අප සියල්ලන්ගේම අභ්යන්තර චිත්තයෙහි කුඩා දරුවකු මෙන්ම යකකුද ඇති බව අප කවුරුත් දන්නා කරුණකි. එමෙන්ම අප සැම තුළම යම් කිසි ආරයක පිස්සකුද ඇතැයි මට සිතේ. සමහර විට මේ පිස්සුව තම විනෝදාංශය වන අතර මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වන අතර එක එක අංශ ඔස්සේද විහිදී යයි. සමහරු කාම පිස්සෝය. ඔවුනට රෙදි වැලක ඇති කාන්තා යට ඇඳුමක් වත් පෙනෙන්නට බැරිය. සමහරු පොත් හෝ චිත්රපට පිස්සෝය. සමහරුන්ගේ පිස්සුව විලාසිතාවට හා කැපී පෙනීමටය. තව තව නානාප්රකාර පිස්සු ඇත. සමහරු තමනට ඇති පිස්සුව නිසා සමාජයෙන් අවමන් විඳිති. ඒත් සමහර පිස්සු නිසා සමාජයේ නමක් දිනූ හෝ මහා ධන කුවේරයන් වූ මිනිසුන්ද මේ සමාජයේ නැතුවා නොවේ. මා මේ කියන්නට යන්නේ ක්රිකට් ක්රීඩාව නැරඹීමේ පිස්සුව , තම විනෝදාංශයටත් වඩා තම ජීවිතයම කරගත් සහ ඒ හේතුවෙන්ම අපේ රටේ පමණක් නොව මුළු ක්රිකට් ලෝකයේම ජනප්රිය චරිතයක්ද බවට පත්වූ පුද්ගලයකු ගැනයි. මේ සඳහා ප්රවේශයක් ලෙසට පහත විස්තරය ඔබ වෙත ගෙන එන්නට සිතුවෙමි.
ලංකාවේ ජාතික ක්රීඩාව කුමක්දැයි යමෙකු ඇසුවොතින් බහුතරයක් එය ක්රිකට් ක්රීඩාව යැයි කියනු නොඅනුමානය. ඒ තරමටම එය ජනතාවගේ ශරීරයට, ජාන වලට හා කොටින්ම ලේ වලටම බද්ධ වී හමාරය. ක්රීඩා රසිකයෙකු නොවූවත් බොහෝදෙනා තරඟයක තොරතුරු , අවම වශයෙන් ලකුණු තත්වය හෝ දැනගන්නට නිතැතින්ම පෙළබෙති. ඒ තරමටම එය අදහන ආගමක් , උණක් එහෙමත් නැතිනම් පවතින රැල්ලක් ගණනට වැටී ඇත්තේය.
ඉංග්රීසි ජාතිකයන්ගෙන් අපේ කොදොව්වට ලැබුණු දායද අතර තවත් දායාදයක් වූ ක්රිකට් , මුල් කාලයේ අනෙක් හැම අංශයේම මෙන් සුද්දන් අපේ රට හැර යන විට මෙහි කිරි පොවා හදා වඩා ඉතිරි කොට තබා ගිය කළු සුද්දන්ට පමණක් සීමා විය. එමෙන්ම කොළඹ ප්රධාන පාසල් හා ක්රීඩා සමාජ කිහිපයක් අතර පමණක් එහි අයිතිය හා ඒකාධිකාරය පැවතිණි.
එහෙත් 1982 දී අපට ටෙස්ට් තත්වය ලැබීමත් සමඟම තත්වය ටිකින් ටික වෙනස් වන්නට පටන් ගති. ඒ අතරම 1982 රූපවාහිනියේ සම්ප්රාප්තියත් ක්රිකට් ගම් දනව් සිසරා ජනතාව අතරට යාමට පිටිවහලක් විය. එතෙක් සමාජයේ ඉහළ පැලැන්තිය එනම් රිචඩ්ලා සොලමන් ඩයස්ලා පමණක් විලාසිතාවකට මෙන් පුංචි රේඩියෝවක් කනේ තබා ගෙන ඉංග්රීසි බසින් ඇසූ ක්රිකට් විචාර , ගමේ ගොඩේ පියදාසලා හා සිරිසේනලාටත් රූපවාහිනියෙන් සිංහල බසින් අසන්නට බලන්නට ලැබිණි. අපත් ක්රීඩාංගණයේ සිටිනවා මෙන්ම දැනෙන්නට සිංහල බසින් විස්තර විචාර ගෙනා ප්රේමසර ඈපාසිංහ හා පාලිත පෙරේරා වැනි විචාරක මහතුන් මම මේ අවස්ථාවේ ගෞරව පූර්වකව සිහිපත් කරමි. නගරයෙන් ගමට ක්රිකට් ගෙනයාමේ පුරෝගාමීන් වූයේ ඔවුන්ය. ඒ අතරම අපට වුන් චතුර ලෙස ඉංග්රීසි බසින් විචාර ගෙනා විචාරක මහතුන්ද අමතක කළ නොහැක.
