Pages

Thursday 28 November 2013

ගතින් දුබලමුත් හිත හයියයි අම්මේ.....

   ස්වාධීන රූපවාහිණියේ වෙනස වැඩ සටහනෙහි පසුගියදා විකාශණය කෙරුණු හද කම්පා කරවන අම්මා කෙනෙකුගේ කථාවක් දැකීමෙන් මෙම කවිය නිර්මාණය කිරීමට මට සිත් විය. ඔබට හැකිනම් එම වැඩ සටහන සොයා ගෙන නරඹන මෙන් මම කාරුණිකව ඉල්ලා සිටිමි. 
කථාව සැකෙවින් මෙසේයි. 
මෙම මෑණියෝ දරුවන් එකොලොස් දෙනෙකුගේ මවකි. දෛවයේ සරදමකින් ඉන් සත් දෙනෙකු මන්ද මානසික හා ඉතා දරුණු අන්දමින් ශාරීරක දෝෂ වලින්ද පෙලී ඇති අතර දරුවන් පස් දෙනෙකුම අඩු වයස්වලදීම ජීවිත වලින් සමු ගෙන ඇත. ඉන් පසුව නීරෝගිව සිටි දරුවන් සතර දෙනා දෙමව්පියන් අතහැර ගොස් ඇති අතර පියාද ජීවිතයෙන් සමු ගෙන ඇත. 
දැන් මේ මව අවුරුදු 31 ක්වු මන්ද මානසික දියණිය හා අවුරුදු 28 ක්වූ මගේ කවියේ කථා නායක ශාරීරික ආබාදැති පුත්රයා සමඟ දිවියට උර දෙයි. ඔවුනට ඉන්න හිටින්නට ගෙයක් දොරක් නැත. ඇයට ඇගේ නෑදැයින් මෙම දරු දෙදෙනා මඩමකට බාරදී ඔවුන් ළඟට එන ලෙස ඇරයුම් කලත් මේ ආදරණීය අම්මා ඔවුන් දෙදෙනාත් සමඟ විසුමට තීරනය කොට ඇත. ඉතිං මේ පුතා තම අම්මා හා අක්කාට විසුමට නිවසක් තනා දීම සඳහා රෝද පුටුවේ සිටම ගෙන යන අරගලය දෑසට කඳුළක් නොගෙනාවොත් ඔබ මනුස්සයෙකු දැයි මට සැකයක් උපදී. ඔහු දෙවියන්ගෙන් ඉල්ලන්නේ එකම එක දෙයකි. එයනම් අම්මාට කළින් තමන් මිය යන ලෙසයි. නමුත් ඊට පෙර ඔහුගේ සිහිනය අම්මාට ගෙයක් සාදා දීමයි. අඩි එකහාමාරක්වත් උස නැති මෙම තරුණයාගේ  කකුල් දෙකක් ඇත්තේම නැත. මුළු වැඩසටහන පුරාවටම එම ප්රදේශය සරමින් ආවරනය කර ගෙන සිටි ඔහු කිසි විටෙක කඳුළු සැලුවේත් උදව්වක් ඉල්ලුවේත් නැත. අම්මා ඔහුව ඇයගේ පියා යනුවෙන් හඳුන්වද්දී එතරම් වේලාවක් මා ඇස්වල තදකරන් සිටි කඳුළක් එලියට පැනීම මට කෙලෙසකවත් නතර කර ගැනීමට නොහැකි විය.
එතරම් ආබාධ ඇතිවත් ඔහු හඳුන් කූරු වෙළදාමේ හා ඩ්රම්ස් වාදනයේ යෙදෙමින් මුදල් සෙවීමට ගන්නා වෙහෙස හොඳින් අත පය ඇති කාහටත් මහඟු ආදර්ශයකි.
මෙය කියවා බලා ඔවුනට අපගේ යම්කිසි උදව්වක් කල හැකි වුවොත් මගේ උත්සහය සාර්ථක විනි යැයි සිතා මට ආඩම්බර විය හැක. ස්වාධීන රූපවාහිණියෙන් ඔවුන් පිළිබඳ කිසියම් තොරතුරක් ලබා ගතහොත් අප සැමගේ දැනගැනීම පිණිස පළකරන මෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. අපට තනිවම ලොකු උදව්වක් කලනොහැකි නමුත් අප සැවොම පොඩි උදව් සමඟින් එකතුවූ කළ ලොකු උදව්වක් කලහැකි බව ඔබට මතක් කරමින් අදට නවතින්නම්...

