Pages

Saturday 7 March 2015

යටඳොලවත්ත 6 - මඟුල් ගෙදර.....



එවර අප නිවාඩුවට ලොකු ලොකු අම්මලාගේ නිවසට යන විට අපේ අම්මා වෙනදාට වඩා බොහෝ උනන්දුවෙන් ඇඳුම් කට්ටල සකසා ගනු දක්නට ලැබිණි. එය යම් වෙනසක් වුවත් මා එය හාරඅවුස්සන්නට නොගියෙමි.

සුපුරැදු පරිදි දිඟු දුම්රිය හා බස් ගමන්වලින් අනතුරැව හෙම්බත්වී සිටි අප ලොකු ලොකු අම්මලාගේ නිවසට ළඟා වූයේ දවසේ වැඩ බොහෝදුරට නිමා කළ හිරැ, ගේ ඉදිරිපිට තිබූ රබර් ගස් පිරි විසල් කන්ඳට මුවාවෙමින් සිටියදීය.

එහෙත් ලොකු අම්මලාගේ නිවසේ වැඩනම් අහවර වී නැති හැඩක් තිබූ කලබලකාරී පරිසරය නිසා අපට දුරටම පෙනුණි.

තැනෙක පොල් අත්තක් බැඳගත් අයෙකු මකුළුදැල් කැඩුවේය. තවෙකෙකු අතේ වූයේ තීන්ත බුරැසුවකි. ඔහු ඉහින් කණින් තීන්ත නාගෙන තවත් කිහිපදෙනෙකු සමඟ බිත්තිවල අළුත් තීන්ත ආලේපයේ යෙදිණි.

තවත් කිහිප දෙනෙකු වත්ත පිටිය ශුද්ධ කරනු දක්නට ලැබිණි. 

පාරේ සිට ගෙවත්තට ගොඩවූ ගල් පඩි පෙළ වෙනුවට ලස්සන වෙට්ටුවක් දමා කිතුල් ගස අබියසින් නිවසේ පෝටිකෝව දක්වාම දිවෙන අළුත් පාරක් කපා තිබිණි.

බිත්තිවල ගෑ නව තීන්ත සුවඳ පරයා කුස්සිය දෙසින් හමනා කැවුම් කොකිස් වල සුවඳින් මගේ නාසය පිරී ගියේය.

නංගිලාටත් මටත් වූයේ කුතුහලයකි. අම්මලාට ඒ ගැන වගේ වගක් ඇති බවක් පෙනෙන්නට නොතිබිණි. මාමද පෙනෙන්නට නොසිටියේය. මේ අගෝස්තුව නිසා අවුරැද්ද වන්නටත් බැරිය. අපට වූයේ උභතෝකෝටික ප්රශ්නයකි. බැරිම තැන තාත්තාට කිට්ටු වූ මම මේ වෙනස කුමක්දැයි විමසා සිටියෙමි.

ලොකු ලොකු අම්මාගේ දුවක විවාහ වෙන්නට යනවා යැයි තාත්තා මා සමඟ පැවසීය. අපව වඩාගෙන තරගයට පින්වලට දිව් චූටි අක්කා ඇය විය. ජීවිතයේ කවරමදාකවත් විවාහ උත්සවයකට සහභාගී වී නොසිටි මම මේ දකින්නට ලැබෙන අරැමය නිසා සතුටුවූවත් චූටි අක්කා අපෙන් ඈත්වී අප නොහදුනන අයියා කෙනෙකු සමඟ යනවානේදෝයි ඇතිවූ සංකාවෙන්ද පීඩා විඳිමින් දෙලොවක් අතර සිරවී සිටියෙමි.

