Pages

Thursday 5 September 2019

අවුෂ්විට්ස් හි පච්ච කොටන්නා....



පූර්විකාව..

ලලී, තමන් වෙත පෑ ' කොළ කැබැල්ල ' ගැනීමට උත්සුක වූවා මිස හිස ඔසවා ඒ දෙස නොබැලීමට උත්සහ ගත්තේය. ඔහු එහි වූ ඉලක්කම් පහ, එය දුන් තරුණියගේ වම් බාහුවේ කෙටිය යුතු විය. ඇයගේ අතෙහි දැනටමත් අංකයක් වූවද එය දුර්වර්ණ වී මැකී යාමට ආසන්නව තිබිණි. ඔහු ඉතාමත්ම මෘදු ලෙස පච්ච කෙටීමට යොදා ගන්නා ඉඳිකටුව ඇයගේ වම් බාහුවට තබා තද කොට, තුනේ ඉලක්කම ඇන්ඳේය. ලේ දහරාවක් ඉන් පිටතට විඳිණි. එනමුත් ඉඳිකට්ට ප්‍රමාණවත් තරමට සම ඇතුළට නොගිය හෙයින් ඔහුට නැවතත් අංක තුන මතම කටුව යැවීමට සිදුවිය. ඇය වේදනාවෙන් හැකිළුනේ නැති වුවත් මෙය ඇයට හිරිහැරයක් බව ළලී හොඳින්ම දැන සිටියේය. නමුත් ඔවුනට අනතුරු හඟවා තිබුණේ, කිසිවක් නොකියන්න සහ කිසිවක් නොකරන්නටයි. ඔවුන් හුස්ම ගන්නා ඇවිඳින මළමිනී බඳු වූහ. ඔහු හනික ඇයගේ අතෙහි වූ ලේ පිසදමා තුවාලය මත කොළ පැහැ තීන්ත ඇතිල්ලුවේය.

" ඉක්මන් කරනවා" පෙපන් කෙඳිරීය.

ලලී, මේ කාරියට වැඩි වෙලාවක් ගත්තේය. මිනිසකුගේ අතේ පච්චයක් කෙටීම එක දෙයකි. එහෙත් තරුණ කෙල්ලකගේ සිරුර පච්චයකින් වුවද කෙලෙසීම ඔහු තුළ ඇතිකළේ තැතිගැන්මකි. හිස ඔසවා යාන්තමින් බැලූ ලලීට, පෝලිමට සිටගෙන සිටින තරුණියන් පසුකර හිමින්සීරුවේ ඉඳිරියට ඇදෙන සුදු කබායක් හැඳි මිනිසකු ඇස ගැටිණි. ඉඳ හිට මේ අමුත්තා නැවතී, බියෙන් තැතිගත් සුදු මැලි මුහුණින් යුතු තරුණියන්ගේ මුහුණු සහ අඟපසඟ පරීක්ෂාවෙන් බැලීමටද අමතක නොකළේය. අවසානයේ ඔහු ළලී වෙත ළඟා විය. ළලී තරුණියගේ අත, ඔහුට හැකි උපරිමයෙන් ඉතාමත්ම මෘදුව අල්ලාගෙන සිටිද්දී සුදු කබාකාරයා ඇයගේ මුහුණ ඉතා දැඩි ලෙස අල්ලා දෙපසට සෙලවීය. ළලී ඇයගේ තැතිගත් දෙනෙත් දෙස වහා හිස ඔසවා බැලුවේ එවිටය . ඇයගේ තොල් යමක් කීමට මෙන් සෙලවිනි. වහාම ක්‍රියාත්මක වූ ළලී ඇයගේ අත තදින් මිරිකා ඇයව ඉන් වලාකාලීය. ඇය ලලී දෙස බැලු විට, ඔහු මුවින් " ෂ්ෂ්..!!" හඬක් නගා ඇයට නිහඬ වන ලෙස ඉඟි කළ අතර එකෙණෙහිම වාගේ සුදු කබාකාරයාද ඇයගේ මුහුණ අතහැර දමා එතැනින් ඉවත් විය. 

" බොහොම අගෙයි!" යැයි මිමිණු ලලී, ඉතිරි ඉලක්කම සතර වූ 4 9 0 හා 2 ද ඇයගේ අතේ කෙටීමට සූදානම් විය. එම අංකද කොටා අවසන් කළ ඔහු, ඇයගේ අත උවමනාවටත් වඩා වැඩි කාලයක් අල්වාගෙන සිටිමින්ම නැවතත් ඇයගේ දෑස් වෙත එබී බැලීය. ඔහු මහත් ආයාසයකින් සිනාහවක් උපදවාගත් කල, ඇයද පෙරළා සිහින් සිනහවක් ඔහු වෙත පෑවාය. ඒ කෙසේ වෙතත් ඔහු හමුවේ පොපියන ඇයගේ දෙනෙත දුටු ලලීට , ප්‍රථම වරට තම හදවත නතර වූ බව සහ ඒ සමඟ ගැහෙන බවද හැඟී ගියේය. හදවත කෙතරම් තදින් හා වේගයෙන් ගැහුණාද කියතොත් එය පපු කුහරය ඉරාගෙන එළියට පැනීමේ අවදානමක පවා ඇති හැටියක් ඔහුට දැනිණි. ඔහු පොළොව දෙසට නෙතු හරවා ගත් අතර එය භ්‍රමණය වන්නා සේ විය. එවිටම තවත් ' කොළ කැබැල්ලක්' ඔහුට භාර දුනි. 

