Pages

Thursday 10 December 2015

සිහින තරුවක් නොවී සැබෑ තරු අතර සඳක්වූ සිහින කුමරා...........






ඒ 80 දශකයේ අග බාගයයි. අපේ තරැණ අවධියයි. අප උතුරේ හා දකුණේ ඇතිවූ නැඟිටීම් වලින් හෙම්බත් වී සිටියෙමු. අපට යන්නට විශ්ව විද්යාල ඇරී නොතිබුණි. විශ්ව විද්යාල වලට තේරී තිබීම පවා හිරේ යන හෝ මරණයට පත්වීමට සුදුසු වූ යුගයක අප බස්වල ගමන් කරද්දී හෝ කැසට් පටයකට, තිබෙන උණ නිසාම ඒවාට සවන් දෙද්දී ආදරය ගැන ගී ගැයූ ගායකයෙකු විය. මරණ බයේ ඇළලී අනාගතය ගැන කිසිදු නිගමනයක් නොතිබූවත්,  යෞවනයේ එළිපත්තේ සිටි අපට ආදරයේ සුවඳ මරණයේ සුවඳ පරයා දැනීම නොවැළැක්විය හැකි කරැණක් විය. ඒ නිසා ඒ ගී වලින් අප සැනසුනෙමු. නැළවුණෙමු. මරණ බිය මොහොතකට අමතක කොට සිහින ලොවකට පාවී ගියෙමු. 

ඔහුගේ ගී බොලදැයි කියා සමහරැන් විවේචනය කළත්,  යොවුන් පරපුර ඒ හඬට ආදරය කළහ. දැන් කාලයේ මෙන් සිහින ගායක ගායිකාවන් තෝරන වැඩසටහන් තියා එකල මිනිසුන්ට සිහිනයක් හෝ නොවුණි. එවන් යුගයක තමන්ගේ වෑයමින්ම ගීත ක්සේත්රයට පැමිණ රසික හදවත් තුළ ලැගුම් ගැනීමට නම් ලෙහෙසි පහසු කටයුක්තක් නොවීය. එහෙත් ඔහු ඒ අපහසු කටයුත්ත කළේය. නිකම්ම නොව රසික රසිකයින් අතරේ සිහින කුමාරයාද වෙමිනි. ඒ සඳහා ඔහුගේ මධුර මනෝහර කට හඩට අමතරව ඔහුගේ කඩවසම් පෙනුමද මහෝපාකරී වූ බව සැබෑවකි. ඒ සැමටම වැඩියෙන් ඔහු අති දක්ෂයකු විය. ඔහුගේ වැඩිමනක් ඉතාමත්ම ජනප්රියවූ ගීත ලියූවේත් , සංගීත තනු යෙදුවෙත් ඔහුමය. මේ සියලුම විකුම් පෑ ඔහු වෙන කවුරුන් හෝ නොව එකල තරුණියන්ගේ සිහින කුමරා වූ නාමල් උඩුගමයන්ය. 

ඒ දෙදහස් පහළොවේ ජනවාරියේ විසි පස්වනදාය. සීතල දුරුත්තේ සීතල පහවී රසික සිත් දුකින් ගිනියම්වූ එක්තරා පුවතක් , වර්තමානයේ ඉතාමත්ම ප්රබල සමාජ සංනිවේදන මාධ්යක් වූ මුහුණු පොත සිසාරා පැතිරෙන්නට විය. එයින් කියැවුණේ එවකට අසාධ්ය ලෙස අක්මාවේ රෝගී තත්වයකින් පෙළුණු නාමල් උඩුගමයන් මෙලොව හැර ගිය ශෝකනීය පුවතය. මුහුණු පොතේ මෙම පුවත ලැව් ගින්නක්සේ ඇවිලි ගියේ තප්පර කිහිපයකිනි. බොහෝසේ කලබල වූ නාමල්ට ආදරය කළ රසිකයන් එතුමන්ගෙ නිවසට සහ නෑදෑ හිතමිතුරන්ට දුරකථනයෙන් කතා කොට මේ ගැන සොයා බැලූහ. ඒ සැමගේම හදවත්වලට මහා සහනයක් ලබා දෙමින් ඒ පුවත බොරුවක් බව පසුව දැනගන්නට ලැබිණි. එතුමා සමඟ ක්රෝධයෙන් සහ ඊර්ෂ්යාවෙන් පසුවූ අමනයෙකු හෝ එවන් කණ්ඩායමක් ඔවුන් පැතූ මේ ව්යාජ ආරංචිය මුහුණු පොතට මුදාහැර තිබිණි. දිවියේ කෙනෙකුට තමන් ජීවත්ව සිටියදීම තමන් මැරුණු දිනයක තමන්ගේ හිතවතුන් හැසිරෙන ආකාරය දැක බලා ගැනීමේ දුර්ලභ අවස්ථාව එතුමන්ට උදා විය. ඒ බොරුවෙන් සිදුවූ එකම සෙත නම් එපමණකි. 

