Pages

Thursday 8 November 2018

" මිනිත්තු එකොළහේ කතන්දරේ" - පාවුලෝ කොයියෝ...


 




" අපි දෙන්නාගෙන් කාටවත්ම මහන්සියක් දැනුණෙ නැහැ. අපි සාලයට ගියාට පස්සෙ ඔහු තැටියක් වාදනය කර, හරියටම මම හිතාපු ආකාරයකටම දෙයක් කළා : ඔහු උදුන දල්වා මට වයින් ටිකක් වත්කළා. ඊළඟට ඔහු පොතක් විවෘත කරල කියවන්නට පටන් ගත්තා




' ඉපදෙන්න කාලයක් වගේම මියැදෙන්නට කාලයක්

පැළ කෙරූ දෙය නෙලන්නට කාලයක්

වේදනා විඳින්නට වගේම සුවපත් වෙන්නට කාලයක්

බිඳ දැමීමට කාලයක් වගේම ගොඩනැඟීමට කාලයක්

වැළපීමට සේම සිනාසීමට කාලයක්

දැඩි බව අත්හැර දමන්නත්, දැඩි බවට පත්වෙන්නත් කාලයක්

ආදරෙන් වැළඳ ගන්නට කාලයක් වගේම වැළඳ ගැනීමෙන් වැළකී සිටින්නට කාලයක්

ලබාගන්නට කාලයක් වගේම අහිමි වන්නට කාලයක්

තබා ගැනීමට කාලයක් වගේම ඉවත ලන්නට කාලයකි

ඉරෙන්නට වගේම මහන්නට කාලයක්

නිහැඬියාවට කාලයක් සේ භාෂණයට කාලයක්

ආදරයට කාලයක් වගේම වෛරයට කාලයක්

යුද කාලයක් වගේම සාමයේ කාලයක්.... '




මේක හරියට සමුගැනීමක් වගේ වුණා. ඒත් ඒක මම මගේ ජීවිත කාලය පුරාවටම අත්විඳපු ආදරණීයම සමුගැනීම වුණා. "

..............




" ඔයා කොහොමද ගණිකාවක් එක්ක ආදරෙන් බැඳුනෙ?" ( පිටුව 274)




මීට මාසෙකට නැත්නම් දෙකකට ඉස්සර හරිත පැහැයෙන් ආඩම්බරයෙන් සුළඟ එක්කලා පැද්දුණු ගස් වල කොළ දැන් දැන් රතු පාටට, දුඹුරු පාටට එහෙමත් නැත්නම් කහ පාටට හැරිලා, ගස් හැරදාලා පොළව සිප ගන්නේ අපට අනිත් ගැන පාඩමක් කියා දෙන්න වගේ. මේ තමයි වසන්තයේ නිමාව. අපේ ජීවිතත් මේ වගේමයි. අපිත් දවසින් දවසට ගස් හැරදාලා යන පත් වගේ වයසට යනවා. මේ හැමදේම මම මේ සටහන පටන් ගන්නකොටම සඳහන් කළ උපුටනයට යටත්. " ඉපදෙන්නට කාලයක් වගේම මියැදෙන්නට කාලයක්..." මේ ලෝකයේ හැමදේටම කාලයක් අවශ් වෙනවා




මම මේ මොකක් ගැනද කියන්නට යන්නේ? මොකක්ද මේ සමු ගැනීම? කවුද මේ ගණිකාව? ඔබට සෑහෙන්න ප්රශ්න ටිකක් ඇති. මදක් ඉවසන්න. මම ඔබට ටිකෙන් ටික ඒවා පැහැදිලි කරල දෙන්නම්. හැබැයි ඒකටත් පුංචි කාලයක් අවශ්යයයි.