" ඉක්මන් කරනවා ලලී! " පෙපන් මහා හදිසියකින් මෙන් මිමිනූ අතර ඔහු නැවතත් හිස ඔසවා බලද්දී ඇය පෙනෙන්නට නොසිටියාය....

ඒ අද්වීතීය ප්‍රේම පුරාණයේ ඇරඹුම මෙයයි. මෙතෙක් කාලයට ලෝකයේ බිහි වූ ම්ලේච ඒකාධිපතියන් අතර ඉහළින්ම සිටනා ජර්මනියෙ මිනීමරු හිට්ලර්ගේ වධකාගාරයක නරා දුක් විඳි තවත් එක් යුදෙව්වකු පමණක් වුවත් ලලීට තිබුණේ කාටවත් නොතිබුණ ආකාරයේ කතාවකි. තමන්ගේ ජාතිය සිරගෙදරක දුක් විඳ මිය යාමට හේතුවක් වූ මිලියන ගණනක් මිනිසුන් අතර තවත් එක මිනිසකු පමණක් වුවත් ඔහුට අද්වීතීය ප්‍රේම කතාවක් තිබිණි.

කතාව ඇරඹෙන්නේ මෙලෙසිනි,

" අවුෂ්විට්ස් හි පච්ච කොටන්නා....

පළමුවෙනි පරිච්ඡේදය- 1942 බක් මාසය..

ලලී, ඉතා කඩිනමින් ගම් නියම්ගම් පසු කරමින් සිටියේය. ඔහු හිස කෙළින් තබාගෙන පසුවූයේ දැන් ඉතිං ඔහුට ඔහුම පමණක්ම නොවේදැයි සිතමිනි. මේ වයස 24 ක යෞවනයාට තමන් පසෙකින් වුන් ඉඳහිට ඔහුගේ උරහිසෙහි ඇතිල්ලුණු මිනිසාව පවා හඳුනා ගැනීමේ කිසිදු උවමනාවක් නොමැති බවක් පෙනෙන්ට තිබිණි. එහෙත් ලලී ඔහුව ඉවතට තල්ලුකර නොදැම්මේය. ඔහු, ඒ මොහොතේ ගොවිපළ සතුන් ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගන්නා දුම්රිය මැඳිරියක් ඇතුළට ගාල් කළ අසීමිත මිනිසුන් පිරිසක් අතරින් එකෙකු පමණක් විය. ඔවුන් කුමන ගමනාන්තයක් වෙත යන්නේ දැයි නිනව්වක් නොවුනද , ළලී තමාගේ සුපුරුදු ඇඳුම් කට්ටලයෙන් එනම්, රැල්ලක්වත් නොහිටින සේ ඉස්තිරික්ක කළ කලිසම, පිරිසිදු සුදු පැහැ කමිසය සහ ටයි පටියෙන් සැරසී සිටියේය. ඔහු කවදත් ඇන්ඳේ කැපී පෙනෙන ලෙසටය. 

තමන් සිර වී සිටින මැඳිරියේ දිඟ පළල හිතින් මැන ගැනීමට ළලී උත්සහ කළේ කාන්සිය පලවා හැර ගන්නට මෙනි. මැඳිරිය මීටර දෙකහමාරක් පමණ පළල වූ අතර එහි දිඟ සිතාගැනීමට එහි කෙළවර ඔහුට නොපෙනුණි. ඉන් පසු ඔහු, ඔවුන් යන මේ චාරිකාවේ, තමන් සමඟ ගමන් ගන්නා මිනිසුන් ප්‍රමාණය ගණන් කිරීමට කිහිප විටක්ම උත්සහ ගත් නමුත්, ආකාසේ වරින් වර දැල්වී නිවෙන තාරකා මෙන් තැනින් තැන, විටින් විට මතුවන ඔළු ගෙඩි නිසා ඒ කාරිය කිරීම ඉතාම අසීරු කටයුත්තක් බව ඉක්මනින්ම ඔහුට වැටහනි. අවසානයේ මිනිසුන් ප්‍රමාණය ගණන් කිරීමේ උත්සහය ඔහු අතහැර දැමුවේය. එපමණක් නොව මෙවැනිම දුම්රිය පෙට්ටි කොපමණ ප්‍රමාණයක් ඇතිදැයිද වත් ඔහු දැනගෙන සිටියේ නැත. එකතැනම සිර වී සිටීමෙන් ඔහුගේ පිට කොන්ඳ සහ පාද රිඳුම් දුන් අතර මුහුණෙ කැසීමක්ද ඇති වුණේ ඔහුව තව තවත් අසීරු තත්වයකට පත් කරමිනි. මුහුණේ වූ රැවුල් කොට, ඔහු මීට දින දෙකකට පෙර මේ දුම්රියට ගොඩ වූ දා පටන්, ඇඟපත සෝදා ගත්තේවත් රැවුල කැපූවේවත් නැති බව ඔහුට කියා පෑවේය. ඔහුට තමා අන්තම අන්ත අසරණ තත්වයකට ඇද වැටී ඇති බව වැටහිණි.

