Pages

Tuesday 29 January 2019

වීරයා ගෙදර ඇවිත්....


 

 

වීරයකුට වුවද තමන් ලද වික්රමයේ නියම සතුට දැනෙන්නේ තමන්ගේ ගෙදරට විටය. මෙලෙසින් බොහෝ වීරයෝ ගෙදර ආහ. එහෙත් සමහර වීරයෝ ගෙදරට ආවෙ පෙට්ටියෙනි. එසේත් නැතිනම් අත, පය හෝ දෑස් නොමැතිවය. සමහර වීරයන්ට, ගෙදරට පෙට්ටියෙන් හෝ ඒමට වාසනාව නැතිවිය. එහෙත් ඔවුන් සැමගේම හදවත් තුළ සැමදාම වීරයන් ලෙස ජීවත් වූහ.

 

එහෙත් සමහර වීරයෝ නම් ගෙදර ඒමටත් පෙර බලු වූහ. වීරයා කියන නමටත් නිඟා දුන් ඔවුන් කෙරෙහි ජනතාවගේ හදවත් වල වූයේ පිළිකුලකි.

 

ඉඳින්, අපේ මේ කථාවේ වීරයාද ගෙදර ආවේය. එහෙත් දෑස නොමැතිව අන්ධයකු ලෙසය. ඔහු වීරයකු වූයේ කෙලෙසද, ඔහුගේ දෑස අන්ධ වූයේ කෙලෙසදැයි තවම අප නොදනිමු. එහෙත් ඔහු කාලයක් අතුරුදන්ව සිටි බව පමණක අප දනිමු.

 

ඔබට මා මේ කියන අප්රභ්රංශය කුමක්දැයි දැන්නම් කුහුලක් ඇති බවට කිසිදු සැකයක් නැත. මදක් සිටින්න. මා මේ කියන්නට යන්නේ අපේ ආදරණීය නාමල් ජයසිංහ සහෝදරයගේ තිර රචනයෙන් මුවහත්ව, සම්මානනීය අධ්යක්ෂක ආනන්ද අබේනායකයන්ගේ මෙහෙයුමින් පණ පෙවී ජාතික රූපවාහිනිය ඔස්සේ සති අන්තයේ අපේ නිවසට එන වීරයා ගැනය. එනම් " වීරයා ගෙදර ඇවිත්" නම් වූ ටෙලි නාටකය ගැනය.

 

නාමල් ජයසිංහගේ වැඩ ගැන අපි දනිමු. ඔහු තිර රචනා ලියූ "බොහීමියානුවා" , "අප්පච්චී " වැනි නාට්යද තිර පිටපත ලියා අධ්යක්ෂණය කළ " සහෝදරයා" වැනි නාට්යද නරඹා ඇති පාඨකයාට ඔහුගේ ප්රතිභාව ගැන විස්තර කිරීමට මම වචන නාස්ති කළ යුතු නැත. මන්ද ඒවා නැරඹූ අය නාමල් ජයසිංහ යනු කවරෙක්ද යන වග හොඳින්ම දන්නා බැවිනි.

 

බැද්දේ කුලවමිය, බොහීමියානුවා ඇතුළු විශිෂ්ට ටෙලි නාට් රාශියක්ම ශ්රී ලාංකීය ප්රේක්ෂකයා හට තිළිණ කළ ආනන්ද අබේනායකයන් ගැන කීමට ඇත්තේද එලෙසින්මය. ඔහු කවුද යන්න නරඹන්නෝ හොඳින්ම දනිති.

 

මෙම කථාවේ අදහස ඉනෝකා සත්යාංගනී නම්වූ අපූර්වතම අධ්යක්ෂකවරියගේය. ඇයගේ වැඩ කිඩ සම්බන්ධවද මා කුමක් කියන්නද? එහෙයින් මේ ත්රිත්වය එකතුව තැනු මේ වැඩේ 'ගහේම බඩුවක්' යැයි කියනු හැර ඊට දෙන්නට වෙන නම් විශේෂණ පදයක් මා ළඟ නැත.

 

මෙහි තවම මා නැරඹුවේ පළමු කොටස පමණි. නිර්මාණයක හොඳ හෝ නරක තීරණය කිරීමට මෙය තවමත් හිරිමල් වැඩිය. මෝරා නැතිය. එහෙත් පළමු කොටසින්ම මගේ හදවත සසල වූ බව නම් නොකියාම බැරිය.

 

කථාවේ නාමාවලිය තිරයේ දිස් වන්නේ යමකුගේ බොඳවූ දෑසකින් පෙනෙනා පසු බිමකය. එතැනින්ම අධ්යක්ෂකවරයා ප්රේක්ෂක නාඩිය කර මුලින්ම අල්ලා ඇත්තේය. පසුබිමින් ඇසෙනා කේමදාසයානු සංගීතයද ඉතා අපූරුය. හදවතේ පතුලටම වදින්නේය. එය මෙහි සංගීත අධ්යක්ෂකවරයා වූ ගයාන් ගණකදාරගේ ප්රාතිහාර්යකි.

 


ඉන්පසු තිරයේ දිස්වන්නේ ශුෂ්ක වියළි කලාපයේ මහ මාර්ගයක ධාවනය වන හුදෙකලා බසයකි. මඟ දිගට පසු වී යන කටු පඳරු සහිත ලඳු කැලෑ අප මංඩියට රහසේම ගෙන යයි. බසයේ සිටින කළු කණ්ණාඩි පැළදි තරුණයෙකි. මේ චරිතයට පණ පොවන රොෂාන් රවීන්ද්රගේ වැඩ අපි දනිමු. එහිදී දෑස් නොපෙනෙනා ඔහුගේ බෑගයද නැති වී බසයෙන් බැස කඩයක් සොයාගෙන එහෙ මෙහෙ හැපී හැපී ගමන් කරනා ආකාරය ප්රේක්ෂක හදවත සසල කරන්නේ අකුණක් ගැසුවාක් වැනි ක්ෂණිකයෙනි. එහි දී එහි බස් නැවතුමක් හෝ කඩයක් ඇතිදැයි අන්ධ තරුණයා ඇසූ පැනයට පිළිතුරු ලෙස පාරෙන් පැන්න විටම වැසූ කඩයක් ඇතිබව පවසන ගමේම කාන්තාවක එහි නවතා තිබූ බයිසිකලයද පැදගෙන පිටව යන්නේ ඔහු දෙස බලා කම්පාවෙමිනි. මේ චරිතයට පණ දෙන චාන්දනී සෙනෙවිරත්නගේ රංගනය ගැනද ප්රේක්ෂකයා හොඳින් දනිති.

 


මේ තරුණයා එදා වැසි සහිත රාත්රිය පාළු කඩයේ පිළ මත ගත කරන්නේ තමාට සදහටම උරුම වූ අන්ධකාරයේ තනිවෙමිනි. ඔහුට තමා ඇස් අඳ වී පළමුවරට කාලෙකට පසු තම අක්කාගේ නිවසට එන අන්දම අඳුරු රැයේදී සිහිපත් වේ. ඔහුගේ සොයුරිය දරුවකුද සමඟ සැමියකු නැතිව වෙසෙන බව අපට ඒත්තු යයි. ඇය හමු වන්නට එන ත්රෙයිරෝද රථ මල්ලී කවුරුන්ද? වීරයා යැයි අප දැනට අනුමාන කරන මේ තරුණයාගේ දෑස් අඳ වූයේ කෙසේද? මෙහි චාන්දනී සෙනෙවිරත්නගේ භූමිකාව කුමක්ද? ප්රශ්ණ වැලකි. මේවාට පිළිතුරු සපයා ගැනීමට නම් සෑම සෙනසුරාදා සහ ඉරිඳා දිනයන් හී රාත්රි 8.30 ජාතික රූපවාහිනියෙන් විකාශනය වන " වීරයා ගෙදර ඇවිත්" නරඹන්නටම ඔබට සිදු වනු ඇත කියා පමණක් දැනට ලියා තබමි.

5 comments:

  1. හොඳම වැඩ්ඩො ටිකක් එකට සෙට් වෙච්ච වැඩක්...බලාගෙන යමු...

    ReplyDelete
  2. https://arugeadaviya.wordpress.com/2019/01/23/%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F-%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB-%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A-not-from-philippines/

    ReplyDelete
    Replies
    1. හරි ආස හිතුනා උඹ මේ ගැන ලියපු එක ගැන. ඔය උඩින් තියෙන්නේ මම අලස ආතල් එකේ ලියපු අකුරු කීපයක්.......

      Delete
  3. විශිෂ්ට නිර්මාණයක්.

    මේ ගැන ෆේස්බුක් කණ්ඩායමක් තියෙනවා වීරයා ගෙදර ඇවිත් fan club නමින්. එකතු වෙන්න

    ReplyDelete
  4. රචනය මෙහෙයවීමත් ඇත වගෙ මසුරන්
    නළු-නිළියන් රඟයි නොම රඟපාන ලෙසින්
    කඳුළින් තෙමෙයි නෙත, බොඳ වෙයි පෙනෙන දසුන්
    කොහොමද ඉන්නෙ ඉවසාගෙන සතියක් දැන්?


    ReplyDelete