අගය කළ යුතු චරිත......
ඒ පේරාදෙණිය සරසවියේ අක්බාර් ශාලාවේ ගෙවුණු එක්තරා අඳුරු රාත්රියක් විය. පහුවෙනිදාට නියමිතව තිබූ විභාගයකට පාඩම් කොට හෙම්බත්වී වුන් අප පසුවූයේ පාං කියා ගන්නටවත් බැරි තත්වයෙනි. තවත් පාඩම් කරන්නට නම් මට හිත දුන්නේම නැත. ප්ලේන්ටියක්වත් ගහමුයි කියා කරා ( කරවිට) කළ යෝජනාව මට ඇසුණේ දෙව්ලොවින් ආ ඇමතුමක් ලෙසිනි. අප කැන්ටිමට යන අතර මහ නුවරින් ඉංජිනේරු පීඨයට පැමිණි , විභාග දවස් නිසා යහළුවකුගේ කාමරයක ගජේ ගසා වුන් මුස්ලිම් සොයුරෙකු වූ හුසේන් හමු වූයේ අහම්බයෙනි.
විභාගයට නැහී ඔහුත් සිටියෙ බාගෙට මැරිච්ච ගානට බව ඔහුගේ විඩාබර දෙනෙත් අපට කියා පෑවේය. විභාගය ගැන මහා කන්දොස්කිරියාවක් හිතට නැගුණු ප්රශ්න කිහිපයක් අප අතර හුවමාරුවෙන් අනතුරුව හුසේන් ගෙනාවේ අපූරු යෝජනාවකි.
එනම් මහනුවර කින්ග්ස්වුඩ් විද්යාලයේ පැවැත්වෙන සැනකෙළියක අවසාන දිනයවූ එදා සංවිධානය කොට තිබූ අවසාන මහා සංගීත රාත්රිය නැරඹීමට යමුද යන්නයි. ආයෙත් මොනව හිතන්නද අප කැමතිවූයේ දියට පනින්නට පෙරුම් පුරමින් වුන් ඉබ්බන්ව දියට වීසි කළා වැනි සතුටකිනි.
ඊළඟ මිනිත්තුවේ අප සිටියේ ගම්පොළ පාරෙය. නුවර බලා යන බසයක එල්ලුණු අප කින්ස්වුඩ් විද්යාලය ළඟින් බසිනවිට සංගීතය ඇරඹුණා පමණි. එහෙ මෙහෙ සැරිසරන ගිනි කිරිල්ලියන් හා සුර ලියන්ගේ දසුනින් නෙත් සතපාවාගනිමින් හා ඔවුනට මල් හී සැර විදිමින් අපේ කල්ලිය උත්සව භූමියට ඇතුළු වූයේ බඹර කැලක් මෙන් සැහැල්ලුවෙනි.
කින්ගස්වුඩ් විදුහලේ ආදී සිසුවකු වූ හුසේන්ට ඔහුගේ පැරණි යහළුවන් හා අසල්වාසීන් බොහෝ හමු වූයේ මේ අතර වාරයේදීය. ඒ අතර ඔහුගේ නැන්දණියකද වූ අතර ඇය සමඟ ඇයගේ පියකරු දියණියද වූවාය. නැන්දණිය අප සමඟද බොහෝ සුහදව කතා බහ කළත් දියණිය සිටියේ වෙනම ලෝකයකය. වරෙක ඇය ඇඟිලි තුඩුවලින් ඉස්සෙමින් හා බෙල්ල හරව හරවා වේදිකාව දෙස කොරවක්කියක මෙන් බලමින් සිටියේ කවුරුන් හෝ එතැයි මහා බලාපොරොත්තුවකින් සිටින බව අප සැමටම ඒත්තු ගන්වමිනි. හුසේන් හෝ අප , එහි වුන් බව ඇය අධෝ වාතයක් තරම්වත් ගාණකට නොගත්තාය.
මෙසේ විනාඩි කිහිපයක් ගත වුණි. හදිසියේම අඳුර තුළින් මතුවූ පිරිමි රූ ඡායා කිහිපයක් දුටු ඇයගේ දෑස් හදිසියේම අමාවක රෑක පෑ සුපුන් සඳක් මෙන් ඒකාලෝක විය. පැමිණි පිරිමි තිදෙනා අතර වූ උස කඩවසම් පුද්ගලයාගේ අතේ ඇය එල්ලුණේ හැන්දෑවට ගෙදරට එන තම පියාගේ අතේ එල්ලෙන කුඩා ළදැරියක සිහි ගන්වමිනි. ඔහු , ඔහු අත වූ රාමු කළ ඡායාරූපයක් ඇය අත තැබුවේ අප විමතියෙන් ඇස් ගෙඩි ලොකු කරන් මේ වෙන්නට යන්නේ කුමක්දැයි බලා සිටියදීය. ඇය සහ නැන්දණිය සමඟ මද වේලාවක් සුහද කතා බහක යෙදුණු ඔහු ඒ දෙස දෑස් දල්වා වුන් අප දුටුවේය. එකෙණෙහිම අප දෙසටද හැරුනු ඔහු මනරම් සිනාවක් අප වෙත පා අත වනා අප සැමගෙන්ම සමු ගනිද්දී මම ඔහු කවුදැයි හඳුනා ගතිමි.
රූපවාහිනී තිරයේ ඔහුගේ මනබඳින ගැයුම් හා ගිතාරු වාදනයන් අනත්තවත් දැක ,අසා රස විඳ තිබුණත් ඔහුව මෙතරම් ළඟට හැබැහින් නම් දැක්කේ එදාය. ඒ වෙන කවුරුන් හෝ නොව එදා මෙන්ම අදටත් යුවතියන්ගේ සිහින කුමරාවූ කීර්ති පැස්කුවල්ය. තමන්ට පිස්සු වැටී සිටිනා දහසකුත් රසිකාවියන් අතර හුසේන්ගේ ඥාති සොයුරිය සොයා ඇය ළඟටම පැමිණ තම අත්සන සහිත ඡායාරූපයක් දීමට තරම් නිහතමානීවූ ඔහු ගැන එදා අපට ඇතිවූයේ විස්තර කළ නොහැකි තරමේ ප්රසාදයක් සහ ආදරයකි.
සරසවියෙන්ද රටින්ද සමුගත් මට එතුමා ගැන නැවත සිහිවූයේ වරෙක ලංකාවට ගිය දිනෙක එකල අතිශය ජනප්රියතාවයට පත්ව තිබූ එතුමන්ගේ " කඳුළ ඉතිං සමාවෙන්න" ගීතය ශ්රවණය කිරීමෙනි. සවන්දුන් පළමු නිමේෂයේම මම ඊට පෙම් බැන්ඳෙමි.
මෑතකදී එතුමා රූපවාහිනී නාලිකාවක හත්දින්නක් තරු නම්වූ වැඩ සටහනකට පැමිණ සිටිනු මට දැකගන්නට ලැබිණි. එදා එතුමා මහනුවර හෝටලයක ගීත ගයා ඇරඹි තම සංගීත දිවියත් ඉන්පසු සුපර් ෆෝචූන්ස් වැනි සංගීත කණ්ඩායම් වල ගිතාරු වාදකයකු ලෙස සම්බන්ධ වූ අයුරුත් විස්තර කළේය. සිංහල ගීත වංශ කථාවේ බොහෝ අමරණීය ගීතවල මුල්ම පටිගත කිරීම්වලට ගිතාරුව වයමින් තමන් සහභාගීවී ඇති බව පැවසුවේ ඉතාමත්ම නිහතමානීව , කවදාවත් වයසට නොයන ඒ අව්යාජ සිනාවෙන් මුව සරසාගෙනය. ඇත්තටම එතුමා වයසට ගොස් නැත. අසූව දශකයේ දුටු ඔහුමය අදත්.
එතුමා එදා කවුරුත් නොදන්නා රහසක්ද හෙළි කළේය. වසර ගණනාවකට පෙර එතුමා සංගීත සංදර්ශනයකට ගී ගැයීමට ගිය බවත් තමන්ට ගී ගැයීමට ලැබුණො බයිලා චක්රවර්තී එම් එස් ප්රානාන්දු මහතාට පසුව බවත් පවසමින් මතකය අවඳි කළ එතුමා ,එදා එම් එස් මහතාට රසිකයන්ගේ බලවත් ඉල්ලීම නිසා ගීත රාශියක්ම ගැයීමට සිදුවූ බවත් වාදනය සැපයූ වාදක මඩුල්ලේ නොහැකියාව නිසා සමහර ගීත වල අන්තර් සංගීත කන්ඩ එතුමන්ට කටින්ම වාදනය කරන්නට සිදුවූ බවත් පැවසීය. කෙසේ හෝ සිංදු බර ගාණක් ගයා වේදිකාව බැස ආ එම් එස් මහතා හදිසියේම වේදිකාව බලා පිය නගමින් වුන් තමන්ගේ ඇගට ඇලවී ආ බවත් එවෙලේ සිහි කල්පනාව නැතිව වුන් එතුමාව , ගීත ගැයීම පසෙකලා තම වාහනයට පටවාගෙන රෝහල වෙත රැගෙන ගියද ඒ මූසල රාත්රියේ එම් එස් දැයට අහිමි වූ බවද පැවසුවේ කඳුළින් දෙනෙත පුරවාගෙනය. ඊට වසර ගණනකට පසු එක්තරා මූසල බක් මාසයක කපුගේ සූරීන් ගුවන්තොටේ ඇදවැටුණු මොහොතේ කීර්ති පැස්කුවල් වැන්නෙකු ළඟ සිටියානම් කපුගේ කෙනෙකු තවමත් අපට සිටිනවා නොවේදැයි කියා මට නිකමට සිතුණි.
ඒ කෙසේ වෙතත් මේ හැමදේම අපේ දෛවය අනුව සිදුවූවායැයි සිතා සිත සනසවාගන්නවා හැරෙන්නට වෙන කළ හැකි අන් දෙයක් නැත.
මෑතකදී පැස්කුවල් මහතා නිතර රූපවාහිනියේ දැක ගන්නට ලැබිණි. ඒ ආධුනික යථාවාදී ගී ප්රසංග විනිසුරු වරයෙකු වශයෙනි. එහිදීත් ඔහුගේ මුවින් නික්මෙන අව්යාජ වදන් හා සුදුස්සන් සුදුසු තැන තබා ගෞරව කිරීමේ ගුණය හා නිහතමානීබව නිරතුරුවම කැපී පෙනෙන බව නොරහසකි. එතුමා වයසට නොගොසින් එදා මෙන්ම යෞවනයකුසේ සිටින්නේ එතුමාගේ මේ ලස්සන හදවත නිසාය.
ඇත්තම පවසතොත් කීර්ති පැස්කුවල් මහතා ගැන යමක් ලිවිය යුතුයැයි මා කලකට පෙර සිටම සිතේ හිරකරගෙන වුන් සිතිවිල්ල මේ හදිසියේ මල් ඵළ දරා මේ ලිපිය විලසින් කල එළි බහින්නට හේතුවූයේ මෑතකදී එතුමන් සම්බන්ධවූ අපූරු සිද්ධියකි. නව කථාවක හෝ චිත්රපටයක හැරෙන්නට මෙවැනි සිදුවීම් නම් මේ කෲර ලෝකයේ සැබැවින්ම විරලය. එහෙත් මීට සති දෙකකට පමණ පෙර එය සැබැවින්ම සිදුවිය.
මරණාසන්නව ලෙඩ ඇදේ වැතිර සිටි යුවතියක වෙනුවෙන් ඇයගේ ප්රියතම ගීතය ඇයගේ ඇඳ අබියසම සිට ඔහු ගැයීය. ගිතාරුව වයමින් සහ ඇය දෙස ආදරයෙන් බලමින් ඔහු ගීතය ගයන ඒ අනුවේදනීය දර්ශනය නැරඹූ සුවහසක් ප්රේක්ෂක ජනතාවගේ සහ එම යුවතිය වටා ඒ මොහොතේ වුන් ඇයගේ ඥාතීන්ගේ දෙනෙත් තෙත් කළ දසුනක් විය. ගායනය අවසන ඇයගේ හිස අතගා ආදරයෙන් ඔහු ඇයගෙන් සමුගත් අතර ඇයද මුළු ලොවින්ම සමු ගත්තේ ඒ සුන්දර, ආදරබර මොහොත සිතින් තුරුළු කරගෙනය.
මුදලටම සියලුමදේ තීරණය වන වර්තමාන යුගයේ මෙම යුවතියගේ අවසාන මොහොතේ ඒ කිසිවක් නොසිතා ඉතාමත්ම නිහතමානීව එතුමන් විසින් කළ මේ උතුම් ක්රියාව සැමටම ආදර්ශයකි. ආදරය දනවන්නකි. තම දෙමාපියන්ගෙන් පවා මුදල් අයකරන මිනිසුන් වසන මේ ලොවේ එතුමන් ඉතා උතුම් මිනිසෙක් බව තේරුම් ගැනීමට මෙම ක්රියාව ඉතා සංවේදීවූත් අමිලවූත් උදාහරණයකි.
කෙනෙකුට මඩ ගැසීම්, චරිතයන් ඝාතනය කිරීම් ,තම මඩිය තර කර ගැනීම්, ළමා අපචාර,මිනී මැරුම් ,ජාති හෝ ආගම්වාදී කුලල් කා ගැනීම් වැනි ඉතා කුහක හා පහත් තොරතුරු නිරතුරුවම අසන්නට ලැබෙන වත්මන, මේ පුවත පන්සලක ඇසෙන පිරිත් සජ්ගායනාවක් නැතිනම් දේවස්ථානයක ගැයෙන ගීතිකාවක් එසේත් නැතිනම් දේවාලයක කියැවෙන දේව යාතිකාවක් මෙන් අප සැමගේම කනට ප්රියය. හදවතට සමීපය. හැගුම්බරය. ආදරණීයය.
මෙවැනි සත් ක්රියාවන්හී නිරතවෙමින්, තරුණ පරපුරට උදව් උපකාරකරමින් හා අපව එතුමාගේ ලයාන්විත හඬින් තව චිරාත් කාලයක් සතපවමින් කටයුතු කිරීමට එතුමන්ට ශක්තිය,දහිරිය,නීරෝගි සුවය සහ සිතේ සැනසීම නිරතුරුවම ලැබේවායි මම අවංකවම ප්රාර්ථනා කරමි.
චන්දන ගුණසේකර-එක්සත් රාජධානිය
ඔහුගේ නිහතමානී කම ආකර්ශණීයයි
ReplyDeleteනවක ගී තරු බිහිවන තැන්වන ඉන්නවා දකිනවා.... ඒත් තම අනන්‍යතාවය විනාශ කර නොගන්නා කෙනෙක්. ඒතුමාට සුභ අනාගතයක් පතනවා.....ජය
ReplyDeleteඊයෙ හත අට එකට ප්‍රෝග්‍රෑම් එකට මෙතුමා ආවා..
ReplyDeleteමැණික් ඇත කළල් දියෙහි වුව දිදුලමින් ප්‍රභාමත් වන
ReplyDeleteමා අක්බාර් ශාලාවේ සිටි කාලයේ බෝගම්බර පිටියේ පැවති සංගීත සන්දර්ශනයක් බැලීමට ගිය හැටි සිහිවිය.
ReplyDeleteපසු කාලයක රැකියාවක් කළ කාලයේ නැතර වී සිටි බෝඩිමේ අක්කා, කීර්ති පැස්කුවෙල් තමන්ගේ ක්ලාස් මේට් කෙනෙකු බව නිතරම කීවා මතකයි.
ReplyDeleteඇත්තෙන්ම ඔහු අති විරල මනුස්සයෙක්. තිරිසනුන් අතර උදාර මිනිසෙක්.
ඔබට සුබ උපන් දිනයක් කීර්ති මහතාණනී.
ඇය වෙනුවෙන් ඔහු ගීතය ගයන අනුවේදනීය මොහොත නොදැකපු අයට මෙතනින් බලාගන්න පුළුවන්
සැබෑ කලාකරුවෙක්.
ReplyDeleteඔහුට සුබ උපන්දිනයක්.
සුන්දර මිනිසෙකු ගැන සුන්දර සටහනක්. අර hospital එකේ සින්දු කියන video එක දැක්කම මට එක පාරටම හිතුනේ මේ වෙන රටක්ද කියලා.
ReplyDeleteපැස්කෝ ගේ ඩාක් සයිඩ් එකක් තියනවා මචෝ. ඒක තදබල ඩාක් සයිඩ් එකක්. මෙයා තමන්ගේ ගුරුවරයා වූ ස්ටැන්ලි මාස්ටර්ට සලකපු විදිහ අන්තිමයි. ස්ටැන්ලි මාස්ටර් මැරෙනකල් ඒ හිතේ අමාරුව තිබුනා.
ReplyDeleteපැස්කෝ ට සුබ උපන්දිනයක් වේවා.