Pages

Thursday 16 April 2015

මාස්ටර් සර් නික්ම ගියේය.........



අපේ කාලයේ ලංකාවේ පමණක් නොව ලෝකයේම ප්රසිද්ධ මෙන්ඩිස්ලා කිහිප පොලක්ම වූහ. මෙයින් මෙන්ඩිස්ලා තිදෙනෙකුම මහා වැඩ කරැවන් වූයේ ක්රිකට් පිටියේය. 

70-80 දශකයේ පිත්තෙන් බෝල පැලූ දුලිප් එක මෙන්ඩිස් කෙනෙකි. ඉන්පසු මෑත කාලයේදී ක්රිකට් ලොව පන්දුවෙන් දඟ කැවූ අජන්ත හා ජීවන් අනෙක් මෙන්ඩිස්ලා දෙදෙනාය. 

මේ අතර පොල් වලින් පෙරෑ ' මෙන්ඩිස් ස්පෙෂල්ද' මද පමණින් පානය කළ බොහෝ දෙනෙකු වෙරි මත හිඳෙන තුරැ සිතින් මෙන්ඩිස්ලා වූහ. 

මා කියූ මේ මෙන්ඩිස්ලා සමාජයේ වැඩ පෙන්වද්දී තවත් මෙන්ඩිස් කෙනෙකු වැඩි කලබලයක් නොමැතිවම ජනතාවගේ හදවත් තුළ ලැගුම් ගෙන සදා එහි රැඳෙන්නට සමත් විය. 

වැඩිය කැපී පෙනෙන්නට නොආ ඔහු වැඩ පෙන්නුවේ සත් සරයෙනි. බටහිර සංගීතය හා සම්මිශ්රව හෙල සංගීතයේ නිම් වළලු පුළුල් කළ එතුමා රැල්ල යන දිශාවට නොව උඩුගං බලා පීනුවේය. සිංහල සංගීතයට නව මානයක් එකතු කළේය. 

මේ මෙන්ඩිස් නම් අප සැවොම ආදරය කරන නිමල් මෙන්ඩිස්ය. 



එතුමා තනු නිර්මාණය කළ 'මාස්ටර් සර් 'ගීතය, අමරදේවයන්ගේ ගායනයට නැවුම් වෙනසක් එකතු කළ 'නිම් හිම් සෙව්වා' ගීතය, ගඟ අද්දර සිනමා පටයට නිර්මාණය කළ ' ගඟ අද්දර ' ගීතය එතුමාගේ අමරණීය නිර්මාණයන්ගෙන් කිහිපයකි. 

එතුමා ගීත රාශියක් නිර්මාණය කළ අතර ගඟ අද්දර, ගැහැණු ළමයි, බැද්දේගම , The God King, White flowers for the dead යන චිත්රපට වල සංගීතය අධ්යක්ෂණයද කළේය. 

සිංදු ලිවීමෙහිද දක්ෂයෙකු වූ මෙතුමා සංගීත නිර්මාණ සඳහා සම්මාන රාශියක්ද දින ගැනීමට සමත් විය. එතුමා ඉංග්රීසි බසින් ලියූ මාස්ටර් සර් සහ yesterday today or tomorrow යන ගීත සිංහලට පරිවර්තනය විය. Yesterday today or tomorrow ගීතය සිංහලට නැගුණේ නිම් හිම් සෙව්වා මා සසරේ නමිනි. 

1968 වසරේදී එංගලන්තයේ BBC සේවාවේ Top of the pops ජනප්රියම වැඩසටහනට දායකවීමට පවා එතුමාට හැකිවිය. 

වසර 33 ක් එකට යුගදිවිය ගෙවූ සිය ප්රිය බිරිඳ 2010 දී ගිය ලොව වෙත එතුමාවත් ගෙන යාමට රැඳුරැ මරැවා අද අප්රේල් දහසය වෙනිදා උදේ තීරණය කොට තිබිණි. එය ජීවත්වන අපට මහත් දුකක් පාඩුවක් වුවද එතුමාටනම් සැනසිල්ලක් වන්නට ඇත. 

එතුමා ගැන සටහනක් එතුමා අප හැර යන තුරැම ලිවීමට නොහැකිවීම ගැන මට ඇත්තේ මහත්මවූ කණගාටුවකි. 

බොහෝ කලක් ලන්ඩනයේ විසූ එතුමා මිය යන විට අසූ එක් වියෙහි පසුවිය. 

මේ නිමක් නොමැති සසර කතරේ යුගයෙන් බැඳි යුගයේ අප හමුවන තුරාවට ඔබට මම සමු දෙන්නෙමි. මාස්ටර් සර් ඔබට සුබ රාත්රියක්!

චන්දන ගුණසේකර - එක්සත් රාජධානිය

6 comments:

  1. රන් ටිකිරි සිනා.. මුව මුව පාලා.. ළංවී අත අල්ලාගෙන ඇස් දැල්වූවා!
    නිමල් මෙන්ඩිස් මහතාණෙනි, ඔබට සුභ ගමන්!

    ReplyDelete
  2. බටහිර සංගීත ආකෘති තුලින් අපේ හඬක් ගෙන ඒමට තරම් ඔහු සමර්ථ වීම නිසා ඔහුව අපට මේ තරම්ම දැනෙනවා විය හැකියි.
    ඔහුට සුභ ගමන්..
    ජයවේවා..!!

    ReplyDelete
  3. අැත්තට ම නිර්මාණකරුවන් මිය ගියාට පස්සේ අගය කරන අපිට වටිනා අවස්ථාවක්.....

    ReplyDelete
  4. ඔහු මගේද හද බැඳගත් නිර්මාණ කරුවෙකි.ගාන්ධර්වයාණෙනි ඔබට සුබ ගමන්!!

    ReplyDelete
  5. හුගේ ප්‍රතම චිත්‍රපට සන්ගීත අද්යක්ශනය "කලුදියදහර" චිත්‍රපටයට මාස්ටර් සර් ගීතය ඇතුලත්විය.රවින්ද්‍ර රන්දෙනිය සහ ඉන්දිරා ජෝන්ක්ලාස් ප්‍රදාන චරිත රගපැවා.මතකයේ හැටියට එය රවීන්ද්‍රගේ ද ප්‍රතමරගපෑම විය.නිමල් මෙන්ඩිස් ඔබට සුව නින්දක්.(රන්ජන්)

    ReplyDelete
  6. ඔහු ගැන යම්ක් ලිවීම ගැන උඹට මගේ ප්‍රණාමය...

    ReplyDelete