Pages

Friday 11 September 2015

දවසක් පැල නැති හේනේ සිට හදවතටම ගී ගැයූ මහා ගාන්දර්වයා......




ඒ අසූව දශකයේ මුල් බාගයයි. අප නිවසේ සිට හූවක දූරින් පිහිටි මා ගිය පාසල වූ අනුරාධපුර ශාන්ත ජෝශප් විදුහලට මම ආවේ ගියේ පයින්මය. මෙසේ එන යන අතරතුර කිහිප දිනක්ම මගේ ඉදරියට හමුවූ අමුත්තකු පිළිබඳ මගේ අවධානය යොමු වූයේ නිරායාසයෙනි. එයට හේතුව වූයේ ඔහුගේ අපූරැ පෙනුමයි. 

කෙට්ටු උස පුද්ගලයෙකු වූ ඔහු කොණ්ඩය දිගට වවා තිබිණි. බෙල් බොටම් වර්ගයේ කලිසමක් හා සාමාන්ය තාලේ කමිසයකින් සැරසීවුන් හෙතෙම පැළඳ සිටියේ පාවහන්ය. සමහර දිනවල වයලීනයක්ද දෑතේ විය. ඔහු තමන්ගේ පාඩුවේ තනිවම පයින්ම ගමන් කරමින් උන්නේය. 

මම ඒ දිනවල ඔහු කවූදැයි දැන නොසිටියත් ඒ වෙන කවුරැවත් නොව ලොවක් වටිනා සංගීතවේදී හා මහා ගායක එමෙන්ම මේ සැමටත් වඩා මානව හිතවාදී විශාරද ගුණදාස කපුගේ සූරීන් බැව් දැන ගත්තේ තාත්තාගෙනි. 

ප්රේමකීර්ති ද අල්විස් සූරීන් හා ස්වර්ණ ශ්රී බංඩාරයන් වැනි මහා දෑවැන්තයන් තම දඩුවම් මාරැ හැරවුම් ලක්ෂ කරගත් රජරට සේවය මහා ඉහළින් වැජඹුණු ඒ යුගයේ රජරට සේවයේ සංගීත අංශයේ සිටියේ කපුගේ සූරීන්ය. පාසල නිමවී ගෙදර එමින් වුන් මට හමූයේ එතුමා රජරට සේවයට සේවය සඳහා යද්දීය. 

මේ මහා පුරැෂයන්ගේ ආනුභාවයෙන් වැජඹුණු රජරට සේවය කලා කෙතක් විය. එයින් බොහෝ අස්වනු දැයට ලැබිණි. සංගීතවේදී නාලක අංජන කුමාර, ගායනවේදී කරැණාරත්න දිවුල්ගනේ, ජානක වික්රමසිංහ හා ක්රිශාන්ත එරන්දක යන කලාකරැවන් ඉන් කිහිප දෙනෙකු පමණි. ඒ ස්වර්ණම යුගයේ බොහෝ වටිනා අමරණීය නිර්මාණද මේ උතුම් කලාකරැවන්ට පිංසිදු වන්නට අපට ලැබිණි. ඒ මට මුලින්ම එතුමා හමුවූ අවස්ථාවයි. 

ඉන්පසු මට එතුමා දැක ගන්නට ලැබුණේ පේරාදෙණිය විශ්ව විද්යාලයේ ක්රීඩාගාරයේ යම් අරමුදක් උදෙසා සංවිධානය කර තිබූ එතුමාගේ ඒක පුද්ගල සංගීත ප්රසංගය වූ ' කම්පන' සඳහා ගී ගයන්නට පැමිණ වෙළේය. එතුමා එහි ගී ගයන්නට තඹ සතයක් හෝ අය කළේ නැත. 

එහිදී එතුමා "දවසක් පැල නැති හේනේ" ගීතය ගයද්දී ඒ මහා විශාල රසික සමූහය මීයකට පිම්බාක් මෙන් කෙතරම් සන්සුන්ව නිශ්ශබ්දව සිටියාදැයි කියූවොත් එකෙකුගේ හද ගැහෙන රාවය ඊට පේළි දහයට පමණ එහා සිටින තවෙකෙකුට පවා පැහැදිලිව ඇසුණි. තම මව්වරැන්ගෙන් ඈත්ව හුදෙකලාවූ අපගේ ඇස්වලට ඉනූ කඳුලු කැට අඳුරේ අහස පුරා පැතිරැනු තරැ කැටමෙන් දිලිසුණි. හැමගේම සුසුම් පොදින් මද පවන් රැළි හමා ඇදිණි. ඒතරම් හැගුම්බරව ගැඹුරැ හඬකින් ඒ ගීතය එතුමන්ම හැර වෙන නම් කිසිවෙකුත් ගයනු මෙතුවකට මට නම් ඇසී නැත. 