" එකෝමත් එක කාලෙක මරියා කියල ගණිකාවක් හිටියා. පොඩ්ඩක් ඉන්න.!!! " එකෝමත් එක කාලෙක" කියල පටන් ගන්නෙ බෙහොම ජනප්රිය ළමා කතන්දරවලනෙ. වාගේම " ගණිකාව" කියන වචනෙ වැඩිහිටි වචනයක් නෙ. මම කොහොමද එච්චර පහසුවෙන් වගේ පරස්පරතාවකින් මේ කතාව පටන් ගන්නෙ? ඒත් අපේ ජීවිතේ ගතවන හැම මොහොතකදීම අපේ එක පියවරක් සුරංගනා කථාවකත් අනෙක් පියවර මහා ආගාදයකත් තමයි තියෙන්නෙ. අපි මේ කතාව මෙහෙම ආරම්භ කරමු.




එකෝමත් එක කාලෙක මරියා කියල ගණිකාවක් හිටිය. අනිත් හැම ගණිකාවක් වගේම ඇයත් ඉපදුණේ අහිංසකව හා කන්යාවක් විදියටයි."( පිටුව 1)




පාවුලෝ කොයියෝ කියන බ්රසීලයේ ඉපැදුණු, තවමත් ජීවමාන මහා ගත් කතුවරයා තමන්ගේ " මිනිත්තු එකොළහේ කතන්දරේ" ආරම්භ කරන්නෙ එහෙමයි. පාවුලෝ කොයියෝ තමයි, කොලරා කාලේ ආලේ වැනි විශිෂ්ට නවකථා ලියූ ගබ්රියෙල් ගාර්සියා මාර්කේස් හැරුණු විට වැඩිම පාඨක අවධානය දිනාගත්තු ලතින් ඇමරකානු ලේඛකයා. කොයියෝ බොහෝ සෙයින් ලෝකය පුරාම ප්රචලිත වුණේ ඔහුගේ අග් කෘතිය වන "The Alchemist- එහෙමත් නැතිනම් සන්තියාගෝ නම් සැරිසරන්නා" කියන පොතින්. ඇල්බෙයා කැමූ වරක් පැවසූ පරිදි මහා නවකතාකරුවන් කියන්නෙ ඇත්තටම මහා දාර්ශනිකයෝ තමයි. උදාහරණයක් විදිහට මම මේ කියන්න යන පොත " මිනිත්තු එකොළහේ කතන්දරේ" ගැන සැලකුවත් මෙය ගණිකාවකගේ ජීවිතය වට ගෙතුණු කතාවක් ලෙස මතුපිටින් පෙනුණට, එහි ඊට වඩා සමාජීය, දේශපාලනික මෙන්ම ජීව විද්යාත්මක ගැඹුරකුත් තිබෙන බව මෙය හොඳින් කියවා මනසට ගන්නා කෙනෙකුට වැටහෙනවා. ඉතිං සහෘදයනී, මම " මිනිත්තු එකොළහෙ කතන්දරේ" ඉන්න මරියාගේ කතාව මෙහෙම පටන් ගන්නම්




