Pages

Sunday, 21 February 2016

මතකය පමණක් ඉතිරි කොට අප හැර ගිය ඔහු.........



මගේ මතකයේ හැටියට ඒ අසූව දශකයේ මුල් භාගයයි. රණසිංහ ප්රේමදාස මැතිතුමාගේ නිවාස සංකල්පය යටතේ ඉඳිවූ , අනුරාධපුර නගරයට නුදුරින් පිහිටි 'සුචරිතගම ' නම්වූ උදාකළ ගම්මානය ජනතා අයිතියට පවරාදීමේ උත්සවයේ අවසාන අංගය වූ මහා සංගීත රාත්රිය නැරඹීමට යමුදැයි අපේ තාත්තා කළ යෝජනාවට මම කැමතිවූයේ එක පයිනි. අපත් සමඟ තාත්තාගේ මිතුරකුද මේ ගමනට එක්වූ අතර අප එහි ගියේ ඔහුගේ වාහනයේ බැව් මට මතකය. 

සංදර්ශනය ජයටම පැවතිණි. ගී ගැයූ විශාල ගායක පිරිස අතුරින් තරමක් වේග රිද්මයෙන් හා තමන්ටම ආවේණිකවූ අපුරු හඬකින් ගී ගැයූ ගායකයෙකු පිළිබඳව මගේ අවධානය යොමුවූයේ මටවත් නොදැනීමය. 

ඔහු , කලක් අනුරාධපුරය හොල්ලාගෙන වුන් දාමරිකයකුවූ මරුසිරා ගැන ගැයීය. හැත්තැඑක කැරැල්ල සමයේ දූෂණයකොට මරාදැමූ ප්රේමවතී මනම්පේරි ගැනත්, කන්දක හැපී විනාශ වූ ගුවන් යානයක් ගැන සහ ගඟක ගිලී ජීවිත නැතිවූ ' ආසයි බයයි' නම්වූ බෝට්ටුවක් ගැනත් ඔහු ගැයීය. එපමණක් නොව එවේලේම පද නිර්මාණය කොට හිටිවන බයිලාවක් විලසින් සුචරිතගම ගැන ඔහු ගැයූ ගීතය , පැමිණවුන් දහසක් රසික රසිකාවියන්ගේ මහත් අමන්දානන්දයට හේතු විය. එදා මගේ හද දිනූ ඔහු වෙන කවුරුන් හෝ නොව ඇන්ටන් ජෝන්ස් නම්වූ ප්රතිභාපූර්ණ බයිලා ගායකයා බැව් මා දැන ගත්තේ අපේ තාත්තාගෙනි.  සුදු පැහැයට හැරෙමින් තිබූ කොණ්ඩය උඩට පීරා ජැන්ඩියට ඇඳ පැළඳ ඉතා තේජාන්විතව මයික්රෆෝනය සුරතේ දරා  ඔහු ගී ගැයූ අන්දම කිහිපදිනක් යනතුරුම මගේ මනසේ ඇඳී තිබුණු බව මට මතකය. ඉන්පසුව සෑම ඉරිදා දිනකම ගුවන්විදුලියේ වෙළඳ සේවයෙන් අඩ පැයක් ප්රචාරයවූ බයිලා ගී වැඩසටහනේ එතුමාගේ ගී නොවරදවාම ඇසීමටත් මම පුරුදු වීමි. 

" පෙනුමින් අහිංසකයි 
ඒත් මිනිහ හරි වසයි 
කළේ වැරදිමයි
දාමරීක වැඩ තමයි" කියමින් එතුමා මරුසිරා ගැන ගයා ලෝකයට ඒ නාමය යළි යළිත් මතක් කර දුන්නේය. 

වෙසක් දවසක ගඟේ ඔරුවක නැගී වෙසක් බලන්නට ගිය පිරිසක් , ගඟේ ඔරුව පෙරළී ජීවිතක්ෂයට පත්වූ පුවත එතුමා රටට හෙළි  කළේ මෙලෙසිනි. 
" ආසයි බයයි ඒ බෝට්ටුවෙ නමයි
යළි නොමඑන්නට ගිය ගමනයි
දිය රකුසයි ගඟ මැද මරුවයි
ජීවිත ගණනක් බිළිගත්තයි" 

ඒ ගිලුණු බෝට්ටුවේ නම "ආසයි බයයි " නම් විය. 

එකල රට හෙල්ලූ තවත් පුවතක්වූ කන්දක හැපී විනාශවූ ගුවන් යානය ගැන එතුමා ගැයුවේ " කන්දේ හැපුණ මහ වනන්තරේ ඩී සී අට අහස් යන්තරේ....." යනාදී වශයෙනි. එමෙන්ම හැත්තෑඑකේ කැරැල්ල සමයේ දූෂණය කොට මරාදැමූ කතරගම රූපසුන්දරියක වූ අහිංසක ප්රේමවතී මනම්පේරි යුවතිය ගැන ගැයුවේ මෙලෙසිනි. 

" ප්රේමවතී මනම්පේරී තරුණිය
කතරගමෙ හිටපු රූපරැජිණිය
පතිවත කෙලෙසල ඇගේ 
මැරුවෙ තිරිසනෙක් වගේ ඒ හිත් පිත් නොමැති උදවිය"

එමෙන්ම සේපාල ඒකනායක ගැන, මතුගම සමන් කුමාර නම්වූ කෘර ලෙස මරා දැමූ අහිංසක සිසුවා ගැන  හා පොළොන්නරුවෙ විසූ සමාජය විසින් අපරාධකරයෙකු බවට පත් කළ පොඩි විජේ ගැනද තවත් මෙවැනිම රටම හෙල්ලූ නමගිය පුවත් හා පුද්ගලයන් ගැනද ගීත ගැයීමට එතුමා අමතක නොකළේය. එතුමන්ට තිබුණේ අමුතුම බයිලා ගීත කලාවකි. කාටවත් නොතිබූ එතුමන්ටම අනන්යවූ අපූරුම කට හඬකි. ජනතාව එතුමන්ට ආදරය කළේ එහෙයිනි. 

එතූමන් නොමැති සංගීත සංගීත සංදර්ශනයක් එකල නොවීය. වේග රිද්ම බයිල ගායකයන්වූ එම් එස් ප්රානාන්දු හා නිහාල් නෙල්සන් වැනි ගායකයන් අතරේ ඇන්ටන් ජෝන්ස් යන නාමයද දිදුලුනේ එකම තරු යායක පිපි තවත් දීප්තිමත් තරුවක් පරිද්දෙනි. එමෙන්ම කැසට්පට ලෝකයේද එතුමනට තිබුණේ අද්විතීය නාමයකි.  එතුමන්ගේ කැසට් පට විකිණී ගියේ උණු කැවුම් පරිද්දෙනි. කාලයකට ඉහත යම් යම් සිද්ධි මුල්කොටගෙන නිර්මාණයවූ කවි කොළ කලාවට නව මුහුණුවරක් සහ නව ආරක් ඇන්ටන් ජෝන්ස් තමන්ගේ ගීත කලාවෙන් ලාංකීය ගීත කෙතට දායාද කළේ එලෙසිනි. එය එතුමන්ට ආවේණික විය. 

එහෙත් අද දිනයේ මේ සැමදෙයකටම  නැවතීමේ තිත වැටි තිබිණි. මරුසිරා ගැන , පොඩි විජේ ගැන, මනම්පේරි ගැන, සේපාල ඒකනායක ගැන, හැපුණු ගුවන්යානා හා පෙරලුනු බෝට්ටු වැනි ව්යවසන ගැන ගැයූ ඔහු , සදහටම නිහඬවූ පුවත ලක් මව කම්පා කරමින් පැතිර ගියේ සැමගේම හදවත් කම්පා කරමිණි. 

එතුමන් ජීවත්ව සිටියදී යමක් ලිවීමට නොහැකිවීම ගැන මට ඇතිවූයේ මහා පසුතැවිල්ලකි. මෙතෙක් කාලයකට එතුමා ගැන  කිසිදු විස්තරයක්  පලනොවූ මුහුණු පොත ඇතුළු මාධ්ය එතුමන්ගේ පින්තූර සහ ශෝකී පණිවුඩවලින් පිරී යන්නට විය. 