ක්රිකට් යනු හුදෙක්ම තරගයක් නරඹා විනෝද වී පහුවෙනිදාට එය අමතක කර දමන ක්රියාවලයක් නොවන බව මේ සටහන කියවන දහසකුත් රසිකයන් අත්දැකීමෙන්ම දන්නා සත්යක් බව මම දනිමි. නරඹනවාට වඩා අපි එහි ජීවත් වෙන්නෙමු. එහි අපට සිතා සැනසෙන්නට හදේ රැදුණු අතීත කාමයක් ඇත්තේ එහෙයිනි.
මම මුලින්ම ක්රිකට් තරඟයකට සවන් දුන්නේ 1982 මුල් භාගයේ දිනක බව මට හෙඳින් මතකය. ඒ දිනවල අපට ටෙස්ට් තත්වය ලැබී තිබුණේ නැත. රූපවාහිනී සංස්ථාව අරඹා තිබුණෙද නැත. අනුරාධපුර නාච්චාදූවේ අපේ තාත්තා කළමනාකරු ලෙස සේවය කළ විශාල ගෙවිපලේ විසල් සියඹලා ගස යට තැනු බංකුවක හිඳ ඕස්ට්රේලියව හා ලංකාව අතර පැවති එක්දින තරඟයකට පුංචි රේඩියෝවකින් අප සවන් දුන්නෙමු. අසන්ත ද මෙල්ලා, වෙත්තමුනිලා, මඩුගල්ලේලා , මෙන්ඩිස්ලා හා ඩයස්ලා එදා මගේ වීරයෝ වූහ.
ඉන්පසුව ඒ වසරේම එංගලන්තය සමඟ පැවති පළමු ටෙස්ට් තරඟය මා නැරඹුවේ රූපවාහිනියෙනි. එහිදී ඩේවිඩ් ගවර්ලා, මයික් ගැටින්ලා , බොබ් විලිස්ලා හා බොතම්ලා එදානම් අපව නැති කර දැමූහ.
එහිදී සුදු හෙල්මටයක් පැළඳ පැමිණි අර්ජුන රණතුංග නම් කොලු ගැටයාගේ පිති හරඹය, කළු පෙරුම ගත් අරුම පුදුම උඩ පනදුව හා රෝයි ඩයස්ගේ හෙල්මටයේ පන්දුව වැදී එය කඩුල්ලේ බේල්ස් මත වැටීමෙන්, හිට් විකට් වී දැවී ගිය හැටි අද ඊයේ වගේ අපට මතකය. මේ කිහිපයක් පමණි. වරක් ඩයස් හා මෙන්ඩිස් හොඳින් පන්දුවට පහර දෙමින් සිටියදී දෙදෙනා අතර අනොන්ය අවබෝධය බිඳ වැටී දෙදෙනාම එකම අන්තයක රැදීම නිසා රෝයි ඩයස් ලකුණු 77 කට දුවද්දී දැවී ගියේය. එදා අප බොහෝ සේ කම්පා වීමු.
1996 දී අප ක්රිකට් ලෝක සූරතාව දිනා ගැනීමෙන් අනතුරුව ක්රිකට් වලට අසීමිත ජනප්රියතාවයක් ගලා එන්නට පටන් ගත් අතර එය මහා ධන සම්භාරයක් අත පත ගෑවෙන ව්යාපාරයක් බවටද පත්විය. එය අපේ ක්රිකට් වංශ කතාවේ හොඳකට මෙන්ම නරකටද හේතු විය.
මේ අතර කාලයේ බොහෝ ක්රිකට් වීරයෝ අපට බිහිවූහ. සමහර වීරයෝ වීර කම දිගටම රැක ගත්හ. සමහරුන් ඉක්මනින්ම බලු වූහ. සමහරුන් ඉක්මනින්ම දැවී ගියහ. තවෙකෙක තුවාල සිදුකරගෙන ඉක්මනින්ම විශ්රාම ගත්හ. ( retired hurt). සමහරු හරි කලට තරුණ ක්රීඩකයන්ට තැන දීමට ඉසිඹු ලදහ. තවත් අය කාලය දික් කර ගනිමින් හැමටම වදයක්ම වෙමින් රැදී සිටියහ. මේ අතර ලෝක වාර්තා බිහිවුණි. තිබුණු වාර්තා බිඳ හෙළිනි. මෙසේ කරුණු කාරණා සිදුවෙමින් පවතිද්දී එක් අයෙකු පමණක් නොදැවී දිගටම ක්රීඩාවේ නිරත විය. වයස ඔහුට ප්රශ්නයක් නොවුණි. තිබුණේ එකම විශේෂත්වයක් පමණි. එනම් ඔහු ක්රීඩා කළේ හතරේ සීමාවෙන් පිටත සිට වීම පමණි. ඔහු ක්රීඩා කළේ නරඹන්නන් අතර සිටය. එහෙත් ක්රිකට් පිත්ත වෙනුවට ඔහු අත වූයේ ලංකාවේ ජාතික කොඩියය. ලංකාවේ තරඟ අතරතුර නරඹන්නන් රඟන රංඟනයන්හී ප්රධාන නළුවා ඔහු විය. එහෙත් සමහර නළුවන් මෙන් ඔහු කළේ රඟ පෑමක් පමණක් නොවේ. එය හදවතින්ම තම රට දිනවීමට ඔහු දුන් සවියකි. රුකුලකි. උත්තේජනයකි.
