Pages

Friday, 22 April 2016

ඩී බී නිහාල්සිංහයනුත් අප හැර ගිහින්......



රිදී සිනමා කැණි මඩල
බර දරා වුන් කුළුණු පෙළ
එකින් එක ඉවත්වී යන සඳ
දුක දරන්නේ කොහොම

අතු පතර විදාලූ 
විසල් තුරු පියස ලෙස
සෙවණ සහ රැකවරණ 
සැලසුවා ඔවුන් යටි පෙළට

එහෙත් උන් ඉසිඹුලන අද දින 
නිරාවරණය වේය යටි පෙළ 
ඉන් ලබා හිරු එළිය යහමින
දිනෙක මහ ගස් වී හැදෙන බව
සිතා සිත සනසගමි මම

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය



Tuesday, 19 April 2016

ප‍රිත්‍යාගය - දෙවන කොටස



" මේ මොන යකෙක්ද?" මට කියවුණේ ඉබේටම. හොල්මනක් වද්ද? ඒත් මේ ගතවූ වසර 20 ට නම් හොල්මණක්වත් මාව බලන්න නාපු බව මට නැවත සිහිවුණා. හිත හිත ඉන්න කාලයක් නෑ. වැහි බිංඳු මගෙ මූණට වැටුණෙ ඉදිකටු අනිනවා වගේ. පරණ හා ගරා වැටුණු සොහොන් කොත් දිගේ වතුර ගලාගෙන ගියේ පුංචි දියපාරවල් හිතුණු හිතුණු හැඩයට හදා ගෙන. 

" එයි කවුද ඔතන" මම ආයිත් ඇහුවෙ ටෝච් එක අමුත්තගෙ මූණටම ගහගෙන තවත් ටිකක් සද්දෙ වැඩි කරල. එහෙම්මම මම ටික ටික එතනට ළංවුණා. එතකොට තමයි මම හරියටම දැක්කේ වැස්සට තෙත බරි වෙලා තිබ්බ ඒ මූණ. 

මුහුණ පුරාම ඝනට වැවිල තිබුණු සුදු රැවුල නිසා මේ ඉන්නෙ වයෝවෘධ මහල්ලෙක් බව නම් මට තේරුණා. මිනිහගේ මූණෙ ගිලුණු ඇස් වටා තිබුණෙ වැහි වතුරට වඩා ගලා ගිය කඳුළු කියලයි මට හිතුණෙ. ඒ මනුස්සයා මගෙ දිහා බලලා ඇස් වලින් හිනා වුණා. මට එකපාරටම අපේ තාත්තව සිහියට ආවෙ. 

මගේ අතේ තිබුණ අලවංගුව මම ඔහුට නොපෙනෙන්න බිමට අත ඇරියෙ ඇතිවුණු ලැජ්ජාවට. මගෙ දිහා බලපු ඔහු නැවතත් මිනිය වළලපු අලුත් පස් ගොඩ දිහාවට හැරුණෙ මාව ශතයකටවත් මායිම් නොකර. මෙහෙම විනාඩියක් විතර ගතවෙන්න ඇති. කිසිම හැලහොල්මනක් නෑ. වැස්සෙ සද්දෙ විතරයි. ඒ මනුස්සයා කතා කරන පාටක් නැති නිසා මම ආයෙත් ඔහුට තව ටිකක් ලං වුණා. 

" මේ ලොකු උන්නැහේ, මට තේරෙනවා ඔහෙගෙ දුක. ඒත් අවේලාවෙ ඉන්න ඕන තැනක් නෙමේ මෙතන කියල දන්නෙ නැද්ද? මෙතන වළලපු කෙනා ඔහෙගෙ කවුද කියල මම දන්නෙ නෑ. ඒත් ඇයි අද දවල් නාවෙ? ඔච්චර දුක් වෙනවා නම් ඇයි ඒ මනුස්සයට කාත් කවුරුවත් නැති හිඟන්නියක් වගේ ඉස්පිරිතාලෙ මැරෙන්න ඉඩ දුන්නෙ?" 

මේ ප්රශ්න මාලාව ඔහු හිටපු තත්වය සහ ඔහුගෙ වයස අනුව බොහොම කටුක වුවත් සන්සුන්ව ඔහුගෙන් අහන්න මම වගබලා ගත්තා. 

එතකොට ඔහු නැවතත් ඔළුව උස්සලා මගෙ දිහා බැලුවා. 

" ඒක මහා දිග කතාවක් මහත්තයා. අනේ මගෙ ආදර උත්පලා. " මනුස්සයා මෙහෙම කියල මහ හයියෙන් ඉකි ගහන්න පටන් ගත්තා. 

" මම උත්පලාට මගෙ පණටත් වඩා ආදරය කළා මහත්තයා. "

" ඒක අද ඊයෙ නෙමේ සංසාරෙන් සංසාරෙට එන ආදරයක්. ඒත් මට එයාගෙ හුස්ම ටික යන වෙලාවෙ ළඟ ඉන්න බැරිවුණා. මම හිතුවෙ පාලිත වගේ උත්පලාට කලින් මාත් යයි කියලා. ඒත් මේ මොකක්ද සිද්ධ වුණේ? "

මිනිහ වැලපෙන විදිහ බලා ගෙන මම හිටියෙ බොහොම අපහසුවෙන්. මට මොනවත් හිතා ගන්න බැරි වුණා. මේ මනුස්සයා කවුද? උත්පලා, පාලිත? මොනවද මේ දොඩවන්නේ. මිනිහගෙ බාහිර ස්වරූපය සහ ඇඳගෙන හිටපු ඇඳුම් වලින් ඔහු කවුරු හෝ වැදගත් මහත්තයෙක් බව පෙනුණා. විශාල බෑගයකුත් ළඟ තිබුණා. 

" ලොකු උන්නැහේ, මට තේරෙනවා. ඒත් දැන් ගියදේ ගියා. කරන්න දෙයක් නෑ. ඊටත් මේ මහා වැස්සට තෙමිලා නිකං නහින්න ඕනෙ නෑනේ. යමු යමු මගේ කාමරයට. එතනට ගිහින් අපි කතා කරමු. " කියල මම යෝජනා කළේ ඒකයි. 

මිනිහා ආයිත් සොහොන දිහා බලලා, මුළු ලෝකයම දැවිල පිච්චිලා යන තරමෙ සුසුමක් පිටකළා. ඉන්පස්සෙ ඔළුව වනල මගෙ අදහස පිළිගෙන මගෙ පස්සෙන් වැටුණා. 

