Pages

Monday 14 May 2018

" 28 " නැරඹුවෙමි....


 

 



මම මුලින්ම " සුද්දිව " දැන හඳුනා ගත්තේ සයිමන් නවගත්තේගමයන් ගෙනි. " සුද්දිලාගේ කථාවෙනි. කොට්ටෙ යට , මෙට්ටෙ යට ' සුද්දිලාගේ කතාව' පොත සඟවමින් එදා අම්මලාගේ ඇසට වැලි ගසා සුද්දිව ඇසුරු කරද්දී, මම යන්තන් ඇටෙන් පොත්තෙන් එළියට ගැටවරයෙකි.

කාලයේ කොලුකමට, පොතේ සයිමන් නවගත්තේගමයන් විස්තර කළ සුද්දිගේ  රුවට සහ ඇය මුදලාලි සමඟ ගස් යට , මුල් යට, පඳුරු අස්සේ රඟ දැක්වූ ලිංගික ආලිංගන කියවා පහත් රාගික ආස්වාදයක් ලැබුවා විනා මම එතුමා පෙන්වා දෙන සමාජ අසාධාරණයෙන් හා දරිද්රතාවයෙන් බැට කන ලාංකික කාන්තාවගේ , එසේත් නැතිනම් සුද්දිට වහන්වී සිටින ලිංගික සූරාකෑමට ලක්වන දහසකුත් අසරණ ස්ත්රී වර්ගයාගේ අවනඩුව නම් තේරුම් නොගත්තෙමි.

ඉන් වසර 35කට පමණ පසු නැවත මට තවත් ' සුද්දියක' හඳුනා ගැනීමට අවස්ථාව උදා විය. ප්රසන්න ජයකොඩි නම්වූ සිනමාකරුවා මඟිනි.

 එදා සයිමන්ගේ සුද්දීත් මෙදා ප්රසන්නගේ සුද්දීත් අතර එහෙමටම වෙනස්කමක් මට දැකගත නොහැකි විය. දෙදෙනාටම අත්වූයේ එකම ඉරණමය. යන්තම් වෙනසකට වූයේ එදා සුද්දී මැරී මැරී ජීවත් වූ අතර මෙදා සුද්දී වද විඳ විඳ මරණයට පත් වීම පමණකි.

වසර පනස් ගණනකටත් වැඩියෙන් වයස ඇති අපේ ලාංකීය සිංහල සිනමාව තුළ වරින් වර එක් එක් අධ්යක්ෂකවරු විවිධ විෂයන් ගැන කතා කළහ. අසූව දශකයේ නිර්මාණයවූ ' මලට නොඑන බඹරු' සිනමාපටයේ තේමාව වූයේ සමලිංගිකත්වයයි. එහෙත් එතරම් එළිපිට නොවේ. නමුත් පසුගිය වසරේ නිර්මාණය වූ " සයපෙති කුසුම" සිනමා කෘතියෙන් තේමාවම අමු අමුවේම කතා කර තිබිණි. එසේම ' තුන්වැනි යාමය' චිත්රපටයෙන් දරුවකුට ළමා කාලයේ වූ අමිහිරි අත්දැකීමක් නිසා සිය විවාහ දිවිය දෙදරා ගිය අන්දම සාකච්ඡා කෙරිණි. ' තනි තටුවෙන් පියාඹන්න' සිනමා පටයේ සමලිංගිකත්වය නැවතත් සහ ' අක්ෂරය' සිනමා පටයේ සිග්මන් ප්රොයිඩ් පවා පෙන්වා දුන් මවකගේ සහ පුතකුගේ ඇති ලිංගික බැඳීම ගැන කතා කරනු ලැබිණි. අපේ රටේ ඇති සංසකෘතිකමය පසුබිම නිසා මෙම කරුණු සමාජයට එතරම් ගෝචර නොවූවත් මෙතරම් අමුවෙන් නැතත් සිරි ගුණසිංහයන් තම ' හෙවනැල්ල' කෘතියෙනුත් ගුණදාස අමරසේකරයන් තම ' යළි උපන්නෙමි' කෘතියෙනුත් පෙන්වාදීමට උත්සහ කළේ මේ මව සහ පුතා අතර ඇති මානසිකමය ලිංගික බැඳීම ගැනය.