දැන්ටමත් මා මේ කියන්නට තටමන්නේ කවුරුන්ද යන්න පිළිබඳව ඔබට තේරුම් ගොස් ඇතුවාට සැකයක් නැත. ඔහු අපේ ආදරණීය පර්සිය. පර්සි අයියාය. සමහරුන්ගේ පර්සි අංකල්ය. දැන්නම් පර්සි සීයාය. රටම පමණක් නොව ක්රිකට් ලෝකයම දන්නා පර්සි අබේශෙඛර මහත්තයාය.
ඔහු තරම් ක්රිකට් ලෝලියෙකු ලංකාවේ තවත් නැත. ලෝකයේ ඉන්නා ක්රිකට් පිස්සන් අතර හොඳම පිස්සෙකි. ප්රතිවාදී තරඟ සහයකයන් සමඟ උරෙන් උර ගැටී , ඉංග්රීසි බසින් කතා කරමින් කොඩියක් ගෙන නටමින් ක්රීඩාංගණයේ නරඹන්නන්ට හා ක්රීඩකයන්ට නිරතුරුවම සවියක් වූයේ එතුමායි.
තරුණ කල ක්රිකට් ක්රීඩකයකු වූ එතුමා ඉන්පසුව හැම තරඟයකම අපට සිටිනා නොඳැවුණු නරඹන්නා විය. ලංකා පිළ යන්නේ කොයි දීපංකරයකද එතුමා ජාතික කොඩිය ලෙලවමින් සිටියේ එතැනය. අද දින අසූ වියද ඉක්මවා සිටින මේ සහෘද මිනිසා තවමත් එදා මෙන්ම උද්යෝගයෙන් හා ජවයෙන් යුක්තව සිටීම ජාතියේ වාසනාවය. ටෙස්ට් වරම් ලැබී ගෙවී ගිය මේ අවුරුදු තිස් ගණනට විවිධ ක්රිකට් නායකයෝ, ක්රීඩකයෝ සහ ක්රිකට් තරු බිහිවූහ. සමහරුන් ඇත්තටම හදවතින්ම රටට ක්රීඩා කළහ. ඒත් සමහරුන් ක්රිකට් නිසා තමන් ලද ප්රසිද්ධිය , ජනප්රියතාවය සහ ආර්ථික ශක්තිය දේශපාලනය වැනි වෙන වෙන බල ලෝභී ව්යාපාරවලට යෙදවූහ. ඒත් පර්සි තවමත් හතරේ සීමාවට එපිටින් කොඩිය සුරත දරා එලෙසින්ම ලංකාව වෙනුවෙන් උඟුර ලේ රහ වනතුරුම කෑ ගසන්නේය. අප ඔහුව අගය කළ යුත්තේ එහෙයිනි. එතුමන්ට තව චිරාත් කාලයක් මෙලෙසින් නොදැවී ක්රීඩා කරන්නට අවශ්ය ශක්තිය හා දහිරිය ලැබේවා. ආදරණීය පර්සි , මේ සහෘද සටහන ඔබ වෙනුවෙනි.
චන්දන ගුණසේකර
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන කථා කරද්දී පර්සි ගැන අමතක කරන්න බැහැ. අනික අනික් පර්සිලා වගේ නෙවෙයි රට ගැන හිතන මේ පර්සි.
ReplyDeleteසිරාවටම එතුමා අපේ කණ්ඩායමට දෙන්නේ මාර sub එකක්.
ReplyDeleteඅර අලුත් හාදයා ගැනත් දන්නා කෙනෙක් වෙතොත් ලියන සේක්වා.
ReplyDeleteපර්සි අංකල් දැන්නම් අපේ ටීම් එකත් එක්ක පිටරට යන්නේ නෑනේ. දැන් ඒ තර්න ඉන්නේ ගයාන්. ඒත් පර්සි අංකල් අපේ ක්‍රිකට් ඉතිහාසයේ වැදගත් කෙනෙක්.
ReplyDelete