මේ දිනවල ලොකු ලොකු අම්මාට හා මාමාට බොහෝ වැඩ තිබිණි. අප සමඟ කතා බහටවත් වෙලාවක් ඔවුනට නොවීය. අපේ අම්මා හා තාත්තාද තව පැමිණ සිටි නෑදෑයෝද අළුත් දොර ජනෙල් වලට තිර දැමීම, ලීබඩු ශුද්ධ පවිත්ර කිරීම ආදී කටයුතු වල නිරතවූ අතර මා පොළොවට පොලිෂ් ගා මැඳීමේ කාරියට සහය විමි. එමෙන්ම තාත්තාගේ හා තව නැදෑ අයියලාගේ සපත්තු පොලිෂ් කිරීම වැනි වැඩද මට පැවරිණි.

මම චූටි අක්කාව දැක්කේ කිහිප සැරයකි. අප දුක් වූවත් ඇයගේ මුහුණනම් සතුටින් පිම්බී පාට වැටී තිබිණි. මඟුල් දිනය ළංවන විට මුහුණ තව තවත් එළිය වූයේ හුළං ගසන්නට ගසන්නට එළිය විහිදමින් ආලෝකමත් වන පෙට්රල් මැක්සයේ මැන්ටලය මෙනි.

මඟුල්දාට පෙරදා හැන්දෑවේ සිටම සාලේ ගොක්කොළ, පොල් කොළ හා මල් ගස්වල කොළ ආදිය සමඟ ඔට්ටුවන පිරිසකි. තාත්තාද ඔවුන් ළඟට කිට්ටු වී අදාළ බීමවර්ගයන්ගෙන් ඔවුන්ට උත්තේජනයක් සපයමින් තෙමේද විනෝද වෙමින් සිටියේය. මම තාත්තාගෙන් මේ හදන්නේ කුමක්දැයි ඇසූවිට මඟුල් පෝරැව යැයි කියූවත් එහි හරි අරැත සහ එය කුමක් සඳහාදැයි හරියටම තේරැණේ පහුවෙනිදාය.

තව පිරිසක් සමඟ එකතුවූ මාමා මිදුලේ ලස්සන මඩුවක් සදමින් සිටියේය. එහි සැරසිලි කොට විශාල මේසයක් හා ඒ වටා පුටුද තැබිණි.

කුස්සියට යාබදවද එවැනිම කුඩා මඩුවක් ඉදිවී තිබිණි. එහි බැඳි විශාල ලිප් මත මහා ලොකු කල්දේරම් තබා ගැහැණු පිරිමි කිහිප දෙනෙකුම කෑම ඉවීම පටන් ගත්තේ රාත්රී නමයට පමණය. මේ අසිරි බලමින් එහේ මෙහේ ඇවිදිමින් සිටි මා නින්දට ගියේ අම්මා මට සැරවූ විටය. එතකම්ම මේ සිදුවන අරැමයන්ගෙන් මත්වී සිටි මට නිදි මතක් දැනුණේම නැත.

එදින උදේම නැඟිටගත් අප සැවොම ලහි ලහියේ අලුත්ම හොඳ ඇඳුම් වලින් සැරසුණෙමු. අම්මා අපට අළුත් ඇඳුම් කට්ටල ගෙනා හේතුව මට වැටහුණේ එවිටය.

උදේ සිටම අප මෙන්ම හොඳින් ඇඳ පැළඳ ගත් නෑදෑපිරිස් එකා දෙන්නා නිවසට ඇදෙනු දක්නට ලැබිණි. අපේ මාමාද සුදෝසුදු ජාතික ඇඳුම් කට්ටලයකින් සැරසී කිරි කොකෙකු මෙන් එහේ මෙහෙ උජාරැවට යමින් වැඩ කටයුතු පිළිබඳව සොයු බලමින් පසුවිය. ඒ අතර ජැන්ඩියට කළු කෝට් බෑයක් දමා කළු කුඩයක්ද රැගෙන නිවසට ගොඩවූ යමෙකු හදිසියේ මා නෙතු ගැටුණි. ඔහුගේ මුහුණේ තම බලාපොරොත්තු ඉටුවූ ජයග්රාහී සහ තෘප්තිමත් සිනහවක් රැදී තිබිණි. ඔහුනම් වෙන කිසිවෙකුත් නොව අප කපු සීයා නමින් හැදින්වූ කපු උන්නැහේය.