ලලී සොකලෙව් ඒ ඔහුගේ නමයි( ඔහුට උපතේදී ලැබුණු නම ලුඩ්විග් අයිසන්බර්ග් වූවත්), ස්ලොවැකියාවේ යුදෙව්වෙකු ලෙස උපත ලැබීම ඔහුට මිනීමරු හිට්ලර්ගේ වධකාගාර අතුරින් තවත් එක් දරුණුම වධකාගාරයක් වූ පෝලන්තයේ පිහිටි අවුෂ්විට්ස් හී වසර ගණනාවක් සිර වී අපාදුක් විඳින්නට සිදුවූ එකම සුදුසුකම විය. එහෙත් ඔහුට එක් අරමුණක් තිබිණි. එකම එක අධිෂ්ඨානයක් තිබිණි. එනම් කවදා හෝ දිවිය රැකගෙන මේ වධකාගාරයෙන් නිදහස් මිනිසකු ලෙස පිටවීමයි. 

වසර ගණනාවක් අවුෂ්විට්ස් හී ගත කළ දිවියේදී ඔහුට කිහිපවික්ම මරණය ළඟටම පැමිණ ඇරයුම් කොට ආපසු ගියේය. අන්තිම අමානුෂික දඬුවම් වලට මුහුණ පාන්නට සිදු විය. එහෙත් ඒ එකකින්වත් ඔහුගේ කෙසේ හෝ දිවි රැකගනිමියි යන අධිෂ්ඨානයට අබමල් රේණුවක තරමින් හෝ බලපෑමක් කිරීමට නම් නොහැකි විය. 

ඔහු මිනිසුන් මරණ හැටි, මිය යන හැටි, අමානුෂික දුක් විඳින හැටි, දැඩි දඬුවම් ලබන හැටි සියැසින්ම දුටවේය. එහෙත් ඒ හැමවිටම තව තවත් ධෛර්‍යමත් වෙමින් ඔහු ජීවත් විය. හැකි හැම විටම ජාතියක් ආගමක් හෝ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව හැමටම හැකි පමණින් උදව් කළේය. අති උතුම් බුද්ධ දර්ශනයේ උගන්වන ලෙස දිට්ඨ ධමම වේදනීය කර්මයක් ලෙස ඔහුට ඒ කළ උදව් ඒ අත්මයේදීම පළ දීම ආශ්චර්‍යක්ම විය. කිහිප විටක්ම ඔහු නිතරම මරණය අත වනන ඒ අඳුරු මිනීමරු වධකාගාරයේදී මරණයෙන් බේරුණේ ඒ අනුහසිනි. 

මේ අතර මේ සටහනේ මුලින්ම මා පූර්විකාව ලෙස ඉදිරිපත් කළ ලලීගේ දිවිය වෙනස් කළ ඒ දෑස හමු වීම ඔහුගේ ජීවිතයට නැවුම් බලාපොරොත්තුවක් එක් කළ ස්වර්ණමය මොහොත විය. 

ගීටා නම් වූ ඒ තරුණියද ලලී උපන් බිම වූ ස්ලොවැකියාවේ උපන් ස්ලොවැකියානු ජාතික යුදෙව් තරුණියකි. ඇයද තවත් සිරකරුවන් පිරිසක් සමඟ අවුෂ්විට්ස් කඳවුරට ගෙන එන ලදී. අනෙක් සිර කටුවන්ට මෙන්ම ඇයගේ අතෙහිද අංකය කෙටීමට සිදුවූයේ ළලීටය. ඇයගේ අතේ පච්චය කෙටූ දාම ඇය ඔහුගේ හදවතට ඇතුළු වූවාය. ඒ සිදුවීම ලලී පැවසුවේ මෙලෙසින්ය. " I tatooed her number on her left arm and she tatooed her number in my heart , මම ඇයගේ වම් අතේ ඇයගේ නොම්බරය පච්ච කෙටීමි. ඇය මගේ හදෙහි ඇයගේ නොම්බරය පච්ච කෙටුවාය" යනුවෙනි. 