එමෙන්ම සරසවියේ මිතුරන් හා එක්ව කාන්සියට ගී ගයද්දී එතුමා ගැයූ ගීයක් අපට නොගයාම බැරිවිය . " නින්ද නැති රැයේ", " මං මුළාවී", දම් පාටින් ලා සඳ බැස යනවා " සහ " උන්මාද සිතුවම්" යන ගීත එහි අනිවාර්යයෙන්ම තිබිණි. හීනියට මධු විතතකින් සප්පායම් වී දෑස් පියාගෙන එතුමන්ගේ හඬට සමවැදුණු විට එය අපට සුයාමයක්ම විය.

එක්ටැම් ගේ චිත්රපටයේ තිබූ " උන්මාද සිතුවම්" ගීතය ඇසූ පළමු නිමේෂයේම මගේ හද තුළ තැන්පත් වුණි. එතුමාගේ හඬ පාළු හේනක කාන්සිය මකා නැගුණු වස්දඩු රාවයක් විය, වැව් තාවුල්ලක් පිස හමා ඇදුණු මදනලක් විය , බෝ කොළ වලින් නැගෙන සිලි සිළිය විය, බුදු මැඳුරක සජ්ගායනා වෙන පිරිතක් මෙන් සිත නිවාලීය. 

නැවත වතාවක් පේරාදෙණිය ක්රීඩාගාරයේ එතුමා දුටුවේ නම් එතරම් ප්රසන්න අයුරකින් නොවේ. වෙනත් බොහෝ අව්යාජ සොඳුරැ කලාකරැවන් මෙන් එතුමන්ද මධුවිතට පෙම් බැන්දේය. එදානම් ගීත ගැයීමටත් පෙර එතුමාගේ සීමාව පැන තිබිණි. මත්පැන් බොන්නන් අතර එවැනි සීමාව නොපැන්නූ කෙනෙකු ඇද්දැයි විමසීම හරියට නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගෙන ඒමට කිව්වාක් වැනිය. 

එදා එතුමාට හොඳින් ගීත ගයා ගැනීමට නොහැකි විය. මුව පුරා රඳවාගත් සිනහවෙන් යුක්තව ඒ මේ අත වැනෙමින් එතුමා වේදිකාවේ සිට ගෙන සිටියේද මහත් ආයාසයෙනි. එවෙලේ වේදිකාවේ උන් නන්දා මාලිනිය එතුමන්ව වත්තම් කරගෙන මෙන් වේදිකාවෙන් සමුගත්තාය. 

එහෙත් ඒ දස දහස් ගණනක් වූ සරසවි සිසුන් එය විහිළුවට ගත්තේවත් හූ කියා කෑගැසුවේවත් නැත. කිසිදු හැලහොල්මනක් නොමැතිව එතුමාගේ හැම ඉරියව්වක්ම සාවධානව බලා වුන් ඔවූහූ කපුගේ සූරීන් හරියට ගීතයක්වත් ගායනාකර ගැනීමට අපොහොසත් වී වේදිකාවෙන් බැස යද්දී ලබා දුන්නේ මුළු ශාලාවම හෙල්ලී යන අන්දමේ මහා ඔල්වරසන් නාදයකි. 

මම මේ කතාව සඳහන් කළේ එතූමාට අබමල් රේණුවක තරමින් හෝ අවමානයක් කිරීමට නොව එතුමා එවන් තත්වයක සිටිද්දී පවා රසික ප්රසාදයට හා ජනාදරයට පත්වූ අන්දම ඔබට ඒත්තු ගැන්වීමටය. ඒතරමටම එතුමා ජනතාවගේ හදවත් තුළ ජීවත් විය. ජනතාව එතුමාට ආදරය කළේ හා ගරැ කළේ එහෙයිනි. 