පහත ලින්කයෙන් එම වෙනස වැඩ සටහන ඔබට නැරඹිය හැකිය..




දෙපයට පොලොවේ පහසක් කිසිදා දැණිලා
නැත බුදු අම්මේ මම නෑ ඒ ගැන සිතලා
රෝද පුටුවේ මා ඉපැඳුණ දා ඉඳලා
විඳිනා දුකට නැත මා කඳුළැලි සලලා
   
අයියලා පස් දෙනෙකු මියැදුණි බාලවියේ
ඇති හැකි සොයුරු සිව් දෙන අප අතැරගියේ
දුක උහුලනු බැරි තැන අප්පච්චිලයේ
අප තනිකර දෙව් ලෝකෙට ඉඟිලගියේ
   
මඳ බුද්ධියෙන් යුතු සොයුරිය හාමවට
විසුමට හිසට සෙවනක් ඉඳිකරදෙන්ට
හඳුන් කූරු විකුණා එනසොච්චමට
කොයි කල්පයක් ගතවෙද නොදැනේසිතට
   
කඩේ ඉදිරි පිට ගිනි අව්වේ තැපලා
හඳුන් කූරු විකුණමි පුටුවේ ඉඳලා
රාත්රියට සංදර්ශන වල නැඟලා
බෙර පද මෙහෙයවමි යයි අතැඟිළිපැළිලා
   
මට ලොකු පැතුම් නැත දෙවියන්ගෙන්ගන්න
ඇති එක සිහිනේ නම් අම්මටසලකන්න
ගෙයකුත් තනා දුන් පසු ඔවුනටඉන්න
අප්පච්චී හමුවට මාඇරලන්න

Image: livingfithealthyandhappy.com
  

33 comments:

  1. සඳුන් අයියේ උඹට මිනිස්සු අඬවන්න පුදුම හැකියාවක් තියෙනවා, කිව්පදයක් පදයක් ගානේ සංවේදීකම උතුරනවා..... උඹට ජය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලේ හැමදාම වගේ උඹේ දිරි ගැන්වීම මට විශාල හයියක්. උඹට වෙලාවක් ලැබුනාම අනිවාර්‍යයෙන්ම මේ වැඩ සටහන බලපං. ඒ පුතාගේ හඬින්, ඒ අම්මාගේ හඬින් අහන්න ඕනේ. මම දන්නවා අපි හැමෝටම කරදර තියෙනවා ඒත් අපි ඔක්කොම එකතු උනොත් ලොකු උදව්වක් කරන්න පුළුවන් කියලා මට හොඳටම විශ්වාසයි. අපේ ලංකාවේ ඉන්න මිතුරැ මිතුරියෝ තව විස්තර හොයලා දෙනවානම් එය අපට විශාල පිටුවහලක් වේවි.. උඹට ජය!!!!

      Delete
  2. මේ කියන වැඩ සටහන බැලුවේ නැති උනාට අවශ්‍ය චිත්ත රූප හා සංවේදනා සියල්ල මැවුනා උඹේ සටහනෙනුයි කවි පෙලිනුයි. ස්තුතියි මචන් මේ නිර්මාණශීලී හෙළිදරව්වට. හදවත බර වුනා . තවත් හිතන්න ගොඩක් දේවල් ඉතිරි උනා .

    ReplyDelete
    Replies
    1. උඹට ගොඩක් ස්තූතියි තිලකේ ඇඟැයීමට! උඹට වෙලාවක් ආවොත් බලපං. ඒ පුතාගේ කට හඬින් අහන්න ඕනේ මචං. උඹ ලංකාවට ගියාම පොඩ්ඩක් හොයලා බලපං. මං හිතන්නේ අපිට මොනයම්ම හරි උදව්වක් කරන්න හැකි වෙයි. ඒ පුතාගේ ධෛර්‍යය තමයි මචං හිතා ගන්න බැරි.. උඹට ජය!!

      Delete
  3. සහෙන්න හිතට දැනෙන කවි පංතියක්..
    මම නම් පුද්ගලිකව වෙනස වැඩසටහනේ මේ වගේ අයගෙන් අහන ප්‍රශ්න ගැන සෑහීමකට පත් වෙන්නේ නෑ. ඒ වගේ අයගෙන් අහන්නේ හිත කීරි ගහෙන ප්‍රශ්න.. වෙලාවකට ඒ අයගෙන් අහපු ප්‍රශ්නෙටම ඔවුන්ට ඇඩෙන අවස්ථාත් නැතුවම නෙමේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මධු මලේ කවි රස වින්ඳට. අපි බලමු ඒ අයට මොකක් හරි උදව්වක් කරන්න පුළුවන්ද කියලා. උඹට ජය!!!

      Delete
  4. මොනවා කියන්නද කියලා මට තේරෙන්නේ නැහැ. හිත බර වෙනවා..මීට කලිනුත් වෙනස එකේම පෙන්නුවා අවුරුදු 40ක් ගානක් වෙච්ච ආබාධිත පුතාව අම්බලමක තියාගෙන හදාවඩා ගන්න වයෝවෘධ අම්මා කෙනෙක් ගැන. ඒ වැඩසටහන කරන්න ගිය අයගෙන් මේ අම්මා අහනවා පුතාලා කාලද ඉන්නේ...තියෙන හැටියට බත් කටක් කමුද කියලා....මටයි වයිෆ්ටයි ඇඬුනා බං.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං! අපේ නෝනත් දිඟටම අඬ අඬා තමයි බැළුවේ. මට සාමාන්‍යයෙන් කාන්තාවෝ අඬනවා දැක්කම වැඩිය කඳුළු එන්නේ නෑ. නමුත් පිරිමියෙකුගේ කඳුළු මට දරා ගන්න බෑ. ඉතිං ඒ පුතා පේන්න නොහැඬුවත් ඒ කට හඬ මට වාවන්නේ නැතුව ගියා. අම්මා හදුන්වනවා පුතාව උඹ මගේ තාත්තා කියලා. ඒකම මදිද මචං ලබන ආත්මේ නිවනට යන්න.

      Delete
    2. අරූ කියන දේම තමයි චන්දන මට කියන්න තියෙන්නේ... ආයේ අමුතුවෙන් හදලා කියන්න දෙයක් එන්නේ නැහැ ...

      Delete
    3. ස්තූතියි සහන්! මගේ මුහුණු පොතේ කවිය දැකලා සොයුරියක් මොබයිල් නොම්බරයක් එවලා තිබුනා.ඒකට කථා කරලා බලන්න ඕනේ.

      Delete
  5. මටත් ඒ වගේ සංවේදී අවස්ථාවලට මුහුණ දෙන්න ටිකක් අමාරුයි.නමුත් අපි මනුෂ්‍යයෝ හැටියට අපට හැකි පමණින් අසරණවුණු අපේම කොටසකට පිහිට විය යුතු බවයි මගේ හැඟීම.මනුසත්කම තාමත් රැඳිලා තියෙන්නේ ඔබ වගේ තවත් මිනිස් ජීවිතයක් ගැන සංවේදී මිනිසුන් නිසා.