 එහෙත් අපේ රටේ සිදුවූයේ ,මේවා ගැන හොඳින් සාකච්ඡා කරනවා වෙනුවට ඒවා සමාජයෙන් හැංගී, අහුමුලු වල කතා කරන, වැසිකිළි බිත්ති වල හොර රහසේ ලියන දෙයක් තත්වයට පත් කිරීමය. එපමණක් නොව අතිශයින්ම සුවභාවික ක්රියාවලියක්වූත් තම වර්ගයා බෝකිරීමේ ක්රියාවලියක්වූත් ශීශ්නය යෝනි ගත කෙරුම පවා හුවා දැක්වූයේ කුණුහරුපයක් ලෙසය. එය කළ, නොකළ යුතු ස්ථානය, වයස සහ සදාචාරාත්මක පසුබිම හරියාකාරව තිබිය යුතු බව මම පිළි ගනිමි. එහෙත් එය කුණුහරුපයක් ලෙස අවඥාසහගතව බැහැර කිරීම නම් සමාජ ව්යවසනයකි.

 අපේ රට ඇතුළු විශේෂයෙන්ම දකුණු ආසියාතික රටවල මේ ලිංගික කරුණු ගැන දරුවන් විධිමත්ව දැනුවත් කිරීමේ ක්රියාපටිපාටියක් නැත. එය බොහෝවිට ඔවුන් දැනගන්නේ තම වයසේම යාළුවකුගෙනි. එසේත් නැතිනම් ගැන හොඳින් නොදන්නා යම් වැඩිහිටියෙකුගෙනි. මෙතනදී කෙතරම් නම් වැරදි තොරතුරු සංනිවේදනය වෙනවාද යන බව ඔබට අමුතුවෙන් කිව යුතු නැත.

 ගැහැණු හා පිරිමි දරුවන් වැඩෙත්ම,  හෝමෝන ක්රියාකාරිත්වය නිසා ඔවුන්ගේ සිරුරු වල සිදුවන අතිශය ස්වාභාවිකවූ වෙනස්කම් ඔවුන් දැන ගන්නේ කුණුහරුප විලසිනි. එසේම ස්වයං වින්දනය වැනි ඉතාමත්ම ස්වභාවික අවශ්යතාවයන් ඔවුන් දැනගන්නේ මිනීමැරීමක් වැනි අපරාධයක් කළ ස්වභාවයෙනි. වැරදි අවබෝධය නිසා මානසික ලෙඩුන්වූ යෞවනයන් නම් කෙතරම්ද? පත්තරවල පළවන අසහනයට සහනය සලසන ප්රශ්න උත්තර පිටුවල යොවුන් පරපුර අසන ප්රශ්න එයට හොඳම නිදසුන්ය.

 දියුණු රටවල දරුවන්ට වයස 9-10 වන විට මේ සිදුවන ශාරීරික වෙනස්කම් හා ප්රජනන ක්රියාවලිය පිළිබඳව පාසලින්ම ඔවුන් දැනුවත් කරනු ලබයි. එවිට ඔවුන්ට නෙමේරු මිතුරන්ගේ හෝ හොඳින්ම මේ ගැන නොදන්නා ' අයියලා' ගේ හෝ පිහිට පතා අඳුරේ අතපත ගෑමට අවශ් වන්නේ නැත. එය සාමාන් ස්වාභාවික දෙයක් විනා කුණුහරුපයක් වන්නේ නැත.

 ප්රසන්න ජයකොඩි තමන්ගේ සිනමා කෘතිය වූ  " 28" න් කතා කරන්නට උත්සහා කරන්නේ මේ අවනඩුව පිළිබඳවයි. එසේත් නැතිනම් මේ හරි කියවීමක් නැතිව කුණුහරුපයක් වී නන්නත්තාරවී යන අතිශය ස්වභාවික දේ සහ එම නොදැනුවත්කම නිසා පැනනගින අසහනයේ කුරිරු විපාක පිළිබඳවයි. එයින් උපදින සමාජ ඛේදවාචකය පිළිබඳවයි. 