මට පුද්ගලිකව එතුමන්ට උදව්වක් කිරීමට නෙහැකිවුවත් එතුමන්ගේ සහෝදර කලාකරුවන්ගේ සහ රසික රසිකාවියන්ගේ ආධාරයෙන් එතුමා ඉංදියාවට ගොස් අවශ්ය ශල්යකර්මයට බඳුන් වී සුවපත් වී ආපසු සිය නිවස, තම ආදරණීය බිරිඳ, දරුවන් හා රසික රසිකාවියන් බලා ඒමටතරම් වාසනාවන්ත වූවේය. 

අසනීපය සුවවී පැමිණ පසු මට එතුමන්ව පසුගිය සතියේ මහේෂ් දෙණිපිටිය නම්වූ ඒ අපූරු සංගීත අධ්යක්ෂකවරයා විසින් ඉදිරිපත්කරනු ලබන " ඩෙල් ස්ටුඩියෝ" වැඩසටහනට නව සංගීත සංයෝජනයන් යටතේ ගී ගැයීමට පැමිණ සිටිනු දැක ගන්නට ලැබිණි. මහේෂ් දෙනිපිටියන් ගැනද මේ අවස්ථාවෙ යම් සඳහනක් කළ යුතුමය. ඔහු සිංහල සිනමාවට සහ ලාංකීය සංගීතයට අමිල සේවයක් කළ පැටරික් දෙණිපිටිය නම්වූ ඒ අසහාය සංගීතවේදියාගේ ආදරණීය පුත්රයාය. ඔහු ප්රවීණ ගායක ගායිකාවන්ව ඔහුගේ ඩෙල් ස්ටුඩියෝ වැඩසටහනට ගෙන්වාගෙන , ඒ පැරණි ගීතවලට නව සංගීතයක් හා නව ආරක් ලබාදී ඒවායින් රසිකයන්ට අමුතුම වින්දනයක් ගෙන දීමට දරන්නාවූ මේ උත්සහයට අපේ ප්රණාමය සහ කෘතඥතාවය හිමිවිය යුතුය. 

මෙහිදී නාමල් උඩුගමයන්ගේ මීට වසරකට පමණ පෙර තිබූ ඒ රෝගී පෙනුම වියැකී අප අසූව දශකයේ අග භාගයේ දුටු නාමල් දැක ගන්නට ලැබීම මගේ සිතට ගෙනාවේ මහත් සතුටකි. අස්වැසිල්ලකි. අප එකල පෙම් බැඳි ගීත රාශියක්ම නව සංගීතයට එහෙත් එදා මෙන්ම ඔහු ගැයීය. එකල මා තදින්ම පෙම් බැඳි " අප හමුවීම වෙන් වීම දෝ ආදරේ " හා " ලොවම නිදන රාත්රියේ" යන ගීතයන් ඇතුළු එකල අතිශය ජනප්රිය වූ " සමුගන්නේ නෑ වෙන්වන්නේ නෑ" , " සිහිනෙන් සිහිනෙන්" , " බැස යන සඳ දෑසින් නවතාලන්නට බෑ" හා " වෙස්සන්තර බිසෝ නුඹව දන්දෙන්න බෑ නාටකේ" යන ගීත සියල්ලම මට අසන්නට ලැබිණි. 