මගේ පුංචි කුටියෙ මම නිදා ගන්න ඇඳට අමතරව තිබුණෙ පුටු කබලක් සහ මම ඉඳහිට යමක් කුරුටු ගාන්න පත පොත තියාගන්න මේස පොඩ්ඩ. මම ඔහුට පුටුවෙ වාඩිවෙන්න සලස්වලා ගෑස් ලිප උඩ තිබුණු කේතලයට වතුර පුරවල රත් වෙන්න දැම්මා. කිසිම හා හූවක් නෑ. මම ආයිත් ඔහු දිහා හොඳින් බැලුවා. කාමරයේ තිබූනෙ දුබල එළියක් උණත් ඒ ඇස් මම හොඳින් දැක්කා. විඩාබර වෙලා කඳුළින් පෙඟිලා තිබුණත් ඒ දෑස්වල තිබුණෙ අමුතු දීප්තියක්. අධිෂ්ඨානයක්. 

" මහත්තයා , සීතල යන්නත් එක්ක අපි කෝපි කෝප්පයක් බොමුද?" කියල අහන ගමන්ම මගෙ තුවයක් දුන්නා ඔළුව පිහදා ගන්න. 

" කෝපි එපා නම් තව සැර ජාතිත් තියනවා."

ඒක ඇහුණ විතරයි බිමට යොමුවී තිබුණු ඔහුගේ ඇස් මා දිහාවට හැරුණා. 

" උත්පලා නම් බීමට කවදාකවත් කැමති වුණේ නෑ පුතා. ඒ එයාගෙ තාත්තගෙ බේබදු කම නිසා වෙන්න ඇති. ඉතිං එයා නිසා පාලිතත් බීම නැවැත්තුවා. මමත් නැවැත්තුවා. ඒත් අද ඒ දෙන්නම නෑ. මම දැන් කා වෙනුවෙන් ඒවා රකින්නද? ඕන දෙයක් බොමු පුතා. " එහෙම කියලා අමුතු හිනාවක් දැම්මා. 

මම ඉක්මනට තව වීදුරුවක් හෝදල ගල් අරක්කු ටිකක් ඒකට වක්කරන ගමන් සෝඩා බෝතලෙත් ඔහුට ලං කළා. 

" සෝඩා එපා පුතා" එහෙම කියල වෙව්ලන දෑතින් වීදුරුව ගත්තෙ හරිම භක්තියකින්. ඉන්පස්සෙ එහෙමම උඟුරට හලාගෙන කට ඇඹුල් කර ගත්තා. මම කඩල පිඟානත් ඔහුට ලංකරන ගමන් 

" මහත්තයා කවුද? ඇයි මේ විදිහට දුක් වෙන්නෙ?" කියල ඇහුවා. 

එයා ආයිත් මගෙ දිහා බැලුවා. 

" ඒක මහ දිග කතාවක් පුතා .....අවුරුදු ගණනාවක් කාටවත්ම නොකියපු දිග කතාවක්. " එහෙම කියලා තව වීදුරුවක් දමා ගත්තෙ මෙතන පුරුදු කාරයෙක් වගේ. 

" මේ කතාවෙ අවසාන හරිය උත්පලාවත් දන්නෙ නෑ. " ඒත් පුතා කැමති නම් මම ඒක කියන්නම්. මොකද මම මැරෙන්න කලින් කාට හරි මේක කියන එක මට හිතට සහනයක්. එතකොට මට නිදහසේ මැරෙන්න පුළුවන්. " එහෙම කියල දෙවැනි වීදුරුවත් උඟුරට හලා ගත්තා. ඉන්පස්සෙ බාගෙ බෝතලෙ ඉතුරු වෙලා තිබුණු වඩිය මගේ වීදුරුවට හැළුවා. පාළුවෙ උන්නු මටත් වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ. ඒ වගේම මේ හතරබීරි කතාව දැනගන්නත් මට පුදුම ආසවක් ආවේ. ඊටත් වඩා මේ මනුස්සයව දැකපු වෙලේ සහ හවස අර මිනිය වළලපු වෙලාවෙ ඉඳලම මගෙ හිතටත් මොකක්දෝ විස්තර කළ නොහැකි අමුත්තක් දැනිලයි තිබුණෙ. 

" කියන්න මහත්තයා. මම ආසයි ඒ කතාව දැනගන්න. වැඩියෙන්ම ඒක මහත්තයට සහනයක් නිසා. මම මිනී වළලන , සොහොන මුරකරන සොහොන්පල්ලා තමයි. ඒත් මටත් හිතක් පපුවක් තියෙනවා. " එහෙම කියනකොටම මං ගැනම ඇතිවුණු ආත්මඅනුකම්පාවකින් මගෙ වචන පැටලුණා. එහෙමම මගෙ වීදුරුවත් මම උගුරට හලා ගත්තා.

" මහත්තයා ඉන්න. හංදියෙ පද්මෙ අයියගෙ බාර් එකනම් වහල. ඒත් පිටිපස්සෙන් කතා කරල මට බෝතලයක් ගත්තැහැකි. මම සුටුස් ගාල එන්නම්" කියල එළියට යන්න හදනකොටම මේ මනුස්සයා ඇදල ගත්තෙ නැද්ද බෝතලයක්. 

" කරදර වෙන්න එපා පුතා. මගෙ ළඟ බඩු තියෙනවා. මේක කඩල ගම්මු. " මට මිනිහව ඉඹ ගන්න හිතුණා. කන බොන මිනිහෙක් විතරයි මේවගේ වෙලාවක බෝතලයක අගය දන්නෙ. මට නිකං කප්රුක පහළ වුණා වගේ. 

බෝතලේ කඩල දෙන්නගෙම වීදුරුවලට වක් කරන ගමන් 
" ඉතිං ඉතිං මහත්තයා මේකත් ගහලම  කතාව පටන් ගම්මුකො එහෙනම් " කියල මම එයාගෙ මුහුණ දිහා බැලුවා. ලාම්පුවෙ එළියෙන් දිලිසෙන කොට තමයි මම හොඳටම දැක්කෙ.

මතු සම්බන්ධයි..

පළමු කොටස - https://www.facebook.com/chandana.gunasekera/posts/10209034830978425

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Friday, 15 April 2016

විරහ වේදනාවෙන් ආතුරවූ හදවත් සුවපත් කළ ජීවකයා.....


පසුගිය හත් වෙනිදාට යෙදුණු මිල්ටන් මල්ලවආරච්චි නම්වූ ඒ සුන්දර ගායනවේදියාගේ ජන්ම සංවත්සරය වෙනුවෙන් මා එංගලන්තයේ පළ වන හෙළබිම පුවත් පතට ලියූ ලිපිය. 

