Pages

Thursday, 28 November 2013

ප්‍රේමයේ වියෝගය........


Photo credit: thefourhourworkday.com
දැනුත් ඉඳහිට දකින විට පුර පස සඳේ උණුසුම් කැළුම්
මගේ මතකෙට හනික එන්නේ එදා දුන් ඔබේ පෙම් බැළුම්
තාම මතකයි පාළු කමතේ සැදෑ යාමේ පෑ රැඟුම්
කොහොම මං අද දරාගන්නද වෙනස් වූ හැටි ඔය තරම්
   
එදා මා අත වෙලී සිටියා ලොවම අමතක කර ඔයා
හිරුත් හොරැහින් බලා සිටියා වළා අතරින් කර පියා
මිමිණුවා ඔබ වදන් සුමිහිරි පුරවමින් ආදර දයා
එහෙම සිටි ඔබ සැඟවුනා මා පාළු අඳුරක බහා තියා
   
ගොයම් පෑගූ කමතේ හමනා සුවඳ තවමත් එලෙසමයි
දෙණියේ ළිඳ ළඟ කුඹුක් සෙවනේ සිසිල තාමත් සුමිහිරියි
පහළ ඇල දිග රංචු ගැහෙනා දන්ඩි තවමත් හරි දඟයි
එකම වෙනසට මට පෙනෙන්නේ ඔයා මේ ගම නැති කමයි
   
ඔබේ සුකොමල බඳ වටේ සුදු සේලයක් ඔතනට නඟේ
ලැමේ පිපි පෙති ගෝමරත් මුඳු සළුපටින් වසනට නඟේ
ගෙලේ රේඛා වැසෙන්නට රන් පලඳවන්නට හරි අගේ
හැම දොහේ මං හීන දැක්කා හැබෑ නොවුනේ ඇයි නඟේ
   
ඔබේ මංගල ගමන බැලුවෙමි පාළු කමතේ තනි වෙලා
වියළි සුළඟක් හමා ඇදුණා මගේ දුක ඔබ වෙත සලා
හිතේ කහටක් නැහැ නඟේ මුළු හදවතින් මා පෙම් කලා
තවම නොදනිමි ඇයිද ඔබ ගියේ මගෙන් මේ ලෙස වෙන් වෙලා
 

Photo credit: overdepressionwordpress.com
  

18 comments:

  1. මේක කලින් දාපු එකක්ද? කොහොමද මේක නොවැම්බර් 28 ට පොස්ට් වුනේ ...අදනේ දැක්කේ

    ReplyDelete
    Replies
    1. නෑ මචෝ පොඩි අවුලක් උනා. දැන් වැඩ දෙකක්නේ. එක දවසක අකුරැ කොටනවා. තව දවසක කෙලින් කරනවා. 28 වෙනිදා තුනක්ම කෙලින් කරා. ඒකයි උනේ මලේ. ඒක
      නෙමේ කවියට උඹ කැමතිද කියහං. ඩ්‍රාරාෆ්ට් කලේ 28. පෝස්ට් කලේ අද. ඕකයි උනේ මචං.

      Delete
    2. ගැමි සුවඳ මුසු වෙච්ච ආදරයක්. මටත් මතක් වුනේ ගමේ හිටපු ඉස්කෝලේ කාලේ. ඇත්තටම ඒ කාලේ සිතුවිලි හරිම නිර්ව්‍යාජයි ....අපේ සිතුවිලි දූෂණය වෙන්න පටන් ගත්තේ කැම්පස් කාලේ ඉවරවෙන්වත් එක්කමද කියලා හිතෙනවා.

      හිතේ කහටක් නැහැ නඟේ මුළු හදවතින් මා පෙම් කලා
      තවම නොදනිමි ඇයිද ඔබ ගියේ මගෙන් මේ ලෙස වෙන් වෙලා

      හ්ම්ම් අපිත් ඔහොම කිව හැටි මතකයි ..

      Delete
  2. කාලෙකට කලින් මම ලිව්ව කවියක් මතක් වුණා. පුළුවන්කමක් තියේ නං ගිහින් බලන්න. ගැමි සුවඳ මුසු වුණ ආදර අන්දරයක්. දුක යි හැබැයි හැමදාමත් වගේ ලස්සණ යි!
    http://sondurumanpetha.blogspot.com/2013/08/blog-post_24.html

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි නංඟි ඇඟැයීමට! ඔව් අනිවාර්‍යයෙන්ම ඔයාගේ කවියත් බලනවා. අද හරිම බිසී දවසක් වැඩ පොලේ. ඔයාගේ කථාවේ දෙවැනි කොටස කියවන්නත් තාම බැරිවුනා.
      සති අන්තයේ තුන්වැනි කොටස දැකලා ගිහිං බැළුවම ඕපන් වෙන්නේ නෑ. මොකද උනේ?

      Delete
    2. ලියා ලියා ඉන්නකොට save වෙනුවට publish වුණා. ඒ නිසා ආයෙමත් draft කරන්න වුණා. ඒකෙන් වැඩ දැන් හුඟක් ඉවර යි! පින්තුර ටිකක් එහෙම ගළපලා ඉක්මනට දාන්නංකෝ.

      Delete
  3. //හිතේ කහටක් නැහැ නඟේ මුළු හදවතින් මා පෙම් කලා// කවියෙකුට විතරයි එහෙම හිතන්න පුළුවන් . උඹේ කවි දිනෙන් දින හැඩ වැඩ වෙමින් එන හැටි දුටුවාම සැතුටුයි .

    ReplyDelete
    Replies
    1. උඹට ස්‍තූතියි තිලකේ! මගේ බ්ලොග් ජීවිතයේ ආරම්භය ඇතිවූයේ උඹ නිසයි....

      Delete
    2. ඔයාගේ ඇඟැයීමට ස්තූතියි දිලිනි!!!

      Delete
  4. උඹේ කවි රහයි. එච්චරයි කියන්න තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාතලන් මලේ! උඹේ වචන මට විශාල ශක්තියක්!!!

      Delete
  5. හිතේ කහටක් නෑ කියලා කියන්න පුළුවන් නම් ඒ තරම් දෙයක් තියෙනවද ඉතින්.. අවංක ප්‍රේමය එයමයි නේද?

    ReplyDelete
    Replies
    1. අපි ඇත්තටම ආදරේ නම් එහෙම කියන්න පුළුවන් දිනේෂ් මලේ. ආදරය කියන්නේ පරිත්‍යාගයක් හැමවිටම...

      Delete
  6. ලස්සන කවි සෙට් එක.. ඒ වගේම දුක හිතෙන සිදුවීමක්.. ප්‍රේමයේ වියෝගය... !

    ReplyDelete
    Replies
    1. කවි රස වින්ඳට ස්තූතියි මධූ මලේ!!

      Delete
  7. බූට් එකක් නොකෑ ජීවිතය හරියටම මසාල වඩේ සාම්බාර් හොද්ද නැතුව කාපු ‍තෝසෙ පාර වගෙයි

    ReplyDelete
    Replies
    1. අන්න උඹට තේරැනා සරත් මලේ! ප්‍රේමයේ විරහාවත් එක්තරා සතුටක්....

      Delete