Pages

Saturday 12 April 2014

අවුරුදු සිතිවිලි......


නාස් කුහර වල අයිතිය කැවුම් සුවඳ බදුඅරගෙන
සාස් පාන් හැම එකකම රස කැවිලිම රොදබැඳගෙන
'සූස්' හඬින් රතු මාමත් කෙසෙල් කැනට දුංපිඹගෙන
දාස් ගණන් ගියා කියපි අළුත් සරමකුත්මහගෙන
   
කොවුල් නදක් පැතිරෙද්දී කපුටන් හැම සිල් ගන්නේ
එරබඳු ගස් රතු පාටින් හිනැහී උඩඟුව ඉන්නේ
කජු පුහුලන් ඩැහැ ගන්නට මා වවුලන් පොර කන්නේ
බිත්ති පුරා හුණු අතුරන් හැම නිවසම හැඩ වන්නේ
   
ගස් වැල්වල මල් පිපිලා රජ උයනක සිරි ගත්තේ
බත බුලතින් සරු පාටයි සිනා ගලයි හැම පැත්තේ
ඔංචිල්ලාවක් පැද්දෙයි කරඹ ගහේ උඩ අත්තේ
පංච දාන ළඳුන් පිරෙයි ලොකු ආතාගෙ ගෙයි වත්තේ
   
බුලත් වැලේ කොළ කඩලා අතක් වෙන්න ගෙන හොඳටම
පරණ තරහ මරහා මකන් අද තුටුවෙයි හැම එකටම
අළුත් ඇඳුම් පුසුඹ හමයි කිරි බත් සුවඳත් සමඟම
සුබ නැකැතට වැඩ අල්ලා අවුරුදු කයි මහා ජයටම
   
සතුටින් සාමෙන් ඉන්නට හැකිනම් මේ ලෙස සැමදා
අවුරුදු වාගෙයි රටටම කිරි ඉතිරෙයි දුක නොරඳා
සිතට ගනිමු දුරලන්නට කළ අනුවණ කම් පෙරදා
සහෝදරත්වේ නාමෙන් එක්වෙමු දුසිරිත පරදා
   
   
ඔබ සියළු දෙනාටම සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!!

12 comments:

  1. ලස්සන කවි ටික චන්දන,මට නං කවි ලියන්න බෑ.ඔබටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  2. අවුරුදු එනකන් අපිත් බොහොම ආසාවෙන් බලන් ඉන්නවා...
    ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  3. අයියටත් පවුලේ සියළුම දෙනාටත් සතුටින් පිරුණු සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete
  4. කවි ටික ලස්සනයි !

    අපිට කොහා නෑ තවම. එරබදු නම් කොහොමත් නෑ. කජු ගස් දරට කපලා.. ඔන්චිල්ලා නෑ. කරඹ ගහ ගැලෙව්ව තේ හිටවන්න. //පංච දාන ළඳුන් පිරෙයි ලොකු ආතාගෙ ගෙයි වත්තේ// ඒ අපේ ගෙදර ඉස්සර තිබුනු විදිහ. පංචි ලෑල්ල පැත්තක දාල තෙමිල දිරල ගියා.

    වාර්තාව නිමි.. :)

    චන්දනටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!

    ReplyDelete
  5. උඹලටත් සුභ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  6. සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා ඔබටත්..!

    ReplyDelete
  7. පොඩි කාලේ අවුරුදු සුවද මතක් කරන පද වැල් ටික මචෝ.....

    ReplyDelete
  8. ඔයාගෙ කවිපෙළ සාම්ප්‍රදායික ගමක දර්ශනයක් හිතේ මවනවා...එවැනි තැනක නම් අවුරුද්ද හරිම සතුට දනවන මංගල්ලයක්...නමුත් වර්තමාන සමාජයේ මෙවැනි පරිසරයක් හොයාගන්න නැති තරම්...

    ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා කියා පතන්නම්...සියලු සුභ පැතුමන් ඉටුවේවා !

    ReplyDelete
  9. තියන තියන හැම පියවර සුභ වේවා
    කරන කියන දේ රිසි ඵල ගෙන දේවා
    හිතන පතන සැප සම්පත් ඉතිරේවා
    නිතින සහන ලැබදෙන වසරක් වේවා

    සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  10. උඹේ කවි ටිකෙන් පරණ ගැමි අවුරුද්දේ මිහිර වින්දා. මේ පාර සතියක් දෙකක් ගම රට පුරා ඇවිද්දා . ඉස්සර අවුරුදු මතක් වුනා. උඹට හා පවුලේ සැමටත සුබ අලුත් අවුරුද්දක් පතනවා.!!

    ReplyDelete
  11. මගේ කවි රස විඳ මා අගයමින්‍ අවුරැදු සුබ පැතුම් ගෙනා ඔබ සැමටම ස්තූතියි!!

    ReplyDelete
  12. පරක්කුවෙලා අරක්කු බෝතලයකුත් අරන් ආවේ..කෝ අවුරුදු.

    ජයෙන් ජයම වේවා!!

    ReplyDelete