Pages

Friday 26 February 2016

ඉක්මන් සුවය පතමු!



" බොල් වී අහුරු වෙල් හුළඟේ ගිය සේම
දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම"

මේ ගීතය ඇසෙන වාරයක් වාරයක් ගානෙ මගෙ හිත ගිහින් නවතින්නෙ මීට වසර විසි පහකට පමණ ඉස්සර දවසක හැන්දෑවකට. එදා අපි පේරාදෙණියෙ අක්බාර් ශාලාවේ කපුටගෙ ( කපුට කිව්වෙ තිලක්ට. ඒ ඔහුට ලැබුණු නම්බු නාමය)  කාමරයට එකතුවුණේ කාන්සිය මකාගන්නට සිංදුවක්වත් කියන්න. එදා කපුටා "බොල් වී අහුරු " ගීතය ඇස් දෙකේ කඳුළු පුරෝගෙන ගයපු හැටි මට අද වගේ මතකයි. ඒ ගීතයේ සිදුවීම අපටම වෙච්ච දෙයක් ලෙසටයි අපට දැනුණෙ. එහෙම ගීත,සවන්දෙන හැමෝටම තමන්ගෙම කියල දැනෙන්න , ලියන්න සහ ගයන්න පුළුවන් දක්ෂයො ඉන්නෙ කීයෙන් කීදෙනාද? 

එදා ඒ ගීතයට පෙම් බැන්ඳ මම අමරදේවයන් ගයන , එහි පද ලියූ විශ්වකර්මයා කවුරුදැයි සොයා බලන්නට පෙලැඹුණේ නිතැතින්මයි. එවිට එතුමා ලියූ බොහෝ වටිනා ගීත මට හමු වුණා. වැඩිපුරම තිබුණෙ අපි ආදරය කළ අපේ හදවත්වල ගැඹුරටම තැන්පත් වූ චිත්රපට ගීත. 
එතුමා තමයි ආචර්ය අජන්තා රණසිංහ. 'අජන්තා ' කිව්වම අපගේ හිතට නිතැතින්ම පිවිසෙන දෙයක් තියෙනවා. ඒ තමයි ඉංදියාවෙ අජන්තා ලෙන් සහ ඒවායේ ඇති මනරම් බිතුසිතුවම්. එතුමත් ඒ නමටම ගැලපෙන සුන්දරතම සිතුවමක් කියලයි මට හිතෙන්නෙ. 

එමෙන්ම එතුමා ලියූ, අමරදේවයන්ම ගයන " විකසිත පෙම් පොකුරු පියුම්" ගීතයද මෙවැනිම මනරම් වියෝ ගීතයක්. ප්රේමයේ විප්රලම්භ ශුංගාරය මැදහත් සිතින් විඳ ගන්නා ප්රේමවන්තයෙකුගේ සිතිවිලි එතුමා ගොනු කළ අපූරුව. සැබෑ ප්රේමයනම් එයයි එතුමා ලොවට කියාපෑවේ එලෙසින්. ඒ තමන් ලියූ පදවලින්ම පමණක් නොවේ. සැබෑ ජීවිතයේදිත් එතුමා අවංක , මැදහත් සිතින් සියල්ල ඉවසා වදාරා ගත් පෙම්වතකු, සැමියෙකු හා පියෙකු බව මා අසා තිබෙනවා. 

පසුගිය දෙසැම්බරයේ එතුමා ජාතික රූපවාහිනියෙ ' සිහිනයකි රෑ' වැඩසටහනට ආපු වෙලාවේ බොහෝ විවෘතව සහ ඉතාමත්ම සතුටින් අප කවදාකවත් අසා නැති එතුමන්ගෙ සිතැඟි හෙළිකළා. පාසල් යන කාලයේ තිබූ පෙම් හුට පට, සනත් නන්දසිරියන් අතේ යුවතියන්ට පෙම් හසුන් යැවූ හැටි එතුමන් විස්තර කළේ සාමාන්යයෙන් ගැටවරයන් එවැනිදේට භාවිතාකරන වචනම භාවිතා කරමින් හරිම සැහැල්ලුවෙන්. 

මට මතක්වෙනවා එච් ඩී ප්රේමරත්නයන්ගේ " සප්ත කන්යා" චිත්රපටයට එතුමා ලියු රූකාන්ත ගුණතිලක ගයන " සුවඳ දැනී දැනී දැනෙනෙවා ගීතය"   කෙතරම්නම් සුන්දර සහ හදවතටම කතාකරන පද මාලාවක්ද?

සනත් නන්දසිරි සූරීන් ගයන " දේදුන්නෙන් එන සමනලුනේ" ගීතය හා " පෙමාතුර හැඟුම්" ඇතුළු ගීත රාශියක් තම පාසල් සගයාවූ සනත් සහ අජන්තා සුසංයෝගයේ ප්රතිඵල. 

එච් ආර් ජෝතිපාලයන් ගැයූ අති ජනප්රිය ගීත වූ " රත්තරන් පෙම් පුරාණෙ" හා " නින්දනේන රාත්රියේ" වැනි ගීත ලියූවෙත් මෙතුමාමයි. 

සරල ගීත හා චිත්රපට ගීත ඇතුළුව ගීත මහා සම්භාරයක් දැයට දායාද කළ එතුමා අද කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර සටනක කියල කොහොමනම් හිතා ගන්නද? 

වයසට යෑම ලෙඩ දුක් වැළදීම අපට වැළැක්විය හැකිදේ නොවේ. ඒත් මෙවන් සුන්දර කලාකරුවන් මෙවැනි තත්වයට පත්වීම නම් ඉවසුම් නොදෙන කරුණකි. එතුමන් ඇතුළු බොහෝ රචකයින් ගායනවේදීන් හමුවූ කතාබස් කළ නුගේගොඩ චමරියේ රස කතා අප කොතෙකුත් අසා ඇත. ඒ සන්ද්යායාවන් කෙතරම් නම් පියකරු වන්නට ඇතිද? එහෙත් අද එතුමා නිහඬව ලෙඩ ඇඳේ වැතිරිලා.

අප සැවොම එතුමන්ට ඉක්මන් සුවය ප්රාර්ථනා කරමු. එය මහා බලවේගයක්වී එතුමා අපට රැක දේවායි යන්න මගේ ඒකායන පැතුමයි. මේ සහෘද සටහන එතුමන් වෙනුවෙනි. ආදරණීය අජන්තා රණසිංහයිනී , ඔබට චිරං ජයතු!!

චන්දන ගුණසේකර - එක්සත් රාජධානිය

12 comments:

  1. සුවඳ දැනී දැනෙනවා.. ගිතය "සප්ත කන්‍යා" චිත්‍ර පටයේ ගීතයක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෙන්නා පොඩි වැරදීමක්. එය නිවැරදි කළා. ජය!

      Delete
  2. මේ තමයි සිංහල ගීත සාහිත්‍යයේ 1970 දශකයෙන් මෙහා මහා පතාක යෝධයන්ගෙන් අද ජීවතුන් අතර ඉන්න මහා යෝධයන්ගෙන් කෙනෙක්. මේ මිනිස්සු අපිට ලැබුන නිසා තමයි අපි ගීතය කියන එක හරියට හඳුනාගත්තේ. මුදලට වඩා කලාව කෙරෙහි කැපවුණු මෙතුමා, කියන දේ කෙලින්ම කියන නිර්භීත යුග පුරුෂයෙක්. 'අද කාලේ සින්දුවක් ලියලා දෙන්න සුදුසු ගායකයන් නැති තරම්' කියලා කෙලින්ම කිව්වා එක වරක්. මෙතුමාගේ පදමාලා නිසා, අපේ හදවත්, එදත් අදත් ලබන සැනසීම වචනයෙන් කියන්න බැහැ. අපි පින් කරන්න ඕනේ මේ වගේ නිර්මාතෘ වරුන් අහන්න දකින්න.

    මේ උතුම් පුරුෂයාට නීරෝගී සුවය ප්‍රාර්ථනය කරනවා.

    ඔබට ස්තුතියි චන්දන මේ මතක් කිරීම ගැන.

    ReplyDelete
    Replies
    1. ඔබටත් බො හොම ස්තූතියි විචාරක!

      Delete
    2. එහෙම කිව්වනම් ඔහුට පිස්සු... අමරසිරි පීරිස්ලා වගේ ගායකයොත් ඉන්න බව ඔහුට අමතක වෙලා වගේ...

      Delete
  3. ඔහු ghost writer කෙනෙකු බවද කියවේ.

    ReplyDelete
    Replies
    1. මේ කතාවෙ ඇත්තක් තියෙන බව අහලා තියෙනවා.Aru

      Delete
    2. අරූ බොලා කොහෙද ඉන්නේ ???

      Delete
  4. මෑතක වැඩසටහනක දැක්කා. ඒකෙදිත් ඔහුගේ වයෝවෘද්ධ බවක් වෙනමම පෙනුණා...... ඔහුට ඉක්මන් සුවය පතමු........

    ReplyDelete
  5. ikmanin suwawewa! ape aayushath gena chirath kalayak jeewathweemata wasanawa labewa!

    ReplyDelete
  6. ඔහු මිය ගියා. නිවන් සුව පතමු.Aru

    ReplyDelete