ශීත කාලයේ අවසන අබිමුව ගෙවී යන තවත් එක් දිනෙක අපරභාගය එළැඹෙමින් පවතී. මම කවුළුව තුළින් අඳුරු පැහැගත් හිස් අහස දෙස හිස් බැල්මෙන් බලා සිටිමි. හීන් හිරි පොදයක් සේ ඇරඹි වැස්ස දැන් මහ වරුසාවක් බවට හැරී ඇත. ගත සිත හිරිවට්ටමින් හමා එන සීතල සුළං රැළි මා හද තවත් පෙළයි. කොළ හැලී ඉපල්ව ගිය ගස් පෙළ පෙරමඟ බලමින් ළඟ එන වසන්තයට සූදානම් වුවත් යන්තම් මෝදුවූ මොටෙයියන් හැරුණුකොට මලක් පිපී එන ලකුණක් අහලකවත් නැත. 

හදිසියේම මගේ සිත වසර ගණනාවකට පෙර ලංකාවේ ගතකළ දිනයක් වෙත ඇදී ගියේ මටත් හොරාය. එදිනත් මෙලෙසම වැසි වැටෙමින් තිබූ බව මතකය. මා සිටියේ වැස්ස තුරල් වන තුරු ගසක් යටය. බක් මාසය එළැඹෙමින් තිබුණු සමය නිසා ගස් වැල් මලින් බරවී මල් රොණින් පිරී තිබිණි. අවට වූ මැයි ගස් හා එරබොදු ගස් රක්තවරණ මලින් වැසී අතු මත හා බිම රතු පලස් එලුවාක් මෙන් දිස් වුණි. ඒ මොහොතේ අසල කඩයක තිබූ රේඩියෝවකින් වාදනයවූ ගීතයක් ඒ මොහොතට ටක්කෙටම ගැළපුණේ කෙසේදැයි මට කෙදිනකවත් සිතාගත නොහැකි විය. 

" මේ මැයි ගහයට දවසක් දා 
වැස්සට අපි උන්නා.......
රතු කැට වාගේ මැයි මල් පිපි පිපි
අපට සෙවණ දුන්නා......"

වෙනසකටවූ එකම දෙය වූයේ මා එතැන තනිවම සිටීම පමණකි. එදා ඒ ගීතය ගැයූ ගායකයාගේ මධුර , ප්රේමනීය හා හැගීම්බර හඬ මගේ හදවත පතුලේ ගැඹුරුම තැනක තැන්පත්වූයේ මා ඔහුගේ සදාකාලික රසිකයෙකු බවට පත්කරවමිනි. ඔහු ගැන ලියන්නට හා කතා කරන්නට මට බොහෝදේ ඇත. අපගේ අවාසනාවට අවුරුදු 54 ක් වැනි ඉතා අඩු වයසක සිටියදී , එකදහස් නමසිය අනූ අටේ මාර්තුවේ දහවෙනිදාවක සදහටම අපෙන් සමුගෙන ගියද ඔහුගේ නාමය තවමත් අමරණීයය. ඒ අපට ඉතිරි කොට ගිය මහා නිධානයක්වන් ගීත ගොන්න හේතුවෙනි. මේ පුංචි සටහන මිල්ටන් මල්ලවආරච්චි නම්වූ ඒ සුන්දර , හැගීම්බර අමරණීය ගායකයා වෙනුවෙනි. 

එකදහස් නමසිය හතළිස් හතර වසරේ සුන්දර බක් මාසයක හත් වෙනිදා එතුමා මෙලොව එළිය දිටීය. කෝට්ටේ ආනන්ද ශාස්ත්රාලයෙන් සිප්සතර හැදෑරූ එතුමාගේ ජීවිතය වූයේ සංගීතයයි. 

පිරිපුන් යොවුන් වියේ පසුවූ මිල්ටන් තරුණයා සංගීත කණ්ඩායම් වලට බැඳුණේ ගීත ගායනයට හා සංගීතයට තිබූ පිපාසය නිසාමය. මුලින්ම සෙල්ලම් කළ " සාක්යයන්ස් " නම්වූ සංගීත කණ්ඩායම වැඩිකලක් පැවතුණේ නැත.  ඉන්පසු එකල ජනප්රිය සංගීත කණ්ඩායමක්වූ " ලා සිලනියන්ස් " කණ්ඩායමට එකතුවීමට තරම් එතුමා වාසනාවන්ත විය. 

" ලාසිලනියන්ස්" කණ්ඩායමේ ගීත ගයන මේ යොවුන් තරුණයාගේ ප්රේමනීය හඬ පැට්රික් කොරයා නම් ගී තැටි නිෂ්පාදකවරයාගේ සවන් වැකීම මිල්ටන් මල්ලවාරච්චි යන්නෙකුගේ සාර්ථක සංගීත දිවියේ ආරම්භය යැයි මිල්ටන්වත් එදා සිතන්නට නැතුවාට කිසිම සැකයක් නැත. ඒ 1969 වසරේදීය. 

" ඔරුවක පාවෙන ", " සංසාර සෙවනැල්ල", "මංගලේ නෙත් මංගලේ" වැනි හැත්තෑව දශකයේ මුල්භාගයේ අති ජනප්රියවූ සහ එයින්ම මිල්ටන් මල්ලවාරච්චි නම් ගායකයකු මුළු රටම හදුනාගත් ගීත Exvee ලේබලය යටතේ 78rpm රෙකෝඩ් තැටියක් විලසින් දොරට වැඩියේ පැට්රික් කොරයා සංගීත තැටි නිෂ්පාදකවරයාට පිංසිදුවන්නටය. 

ඉන්පසුව , එවකට ඉතා ජනප්රිය තලයේ සංගීත අධ්යක්ෂකවරයෙකුවූ පැට්රික් දෙණිපිටිය මිල්ටන්ගේ ගීතවලට නව ආරක් ලබා දීමට සමත් විය. මේ යටතේ නිර්මාණයවූ මිල්ටන්ගේ " ඉවුරු තලා", " මා හා එදා", " මා නිසා ඔබ" හා " සයුරු තෙරේදි" වැනි ගීත රසිකයන් වැළඳ ගත්තේ උමතුවෙන් මෙනි. මේ කාලය වනවිට විරහ ගීතයේ මුද්රාව බවට පත්වීමට මිල්ටන් මල්ලආරච්චි සමත් විය. 

මේ අතර ලාංකීය සිංහල සංගීතයේ විප්ලවීය වෙනසක් කළ මහා දක්ෂයකු වූ ක්ලැරන්ස් විජේවර්ධනයන් හමුව මිල්ටන්ගේ සංගීත දිවියේ අති ප්රබලම සංදිස්ථානය විය. 

