Pages

Tuesday, 29 December 2015

අගය කළ යුතු චරිත - නුවන් ගුණවර්ධන



අසූව දශකයේ මුල් භාගයේ රූපවාහිනිය අපට ලැබීමත් සමඟම , සංගීත ප්රසංග නැරඹීමට ගොස් කොල්ලන් අතර පොරකා යාන්තමට බලා ගත හැකිවූ සහ පුවත්පතක පිංතූරයකින් මදක් ළඟට දැක ගත හැකිවූ , අප ආදරය කළ ගායක ගායිකාවන් හිතේ හැටියට අපගේ නිවෙස්වලම සිට දැකගැනීමේ වාසනාව අපට උදාවිය. එච් ආර් ජෝතිපාලයන්, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චි, අමරදේවයන්,වික්ටර් රත්නායකයන්, නිහාල් නෙල්සන්, එම් එස්, ලතා වල්පොල හා සුජාතා අත්තනායක වැනි මෙකී නොකී සෑම ගායක ගායිකාවක්ම පුංචි තිරයෙන් අපට , වෙනදා ගුවන් විදුලියේ මෙන් හඬින් පමණක් නොව රූපයෙන්ද ළංවූහ. සංගීත කණ්ඩායම්ද අපට ළඟටම සහ හිතේ හැටියට දැක ගත හැකි විය. ඇනස්ලි, බර්ටි හා සැමුවෙල් යන විහිළු තුන්කට්ටුව සුදුද කළුද කියා අප දුටුවේ රූපවාහිනියෙනි. ඇත්තම පැවසුවහොත් එකල අපට තිබූ අඟල් 12 කළු සුදු රූපවාහිනියේ පෙනුණේ නම් කළු සහ සුදුම පමණි. 

මේ කාලයේදී රූපවාහිනියේ මා දුටු අමුතු ශෛලියකට වේග රිද්මියේ ගීත ගායනා කළ කඩවසම් කොලු ගැටයෙකු කාගෙත් අවධානය දිනා ගැනීමට සමත් විය. ඔහුට තිබුණෙ අමුතුම කට හඬකි. එය හින්දි ගායකයෙකුගෙ කට හඬ අපට සිහියට නැගීය. මුලදී ඔහු හින්දි ගී ඉතා අපූරුවට ගැයූ අතර අපට දැනුණෙ ඒවා හින්දි ගායකයෙකුම ගයන අයුරිනි. 



එකල හින්දි ගී ගැයීමට කප් ගසා නමක් දිනා සිටියේ ටෝනි හසන් නම් ගායන වේදියාය. ප්රසංග වේදිකාවට ඔහු නැතුවම බැරි ගායකයකු විය. එසේම ඔහු මහ ඉහළින්ම වැජඹුණේ හින්දි ගී ගයන ලාංකීය හඬ වශයෙනි. එහෙත් මේ අතර ඉතා අපූරුවට හැගීම්බරව ගී ගයන මේ සුන්දර තරුණයා ගැනද රසිකයන් කතා බහ කරන්නට වූහ. 

මේ අතර ඔහු සිංහල ගීතද ගැයූ අතර ඒවාද හින්දි ශෛලියටම මදක් නෑකම් කීවත් ඒවයේ අමුතු නැවුම්බවක් තිබිණි. එමෙන්ම ඔහු ගැයූවේ හදවතින්මය. හැඟීම් ඒ හඬේ උතුරා හැළිණි. ඒ ගීත ජෝතිපාලයන්ගේ, මිල්ටන් පෙරේරාගේ හෝ මිල්ටන් මල්ලවආරච්චිගේ ගීත මෙන්ම හැඟුම්බර විය. මේ හේතුවෙන් මේ නැවුම් තරුණ කට හඬ තම චිත්රපට ගීතවලට යොදා ගැනීමටද සිනමා අධ්යක්ෂකවරු ලෝභ නැතිවම පෙලබුණහ. 