සඳහා ඔහු චරිත කිහිපයක් මවා ඇත. අපේ කතා නායිකාව සුද්දී( සේමිණී ඉද්දමල්ගොඩ) මෙහි ප්රධාන චරිතයයි. ඇයගේ සැමියා අබසිරි( මහේන්ද් පෙරේරා) , අයිස් ක්රීම් වෑනයේ රියදුරා ලෙනින්( සරත් කොතලාවල) සහ අබසිරිගේ ඥාති පුත්රයා මනී(රුක්මාල් නිරෝෂ්) මෙහි රංගනයෙන් එක්වන සෙසු චරිතයි.

 

 
මැණික් පතලක දෝනාවක් තුළට කැමාරව එල්ලවී සිනමාපටය ඇරඹෙයි. තෙත පොළොවේ වාඩි වී මඩ නාගත් අබසිරි යකඩ ඉන්නකින් දෝනාව කැණීම පළමු දර්ශනයයි. දෝනාවේ ඉහළ සිට පස් උඩට අදින යමෙකුගේ ( මනීභව ප්රේක්ෂකයා පසුව දැනගනී) කට හඬ දර්ශන තලයට ඉහළින් ඇසේ. පවසන දේ හා ඊට අබසරි අසන පැනයන්ගෙන් ඔවුන් වැඩ කරන අතරේ කතා කරන්නේ ස්ත්රීන්ගේ 64 ක්වූ මායං ගැන බව ප්රේක්ෂකයාට ඒත්තු යයි.

හදිසියේ අබසිරි සොයා දිව එන යමෙකුගේ කට හඬ ඉහළින් ඇසේ. අබසිරිගේ පියාය. ඔහු රැගෙන එන්නේ අසුභ පුවතකි. එනම් සුද්දී මිය ගොස් ඇති බවත් මිනිය හඳුනා ගැනීමට කොළඹ මහ රෝහලේ මෝචරියට යායුතු බවත්ය. වෙද්දී සුද්දී කවුදැයි ප්රේක්ෂකයා නොදනිති. පුවතත් සමඟ ඥාති පුත්රයා සමඟ කෙලිකවටකමින් ගත කළ අබසිරිගේ ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස්වේ. මුහුණේ හැඟීම් ඉතාමත්ම සාර්ථකව ඉදිරිපත් කිරීමට අබසිරිට ආරූඬවී සිටින ප්රවීණ රංගධර මහේන්ද් පෙරේරා අති සාර්ථකව සමත්වේ. ජෝ අබේවික්රම හා අමරසිරි කලංසූරියගෙන් පසු මෙතරම් සංකීර්ණව හා තාත්විකව මුහුණේ හැඟීම් ( Facial expressions) පතල කළ නළුවා මහේන්ද් පෙරේරා බව මගේ විශ්වාසයයි.

  දර්ශනයෙන් පසු අහසේ සුපුන් සඳ ඇති දර්ශනයක් තිරය මත පතිත වන අතර මහා මූසල ශෝකී රාවයකින් ගිගුම් දෙන සතකුගේ( උලලේනාගේදැයි නොදනිමි) හඬක් පසුබිමින් ඇසෙද්දී ' 28' යන්න වළා පෙළකින් නිර්මාණය වී සිනමා පටය ඇරඹේ.

ඉන්පසු බඩු පැටවූ ලොරියක බඩු පෙට්ටි මත වාඩිවී ගමන් කරන අබසිරි හා මණිගේ දර්ශනයය. සුද්දී තමන් සරම අඳිනවාට අකමැතියැයි පවසන අබසිරි තමනට නුහුරු කලිසම අඳින්නේ ඔහුගේ සිතේ සුද්දිට ඇති ආදරයේ තරම ප්රේක්ෂකයාට ඒත්තු ගන්වමිනි.

කඳු හෙල් හා වංගු සහිත දුෂ්කර මාර්ගයේ ගමන් ගන්නා ලොරිය, බොහෝ දුරක සිට හසුකරගන්නා කැමරා කෝණය විනාඩියක් පමණ දර්ශනයේම නැවතී සිටී. අපට පෙනෙන්නේ සුදු වැලි තැන තැන ඇතිරී ඇති සර්පයෙකු මෙන් කඳු අතරින් දිව යන මහා මාර්ගයයි. එයින් අපේ මේ දුෂ්කර දිවි ගමන පෙන්වන්නට ප්රසන්න ජයකොඩි ගත් උත්සහයක් යැයි මට සිතේ. එමෙන්ම තාර පාර වසා ගත් තැන තැන ඉසිරුණු සුදු වැලි අවමඟුල් පෙරහැරක් ඉඳිරියෙන් සුදු වැලි අතුරමින් ගිය පසු දිස්වන මහපාර මගේ සිහියට නඟයි.