ක්ලැරන්ස් සමඟ එකතුවී මිල්ටන් මල්ලවආරච්චි නිර්මාණය කළ " ඝන අඳුරේ", එදා රෑ", " මට මෙන් ඔහුටද" හා " මඟ තොටදී" වැනි ගීත හා ක්ලැරන්ස්ම මිල්ටන් වෙනුවෙන් ලියූ " අවසර නැත මට", " සුළඟේ පාවී", " තනි වී සිටින්නයි" හා පෙම් රජ දහනේ" වැනි අමරණීය ගීත යුග යුග ගණනාවක් ගෙවී ගියද රසික හද සන්තානයන්ගෙන් ගිලිහී නොයන බව මට හොඳටම විශ්වාසය. 

මෙතරම් අපූරුවට හැගීම්බරව විරහ වේදනාව ගැයූ තවකෙකු සිරිලක සිටියේ නැත. ඒ වේදනාව ඔහුගේම කරගෙන ඔහු ගැයුවේය. ඒ සඳහා ඔහු ගිරිය පුප්පාගෙන කෑ ගැසුවේ නැත. අත් පා ලෙලදෙව්වේ නැත. වේදිකාවේ පෙළහර පෑවේද නැත. මයික්රෆෝනය එක අතකින් අල්ලා ගෙන වේදිකාව කොනේ හිටි පිළිමයක් සේ හිඳිමින් ඔහු ගැයීය. 

ඔහු විරහ ගීත කෙතරම් තාත්විකව ගැයුවාද කියතොත් බොහෝ පිරිස් ඒ ඔහුගේම පුද්ගලික  අත්දැකීම් යැයි සිතූහ. මාත් එකල සිතුවේ එලෙසිනි. එහෙත් මේ පිළිබඳව අදහස් දැක්වූ ප්රවීණ ගායිකා ඉන්ද්රානි පෙරේරා මහත්මිය වරක් පැවසුවේ එතුමාට එවන් විරහවක් නොතිබූ බවත් සහ එතුමාගේ අදරණීය බිරිඳවූ ස්වර්ණා මහත්මිය සමඟ ඉතා සතුටුදායක පවුල් ජීවිතයක් ගත කළ බවත් , එතුමාගේ ඉතාමත්ම හිතවත් යෙහෙළිය වශයෙන් තමා හොඳාකාරවම දන්නා බවයි. මිල්ටන් - ස්වර්ණා යුවලට දරුවන් සතර දෙනෙකු වූ අතර තම පියාගේ අඩිපාරේ යමින් එතුමාගේ ගීත ඉදිරි පරපුරටත් රැගෙනයාමේ උදාර මෙහෙයේ යෙදෙන රනිල් එතුමාගේ ලොකුම පුතාය. 

එමෙන්ම අද කාලයේ මෙන් ජංගම දුරකථන නොතිබුණු එකල එතුමාගේ ගීතවල කොටස් තම පෙම් හසුන්පත්වල නොලියූ පෙම්වතකු හෝ පෙම්වතියක සිටියේ නැත. පෙම් සබඳතා කැඩීගියෝ එතුමන්ගේ විරහ ගීත ගයා හෝ අසා තම විරහ වේදනාව සමනය කර ගත්හ. 

කරුණාරත්න අබේසේකර, කේ ඩී කේ ධර්මවර්ධන, ප්රේමකීර්ති ද අල්විස්, ක්ලැරන්ස් විජේවර්ධන, උපාලි ධනවලවිතාන, ධර්මසිරි ගමගේ, අජන්තා රණසිංහ, ෂෙල්ටන් වීරරත්න, කුලරත්න අරියවංශ , ආනන්ද පද්මසිරි, වර්නන් පෙරේරා, චිත්රානන්ද අබේසේකර,බංඩාර කේ විජේතුංග හා විජය රාමනායක ආදී අති ප්රවීණ හා ප්රතිභා සපිරි ගේයපද රචකයන්ගේ අමරණීය පද රචනා ගැයීමට මිල්ටන් මල්ලවආරච්චි සූරීන් වාසනාවන්ත විය. 

මා මෙම සටහනේ මුලින්ම සඳහන් කළ මා මෙන්ම සුවහසක් රසික රසිකාවියන් උමතුවවුන් "  මේ මැයි ගහ යට" ගීතය 1976 දී මෙල්රෝයි ධර්මරත්නයන් නිෂ්පාදනය කළ EP තැටියකට ඇතුළත්වූ අතර එය දනන් තුඩ තුඩ නිබදව රැව් දෙන ගීතයක් බවට පත් විය. මෙහි පද රචකයාවූ මෑතකදී අප හැර ගිය ආචාර්ය අජන්තා රණසිංහයන්වද මේ මොහොතේ කෘතඥතාපූර්වකව සිහිපත් කිරීම මගේ යුතුකමක් යැයි සිතමි. 

1978 දී මිල්ටන් , ක්ලැරන්ස් විජේවර්ධනයන් සමඟ තරංගා ලේබලය යටතේ සිය කුළුඳුල් කැසට්පටය නිර්මාණය කරද්දී එතුමා ගායකයකුට යාහැකි ජනප්රියත්වයේ ඉහළම හිනිපෙත්තට ගොස් තිබිණි. 

මෙපමණක් නොව සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයන්වූ හැත්තෑවේ හා අසූවේ දශකවල සිනමා පසුබිම් ගායකයකු වශයෙන්ද මිල්ටන් මල්ලවආරච්චි තම අද්විතීය මුද්රාව තබා තිබුණි. ඒ 1971 දී " පූජිතයෝ" චිත්රපටයෙන් පසුබිම් ගායනයට එක් වෙමිනි.

එතුමා කෙතරම් සාර්ථක ගමනක් සිනමා පසුබිම් ගායනය තුළින් ගියේද යැයි 1984 දී හොඳම සිනමා පසුබිම් ගායනයට හිමි සරසවි සම්මානය දිනා ගැනීමෙන්ම පෙනී යයි. ඒ සේන සමරසිංහයන්ගේ " ඈතින් ඈතට" චිත්රපටයේ " කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා " ගීතයටය. එමෙන්ම සේන සමරසිංහයන්ගේම චිත්රපටවූ " ආශා දෑසින් " හා " නිල්ල සොයා" යන චිත්රපටවලට එතුමා ගැයූ " ම්ම්ම් ...හාහාහා....මාආ මත්වීලා " හා " නිල්ල නගන ස්වර්ණ ටිකිරි රාවේ" වැනි ගීතත් 1974 වසරේදී " සැණකෙළිය " චිත්ර පටයේ " රැයක් උපද්දා" හා එහිම ඉන්ද්රානි පෙරේරා සමඟ ගැයූ " සමනල රෑනක් සේ" යන ගීත මිල්ටන් මල්ලවආරච්චි නාමය ඉහළටම ඔසවා අමරණීය තත්වයට පත් කිරීමට සමත් විය. 