මේ ආකාරයට වෙන අයෙකු වේදිකාවේ විකාරයක් කළේ නම් ඔහුට හෝ ඇයට විඳින්නට සිදුවන ඉරණම ඔබට විස්තර කරන්නට උවමනා නැතැයි සිතමි. 

මට අවසාන වරට එතුමා මුණ ගැහුණේ මීට අවුරැදු පහළොවකට පමණ පෙර ලංඩනයේදීය. ලංඩනයේ ප්රසංගයක් සඳහා පැමිණ සිටි එතුමා මගේ මස්සිනාගේ නිවසට පැමිණි අවස්ථාවේ ලගින්ම සිට කතා බහ කරන්නට හා ගීත අසන්නට ලැබීම මේ ජීවිතයේ මා ලද උසස්ම භාග්යයක් සේ සලකමි. 

අපත් සමග හීනියට මධුවිතකින් සප්පායම් වූ එතුමා සාලේ බිම වාඩිවී ගීත ගැයීම ඇරඹීය. එහෙන් මෙහෙන් සොයාගත් වාද්ය භාණ්ඩ වලින් එලෙසින්ම සොයාගත් යම් වාද්ය හැකියාවක් තිබූ වාද්ය ශිල්පීන් තාලය ඇල්ලූහ. මේ නිහතමානී විසල් මිනිසා ඒ වාදනයට අනුව ගී ගැයීය. වරක් තබ්ලාව ගැසූ මිතුරාට තබ්ලාව ගසා පෙන්වා ඒ ආකාරයට ගසන්නැයි ඉතා නිහතමානීව ඉල්ලා සිටියේය. එතුමාගේ ගීත කිහිපයක් ගයා ඉන්පසු වෙනත් ගායකයෙකුගේ ගීතයක් ගයමුයැයි කියා මර්වන් පෙරේරා මහතා ගැයු " මේ නගරය " ගීතය ගායනා කළේය. එතුමා එම ගීතය අවසාන කළේ ඉතාමත් නව ආරයකට උච්ච ස්වරයෙනි. මේ තුංග මිනිසා ඉදිරියේ වාඩිවී ලිලිපුට්ටන් සේ වුන් අපේ හද ගැහෙන රාවයට එතුමාගේ හදවතද ගැහුණේ එතුමා කෙතරම් නම් අව්යාජ, නිහතමානී හා ජනහිතකාමී මිනිසෙකුද යන වග ලොවටම හඬගා කියමිනි. 

මෙලෙසම වරක් ලංඩනයට පැමිණි භාතිය හා සංතුෂ්ව අප නිවසටම ගෙන්වා ගෙන ඔවුන්ගෙන් එක සිංදුවක කොටසක් හෝ ගායනාකරවා ගත නොහැකිව මගේ ඇරයුමින් නිවසට රැස් කරවා ගත් මිතුරන් ඉදිරියේ ලැජ්ජාවූ අවස්ථාව කපූගේ නම්වූ උතුම් මිනිසාගේ මේ නිහතමානී හා ආදරණීය ගුණය ගැන සිතා අමතක කර දැමුවෙමි. 

ඉන් පසු මට කවදාකවත් කපුගේ සූරීන් හමුවූයේ නැත. එක් පාළු සීතල බක් මහේ දිනෙක කණ වැකුණු ඒ මහා අවාසනාවන්ත පුවත මගේ හදවත දෙදරවාලීය. හඬන්නට නෙතු අග කඳුළු නොවිණි. ඒ ඒවා හදවතත් සමඟම ගල් වූ නියාවෙනි. 

නොසිතූ මොහොතක නොසිතූ අයුරින් එතුමා අපගෙන් ඈතට යන්නටම ගොස් තිබිණි. ඉදිරියේදී කරන්නට බලාපොරොත්තුව උන් " ප්රකම්පන" නම් වූ ප්රසංගය රස විඳීමට අප කර තිබූ පින් මදි විය. 

එතරම් අනුන් ගැන උණුවූ මානව හිතවාදියෙකු නම් මා දැන නොසිටියෙමි. වැටී සිටි දරිද්රතාවයෙන් මිදී ගෙයක් දොරක් සාදා ගන්නට කීයක් හෝ සොයා ගන්නට සන්ෆල්වර් සංගීත කණ්ඩායමේ සංගීතයට තම ගීත දන්දුන් එතුමා , සොයාගත් මුදල තවත් එවැනිම කලාකරැවකුගේ ලෙඩදුක් අබියස පුද දුනි. ඒ සුගතපාල ද සිල්වා නම් වූ සොඳූරැ ආඥාදායකයාගේ හදවත් සැත්කම වෙනුවෙනි. 

එතුමා අපට අහිමිවූයේ එවන් කලාකරැවන් සිටිය යුතුම යුගයකය. ඒ හඬට අදටත් ආදේශකයක් නොමැත. ඒ සොඳුරැ තනු අදටත් අද්විතීයය. අද එතුමා ජීවත්ව සිටියානම් පසුගිය අගෝස්තුවට හැත්තෑවන වියට පාතබන්නට තිබිණි. තව තව නව නිර්මාණ බිහිවන්නටද ඉඩ තිබිණි. එහෙත් ඒ රැදුරැ මරැවා ඒ සියල්ලම අපට අහිමි කළේ ඉතා කුරිරැවය. 

ආදරණීය කපුගේ, ඔබ ගැන ලියා අවසන් කළ නොහැක. එහෙත් අප යමක් ඇරඹුවහොත් එය අවසන් කළ යුතුමය. එහෙයින් මේ ලිපිය මම මෙසේ අවසන් කරමි. 

ජනතාවාදී ,ජනහද දිනූ පොඩි මිනිසුන් සමඟ සිටි ඔබ මියගියද ඔබ තබා ගිය ගුණ සුවඳ සදා අමරණීයය. එය යුග යුග පාසා ජනතා හදවත් තුළ ජීවමානව රැඳී පවතිනු ඇත. මේ සසර කතරේ දිනෙක නැවත අප හමු වෙමු. 

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය. 

9 comments:

  1. හදවත පතුලටම කිඳාබැස්සා මේ සටහන. සංවේදිම සටහනක්. මේ සටහන මේතරම්ම සංවේදි විදියට හැගෙන්නේ මමද කපුගේ සූරින්ට එතරම්ම ලෙන්ගතු නිසා විය හැකිය. මටත් සිහිවේ එදා වෙල්ලස්සේ උක් ගොවියන්ගේ උද්ඝෝෂනයක් අවස්ථාවේ මහ පාරේ ඉදන් එතුමන් ගී ගැයූ හැටි.

    ReplyDelete
  2. හදවතට දැනෙන්න ම ලියලා තියෙනවා. ප්‍රියතම ගායකයෙක් උනත් එතුමා ගැන චේචර විස්තරයක් දැනගත්තේ අද.... ඔබට බොහොමත්ම ස්තූතියි...!
    http://hudekalasithuwili.blogspot.com/

    ReplyDelete
  3. සදාකාලික මිනිහෙක්... අැත්තට ම මිනිහෙක්.....

    ReplyDelete
  4. මෙ වගේ කල කරැවෝ අපෙන් සමුගත්තත් ඔවුන් ගායනා කල ගීත පරමිපරා ගනනාවක් රැදි පවතිනවා.අපි පුංචි කාලේ අද තරමි දියුණු තාක්ෂණයක් තිබුනේ නැ.ගීතයක් අහන්න අවස්ථාව ලැබුනේ ගුවන් විදුලිය හරහා විතරයි.කැසටිපටයක් අහන්නත් හැමෝටම අවස්ථාව තිබුනේ නැ.අපේ සමර වැඩිහිටියේ මෙ කල ගායකයෝ කවදාවත් දැකලා තිබුනේ නැ.ඒත් මෙ කලා කරැවෝ ඈත දුෂ්කර ගමිමාන වල පුංචි පැල්පතේ ගැමියගේ පවා හද බැදගත්තා.කොහොම උනත් අද ගායන ක්ෂේත්‍රයේ සමර නවක ගායකයෝ බොහෝ පිරිසක් මෙම ක්ෂේත්‍රයට කරන හානිය නමි සුලු පටු එකක් නෙවෙයි.

    ReplyDelete
  5. කපුගේ පේරාදෙණියට ආ දෙවතාවේදීම අපි එක්ව ලැබූ අත්දැකීම් උඹ නැවත සිහිපත් කර තිබෙනවා හරිම හර්දයන්ගම සටහනකින්. ඔහුගේ අඩුව තාමත් දැනෙනවා

    ReplyDelete
  6. අමන දෙස්පල්ලන් අවුරුදු 80/90 ඉන්නකොට මේ වගේ ලෝකයක් වටින මිනිස්සු ඉක්මනින් මිය යාමේ ධර්මතාවය මොකක්ද??????