හැම ගණිකාවක්ම ( මම මෙතන ගණිකාව කියල යෙදුවෙ මේ ගණිකාවකගෙ කතාවක් නිසා. නැත්නම් හැම කාන්තාවක්ම කියලයි ගැළපෙන්නෙ) වගේ මරියත් එක්තරා අම්මෙකුට හා තාත්තෙකුට දාව,අහිංසක, අමිල දූ කුමරියක ලෙසට බ්රසීලයේ ඈත පිටිසර ගම්මානයක උපත ලැබුවා. ඇයට තිබුණෙත් සාමාන් ගැහැණු ළමයෙකුට තියෙන හීනමයි. ඇයත් හීන මැව්වා ඇයගේ හීන කුමාරයා සුදු අශ්වයකු පිට නැඟිලා කෙහේදෝ ඉඳලා ඇවිත් ඇයව ඔහු ළඟට කැන්දාගෙන යාවි කියල. ඇය ආදරෙන් වෙළෙන්නෙ ඇයට වයස අවුරුදු එකොළහෙදි. මේ කොටස කියවද්දී මගේ හිතත් වසර ගණනාවකට පිටුපස්සට ගිහින් මගෙත් ළමා කාලය අසබඩ නතර වුණා. කාලෙ අපිත් කොච්චර නම් පෙම් කරලා තියෙනවද? ළපටි, සුහුඹුල් , අහිංසක සිතිවිලි කොච්චර නම් සුන්දරද? අව්යාජද? මට වගේම සහෘද ඔබටත් මෙවැනිම අත්දැකීම් ඇති. ළමාවියේ පිරිසිදු ප්රේමයන්ට විෂ එකතු කරන්නේ වැඩිහිටියෝ. ජාති කුළ මළ හා දුප්පත් පෝසත් භේද ගෙනත් ප්රේමයන් වාණිජකරණය නැතිනම් යාන්ත්රික කරන්නෙ වැඩිහිටියො. ඉතිං මේ කෙසේ වෙතත් වයස 11 දි සියයට 50 50 ඇතිවුණු මරියගෙත් අකලංක ප්රේමය ඊළඟ පාසල් නිවාඩුවෙන් පස්සෙ පුංචි පිරිමි ළමයා වෙන පළාත ඉස්කෝලෙකට මාරු වී යාම නිසා බොහොම ඛේදනීය විදිහට එකම වදනක් හෝ නොදොඩාම අවසන් වෙනවා. ඔහු යාමට පෙර එකම එක වතාවක් ඇයට අවස්ථාව උදා වෙනවා ඔහු සමඟ කතා කරන්නට. එහෙත් ඇය එයට පසුබට වෙනවා. එයින් ඇය කුඩා වයසෙදිම තේරුම් ගන්නවා ජීවිතයෙදි පැමිණෙන පළමු අවස්ථාවෙන් ප්රයෝජනය ගතයුතු බව. බෙහෝවිට දෙවන අවස්ථාවක් (Second Chance) නොලැබෙන බව




මේ සිද්ධියෙන් ඇය කම්පා වෙනවා. ඉන් වසර 3කට පස්සෙ කියන්නෙ මරියට වයස 14 දී තමයි ඇයට ඇයගෙ දෙවැනි පෙම මුණ ගැහෙන්නෙ. මෙහිදී ඇය පළමු වතාවේ කළ ගොංකම නොකළත්, ඔවුන්ගේ සිප ගැනීමේ දී පෙම්වතාට අවැසි ලෙස තම මුව විවර නොකළ හේතුවෙන් එම පෙමද අවසන් වෙනවා. ඇය සිප ගන්නා නියම ආකාරය නොදැන සිටි නිසා. කෙසේ හෝ දෛවයේ කුරිරු සරදමක් විදිහට තමන්ට කෙසේද හරියට සිප ගන්නේ කියා, තමන්ට සිදු වූ අකරතැබ්බය අසා කියා දුන්, යෙහෙළියම සමඟ තමන්ගේ පෙම්වතා එක් වී සිටින ආකාරය ඇයට දකින්නට සිදු වෙන්නෙ මේ අතරෙදියි




ඉන්පසු මරියා තුන්වැනි , හතරවැනි වතාවටත් පෙමින් වෙලෙනවා. හැබැයි ඇය පළමු සිප ගැනීමේදී වූ අතපසු වීමනම් නොවීමට වගබලා ගන්නවා. එහෙත් ආදරයන්ද බිඳ වැටීමෙන් අවසානයේ ඇයට හිමිවන්නේ දුකක්, අපේක්ෂාභංගත්වයක්ම පමණයි




දිනක් හදිසියේම කිසිවකුත් නිවසේ නොමැති අවස්ථාවක ඇය ඇයගේම සිරුරේ රහස්යතැන් පිරික්ෂණවා. අවයව ස්පර්ශ කරනවා. අවසානයේ ඇය නොදැනීම ස්වයං වින්දනයේ යෙදී එයින් සුරතාන්තයට පත්වෙනවා. පාවුලෝ කොයියෝ මේ අවස්ථාව විස්තර කරන්නෙ මෙහෙමයි.




" සියල්ල කහ පැහැති හැඟීමක් සමඟ මුසු වුණා. සියුම් කෙඳිරියක් නිකුත් කරමින් ඇය ඇගේ ප්රථම සුරතාන්තය අත්වින්දා. සුරතාන්තය!