පැට්රික් දෙණිපිටිය, ක්ලැරන්ස් විජේවර්ධන ,සී ඩී ෆොන්සේකා හා වික්ටර් රත්නායකයන්ගේ ඇතුලු තවත් බොහෝ සංගීත අධ්යක්ෂකවරුන්ගේ මනරම් සංගීතය හා එතුමන්ට ලැබුණු හර බර පදවැල් නිසා මිල්ටන් මල්ලවආරච්චි වැජඹුණා මෙන්ම එතුමන්ගේ රසාලිප්ත මනෝහර හඬින් හා ගායන විලාසයෙන් ඒ සංගීතවේදීන් හා ගේයපද රචකයින්ද බැබලුනි. එමෙන්ම මිල්ටන් මල්ලවආරච්චිගේ කැසට්පට උණු කැවුම්සේ විකිණී ගිය අතර ප්රේමවන්තයින්ගේ හා විරහව විඳින්නන්ගේ සිහින කුමරා බවට පත්වූයේ නිරායාසයෙනි. 

එහෙත් 1998 මාර්තු දහවෙනිදා මේ සිහින කුමරාගේ ගමන නවතා රසිකයන්ගෙන් උදුරා ගැනීමට ඒ හිත් පිත් නැති රුඳුරු මරුවා සමත්විය. ඒ අකල් වියෝවින් දුකටපත් රසිකයෝ මහත්සේ වැළපුනහ. එතුමාගේ ආදාහනයදා බොරැල්ල කනත්ත අතුරු සිදුරු නැතිව ජනයාගෙන් පිරී ගියේ එහෙයිනි. 

මරණය අපට කෙස්වත් වළක්වාගත නොහැක. එහෙත් අප එතුමන්ට ආදරය කරන තරමින් අංශු මාත්රයක්වත් එතුමා , එතුමාට ආදරය කළා නම් හා එතුමාගේ සෞඛ්ය තත්වය සම්බන්ධයෙන් සැලකිලිමත් වූවානම් , මෙලෙස අඩු වයසින් අකාලේ අපට අහිමි නොවීමට බොහෝ දුරට ඉඩ තිබිණි. එහෙත් " අනුන්ට ආදරය කරන මිනිසුන් තමන්ට ආදරය නොකරන බව " අභීත මාධ්යවේදී සුනිල් මාධවයන් පැවසූ වදන මිල්ටන් මල්ලවආරච්චි ගායකයාණන්ටද  අගේටම ගැලපෙන බව පවසමින් හා මේ සසර කතරේ දිනෙකදී නැවතත් එතුමන්ව හමු වේවායීද පතමින් මම නිහඬ වෙමි. 

චන්දන ගුණසෙකර- එක්සත් රාජධානිය




Wednesday, 13 April 2016

විදෙස්ගත ඉංජිනේරුවාගේ අවුරුද්ද.........



නොනගතය කියා මම වැඩ වරන්නේ කෙලෙස
වැඩපොළේ අනික් අය නහිනවා
මගෙ උදව් ගන්න මග බලනවා

මුහුදු හතකින් එහා කැවුම් සුවඳක් කොහිද
කොන්කිරිට් ගඳට ඉව කරනවා
ගමේ අවුරුදු සුවඳ දැනෙනවා

බිල්ඩිමේ දොඹකරයෙ හිතක් පපුවක් ඇතිද
නොනැවතී බඩු උඩට යැවෙනවා
හිතින් මම මව්බිමට දුවනවා

කැන්ටිමේ කොනට වී දිවා භෝජන බුදිමි
ලක්බිමේ නැකත් සිරි දැනෙනවා
කිරිබතේ රස මවන් ගිලිනවා

ගොඩනැඟිලි පිරි බිමේ ගස් කොළන් කොතැන වෙද
කජු ගහේ සිරි සිතේ මැවෙනවා
පුහුලමේ රස දිවට දැනෙනවා

සියලු දේ හැර දමා අම්මෙ මට ගම එන්න
ඔබෙ සුවඳ දැනී මට හිතෙනවා
දිවියෙ බර මග හරස් කරනවා......

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Friday, 8 April 2016

පරිත්‍යාගය - පළමු කොටස



ඉර බැහැල ගිහින් වැඩි වෙලාවක් ගත නොවුණත් පළාතම මූසල අඳුරකින් වැහිලයි තිබුණෙ. අහසෙ දම්පාට කපා ගෙන පැතිරිලා තිබුණු ඝන කළු වැහි වලාකුළු එළිය කරමින් විඳුළි කොටන කොට, එයින් දර්ශනය වන සොහොන් කොත් වලින් වෙනදා නොදැකපු මහා බියකරු බවක් පෙනෙන්න ගත්තා. මොනවද මම මේ හිතන්නෙ ,හැමදාමත් ඔය සොහොන් කොත් දකිනවනෙ කියල හිත හදා ගන්න හැදුවත් හිතේ මොකක්දෝ විස්තර කළ නොහැකි හැගීමක් තෙරපෙන බව නම් මට තේරුණා. 

හැන්දෑවෙ , ආණ්ඩුවෙ වියදමින් මිහිඳන් කළ , රෝහලේ දී මැරුණු ඒ කාත්කවුරුවත් නැති වයසක ගැහැනියගෙ මිනී වල කපලා, මිනියත් වැලලුවේ මම. ඒ මම හාරපු පළමු වළ නොවේ. වසර විස්සකටත් වඩා මගෙ මේ සොහොන් දිවියෙ මේ අත් දෙකින් වළවල් කීයක් නම් කපල ඇද්ද? කීයක් මිනී වළලලා ඇද්ද? ඒ අතර කාත් කවුරුවත් නැති අය නම් කොච්චරද? එක අතකින් බැලුවම මමත් ඒ අයවගේම කාත් කවුරුවත් නැතිව තනි වෙලා නේද කියලත් මට හිතෙනවා. තනිවම මේ ලෝකයට බිහිවූ අප දිනයක යන්නෙ නම් තනිවම තමයි. ඒත් තනිවම ජීවත්වීමනම් මැරි මැරී ඉපදීමක්. 

