගත්තු කොළයකට විරිත්ත විරිත්ත හිටපු නිසා අපිව දැක්කෙ නෑ. එතකොටම 7:04 වේදිකාවට සේන්දු වුණා. කලබල වෙච්චි මිනිස්සු අතරෙ මිනිහව මට නොපෙනී ගියා.

" මාර ඇඟක්‍නෙ සුවිමාලි අර මිනිහට තියෙන්නෙ"

" මොන මිනිහටද අමිත්ත? ඔයා හිතේ භාගයක් තියාගෙන භාගයක් කියවනවා මට ඉතිං දිවැස් තියෙන්න ඕනෙ අහනදේට හරි උත්තරේ දෙන්න." සුවිමාලි එහෙම කිව්වේ බොරැ නෝක්කාඩුවක් මූණෙ මවාගෙන.

" ඇයි ළමයො අර පිස්සට"

" ආ...ඔයා තවමත් මිනිහ ගැනද හිතන්නෙ? ඔයා දන්නවද ඒ මිනිහ මේ ළඟදි මේ පළාතට ඇවිත් තියෙන්නෙ. මිනිහ කනවා කියන්නෙ ඔය වතු අයිනෙ ඉබේට හැදෙන ගොටු කොළයි, කුඹුරැ අයිනෙන් අල්ල ගන්න කක්කුට්ටොයිලු. ඇත්තද මන්දා අමුවෙන්ම කනවයි කියන්නෙ. " එහෙම කියල සුවිමාලි මූණ ඇඹුල් කරගත්තා.

" ඇත්ත වෙන්නත් පුළුවන්. මිනිහට හරි කල්පනාවක් තියනවයැ. පව් කියල හිතෙනවා. ඇයි දන්නෙ නෑ ඔහොම වුණේ. මොනව උණත් මිනිහ හරිම ශක්තිමත් කියල නම් පේනවා. "

කාලය වැඩි වෙනසක් නැතිව සුපුරැදු පරිදි ගත වුණා. හැමදාම උදේට මේ මනුස්සයව අපි ස්ටේෂමේදි දැක්කා. හවසට කොහේ අන්ත්‍රස්දානවුණාද දන්නෙ නෑ. සුවිමාලි කියපු ගොටු කොළ සහ කක්කුටු කතාවෙ ඇත්ත නැත්තත් මට හොයා ගන්න බැරි වුණා. මේ පිස්සත් අපේ ජීවිතයට එන ප්‍රශ්න වගේම දෛනික අංගයක් පමණක් බවට පත් වුණා. කවුරැත් ඒ ගැන අමතර සැලකිල්ලක් දැක්කුවෙ නෑ.

මෙහෙම ඉන්නකොට තමයි දවසක් උදේ සුවිමාලිගෙ නංගියි , එයාගෙ මහත්තයයි මහ ගිනි පාන්දර අපේ ගෙදර දොරට තඩි බෑවෙ. එයාලා පදිංචි වෙලා හිටියෙ අපේ ගෙදරට හැතැම්ම දෙකක් විතර එහා තිබුණු පුංචි නඟරයක.

අපිත් සද්දයට කලබල වෙලා ලයිට් දාගෙන එළියට එනකොට සුවිමාලිගෙ නංගී තවමත් වෙව්ලනවා. මස්සිනා හිටියෙත් හරියට හොල්මනක් දැකල වගේ.

" ඇයි නංගී. මේ මොකද මේ. ඇයි මේ බය වෙලා. මොකක් හරි කරදරයක්ද? " අපි දෙන්නම ඇහුවෙ එක වරම.

දෙන්නම කිසිම කතා බහක් නැතිව හොල්මං දෙකක් වගේ ගෙට ඇවිත් සෙටියට වැටුණා. සුවිමාලි කුස්සියට දිව්වා එයාලට බොන්න මොනව හරි හදන්න.

" ඇයි මල්ලී මොකක්ද සිද්ධ වුණේ? " මම ටිකක් මස්සිනාට හුස්මක් කටක් ගන්න ඉඩ දීලා ඇහුවා.

" අපි එලොව ගිහිං මෙලොව ආවෙ අයියේ.." මෙහෙම කියන කොටම ටිකක් දරදඬු චරිතයක් වෙච්චි මස්සිනාට ඇඬුණා. ඒකෙන්ම සිද්ධිය සෑහෙන බරපතල බව මට තේරැනා. නංගිටනම් තවමත් කතා කරගන්න බැරිවයි හිටියෙ. සුවිමාලි ඉක්මනට උණු කිරි කෝපි හදාගෙන ආවා.

" කමක් නෑ. ඔයාලට කරදරයක් නෑනේ. ඔය කෝපි බීලා හිමිහිට විස්තරේ කියන්නකො." මම මෙහෙම කිව්වෙ එයාල එවෙලෙ හිටපු තත්වය මට තේරැන නිසා.

මේ විදිහටම තවත් විනාඩි 5 ක් විතර යන්න ඇති. ඒත් මට දැනුණෙ හරියට කල්පයක් වගේ. සුවිමාලි පුංචි දරැවෙක්ව සනෂණව වගේ එයාගෙ නංගිව තුරැල් කරගෙනයි හිටියෙ.

මස්සිනා බය වෙලා මගෙ දිහා බලාගෙන ටිකෙන් ටික එයාගෙ කට හඬ අවදි කළා.

" අද පාන්දරම අපි ගමේ යන්න ගෙදරින් පිට වුණා අයියෙ. වැඩි දුරක් එන්න ලැබුණෙ නෑ ටයර් එකක් ගියා. මේ ඊයේ හොඳට චෙක් කරල හුළං එහෙම ගහපු ටයර් එක. ඉතිං කොහොම හරි ඒකත් හදාගෙන ගමන පිටත් වුණා. " එහෙම කියල මස්සිනා දිග හුස්මක් අරගෙන ලොකු සුසුමක් හෙළුවා.

" ඉතිං අයියෙ ඔහොම ඇවිත්..." එහෙම කියල මස්සිනා ආයෙත් මගෙ දිහා බැලුවා.

" අයියා දන්නවනෙ අයියලගෙ ස්ටේෂම ළඟ රේල් ගේට්ටුව. ඉතිං මම දෙපැත්ත බලලා කාරෙක දැම්මා. මොන කරැමයක් වුණාද දන්නෙ නෑ අයියෙ රේල් පාර මැදම කාරෙක හිටියනේ. මම ගැහුවා. ගැහුවා. මොන කිසිම හා හූවක් නෑ. ගල වගේ. මගෙ අම්මේ අයියෙ එතකොටම තමයි හංදියෙන් එන කෝච්චියක හෝන් සද්දෙ ඇහුණෙ. අපිට දෙවියන් බුදුන් සිහිවුණා. " එහෙම කියනකොට නංගී හොල්මනක් දැක්කා වගේ බයෙන් බිරාන්ත වුණා. මස්සිනාගෙ ඉහින් කණින් දාඩිය පෙරෙන්න ගත්තා.

" අයියට මතකනෙ අපේ කාරෙක ඇතුළින් දොරවල් අරින්න බැරිව ලොක් වෙන ප්‍රශ්නෙ. ඒක අද හදාගන්නවා, හෙට හදාගන්නවා කියල හිටියත් දවසින් දවස කල් ගියා. මගේ වරද" එහෙම කියලා මිනිහා පොඩි ළමයෙක් වගේ අඬන්න ගත්තා.

මම ටිෂූ එකක් මස්සිනාට දුන්නෙ එතකොට. මිනිහා කඳුළුයි , හොටුයි හූර හූර දිගටම කියවන්න ගත්තා පිස්සුවෙන් වගේ.

" මම සාමාන්‍යයෙන් ෂටර් එක පහත්‍ කරල එළියට අත දාලා තමයි දොර ඇරගන්නෙ. මොන මඟුලක්ද මන්දා අයියේ අද ෂටර් එක ඇරැනෙ නෑ. මම දන්න දහිරිය දැම්මා. දැන් හෝන් සද්දෙයි කෝච්චියෙ සද්දෙයි ළඟ ළඟම ඇහෙනවා. නාමලීට එහෙමම කලන්තෙ හැඳුනා. මම ෂටර් එක කඩන්න හදනකොටම එකපාරටම කාරෙක ඉස්සරහට තල්ලු වුණා. මට මොකවත් හිතා ගන්න බෑ. මම පස්ස හැරිලා බැලුවා. විශ්වාස කරන්න අයියේ කට්ට කළුවරේ මිනිහෙක් කාරෙක තල්ලු කරනවා. අනේ අයියේ කාරෙක රේල් පාරෙන් එළියට එනකොටම එතනින් මාරැවුන කෝච්චියේ ඒ මනුස්සයව ඇමිණුනා අයියේ. කළුවරේ විදුලියක් වගේ මිනිහා කෝච්චියත් එක්ක ඇදිලා ගියා. අනේ..... දෙවියනේ. "

මගෙයි සුවිමාලිගෙයි විවර වුණු කටවල් අපට වහ ගන්න අමතක වුණා.

" දෙවි හාමුදුරැවනේ..." මට කියවුණේ ඉබේටම.

