Pages

Sunday 29 September 2013

ගැල් කරුගේ ඉරනම........



ගිරා රෑණ වැඩ අරඹන හෝරාවේ
ගමේ සිටින කුකුළන් හඬළන රාවේ
ඇසෙන්නටත් පළමුව අවදිව ආවේ
දුක මිස සතුට කොයින්ද මේ රස්සාවේ
   
පැඳුරටත් හොරෙන් නිවසින් පිට වෙනවා
ගොනුන් ගෙජ්ජි නාදෙන් ගම නැල වෙනවා
රෝද දෙකේ චිරි බිරි හඬ වැඩි වෙනවා
පොල් අතු වල බරින් ගොනු කුර මොට වෙනවා
   
තාර පරේ ගැල හෙමිහිට දක්කනවා
බෝන් ලීය උඩ හොඳ කල ගත වෙනවා
ගොනුන් හති වැටෙන තුරු හැල්මේ යනවා
ඊළඟ නැවතුමේ නැවතී හති ලනවා
   
මගෙ කරත්තෙ වේඟය ගොනුනගේසවියයි
ලොරි හා ට්රැක්ටරත් මා පසු කර ඉඟිලෙයි
යන්නට කලින් උන්ගේ අතු හැම විකුණයි
හැම විට වෙන්නේ මගෙ අතු ලාබෙට දෙන්නයි
   
හැමගේ දියුණුවෙන් අසරණ උනේ මමයි
පොල් අතු විකුණලා ජීවත් වී ඉවරයි
වෙන මොනවා කරන්නද මෙය මට පුරුදු දෙයයි
මම හිස් අතින් ගම එමි වෙන අත නොපෙනෙයි
   
ගොනුන් සමඟ මා අද වයසටයනවා
ගැලේ ආයුෂත් ටික ටික කෙටි වෙනවා
මගෙ දරු පවුල හාමතයෙන් මිරිකෙනවා
හැමටම මගේ සේවය අමතක වෙනවා

No comments:

Post a Comment