" මම ළඟදි බැලුවා චිත්රපටි දෙකක්. සැනසුම කොතනද.....? , අල්ලපු ගෙදර.....!!"
මේ දෙබස් ඛණ්ඩය මට මුලින්ම අසුනේ මීට වසර 25-30 කට පෙර ආර් ආර් සමරකෝන් සූරීන්ගේ කැලණි පාලම වේදිකා නාට්යයේ මැම්බර් මහත්තයාගේ මුවිණි. එදා මුළු ශාලාවම සිනා සයුරේ ගිල්වීමට ඒ දෙබස සමත් විය. ඇස් නටවමින් දෙපසට පැද්දෙමින් ඔහු කළ රංගනය ඇත්තම මෙම්බර මහතකුටත් වඩා විශිෂ්ට විය.
වයසට යද්දී වැවී තිබූ සුදෝ සුදු රැවුල සහ කොටවෙන්නට කැපූ හිසකේ නිසා මට බොහෝවිට ඔහුව පෙනුණේ අපේ රටට අහිමි කළ අති පූජ්ය දිඹුලාගල නාහිමිපාණන් මෙනි.
මේ වෙන කවුරැවත් නොව ප්රවීණ රංගධර ජේ එච් ජයවර්ධනයන්ය. එහෙත් මේ ලිපිය අද ලියන්නට වීම ගැන මම පසුතැවෙන අතරම ඉතාමත්ම ලැජ්ජාවටද පත් වෙමි. මන්ද එතුමා ජීවත්ව සිටිදී එතුමා ගැන යමක් ලියන්නට නොහැකිවීම නිසාවෙනි.
බොහෝ කලාකරැවන් ගැන පසුගිය වතාවල ලියූවාක් මෙන් අදත් මට ලියන්නට සිදුව ඇත්තේ එතුමාගේ වියෝව පිළිබඳව වූ ඒ කවදා හෝ ලියන්නට වන ශෝකාත්මක ලිපියයි.
ජේ එච් ජයවර්ධනය මහතාණනී ජීවත්ව සිටියදී යමක් නොලීවාට පළමු කොටම මට සමාවනු මැනවි.
එතුමාව මුළු රටක්ම හඳුනාගත්තේ ගුවන් විදුලියේ ප්රචාරයවූ මොණරතැන්න ගුවන්විදුලි නාටකයේ රජ්ජුරැවෝ ලෙසිනි.
එසේම වේදිකාව, සිනමාව සහ රෑපවාහිනිය යන සෑම මාධ්යකම තම රංග ප්රතිභාව විහිදුවාලන්නට එතුමා සමත් විය.
මා මෙම ලිපිය ආරම්භ කළ දෙබස තිබූ කැලණි පාලමේ මැම්බර්ගේ චරිතයෙන් එතුමා රසික හදවත් අමන්දානන්දනයට පත් කළහ.
1953 දී එදා රෑ සිනමා පටයෙන් ඇරඹි එතුමාගේ සිනමා දිවිය 2001 දී රඟපෑ වසන්තයේ කුණාටුවක් චිත්රපටයෙන් අවසන්වන විට එදා මෙදා තුර ඉතා විශිෂ්ටගණයේ චිත්රපට රාශියකට තම ප්රතිභාපූරණ රංගන දායකත්වය සැපයීමට සමත්ව තිබිණි.
එච් ඩී ප්රේමරත්නයන්ගේ සෙයිලම හා සප්ත කන්යා, වසන්ත ඔබේසේකරයන්ගේ දඩයම, ධර්මසිරි බංඩාරනායකයන්ගේ හංසවිලක් හා සුද්දිලාගේ කතාව, පරාක්රම නිරිඇල්ලයන්ගේ අයෝමා, ධර්මසේන පතිරාජයන්ගේ සොල්දාදු උන්නැහේ සහ ඩී බී නිහාල්සිංහයන්ගේ මල්දෙණියේ සිමියොං යන චිත්රපට එතුමා රඟපෑ විශිෂ්ට සිනමාපට පොකුරෙන් කිහිපයක් පමණි.
එතුමා 1992 දී Spies Inc නම් ඇමෙරිකානු චිත්රපටයේ බෞද්ධ භික්ෂුවකගේ චරිතයකට පණ පොවමින් අන්තර්ජාතික සිනමාවටද එක්වීමට එතුමාට හැකි විය.
පුංචි තිරයේද බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ චරිත ඇතුළු තමන්ට ලැබෙන ඕනෑම චරිතයක් ජීවමාන කරමින් එතුමා රඟපෑවේය. ඇස් කරකවමින් , මුහුණේ මස්පිඩු පෙරළමින් හා අත පය සතරඅත විහිදුවමින් එතුමා කළ රංගනය කළ හැක්කේ වෙන නම් කාහටද? එහෙත් අදින් පසු අපට ඒවා ජීවමානව බලාගත නොහැකිවනු ඇත.
ඔහුත් පොසොන් සඳ බැස යන්නටත් මත්තෙන් අපේ දිවියෙන් බැස ගොහිනි.
ආදරණීය පියාණනි , සහෘද කලාකරැවාණනි දිනෙක අප නැවත හමුවෙන තුරැ ඔබට සුබ ගමන්!
චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය
මට වැඩියක්ම එතුමාව මතක "ලොක්කේ මාමා" හැටියට. එතකොට "හිරුට මුවාවෙන්" නොහොත් "ඉඳි ආප්ප කතාවෙ" කරපු රංගනයත් මතකයේ තියනවා...