ඉන්පසු රෝහලේ මෝචරියේ දර්ශනද අවමංගල් මල් ශාලාවේ මිනිසුන් හා තැරැව්කරුවන්ගේ සාම්ප්රදායික මිනී කාක්කන්ගේ විලාසයද තිරය මත දිඟහැරේ.

 

 
 
ඉන්පසු අපට දර්ශනය වන්නේ මිය ගිය සුද්දී කෙටි නිදන ඇඳුමකින් සැරසී ( ඇයව මරා දමද්දී ඇඳ සිටින්නට ඇත්තේ එය විය යුතුය) මෝචරියේ සක්මන් කරමින් එහි ලාච්චුවල බහා ඇති දූෂණය කොට, වඳදී හෝ පුච්චා මරා දමා ඇති අනෙකුත් තරුණියන් අපට පෙන්වන ඉතාමත්ම අප්රසන්න දර්ශනයි. මෙම දර්ශන පෙළ , ප්රසන්න ජයකොඩි හැමදාම බණ, පිරිත් අසන අප සමාජයේ සිටින යම් කෲර මිනිසුන් නිසා අහිංසක ස්ත්රීන්ට විඳින්නට වී ඇති අභාග්යයේ නිරුවත අපට හෙළි කිරීමට ගත් තැතක් බව ප්රේක්ෂකයාට පෙනී යයි.

 ඉන්පසු රූප රාමුවලින් අවමංගල් ශාලාවත්, එහි සිටින මිනිසුන්ගේ හැසිරීම් හා අවට පරිසරයේ ස්වභාවයත් ප්රේක්ෂකයාට දැක අවබෝධකර ගැනීමට අවස්ථාව ලැබෙයි. ටිකෙන් ටික රෑ බෝවන අයුරු මඳින් මඳ අඩුවන පාරේ දුවන වාහන වලින් පෙනේ. නඟරය නිසොල්මනේ නින්ඳට යද්දී නිශාචර ජීවිත අවඳි වී නඟරය වෙනම ස්වරූපයක් ගනී. දැන් එහි ඇත්තේ තවත් ලෝකයකි. එහෙත් අබසිරි සහ මණි තවම උදේ ගෙදරින් ලෙසමය.

 එම්බාම් කාමරයේ එම්බාම් මේසය මත බාවා තිබෙන පුංචි ඉටි රෙද්දකින් වැසූ සුද්දිගේ පිරිපුන් නග්න සිරුර අබසිරිට දර්ශනය වේ. ඔහු ඉටි රෙද්ද මෑත් කර තුළට හිස පොවයි. ඉන්පසු සිදුවන ඉටි තිරය පසුපස ක්රියාවලිය ප්රේක්ෂකයා සිතා ගත යුතුය.
 
 

 එම්බාම්කර ගත් සුද්දිගේ මිනිය ඔවුන්ගේ ගමවන ඇලහැරට ගෙනයාමට වාහනයක් සොයා ගැනීමට අබසිරි සහ මනී ගන්නා තැත ඉදිරි දර්ශන වලින් තිරයේ දිගහැරේ. බොහෝ වෙහෙස මහන්සි වී අවසන ප්රෝඩාවකින් අයිස් ක්රීම් වෑනයක් රුපියල් දහ දාහක කුලියට ගමනට කැමති කරවා ගැනීමට ඔවුහු සමත් වෙති. වෑන් රථයේ රියදුරා ලෙනින්ය. ඉන්පසු සිනමා පටය ඇදී යන්නේ පෙට්ටිය වහලේ බැඳගෙන ඔවුන් තිදෙනා ඇලහැර බලා යන ගමනිනි. ගමනේදී ඔවුන් කරන කියනදේ අපට ඔවුන්ව හඳුනා ගැනීමට ඉඩහසර සලසයි.

 හදිසියේ සුද්දිගේ බෑගයේ තිබී ඔවුනට ලැබුණු ඇයගේ ජංගම දුරකථනයට එන ඇමතුමකි. ඉන්පසු තවත් එවැනිම ඇමතුමකි. හැම වරකදීම ඔවුන් විමසන්නේ එකිනෙකට එකක් වෙනස් නමින්වූ ගැහැනුන් ගැනය. මෙතනදී ප්රේක්ෂකයාට සුද්දී කළ වෘතිය ගැන වැටහීම ලැබේ.