මිනී වළලන එකනම් මට දැන් මහ අරුමයක් නෙමේ. ඒක මගෙ ජීවිතයෙම අංගයක් වෙලා. පුංචි සංදියෙ මළ ගෙයක් ළඟින් යද්දි , බයවෙලා අපේ අම්මගෙ ඇඟේ එල්ලුණේ මේ මමද කියල මටම පුදුම හිතුණෙ වරක් දෙවරක් නෙමේ. ඒත් අදනම් මොකක්ද මගෙ හිතට වෙලා. මෙච්චර හිත නොසන්සුන්වූ දවසක් හිතා ගන්නවත් බෑ. මේ පාළු කුටියේ තට්ට තනියමේ ඉන්න මට හැමදාම තනියට ළඟ උන්නේ මේ මළවුන් නිඳන සොහොන් කොත් විතරයි. 

අදනම් හිතට හරිම නෑ. මහන්සි වෙලා හවස නා ගත්තට පස්සෙ ඇඟටත් දැනුණෙ සනීපයක් නෙමේ අමුතුම සීතලක්. වැහි කෝඩෙත් එක්ක ගස් වැල් අඹරගෙන හමා ආපු හුළං පාරත් ඒ සීතල තවත් වැඩි කළා. 

සිගරට් එකක් පත්තු කරගත්තෙ හිත පොඩ්ඩක් උණුසුම් කරගන්න. ෆිල්ටරය තුළින් ඇදිල ආපු ටුබැකෝ රසින් පිරි උණුසුම් දුමාරය පෙනහලු දෙක ආදරයෙන් වැළඳ ගත්තා. එතකොටම තමයි හීනියට පොඳ එක දෙක වැටෙමින් පැවතුණු වැස්ස මහා වරුසාවක් බවට පත් වුණේ. දොඹ ගෙඩි වගේ වැහි පොඳ මගේ කුඩා කුටියෙ ටකරං වහලට බැට දුන්නෙ කිසිම හිතක් පපුවක් නැති විදිහට. ඒ වැස්සෙ ඝෝෂාවට නම් මම හැමදාම ආස කළා. 

ඇගේ පතේ මහන්සියයි කාන්සි ගතියයි යන්නත් එක්ක ඇඳ යට තිබුණු ගල් භාගයෙන් කට කපල එකක් අශෝක වීදුරුවට හලා ගත්තෙ පුරුද්දට වගේ. වීදුරුවෙන් , උඟුර හීනියට පුච්චගෙන ආමාශ ගතවුණු ඇල්කොහොල් ,හිතටයි ගතටයි අමුතු ප්රබෝධයක් ගෙනාවේ ක්ෂණිකවම. 

හැන්දෑවෙ ගල් බාගෙ ගන්න පද්මෙ අයියගෙ බාර් එකට ගිය වෙලාවෙ ජේන් අක්කගෙ ටේස් කඩල කරත්තයෙන් ගත්තු කඩල බයිට් එකෙන් ඇට දෙක තුනක් කටට වීසි කරන කොටම වගේ තමයි පළාතම එළිය කරගෙන මහා හෙණ හඬක් නගමින් අකුණක් පුපුරල ගියේ. මුළු සොහොනම ගිනි දවල් වගේ එළිය වුණා. ඉරවල් හතක් පායල වගේ. 

එතකොටම වගේ මම දුටු දසුනින් ඇඟ සීතල වෙලා ගියා. මේ අවේලාවෙ ඊටත් වඩා නාකපන වැස්සෙ මෙහෙම දෙයක් මම බලාපොරොත්තු වුණේම නෑ. අරක්කු වඩියෙ සැර කොහෙන් ගියාද දන්නෙ නෑ. ටෝච් එකත් අරගෙන මාව නැඟිට්ටුනේ යන්ත්රානුසාරයෙන් වගේ. අතේ තිබුණු සිගරට්ටුව උඩටම ඇදලා පපුව පුරෝගෙන දොරෙන් එළියට මම කෑලි පහේ ටෝච් එක ගැහුවා. ඊයෙ දමාපු අළුත් බැටරි නිසා අකුණෙ එළිය වගේම ටෝච් එළියත් අඳුර කපාගෙන ඉදිරියටම ඇදුණෙ අස්ප වේගෙන්. 

එවෙලෙම තවත් අකුණක් පුපුරල ගියේ මගෙ කණ ළඟින්ම වගේ. ඒක නම් මේ ළඟටම වැදුණු බව මට තේරුණා. ඒ එළියෙන් මම හවස මිනිය වළදාපු තැන වාඩි වෙලා වැස්සෙ තෙමි තෙමි ඔළුව නමාගෙන ඉන්න ගැහැනියකගේ හෝ පිරිමියෙකුගේ ඡායාවක් පැහැදිලිවම දෘශ්යමාන වුණා. 

මට කරන්න දෙයක් තිබුණෙ නෑ. වෙන දෙයක් වෙද්දෙන් කියලා තවත් අශෝක වීදුරුවෙන් එකක් උඟුරට හලාගෙන එක අතකින් ටෝච් එකයි අනික් අතින් අලවංගුවයි අරගෙන එළියට බැස්සා. 

" ඒයි ඔතන කවුද ඔය?" කියල මම මහ හයියෙන් කෑ ගැහුවෙ හිත දැඩි කරගෙන. 

වැස්සෙ සද්දෙ නිසා මගෙ හඬ අඩි කිහිපයක් ඈතටවත් ඇහුණද දන්නෙ නෑ. ඒත් ටෝච් එකේ එළියටද කොහෙද මිනී වළ ළඟ දන ඔබාගෙන උන්නු අමුත්තා එක පාරටම ඔළුව උස්සලා මගෙ දිහා බැලුවා. 

මතු සම්බන්ධයි. 

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Saturday, 12 March 2016

එය මෙසේ සිදු විය......



දස මසක් කුස දරමින් හා සියලුම දුක් ගැහැට විඳිමින් , මවක තම දරුවා මෙලොව එළිය දකින තුරු බලා සිටිනවා වැනි සතුටකින් හා බලාපොරොත්තුවකින් මම එදා දිනය එළැඹෙන තෙක් දෑස් දල්වා බලා ගෙන සිටියෙමි. ඒ පසුගිය දහවෙනිදා වනතුරුයි. 