ReplyDeleteඔය අඩුව පුරවන්න ලේසි නෑ...
චන්දන සහෝදරයා, ඔබ මේ අඩවියේ කළාකරුවන් හා සිංහළ චිත්‍රපට කලාව වෙනුවෙන් කරන මෙහෙය ප්‍රශංසනීයයි.ඒත් මේ තුලින් කලාකරුවෙක් කෙරෙහි පලකරන ලිපි බොහෝමයක අවසනවන්නේ ශෝකාන්තයකින්.මේ රටේ කළාකරුවන්ගේ ඉරණම වන්නේ මහළුවියට පත්වූ පසු ආධාර ඉල්ලා පුවත්පත් දැන්වීම් පලකිරීම ලෙස අර්ථදැක්වීමට හැකි තරමට බහුතරයකගේ ජීවිත අසරණවෙලා.ඒ දේ එලෙස සිදුවිය යුතුද?මොවුන්ගේ විශ්‍රාම දිවිය සැලසුම්කිරීම වෙනුවෙන් කළාසංගම් අටවාගන සිටින අය මෙයට වඩා මැදිහත්විය යුතුයි නේද?සියල්ලන්ටම වඩා ඔවුන් තමන්ගේ අනාගතය වෙනුවෙන් මෙයට වඩා සිතිය යුතුයි නේද?
ReplyDelete(j.h.ශූරීන් අලලා ඇතිවූ සිතුවිල්ලක් නොවනබව කරුණාවෙන් සලකන්න ).
ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ අග්‍රගන්‍ය රංගන ශිල්පියා වෙනුවෙන් මෙම සටහන තැබීම පිළිබඳව.
ReplyDeleteඑතුමා පිලිබඳ මගේ මතකය අවදි කරනවිට, එතුමාගේ ගැඹුරු කටහඬ මුලින්ම මා සිත් ඇදගත්තේ 1960 දශකයේ ගුවන්විදුලි නාට්‍ය වලින්. ඇත්තටම එතුමාගේ කටහඬ පෞරුෂය සියලුම අසන්නන්ගේ සිත් තදින් පැහැරගත්තා.
බටහිර කෙටිකතාවක් ඇසුරෙන් නිර්මාණය කල ගුවන්විදුලි නාට්‍යයක එතුමා, 'හෙයියන්තුඩුවේ වනිගසේකර' නමැති චරිතයක් ඉදිරිපත් කල අතර, එය හාස්‍යයද මුසු සමාජ නාට්‍යයක්.
ඔහුගේ නිර්ව්‍යාජ අවංක සහ එඩිතර අදහස් දැක්වීම් පුවත්පත් සාකච්ඡා මගින් ඉදිරිපත්වුනා. ඔහු රූපවාහිනී සාකච්ඡාවලට එතරම් ප්‍රියකලේ නැහැ.
60 දශකයේ ගුවන්විදුලියේ ජනප්‍රියවූ වැඩසටහනක් තිබුණා 'විසිපැණ' නමින්. මෙයට සහභාගිවන පිල් දෙකක් ඉන්නවා. බොහෝ අය කලාකරුවන් සමහරු රාජ්‍ය සේවයේ නිළධාරීන්.
මෙහිදී යම්කිසි ඉඟි වැකියක් දෙනවා. මෙහෙයවන්නා විසින්. ඒ කාලේ මෙහෙයවන්නා මට මතක හැටියට එච්.එම්. ගුණසේකර මහතා. අර ඉඟිවැකිය ප්‍රකාශ කලාට පසු, අසන්නන්ට පමණක් ඇහෙන්න පිළිතුර කියනවා වෙනම මයික්‍රෆොනයකින්.
ඉන්පසු අර පිල් දෙකේ අයට පුළුවන් සාම ඉඟි වැකියක් වෙනුවෙන්, මෙහෙයවන්නාගෙන් ප්‍රශ්න 20 ක් අහන්න. අඩුම ප්‍රශ්න ගණනක් අසා පිළිතුර හොයාගත් පිල දිනුම්. ඒ කාලේ මෙය හරිම රසවත්. පිල් දෙකේ නායකයන්ව සෑහෙන කාලයක් හිටියා ජේ.එච්.ජයවර්ධන සහ හෙන්රි ජයසේන. මෙහිදී ජේ.එච්. කියන මුඛරි කතා හරිම රසවත්. පසුව ඔහු එම වැඩසටහන මෙහෙයවීමද කළා.
ලොක්කෙ මාමාට සුභ ගමන්!
ReplyDeleteමොණරතැන්නේ රජ්ජුරුවෝ මිය යයි
ReplyDeletehttp://transyl2014.blogspot.ca/2015/06/blog-post_3.html
ඇත්තෙන්ම බස්නාහිර පළාතෙ පුද්ගලයෝ වෙච්ච අපිට දකුණු පළාතේ (අමුතු) භාෂාව හඳුනාගන්න පුරෝගාමී වෙච්ච පුද්ගලයෙක් තමයි මොණරතැන්නේ රජ්ජුරුවෝ.
ReplyDelete"මක්කටෙයි අර?" වගෙ යෙදුම් අපේ කන්වලට හුරුවෙන්න මොනරතැන්න බලපෑවේ මධ්‍යම පළාතේ (ආයෙම අමුතු) භාෂාව අපි අතරට ගේන මුවන්පැලැස්ස හේතු වුන ආකාරයටමයි.