වසර ගණනාවක් මරණයෙන් බේරෙමින්, සමහර විට මරු තුරුලටම ගොස් ආපසු එමින් හා එකිනෙකාට උදව් කර ගනිමින් ඔවුන් ගත කළ ජීවිතය හා උත්තරීතර ආදරයක නාමයෙන් ඔවුන් එකිනෙකාට කරගත් කැපකිරීම් අති ප්‍රශංසනීයය. සැබෑ ආදරකට මෙයටත් වඩා තවත් උදාහරණ කොට දැක්විය හැකි කතාවක් ඇතැයි මටනම් නොසිතේ. මේ වධකාගාර තුළ ඇතිවූ , පැවතියා වූ සහ බොහෝවිට බහුරයකගේ මරණයත් සමඟම වැළලී ගියා වූ දහසකුත් එකක් කතාන්දර අතර ලලීගේ සහ ගීටාගේ කතාව සුවිශේෂී වන්නේ එහෙයිනි. 

ලලී ඉතාමත්ම ක්ෂූක්ෂම අයුරින් SS භටයෙකුගේ සිත දිනා ගත් ආකාරයත්, පිටතින් වැඩ සඳහා පැමිණෙන ශ්‍රමිකයන් හා එක්වෙමින් කළා වූ වික්‍රමයන්ද අද්විතීයය. ඔහුගේ අවංක, හොඳ හිත සැමවිටම ඔහුව නපුරින් රැකගත් පලිහක් විය.

අවුෂ්විට්ස් හි පච්ච කොටන්නා එසේත් නැතිනම් " The taoooist of Auschwitz" පොතේ ගලා යන්නේ ඔවුන්ගේ ඒ සැබෑ ආදරයේ සත්‍ය කතා පුවතයි. වරෙක සංවේදීද වරෙක අඟේ ලොමුදැහැ ගැන්වෙන සුළු වූද මේ සත්‍ය පුවත ඉංගිරිසි බසින් අපට ගෙන එන්නෙ හීතර් මොරිස් නම් වූ දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචි නවසීලන්ත ජාතික කතුවරියයි. ඇය සරල හා ළගන්නා සුළු බසින් ගෙන එන මේ කතා පුවත අපට ගම්‍ය කරන්නේ මේ නපුරු සමාජයේ කෘරත්වය පරදා සැබෑ ආදරය හා ස්නේහය ජය ගත් තවත් එක් උත්තරීතර නිමේෂයක් විලසිනි. 

ලලී සමඟ කළ සම්මුඛ සාකච්ඡාව මෙතැනින්
https://youtu.be/u_hOwsy4AM8

හීතර් මොරිස්ට කීමට ඇති දේ මෙතැනින්
https://youtu.be/70pxBGXkm9E

පසු සටහන:

මම මෙතෙක් කලක් ලියූවේ මගේ සහෝදර ලේඛක ලේඛිකාවන් ලියූ පත පොත ගැනය. එහෙත් අද වෙනසක් ඇත. මම එය ඔබට පවසන්නෙමි. අද මා මේ ලියන්නේ මා විසින්ම කරන ලද පරිවර්තනයක් පිළිබඳව වීම ඒ මහා වෙනසයි. 

එදා මම මේ සටහන ලියනා මොහොතේ මෙම පොත මගේ මව්බිමේ පාඨකයින්ට සිංහලෙන් කියවීම සඳහා පරිවර්තනය කරමියි යන අදහස මගේ සිත තුළ පැවති සිහිනයක් පමණක්ම විය. එහෙත් එම සිහිනය සැබෑ වී ඇති මේ මොහොතේ එහි ප්‍රහර්ශයෙන් මත් වී මම මේ පසු සටහන ලියමි. එම හැඟීම විස්තර කිරීමට මට වචන නැත. එය තමන්ම විඳ බැලිය යුතුය. මම පොතේ නැවුම් පිටුවල ඇති ඒ කවදත් මම ප්‍රිය කළ තීන්ත සුවඳට ඉව කරමි. එයින් එන්නේ මගේ ආත්මයේම සුවඳයි. මා සුයාමයක පාවි යන්නාක් මෙනි. මම තවත් කිසිත් නොකියමි. මගේ පරිවරතනයේ ගුණ දොස් පැවසීම ඔබට භාර කරමි.

ඉඳින්, සහෘද හිතවතුනි, මගේ කුළුඳුල් පරිවර්තනය කියවා වචනයකින් හෝ ඔබගේ අදහසක් දක්වන මෙන් ඇරයුම් කරමින් මම නවතිමි.



චන්දන ගුණසේකර

1 comment: