Pages

Wednesday 14 January 2015

කොක්නි ඇක්සන්ට් 2-ප්ලාස්ටික් පැඩීස්....



එංගලන්තයේදී මාහට බොහෝ සිවිල් හා ඉදිකිරීම් සමාගම් වලත් විවිධාකාරවූ යෝජනාක්රමයන්හීත් සේවය කිරීමට අවස්ථාව උදාවිය.

බොහෝ සමාගම් අයිතිවූයේ දකුණු අයර්ලන්ත ජාතිකයන්ටය. වසර ගණනාවකට පෙර ලංඩනයට සංක්රමණය වූ ඔවුහු ඉදිකිරීම් කර්මාන්තයේ සුළු රැකියාවල නිරතවී ඉතා මහන්සියෙන් දියණුවූ අයයි. ඒ කාලයේ අපේ ලංකාවේ මෙන් සහෝදර සහෝදරියන් විශාල ප්රමාණයකින් යුත් පවුල්වල සාමාජිකයන්වූ ඔවුන් ඒ මහා සමාගම් සහෝදරයන් හවුල් වී ඉතාම ජයට කරගෙන ගියහ.

ඔවුන්ගේ ආරම්භක රැකියාව කම්කරැවන්,වඩුවන් හෝ කැණීම් යන්ත්ර රියදුරන් වැනි අංශයන්හී සේවයයි.

මෙහි ඉදිකිරීම් ක්ස්රේත්රයේ වඩුවන් හදුන්වන්නේ chippy නමිනි.

විදුලි කාර්මිකයන් sparky ය. පෙඳරේරැවන් bricky නමිනි.

මේ අතර මා කලින් ලිපියේ කියූවාක් මෙන් අයර්ලන්ත ජාතිකයින්ට දාවා එංගලන්තයේ උපත ලද දරැවන් හැදින්වූයේ "ප්ලාස්ටික් පැඩීස්" නමිනි. 

පුදුමය නම් මා කතා බහ කල එංගලන්ත වාසීන් තිදෙනෙකු ගතහොත් ඉන් දෙදෙනෙකුටම මවගේ හෝ පියාගේ පාර්ශවයෙන් අයර්ලන්තීය සම්බන්ධයක් තිබීමය. එනම් "ප්ලාස්ටික් පැඩියන් " ඉතා බහුල වීමය.

මා බොහෝ විට ඇසුරැකලේ ඉදිකිරීම් අංශයට සම්බන්ධ පිරිස් නිසා මෙය ඒ අංශයට පමණක් විශේෂිත වූ දෙයක්දැයි නොදනිමි.

2000 වසරේදී නව සහස්රය පිළිගැනීම සඳහා එංගලන්තයද ලහි ලහියේ සූදානම් වූවාය. එය, ඉදිකිරීම් අංශයේ නියැලුණු අපගේ ස්වර්ණමය යුගය විය. රැකියා අවස්ථා බොහෝ සුලභ විය.

1999 දී නව සහස්රය සඳහාම තේම්ස් නදිය අසබඩ ග්රිනීච් නගරයේ ඉදිවූ සහස්ර ගෘහය එසේත් නැතිනම් "මිලේනියම් ඩෝමයෙහි" ඉංජිනේරැ වරයෙකු වශයෙන් කටයුතු කිරීමට මට අවස්ථාව උදා විය. 


අති විශාල කුළුණු දොළසක එල්ලූ විසල් වහලයකින් යුතු මෙම ගොඩනැගිල්ල මහා සර්කස් මඩුවක සිරි ඉසිලීය.

බොහෝ වියදමක් දරා ඉදිකළ මෙය එතරම් සාර්ථකවූ ගොඩනැගිල්ලක් නොවූ බව බහුතරයකගේ මතයයි. වර්තමානයේ එය විශාල සංදර්ශන සඳහා කුලියට දෙන ශාලාවක් ලෙස යොදා ගැනෙයි.