ඒක හරියට ස්වර්ගයට පාවී ගිහින් නැවත සෙමින් පැරෂූටයකින් ගොඩ බැස්සා වගෙයි. "( පිටුව 11)




මින් පස්සෙත් ආදර සබඳකම් ඇතිවූවත් එදා ඇය අහම්බෙන් ලබපු වින්දනය නම් ඇයට ඔවුන්ගෙන් ලබා ගන්න බැරි වෙනවා




" ඉතිං ඇය වඩාත් අවධානයෙන් ඇගේ අධ්යාපන කටයුතුවලට යොමු වුණා. මොහොතකට අමතක කෙරුවා පුදුමාකාර මරණීය දේ. එනම් ආදරය"( පිටුව 15)




ඇය ලියන්නට පටන් ගත්තු දිනපොතේ, ඇයට වයස අවුරුදු දාහතේ දී මෙහෙම ලියනවා




" මගේ පරමාරථය වුණේ ආදරය හඳුනා ගැනීමයි. ආදරය කරන කොට කොච්චර ජීවයෙන් පිරී යනවද කියල මම දන්නවා. කොහොම වුණත් බොහෝ ප්රියජනක ලෙස පෙනෙන ගොඩක් දේවල් ගැන මම දැන් දන්නවා. ඒවා දැන් තවත් නං මාව පුදුමයට පත් කරන්නෙ නෑ

ඒත් ආදරය කියන්නෙ මහා බිහිසුණු දෙයක්."( පිටුව 15)




ඇයට මේ වන විට ඇති වූ අත්දැකීම් හා විඳින්නට වූ ගැහැට මතින් හා තමන්ගේ යෙහෙලියන්ගේ ප්රශ්න දැකීමෙන් ඇය ආදරය ගැන නිර්වචනය කරන්නෙ එහෙමයි




මෙලෙස කාලය ගතව ඇය දහනම වියැති නව යොවුන් සුරූපි කෙල්ලක් බවට පත්වෙනවා. ඉන්පසුව රැකියාවකට යන ඇය, ඇයගේ හාම්පුතාගේ දෑස්වලට හසු වුවත් ඔහු ඇය බලාපොරොත්තු වූ ලිංගික සම්බන්ධයකට එහා ගිය ආදරයක් ඇයගෙන් බලාපොරොත්තු වෙන බව වටහා ගත්තත් එයට ඇයගෙන් අනුබලයක් නම් ලැබෙන්නෙ නෑ. කෙසේ වෙතත් රැකියාවෙන් උපයාගත් මුදලින් ඇය බ්රසීලයේ අගනුවරට යන්නේ නිවාඩුවක් ගතකරලා විනෝදවෙලා ආපහු ගමට එන්න හිතාගෙන වුණත්, ගමන ඇගේ මුළු අනාගතයම තීරණය කරන ඉරණම් ගමන යැයි ඇය හීනෙකින්වත් හිතන්නට නම් නැතිව ඇති




එහිදී ඇයට හමුවන සුවිශ් ජාතිකයකු මාර්ගයෙන් ඇය ජිනීවා නුවරට යන්නේ කැබරේ නැටුම් ශිල්පිනියක වශයෙන් සේවය කරලා තමන්ගේ හීන සැබෑ කරගන්නටයි. හොඳ සැමියකු විවාහ කරගන්න. තමන්ගෙ දුප්පත් දෙමාපියන්ට අවසාන කාලෙදිවත් දුක් නොවිඳින සැපවත් ජීවිතයක් උදාකර දීම ඇයගේ අභිප්රාය වුණා. නිසා ඇය, ඇයට වයස එකොළහෙදි මඟහැරුණා මෙන් මේ අවස්ථාව නම් මඟ හැර ගත්තෙ නෑ. මොකද ඇය අත්දැකීමෙන් දැනගෙන හිටියා දෙවැනි අවස්ථාවක් නොඑනා බව




ඇය සුවිශ් ජාතිකයා මුණ ගැසුණු දිනයෙ ඇයගේ දිනපොතේ මෙහෙම ලියනවා




" මට කෙනෙකුට හරි දෙයකට හරි අවංක වෙන්න කලින්ම මම මටම අවංක වෙන්න ඕන. මම සැබෑ ආදරයක් හොයනවා නම් මගේ මේ ක්රමය තුළින් සාමාන් ආදරයත් සොයාගත යුතුයි. ජීවිතේ මා ලැබූ කුඩා අත්දැකීම් මට ඉගැන්නුවේ කිසිවක් කිසිවකුට අයිති නැති බවයි. සියල්ල හුදු මායාවක්. ඒක ද්රව්යමය හෝ අධ්යාත්මික යන දෙකටම පොදුයි. කවුරු හරි හැමදාටම තමාගෙ යැයි සිතූ දෙයක් අහිමි වූ විට ( බොහෝවිට මට සිදුවුණු ආකාරයට) අවසානයේ දී කිසිවක් ඔවුනට හිමි නැති බව වැටහෙනවා




කිසිවක් මට හිමි නැතිනම්, ඉතින් එවැනි මගේ නොවන දෑ පසුපස යමින් කාලය නාස්ති කිරීම තේරුමක් නැති දෙයක්. හොඳම දේ අද දවස පළමු ( හෝ අවසාන) දවස හැටියට සලකලා ජීවත් වීමයි."( පිටුව 26) 




බලන්න මේ ඡේදයේ කියා ඇති දෙය. එය නම් බෞද්ධ දර්ශනයේ දී අපට කියාදෙන ජීවිතයේ සදාතනික සත් එනම් අතහැරීම හා අතීතය හා අනාගතයේ නොව අද එසේත් නැතිනම් මේ මොහොතේ ජීවත් වීම නොවේද?




වගේම මේ පොතේ තවත් තැනක කොයියෝ මෙහෙම ලියනවා,

" අපි එකිනෙකාට ආදරය කරමු, ඒත් එකිනෙකා අයිති කරගන්නට උත්සහා නොකර ඉමු."(පිටුව 218)




ආදරයේ සුන්දරතම සත් මෙය නොවේද? අවංකව පෙම් කළ පෙම්වතුන් විවාහ වූ විට බොහෝසෙයින්ම අඩුවී යන ආදරයත් වෙනුවට අලුතින් ඇතිවන, අයිති කරගැනීම, යුතුකම් හා වගකීම් යන රැහැන් බැමි මෙය නේද




ජිනීවා වලට පැමිණි මරියා අවසානයේ කිසිවිටෙකත් නොසිතූ නොපැතූ පරිදි අහම්බෙන් මෙන් ගොස් නතර වන්නේ තමන්ගේ ඇඟ විකුණන ගණිකාවක විලසින්. අහම්බෙන් හමු වූ අරාබි කාරයෙකු එයට මුල් අඩිතාලම දමන්නේ ඇයවත් නොසිතූ විලසටයි. ඇය ගණිකාවක් බවට පත්වෙනවා. ඒත් ඇයට තිබුණෙ එකම හීනයයි. එනම් තමන් ළඳරු වියේ සිටම පැතූ සිහින කුමරා සොයා ගැනීමත්, නැවත බ්රසීලයට ගොස් ගොවිපළක් මිලට ගෙන තම දෙමාපියන් විඳිනා දුකින් ඔවුන් ගොඩ ගැනීමත්ය




ඇයට මෙහිදී විවිධ පුද්ගලයන් හමු වෙනවා. අතර හමු වූ ලෝක ප්රසිද්ධ සිත්තරකු ( රැල්ෆ් හාට්) හා විකෘති කාම ආශාවන් ඇති ( පරපීඩක සහ ස්වපීඩක) ටෙරන්ස්ගේ ඇසුරින් ජීවිතය ඉගෙන ගන්නවා. විස්තර මෙහෙම කියන්නට බැහැ. ඔබ මේ පොත කියවාම කාරණා රස විඳිය යුතුයි




ගණිකා මඬමේදී ඇයට හමුවන හා ඇය හිතවත්වන එකම ගැහැනිය වන පිලිපීන ජාතික නියා ඇයට දෙන්නෙ මෙහෙම උපදෙසක්, බලන්න සහෘදයනී කොයියෝ එය ලියා ඇති ආකාරය,




" ඔයාගෙ ගනුදෙනුකාරයට යන්න ලං වෙනකොට ඔයත් තෘප්තිමත් වෙනව වගේ කෙඳිරි ගාන්න. ඒක එයාට පක්ෂපාතිත්වය පෙන්වන්න හොඳ විදිහක්." -නියා

" ඒත් ඇයි? අය සල්ලි ගෙවන්නෙ අයගෙම තෘප්තියටනෙ"-මරියා

" නැහැ එතනදි තමයි ඔයාට වැරදුණේ. කෙළින් වෙච්ච පලියට මනුස්සයෙක්ට එයා පිරිමියෙක් කියල ඔප්පු වෙන්නෙ නැහැ. එයා හරියටම පිරිමියෙක් වෙන්නෙ ගෑනියෙක් සතුටු කරන්න පුළුවන් නම් විතරයි. " නියා( පිටුව 78)




රැල්ෆ්ගෙන් ඇය අධ්යාත්මික ආදරයක් ගැන ඉගෙන ගත් අතර ටෙරන්ස් ඇයට කියා දුන්නෙ වෙන දෙයක්. එනම් වේදනාවක් තුළින් තෘප්තිය ලබාගන්නා අන්දම.




රැල්ෆ් ඇයට බොහෝ දේ කියා දෙනවා. අතරින් මගේ සිත් ගත්තු සදාතනික සත්යක් වූ පහත දැක්වෙන වදන් ඔබත් කියවා බලන්න




" සොල්දාදුවෙක් යුද්දෙට යන්නෙ හතුරව මරන්නද? නැහැ. එයා යන්නෙ එයාගෙ රට වෙනුවෙන් ජීවිතය පූජා කරන්නයි. බිරිඳකට ඕන එයා කොයිතරම් සතුටෙන්ද ඉන්නෙ කියල එයාගෙ සැමියට පෙන්නන්නද? නැහැ. එයාට ඕන එයා කොයිතරම් කැපවෙනවද කියල ඔහු දකින්නයි. සැමියා රස්සාවට යන්නෙ එහෙදි එයාට පෞද්ගලික තෘප්තයක් ලැබෙයි කියලා හිතලද ? නැහැ. මනුස්සයා එයාගෙ දහදිය, කඳුළු හෙලන්නෙ තමන්ගෙ පවුලෙ යහපත වෙනුවෙනුයි. වේදනවත්, වේදනා විඳීමත් සතුට පමණක් ගෙන එන එක දෙයක් සාධාරණීයකරණය කරන්න යොදා ගන්නවා : තමයි ආදරය"( පිටුව 210) 




මෙහෙම කතාව ගලාගෙන යනවා.මරියා බ්රසීලයට ආපසු යන දිනය ටික ටික කල් යනවා. ඇයට තවත් මිතුරියක් ලැබෙනවා. තමයි ඇය වාසය කරන ප්රදේශයේ පුස්තකාල පාලිකාව. මරියා සහ ඇය අතර ඇතිවන සංවාදයද ඉතා රසවත්. මේවා පොත කියවලම ඔබ රස විඳින එක තමයි වඩාත් හොඳ




මේ පොතට " මිනිත්තු එකොළහේ කතන්දරේ " කියල නම දැම්මෙ ඇයි කියන එකනම් ඔබට කිව යුතුමයි. ඒක පොතේ කොයියෝ ලියන්නෙ මෙහෙමයි. මරියා ඇයගේ ගාස්තුව එක රැයකට කීයක්ද කියා අසන විටයි පහත පිළිතුර ඇයට ලැබෙන්නෙ,