මේ ගායකයා නම් වෙන කවුරුන් හෝ නොව අප එකල ආදරය කල ඒ අපූරු දගකාර කට හඬට හිමිකම් කියූ නුවන් ගුණවර්ධනම හැර වෙන නම් කවුරුන්ද? නම කියූ පමණින්ම ඔබගේ මතකයට , එදා අසූව දශකයේ ඔහු ගැයූ , ගැයුවා පමණක්ම නොව අප නැළවූ " කඳුළින්ම ගැයූ ඒ ගීතේ ....ඇසුවා ඔයා ..සිනාසි සිනාසී ...එමා ...හද ගිනි ජාලාවෝ" යන ගීතය සහ " කිරි මුහුදු වෙරළෙ " යන ගීතය නිතැතින්ම එන බව මම දනිමි. ඒවායේ වචන , මතකයේ රැඳුනා පමණක් නොව ඒ වචන ඔහු උච්චාරණය කළ ආකාරය සහ හැගීම්බරිත අයුරින් කළ ඔහුගේ රංගනයද ඔබගේ සිතේ ඇඳී යන බව මට විශ්වාසය. 

එහෙත් 1995 දී මම රටින් පිටවීමත් සමඟම මෑතක්වන තුරුම මට ඔහුව දැකගැනීමේ අවස්ථාවක් නොලැඹුණි. වසර විස්සකට පමණ පසු රූපවාහිනී වැඩසටහනක මෑතකදී  ඔහු දුටු මට මගේ දෑස් අදහාගත නොහැකි විය. එදා දුටු ඒ පිරිපුන් කොල්ලාගේ රුව මගේ සිතේ ඇඳී තිබුණත් නුවන් ගුණවර්ධන බාහිර පෙනුමින් බොහෝ වෙනස් වී තිබුණි. මුහුණ ඇදී ගොස් පුළුල් නළලතක් පෑදී මදක් වයසට ගිය ස්වභාවයක් මුහුණේ විය. එසේම දෑසේද වූයේ විඩාබර ස්වරූපයකි. එතුමා රෝගයකින්වත් පෙළෙනවාද එසේත් නැතිනම් මානසිකව කලකිරීද වැනි නොයෙකුත් ප්රශ්න මගේ සිතට නැගුණේ නිතැතින්මය. මට ඇතිවූයේ මහත් කණගාටුවකි. 

එහෙත් එතුමා කට හඬ අවදි කළ විට ඇසුණේ නම් එදා හඬමය. එදා ජවයම එහි තිබිණි. එනමුදු එතුමාගේ පෙනුම මා වෙත ගෙන ආවේ දුකකි. මා එතුමා ගැන යමක් ලිවිය යුතුයැයි සිතා ගත්තේ එදාය. එදා එතුමා සිය පුතු ගැන බොහෝ ආඩම්බරයෙන් කතා කළේය. නුවන් ගුණවර්ධනගේ පුත්රයාද පියා මෙන්ම නියම වැඩකාරයෙකු බව රසිකයන් දැනගැනීමට ඔහු ගැයූ ගීත කිහිපයම ප්රමාණවත් විය. අනාගතයේ ඔහු නුවන් ගුණවර්ධනයන්ගේ නම ඉදිරියටම ගෙනයනබව නම් ඒකාන්තය. 

එදා ලියන්නට සිතා ගත්තත් එක එක කරුණු නිසා මගහැරී ගිය මේ ලිපිය අද නම් ලිවිය යුතුමයි සිතුවේ පසුගිය ඉරිදාවේ " සිහිනයකි රෑ " වැඩසටහනට ලකී ඩයස් සමගින් ගීත දහය ගායනා කිරීමට පැමිණ සිටි නුවන් ගුණවර්ධනයන් දැකීමෙනි. 

එහි පළමු ගීය ලෙස එච් ආර් ජෝතිපාලයන් ගැයූ ඒඅසහාය මව්ගුණ ගීතය " මේ නොනිමෙන දිවි ගමනේ" නුවන් ගැයූ භාවාත්මක විලාසය දුටු කෙනෙකුගේ නෙතට කඳුළක් නොනැඟුණා නම් ඔහු හෝ ඇය හැගීම්සුන් කෙනෙකු බව මගේ විශ්වාසයයි. එය ඒ තරම්ම උපරිමයෙන්ම ඔහු ගැයීය. එමෙන්ම සනත් නන්දසිරි සූරීන්ගේ " එදා මෙදා තුර" , වික්ටර් රත්නායකයන්ගේ " සිහින් සුළං රැල්ලේ" හා ලතා වල්පොල සූරීන් ගැයූ " සිහින සතක් මැඳ" යන ගීත ඔහු මනා සංයමයකින් යුතුව ඒවාට ඉහළම සාධාරණක් දෙමින් ගැයුවේ ඒ ශෛලියේ ගීතත් තමන්ට හොඳින් ගැයීමට හැකිබව මුළු ලොවටම පසක් කරමිනි. ඒත්තු ගන්වමිනි. 