මධ්යම ලංඩනයේ උමං දුම්රිය පද්ධතියද ඉතාමත්ම අගනා වැඩකි. විවිධ නම් වලින් හා ඊටම අදාළ වර්ණයෙන් යුතු මෙම පද්ධතිය ලංඩනයට දිනපතා රැකියාවට යන එන හා ලංඩනය බැලීමට යන සංචාරකයන්ට සපයන්නේ අති මහත් සේවයකි. 


ලංඩනයේ උතුරේ සිට දකුණට ,නැගෙනහිර සිට බටහිරට,ඊසාන දිග සිට නිරිත දිගට සහ ගිණිකොණ සිට වයඹට ඇදෙන මේ දුම්රියෝ පොළව විදගෙන යන ගැඩවිල් පණුවන් සිහියට නංවයි.



ලංඩනයේ ගොඩනැගිලි ඉදිකිරීම් වල නියැලෙද්දී වසන්ත සමයේදී අපත් අනෙකුන් මෙන් දිවා ආහාරයේදී නගරයේ ඇති උයන් වලට ගොස් වැතිරී විවේක සුව විඳීමට පුරැදුව සිටියෙමු. දිනක් එසේ බිම වැතිරී සිටින මට පොළොව දෙදරන හඬක් ඇසී බියවී නැගී සිටි බව මතකය. ඒ බැව් මා සමඟ සිටි ප්ලාස්ටික් පැඩියාට පැවසූ විට ඔහු කියූවේ ඒ පොළොව යටින් දිවෙන දුම්රියක හඬ බවයි.

දුම්රියේ හෝ බස් රියේ ගමන් කරන ලංඩනුන් අපේ රටේ මෙන් ඕපදූප කතා කරමින් වට පිට බලමින් අනුනට හිරිහැර වෙන අයුරින් කිසිවිටෙක ගමන් නොකරති. බහුතරයක අතේ පොතක් හෝ පත්තරයකි. නැතිනම් කොම්පියුටරයකි. සැවොම තමන්ගේම ලෝකවල තනි වෙලාය.

සමහරැන් කනේ ගසාගත් හෙඩ් ෆෝනයට සමවැදිලාය. 

වැඩට යන හා වැඩ ඉවර වෙන වෙලාවන්හිදී එනම් "රෂ් අවර් " එකේදී මේ දුම්රියන් හා වේදිකා මගීන්ගෙන් පිරිලාය.

ඒත් දුම්රියක් ආ විට කිසිදු පොරකෑමක් තල්ලු කිරීමක් නැත. බසින අයට ඉඩදී එකා පිටු පස එකා දුම්රියට ගොඩ වන අයුරැ බලන්නත් ආසය. දුම්රිය හෝ බස්රිය තුළ කෙතරම් පිරැනත් ඇගේ ගෑවී හෝ ඇතිල්ලී කිසිවෙකු ගමන් නොකරයි. කට වහරට කියනවානම් "ජැක් ගැසිලි" නැත්තටම නැත. කාන්තාවන්ගේ ඇගක නිකමටවත් ගෑවෙන්නේ නැති තරම්ය.

වසන්ත සමයට මේ දුම්රිය පෝරණුසේ රත්වේ. ඒ කාලයට දුම්රිය පළට ඇතුළුවනවිට නොමිලේ වතුර බෝතලයක් දෙනු ලැබේ.

එමෙන්ම උදේට ඇති නොමිලේ දෙන මෙට්රෝ නම් පුවත් පතද ඉතාමත්ම වටිනා ප්රවෘති හා වෙළඳ දැන්වීම් වලින් යුක්තය.

මේ අතර එංගලන්ත වාසීහූ පාවිච්චි කරන තව තව ආවේණික යෙදුම්ද ඇත. සමහරැ වැසිකිළිය Loo කියා හදුන්වති. මේ වචනයත් සමඟ මීට බොහෝ කලකට පෙර මා මෙරටට පැමිණි අලුත සිදුවූ රසවත් සිද්ධියක් මගේ මතකයට එයි.

මෙහි පැමිණෙන වැඩිමනක් ලාංකීය ශිෂ්යයන්ගේ ආරම්භක රැකියාව වන්නේ ඉන්ධන පිරවුම් හලක හෝ සුපිරි වෙළඳ සැලක සේවය කිරීමය.

මගෙත් පළමු රැකියාව වූයේ ඉන්ධන හලක සේවයයි. ඉන්ධන හලක් කියූවිට අපේ සිහියට එන්නේ මජං කලිසමක් ගහගත් කොලුවකු වාහනවලට ඉන්ධන පුරවන ආකාරයයි. මගේ මෑණියන්ද සිතුවේ මෙලෙසිනි. ඉංජිනේරැ උපාධියක් ගෙන ඒරොප්පේ මගේ පුතා වාහන වලට පෙට්රෝල් ගහනවා යැයි කියමින් කඳුළු සැලූ හැටි මට තාම මතකය.

එහෙත් ටයි පටියක් පැළඳ හොඳ ඇඳුමකින් සැරසී වාහනයක් කිට්ටුවටවත් නොයා ඉන්ධන හලේ කඩය තුළ උණුසුමට සේවය කරන මගේ පිංතූරයක් ඇයට යැවූ දිනනම් ඈ සැනසුම් සුසුම් හෙළුවාය.

ඉන්ධන ගැණුම් කරැවක පැමිණ වාහනය නවතා තමන්ම පොම්පය එසවූ පසු කඩය තුළ ඇති අදාළ පොම්පයේ බොත්තමක් තද කිරීමෙන් ගැණුම් කරැවාටම ඉන්ධන පුරවා ගත හැක. ඉන්පසු කඩය තුළට පැමිණ ගෙවීම් කරනු ලැබේ. 

බොහෝ ඉන්ධන හල්වල අයිතිය ඉංදියානු හා ලාංකීය දමිළ ජනයාට අයිතිවිය. ඔවුන් කඩයේ තබා ඇති බඩු වැඩි ගණනට විකුණා බොහෝ ලාභ ලැබූහ.

දැන්නම් ලංකාවෙත් මේ ආකාරයෙන් ක්රියාත්මක වන ඉන්ධන හල් ඇතිබව මගේ විශ්වාසයයි.

මම මෙසේ සේවය කරමින් සිටින දිනක යමෙකු පැමිණ යමක් විමසීය. ඒ දිනවල ඔවුන්ගේ කතා විලාසය මට තේරැනේම නැත. මට loo යන
වචනය පමණක් ඇසුණි. Loot කියා පත්තරයක් ඇතිබව මට සිහිවිය. දැන් මෙන් අන්තර්ජාල පහසුකම් නොතිබුණු එකල බඩු භාණ්ඩ හා සේවා විකිණීම් හා මිලට ගැනීම් පිළිබඳ දැන්වීම් loot පුවත් පතේ පළ කෙරැණි.

මා පත්තරය ඔහුට දිඟු කළෙමි. මුවඟට නගා ගත් සමච්චල් සිනාවකින් යුතුව ඔහු වැසිකිළිය පෙන්වා not Loot can I use your loo කියා නැවත විමසීය. එදින මම එම වචනය ඉගෙන ගතිමි.

රසවත් සිද්ධීන් මෙන්ම මහා බියකරැ සිද්ධීන් වලටද ඉන්ධන හල් සේවකයන්ට මුහුණදීමට සිදුවේ. 

එකක් නම් ඉන්ධන පුරවාගෙන මුදල් නොගෙවා පලා යාමය. CCTV වැඩිය නොතිබුණු ඒ කාලයේ එය බහුලව සිදුවිය. පොම්ප විස්සක් පමණ තිබෙන නිසා කාර්ය බහුල වේලාවට සෑම වාහනයක් ගැනම අවධානය තබාගෙන සිටීම අසීරැ කටයුත්තකි.

අනෙක් දෙය නම් ආයුධගෙන කඩයට ඇතුළුවී සේවකයින් බිය ගන්වා මුදල් මංකොල්ල කෑමයි. මේ නිසා පවුම් 200 කට වඩා මුදල් අයකැමි ළඟ තබා නොගෙන නිරතුරැවම සේප්පුවට මුදල් දැමීමද රාත්රි දහයෙන් පමණ පසු ප්රධාන දොරටු වසා කවුළුවක් තුළින් බඩු විකිණීම සහ මුදල් ගැනීම සිදුකරයි.

මගේ වාසනාවට මා සිටින විටකදී කිසිඳු මංකොල්ලයකට හසු නොවිමී. එහෙත් කිහිප විටක් කිහිප දෙනෙකු ඉන්ධන පුරවාගෙන මුදල් නොගෙවා නම් පලා ගියහ.

තවත් අළුත් දෙයක් මම ඉගෙන ගතිමි. සෑමවිටම කෙනෙකු ඉන්ධන හලට ආවිට "ඕරයිට් මයිට් " කියා මා ඇමතීය. ඒ මට ඇසුණු හැටිය. පසුව එය all right mate බව දැනගතිමි. එය හරියටම "කොහොමද මචං" කියා අප අසන දේමය.

මම ලංකාවේදී බොහෝ අසීරැවෙන් ඉංග්රීසි ඉගෙනගනිද්දී යමෙකු How are you? යැයි ඇසූවිට I am fine thank you and you? යැයි පෙරළා ඇසීමට පුරැදුකරන ලදී. එහෙත් මෙහිදී එසේ නොවුණි. How are you යන ප්රශ්නයට ඔවුන්ගේ පිළිතුර වූයේ not to bad යන්නයි. Fine thanks යන පිළිතුර ලැබුණේ ඉතාමත් කලාතුරකිනි.

මෙවැනිම තවත් රසවත් සිද්ධියක් තවත් දිනෙක සිදු විය. 

ඒ කාලයේ දැන් මෙන් චන්ද්රිකාමය නැවිගේටයන් තිබුණේ නැත. කවුරැත් නොදන්නා මග සොයාගත්තේ කාගෙන් හෝ ඇසීමෙන් හා සිතියම් පොත් ඇසුරිනි. ලංඩනයේ මේ සිතියම් පොත A-Z නමින් හැදින්විණි.


බොහෝ අය බහුලව නොදන්නා මගක් අසා ගැනීමට ඉන්ධන හලකට යෑමට පුරැදුව සිටියහ.

දිනක් මා කවුන්ටරයේ සේවයේ සිටින අතර සුදු ජාතිකයෙකු පැමිණ Can I have a quality street කියා විමසීය. ඔහුගේ කතා විලාසය මට එතරම් වැටහුණේ නැතත් street යන වචනය  පමණක් පැහැදිලිව ඇසුණි. මේ අහන්නේ පාරක් ගැන යැයි සිතූ මා වහාම ඔහු අතට A-Z පොතක් දුනිමි. පොත දෙසත් මා දෙසත් සමච්චලයට බැලූ ඔහු කවුන්ටරය පසුපසින් තිබූ චොක්ලට් වර්ගයක් පෙන්වීය. සිය ගණනක් විවිධ නම් වලින් චොක්ලට් ඇති නිසා මට ඒ නම් මතක තිබුණේම නැත. කවුරැ මොන හේතුවකට ඒ චොක්ලටයට ඒ නම දැම්මාදැයි මම අදටත් නොදනිමි. එහෙත් එහි නම quality street ම විය.