" එක රෑකට ? ඕහ්... අයියෝ මරියා, ඔයා අතිශයෝක්තියෙන් කථා කරන්නෙ. ඒක ඇත්තටම මිනිත්තු හතළිස් පහක් විතරයිනෙ. ඔයා ඇඳුම් ගලවන වෙලාවත්, ආදරය පෙන්නන්න කරන ව්යාජ ඉරියව්වලත් , වැදගම්මකට නැති පොඩි කතාබහකටත් , ආපහු ඇඳගන්න යන වෙලාවත් ඇරුණහම ලිංගික කටයුත්තට ඇත්තටම ගතවෙන්නෙ ' මිනිත්තු එකොළහක් විතරයි'."( පිටුව 86)




ඒත් සැබෑ ආදරය ගැන මරියා කියන්නෙ නම් මෙහෙමයි,

" ආදරේ කරන ඕන කෙනෙක්, ගොල්ලො එකට නොහිටියත්, හැම තිස්සෙම ලිංගිකව හැසිරෙනවා. සිරුරු දෙකක් එකට මුණ ගැහුණම , ඒක කුසලානය උතුරා යෑමක් විතරයි. ගොල්ලන්ට පැය ගණනක් එකට ඉන්න පුළුවන්. සමහර විට දවස් ගාණක් පවා. අය මේ විඳින තෘප්තිය ඉවර කරන්නෙ නැහැ. ගොල්ලන්ට මිනිත්තු එකොළහක් නැහැ."( පිටුව 170)




මේ තමයි සැබෑ ආදරයේත් රාගයේත් වෙනස. ආදරය නිසා ඇතිවන රාගයෙත් රාගය නිසා ඇතිවන ආදරයෙත් වෙනස. මෙය අහසට පොළව වගෙයි




කෙසේ වෙතත් පාවුලෝ කොයියෝගේ මේ කෘතිය ඉතාමත්ම ගැඹුරින් සමාජය කියවීමක් කියලයි මට හිතෙන්නෙ. වගේම මෙය , ස්ත්රී සන්තානය ගැන හා ස්ත්රී සිරුර ගැන කළ ඉතා පැහැලි විග්රහයක් හා පර්යේෂණයක් ලෙසත් මම දකිනවා. වගේම කොයියෝ ලියූ දේ නොබියව අයුරිම සිංහලට පරිවර්තන කළ මේ පොතේ පරිවර්තිකාව රුවනි තල්පාවිල සොයුරියගේ ප්රතිභාවධ මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුමයි. ඇය කිසිදු පැකිලීමකින් තොරව හැම දේම පරිවර්තනය නොකරන්නට අපට පාවුලෝ කෙයියෝ ඇත්තටම කියන්නට හදන දේ නොලැබී යන්නට බොහෝසෙයින්ම ඉඩ තිබුණා




අවසාන වශයෙන් පොතේ එන මේ වැකිය උපුටා දක්වමින් මම මේ සටහන අවසන් කරන්නම්.




" ඔයා ඇතුළට යනකොට , පළවෙනි තට්ටුවේ, පිටිපස්සෙ ජනේලේ."( පිටුව 231)

හැබැයි මේ කියන්නෙ මොකක් ගැනද කියල දැන ගන්න නම් , ඔබට මේ පොත කියවන්නම වෙනවා.
 
 




3 comments:

  1. ඔබේ ලියැවිලි පොත් කියවන්න බලකරනවා . ඒත් ප්‍රායෝගිකව පොත් ගෙන්වා ගැනීමේ දුෂ්කරතාවය තිබෙනවා . දිගටම ලියන්න . ඊලග සටහන කියවන්න බලාගෙන ඉන්නවා .

    ReplyDelete
  2. සදුන් , මම මේ පොතේ පරිවර්තනය කියවලා තියෙනවා . සදුන් කිව්වා වගේ ගැඹුරු ජීවන දර්ශනයක් රැගත් හරිම ලස්සන නවකතාවක්. සමහර වෙලාවට මට හිතෙනවා ඇයි අපේ අයට ඒ වගේ ලියන්න බැරි කියලා . එක්කෝ දිගටම රජ කථාවල් නැත්නම් පරණ ගම ගැන.

    ReplyDelete
  3. ලස්සන ලිවිල්ලක් :)

    ReplyDelete