Pages

Friday, 13 March 2015

කාල නදී ගලා බසී.........



කළුතර බෝධිය අසබඩින් මහ මුහුද සිප ගන්නා කළු ගඟට මා පෙම් බැන්ඳේ ඉතාමත්ම කුඩා කාලයේ සිටය. අප ගම නමින් හැදින්වූ යටඳොලවත්තට අනුරාධපුරයේ සිට දුම්රියෙන් එද්දී දකුණු කළුතර දුම්රිය පළට සේන්දුවන හැම අවස්ථාවකම කළු ගඟ දෙස බලා මම සතුටු වූයෙමි.

ඉන් පසු කළු ගඟ පිළිබඳව වූ මගේ මතකය අලුත්වූයේ 80 දශකය අග භාගයේදී පමණ රෑපවාහිනියේ විකාශනය වූ " කඩුල්ල" ටෙලි නාට්ය නරඹද්දීය. මා එය හා බද්ධ වූයේ ඉතාමත්ම තදිනි. කරන්නාගොඩ රාළහාමි, මනුවෙල් උන්නැහේ හා කුරැස මුදලාලී මගේම නෑදෑයන් සේ මට දැනුණි. මම කළු ගඟේ ඔවුන් සමඟ පිනුම් ගැසුවෙමි.

ඒත් මා අද ඔබට කියන්නට සැරසෙන්නේ මා කුඩා අවධියේ ගමේ ගිය තොරතුරැවත් කඩුල්ල ටෙලි නාටකය පිළිබඳවත් නොවේ. ඊටත් වඩා මගේ හදවත කළු ගඟට බද්ධ කළ මගේ හදවත සොරාගත් සාහිත්ය ගෙත්තමක් පිළිබඳවයි.

එනම් සාදිරිස්ලාගේ,තන්ඩලේගේ,පැණිගල අයියාගේ,ගෝවින්නගේ,පාරැ සයිමාගේ හා කුමතේරිස්ගේ දිවි ගමන පිළිබඳව වූ වෘතාන්තය ගැනයි.

ඒ ඈත අතීතයේ පාරැවෙන් කළු ගඟ ජය ගත් ඔවුන්ගේ සුසුම් වැල් මට අදද දැනෙයි. ඔවුන්ගේ ජීවන සුවඳ දැනුත් දසත හමනවා වැනියි.

පාරැ ජීවිතය පිළිබඳ මා එතරම් දැන නොසිටියෙමි. ඒ මට ඒ ගැන අත්දැකීමක් ලැබීමට වටපිටාවක් හෝ අවස්ථාවක් නොලැබුණු නිසාය. ඒත් පහුගිය සති කිහිපයේ මා ජීවත් වූයේ තන්ඩලේගේ පාරැවේ ඔවුන් සමඟ කළුගඟේ යාත්රා කරමිනි. 

අටුවා ටික අවශ්ය නැත. මා මේ කියන්නට සැරසෙන්නේ ප්රවීණ ලේඛක නෝබට් අයගමගේ සූරීන්ගේ සම්මානනීය නව කතාව වන "කාල නදී ගලා බසී " කෘතිය පිළිබඳවයි. මම එය ගිය සතියේ කියවා නිම කළෙමි.

එතුමා ප්රවේශයේ ලියූ මේ වදන් වැලින්ම මා කෘතියට පෙම් බැඳීම ඇරඹුවෙමි. 

" එකම ගඟට දෙවරක් බැසිය නොහැකියයි කියමනක් තිබේ. එසේය. ගඟ සෑම නිමේෂයක් පාසාම වෙනස් වන්නේය. ගඟ දිය අලුත් වන්නේය."

" ගඟ දිය මත යාත්රා කරන්නෝද එසේමය. වරෙක කෝපයෙන් වියරැ වැටෙති. වරෙක ප්රේමයෙන් ආතුර වෙති. තම සාම්ප්රදායික ජල යාත්රාව මත තම මුළු ජීවිත කාලයම ගෙවා දමන ඔව්හු, හැමදාමත් අලුත් ගම් බිම් දකිති. අලුත් මිනිසුන් ඇසුරැ කරති."

" ලෝකය වෙනස්වන අයුරැ මුලින්ම දකින්නේ ඔවුහුය." 
( පිටුව 9)

සුදු අධිරාජ්යවාදීන්ගේ රබර් වැවිල්ලෙන් ඇරඹෙන කතාව සාදිරිස් නම් කොලු ගැටයකු වටා ගෙතී අපූරැවට දිව යයි. මව් අහිමි පිය සෙනෙහසින් දුරස්වූ සාදිරිස් තම පුංචි අම්මාගෙන්ද සහනයක් නොලැබීය. මව්ගේ මරණින් පසු තම පියා හා දීඝ කෑ මව්ගේ නැඟෙනිය වූ පුංචි අම්මාට වහ වැටුණු ගමේ චණ්ඩියාවූ ගවරාගෙන්ද සාදිරිස්ට නිවනක් නොවීය. ඔහුට තිබි එකම සැනසුම වූයේ තමන්ට වඩා වසර කිහිපයකින් වැඩිමහලු මැගිලින් අක්කාගේ සෙනහස, ආදරය පමණි.

දිනෙක සාදිරිස්ගේ ඉවසීමේ සීමාව අවසන් විය. ගවරාට ජීවිත කාලයටම පාඩමක් උගන්වා ගමෙන් පැන ගිය ඔහු නතර වූයේ තන්ඩලේගේ පාරැවේය.

එතැන් පටන් දිවෙන සාදිරිස්ගේ අන්දරය ත්රාසය,භීතිය,කුතුහලය හා ප්රේමයෙන් සන්නද්ධව දිගටම ගලා යන්නේ කළු ගඟටත් වඩා වේගයෙනි. විටෙක චණ්ඩ වී ඉවුරැ පොඩි කරමින් ගලා ගිය එය තවත් වරෙක ඉවුරටත් නොදැනී ගලා බසිනා පුංචි දිය පාරක් වුණි.

එක පිටුවක් කියවූ විට අනෙක් පිටුව කියවා නිමකිරීම සහ එක ඡේදයක් කියවූ විට අනෙක් ඡේදයත් කියවීමට අප පොළඹවන කුමක්දෝ රසයක් පොත පුරාවටම පැතිරී තිබිණි. සිත් ගන්නා වාග් මාලාවත් නැවුම් උපමා උපමේයත් මෙම ඇබ්බැහි වීමට පිටුවහලක් වූ බව මගේ හැගීමයි.

සාදිරිස්ට පෙම් බැඳි තරැනියෝ දෙදෙනකු වූහ. එකියක ඉතා ධනවත් පවුලක එකම දියණිය වූ අතර ඇයගේ ජීවිතය කළු ගඟට බිලි වීමට නොදී බේරා ගැනීමට සාදිරිස් සමත්විය. සාදිරිස් ඇයව දුටුවේ සුපිපි දෝතළු මලක් විලසිනි.

අනෙක් තරැණිය දිළිඳු පවුලක එකියක වූ අතර ඇයගේ සිනහව පිරි මුහුණ වර්ණනා කිරීමට කතුවරයා යොදාගත්තේ බෝ පත්රයයි. 

චිත්ත රෑප මවමින් අපව ඒ පරිසර වල ජීවත් කරවීමටත් ඒ ඒ පුද්ගලයන්ව හොඳින් හඳුනා ගැනීමටත් නෝබට් අයගමගේ සූරීන් සමත්ව තිබුණේ ඉතාමත්ම විශිෂ්ට අයුරිනි.

එතුමා යොදාගෙන තිබූ උපමා උපමේයන්ගේ තිබුණේ අති නැවුම් බවකි.

" මෙය නම් 'ජෝන් බාස්' පමණක් නොව ජෝන් බාස්ගේ බාප්පාද ගස් යන වැඩකි"
(පිටුව 232)

" නාගස ළපලු දළුපත් මඟින් පවන් සැලුවේය. හීතල පිනි අහුරැ උණුසුම් කොපුල්තල තෙත මාත්තු කරමින් ඇද හැළුණේය.යුවතියගේ පිටේ ඇතිල්ලෙමින් තිබුණු හීන් බට පඳුරේ රිකිල්ලක් ඔහුගේ දෑත්ලට හිරවී තැලී මිරිකී ගියේය."

" දෙවියන්ගේ රාත්රියේදී ඇය එකම එක නිමේෂයක් තුළ දෙවියන් හැබැහින් දුටුවාය. දේවදාසිය සිහින් කෙඳිරියක් නැඟුවේ ඒ මොහොතේය."
( පිටුව 234)

මේ ඒ අවස්ථාවේ ප්රේමය හා ප්රේම ආලින්ඝනයත් , එය අවසන ලැබූ සුරතාන්තයත් එතුමා විස්තර කළ අයුරැයි. කෙතරම් නම් ලස්සනද? විනීතද?

" අපි ගින්දර කෑවොත් පුතේ , වමාරන්න වෙන්නේ අඟුරැ"
( පිටුව 234) මේ තන්ඩලේ සාදිරීස්ට අනතුරැ හැඟවූ ආකාරයයි.

" දෝතළු ඇල්ල ආවේශ වූවා සේය. අකීකරැ දිය පහර, දෙගල්දොරැ අතරින් රිංගා යමින් දෙපස නෙරැ කිති කවමින් දොරැ දෑලේ වැඩුණු දියහවරියා පඳුරැ පීරා යමින් ගලා ගියේය. එය වරෙක ප්රචණ්ඩකාරී විය. වරෙක මෘදු මන්ද රිද්මයක් ගත්තේය. වරෙක සුමට, ලිස්සනසුලු පාෂාණ නිම්න තලාවේ ලැසි ලෙස ඇතිල්ලෙමින් ගලා බැස්සේය. මෙලෙස බොහෝ වේලාවක් ගතව ගියේය. ඇල්ලට ඉස්පාසුවක් තිබුණේම නැත.
( පිටුව 309)

ප්රේමයෙන් ආතුරවූ දෙදෙනකුගේ සම්භෝගය, රමණය විස්තර කරන්නට එතුමා දෝතළු ඇල්ලේ චරියාව යොදා ගත්තේ එසේය. 

ඉන්පසුව එතුමා පවසන මේ වදන් කෙතරම් නම් සුන්දරද? නිර්මාණශීලීද? චිත්ත රෑප මැවෙනවා නොවේද?

" අහසේ සිනිඳු වලා සේද සේලයක් එහෙට මෙහෙට වී තිබුණේය. එහෙත් , අහසට ඒ ගැන නිනව්වක්වත්, ගනිච්චියක්වත් නොවීය.එය එකලස් කර ගන්නටද සිතුවේ නැත. නිරැවත් අහසට තවත් සඟවා ගන්නට හෝ රැක ගන්නට දෙයක් නොවීය."
(පිටුව 310)

කෙතරම් නම් අපූරැවට ඒ සිද්ධවූ සංසිද්ධිය අප අවට පරිසරයම යොදා ගනිමින් එතුමා අප වෙත ගෙනා අයුරැ ප්රශංසා සහගතය.

පරම්පරා ගණනක් පුරා පැවත එන වෛරයක් සමඟම වස්තුවකට ඇති තණ්හාව නිසා නැතිවන මිනිස් ජීවිත වලින් අපට ගෙන එන පාඩම තණ්හාවේ ආදිනව කියාපාන කැඩපතක් පරිද්දෙන් මුළු කතාව පුරාම දිස්නේ දෙයි.

විදේශීය ආක්රමණත් සමඟම රටේ ඇතිවූ දේශපාලනික, ආර්ථික හා සංසකෘතික පරිණාමය එතුමා විස්තර කරන ආකාරය ඉතාමත්ම අපූරැය. 

සමස්තයක් වශයෙන් ගත් කළ ඉතාමත්ම සාර්ථකව බස හැසිරවූ නවකතාවක් බව මගේ හැගීමයි. මා ඉතාමත්ම ආශාවෙන් , එයටම බද්ධ වී හා එහිම ජීවත් වෙමින් කියවූ නව කතාවක් බවද නොකියාම බැරිය.

මෙවැනි සාරවත් නව කතාවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් නෝබට් අයගමගේ සූරීන්ට මගේ ප්රණාමය පුදකරන අතර මෙවැනි නිර්මාණ තව තවත් බිහිකිරීමට අවශ්ය ශක්තිය, ධෛර්ය, හිතේ නිදහස හා නිරෝගි සුව එතුමාට නිරතුරැවම ලැබේවායී ප්රාර්ථනා කරමින් මගේ සටහන අවසන් කරමි.

-චන්දන ගුණසේකර-

5 comments:

  1. පොත නම් ලස්සනයි වගේ.. මේ ගැන ලිවුවට ස්තූතියි..

    ReplyDelete
  2. මම මේ පොත කියෙව්වා තැන්ක්ස්

    ReplyDelete
  3. මම මේක කියෙව්වා . සුපිරි කතාවක්

    ReplyDelete
  4. කිව්වත් වගේ පොත නම් නියමෙට අැති.....

    ReplyDelete