තවත් දිනක double decker නම් චොක්ලට් වර්ගයක් ඉල්ලූ ගැණුම් කරැවකුට මා පාරේ ගිය තට්ටු දෙකේ බසයක් පෙන්වා සිදුවූයේ මහත් ඇබැද්ධියකි.


මේ ලෙසින්වූ රසවත් සිද්ධීන්ගෙන් මෙන්ම ලංකාවෙන් ඈත්වීමෙන් සිත පෙළූ හුදකලාවෙන්ද යුක්තව කාලය කෙමෙන් ගත විය.

තවත් දිනෙක ඉතිරි කොටස බලාපොරොත්තු වන්න.

-චන්දන ගුණසේකර-එක්සත් රාජධානිය

9 comments:

  1. කොක්නි ඇක්සන්ට් එක මං හිතන්නෙ අපේ රටේ ගාල්ල මාතර බාසා වගේ වෙන්න ඇති... ගොඩක් ඉංග්‍රිසි ජාතිකයන්ටත් ෆුල් කොක්නි ඇක්සන්ට් එක තේරුම් ගන්න අමාරුයි කියල මං අහල තියෙන්නෙ...

    හොඳ වෙලාවට ෆිල්ම් බලල බලලම අපි නං ලූ එක දන්නව... හි හි...

    ReplyDelete
  2. මුල් මුල් දවස් වල කෝමත් කව්රුත් නාගන්නව නෙව
    ඒක සාමාන්‍ය දෙයක් නෙව
    කියනව නෙව වැරදීම් ගුලින් තමා ඉගන ගන්නෙ කියල
    හිහි...............

    ReplyDelete
  3. දවසක් එක මහත්තයෙක් ලුප් ඇන්ඩ් හුක් මීටර් දෙකක් ඉල්ලුවා , බඩු විකුණන ගෑණු ලමයටත් තේ රුනේ නැති හන්දා ඒ පැත්තට මම ඔලුව දැම්මා , පස්සේ බලනකොට ඒ මහත්තය ඉල්ලන්නේ වෙල්කෝ මීටර් දෙකක් , සමහරු එව්වා ඉල්ලන්නේ චරස් බරස් කියල , ඇත්තටම බලනකොට රොල් දාල තියන පෙට්ටි වල ලුප් ඇන්ඩ් හුක් කියල ගහල තියනව , කොහෙවත් ගහල නැ වෙල්කෝ කියල

    සමහරක් වෙලාවට කව්රැහරි ඇවිත් මැරබොන් ඉල්ලනව ( මැරබොන් =බොන් මැරෝ , ඇටමිදුළු ....අපි දන්නේ එහෙමනේ ඒකත් වැරදිද මන්දා ) පස්සේ බලනකොට එයාට ඕන වෙල්බෝන් ( ඇදුම් මහනකොට යොදාගන්න ප්ලාස්ටික් පටි වර්ගයක් )

    ඔහොම පටලැවිලි මෙහෙදි වෙන්නේ ගොඩක් වෙලාවට තමන්ගේ උවමනාව අවශ්‍යතාවය ගැනවත් අපේ පාරිබෝගියන්ට හරි වැටහීමක් නැති හන්දා , අපි නොදන්න දෙයක් දන්න , අළුත් යමක් අපිට එකතු කරන කස්ටමර් කෙනෙක් හම්බෙන්නේ බොහොම කලාතුරකින් .

    එහෙම කෙනෙක් ආවත් වෙළද සේවකයව සමච්චලයට ලක් කරන එක හරි බැන අඩගහන එක හරි තමයි කරන්නේ .

    අපේ රටේ වෙළද සේවකයන් සහ පාරිබෝගිකයන් හරිම දුරස්තයි . ඒකට හේතුව වෙළද සේවකයන් තෘප්තිමත් නැ ලැබෙන වැටුප සහ අයිතිවාසිකම් සම්බන්දව , ඉතින් එයාලගෙන් හොද අවුට් පුට් එකක් ගන්ඩ අයිතිකාරයට.

    අනිත් අතට පාරිභෝගිකයෝ බොහොම අඩු තක්සේරුවකින් තමයි වෙළද සේවකයා දිහා බලන්නේ , කඩේ තියන බඩු ඔක්කොම ඇදල අරගෙන දෙන්ඩ , ගන්න බඩු ටික වාහනේට පටවල දෙන්ඩ ඉන්න වහලෙක් විදිහට තමයි වෙලද සේවකයව දකින්නේ.

    හැබැයි මම දැකල තියන දෙයක් තමයි බටහිර රටක ජීවත් වෙන කෙනෙක් හරි කලින් හිටපු කෙනෙක් හරි බඩුවක් ගන්ඩ ආපුවහම හරි සුහදයි , එයාට ගන්න අවශ්‍ය දේ එයා කලින්ම තීරනය කරල එන හන්දා , සේවකයන්ව අනවශ්‍ය විදිහට වෙහෙසට පත් කරන්නේ නැ ,

    සේවකයෙක් එයාට ගැලපෙන භාංඩයක් හදුන්වා දුන්නත් බොහොම උනන්දුවෙන් අහගන ඉන්නව , ආචාරශීලිව සේවකයට කතා කරනව .....යන්ඩ ලැස්ති වෙලා ...ඔය බඩු ටික මගේ වාහනේට ගෙනත් දාන්ඩ කියන්නෙත් නැ ................

    එහෙම ගණුදෙනු ඉවර වෙන්නේ සේවකයින්ගේ මුහුණුත් හිනාවකින් පිරිල

    අපේ රටේ වෙළද සැල් , වෙළද සේවකයන් , , පාරිභෝගික සේවා මධ්‍යස්ථාන ගැන තියන පැමිණිලි නැත්තටම නැති වෙලා යන දවසක් එනවනං ඒහෙම දවසක් එන්නේ අපි හොද පාරිභෝගිකයෝ වෙච්ච දවසට

    මල්ලේ පොල් කමෙන්ට් එකක්ද මන්දා... :D

    ReplyDelete
  4. නියමයි. තව අත්දැකීම් ටිකක් ලියන්න. . . පිටරටදී භාෂා ප්‍රශ්නය නිසා මටත් හොද හොද අත්දැකීම් තියෙනවා. . ඒවා තමයි අපේ හුදකලාව තුල හැ0ගුන සුන්දරත්වය . .

    ReplyDelete
  5. නියම අත්දැකීම් ටිකක්... අපිටත් යමක් ඉගෙන ගන්න හැකි අත්දැකීම් ටිකක්......

    ReplyDelete
  6. රසවත් තොරතුරු රාශියක්.
    අතටම ගිය ගමන් සුදුසු කම් වලට රැකියාවක් නැතිවුනාද? මෙහෙ ඉංජිනේරුවාට වඩා එහෙ තෙල් ගහලා සල්ලි හොයන්න පුලුවන්ද?

    ReplyDelete
  7. කොක්නි ඇක්සන්ට්.... !
    මරු අත්දැකීම් ටික...

    ReplyDelete
  8. පුරුදු වෙනකල් සෑහෙන හාස්‍යජනක දේවල් වෙනවා නේද? ඉන්පස්සේ අපිටත් පුලුවන් අලුත් උන්ට හිනාවෙන්න. :D නමුත් උඹ කරන්නා වගේ තමන්ටම හිනාවෙන්න හැකිවීම ශ්‍රේෂ්ඨ දෙයක්

    ReplyDelete
  9. අපිට නුහුරු නුපුරුදු පරිසරයක උඹේ අත්‍ දැකීම් අව්‍යාජව ලස්සනට ලියලා. තව තොරතුරු කියවන්න බලාගෙන ඉන්නවා

    ReplyDelete