 කඳු මාර්ගයේ ඉහළට යද්දී ඔවුනට නොදැනීම මිනී පෙට්ටිය වෑන් රථයේ වහලින් රූටා ගොස් පාලමක් අද්දර දියපාරක් අසලට වැටෙන අන්දමත් ඉන්පසු මඳක් කැඩී පියනධ විවෘත වූ පෙට්ටියට සුද්දිව දමා ගෙන එය නැවත ගෙනයාමට ඔවුන් කරනා අරගලයත් මඳක් හාස්යයෙන් වුවද මෙවැනිදේත් සිදුවිය හැකිය යන විශ්වාසයද ප්රේක්ෂකයා තුළ ඇතිකරමින් තිරයේ දිග හැරෙයි.

 
 
 
එතනදී නැවතත් සුද්දී තමාගේ මිනියට ඇන්ඳවූ බාග හැට්ටය හා ඔසරිය පිටින්ම ස්වයං විවේචනයේ යෙදෙයි. තමන් පාසල් යන අවධියේ, නමයෙ පංතියේදී විද්යාව පොතේ ප්රජනනය පාඩම ඉතාම කුතුහලයෙන් කියවූ හැටි ඇය විස්තර කරයි. එය අපට අපගේ පාසල් විය සිහිගන්වයි. මෙවැනි කරුණු ගැන උනන්දුවන වයසේදී අප ලිංගික අවයවයක පිංතූරයක් මුලින්ම දැක්කේ පොතිනි. ඉන්පසු 10 පංතියේදී පමණ මිතුරකු ගෙනා නිල් පිංතූර පොතකිනුත් ඊටත් පසුව මිතුරකුගේ කඩ කාමරයකට යහළුවන් පිරිසක් සමඟ රිංගා නැරඹූ නිල් වීඩියෝ පටයකින්ද මම ක්රියාවලියන් දැක ගතිමි. ඉන්පසුව වසංගතයක් සේ පිටවූ වැඩිහිටියන්ට පමණක්වූ අසැබි චිත් කතා සහ කාම රැල්ලේ චිත්රපට යොවුන් පරපුරට දැනුමක් දෙනවා වෙනුවට පහත් ලිංගික රසයක් ලබා දී තම මඩිය තර කර ගත්හ. මෙයින් නිර්මාණය වූයේ අසහනයෙන් පිරි සමාජයකි. අපේ පරපුරේ සැමගේම කතාව මෙය බව මට විශ්වාසය.

 මෙන්ම සුද්දී කියන පරිදි අබසිරි ඇයගේ සැමියා වුවත් ඇයගේ නිරුවත ප්රථමවරට දැක තිබුණේ එම්බාම් කාමරයේය. පවුල් පිටින් වෙසෙනා , කිසිදු පෞද්ගලිකත්වයක් නොමැති වටපිටාවක දිවි ගෙවන අඹු සැමියන්ගේ ඉරණම මෙයයි. අතිශය පුද්ගලිකවූත් සම්පූර්ණයෙන් ස්වභාවිකවූත් , මානූශීය අවශ්යතාවයක්වුත් මෙම ක්රියාවලිය ඔවුනට නිදහසේ කර ගැනීමට ඉඩ නැතිවී ඇත.එපමණක්ද නිදහසේ තමන්ගේ ඇඟ පත අතුල්ලාගෙන නා ගැනීමටවත් සුදුසු පරිසරයක් තිබේද? දිළිඳුබවින් පිරි පීඩිත පංතියේ වැඩිය කතාබහ නොකර පැතිකඩක් ප්රසන්න ජයකොඩි විවර කරන්නේ සුද්දිගේ හෘදසාක්ෂිය ඔස්සේය.

 ගමේ ඇතිවන ප්රශ්න නිසා , ඇය නිර්දෝෂී වුවත් ඇයට ගමෙන් පලා යාමට සිදුවන අන්දමත් ඉන්පසු ටිකින් ටික වෛශ්යා වෘත්තියට යොමුවූ අන්දමත් අපට දැනගන්නට ලැබේ. මට සිහිවූයේ රන්බංඩා සෙනෙවිරත්නයන් ලියූ ' ළඳුනෙ' ගීතයයි. ළැම පමණක් ලොවට පෙනෙන ළය කාටවත්ම නොපෙනෙන ළඳුනගේ ඛේදවාචකය නම් එයයි. අප කොතරම් නෑ කියමින් ජාමෙ බේරගන්නට තැනුවත් අප ජීවත්වන මේ ලාංකික සමාජය , විශේෂයෙන්ම දකුණු ආසියාතික සමාජය පුරුෂයා මූලික වූ සමාජයක් බවට අපට අකමැත්තෙන් වුවද පිළිගැනීමට සිදුවනු ඇත. ගැහැනියට සැමදාම ලැබුණේ දෙවැනි තැනය. කුඩම්මගේ සැලකිල්ලය. විවාහයක් වීමට ඇයට දෑවැද්දක් සොයා ගත යුතු විය. " කන්යාභාවය " නම්වූ මිනුම් දණ්ඩ ඇයට විතරක් සම්බාධක පනවන විවාහයට පෙර පාරිශුද්ධභව මැනීමේ මිනුම් දණ්ඩ විය. විවාහයට පෙර බොහෝ කාන්තාවන් ඇසුරු කරන පිරිමියෙකු " පොරක්" එසේත් නැතිනම් " වැඩ කාරයෙකු" ලෙසත් එසේ පෙම්වතකු හෝ දෙදෙනකු සිටි ගැහැනියක් " බඩුව" හෝ " ...සිය" වශයෙන් හැඳින්වීමටත් තරම් අපේ සමාජය අධම විය. ඒක පාර්ශ්වික විය. අසාධාරණ විය.

 විවාහයෙන් පසු දරුවකු නොලැබුණහොත් එහි වරද පැටවුණේද ගැහැනියටමය. "වඳ ගෑනී " හෝ " මූසල ගෑනී " වශයෙන් හඳුන්වා ඇයව සමාජයෙන් කොන් කෙරිණි. පිරිමියාගේද වඳභාවයක් පැවතිය හැකි බව ඔවුන් නිකමටවත් නොසිතූහ. හදිසියේ සැමියා මිය ගියහොත් චිතකයටම පැන අමු අමුවේ පිච්චි මිය යාමට හෝ ජීවත්වුවත් " කාලකණ්ණි කනවැන්දුමී" යැයි අසමින් පරිභව විඳිමින් මැරි මැරී ජීවත් වීමටත් අසරණ ඇයටම සිදුවිය. එපමණක්ද තනිවූ ඇයගේ පිහිටට ඉදිරිපත්වන කාමුක සල්ලාලයන්ගෙන් බේරී සිටීමටද ඇයට සිදුවිය.

 තවත් කරුණක් නම්,මට හැමදාමත්ම සිහිවන්නේ යෝජිත විවාහයකදී කාන්තාවකට මුහුණදීමට සිදුවන තත්වය ගැනය. තමන් නොදන්නා පිරිමියෙකුට මංගලදා රාත්රියේදී අවනත වන්නට සිදුවීම ඇයගේ පැත්තෙන් කෙතරම් නම් ඛේදනීයද? ඇය කාට කියන්නද? මන්ද හැම ක්රියාවකදීම පාලනය ඇත්තේ පිරිමියා අතම වන බැවිනි. දැන් දැන් නම් මෙම තත්වය මදක් වෙනස් වී මංගල්යට පෙර ඔවුනොවුන් හඳුනා ගැනීමට යම් අවස්ථාවක් හා කාලයක් ලැබීම කාන්තාවන්ගේ පැත්තෙන් ඉතාමත්ම යහපත් ප්රවණතාවයකි.

 එමෙන්ම මෙම සිනමා පටය දෙස අප නැවතත් අවධානය යොමු කළහොත් සුද්දී නාන කාමරයේ නිරුවතින් දිය නාන අයුරු බලා සිටි අබසිරිගේ පියා කළ නොමනා ක්රියාවට නින්ඳා වින්ඳේ අහිංසක සුද්දීය. ඇයට හේතුවෙන්ම ගම හැර යාමටත් හේතුවෙන්ම නඟරයට ගිය ඇයට වෛශ්යාවක් වීමටත් සිදුවීම කෙතරම් නම් අසාධාරණද? නින්දිතද? ම්ලේච්ඡ ගෝත්රිකවාදීද? සොයා බැලුවහොත් මෙවැනි ජීවිත වලට යොමුවන බොහෝ කාන්තාවන්ගේ යටි පෙළ කතාව මෙබඳුය. නැතහොත් පිරිමින් විසින් සිදු කළ දූෂණයක් හෝ තම පෙම්වතා විසින්ම ඉතා නින්දිත අයුරින් කළ අතවරයක් නිසා ගැබ් ගැනීමක් වැනි දෙයකින් මේ අන්දමේ දිවියකට වැටුණු කාන්තාවන්ද බහුලව අපට හමු වේ.

 එපමණක්ද නාට්යක හෝ සිනමා පටයක වෛෂ්යාවකගේ හෝ කාමුක ස්ත්රියකගේ චරිතය රඟපාන නිළියක දෙස වුවද මෙම කුරිරු සමාජය බලන්නේ ඉතාමත්ම පහත් අන්දමිනි. එයම රඟපෑ නළුවාට කිසිම අවුලක් නැත. ඉතිං මෙවන් සමාජයක " සුද්දිලා" දස දහස් ගණනින් බිහි වීම ඉතාමත්ම සුලභය. එය වැලැක්වීමටද නොහැකිය. සුද්දිලා ගැන කතා කරන්නට කෙනෙකු නැත.

 මේ සමාජ ක්රමයම මීට වග කිව යුතුය. සමාජ දරිද්රතාවය, ඉගෙන ගැනීමට ගතවන කාලය( විශ්ව විද්යාල ආදිය වසා දැමීම නිසා) කෙල්ලන්ට සහ කොල්ලන්ට අවශ් කාලයට අවශ් අයුරින් සිය ලිංගික අවශ්යතා සපුරා ගැනීමට නොහැකි වේ. එමෙන්ම සමාජයෙන් එයට නිදහසක්ද නැත. අසහනය වැඩි වැඩියෙන් ඇතිවන්නේ එහෙයිනි. දියුණු රටවල මේ අසහනය මෙලෙස නැත්තේ අවශ් කාලයේදී ඔවුනට එය ලැබෙන හෙයිනි.

අබසිරිලාගේ හා සුද්දිලාගේ ඛේදවාචකය මෙයයි. එය එදාත් එසේ සිදුවිය. අද සමාජය මෙතරම් දියුණු වූවත් වෙනත් මුහුණඅවරකින් අද සිදුවන්නේද මෙයමයි.

 සිනමා පටයේ අවසාන ජවනිකාවේදී මිනිය තනි කිරීම සඳහා සැමටම එළියට යන්නට කියා අබසිරි නිවසේ දොර ජනෙල් වසයි. මෙතනදී මිය ගිය සුද්දී නිවස ඇතුලේද, විසදුමක් ළඟපාතක නොපෙනෙන මේ පටු දැක්ම නිසා නන්නත්තාර වු සිත් ඇති ප්රේක්ෂකයන් පිරිසක් වශයෙන් අපද නිවසින් පිටත පමණක් නොව තිරයෙන් පිටතද තනිවූයෙමු. මේ ඛේදවාචකයන්ට විසදුමක් තිබේද? ස්ත්රියත් පිරිමියා මෙන්ම ලේ ඇට නහර වලින්ම සැදුම්ලත් ප්රාණියෙකු නොවේද? අප සැමගේම මව වන්නේද ඇයම නොවේද? ඇයට හිමි නිසි තැන හා ගෞරවය ලබා දිය යුතු නොවේද? විසඳුමක් ඉක්මනින්ම අප අප විසින්ම සොයා ගත යුතු මහා ගැටලු රාශිය නම් මේවාම වන්නේය.

 

 

 

 

චන්දන ගුණසේකර

2 comments:

  1. බලන්න ආසාවෙන් ඉන්න එකක් ... ස්තුතියි

    ReplyDelete
  2. ඛේදජනකම තත්ත්වය ඇවිල්ලා, ගෑණුන්ට වැඩියෙන්ම අපහාස කරන්නේ, නින්දා කරන්නේ, හිරිහැර කරන්නේ ගෑණුම වීමයි....

    ReplyDelete