Pages

Tuesday 16 June 2015

වැනීසියේ වෙළෙන්දාත් අපෙන් සමු ගත්තේය.......




ඒ 1976 සුන්දර සැන්දෑවකි. මිඳුලේ සෙල්ලම් කරමින් පසුවූ මට , අපේ තාත්තාගෙන් ලැබුණේ අපූරැ ආරාධනයකි. 

ආරාධනය ඉහටත් උඩින් පිළිගැනුණි. ප්රතිඵලය වූයේ අනුරාධපුරයේ සිත්තම්පලම් සිනමා ශාලාවේ 6:30 දර්ශනය නැරඹීම සඳහා තාත්තා සමඟ යාමය. 

තිරයේ දිගහැරැනේ මගේ මතකයේ සදා නොමැකෙන සුන්දර මතකයන් ඉතිරි කළ හුලවාලී සිනමා පටයයි. 

එහි එන කථාවේ රැහේ නායකයා, හුලවාලියා(ධාරා) ලෙස ගාමිණී ෆොන්සේකත් ඔහුගේ ඇඹේණිය, සුභා ලෙස සුවීනීතා කෝන්ගහගේත් රඟපෑ බව මගේ මතකයේ ඇත. 

චිත්රපටයේදී සුභා, ගමට ආ වෙළෙන්ඳා සමඟ ධාරා තනිකොට හොරෙන් පැන යන ජවනිකාවේ පසුබිමින් ගැයුණු සුනිල් එදිරිසිංහයන්ගේ කුඩා ගමේ ගීතය කුඩා මගේ ඇසට කඳුළක් ගෙනා අතර සඳා නොමැකෙන සමරැ සටහනක් මගේ හදවතේ ඉතිරි කළේය. 

එහි රඟ පෑ , සුබාව ධාරාගෙන් පැහැරගත් වෙළෙන්දා පිළිබඳව මගේ සිතේ මහා තරහක් පිළිකුලක් ඇතිවූවත්, සිනමා පටය අවසානයේ ඔහු සුබාව විවාහ කරගෙන ඇයට සියලුම සැපසම්පත් ලබාදුන් නිසා ඒ අමනාපය මදක් සමනය විය. 

වෙළෙන්දා ලෙස රඟපෑවේ සොඳුරැ කඩවසම් නළුවෙකි. ඔහු ටෝනි රණසිංහ බව මා දැනගත්තේ තාත්තාගෙනි. ඉන් බොහෝ කලකට පසු ඔහුම තවත් වෙළෙන්දෙකු ලෙස රඟපෑවේය. ඒ වැනීසියේ වෙළෙන්දා වේදිකා නාට්යයේ වැනීසියේ වෙළෙන්දා ලෙසයි. 

රණසිංහ හෙට්ටිආරච්චලාගේ අග්නට්ස් ඇන්තනී සිල්වා ඔහුගේ උප්පැන්නයේ තිබූ නමයි. එහෙත් ඔහු ශ්රී ලාංකීය ප්රේක්ෂක ප්රජාවේ ආදරය දිනා ගත්තේ ටෝනි රණසිංහ නමිනි. ඔහු කාගේත් සදාදරණීය ටෝනි විය. 

1937 ඇසළ මස 31 වෙනිදා මෝදරදී මෙලොව එළිය දුටු ටෝනි වත්තල ශාන්ත ආනා සහ මෝදර De Lasalle කොලීජියෙන් අධ්යාපනය ලැබීය. 

1963 දී රන් තෝඩු නම්වූ වේදිකා නාට්යයෙන් කරළියට පිවිසි මෙතූමා ඒ වසරේ හොඳම වේදිකා නළුවාට හිමි Governor General 's සම්මානය පවා දිනා ගැනීමට සමත් වූහ. 

ඉන්පසු 1964 වසරේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන්ගේ ගම්පෙරළිය සිනමා පටයේ බලදාසගේ භූමිකාව රඟමින් සිංහල සිනමාවේ අත්පොත තැබීය. 

පීරිස් සූරීන්ගේම සිනමා නිර්මාණ වූ රණසලු හා දෙලොවක් අතර යන චිත්රපට සඳහාද ටෝනි රණසිංහයන්ව තෝරා ගැනීමෙන් එතුමා ටෝනිගේ රංඟනය ගැන කෙතරම් පැහැදී සිටියේදැයි යන්න අපට සිතාගත හැක. 

රඟපෑම උපතින්ම ගෙනා ටෝනි සිංහල රිදී තිරය ඒකාලෝක කළේ සම්මාන රාශියක්ද දිනා ගනිමිනි. 

1966 දී පරසතුමල් චිත්රපටයේ රඟපෑ අතිවිශිෂ්ට රංගනය වෙනුවෙන් හොඳම සහය නළුවාට හිමි සරසවි සම්මානයෙන් පිදුම් ලැබීය. 

ඉන්වසර තුනකට පසු 1969 දී හන්තානේ කතාව චිත්රපටයේ කළ රංගනයට හොඳම නළුවාට හිමි සරසවි සම්මානය දිනා ගැනීමෙන්ම එතුමා කෙතරම් දක්ෂයෙකුද යන වග අපට පෙනී යයි. 

ඉන්පසු 1976 දී දුහුළු මලක් හා 1979 දී අහසින් පොළොවට යන චිත්රපට සඳහාද එතුමා වසරේ හොඳම නළුවා සම්මානය දිනා ගත්හ. 

1980 ගඟ අද්දර හා 1993 දී සප්ත කන්යා යන චිත්රපටවලද එතුමාගේ ප්රතිභාපූර්ණ රංගනයන් කැපී පෙනුණි. මීට අමතරව තවත් උසස් හා ජනප්රිය සිංහල සිනමා රාශියකටද එතුමාගේ රංගන දායකත්වය සැපයීය. 

අති දක්ෂ තිර නාටක රචකයෙකූද වූ ටෝනි රණසිංහයෝ වසරේ හොඳම තිරරචනය සඳහා වූ සරසවි සම්මානය එතුමා තිරරචන ලියූ කොටි වලිගය, කෙලිමඩල, අවරගිර හා පවුරැ වළලු යන සිනමා පට වෙනුවෙන් දිනාගැනීමෙන්ම ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමථ යන කියමන කඩා බිඳ දැම්මේය. 

එතනින්ද නොනැවතුණු එතුමා අති දක්ෂ පරිවර්තකයෙකුද විය. එතුමා පරිවර්තනය කොට නාට්ය පිටපත් ලියූ මහා කවි විලියම් ශේක්ස්පියර්ගේ දොළොස්වැනි රැය, වැනීසියේ වෙළෙන්ඳා සහ ජූලියස් සීසර් යන නාට්ය රසික සිත් සතන් මත්කරලීමට සමත් විය. 

එතුමා වැනීසියේ වෙළෙන්ඳාහී කළ රංගනය ප්රේක්ෂක හදවත් තුළ සඳා නොමැකෙන මතකයක් එක් කිරීමට සමත්කළේ එහි තිබූ ජීව ගුණයත් දෙබස්වල තිබූ අපේ කමත් නිසාය. 

ඒත් අද හිමිදිරියේ ඒ සියල්ල අවසන් විය. ඒ එතුමාත් ඒ ගමන අපව තනිකොට යන්නට ගිය හෙයිනි. 

මට දැනෙන්නේ මහා පසුතැවිල්ලකි. මට එතුමා ගැන ජීවත්ව සිටියදී ලියන්නට නොහැකිවිය. ඔවුන් අපව හැරදා යන්නට පටන් ගෙන ඇත. 

මිය ගිය පසුව නොව ජීවත්ව සිටියදී අගය කළ යුතු චරිත මැයෙන් මේ කලා ලෝකයේ වීරයන් ගැන ලිවීම මා ඇරඹුවේ පසුගිය සතියේය. මගේ පුංචි සටහන් පොතේ අංක පහ යොදා ටෝනි රණසිංහ නමට වෙන් කළ පිටුව මට නැවත මේ ආත්මයේදීනම් ලිවිය නොහැකිවනු ඇත. 

සදාදරණීය ටෝනි, ඔබ අප හැර ගියද ඔබ අප සමඟ , අප වෙනුවෙන් තබා ගිය දෑ බෙහෝය. මේ ගමන කෙදිනක හෝ අප සැමම යායුතුමය. 

මේ සසර කතරේ දිනෙක අප නැවත හමුවන තුරැ ඔබට සුබ රාත්රියක්!



චිත්රපට හා තිරගත වූ වසර ඇතුළු සමහර තොරතුරැ සහ ඡායාරෑප අන්තර් ජාලයෙන් ලබාගත් බැව් කරැනාවෙන් සලකන්න. 

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

6 comments:

  1. කපිකේකි16 June 2015 at 14:40

    දැන් සිත්තම්පලම් ඒක පංති තියන ෙහා්ල් ඒකක්

    ReplyDelete
  2. ඇයි ලෙස්ටර්ගෙ බැද්දෙගම චිත්‍රපටයෙ,ෆ්‍රනාන්දු මුදලාලි.(රන්ජන්)

    ReplyDelete
  3. උඩ සහ යට (පින්තූර) අතර ඇත්තේ ජීවිතයේ යතාර්ථය නොවෙද ? කරණ හැම කෙළියක්ම ඔය ටික කාලයටනෙ..

    සුබ රාත්‍රියක් ටෝනි !

    ReplyDelete
  4. මම බුකියේ උඹ ලියපු ඒ ඔක්කෝම කියෙව්වා. බොහොම අපූරූ සටහන්.

    වැනිසියේ වෙලෙන්දාහී රංගනය වගේම ටෙලිනට්ටියක බේබදු පොලිස් රාළහාමි කෙනෙක් ලෙස කළ රංඟනය කිසිදා අමතක නොවේ...

    ReplyDelete
  5. මේ උතුම් මිනිසා ගැන මමත් ලිපියක් ලිව්වා චන්දන. මෙවැනි අග්‍රගන්‍ය කලාකරුවන් ගැන ලිපි දහසක් ලිව්වත් මදි. ඔබ හොඳ විස්තරයක් ලියා තිබෙනවා.

    ReplyDelete
  6. මම ටෝනි රණසිංහව දකින්නේ විශ්වාසය තැබිය හැකි, ඒ වගේම වැදගත්, බුද්ධිමත්, නිහතමානී කෙනෙක් හැටියට. මම ටෝනිව දැකලාවත් ආශ්‍රය කරලා වත් නෑ. නමුත් කරන කියන දේවල් වලින් හිතේ ගොඩ නැගිලා තිබ්බ ප්‍රතිරූපය ඒකයි.

    ReplyDelete