Pages

Tuesday 16 February 2016

විජය කුමාරතුංග නම්වූ ඒ සොඳුරු මිනිසා.....



ඒ එකදහස් නමසිය අසූ අටේ පෙබරවාරියේ දහසය වෙනිදාය. නීතිය, සාධාරණත්වය, යුක්තිය හා මානව ආචාරධර්ම වල්වැදී,  කැලෑ නීතියේ දුඟදින් අපවිත්රවූ අඳුරු මූසල තවත් උදෑසනක් ලක් මවට උදාකරමින් හිරු පායා ආවේද ඒ හැර හිරුටත් කළ හැකිවූ අන් විකල්පයක් නොවූ හෙයිනි. හැමතැනකම වාගේ විසිරී පැතිරී තිබූ , තුට්ටුවකවත් වටිනාකමක් නොවූ සීතල මරණයේ අඳුරු සෙවනැලි මකාලන්නට ඒ දුබල වූ හිරු කිරණයන්ට ශක්තියක් නොවුණි. මරණබයේ නින්දට ගිය මිනිසුන් , තවත් දවසකට තමන්ට ජීවිතදානය ලැබුණානේදැයි සිතමින් බියෙන් හා සැකයෙන් විවරවූ දෙනෙත් හැර ලෝකය දෙස බලන්නට පටන් ගත්තේ මේ සමගමය. 

දිනය සුපුරුදු ලෙස ගෙවෙමින් පැවතුණු අතර ඒ උදෑසන අපර භාගය වන්නට ඇත. හදිසියේම මුළු පළාතම ගිගුම් දෙමින් නිකුත්වී වාතලයට එක්වූ වෙඩි හඬ කිහිපයකින් පොල්හේන්ගොඩ ප්රදේශය ඇළලී ගියේ මේ මොහොතේමය.. වෙඩි හඬට නිතරම කන් හුරුවූ ජනතාවට එය එතරම්ම අරුමයක්නම් නොවුණි. එහෙත් ඒ මොහොතේ රටක් වටිනා ජනතා පුත්රයකු මිහිකත සිඹිමින් ලේ විලක් මැඳ වැතිර වුන් බව දුටුවේ ඒ අවට වුන් මිනිසුන් පමණි. තම ගොඳුර ඩැහැගත් ඒ අමන කුලී හේවායෝ තමන් පැමිණි යතුරු පැදියේ නැගී පලා ගියහ. වෙඩි තබා තිබුණේ මුහුණටමය. රටක් සැනසූ ඒ සුන්දර මුහුණේ අවසාන සිනහව ඒ වනවිටත් වාතලයට මුහුවී තිබිණි. පුවත රටපුරා ලැව්ගින්නක් සේ පැතිරුණු අතර වයස අවුරුදු හතළිස් නමයක් වැනි දිවියේ හොඳම ඉමේවුන් සිහින කුමරෙකු , මානව හිතවාදියෙකු හා මේ සියල්ලටම වඩා සොඳුරු මිනිසෙකු ඒ මොහොතේ අපගෙන් පැහැර ගෙන තිබිණි. බිරිඳකට පෙම්බර සැමියෙකු, දරු දෙදෙනකුට ආදරණීය පියෙකු, රසිකයනට ප්රතිභාවින් සපිරි රංගධරයෙකු හා ගායකයෙකුද සමස්තයක් වශයෙන් රටටම මානවහිතවාදී නායකයකුද අහිමි වුණි. 

එදා කැඩපතක ඡායා චිත්රපටයේ ඇසිඩ් වැදී මුහුණ විනාශ වෙද්දී එය සැබෑ ජීවිතයේදී එතුමන්ට හැබෑවටම සිදුවෙතැයි අප සිහිනයෙන් හෝ නොසිතුවෙමු. එදා ක්රිස්තු චරිතයේ රඟද්දී කුරුසියේ තබා ඇන ගසා මරාදමද්දී ඊට ටික කලකට පසුව එතුමන්ව හැබැහින්ම මරා දමතැයිද අප කිසිවිටෙකවත් නොසිතුවෙමු. එහෙත් අපේ අවාසනාවට සිදුවූයේද එයයි. 

අසූ අට - අසූ නමය යන ඒ කාලකන්නී යුගයේ අපට හා අපේ රටට අහිමි කළ විද්වතුන්, සමාජ සේවකයන්, මාධ්යවේදීන් හා දේශපාලකයන් අතරට විජය කුමාරතුංග යන නමද එක් කළේ මෙලෙසිනි. ඒ මීට විසි අට අවුරුද්දකට පෙර අදවන් දිනෙකදීය. අද සිටියා නම් එතුමන්ට වයස අවුරුදු හැත්තෑ හතක් වන්නට තිබිණි. 

එදා හන්තානෙ කථාවෙන් රිදී තිරයට පායා ආ විජය තරම් කඩවසම් හා ලස්සන නළුවකු එදා මෙදාතුර සිංහල සිනමා අම්බරයට පායා නොආ බව මගේ විශ්වාසයයි. එදා විජයගෙන් තොර වාණිජ සිනමාවක් නොවීය. විජයගේ පෙනුම නිසාම එතුමා වාණිජ සිනමාවටම කොටුවූවත් කරුමක්කාරයෝ, බැද්දේගම, කැඩපතක ඡායා, බඹරු ඇවිත් හා ක්රිස්තු චරිතය වැනි සිනමාපටවලින් එතුමන්ගේ සැබෑ රංගප්රතිභාව අපට දැකගත හැකිවිය. එමෙන්ම බොහෝ කලක් යනතුරුම හඳුනා නොගත් එතුමන්ගේ ගැඹරු හා ආදරණීය කටහඬට හා ගායන හැකියාවට ලැබුණේද අද්විතීය තැනකි. මිනිසුන් වැඩිපුරම ආදරය කළේ විජය නම් නළුවාටය. විජය නම් ගායකයාටය. එහෙත් විජයගේ ඉරණම ලියැවී තිබුණේ දේශපාලනය කිරීමටය. එයටත් හේතුව වන්නට ඇත්තේ එතුමන්ගේ තිබූ මානවහිතවාදී ගුණය හා පීඩිතයින් නගා සිටුවීමේ තද උවමනාව වන්නට ඇත. 

කාන්තාවන්ගේ මෙන් පිරිමින්ගේ ලස්සනක් ගැන කතා නොකළත් විජයට තිබුණේ පුන පුනා කතා කළ හැකිවූ අසාමන්ය ලස්සනකි. උත්තුංග දේහධාරී , අඩි හයකටත් වඩා උස සිරුරකි. ගැඹරු හැගීම්බර හා ආදරණීය කට හඬකි. එහෙත් මොහොතකින් ඒ හැම අපට අහිමි විය. 

විජයගේ දේශපාලන දර්ශනය පිළිබඳව කතා කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ. එමෙන්ම මට ඒ ගැන කතා කරන්නටද උවමනාවක්ද නැත. මන්ද මා මෙන්ම සුවහසක් ලංකාවාසී ජනතාව ආදරය කළේ විජය කුමාරතුංග නම් නළුවාටය. ගායකයාටය. මානව හිතවාදී සොඳුරැ ආදරණීය මිනිසාටය. විජය කුමාරතුංග නම්වූ දේශපාලඥයාට නොවේ. 

එතුමා දේශපාලනයට නොගියානම් අදටත් ජීවත්ව සිටින්නට ඉඩ තිබිණි. එහෙත් මරණයත් කරපින්නාගෙන උපත ලබන අපගේ මරණය කෙදිනක , කෙලෙස සිදුවෙතැයි නිගමනය කළ හැක්කේ නම් කාහටද? ඒ නිසා එසේ සිතා සිත රවටා ගැනීමට මම උත්සහ නොකරමි. 

ජේ ආර් ජයවර්ධන නම්වූ ඒ ඒකාධිපති පාලකයා විජය නැක්සලයිට් වාදියෙකුයැයි හංවඩු ගසා දඟගෙට පවා යැවීය. එහෙත් විජයගේ ගමන සහ එතුමන්වටා රොද බැඳ වුන් ජන ගඟ නැවැත්වීමට මේ කිසිදෙයක් සමත්වූයේ නැත. එතැනින් නතර නොවී එතුමන්ගේ හඬ පවා ගුවන් විදුලියේ ප්රචාරය වීම වාරණය කිරීම වැනි දෙකේ කොලේ අමන තකතීරු ළඳරුවන්වත් නොකරන අන්දමේ ක්රියාවන් මගින් විජයගෙන් දිගටම පළිගත්හ. මෙසේ කරන්නට කරන්නට විජය ඉන් පන්නරය ලැබුවා පමණක් නොව තව තවත් ජනතාව අතර ජනප්රියද විය. සිනමාවේ පවා විජය තරම් වැඩි වාර ගණනක් ජනප්රියම නළුවා වූ තවෙකකු නැතිබව මගේ විශ්වාසයයි. 

විජය ඒ දිනවල තදින් පැවති උතුරේ කොටි ප්රශ්නයටද කෙළින්ම  මැදිහත්වී කොටි නායකයන් පවා හමුවීමට උතුරට ගියේය. එවකට පැවති ජනාධිපතිවරණයේදී ජේ ආර් පාලනයට විරුද්ධව එසැවුණු අදිසි හා ප්රභලම හස්තය වූයේද විජයයි. 

විජය ඝාතනය කළේ කවුරු වුවත් කාගේ උවමනාවට වුවත් එවන් වටිනා මිනිසෙකුගේ ඔයතරම් ලස්සන මුහුණක් විනාශවී යන්නට වෙඩි තැබුවේ නම් මිනිසෙකු නොව හිතක් පපුවක් නැති තිරිසනකු බවනම් මම දනිමි. එය කිරීමට අණදුන් තැනැත්තා හැදින්වීමට වචනයක් මම තවමත් සොයමි. 

විජය මළ පුවත ඇසූ ජනතාව වැල නොකැඩී එතුමන්ට ගරු බුහුමන් කිරීමට ඇදුණේ එතුමාට ඔවුන්ගේ සිත්වල තිබූ සැබෑ ප්රේමය නිසාය. එදා විජයට ඇත්තටම ආදරය කළ විජයගේ සිනමා රසිකයින් ලක්ෂ ගණනක් හමුවේ එතුමන්ගේ නෑදෑයන් වෙනුවෙන් කතාවක් පැවැත්වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා සූරීන් පැවසූ වගන්තියක් මෙසේ උපුටා දක්වමි. " විජය දේශද්රෝහියෙකු නම් අද මෙතැනට එක්වූ අප සැවොම දේශද්රෝහීන් විය යුතුය. ඒ මක්නිසාද, දේශද්රෝහියෙකුට උපහාර දැක්වීමද දේශද්රෝහී ක්රියාවක්ම වන බැවිනි. "

එදා ඒ වෙඩි උන්ඩයෙන් ඔවුන් සිදුරු කළේ විජය කුමාරතුංගයිනී ඔබගේ මුහුණ නොවේ ඔබට ආදරය කරණ සුව හසක් රසික රසිකාවියන්ගේ හදවතය. එදා ඔවුන් ඔබව ඝාතනය කළහ. එහෙත් ජනතා හදවත්වල ජීවත්වන ඔබව කිසිදා ඔවුනට ඝාතනය කළ නොහැකිවනු ඇත. ඔබ අපගෙන් උදුරාගෙන වසර විසි අටක් ගතවන අද,  මම ඔබට මෙසේ පවසමි. ආදරණීය විජය, ඔබ අප හදවත් තුළ  සදා ජීවමානය. මේ සසර කතරේ දිනෙක නැවත අප හමුවෙමු. එතෙක් මට සමු ගන්නට අවසර.  

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය. 

6 comments:

  1. විජය ඝාතන කල ලයනල් රණසිංහ
    http://transyl2014.blogspot.ca/2015/10/blog-post_18.html

    ReplyDelete
  2. විජය ගාමිණි වගේ අය අයිකන් එකක් වුණේ ඒ අය ඒ අයම වුණ හිංද.
    විජය කියන්නෙ සරල චාම් මනුස්සයෙක් (අපි දන්න අහල තියෙන විදියට) ඒ වගේම ඒ ගති ගුණ සහ ඔහුගේ කඩවසම් බව නිසා අදටත් ඔහු හොදම අයිකන් එකක්
    වර්තමානයෙ නළු බට්ටන්ට අමතක වෙලා තියෙන්නෙත් මගෑරෙන්නෙත් අන්න එතන

    ReplyDelete
  3. /* එදා කැඩපතක ඡායා චිත්රපටයේ ඇසිඩ් වැදී මුහුණ විනාශ වෙද්දී එය සැබෑ ජීවිතයේදී එතුමන්ට හැබෑවටම සිදුවෙතැයි අප සිහිනයෙන් හෝ නොසිතුවෙමු. එදා ක්රිස්තු චරිතයේ රඟද්දී කුරුසියේ තබා ඇන ගසා මරාදමද්දී ඊට ටික කලකට පසුව එතුමන්ව හැබැහින්ම මරා දමතැයිද අප කිසිවිටෙකවත් නොසිතුවෙමු. */

    ඔය චිත්‍රපට දෙකම ආවේ විජය මිය ගියාට පස්සේ නේද? මං කැඩපතක ඡායා බලන කොට තේරුණා සමහර දර්ශනවලට හඬ කවා ඇත්තේ වෙන අයෙකු බව.

    ReplyDelete
  4. මොනවා උනත් ඊයේ විජයව සැමරුවේ දෙපිලකට බෙදිලා.
    ඉතා වැදගත් ලිපියක්.

    ReplyDelete
  5. විජය කුමාරතුංග කිසිසේත්ම මගෙ ප්‍රියතම නළුවා නොවුනත් විජයගෙ මරණයෙන් කම්පාවට පත්වෙච්ච කෙනෙක් මමත්. ඒක මහ අමුතුම පාළු හැඟීමක්.

    ReplyDelete
  6. මම විජය කුමාරතුංග කියන නළුවට වඩා විජය කුමාරතුංග කියග ගායකයාට ආසයි.. මම හිතන්නේ විජයට නළුකම පරයායන ගායන හැකියාවක් තිබුන කියලයි..මට එහෙම හිතෙන්නෙ මම සංගීතයට ටිකක් වැඩිපුර ආස හින්දද දන්නේ නැහැ..

    ReplyDelete