    ReplyDelete
    Replies
    1. තනි තරැවේ ඔබව මුළින්ම සඳුන් සෙවනට ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඔබ ඒ කට හඬවල් ඇහුවනම් ඔබ තවත් සංවේදී වෙනවා. අපිට කුමක් හරි උදව්වක් කරන්න තියෙනවානම් ඒක ලොකු දෙයක් විදිහටයි මම දකින්නේ. නැවත සඳුන් සෙවනට පිවිසෙන්න. ඔබට ජය!!!

      Delete
  6. මේ වගේ වැඩ වලට පැනලා උදව් කරන්න සිත් දරාගෙන ඉන්න අපිට යහමින් මුදල් නෑ...යහමින් මුදල් තියෙන උන්ට අපේ වගේ හිතක් නෑ...මේ දෙකම සමපාත වෙන අයට වැඩි වැඩියෙන් මේ කාරණාව නෙත ගැටෙන්න කියා පතනවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං! අපිට තනියමනේ ලොකු වියදමක් දරන්න බැරි. නමුත් අපි එකතු උනොත් තමන්ට හැකි විඳිහට සම්මාදම් වෙලා සෑහෙන ලොකු උදව්වක් කෙරැවැහැකි...

      Delete
  7. හුඟක් සංවේදි දේවල් මම බලන්නේ කියවන්නේ නම් අපහසුවෙන්.. මොකද හුඟක් වෙලා යනකන් ඒ දේ හිතට දැනෙන්නේ අමුතුම විදිහකට.. වැඩසටහනන්ම් ඉතින් මම බැළුවේ නෑ.. ඒත් කවි ටික නම් දැනුනා හොදටම..

    ReplyDelete
    Replies
    1. කවි රස වින්දට ගොඩක් ස්තූතියි දිනේෂ් මලේ!! හරිම දුක හිතෙන සිද්ධියක්...

      Delete
  8. කවි ‍ටික කියවනකොට මගේ ඇස්වලට කඳුළු ආවා, සඳුන් අයියේ. හුඟක් සංවේදී කවි පෙළක්. විස්තර හොයාගෙන අපි අපි එකතු වුණොත් උදව්වක් කරන්න පුළුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාගේ ඇඟැයීමට නංගී. ඔයා හරි අපි එකතු උනොත් ලොකු උදව්වක් කරන්න පුළුවන්. මම ලංකාවේ ඉන්න අයටත් කියලා තියෙන්නේ.
      ඒක නෙමේ ඔයාගේ නමත් මම දැන ගත්තා...

      Delete
    2. ප්‍රියා අයියාගේ චූ‍ටි දෝණි ගැන පෝස්‍ටුවට ‍මම දාල තිබුණ කොමෙන්ටුවෙන් වෙන්න ඕනේ :)

      Delete
  9. කතාව දැක්කේ නැතත් උඹේ ලියවිල්ලයි කවි පද ටිකෙනුයි කදුළු උනන ලෙසටම ලියවිල්ල පට මචං.
    මගේ පියාත් යාලුවෝ එක්ක එකතු වෙලා පුළුවන් විදියට ඔය වගේ අයට පිහිට වෙනවා බං.
    ලංකාවෙ ඔය එක කේස් එකක් නෙමෙයිනෙ.
    මේක මාතලන්ගේ සින්ඩියේ එල්ලුවේ නැතෙයි?
    දිගටම ලියහන්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙන්ජි මේ පැත්තේ ආවට! හැමදාම එන්න කියලා සුහදව ඇරයුම් කරනවා. අපිට තනිවම ලොකු දෙයක් කරන්න බැරිවෙයි. ඒත් යමක් කල හැකියිනේ. හිතලා බලපං අපි බෝතලයකට වියදම් කරන සල්ලි වලින් ලංකාවේ පවුලකට දවසක් කන්න පුළුවන්.
      අරෑ අයියගේ මඟ පෙන්වීම යටතේ මාතලන්ගේ සිංඩියේ එල්ලුවා. ස්තූතියි මචං හෝඩුවාවට!!!