මේ වෙනස්වන ලෝකයේ ස්වභාවය එයයි. එහෙත් සත්යයට අප මුහුණදිය යුතු වෙමු. දිනෙක අප සැමටම අනිවාර්යයෙන්ම යන්නට වන ගමන අද ඔබ ගොසිනි. තව දින කිහිපයකින් පසු ඔබගේ නිසල සිරුරද අපට සදටම දැකගත නොහැකිවනු ඇත. එහෙත් ඔබ අපට ඉතිරි කොට යන ඔබගේ නිර්මාණ , ඒ අද්විතීය කට හඬ හා ඔබගේ නාමය පමණක් යුග යුග ගණනාවක්ම මෙලොව පවතිනු ඇත. අවසාන වශයෙන් මේ පාළු රාත්රී යාමයේ, නැග එන පුන්සඳ වසා පැතිරී ඇති වැහි වලාව දෙස නෙතු යොමා,  මා මෙලෙසින් ඔබගෙන් සමු ගනිමි.  මේ සසර කතරේ දිනෙක නැවත අප හමුවනතුරු ඔබට සුබ රාත්රියක්!

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Friday, 19 February 2016

අඳුරු පෙබරවාරියේ අපෙන් ඩැහැගත් තවත් එක් මිනිසකුගේ විසිහය වැනි සිහි(නො)කිරීම වෙනුවෙනි.



නිහඬ කෙරුවද රිදී සීනුව
මරා ගල් බැඳ හෙළා මුහුදට
සොඳුරු රළ පෙළ රැගෙන ආවා
හදින් පෙම් කළ කොරළ වැල්ලට

මිනිසුන් වෙනුවෙන් පන්හිඳ මෙහෙවා
මානව අයිතිය කතා කිරීමද
තරුණ පැඟිරි දිවියෙන් පුද දෙන්නට
ඔබ කළ බිහිසුණු වරදද කිව මැන

දැයට අහිමි කළ තම එඩිතර පුතු
වෙනුවෙන් ඒ අම්මා හෙලු කඳුළැලි
බිඳුවක් පාසා සාපය තොපටයි
සමනල දඩයම්කරුවණි සැඟැවුණු.   

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Tuesday, 16 February 2016

විජය කුමාරතුංග නම්වූ ඒ සොඳුරු මිනිසා.....



ඒ එකදහස් නමසිය අසූ අටේ පෙබරවාරියේ දහසය වෙනිදාය. නීතිය, සාධාරණත්වය, යුක්තිය හා මානව ආචාරධර්ම වල්වැදී,  කැලෑ නීතියේ දුඟදින් අපවිත්රවූ අඳුරු මූසල තවත් උදෑසනක් ලක් මවට උදාකරමින් හිරු පායා ආවේද ඒ හැර හිරුටත් කළ හැකිවූ අන් විකල්පයක් නොවූ හෙයිනි. හැමතැනකම වාගේ විසිරී පැතිරී තිබූ , තුට්ටුවකවත් වටිනාකමක් නොවූ සීතල මරණයේ අඳුරු සෙවනැලි මකාලන්නට ඒ දුබල වූ හිරු කිරණයන්ට ශක්තියක් නොවුණි. මරණබයේ නින්දට ගිය මිනිසුන් , තවත් දවසකට තමන්ට ජීවිතදානය ලැබුණානේදැයි සිතමින් බියෙන් හා සැකයෙන් විවරවූ දෙනෙත් හැර ලෝකය දෙස බලන්නට පටන් ගත්තේ මේ සමගමය. 

දිනය සුපුරුදු ලෙස ගෙවෙමින් පැවතුණු අතර ඒ උදෑසන අපර භාගය වන්නට ඇත. හදිසියේම මුළු පළාතම ගිගුම් දෙමින් නිකුත්වී වාතලයට එක්වූ වෙඩි හඬ කිහිපයකින් පොල්හේන්ගොඩ ප්රදේශය ඇළලී ගියේ මේ මොහොතේමය.. වෙඩි හඬට නිතරම කන් හුරුවූ ජනතාවට එය එතරම්ම අරුමයක්නම් නොවුණි. එහෙත් ඒ මොහොතේ රටක් වටිනා ජනතා පුත්රයකු මිහිකත සිඹිමින් ලේ විලක් මැඳ වැතිර වුන් බව දුටුවේ ඒ අවට වුන් මිනිසුන් පමණි. තම ගොඳුර ඩැහැගත් ඒ අමන කුලී හේවායෝ තමන් පැමිණි යතුරු පැදියේ නැගී පලා ගියහ. වෙඩි තබා තිබුණේ මුහුණටමය. රටක් සැනසූ ඒ සුන්දර මුහුණේ අවසාන සිනහව ඒ වනවිටත් වාතලයට මුහුවී තිබිණි. පුවත රටපුරා ලැව්ගින්නක් සේ පැතිරුණු අතර වයස අවුරුදු හතළිස් නමයක් වැනි දිවියේ හොඳම ඉමේවුන් සිහින කුමරෙකු , මානව හිතවාදියෙකු හා මේ සියල්ලටම වඩා සොඳුරු මිනිසෙකු ඒ මොහොතේ අපගෙන් පැහැර ගෙන තිබිණි. බිරිඳකට පෙම්බර සැමියෙකු, දරු දෙදෙනකුට ආදරණීය පියෙකු, රසිකයනට ප්රතිභාවින් සපිරි රංගධරයෙකු හා ගායකයෙකුද සමස්තයක් වශයෙන් රටටම මානවහිතවාදී නායකයකුද අහිමි වුණි. 

එදා කැඩපතක ඡායා චිත්රපටයේ ඇසිඩ් වැදී මුහුණ විනාශ වෙද්දී එය සැබෑ ජීවිතයේදී එතුමන්ට හැබෑවටම සිදුවෙතැයි අප සිහිනයෙන් හෝ නොසිතුවෙමු. එදා ක්රිස්තු චරිතයේ රඟද්දී කුරුසියේ තබා ඇන ගසා මරාදමද්දී ඊට ටික කලකට පසුව එතුමන්ව හැබැහින්ම මරා දමතැයිද අප කිසිවිටෙකවත් නොසිතුවෙමු. එහෙත් අපේ අවාසනාවට සිදුවූයේද එයයි. 

අසූ අට - අසූ නමය යන ඒ කාලකන්නී යුගයේ අපට හා අපේ රටට අහිමි කළ විද්වතුන්, සමාජ සේවකයන්, මාධ්යවේදීන් හා දේශපාලකයන් අතරට විජය කුමාරතුංග යන නමද එක් කළේ මෙලෙසිනි. ඒ මීට විසි අට අවුරුද්දකට පෙර අදවන් දිනෙකදීය. අද සිටියා නම් එතුමන්ට වයස අවුරුදු හැත්තෑ හතක් වන්නට තිබිණි. 

එදා හන්තානෙ කථාවෙන් රිදී තිරයට පායා ආ විජය තරම් කඩවසම් හා ලස්සන නළුවකු එදා මෙදාතුර සිංහල සිනමා අම්බරයට පායා නොආ බව මගේ විශ්වාසයයි. එදා විජයගෙන් තොර වාණිජ සිනමාවක් නොවීය. විජයගේ පෙනුම නිසාම එතුමා වාණිජ සිනමාවටම කොටුවූවත් කරුමක්කාරයෝ, බැද්දේගම, කැඩපතක ඡායා, බඹරු ඇවිත් හා ක්රිස්තු චරිතය වැනි සිනමාපටවලින් එතුමන්ගේ සැබෑ රංගප්රතිභාව අපට දැකගත හැකිවිය. එමෙන්ම බොහෝ කලක් යනතුරුම හඳුනා නොගත් එතුමන්ගේ ගැඹරු හා ආදරණීය කටහඬට හා ගායන හැකියාවට ලැබුණේද අද්විතීය තැනකි. මිනිසුන් වැඩිපුරම ආදරය කළේ විජය නම් නළුවාටය. විජය නම් ගායකයාටය. එහෙත් විජයගේ ඉරණම ලියැවී තිබුණේ දේශපාලනය කිරීමටය. එයටත් හේතුව වන්නට ඇත්තේ එතුමන්ගේ තිබූ මානවහිතවාදී ගුණය හා පීඩිතයින් නගා සිටුවීමේ තද උවමනාව වන්නට ඇත. 