    ReplyDelete
  7. කලාව හොඳ තමයි නමුත් ඔහොම බීලා අකාලයේ මැරෙන මිනිස්සු තමන්ගෙ අඹු දරුවන්ට කරන්නෙ ලොකුම අසාධාරණයක්....

    ReplyDelete
  8. මේ සිද්දිය උනේ 1997 අවුරුද්දේ වෙන්න ඕන.
    අවුරුද්දේ තියන හුඟාක් නැකත් දවස්වලට අපේ band එකට wedding එකක් අනිවාර්යෙන්ම තිබුන. එදත් ඒ වගේම day & night homecoming එකක් තිබුන. වැඩේ තියෙන්නේ කොහෙද කාගේ වැඩක්ද කියන දේ අපිට අදාල උනේ නැහැ. වැඩේට එක්කයන්න band owner ගෙදරටම van එක එවනවා.

    එදා party එක තිබුනේ බලපිටියේ මට මතක විදිහට. වැඩේට ගියාට පස්සේ තමයි කිව්වේ ගුණදාස කපුගේ මහත්තය එනවා කියල party එකට. කාලයට සාපේක්ෂව hit වෙලා ඉන්න හැම artis ගේම සින්දු කීපයක් බලල තියන හින්ද ඉතින් කපුගේ එන එක අපිට ලොකු වෙනසක් උනේ නැහැ. කීප වතාවක්ම කපුගේ සහ දිවුල්ගනේ එක්ක indoor shows play කරලා තිබුන හින්ද කපුගේගෙ සින්දු 10 ක් 15 ක් play කරන එක simple වැඩක් උනා ඒ කාලේ .

    අපේ වැඩේ අපි කරන් ගියා අපේ පාඩුවේ. ඔන්න කපුගේ මහත්තයත් ඉතින් ටිකක් සප්පායම් වෙලා stage එකට ගොඩ උනා කියමුකෝ. ඒ කාලේ hit වෙලා තිබුන සින්දු කීපයක් play කරපු අපි මගේ ආසම සින්දුවක් වෙන "මේ සඳේම සෙවනැල්ලේ " කියන සින්දුව play කරන්න පටන්ගත්ත. එත් එක්කම කපුගේ අපේ percussion play කරන කෙනා ලඟට ගිහින් මොකක්දෝ කිව්වා. අපේ එකා stic එකෙන්ම මාව පෙන්නුවා. කපුගේ මාගාවට ඇවිත් කියපි පුතා මට මේ සින්දුවේ වචන මතක නැහැ කියල. දැන් ඉතින් මම සින්දුවේ introduction එක play කරගෙන යනවා. දැන් ඉතින් සින්දුව මග නවත්තන්නත් බැරි හින්ද මම කිව්වා මටනම් මතකයි මම වචන ටික කියන්නම් කියල.
    එවෙලේ කපුගේ කිව්වා පුතා ඉස්සෙල්ල කියන්න පද දෙකක් ඊට පස්සේ මම එකම ආයේ කියන්නම් කියල. මමත් එකඟ උනා . සින්දුව අපි දෙන්න එක්ක ගායනා කරා සහෝයෝගෙන්. කපුගේ ගැන ලිපිය දැක්කම මටත් මේ සිද්දිය මතක් උනා. මගේ ජීවිතේ අමතක නොවෙන සිද්දියක් ඒක .

    කපුගේ කියන්නේ බොහොම අවංක හිත හොඳ මනුස්සයෙක්. එත් එයාගෙම අවාසනාවට තදින් බීමට ඇබ්බැහිවෙලා හිටිය . අපරාදේ රටට වටිනා මනුස්සයෙන් අකාලයේ නැති උනා . සිංහල සංගීතයට කවදාවත් කපුගේලගේ අඩුව පුරවන්න කාටවත් බැරි වේවි.

    ReplyDelete
  9. Aiwa aiye mageth asama gayakaya kapuge mahaththaya.kata pura mahaththa kiyanna puluwan kenek . mama kawadawath dekala ne live.me post eka kiyawapuwama mata teruna kapuge sir kiyanne mahaththayekma thamai kiyala.ethumata niwan suwa lebewa.aith a wage gayakayek me polawe bihiwenne.

    ReplyDelete