මගේ සිත මීට අවුරුදු විසිපහක පමණ අතීතයට ගියේ මටත් නොදැනීමය. මම නාමල් උඩුගමයන්ගේ "සමුගන්නේ නෑ " කැසට් පටය මිලදී ගෙන අපේ පුංචි කැසට් පටයේ දමා නංගිලා සමඟ දවස පුරාම ඒ ගීත අසමින් රස වින්ඳ ආකාරය මට සිහිවිය. එය මගේ දිවියේ මා මිලදී ගත් දෙවැනි කැසට් පටයයි. එමෙන්ම කොළඹ සිට හෝ නුවර සිට ගෙදර යන ගමන් සහ නැවත පෙරළා ආපසු යන ගමන් වලදී එවකට පුද්ගලික බස්රථවල නිරතුරුවම වාදනය වූ නාමල් උඩුගමයන්ගේ ගීත ඉතා ආශාවෙන් රස විඳිමින් ගමන් කරන්නටද එකල මම ඉතාම ප්රිය කළ කරුණක් විය. 

පසුගියදා ඩෙල් ස්ටුඩියෝවට පැමිණි නාමල් උඩුගමයන් තම සංගීත ගමන්මගේ ආරම්භය පිළිබඳව අව්යාජව සහ ඉතා විවෘතව කතා කළේය. මුලදීම තමන්ට යන්තමට ගිතාරුව පමණක් වැයීමට හැකියාව තිබූ බවත් ඒ දන්න ටිකෙන් තමා ලියූ ගීතවලට තනු දැමූ බවත් ඔහු පැවසුවේ තමන්ට අතීතයක් තිබුණාදවත් මතක නැති බොහෝ අයට ආදර්ශයක් වෙමිනි. තමන්ට තවමත් මුල අමතක නැතිබවේ උතුම් ගුණය හැමටම පසක් කරමිනි. ඔහු එදා , මා ඔහුව අසූව දශකයේ දුටු අන්දමටම ගීත ගැයීය. මට ඔහු ගැන ඇතිවූයේ මහත් ආදරයකි. 

සොඳුරු ගායකයාණෙනි, ඔබට තව තවත් නව නිර්මාණ කරමින් සංගීත ලොවට අනඟි සේවයක් කිරීමට ශක්තිය , ධෛර්ය හා නිරෝගී සම්පත්තිය නිරතුරුවම ලැබේවා. ඔබට ආදර කරන සහෘද රසිකයන්ගේ ඒකායන ප්රාර්ථනය එයයි. ඔබට චිරං ජයතු!

චන්දන ගුණසේකර - එක්සත් රාජධානිය

8 comments:

  1. //ඔබට චිරං ජයතු!//.

    ReplyDelete
    Replies
    1. අප සැමගේමත් පැතුම එයයි

      Delete
  2. නාමල්ගේ හඬේ සහ ගායනා විලාශයේ විශේෂත්වයක් තියෙනවා.. නාමල්ගේ සින්දු වෙන කෙනෙකුට ඒ විදියටම කියන්න අමාරු ඒකයි... ඒක යුනීක් හඬක්.. අනික ප්‍රේමවන්ත රූප සෝබාව....

    එළෝ ගිහින් මෙළෝ ආපු එකෙක්නේ.. දැන් ඌ උගේ රසිකයින්ට වෙනදටත් වඩා ආදරෙයි.. මොකෝ ඌ ජීවත් වෙන්නේ ඒ අය නිසා...

    ReplyDelete
    Replies
    1. උඹ හරි මාතලන්. ඒ වගේම පද රචනය සහ සංගීතය. ඔහොම දක්ෂයො අඩුයි. ක්ලැරන්ස්, රෑකාන්ත,ෂර්ලි වෛජයන්ත, එම් එස් හා සුනිල් සාන්ත වගේ අය හැරැනුකොට

      Delete
  3. එකෙන්ම මාත් පට්ට ආසයි නාමල්ගේ සින්දු වලට!
    මාර සරලයි!!

    ReplyDelete
    Replies
    1. ඒවා හදවතට වැඳුණා අපේ

      Delete
  4. දැන් තියෙන බූට් සිංදු එක්ක බලද්දී නාමල්ගේ සිංදු අදටත් ඒ වගේම රස විදින්න පුළුවන්

    ReplyDelete
  5. නාමල්ගේ ගීත බොහොම සුන්දරයි.. අලුත් පරම්පරාවෙ අපිට අහන්න ලැබෙන ඇතැම් ගීත ගැන හිතන කොටත් කෑ ගහල අඩන්න හිතෙනවා.ඒ තරම් හරයක් නැති අප්‍රසන්න ගීත තමා බහුතරයක් තියෙන්නෙ.

    ReplyDelete