ඔහු පැමිණ පෝරැවත්, මඟුල් මඩුවත් දෙස බලා පැමිණ සිටි පිරිස් සමඟ සතුටු සාමීචියේ යෙදෙනු දක්නට ලැබිණි. 

මම හැමතැනම දුවමින් චූටි අක්කාව සොයන්නට විමි. ඈ පෙනෙන්නට නොසිටියාය. ඇයගේ කාමරයේ දොර වසා තිබුණු අතර ගැහැණු උදවිය එයට යනු එනු දක්නට ලැබිණි. මා දොර දෙස බලා සිටිනු දුටු මා නැඟෙණියද මා වෙත මුහුණ ඇඳ කොට ඔලොක්කු සිනහවක් පා ඒ කාමරය තුළට ඇදුනාය. මට ඇතිවූ කුතුහලය නිම් හිම් නැතිවිය. 

හිමින් සීරැවේම ගේ පිටුපසින් ඒ කාමරය දෙසට ඇදුණු මා කාමරයේ ජනේලය හැර තිබෙනු දුටුවෙමි. වහාම ඊට කිට්ටු වී කාමරයට කරපෙවූ විට කණ්ණාඩි මේසය ඉදිරිපිට වාඩිවී සිටින මා පොත්වල දැක තිබූ සුරංගනාවියක් දක්නට ලැබිණි. සිනිදු සුමුදු වේලයකින් ඇයගේ හිස සහ මුහුණින් අඩක් වැසී තිබිණි. කාන්තාවක් ඇයගේ හිස කෙස් සකසමින් සිටියාය. ලොකු ලොකු අම්මා, පොඩි ලොකු අම්මා සහ අපේ අම්මා මේ සුරංගනාවිය දෙස ආදරයෙන් බලා සිටියහ. පොඩි ලොකු අම්මා යනු අපේ අම්මාගේ දෙවැනි අක්කාය. අනෙක් අක්කලාත් කාමරයේ සිටි නමුත් චූටි අක්කා පෙනෙන්නට සිටියේ නැත.

කෙසේ හෝ එතැන වැඩි වේලාවක් බලා සිටීමට මට නොහැකි වූයේ අම්මා මා අමතනු කණ වැකුණු හෙයිනි.

වෙලාව මෙසේ ටික ටික ගතවිය. හදිසියේම කාර් කිහිපයක් පැමිණ ගේ ඉදිරිපිට නවතනු හඬ ඇසී මා නංගී සමඟ ගේ ඉදිරිපිටට දිව ගියෙමි. එකෙණෙහිම කං අඩි පුපුරැවා යන හඬින් මහා රතිඤ්ඤා වැලක් පුපුරා ගියේය. වාහන වලින් බට පිරිස් මහත් උජාරැ ලීලාවෙන් ගේ දෙසට ඇවිද ආහ. ලොකු ලොකු අම්මා සහ කැම්පස් කොල්ලා( ලොකු ලොකු අම්මාගේ පුතා) ඇතුළු නෑදෑ පිරිස පැමිණි උදවියට ආචාර කරමින් පිළිගෙන අසුන්ද පැනවූහ. කපු සීයාද තමන්ගේ නැතිවූ ඥාතියෙකු හෝ මිතුරකු හදිසියේම හමුවූවාක් වැනි ප්රීතියෙන් පැමිණි පිරිස අතරට වදිනු දුටු මට කපු සීයා නාදුනන කෙනෙකු නැතැයි සිතිණි.

පැමිණ පිරිස අතර ජැංඩි පහට සැරසී සිටි තරැණ ඉලංදාරියා මනමාලයා බැව් මා දැනගත්තේ පෝරැවට නැංගේ ඔහු නිසාවෙනි. 