      Delete
  10. චන්දන අයියෙ. ඇත්‍තෙන්ම හරිම සංවේදී විදියට පද ටික ගොතලා තියෙනවා.
    මෙහෙම දරුවො ගැන ඔමාත් පෝස්ට් එකක් දාලා තිබුනා.
    ඇත්තෙන්ම මෙහෙම දරුවන්ට අත් දීම මිසක් අනුකම්පාව කිරීම නෙමේ විය යුත්තේ. දෙපයින් හිටගන්න ඔහුන්ටත් හැකි බව ඔහුන්ටම ඒත්තු ගැන්විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. චතුරංග මල්ලි ගොඩක් ස්තූතියි ඇඟැයීමට! ඇත්ත අපි අනුකම්පා කර කර හිටියොත් එයාලගේ බඩ පිරෙන්නේ නෑ. මට නොම්බරයක් ලැබුනා. ඒකට කථා කරලා වැඩි විස්තර දන්වන්නම්..

      Delete
  11. ලින්කුව බලන්න නම් ගියේ නෑ..........ගොඩක් සංවේදී සටහනක් සහ කවි පෙළක්..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රෙහානී ඔයාගේ ඇඟැයීමට!!!

      Delete
  12. අන්තිම පදේට ඇග ඇතුලෙ විදුලියක් කෙටුව වගෙ උනා චන්දන

    ReplyDelete
    Replies
    1. දමිත් ඔක්කොටම ඉස්සෙල්ලා ඔයාව සඳුන් සෙවනට ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා!
      ඔයාට එහෙම දැනුනානම් මගේ නිර්මාණය, මම දෙන්න උත්සහ කල පනිවුඩය ඔයාලට දැණුනා කියලා මට අවංකව සතුටු වෙන්න පුළුවන්. එයට ඔබට ගොඩක් ස්තූතියි!
      පුළුවන් උනොත් ඒ වැඩ සටහන නරඹන්න. ඒ පුතාගේ හඬින්ම ඔයා ඇහුවොත් එන කම්පනය වචන වලින් කියන්න බෑ. මම කොහොම හරි මොනයම්ම උදව්වක් කරනවා ඒ පුතාගේ ධෛර්ය්‍යට.
      නැවතත් සඳුන් සෙවනට එන්න කියලා ඇරයුම් කරනවා... ඔබට ජය!!

      Delete
  13. අද තමයි අයියේ මුලින්ම මේ පැත්තට ආවේ. ගොඩාක් සංවේදී සටහනක් වගේම ඊටත් වඩා සංවේදී විදියට ලියැවුණු කවි පන්තියක්. හදවතටම දැනෙනෙවා

    ReplyDelete
    Replies
    1. ඔබව මුලින්ම සඳුන් සෙවනට ඉතාමත් සෙනෙහසින් පිළිගන්නවා! උඹට ස්තූතියි යකා මලේ( එහෙම කිව්වට කමක් නැද්ද) මගේ කවි ඇඟැයූවට. නැවත මේ පැත්තේ එන ලෙසට ඉතා ආදරයෙන් ආරාධනා කරනවා. උඹට ජය!!

      Delete
  14. ඔබ ඔවුන් වෙනුවෙන් කරන දේකට සම්බන්ධ වෙන්න මං කැමතියි.. මට විස්තර එවනවද මේ ඊ ලිපිනයට ? slankapriya@gmail.com

    ReplyDelete
    Replies
    1. ස්තූතයි සරත්!! මට දැන් නොම්බරයක් ලැබිලා තියෙන්නේ. ඒකට කථා කරලා විස්තර දැනගෙන උඹට කියන්නම්.

      Delete
  15. එල එල මචන්... සුපිරි.... ගොඩක් සන්වේදී කතාවක්

    ReplyDelete
    Replies
    1. පරාග මුලින්ම උඹව සඳුන් සෙවනට ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා! ඇඟැයීමටත් ගොඩක් පිං! නැවත එන්න කියලා ආරාධනා කරනවා. උඹට ජය මචං!!

      Delete