මීට මාස කිහිපයකට පෙර, මුළු රටම අමතක කර තිබූ ඒ සත්යවාදී පත්තරකාරයා, සුනිල් මාධව ප්රේමතිලක, ආදරණීය සුනිල් අයියා බොරැල්ල ආයූර්වේද රෝහලේ හුදෙකලාව වැතිර සිටියේය. එදා ඒ බව පුංචි ලිපියකින් ඔබ , අසංගී විජේසූරිය සොයුරියේ ලොවට නොකියන්නට අද එතුමා උන්නද මළාදවත් දන්නා කිසිවකු නොවන්නට ඉඩ තිබිණි. ජීවත්ව සිටියදීම ලබාදුන් මේ විසල් සම්මානය සිහිනයක් පමණක් වන්නට තිබිණි. " නොනිමි ජීවිත කතාව" ඇඳ යට වේයන්ගේ රස බොජුනක් වන්නට ඉඩ තිබිණි. අද මේ අවදි වී සිටින , එතුමා ගැන හරබර ලිපි ලියන ප්රවීණ කවීන්ට ,ලේඛකයන්ට හා මාධ්යවේදීන්ට ඒවා එතුමා මිය ගිය දිනෙක කිඹුල් කඳුළු හෙළමින් කළ හැකිව තිබිණි. තමන් බලයේ සිටියදී සුනිල් අයියාව අමතක කොට මේ හදිසියේ එතුමන්ව සිහිවූ දේශපාලුවන්ට අවමගුලේදී හරබර දෙසුම් දෙසාබෑමට තිබිණි. 

එදා , මේ එතුමා නැවත කියවන අය, "ආදරණීය " , " කඳුළු " වැනි වචන දිරවන්නේ නැති හා ඒවා විප්ලවකාරයෙකුගේ චරිතය දියාරු කරතැයි නන් දොඩවන අය අහලකවත් නොවූහ. එතුමාගේ ලෙඩ දුක් හා එතුමා කෑවද බීවද බලන්නට කිසිවෙකු සිටියේද නැත. 

අප ආදරය කළේ සුනිල් අයියා කියන මිනිසාටය. අපට පක්ෂයක් ,පාටක් හෝ එතුමා විප්ලවවාදියෙකුද නැද්ද යන්න අදාළ නොවීය. මට අවශ්යවූයේ එතුමා හැකි කලදී අපට කළ සේවයට කෘතඥතාවය පළ කොට එතුමාගේ ආර්ථික තත්වයට යම් සහනයක් ලබා දීමයි. මන්ද එතුමා ලියූ දෙයින් අප ජීවිතය උගත්තෙමු. පන්නරය ලැබුවෙමු. එහිදී මගේ ඇරයුම පිළිගෙන හා මාව විශ්වාස කොට මා වෙත මුදල් ආධාර එවූ මුහුණු පොතින් හඳුනාගත් කෙදිනකවත් දැක නොමැති සහෘදයනී , නම් වශයෙන් සඳහන් නොකළත් ඔබ සැමගේ සහය නොවන්නට මට මේ අයුරින් අසංගී සෙයුරියගේ ව්යායාමයට සහයෝගය දීමට නොහැකිවනු ඇත. මම , මෙහිදී නිතර දෙවේලේ හමුවන මිතුරන් අහක බලද්දී ඉතා ඈත දුරු රටවලින් පවා ආධාර එවූ ඔබ සැම සිහිකරන්නේ ඉතා ආදරයෙනි. හදපිරි බැතියෙනි. 

අප එකතු කළ මුදලින් එතුමාගේ ජීවිත කතාව මුද්රණය කිරීමටත් අසංගී සොයුරිය පුද්ගලිකවම බර දැරූ සුනිල් මාධව සමරු උත්සවයේ කටයුතුවලට සුළු සහයක් දීමටත් හැකිවූවා යැයි ඔබට පවසන්නේ ඉතාමත්ම නිහතමානී සතුටිනි. කොතරම් හයිකාරකම් කළත් අනුන්ට ගැරහුවත් නැතත්, උදව් කළත් නැතත් අපි සැවොම දිනයෙක මිය යන්නෙමු. එහෙත් හෙට මිය ගියත් අපට මේ සතුට විඳිමින් මිය යා හැක. 

හුදෙකලාවී ජීවිතය එපාවී කලකිරීවුන් සුනිල් අයියා මේ ක්රියාකාරකම් එතුමන්ට නව ජීවයක් ලබා දුන්බව ප්රකාශ කිරීමම කෙතරම් අගනේද? ඒ ගැන සිතීම පවා හිතට කෙතරම් නම් සහනයක්ද?

ඉතිං අසංගී සොයුරිය , ඔබ අභීතව කළ මේ වීර ක්රියාව ඇගැයීමට මට වචන නැත. අවස්ථාවාදී පාප මිත්රයන්, දිය යටින් ගින්දර ගෙණියන්නන්, දිය රෙද්දෙන් බෙල්ල කපන්නන්, බොර දියේ මාළු බාන්නන් හා කලදුටුකළ වල ඉහගන්නන් වැනි මෙකී නොකී සියල්ලන් සමඟම සහ එල්ලවූ මරණ තර්ජන, බොරු චෝදනා සහ අපවාද හමුවේ ඉන්ද්රඛීලයක් සේ නොසැලී ඉදිරියටම ගිය ඔබ අපේ කාලයේ වීරවරියකි. කිසිත් නොකොට දොස් කියන්නන්ට අප අනුකම්පා කරමු. තමන් ජීවත්ව සිටියදීම තම පුතුට ,ජනතාව පිදූ ඒ හරසර දැක එදා ඒ මවගේ දෑසින් ගලා ගිය සතුටු කඳුළු බිඳුවක් පාසා ඔබට ආශීර්වාද ලැබෙනවා සොයුරිය. එය ඒකාන්තයි. අප සැමවත් මේ යහකටයුත්තට සම්බන්ධකර ගත්තාට ඔබට ස්තූතියි!

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Saturday, 5 March 2016

අගය කළ යුතු චරිත - සුනිල් සරත් පෙරේරා



" පෙර දිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නළවනවා
මගේම ගීයක් නැළැවිලි ස්වරයෙන් ඈතින් මතුවෙනවා "

අපගේ පිනට පහළවූ පණ්ඩිත් අමරදේවයන් ගයන , අතිශය ජනප්රිය , සංවේදී එමෙන්ම විරහවෙ සුරතාන්තයටම ගිය මෙම ගීතය ඇසෙන සෑම මොහොතකම මගේ සිතට නිතැතින්ම නැගෙන කාරණා දෙකකි. ඉන් පළමු වැන්න නම් පේරාදෙණිය සරසවියයි. එහි දිවියයි. අනෙක් කරුණ නම් මෙහි පද එහෙ මෙහෙ කොට මේ තාලයටම සරසවි කොල්ලන් විසින් සාදාගත් අනෙක් හාස්යජනක ගීතයයි. එනම්,
" පෙර දිනයක මා පෙම් කළ හැතිරිය තවෙකකු දක්කනවා
මගේම කලිසම ගජේට ඇඳගෙන උගේ වගේ යනවා" 

මෙය මෙසේ කොල්ලන් ගයන බව අමරදේවයෝ දනිති. එතුමන් ඒ බව ප්රසිද්ධියේම පවසනුයේ ඉතාමත්ම මැදහත්  සිතින් හා සතුටිනි. එමෙන්ම මෙම අමරණීය ගීතය ලියූ ඒ ප්රවීණ ගේයපද රචකයාද අවංකවම එය මැදහත් සිතින් ඉවසන ඉතාමත්ම නිහතමානී සොඳුරු මිනිසෙකි.  මේ පුංචි සටහන සුනිල් සරත් පෙරේරා නම්වූ ඒ ප්රතිභා සපිරි කවියාගේ, ගේයපද රචකයාගේ අද දිනට යෙදෙන ජන්ම සංවත්සරය වෙනුවෙනි. 