කාන්තාවන්ගේ මෙන් පිරිමින්ගේ ලස්සනක් ගැන කතා නොකළත් විජයට තිබුණේ පුන පුනා කතා කළ හැකිවූ අසාමන්ය ලස්සනකි. උත්තුංග දේහධාරී , අඩි හයකටත් වඩා උස සිරුරකි. ගැඹරු හැගීම්බර හා ආදරණීය කට හඬකි. එහෙත් මොහොතකින් ඒ හැම අපට අහිමි විය. 

විජයගේ දේශපාලන දර්ශනය පිළිබඳව කතා කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ. එමෙන්ම මට ඒ ගැන කතා කරන්නටද උවමනාවක්ද නැත. මන්ද මා මෙන්ම සුවහසක් ලංකාවාසී ජනතාව ආදරය කළේ විජය කුමාරතුංග නම් නළුවාටය. ගායකයාටය. මානව හිතවාදී සොඳුරැ ආදරණීය මිනිසාටය. විජය කුමාරතුංග නම්වූ දේශපාලඥයාට නොවේ. 

එතුමා දේශපාලනයට නොගියානම් අදටත් ජීවත්ව සිටින්නට ඉඩ තිබිණි. එහෙත් මරණයත් කරපින්නාගෙන උපත ලබන අපගේ මරණය කෙදිනක , කෙලෙස සිදුවෙතැයි නිගමනය කළ හැක්කේ නම් කාහටද? ඒ නිසා එසේ සිතා සිත රවටා ගැනීමට මම උත්සහ නොකරමි. 

ජේ ආර් ජයවර්ධන නම්වූ ඒ ඒකාධිපති පාලකයා විජය නැක්සලයිට් වාදියෙකුයැයි හංවඩු ගසා දඟගෙට පවා යැවීය. එහෙත් විජයගේ ගමන සහ එතුමන්වටා රොද බැඳ වුන් ජන ගඟ නැවැත්වීමට මේ කිසිදෙයක් සමත්වූයේ නැත. එතැනින් නතර නොවී එතුමන්ගේ හඬ පවා ගුවන් විදුලියේ ප්රචාරය වීම වාරණය කිරීම වැනි දෙකේ කොලේ අමන තකතීරු ළඳරුවන්වත් නොකරන අන්දමේ ක්රියාවන් මගින් විජයගෙන් දිගටම පළිගත්හ. මෙසේ කරන්නට කරන්නට විජය ඉන් පන්නරය ලැබුවා පමණක් නොව තව තවත් ජනතාව අතර ජනප්රියද විය. සිනමාවේ පවා විජය තරම් වැඩි වාර ගණනක් ජනප්රියම නළුවා වූ තවෙකකු නැතිබව මගේ විශ්වාසයයි. 

විජය ඒ දිනවල තදින් පැවති උතුරේ කොටි ප්රශ්නයටද කෙළින්ම  මැදිහත්වී කොටි නායකයන් පවා හමුවීමට උතුරට ගියේය. එවකට පැවති ජනාධිපතිවරණයේදී ජේ ආර් පාලනයට විරුද්ධව එසැවුණු අදිසි හා ප්රභලම හස්තය වූයේද විජයයි. 

විජය ඝාතනය කළේ කවුරු වුවත් කාගේ උවමනාවට වුවත් එවන් වටිනා මිනිසෙකුගේ ඔයතරම් ලස්සන මුහුණක් විනාශවී යන්නට වෙඩි තැබුවේ නම් මිනිසෙකු නොව හිතක් පපුවක් නැති තිරිසනකු බවනම් මම දනිමි. එය කිරීමට අණදුන් තැනැත්තා හැදින්වීමට වචනයක් මම තවමත් සොයමි. 

විජය මළ පුවත ඇසූ ජනතාව වැල නොකැඩී එතුමන්ට ගරු බුහුමන් කිරීමට ඇදුණේ එතුමාට ඔවුන්ගේ සිත්වල තිබූ සැබෑ ප්රේමය නිසාය. එදා විජයට ඇත්තටම ආදරය කළ විජයගේ සිනමා රසිකයින් ලක්ෂ ගණනක් හමුවේ එතුමන්ගේ නෑදෑයන් වෙනුවෙන් කතාවක් පැවැත්වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා සූරීන් පැවසූ වගන්තියක් මෙසේ උපුටා දක්වමි. " විජය දේශද්රෝහියෙකු නම් අද මෙතැනට එක්වූ අප සැවොම දේශද්රෝහීන් විය යුතුය. ඒ මක්නිසාද, දේශද්රෝහියෙකුට උපහාර දැක්වීමද දේශද්රෝහී ක්රියාවක්ම වන බැවිනි. "

එදා ඒ වෙඩි උන්ඩයෙන් ඔවුන් සිදුරු කළේ විජය කුමාරතුංගයිනී ඔබගේ මුහුණ නොවේ ඔබට ආදරය කරණ සුව හසක් රසික රසිකාවියන්ගේ හදවතය. එදා ඔවුන් ඔබව ඝාතනය කළහ. එහෙත් ජනතා හදවත්වල ජීවත්වන ඔබව කිසිදා ඔවුනට ඝාතනය කළ නොහැකිවනු ඇත. ඔබ අපගෙන් උදුරාගෙන වසර විසි අටක් ගතවන අද,  මම ඔබට මෙසේ පවසමි. ආදරණීය විජය, ඔබ අප හදවත් තුළ  සදා ජීවමානය. මේ සසර කතරේ දිනෙක නැවත අප හමුවෙමු. එතෙක් මට සමු ගන්නට අවසර.  

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය. 

Monday, 15 February 2016

අගය කළ යුතු චරිත- පර්සි අබේසේකර



අප සියල්ලන්ගේම අභ්යන්තර චිත්තයෙහි  කුඩා දරුවකු මෙන්ම යකකුද ඇති බව අප කවුරුත් දන්නා කරුණකි. එමෙන්ම අප සැම තුළම යම් කිසි ආරයක පිස්සකුද ඇතැයි මට සිතේ. සමහර විට මේ පිස්සුව තම විනෝදාංශය වන අතර මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වන අතර එක එක අංශ ඔස්සේද විහිදී යයි. සමහරු කාම පිස්සෝය. ඔවුනට රෙදි වැලක ඇති කාන්තා යට ඇඳුමක් වත් පෙනෙන්නට බැරිය. සමහරු පොත් හෝ චිත්රපට පිස්සෝය. සමහරුන්ගේ පිස්සුව විලාසිතාවට හා කැපී පෙනීමටය. තව තව නානාප්රකාර පිස්සු ඇත. සමහරු තමනට ඇති පිස්සුව නිසා සමාජයෙන් අවමන් විඳිති. ඒත් සමහර පිස්සු නිසා සමාජයේ නමක් දිනූ හෝ මහා ධන කුවේරයන් වූ මිනිසුන්ද මේ සමාජයේ නැතුවා නොවේ.  මා මේ කියන්නට යන්නේ ක්රිකට් ක්රීඩාව නැරඹීමේ පිස්සුව , තම විනෝදාංශයටත් වඩා තම ජීවිතයම කරගත් සහ ඒ හේතුවෙන්ම අපේ රටේ පමණක් නොව මුළු ක්රිකට් ලෝකයේම ජනප්රිය චරිතයක්ද බවට පත්වූ පුද්ගලයකු ගැනයි. මේ සඳහා ප්රවේශයක් ලෙසට පහත විස්තරය ඔබ වෙත ගෙන එන්නට සිතුවෙමි. 

ලංකාවේ ජාතික ක්රීඩාව කුමක්දැයි යමෙකු ඇසුවොතින් බහුතරයක් එය ක්රිකට් ක්රීඩාව යැයි කියනු නොඅනුමානය. ඒ තරමටම එය ජනතාවගේ ශරීරයට, ජාන වලට හා කොටින්ම ලේ වලටම බද්ධ වී හමාරය. ක්රීඩා රසිකයෙකු නොවූවත් බොහෝදෙනා තරඟයක තොරතුරු , අවම වශයෙන් ලකුණු තත්වය හෝ දැනගන්නට නිතැතින්ම පෙළබෙති. ඒ තරමටම එය අදහන ආගමක් , උණක් එහෙමත් නැතිනම් පවතින රැල්ලක් ගණනට වැටී ඇත්තේය. 