" ඉතිං ඊට පස්සෙ?" මම මෙහෙම ඇහුවත් දහසක් දේවල් මගේ හිතේ ඇතිවෙමින් නැතිවෙමින් ගියේ නොනවත්වා වෙරළ සමඟ හැපෙන දහසකුත් එකක් රළ වගේ.

" මේ හැමදේම සිද්ධ වෙන්න විනාඩි දෙක තුනක් වත් ගියේ නෑ. ඉස්සරහට තල්ලුවුනු කාරෙක මම ආයෙත් ගහපු ගමන් ස්ටාර්ට් වුණා. හිර වුණු ෂටර් එක අගේට පාත් වුණා. හැමදේම හීනයක් වගේ අයියේ. මම කාරෙකෙන් බැහැලා රේල් පාර ගාවට දුවගෙන ගියා. ඈතට ඇදී යන කෝච්චියේ සද්දෙ ඇරැනම එතන වෙන කිසිම හැල හොල්මනක් තිබුණෙ නෑ. මම ටිකක් කෝච්චිය ගිය පැත්තට ඇවිද්දා. කිසිම දෙයක් පෙනෙන්න නෑ. මට ඇත්තටම බය හිතුණා අයියේ. ඉක්මනට කාරෙකට නැඟලා කෙළින්ම ආවෙ මෙහාට. බලන්න අයියේ තාමත් මගේ ඇඟ සීතල වෙලා , හිරි ගඩු පිපිලා. " එහෙම කියල මස්සිනා මට එයාගෙ වෙව්ලන දෑත පෙන්නුවා.

ඒ වෙලාවෙ තවත් කතා කර කර එයාලව වෙහෙස නොකර අපි එයාලට නිදා ගන්න තැන් ලෑස්ති කරලා දුන්නා. පහුවදා සෙනසුරාදා නිසා මම වැඩට ගියෙ නෑ. ඒත් උදේම නැඟිටලා මම ස්ටේෂම දිහාවට ඇවිදගෙන ගියා.

එතනදි තමයි මට ආරංචි වුණේ ඒ පාන්දර ජාමෙ ආපු බඩු කෝච්චියට ඇමිණුන මිනිහෙකුගෙ මළ සිරැර රේල් ගේට්ටුවේ ඉඳල හැතැම්මක් විතර ඈත වැටිල තිබිලා පොලීසිය හොයාගෙන තිබුණ බව. කෝච්චියේ රියදුරා දුන්න කට උත්තරේ එයා කියල තිබුණෙ හරිම පුදුම දෙයක්. රේල් ගේට්ටුව ළඟ හිරවූන කාරෙක ඈත ඉඳල ඔහු දැක තිබුණත් එය තල්ලු කළ මිනිසෙකු ඔහු දැක තිබුණෙ නෑ.

මිනිසුන් පැවසූ ආකාරයට ඒ සුණු විසුණු වෙලා තිබුණ මළ සිරැර කාටවත් හරියට හඳුනාගන්න බැරිවෙලා තිබුණ. මම එතනට යනකොට ඒක පොලීසිය ගෙනිහින්.

සඳුදා උදේ තෝන්තුවාවෙන් වගේ මම වැඩට යන්න ස්ටේෂන් එකට ආවා. අර පිස්සා පෙනෙන්න හිටියෙ නෑ. මම හිතුවෙ මම කලින් ආව නිසා මිනිහ නෑ කියල. පහුවදාත් මනුස්සයා හිටියෙ නෑ. ඊට පස්සෙ කවමදාකවත් මිනිහා එතන හිටියෙ නෑ.

- -නිමි-

චන්දන ගුණසේකර

6 comments:

  1. චන්දන බොහොම කාලෙකින් අපූරු කතාවකුත් අරගෙන ඇවිත්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෙන්නා! මුහුණු පොතේ නම් දිගටම වගේ ලියනවා. බ්ලොග් එක අතඇරිලම ගියා. ආයිත් පටං ගන්න හිතුවා .. ජයම වේවා ඔබට!!

      Delete
    2. ඒක අපි වගේ, ෆේස්බුක් පාවිච්චි නොකරණ උන්ට කරණ ලොකු අසාධාරණයක්....

      Delete
    3. ඒක තමයි සෙන්නා. මම දැන් දිගටම බ්ලොග් එකටත් පෝස්ට් කරන්නම්. උඹට ජය!!

      Delete
  2. වෙල්කම් බෑක් චන්දන....අපූරු කතාවක්...:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රවී අයියේ මට ඔයාගේ රස කතා සේරම මිස් වුණා .ආයෙත් කියවන්න වෙලාව හදා ගන්න ඕනෙ

      Delete