අපේ මාමා අර මා කාමරයේ දුටු සුරංගනාවියව අතින් අල්ලාගෙන කැදවාගෙන විත් පෝරැවේ වම්පසින් මනමාලයත් සමඟම පෝරැව මතට නැග්ගවීය. පෝරැව වටා රැස්ව සිටි පිරිස මැදින් රිංගා ලගටම ගිය මට සුරංගනාවියගේ මුහුණ පැහැදිලිවම පෙනුණි. ඇය මා දෙස බලා ආදරයෙන් සිනහසුණාය. 

සිනහව ඉතාමත්ම හුරැ සිනහවකි. මා නැවතත් ඈ දෙස තවත් උනන්දුවෙන් බැලුවෙමි. ඒ උදේ සිටම පෙනෙන්නට නොසිටිය චූටි අක්කා බැව් වැටහුණේ එවිටය.

පෝරැවේ පැයක් පමණ ඔවුන් සිටුවා වයසක ආතා කෙනෙකු පිරිත් හා අෂ්ටකද (ඒ කියු දේ වලට කියන්නේ අෂ්ටක බැව් පසුව අම්මාගෙන් මා අසා ගතිමි) ඊට පසුව තවත් දැරිවියන් කිහිප දෙනෙකු ජයමංගල ගාථාද සජ්ගායනයෙන් අනතුරැව තවත් චාරිත්රවාරිත්ර කිහිපයක්ම සිදු කළත් මට ඒවා හොඳින් නොපෙනුණි. 
එහෙත් ඔවුන් පෝරැවෙන් බිමට බහිද්දීම රෙදි මාමා( ලොකු ලොකු අම්මලාගේ ගෙදරට ආ ගිය රෙදි අපුල්ලන ඩෝබිට අප කිව්වේ රෙදි මාමා කියාය) දුන් කැති පහරින් දෙකට බිඳී ගිය පොල් ගෙඩියේ හඬින්නම් මම මඳක් තැති ගතිමි.

ඉන්පසුව කෑමබීම හා සතුටු සාමීචි කතාද ඉන්පසුව දිවා භෝජනයද පිළිගැන්විණි. කෑමෙන් පසුව නෑදෑ දෙපාර්ශවය වෙනුවෙන්ම කිහිප දෙනෙකු කතා පැවැත්වූහ. 

සියල්ල අවසානයේ චූටි අක්කා අප නාදුනන ඒ මනමාලයා සමඟ යන මොහොත උදාවිය. මට ඇතිවූයේ මහත්ම වූ දුකකි. ලොකු ලොකු අම්මාගේ,මාමාගේ හා අපේ අම්මාගේ කඳුළු පිරි දෙනෙත් දුටු මට සිතේ තදකරන් සිටි දුක් කන්දරාව තවත් සඟවාගෙන සිටීමට නොහැකි බව හැඟුණි.

සැමගේම සතුටු කඳුළු මැද චූටි අක්කා පිටත්ව ගියාය. මහා කුණාටුවකට පසු පාළුවී හේබා ගිය උයන් තෙරක් සේ සැමතැනම දිස්විය. 

රාත්රියට හරියට ආහාරයක් වත් නොගත් අප තම තමන්ගේ ඇඳන් වලට වැටුණේ වෙනදාට වඩා බොහොම කලිනි.

රාත්රියේ ලොකු ලොකු අම්මාගේ කාමරයෙන් ඇසුණු ඇයගේ සුසුම් එවෙලේ ගස් අඹරමින් හැමු වැහි සුළඟේ හඬ පරයා මට ඇසිණි.

තව කොටසක් ලබන සතියේ....