ඉංග්රීසි ජාතිකයන්ගෙන් අපේ කොදොව්වට ලැබුණු දායද අතර තවත් දායාදයක් වූ ක්රිකට් , මුල් කාලයේ අනෙක් හැම අංශයේම මෙන් සුද්දන් අපේ රට හැර යන විට මෙහි කිරි පොවා හදා වඩා ඉතිරි කොට තබා ගිය කළු සුද්දන්ට පමණක් සීමා විය. එමෙන්ම කොළඹ ප්රධාන පාසල් හා ක්රීඩා සමාජ කිහිපයක් අතර පමණක් එහි අයිතිය හා ඒකාධිකාරය පැවතිණි. 

එහෙත් 1982 දී අපට ටෙස්ට් තත්වය ලැබීමත් සමඟම තත්වය ටිකින් ටික වෙනස් වන්නට පටන් ගති. ඒ අතරම 1982 රූපවාහිනියේ සම්ප්රාප්තියත් ක්රිකට් ගම් දනව් සිසරා ජනතාව අතරට යාමට පිටිවහලක් විය. එතෙක් සමාජයේ ඉහළ පැලැන්තිය එනම් රිචඩ්ලා සොලමන් ඩයස්ලා පමණක් විලාසිතාවකට මෙන් පුංචි රේඩියෝවක් කනේ තබා ගෙන ඉංග්රීසි බසින් ඇසූ ක්රිකට් විචාර , ගමේ ගොඩේ පියදාසලා හා සිරිසේනලාටත් රූපවාහිනියෙන් සිංහල බසින් අසන්නට බලන්නට ලැබිණි. අපත් ක්රීඩාංගණයේ සිටිනවා මෙන්ම දැනෙන්නට සිංහල බසින් විස්තර විචාර ගෙනා ප්රේමසර ඈපාසිංහ හා පාලිත පෙරේරා වැනි විචාරක මහතුන් මම මේ අවස්ථාවේ ගෞරව පූර්වකව සිහිපත් කරමි. නගරයෙන් ගමට ක්රිකට් ගෙනයාමේ පුරෝගාමීන් වූයේ ඔවුන්ය. ඒ අතරම අපට වුන් චතුර ලෙස ඉංග්රීසි බසින් විචාර ගෙනා විචාරක මහතුන්ද අමතක කළ නොහැක. 

ක්රිකට් යනු හුදෙක්ම තරගයක් නරඹා විනෝද වී පහුවෙනිදාට එය අමතක කර දමන ක්රියාවලයක් නොවන බව මේ සටහන කියවන දහසකුත් රසිකයන් අත්දැකීමෙන්ම දන්නා සත්යක් බව මම දනිමි. නරඹනවාට වඩා අපි එහි ජීවත් වෙන්නෙමු. එහි අපට සිතා සැනසෙන්නට හදේ රැදුණු අතීත කාමයක් ඇත්තේ එහෙයිනි. 

මම මුලින්ම ක්රිකට් තරඟයකට සවන් දුන්නේ 1982 මුල් භාගයේ දිනක බව මට හෙඳින් මතකය. ඒ දිනවල අපට ටෙස්ට් තත්වය ලැබී තිබුණේ නැත. රූපවාහිනී සංස්ථාව අරඹා තිබුණෙද නැත. අනුරාධපුර නාච්චාදූවේ අපේ තාත්තා කළමනාකරු ලෙස සේවය කළ විශාල ගෙවිපලේ විසල් සියඹලා ගස යට තැනු බංකුවක හිඳ ඕස්ට්රේලියව හා ලංකාව අතර පැවති එක්දින තරඟයකට පුංචි රේඩියෝවකින් අප සවන් දුන්නෙමු. අසන්ත ද මෙල්ලා, වෙත්තමුනිලා, මඩුගල්ලේලා , මෙන්ඩිස්ලා හා ඩයස්ලා එදා මගේ වීරයෝ වූහ. 

ඉන්පසුව ඒ වසරේම එංගලන්තය සමඟ පැවති පළමු ටෙස්ට් තරඟය මා නැරඹුවේ රූපවාහිනියෙනි. එහිදී ඩේවිඩ් ගවර්ලා, මයික් ගැටින්ලා , බොබ් විලිස්ලා හා බොතම්ලා එදානම් අපව නැති කර දැමූහ. 

එහිදී සුදු හෙල්මටයක් පැළඳ පැමිණි අර්ජුන රණතුංග නම් කොලු ගැටයාගේ පිති හරඹය, කළු පෙරුම ගත් අරුම පුදුම උඩ පනදුව හා රෝයි ඩයස්ගේ හෙල්මටයේ පන්දුව වැදී එය කඩුල්ලේ බේල්ස් මත වැටීමෙන්,  හිට් විකට් වී දැවී ගිය හැටි අද ඊයේ වගේ අපට මතකය. මේ කිහිපයක් පමණි. වරක් ඩයස් හා මෙන්ඩිස් හොඳින් පන්දුවට පහර දෙමින් සිටියදී දෙදෙනා අතර අනොන්ය අවබෝධය බිඳ වැටී දෙදෙනාම එකම අන්තයක රැදීම නිසා රෝයි ඩයස් ලකුණු 77 කට දුවද්දී දැවී ගියේය. එදා අප බොහෝ සේ කම්පා වීමු. 

1996 දී අප ක්රිකට් ලෝක සූරතාව දිනා ගැනීමෙන් අනතුරුව ක්රිකට් වලට අසීමිත ජනප්රියතාවයක් ගලා එන්නට පටන් ගත් අතර එය මහා ධන සම්භාරයක් අත පත ගෑවෙන ව්යාපාරයක් බවටද පත්විය. එය අපේ ක්රිකට් වංශ කතාවේ හොඳකට මෙන්ම නරකටද හේතු විය. 

මේ අතර කාලයේ බොහෝ ක්රිකට් වීරයෝ අපට බිහිවූහ. සමහර වීරයෝ වීර කම දිගටම රැක ගත්හ. සමහරුන් ඉක්මනින්ම බලු වූහ. සමහරුන් ඉක්මනින්ම දැවී ගියහ. තවෙකෙක තුවාල සිදුකරගෙන ඉක්මනින්ම විශ්රාම ගත්හ. ( retired hurt). සමහරු හරි කලට තරුණ ක්රීඩකයන්ට තැන දීමට ඉසිඹු ලදහ. තවත් අය කාලය දික් කර ගනිමින් හැමටම වදයක්ම වෙමින් රැදී සිටියහ. මේ අතර ලෝක වාර්තා බිහිවුණි. තිබුණු වාර්තා බිඳ හෙළිනි. මෙසේ කරුණු කාරණා සිදුවෙමින් පවතිද්දී එක් අයෙකු පමණක් නොදැවී දිගටම ක්රීඩාවේ නිරත විය. වයස ඔහුට ප්රශ්නයක් නොවුණි. තිබුණේ එකම විශේෂත්වයක් පමණි. එනම් ඔහු ක්රීඩා කළේ හතරේ සීමාවෙන් පිටත සිට වීම පමණි.  ඔහු ක්රීඩා කළේ නරඹන්නන් අතර සිටය. එහෙත් ක්රිකට් පිත්ත වෙනුවට ඔහු අත වූයේ ලංකාවේ ජාතික කොඩියය. ලංකාවේ තරඟ අතරතුර නරඹන්නන් රඟන රංඟනයන්හී ප්රධාන නළුවා ඔහු විය. එහෙත් සමහර නළුවන් මෙන් ඔහු කළේ රඟ පෑමක් පමණක් නොවේ. එය හදවතින්ම තම රට දිනවීමට ඔහු දුන් සවියකි. රුකුලකි. උත්තේජනයකි. 

දැන්ටමත් මා මේ කියන්නට තටමන්නේ කවුරුන්ද යන්න පිළිබඳව ඔබට තේරුම් ගොස් ඇතුවාට සැකයක් නැත. ඔහු අපේ ආදරණීය පර්සිය. පර්සි අයියාය. සමහරුන්ගේ පර්සි අංකල්ය. දැන්නම් පර්සි සීයාය. රටම පමණක් නොව ක්රිකට් ලෝකයම දන්නා පර්සි අබේශෙඛර මහත්තයාය. 

ඔහු තරම් ක්රිකට් ලෝලියෙකු ලංකාවේ තවත් නැත. ලෝකයේ ඉන්නා ක්රිකට් පිස්සන් අතර හොඳම පිස්සෙකි. ප්රතිවාදී තරඟ සහයකයන් සමඟ උරෙන් උර ගැටී , ඉංග්රීසි බසින් කතා කරමින් කොඩියක් ගෙන නටමින් ක්රීඩාංගණයේ නරඹන්නන්ට හා ක්රීඩකයන්ට නිරතුරුවම සවියක් වූයේ එතුමායි. 

තරුණ කල ක්රිකට් ක්රීඩකයකු වූ එතුමා ඉන්පසුව හැම තරඟයකම අපට සිටිනා නොඳැවුණු නරඹන්නා විය. ලංකා පිළ යන්නේ කොයි දීපංකරයකද එතුමා ජාතික කොඩිය ලෙලවමින් සිටියේ එතැනය. අද දින අසූ වියද ඉක්මවා සිටින මේ සහෘද මිනිසා තවමත් එදා මෙන්ම උද්යෝගයෙන් හා ජවයෙන් යුක්තව සිටීම ජාතියේ වාසනාවය. ටෙස්ට් වරම් ලැබී ගෙවී ගිය මේ අවුරුදු තිස් ගණනට විවිධ ක්රිකට් නායකයෝ, ක්රීඩකයෝ සහ ක්රිකට් තරු බිහිවූහ. සමහරුන් ඇත්තටම හදවතින්ම රටට ක්රීඩා කළහ. ඒත් සමහරුන් ක්රිකට් නිසා තමන් ලද ප්රසිද්ධිය , ජනප්රියතාවය සහ ආර්ථික ශක්තිය දේශපාලනය වැනි වෙන වෙන බල ලෝභී ව්යාපාරවලට යෙදවූහ. ඒත් පර්සි තවමත් හතරේ සීමාවට එපිටින් කොඩිය සුරත දරා එලෙසින්ම ලංකාව වෙනුවෙන් උඟුර ලේ රහ වනතුරුම කෑ ගසන්නේය. අප ඔහුව අගය කළ යුත්තේ එහෙයිනි. එතුමන්ට තව චිරාත් කාලයක් මෙලෙසින් නොදැවී ක්රීඩා කරන්නට අවශ්ය ශක්තිය හා දහිරිය ලැබේවා. ආදරණීය පර්සි , මේ සහෘද සටහන ඔබ වෙනුවෙනි. 

චන්දන ගුණසේකර

Friday, 29 January 2016

අද දිනට යෙදෙන කීර්ති පැස්කුවල් මහතාගේ ජන්ම සංවත්සරය වෙනුවෙනි.



අගය කළ යුතු චරිත......

ඒ පේරාදෙණිය සරසවියේ අක්බාර් ශාලාවේ ගෙවුණු එක්තරා අඳුරු රාත්රියක් විය. පහුවෙනිදාට නියමිතව තිබූ විභාගයකට පාඩම් කොට හෙම්බත්වී වුන් අප පසුවූයේ පාං කියා ගන්නටවත් බැරි තත්වයෙනි. තවත් පාඩම් කරන්නට නම් මට හිත දුන්නේම නැත. ප්ලේන්ටියක්වත් ගහමුයි කියා කරා ( කරවිට) කළ යෝජනාව මට ඇසුණේ දෙව්ලොවින් ආ ඇමතුමක් ලෙසිනි. අප කැන්ටිමට යන අතර මහ නුවරින් ඉංජිනේරු පීඨයට පැමිණි , විභාග දවස් නිසා යහළුවකුගේ කාමරයක ගජේ ගසා වුන් මුස්ලිම් සොයුරෙකු වූ හුසේන් හමු වූයේ අහම්බයෙනි. 

විභාගයට නැහී ඔහුත් සිටියෙ බාගෙට මැරිච්ච ගානට බව ඔහුගේ විඩාබර දෙනෙත් අපට කියා පෑවේය. විභාගය ගැන මහා කන්දොස්කිරියාවක් හිතට නැගුණු ප්රශ්න කිහිපයක් අප අතර හුවමාරුවෙන් අනතුරුව හුසේන් ගෙනාවේ අපූරු යෝජනාවකි. 

එනම් මහනුවර කින්ග්ස්වුඩ් විද්යාලයේ පැවැත්වෙන සැනකෙළියක අවසාන දිනයවූ එදා සංවිධානය කොට තිබූ අවසාන මහා සංගීත රාත්රිය නැරඹීමට යමුද යන්නයි. ආයෙත් මොනව හිතන්නද අප කැමතිවූයේ දියට පනින්නට පෙරුම් පුරමින් වුන් ඉබ්බන්ව දියට වීසි කළා වැනි සතුටකිනි. 

ඊළඟ මිනිත්තුවේ අප සිටියේ ගම්පොළ පාරෙය. නුවර බලා යන බසයක එල්ලුණු  අප කින්ස්වුඩ් විද්යාලය ළඟින් බසිනවිට සංගීතය ඇරඹුණා පමණි. එහෙ මෙහෙ සැරිසරන ගිනි කිරිල්ලියන් හා සුර ලියන්ගේ දසුනින් නෙත් සතපාවාගනිමින් හා ඔවුනට මල් හී සැර විදිමින් අපේ කල්ලිය උත්සව භූමියට ඇතුළු වූයේ බඹර කැලක් මෙන් සැහැල්ලුවෙනි. 

කින්ගස්වුඩ් විදුහලේ ආදී සිසුවකු වූ හුසේන්ට ඔහුගේ පැරණි යහළුවන් හා අසල්වාසීන් බොහෝ හමු වූයේ මේ අතර වාරයේදීය. ඒ අතර ඔහුගේ නැන්දණියකද වූ අතර ඇය සමඟ ඇයගේ පියකරු දියණියද වූවාය. නැන්දණිය අප සමඟද බොහෝ සුහදව කතා බහ කළත් දියණිය සිටියේ වෙනම ලෝකයකය. වරෙක ඇය ඇඟිලි තුඩුවලින් ඉස්සෙමින් හා බෙල්ල හරව හරවා වේදිකාව දෙස කොරවක්කියක මෙන් බලමින් සිටියේ කවුරුන් හෝ එතැයි මහා බලාපොරොත්තුවකින් සිටින බව අප සැමටම ඒත්තු ගන්වමිනි. හුසේන් හෝ අප , එහි වුන් බව ඇය අධෝ වාතයක් තරම්වත්  ගාණකට නොගත්තාය. 

මෙසේ විනාඩි කිහිපයක් ගත වුණි. හදිසියේම අඳුර තුළින් මතුවූ පිරිමි රූ ඡායා කිහිපයක් දුටු ඇයගේ දෑස් හදිසියේම අමාවක රෑක පෑ සුපුන් සඳක් මෙන් ඒකාලෝක විය. පැමිණි පිරිමි තිදෙනා අතර වූ උස කඩවසම් පුද්ගලයාගේ අතේ ඇය එල්ලුණේ හැන්දෑවට ගෙදරට එන තම පියාගේ අතේ එල්ලෙන කුඩා ළදැරියක සිහි ගන්වමිනි. ඔහු , ඔහු අත වූ රාමු කළ ඡායාරූපයක් ඇය අත තැබුවේ අප විමතියෙන් ඇස් ගෙඩි ලොකු කරන් මේ වෙන්නට යන්නේ කුමක්දැයි බලා සිටියදීය. ඇය සහ නැන්දණිය සමඟ මද වේලාවක් සුහද කතා බහක යෙදුණු ඔහු ඒ දෙස දෑස් දල්වා වුන් අප දුටුවේය. එකෙණෙහිම අප දෙසටද හැරුනු ඔහු මනරම් සිනාවක් අප වෙත පා අත වනා අප සැමගෙන්ම සමු ගනිද්දී මම ඔහු කවුදැයි හඳුනා ගතිමි. 
රූපවාහිනී තිරයේ ඔහුගේ මනබඳින ගැයුම් හා ගිතාරු වාදනයන් අනත්තවත් දැක ,අසා රස විඳ තිබුණත් ඔහුව මෙතරම් ළඟට හැබැහින් නම් දැක්කේ එදාය. ඒ වෙන කවුරුන් හෝ නොව එදා මෙන්ම අදටත් යුවතියන්ගේ සිහින කුමරාවූ කීර්ති පැස්කුවල්ය. තමන්ට පිස්සු වැටී සිටිනා දහසකුත් රසිකාවියන් අතර හුසේන්ගේ ඥාති සොයුරිය සොයා ඇය ළඟටම පැමිණ තම අත්සන සහිත ඡායාරූපයක් දීමට තරම් නිහතමානීවූ ඔහු ගැන එදා අපට ඇතිවූයේ විස්තර කළ නොහැකි තරමේ ප්රසාදයක් සහ ආදරයකි. 

සරසවියෙන්ද රටින්ද සමුගත් මට එතුමා ගැන නැවත සිහිවූයේ වරෙක ලංකාවට ගිය දිනෙක එකල අතිශය ජනප්රියතාවයට පත්ව තිබූ එතුමන්ගේ " කඳුළ ඉතිං සමාවෙන්න" ගීතය ශ්රවණය කිරීමෙනි. සවන්දුන් පළමු නිමේෂයේම මම ඊට පෙම් බැන්ඳෙමි. 

මෑතකදී එතුමා රූපවාහිනී නාලිකාවක හත්දින්නක් තරු නම්වූ වැඩ සටහනකට පැමිණ සිටිනු මට දැකගන්නට ලැබිණි. එදා එතුමා මහනුවර හෝටලයක ගීත ගයා ඇරඹි තම සංගීත දිවියත් ඉන්පසු සුපර් ෆෝචූන්ස් වැනි සංගීත කණ්ඩායම් වල ගිතාරු වාදකයකු ලෙස සම්බන්ධ වූ අයුරුත් විස්තර කළේය. සිංහල ගීත වංශ කථාවේ බොහෝ අමරණීය ගීතවල මුල්ම පටිගත කිරීම්වලට ගිතාරුව වයමින් තමන් සහභාගීවී ඇති බව පැවසුවේ ඉතාමත්ම නිහතමානීව , කවදාවත් වයසට නොයන ඒ අව්යාජ සිනාවෙන් මුව සරසාගෙනය. ඇත්තටම එතුමා වයසට ගොස් නැත. අසූව දශකයේ දුටු ඔහුමය අදත්. 

එතුමා එදා කවුරුත් නොදන්නා රහසක්ද හෙළි කළේය. වසර ගණනාවකට පෙර එතුමා සංගීත සංදර්ශනයකට ගී ගැයීමට ගිය බවත් තමන්ට ගී ගැයීමට ලැබුණො බයිලා චක්රවර්තී එම් එස් ප්රානාන්දු මහතාට පසුව බවත් පවසමින් මතකය අවඳි කළ එතුමා ,එදා එම් එස්  මහතාට රසිකයන්ගේ බලවත් ඉල්ලීම නිසා ගීත රාශියක්ම ගැයීමට සිදුවූ බවත් වාදනය සැපයූ වාදක මඩුල්ලේ නොහැකියාව නිසා සමහර ගීත වල අන්තර් සංගීත කන්ඩ එතුමන්ට කටින්ම වාදනය කරන්නට සිදුවූ බවත් පැවසීය. කෙසේ හෝ සිංදු බර ගාණක්  ගයා වේදිකාව බැස ආ එම් එස් මහතා හදිසියේම වේදිකාව බලා පිය නගමින් වුන් තමන්ගේ ඇගට ඇලවී ආ බවත් එවෙලේ සිහි කල්පනාව නැතිව වුන් එතුමාව , ගීත ගැයීම පසෙකලා තම වාහනයට පටවාගෙන රෝහල වෙත රැගෙන ගියද ඒ මූසල රාත්රියේ එම් එස් දැයට අහිමි වූ බවද පැවසුවේ කඳුළින් දෙනෙත පුරවාගෙනය. ඊට වසර ගණනකට පසු එක්තරා මූසල බක් මාසයක කපුගේ සූරීන් ගුවන්තොටේ ඇදවැටුණු මොහොතේ කීර්ති පැස්කුවල් වැන්නෙකු ළඟ සිටියානම් කපුගේ කෙනෙකු තවමත් අපට සිටිනවා නොවේදැයි කියා මට නිකමට සිතුණි. 

ඒ කෙසේ වෙතත් මේ හැමදේම අපේ දෛවය අනුව සිදුවූවායැයි සිතා සිත සනසවාගන්නවා හැරෙන්නට වෙන කළ හැකි අන් දෙයක් නැත. 

මෑතකදී පැස්කුවල් මහතා නිතර රූපවාහිනියේ දැක ගන්නට ලැබිණි. ඒ ආධුනික යථාවාදී ගී ප්රසංග විනිසුරු වරයෙකු වශයෙනි. එහිදීත් ඔහුගේ මුවින් නික්මෙන අව්යාජ වදන් හා සුදුස්සන් සුදුසු තැන තබා ගෞරව කිරීමේ ගුණය හා නිහතමානීබව නිරතුරුවම කැපී පෙනෙන බව නොරහසකි. එතුමා වයසට නොගොසින් එදා මෙන්ම යෞවනයකුසේ සිටින්නේ එතුමාගේ මේ ලස්සන හදවත නිසාය. 

ඇත්තම පවසතොත් කීර්ති පැස්කුවල් මහතා ගැන යමක් ලිවිය යුතුයැයි මා කලකට පෙර සිටම සිතේ හිරකරගෙන වුන් සිතිවිල්ල මේ හදිසියේ මල් ඵළ දරා මේ ලිපිය විලසින් කල එළි බහින්නට හේතුවූයේ මෑතකදී එතුමන් සම්බන්ධවූ අපූරු සිද්ධියකි. නව කථාවක හෝ චිත්රපටයක හැරෙන්නට මෙවැනි සිදුවීම් නම් මේ කෲර ලෝකයේ සැබැවින්ම විරලය. එහෙත් මීට සති දෙකකට පමණ පෙර එය සැබැවින්ම සිදුවිය. 

මරණාසන්නව ලෙඩ ඇදේ වැතිර සිටි යුවතියක  වෙනුවෙන් ඇයගේ ප්රියතම ගීතය ඇයගේ ඇඳ අබියසම සිට ඔහු ගැයීය. ගිතාරුව වයමින් සහ ඇය දෙස ආදරයෙන් බලමින් ඔහු ගීතය ගයන ඒ අනුවේදනීය දර්ශනය නැරඹූ සුවහසක් ප්රේක්ෂක ජනතාවගේ සහ එම යුවතිය වටා ඒ මොහොතේ වුන් ඇයගේ ඥාතීන්ගේ දෙනෙත් තෙත් කළ දසුනක් විය. ගායනය අවසන ඇයගේ හිස අතගා ආදරයෙන් ඔහු ඇයගෙන් සමුගත් අතර ඇයද මුළු ලොවින්ම සමු ගත්තේ ඒ සුන්දර, ආදරබර මොහොත සිතින් තුරුළු කරගෙනය. 

මුදලටම සියලුමදේ තීරණය වන  වර්තමාන යුගයේ මෙම යුවතියගේ අවසාන මොහොතේ ඒ කිසිවක් නොසිතා ඉතාමත්ම නිහතමානීව එතුමන් විසින් කළ මේ උතුම් ක්රියාව සැමටම ආදර්ශයකි. ආදරය දනවන්නකි. තම දෙමාපියන්ගෙන් පවා මුදල් අයකරන මිනිසුන් වසන මේ ලොවේ එතුමන් ඉතා උතුම් මිනිසෙක් බව තේරුම් ගැනීමට මෙම ක්රියාව ඉතා සංවේදීවූත් අමිලවූත් උදාහරණයකි. 

කෙනෙකුට මඩ ගැසීම්, චරිතයන් ඝාතනය කිරීම් ,තම මඩිය තර කර ගැනීම්, ළමා අපචාර,මිනී මැරුම් ,ජාති හෝ ආගම්වාදී කුලල් කා ගැනීම්  වැනි ඉතා කුහක හා පහත් තොරතුරු නිරතුරුවම අසන්නට ලැබෙන වත්මන,  මේ පුවත පන්සලක ඇසෙන පිරිත් සජ්ගායනාවක් නැතිනම් දේවස්ථානයක ගැයෙන ගීතිකාවක් එසේත් නැතිනම් දේවාලයක කියැවෙන දේව යාතිකාවක් මෙන් අප සැමගේම කනට ප්රියය. හදවතට සමීපය. හැගුම්බරය. ආදරණීයය. 

මෙවැනි සත් ක්රියාවන්හී නිරතවෙමින්, තරුණ පරපුරට උදව් උපකාරකරමින් හා අපව එතුමාගේ ලයාන්විත හඬින් තව චිරාත් කාලයක් සතපවමින් කටයුතු කිරීමට එතුමන්ට ශක්තිය,දහිරිය,නීරෝගි සුවය සහ සිතේ සැනසීම නිරතුරුවම ලැබේවායි මම අවංකවම ප්රාර්ථනා කරමි. 

චන්දන ගුණසේකර-එක්සත් රාජධානිය

Saturday, 16 January 2016

අප හැර ගිය කෝපි කඩේ අබිලින්


ඒ අසූවේ දශකයයි. අසූව දශකය ඇරඹුණේම මුළු රටටම මහා අභාග්යයක් උදාකරලමිනි. එකදහස් නමසිය අසූවේ රජයේ සේවකයන් වැටුප් වැඩිවීමක් ඉල්ලා කළ වැඩ වර්ජනයේදී එවකට රජකළ පාලකයන් වැඩ වර්ජිතයින්ව සිත් පිත් නැතිසේ සේවයෙන් නෙරපා හැරියේ ලක් ඉතිහාසයේ නින්දිතම මානව හිමිකම් කඩ කිරීම වාර්තා කරමිනි. ඉන්පසුව අසූ තුනේදී ඇතිවූ කළු ජූලිය ඇතුළු උතුරේ හා දකුණේ ජනතා පිබිදීම් හා එලෙසින්ම ඇතිවූ නිල හා නිල නොවන ත්රස්තවාධයෙන්ද මුළු ලංකා වාසීන්ම දිවි ගෙවූයේ මරණයේ සෙවනැල්ලෙන් මුළු සියොලඟම වසා ගෙනය. අසූ හත , අසූ අට හා අසූ නමය මේ ව්යවසනයන්හී  උච්චතම අවධිය විය. මරණය ගැන සිතනවා හැරෙන්නට ජනතාවට වෙන කළ හැකි කිසිත් නොවුණි. සරසවි තිබුණේ වසාය. හරියට විදුලි බලයක් නොතිබිණි. ව්යාපාර අඩාල විය. උතුම් මිනිසුන් තම ජීවිත වලින් වන්දි ගෙවූහ. 

මේ සමයේ නිවසටම සිරවී වුන් මිනිසුන් පසුවූයේ හිස් අහස දෙස බලා හිස් බැල්මෙනි. ඒ අතර බොහෝ නිවැසියන්ට තිබූ එකම සහනය වූයේ රේඩියෝවට සවන් දීම හෝ රූපවාහිනිය නැරඹීම පමණි. රූපවාහිනියේ විකාශනය වූ සිංහල , දමිළ , ඉංග්රීසි හෝ වෙන ඕනෑම භාෂාවකින් වූ වැඩසටහනක් අප අත නොහැරියෙමු. 

මේ අතර 1987 වසරේදී ස්වාධීන රූපවාහිනියේ පටන් ගත් නාට්යමය වැඩ සටහනක් පිළිබඳව ජනතාව කතා බහ කරන්නට වූහ. එවකට ස්වාධීන සේවය මුළු ලංකාව පුරාම විකාශනය නොවූ හෙයින් අනුරාධපුරයේ විසූ මට මෙම නාට්ය මුලින්ම දැක ගත හැකිවූයේ කොළඹට පැමිණි එක්තරා දිනකදීය. 

එදා රාත්රියේ මා නැවතුණු නෑදෑ නිවසේ සැවොම ලහි ලහියේ කරමින් වුන් වැඩ කටයුතු නවතා රූපවාහිනී යන්ත්රය වටා රොද බැඳ ගත්තේ උපාසක උපාසිකාවන් පිරිසක් ප්රසිද්ධ හාමුදුරුනමක් වටා මධුර බණ දෙසුමක් ශ්රවණය කිරීමට වාඩි වෙන්නා සේ බැතියෙනි. උනන්දුවෙනි. 

එක්තරා වාදනයකින් අනතුරුව තිරයේ " කෝපි කඩේ" යන්න දිස් වෙද්දී මුළු නිවසම මීයකට පිම්බාක් මෙන් සන්සුන් විය. ඉන්පසු ඇරඹුණේ හාස්යය, උපහාසය සමඟ ඉගෙනීමටද යමක් ඇති කෝපි කඩේ නාට්යයයි. එහිවුන් කුරුං ගුරුං, සොමි නෝනා, අබිලිං , එන්සිනා හා ඩිංගි මහත්තයා ඇතුළු එහි රඟපෑ චරිත අප සමාජයේ එදිනෙදා අපට හමුවන චරිතම විය. තේවිස් ගුරුගේ හා ඇන්ඩෲ ජයමාන්න මෙහි නිර්මාතෘවරු වූ අතර එහි රඟපෑ සියළුම නළු නිළියන් තම වගකීම අකුරටම ඉටු කළහ. 

පුරා වසර 28 කටත් වැඩියෙන් කාලයක් විකාශනය වන කෝපි කඩේ මෑතකදී එහි 1500 කොටසත් පසු කළ අතර එදා ජනප්රියත්වය අදද පවත්වාගෙන යාමට සමත්වීම එහි ඇති විශේෂත්වයයි. එදා මෙන් නොව ටෙලි නාට්ය හතු පිපෙන්නා සේ බිහිවන මේ සමයේ ජනතා ආකර්ශනය හා ප්රසාදය එදා මුල්ම කොටසේදීම මෙන් රඳවා තබා ගනිමින් කෝපි කඩේ පෑවේ පෙළහරක්මය. 

එහි රඟ පෑ සමහර චරිත මේ වන විට අප හැර ගොස්ය. සමහරු ලෙඩින්ය. ඊයේ දිනයේ පුරා වසර 28 ම කෝපි කඩේ අබිලින් ලෙස රඟපෑ චන්ද්රසිරි කොඩිතුවක්කු රංගනවේදියාද අප හැර ගියේය. චාලි චප්ලින් එසේත් නැතිනම් හිට්ලර්ගේ රැවුල් කට් එක තියා ගෙන මුහුණින් හැසීරීමෙන් එතුමා කෝපි කඩේ අබිලින් ලෙස රඟපෑ අපුරුව මට දැන්ද දෑස් පියා ගත් විට සිනමාපටයක්සේ මනසේ දිස්වේ. එතුමා චන්ද්රසිරි කොඩිතුවක්කු නමින් නොව අබිලින් නමින්ම කා අතරත් ප්රසිද්ධ වූයේ එතුමාගේ ඒ අව්යාජ හා ජීවමාන රංගනය නිසාය. ගීත ගායනයටද දස්කම් දැක්වූ එතුමා පසුගියදා වකුගඩු සම්බන්ධ රෝගී තත්වයකට රෝහල් ගත කළ අතර ඊයේ අපගෙන් සදහටම සමු ගත්තේය. 

සහෘද මිනිසුන් වූ ඔවුන් සැවොම අපගෙන් සමුගෙන යන්නට පටන් ගෙන. ප්රවිණ ගීත රචකයකු වූ ශාන්ත දේශබන්දු මහතාද අප හැර ගියේ ඊයේය. අපද ඒ කැඳවීම එනතුරු තවම මේ සසර සැරිසරන්නෙමු. ඒ කවදා දැයි නොදන්නෙමු. එහෙයින් අබිලින් උන්නැහේ , දයාබර චන්ද්රසිරි කොඩිතුවක්කු මහතාණෙනි මේ නිමක් නොමැති සසර ගමනේ දිනෙක නැවත අප හමුවන තුරු ඔබට සුබ ගමන්!

චන්දන ගුණසේකර

මහා ජනප්‍රිය ගීත ගොන්නක් අපට දායාද කොට අප්‍රසිද්ධියේම අප හැර ගිය ගීත රචකයා....



ඒ පසුගිය වසරේ මැයි මාසයේ විසි දෙවැනිදාය. මම එදින ස්වාධීන රූපවාහිනියේ විකාශනය වූ චැට් ඇන්ඩ් මියුසික් වැඩසටහන නරඹමින් පසුවූයෙමි. එදා පැමිණ සිටි ආරාධිතයින් වූ ප්රවීණ හා නව පරපුරේ ගායක ගායිකාවන් සහ නළු නිළියන් අතර සිටි මැදි වියේ මහතෙකි. වැඩ සටහන මෙහෙය වන්නා ඔහුව ප්රවීණ ගීත රචකයෙකු වශයෙන් හඳුන්වා දුන් අතර එතුමාගේ නමද කියැවුණි. මම දස අතේ කල්පන් කර බැලුවද එවැනි නමක් ඇති කෙනෙකු ලියූ ගීතයක් මේ උපන්තේකට අසා නැතිබව සිහියට නැගුණි. 