ජෝතිපාලයන්ගේ ඒ මව් ගුණ ගීතය නුවන් ගුණවර්ධනයන් ගයා අවසන් කළේ දෑත් එක්කොට තම මව්ට සිතින් සිතා වැඳ නමස්කාර කරමිනි. එසේම ඉතාමත්ම අව්යාජව තම අදහස් පළ කළේ ඔහු සොඳුරු හා අවංක කලාකරුවකු බව ලොවටම පෙන්වා දෙමිනි. 

ගතින් , විශේෂයෙන්ම බාහිර පෙනුමින් එතුමා වියපත් වී ඇති සෙයක් පෙනුනද කට හඬේ එදා ගාම්භීරභාවය හා ජවයම නොනැසී පැවතීම මගේ සිතට ගෙන ආවේ සැනසීමකි. මේ ලෝකයේ අප දිනින් දිනම වයසට යන එක අප කාහටත් වැළැක්විය නොහැකි සත්යයක් බව මම දනිමි. එහෙත් නුවන් ගුණවර්ධනයනී මම ඔබට මෙසේ පවසමි. තව බොහෝ කාලයක් ඔබගේ ගීත මෙලෙසින්ම ඇසීමට අපට අවශ්යය. එහෙයින් නිරෝගී සුවය නිරතුරුවම ලැබ අප හැම සනසාලන්නට මේ ලෙසටම ඔබට හැකිවේවායි යන්න මගේ ඒකායන පැතුමයි. ඔබට චිරං ජයතු!



චන්දන ගුණසේකර - එක්සත් රාජධානිය

7 comments:

  1. පොඩි කාලේ ඉදලා ම අහලා පුරුදු හඩක්........ නුවන් ගුණවර්ධන...... විස්තර කිරීම අගෙයි චන්දන සහෝ......

    ReplyDelete
  2. අදමයි ඇහුවේ!
    යූටියබ් එකෙන් හොයාගෙන දෙකක් තුනක් ඇහුවා...ටැලන්ට් එකක් තියෙන බුවෙක් අපරාදේ!

    ReplyDelete
  3. කාලයක් ජනප්‍රිය චරිතයක්. අදනම් කොහේවත් දැක ගන්න නැහැනේ.

    ReplyDelete
  4. මං සිංදු අහල තියෙයි මෙයා කියන ඒත් කියපු බහුතරයක් සිංදු හිංදි සිංදු වල කොපි හිංද ඒ තරං මනාපයක් ති්බෙ නැති කෙනෙක්
    මොකද කටහඩ හොද ගායකයෙක් එහෙම කෙනෙක් ඇයි මේ මේ තරං හිංදි කෑලි කියන්නෙ කියල

    ReplyDelete
  5. එදා මෙදා තුර මගෙත් ආසම ගීතයක් තමයි නුවන්ගේ කදුලින්ම ගැයූ ඒ ගීතේ ......

    ReplyDelete
  6. කෝ ඉන්සිටන්ට්ස්... මගේ ප්‍රියතම ගීත අතර ඉතාමත් ඉදිරියෙන්, සමහරවිට මුලටමත් තිබෙන්නේ කඳුලින්ම ගැයූ පෙම් ගීතේ සහ ලා සඳ එළියේ සඳට හොරා යන ගීත දෙක. පහුගිය නිවාඩු දවස් 4 හි ගිය ගමනේ කඳුලින්ම ගැයූ පෙම් ගීතේ 10 පාරකට වඩා කියන්න ඇති... :)

    ඒ ගිහින් ඇවිල්ලා සඳුදා අන්තර්ජාලය පිරික්සද්දි මෙන්න මේ ලිංක් එක ලැබුණා.

    https://www.youtube.com/watch?v=Dm_snHrSMA0

    මොන තරම් ආඩම්බර තාත්තා කෙනෙක්ද?

    මේකේ ගයාන්ගේ කටහඬ නුවන් මහත්මයාගේ තරුණ කාලේ කටහඬ වගේමයි. නුවන් මහත්මයාගේ කටහඬ නම් කලින්ට වඩා සෞම්‍යය ගතියක් දැනෙනවා.
    බොහොම සතුටුයි මේ ලිපිය ගැන.

    ReplyDelete
  7. මේ පෝස්ට් එකේ දෙවැනි පිංතූරේ කඳුලින් ම ගැයූ පෙම් ගීතේ ගායනා කරන අවස්ථාවක් නේද? :)

    ReplyDelete