පළමුවන කොටස https://www.facebook.com/chandana.gunasekera/posts/10205699402714803:0

දෙවන කොටස https://www.facebook.com/chandana.gunasekera/posts/10205760375399082:1

තෙවන කොටස https://www.facebook.com/chandana.gunasekera/posts/10205808428520380:1

හතරවන කොටස https://www.facebook.com/chandana.gunasekera/posts/10205859610119888:1

පස්වන කොටස https://www.facebook.com/chandana.gunasekera/posts/10205915955488487:0

-චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

5 comments:

  1. අගේ අැති අකුරු කෙරිල්ල............ පොඩි ඒකෙකුගේ අැසින් නියමෙට ලියලා..... ඉස්සර මටත් මතකයි අපි මගුල් ගෙවල් වලට විතරක් නෙමෙයි මල ගෙවල් වලටත් මාර අාසයි..... අැයි නිමයිනේ..... පාසල් යන්න නැහැ...... කන්න ඔ්නේ තරම්..... නිදහස ඊටත් ඒහා... අනික පවුලේ පොඩ්ඩෝ හැමෝම ඒනවානේ...............

    ReplyDelete
  2. ඔයාගේ ලිපිය කියවන කල්ම මැවිලා පෙනුනේ අපේ අම්මගේ දෙවැනි නංගිගේ වෙඩින් එක,, එතකොට මාත් පොඩියි. හැමදේම ඔය විදියට සිද්ද වුණේ,, පොල්කොළ පෝරුව ,,,,මාත් ජයමංගල ගාථා කියන්න මාසයක් තිස්සේ පුරුදු වුණා.. ඔයා ලියලා තියෙන විදියෙන් හැම සිද්දියක්ම මතකය අවදි කරවනවා,, ස්තුති අයියේ,,,

    ReplyDelete
  3. 'මල්ලිගෙ විත්ති' පොතට පස්සෙ දුටුව ළමා වින්දනයක් දැනෙන අපූරු ලියමන.
    මට මගෙ අක්කගෙ වෙඩිම මතක් උනා.දැං යටදොලවත්ත හොඳ පුරුදු තැනක් වගේ දැනෙනවා.ඊලඟ කොටසත් ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  4. මටත් ඔහොම මතක තියෙන්නෙ අපේ සීයා මාමගෙ මඟුල් ගෙදර... අපේ ආච්චිගෙ පොඩිම මල්ලිට අම්මලා මාම කිව්ව නිසා, ඒත් නෑ කමට මට සීයා වෙච්ච නිසා සීයා මාමා කිව්වෙ... ඔය කියපු ජාති ඔක්කොම තිබ්බද කොහෙද... හි හි

    ඒ උනාට මං නං වැඩිය ආස උනේ මල ගෙවල් වලට... ඒවට ඔය ඇඟ කසන බූත ඇදුම් ඇඳගෙන ඉන්න උනේ නෑ නේ...

    ReplyDelete
  5. මහාචාර්ය මිණිවන් පී තිලකරත්න ගෙ පොතක් තියෙනව ගමක වත කියල.. චන්දන සමහරවිට කියවලත් ඇති.. ඒක පර්යේශණාත්මක නව කතාවක්.. සාමාන්‍ය ගමක වෙන හැම සිදුවීමක්ම වගේ ඇතුලත් කරල ඒ චාරිත්‍ර ගැන එහෙම සඳහන් කරල ලියල තියෙන්නේ. කාලෙකට කලින් ආසාවෙන්ම කියවපු පොතක්..
    මට දැන් දැන් මේ සටහන් ටික දැනෙන්නෙත් අන්න ඒ වගේ. උත්සාහ කරන්න පුළුවන්නම් මේ ටික පොතකට ගේන්න.. බොරුවට කියනවා නෙවෙයි. 'ගමක වත' කියෙව්වට වඩා ආසවෙන් මේක කියවන්නේ. ලියල තියෙන්නේ අත්දැකීම්ම නිසාත්, මේ කාලයේදී මේ කතාවල අගය වැඩියෙන් දැනෙන නිසාත්.. ජය ශ්‍රී!

    ReplyDelete