පණ්ඩිත් අමරදේවයන්, ප්රේමකීර්ති ද අල්විස් සූරීන් ඇතුළු පුංචි සිරුරකින් හෙබියද රටේ යෝධයන්වූ මිනිසුන් අතරට මේ පුංචි සිරුරැති නිහතමානී යෝධයාද අයිතිවන්නේ ,එතුමා සිංහල ගීතය නැමති රත්තරන් මාලයට ඔබ්බවා ඇති අගනා මිණිවන් එතුමා ලියූ ගීත පොකුර නිසාවෙනි. එයින් නැගෙන මහා වටිනාකම හා දීප්තිය නිසාවෙනි. 

තවත් පුංචි සිරුරකින් හෙබි එහෙත් ඔහුගේ අව්යාජ , ශෝකීබරිත හඬින් සුව හසක් රසිකයන් නැලැවූ, හැඬවූ සෝමතිලක ජයමහ නම්වූ ඒ කෘතහස්ත ගායනවේදීයා ගයන සුනිල් සරත් පෙරේරා සූරීන් ලියූ  " මහ වරුසාවට පසුව නැඟෙන සඳ", " සැදෑ අඳුර ලොව ගලන වෙලාවට" හා සැන්දෑ අහසේ හිරුට මුවාවෙන්" වැනි ගීත රස විඳ ඒවායේ ජීවත් නොවූයේ නම් කවුරුන්ද? 

" මහ වරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත ඒ එළියට වැඩියෙන් එළියයි. " මෙහි ඇති සඳ එළිය පිළිබඳ උපමාව කෙතරම් නම් අපූරුද? තාත්විකද?. නෝක්කාඩුවෙන් පසුව බබළන මුහුණක් වැනීමට ඔයිටත් වඩා හොඳ උපමාවක් මටනම් සිතාගන්නටවත් බැරිය. එමෙන්ම සැදෑ අඳුර ගීතය ජයමහ සූරීන්ගේ ඒ සෝබරිත හඬින් ගැයෙද්දී අපට මැවෙන චිත්ත රූපයන්ට බලපාන ප්රබලම සාධකය වන්නේ සුනිල් සරත් පෙරේරාගේ වචනය. 

එමෙන්ම අමරදේවයන්ම ගයන" ඔබ මා සමඟ අතිනත ගන්නා  දවස " ගීතය කෙතරම් නම් හදවත කලඹන අන්දමේ ගීතයක්ද? වරක් රජරට ප්රදේශයේ සංචාරයකදී මෙය එසැනින් තැනූ ගීතයක් බව එතුමා මේ ගීතය ගැන අදහස් දැක්වීමකදී පැවසූ බව මට මතකය. මගදී දුටු කන්දක් සිතේ තබාගෙන පදපෙල ලියා , අමරදේවයන් එවෙලේම තනුවක් යොදා ගැයූ මේ ගීතය සදා මතකයේ රැදෙන්නට තරම් ප්රබල වූයේ ඔවුන්ගේ ප්රතිභාව නිසාය. 

මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි ගයන "  යසෝදරා", " මගේ රටට දළදා හිමි සරණයි", " අනෝතත්ත විල නෙළුම නෙළාලා " හා " ඈත එපිට ගම්මානෙක" ඇතුළු තවත් ගීත රාශියක පද බැඳුම්කරුවා මේ පුංචි මිනිසාය. සුනිල් සරත් පෙරේරාය. මේ ගීතය මෙවැනි පතිදම් රකින සියලුම යශෝදරාවන්ට කෙරෙන උපහාරයකි. එමෙන්ම " ඈත එපිට ගම්මානෙන්" ගීතයෙන් වෑහෙන ගැමි සුවඳ. එහි චමත්කාරය.  ඉතාමත්ම අනර්ඝය. ආශ්චර්යජනකය. 

එමෙන්ම එච් එම් ජයවර්ධනයන් සංගීතවත් කළ අමරසිරි පීරිස් සූරීන් ගයන " ඇය යන්න ගියා මැකිලා " ගීතය සුව හසක් තම බිරින්දෑවරුන්ගේ වියෝවින් තැවෙන සැමියන්ට පිදූ මල් මිටක්මය. සුනිල් සරත් පෙරේරාට සහ සංගීතය නිර්මාණය කළ එච් එම් ජයවර්ධනයන්ටද ඒ වියෝ දුකම විඳීමට සිදුවීම දෛවයේ කොතරම් නම් මුරණ්ඩු අකාරුණික තීරණයක්ද?. 

ජාතික රූපවාහිනියේ අධ්යක්ෂක ජෙනරාල් පදවියෙන් පවා පිදුම් ලැබූ මේ සම්මානනීය කලාකරුවාගේ අගය අදටත් වඩා රටට දැනෙන්නේ හෙටටය.  අපගේ ප්රවිණ කලාකරුවන් එකිනෙකා අප හැර යන මේ සමයේ සුනිලුණි, ඔබ අපට අගනා මැණිකකි. කලාකෙත හා මාධ්ය ශේස්ත්රය බැබලූ තවත් සුනිළුන්  කිහිපදෙනෙකුම අපට ඇත. ඔවුන් සමඟම දිදුලන ඔබ ජාතියට පහළවූ මිණි පහනකි.  ඉතිං රසවතාණනි, සොඳුරු නිහතමානී මිනිසානනි, අපේ හද ගැහෙනා රාවය හඳනන සහෘදයාණෙනි,  අද දින ජන්ම සංවත්සරය සමරන ඔබගේ දිවි ගමන සාර්ථක වේවා! තව තවත් අගනා නිර්මාණ වලින් අප කලාකෙත පෝෂණය කිරීමට හැකිවේවා! නිදුක් නිරෝගි සුව අත්වේව්යි පතමින් මේ පුංචි සටහන අවසන් කරන්නට මට අවසර. ඔබට චිරං ජයතු!

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය