ඒ අසූවේ දශකයයි. අසූව දශකය ඇරඹුණේම මුළු රටටම මහා අභාග්යයක් උදාකරලමිනි. එකදහස් නමසිය අසූවේ රජයේ සේවකයන් වැටුප් වැඩිවීමක් ඉල්ලා කළ වැඩ වර්ජනයේදී එවකට රජකළ පාලකයන් වැඩ වර්ජිතයින්ව සිත් පිත් නැතිසේ සේවයෙන් නෙරපා හැරියේ ලක් ඉතිහාසයේ නින්දිතම මානව හිමිකම් කඩ කිරීම වාර්තා කරමිනි. ඉන්පසුව අසූ තුනේදී ඇතිවූ කළු ජූලිය ඇතුළු උතුරේ හා දකුණේ ජනතා පිබිදීම් හා එලෙසින්ම ඇතිවූ නිල හා නිල නොවන ත්රස්තවාධයෙන්ද මුළු ලංකා වාසීන්ම දිවි ගෙවූයේ මරණයේ සෙවනැල්ලෙන් මුළු සියොලඟම වසා ගෙනය. අසූ හත , අසූ අට හා අසූ නමය මේ ව්යවසනයන්හී උච්චතම අවධිය විය. මරණය ගැන සිතනවා හැරෙන්නට ජනතාවට වෙන කළ හැකි කිසිත් නොවුණි. සරසවි තිබුණේ වසාය. හරියට විදුලි බලයක් නොතිබිණි. ව්යාපාර අඩාල විය. උතුම් මිනිසුන් තම ජීවිත වලින් වන්දි ගෙවූහ.
මේ සමයේ නිවසටම සිරවී වුන් මිනිසුන් පසුවූයේ හිස් අහස දෙස බලා හිස් බැල්මෙනි. ඒ අතර බොහෝ නිවැසියන්ට තිබූ එකම සහනය වූයේ රේඩියෝවට සවන් දීම හෝ රූපවාහිනිය නැරඹීම පමණි. රූපවාහිනියේ විකාශනය වූ සිංහල , දමිළ , ඉංග්රීසි හෝ වෙන ඕනෑම භාෂාවකින් වූ වැඩසටහනක් අප අත නොහැරියෙමු.
මේ අතර 1987 වසරේදී ස්වාධීන රූපවාහිනියේ පටන් ගත් නාට්යමය වැඩ සටහනක් පිළිබඳව ජනතාව කතා බහ කරන්නට වූහ. එවකට ස්වාධීන සේවය මුළු ලංකාව පුරාම විකාශනය නොවූ හෙයින් අනුරාධපුරයේ විසූ මට මෙම නාට්ය මුලින්ම දැක ගත හැකිවූයේ කොළඹට පැමිණි එක්තරා දිනකදීය.
එදා රාත්රියේ මා නැවතුණු නෑදෑ නිවසේ සැවොම ලහි ලහියේ කරමින් වුන් වැඩ කටයුතු නවතා රූපවාහිනී යන්ත්රය වටා රොද බැඳ ගත්තේ උපාසක උපාසිකාවන් පිරිසක් ප්රසිද්ධ හාමුදුරුනමක් වටා මධුර බණ දෙසුමක් ශ්රවණය කිරීමට වාඩි වෙන්නා සේ බැතියෙනි. උනන්දුවෙනි.
එක්තරා වාදනයකින් අනතුරුව තිරයේ " කෝපි කඩේ" යන්න දිස් වෙද්දී මුළු නිවසම මීයකට පිම්බාක් මෙන් සන්සුන් විය. ඉන්පසු ඇරඹුණේ හාස්යය, උපහාසය සමඟ ඉගෙනීමටද යමක් ඇති කෝපි කඩේ නාට්යයයි. එහිවුන් කුරුං ගුරුං, සොමි නෝනා, අබිලිං , එන්සිනා හා ඩිංගි මහත්තයා ඇතුළු එහි රඟපෑ චරිත අප සමාජයේ එදිනෙදා අපට හමුවන චරිතම විය. තේවිස් ගුරුගේ හා ඇන්ඩෲ ජයමාන්න මෙහි නිර්මාතෘවරු වූ අතර එහි රඟපෑ සියළුම නළු නිළියන් තම වගකීම අකුරටම ඉටු කළහ.
පුරා වසර 28 කටත් වැඩියෙන් කාලයක් විකාශනය වන කෝපි කඩේ මෑතකදී එහි 1500 කොටසත් පසු කළ අතර එදා ජනප්රියත්වය අදද පවත්වාගෙන යාමට සමත්වීම එහි ඇති විශේෂත්වයයි. එදා මෙන් නොව ටෙලි නාට්ය හතු පිපෙන්නා සේ බිහිවන මේ සමයේ ජනතා ආකර්ශනය හා ප්රසාදය එදා මුල්ම කොටසේදීම මෙන් රඳවා තබා ගනිමින් කෝපි කඩේ පෑවේ පෙළහරක්මය.
එහි රඟ පෑ සමහර චරිත මේ වන විට අප හැර ගොස්ය. සමහරු ලෙඩින්ය. ඊයේ දිනයේ පුරා වසර 28 ම කෝපි කඩේ අබිලින් ලෙස රඟපෑ චන්ද්රසිරි කොඩිතුවක්කු රංගනවේදියාද අප හැර ගියේය. චාලි චප්ලින් එසේත් නැතිනම් හිට්ලර්ගේ රැවුල් කට් එක තියා ගෙන මුහුණින් හැසීරීමෙන් එතුමා කෝපි කඩේ අබිලින් ලෙස රඟපෑ අපුරුව මට දැන්ද දෑස් පියා ගත් විට සිනමාපටයක්සේ මනසේ දිස්වේ. එතුමා චන්ද්රසිරි කොඩිතුවක්කු නමින් නොව අබිලින් නමින්ම කා අතරත් ප්රසිද්ධ වූයේ එතුමාගේ ඒ අව්යාජ හා ජීවමාන රංගනය නිසාය. ගීත ගායනයටද දස්කම් දැක්වූ එතුමා පසුගියදා වකුගඩු සම්බන්ධ රෝගී තත්වයකට රෝහල් ගත කළ අතර ඊයේ අපගෙන් සදහටම සමු ගත්තේය.
සහෘද මිනිසුන් වූ ඔවුන් සැවොම අපගෙන් සමුගෙන යන්නට පටන් ගෙන. ප්රවිණ ගීත රචකයකු වූ ශාන්ත දේශබන්දු මහතාද අප හැර ගියේ ඊයේය. අපද ඒ කැඳවීම එනතුරු තවම මේ සසර සැරිසරන්නෙමු. ඒ කවදා දැයි නොදන්නෙමු. එහෙයින් අබිලින් උන්නැහේ , දයාබර චන්ද්රසිරි කොඩිතුවක්කු මහතාණෙනි මේ නිමක් නොමැති සසර ගමනේ දිනෙක නැවත අප හමුවන තුරු ඔබට සුබ ගමන්!
චන්දන ගුණසේකර
ඔහු සතුව හොඳ රංගන හැකියාවක් තිබුනා. නමුත් කෝපිකඩේ වැනි 'තුට්ටු දෙකේ නාට්ටි කෑලි' වලට ඔහුව කොටු කෙරුනා. එයින් ගැලවුනා නම් ඔහුට හොඳ චරිත වලට ප්‍රවිෂ්ඨ වන්නට අවස්ථාව තිබුනා.
ReplyDelete"අබිලිං මාමා" ට නිවන් සුව පතන ගමන්ම ඔබට ස්තුති කරනවා නැවතත් මා පාසල් කාළයට රැගෙන ගියාට !
ReplyDeleteදසක් දෙනා සතුටු කරපු පිනම ඇති
ReplyDelete// එදා ජනප්රියත්වය අදද පවත්වාගෙන යාමට සමත්වීම එහි ඇති විශේෂත්වයයි.//
ReplyDelete//මේ සමයේ ජනතා ආකර්ශනය හා ප්රසාදය එදා මුල්ම කොටසේදීම මෙන් රඳවා තබා ගනිමින් කෝපි කඩේ පෑවේ පෙළහරක්මය. //
එකඟ වෙන්නේ නෑ. දැන් මෙලෝ රහක් නැති ඔහේ කරන්න්නන් වාලේ දිගම ටෙලි නාට්ටිය කියලා කියන්න උවමනාවට කෙරෙන නාට්ටියක්. පහුගිය කාලෙ කතා නැතුව වේලුනා මදිවට මදි නොකියන්න කඩෙත් ගියා.
මට මතකයි අනූව දශකයේ මුල් භාගයේ නම් කෝපි කඩේ කිව්වොත් මිනිස්සු රූපවාහිනී ළඟින් හෙල්ලුනේ නෑ. ඒ මදිවට කෝපි කඩේ කට්ටිය ඒ කාලෙ සංගීත සංදර්ශන වලටත් සහභාගි උනා. මට මතකයි ඒ කට්ටිය එනවා කිව්වොත් සෙනඟ උතුරනවා.