මට තරු විසි වුයේ එතුමා කතා කරන්නට පටන් ගෙන එතුමා විසින් ලියූ ගීත ගැන පවසද්දීය. මම සේනානායක වේරලියද්ද නම් ගායකයා හඳුනා ගෙන තිබුණේ ඔහු ගයන " මල් වියනින් බැඳි මහ බැද්දේ වුන්" ගීතයෙනි. එපමණක් නොව වේරලියද්දම ගයන " සාගරය බඳු වේදනාවෝ" , " මල් පබා" හා " මගේ ජීවිතේ පුරා එකම සිතින් ප්රාර්ථනා" යන ගීත සතරම ලියා තිබුණේ මේ ගීත රචකයාය. වේරලියද්ද කියා කෙනෙකු ලංකාවේ මිනිසුන්ද හඳුනා ගත්තේ මේ ගීත වලිනි. එමෙන්ම ප්රසංග වේදිකාවේ නැතිවම බැරිවූ මෙම ගීත සේනානායක වේරලියද්දව රටම පිළිගත් ගායකයකු වශයෙන් ඉහළම තලයට ඔසවා තැබීමට සමත් වුණි. 

එපමණක් නොව දමිත් අසංක නම් ගායකයාව මුළු ලංකාවම හඳුනා ගත් " මගෙ හිත ගාව දඟ දාපු මනමාලියේ" ගීතය හා ප්රසංග වේදිකාව බැබළවූ " මට දුන් දුක් ගින්න ඇවිලෙයි ඉතිං" හා " පායන සඳේ සීතල රැයේ" යන ගීත ඇතුළු  ඉතාම ජනප්රියවූ ගීත දහයක්ම එතුමා විසින් දමිත් අසංකට ලියා දී තිබිණි. 

එමෙන්ම ප්රසංග වේදිකාව දෙවනත් කළ චරිතයක්වූ " පොඩි ළමයා" , දීපාල් සිල්වා ගයන අතිශයම ජනප්රිය ගීත වූ " මඳුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්ඩ" , "එල්ලුම් ගහ මුල් ඇදලා දලුත් ඇවිල්ලා " සහ " යුද්ධය මොකටද සහෝදරා" යන ගීත ලියා තිබුණේද මෙතුමාය. 

තවද ලංකාවේ අතිශය ජනප්රිය වූ සාජන් නල්ලතම්බී නාට්යයේ " දවාලෙ පායන චන්ද්රයා" ගීතය ලියා ඇත්තේද මෙතුමන්ම බැව් දන්නේ නම් කීයෙන් කීදෙනාද? නිහාල් සිල්වා සහ ඊට පසුව ගායකයන් කොතරම් පිරිසක් මෙම ගීතය ප්රසංග වේදිකාවේ ගයන්නට නම් ඇද්ද?

මේ ගායකයන්ව අප හඳුනා ගත්තේද මෙම ගීත වලිනි. එමෙන්ම ඔවුන්ව නොදන්නා කෙනෙකු දැන් නම් ලංකාවේ නැත. එහෙත් ඔවුනට එතැනට එන්නට මග සැලසූ ගීතවල රචකයා ගැන මා ඇතුළු බොහෝ පිරිසක් නොදත්තෝය. ඛේදවාචකය මෙයයි. මට ඇතිවූයේ මා ගැනම කලකිරීමකි. එමෙන්ම මෙවැනි ප්රතිභාපූර්ණ ගීත රචකයන් අමතක කරන මාධ්ය සහ එම ගීතවලින් ජීවිතය හදා ගෙන එම ගීත ලියූ රචකයාව අමතක කළ ගායකයන් ගැන පිළිකුලකි. 

අප හොඳින්ම දන්නා අපගේ මුවඟ රැව් දෙන ඒ ගීත සියල්ලම ලියූ එතුමාගේ නම  ශාන්ත දේශබංදුය. ඒ නම කිසිම වේදිකා ප්රසංගයක කියැවුනාදැයි මම නොදනිමි. එහෙත් මා නැරඹූ ප්රසංග වලදී නම් කියැවුනේ නැත. 

මම එදිනම එතුමා ගැන ලිපියක් ලිවිය යුතුයැයි තරයේ සිතා එතුමාගේ නමද මගේ සටහන් පොතේ ලියා ගතිමි. ඒ ගිය වසරේ මැයි මස විසි දෙවැනිදාය. එහෙත් අද, දෙදහස් දහසයේ ජනේරු පහළොස් වෙනිදා වනතුරුම එය මට ලියා ගත නොහැකි විය. අද මා මොනවා ලියූවත් එහි කිසිම අරුතක් හෝ අගයක් නොමැති බව මම දනිමි. ඒ අද දින එතුමන් , ඒ කිසිදු ප්රසිද්ධියක් නොලැබූ ගීත රචක ශාන්ත දේශබංදු සූරීන් සදහටම අපගෙන් සමුගෙන ගොස් ඇති නිසාවෙනි. එදා වැඩ සටහනින් පසු මාස හතක් වැනි කෙටි කලකදී එතුමා මේ යළි නොඑනා ගමන යාවියැයි මම සිහිනයෙන් හෝ නොසිතුවෙමි. එහෙත් ලොවෙහි ඇති එකම සත්යවූ දිනෙක අප සැවොම යායුතුම ගමන එතුමා අද තනිවම ගොස් ඇත්තේය. 

එදා , මා ඉහත කී ගායකයන් ගැන එතුමා කතා කළේ බොහෝ කලකිරීමකිනි. ඒ කලකිරීමෙන්ම තම පුතුට දිනෙක කී වදනක්ද එතුමා අප හමුවේ තැබීය. එනම් " පුතේ නුඹ නොවන් ගීත රචකයෙක්. වෙන්න ගායකයෙක්" යන්නයි. එතුමා මිය යාමට පෙර රෝගීව පසුවූ අවස්ථාවේ එතුමා ලියූ ගීත වලින් නමක් දිනා ගායකයන් වූ මොවුන් එතුමා බලන්නට ගොස් තම යුතුකම් ඉටු කළාදැයි මම නොදනිමි. එහෙත් මහා පුස් දේවල් පුන පුනා ප්රචාරය කරන මුහුණු පොතේ නම් ශාන්ත දේශබංදු සූරීන්ගේ වියෝව පිළිබඳව මා දුටුවේ එකම එක ලිපියක් පමණි.  මම මේ දුක්බර පුවත දැනගත්තේ ඒ ලිපියෙනි. එය පළ කර තිබුණේ ප්රවීණ ගීත රචක හා නිවේදක කැළුම් ශ්රීමාල් මහතා විසිනි. තම සහෝදර ගීත රචකයාගේ ගුණ හඳුනාගත් එතුමා නොවන්නට ශාන්ත දේශබංදු මහතාගේ අභාවයද අප්රකට වන්නට ඉඩ තිබිණි. 

ජීවත්ව සිටියදී කිසිදු ඇගැයීමක් නොකොට නොසලකා හැරිය එතුමා අප හැර ගිය අද දිනේ මේ කරන ඇගැයීමෙන් කිසිදු ඵලයක් නැති බව මම දනිමි.  ඒ දෝෂාරෝපණයෙන් මිදීමට අප කාටවත් දැන් පුළුවන් කමක් නැතත් දැන් කළ හැකි වෙන කිසිත් නැත්තේය. එහෙයින් එතුමා මිය ගිය දිනයේවත් කලාවට හා ගීතයට එතුමා කළ සේවය ඇගැයීමට හා මතු පරපුරේ දැන ගැනීමට මේ සටහන ඉතාමත්ම කණගාටුවෙන් හා පසුතැවීමෙන්ද යුක්තව ලියා තබමි. අවසාන වශයෙන් දේශබංදු මහතාණනි , ඔබට සුබ ගමන් පතමින් මම නිහඬ වෙමි. 

චන්දන ගුණසේකර

එතුමා සහභාගී වූ පසුගිය වසරේ විසි දෙවැනිදා විකාෂණයවූ චැට් ඇන්ඩ් මියුසික් වැඩ සටහන මෙතැනින් නරඹන්න. http://youtu.be/7Nub3w6lGUQ