Pages

Monday 28 August 2017

" පාරමී " පුරන ජීවකයා ඔහුය...




මෙවර ලංකාවේ ගත කළ නිවාඩුව අතරතුරේ මා ඉතාමත්ම පෙම්කරන සාහිත්‍ය ලෝකයේ ඇලී ගැලී සැරිසරන්නට මට හැකිවූයේ අගෝස්තුවේ පස් වෙනිදා පමණි. එදා උදයේ මරදානේ පොත් සාප්පු වන්දනාවෙන් පසු රැස්කරගත් පිං කන්දරාව බඳු පොත් කන්දරාව ඉතාමත්ම භක්තියෙන් ගමන් මළුවල අහුරා, හැන්දෑවේ මගේ බිරිඳගේ මෑණියන්ද සමඟින් කොළඹ මහවැලි කේන්ද්‍රය බලා ඉඟිළුණේ විහඟකු පරිද්දෙනි. ඒ මගේම සොයුරකුවන් මිතුරාගේ කවි පොත එළිදැක්වීමේ උත්සවයටයි. මගේ නැන්දම්මාද මා මෙන්ම පොත පතට සහ සාහිත්‍යට පෙම් බැන්දාය. එහෙයින් ඇය , මාහා මේ ගමනට එක්වූයේ ඇය ප්‍රියකරන වන්දනා ගමනක් යන්නා හා සමානවූ ඉතාමත්ම ප්‍රීතියකින් හා භක්තියකිනි.

අප යන විටත් ඔහු, ඔහුගේ සුන්දර පවුලත් සමඟ එහි පැමිණ සිටියේය. උත්සවය ගැන කියන්නට පෙර මට ඔබව මීට වසර කිහිපයකට පෙර දිනයකට රැගෙන යාමට අවසර.

මට හරියටම දිනය මතක නැතත්, ඒ මීට වසර තුනකට පමණ පෙර දිනයක් බවනම් මතකයේ ඇත. එදින මා මුහුණු පොතේ පළ කළ අනුරාධපුරය ගැන මා ලියූ කවියට ලැබුණු අපූරු ප්‍රතිචාරයකි. එය ලියා තිබූ අයුරින්ම එහි ගැබ්වී තිබූ අව්‍යාජත්වයත්, එය ලියූ පුද්ගලයාගේ හර්දයාංගම බවත් මට එය දුටු සැණින් පසක් විය. ඊට පසුදා මා තිසා වැව ගැන ලියූ පැදි පෙළ පළ කළ අවස්ථාවේ, ඔහුගෙන්ම ලැබුණේ පෙරටත් වඩා ආදරණීය ඇගැයුමකි. මට අවංකවම ඇතිවූයේ මහත්ම වූ සතුටකි. මම ඔහුට ස්තූති කළෙමි. ඉන් පසු මට ඔහු ලියූ කවිත් කියවන්නට ලැබිණි. ඒ අපගේ මිතුරුකමේ ආරම්භයයි. 

මට වඩා වසර කිහිපයකින් වැඩිමහලු වූ ඔහු, මට කටපුරා මල්ලී යැයි කීවේය. ඔහු මට ශ්‍යාම් අයියා විය. ශ්‍යාම් කුමාර මුණසිංහ නම්වූ ඔහු මට මුහුණු පොතින් හමුවූ සුන්දරම මිනිසෙකු ලෙසින් මගේ දිවියට එකතු වූයේ එලෙසිනි.

අප දුරකථනයෙන් බොහෝ වේලා කතා බහ කළෙමු. කවිය, ගීතය සහ චිත්‍රපට අපගේ මාතෘකා විය. බොහෝවිට අප දෙදෙනාටම තිබුණේ එකම රුචිකත්වයකි. එකම දැක්මකි. එකම ආකල්පයකි. එහෙයින් අප අතර වාදයක් හෝ විවාදයක් නොවුණි. 

අප සඳැස් කවිය හා එහි විරිත්, රීති ආදිය ගැනද කතා කළෙමු. ඒවා අප දෙදෙනාටම ඉතාමත්ම රසවත් හා යමක් ඉගෙනගැනීමට මඟ පෑදූ සාකච්ඡා විය. මේ අතර දිනක් ඔහු ලියා පළ කළ ඔහුගේ මංගල කවි පොත මට තැපෑලෙන් එවා තිබිණි.

එහි තිබූ මගේ සිත් ගත් කවි කිහිපයක් තවමත් මතකයේ රැව් දෙන්නේ ඒවායේ තිබූ අසිරිය නිසාවෙනි. 

මම යම්කිසි ලිපියක් හෝ කවියක් ලියා පළ කළ සෑම මොහොතකම මට කතා කළ ඔහු, එහි ගුණ දොස් පවසා හැමවිටම මා දිරිමත් කිරීමටද අමතක නොකළේය.

මා ඔහු වෘතියෙන් වෛද්‍යවරයකු බව දැනගත්තේ අපගේ ඇසුරට බොහෝ කලක් ගතවූ පසුවය. ඒ ද ඔහුගේ මිතුරකුගේ ආධාරයෙනි. ඔහු රස්සාවෙන් හිස උදුම්මා නොගත් ඉතා නිරහංකාර චාම් පුද්ගලයෙකු බවට එය මට හොඳම සාක්ෂියක් විය. 
එපමණක් නොව, අප දෙදෙනා කොතරම් නම් අප ආදරය කරන කලාකරුවන් ගැන කතා කරන්නට ඇද්ද? ජැක්සන් ඇන්තනී ගැන, රත්න ශ්‍රී විජේසිංහයන් ගැන අප නිතරම කතා කළෙමු. එහෙත් කිසිම දිනයක , මම ම සොයා ගන්නා තුරු ජැක්සන් ඇන්තනී යනු ඔහුගේ මස්සිනා බව ඔහු කීවේ නැත. එනම් කුමාරි මුණසිංහ යනු ඔහුගේ වැඩිමහල් සොයුරිය බව කීවේද නැත. එය ඔහුගේ අව්‍යාජ නිහතමානිත්වය ප්‍රදර්ශනය කළ තවත් මහඟු අවස්ථාවකි. 

මෙසේ කාලය ගතවෙද්දී ශ්‍යාම් අයියා, ඔහුගේ දෙවැනි කවි පොත පළ කිරීම සඳහා සූදානම් වන බව මා සමඟ පැවසීය. එය මට අවංකවම​ සිතට සතුටක් ගෙනා පුවතක් විය. අප දෙදෙනාම ගෙදර දොර සහ දරුවන්ගේ විභාග ආදී කටයුතු නිසා ඉතා අධික ලෙස කාර්‍ය බහුල වූයෙන් අපට වෙනදා මෙන් වැඩිපුර කතා කරන්නට නොහැකි වූවත් ලංඩනයේ පැවැත්වෙන සංගීත ප්‍රසංගයකදී හෝ සිනමා දැක්මකදී නම් නිතැතින්ම මට ඔහු හමුවිය. 

ටික කලක නිහැඬියාවකින් පසු පසුගියදා ඔහු මට කතා කළේ හෘදයාංගම ඇරයුමක්ද සමඟනි. එනම් මේ වසරේ අගෝස්තුවේ පස් වැනිදා දොරට වඩින ඔහුගේ " පාරමී" නම්වූ දෙවැනි කවිපොත ජනගත කිරීමේ උත්සවයට සහභාගී වන ලෙස ඉල්ලීමක් කරමිනි. මම ඉත සිතින් හා හදවතින් එම ඇරයුම භාර ගතිමි. ඔහු එම පොතෙහි අඩංගු කවි පංති තිස් පහක් පසුගිය සතියේ දිනක මා වෙත එවා තිබිණි. ඉතාමත්ම සිත්ගන්නා සහ අර්ථාන්විතව ලියා තිබූ එම කවි මම ඉතාමත්ම ආශාවෙන් කියෙව්වෙමි. 

එහි වූ කවි අතර වූ, අකාලයේ තනිවූ ගැහැනියකට ආගන්තුක පිරිමියෙකුගෙන් ලද නොමනා යෝජනාවක් ගැන ​නිර්නාමික ව අන්තර් ජාලයේ සැරිසරන කවි දෙකකට,​ ශ්‍යාම් අයියා විසින් එම ගැහැනියට ආරූඪ වී ලියූ පිළිතුරු කවිය​ මගේ රස නහර කිතිකවන්නට සමත් විය.


පිරිමි
යල මහ දෙකම පීදෙන සරුසාර බත​
සම්පත් ඉවත විසි වීමකි අසීමිත​
ගිය ට්‍රැක්ටරේ යළි නෑ ලොව දහම මත​
ගොන් බානකින් නගුලෙන් හරි හාමු කෙත​

ගැහනු
සෙලවෙන බංඩි ගොයමට හිත බැඳි හාද​
නොසැලෙන ලෙස තියමි පස් යට යන දාද​
පැළවෙන දෙයක් කා වැඳ තෙරුවන් පාද​
සැනසෙන හැටි දනිමි දැන්වත් යනවාද​"

මෙය ඔහුගේ උපකල්පන ශක්තිය හා උපමා උපමේය නිසි තැනට යෙදුමේ නිපුණතාවය ගම්‍ය කරන එක් උදාහරණයක් පමණි.


" හමුවීම" නමින්වූ මෙම කවි පෙළ බලන්න. බොහෝ කලකට​ සිදු වූ පරණ පෙම්වතුන් දෙපළ කගේ 'හමුවීම' සහ එය කවියකින් චිත්‍රයට නැගීම අපූරු අත්දැකීමක් විය​. 

" හඬා වැටෙන කරදිය රළ පෙළින් නැග​
මලානිකව බැස යන හිරු අඳුර ළඟ​
එදා සොඳුරු මතකය දිග හැරුණ මග​
ඇගේ දෑස් හමුවිය කාලෙකින් දිග​

මනාලියක යෙහෙළිය වී අතීතෙක​
හිනාවකින් ඇරඹුණු දිග කතාවක​
ගලා හැළුණූ සෙනෙහස් වැහි වලාවක​
තෙමී නැසුණු හැටි මතකයි අකාලෙක​


මෙහි යොදා ඇති යෙදුම් එම අවස්ථාව මවා පෙන්වනවා නොවේද? බලන්න යොදා ඇති උපමා උපමේය. " ගලා හැළුණූ සෙනෙහස් වැහි වලාවක​
තෙමී නැසුණු හැටි මතකයි අකාලෙක​" 

සෙනෙහස ඔහු වැස්සට උපමා කරයි. එහෙත් ඒ සෙනෙහස සුබදායී අයුරින් අවසන් නොවූ බව හැඟවීමට එම සෙනෙහස් වැස්සට තෙමී අකාලයේ නැසුණු බව පවසයි. කෙතරම් ලස්සනද? අව්‍යාජද?

ඉතාමත්ම සංවේදී කවි පෙළක් වූ " සමුගත් පුතා" කවි පංතිය මගේ දෙනෙතට එක් කළේ තෙතක්. හදවතට එක් කළේ බරක්. ඔබටත් එසේම වන බව මම දනිමි.

" සමුගත් පුතා...

ලොව දහම හා එතුන​
බණ දහම මදි හිතෙන​
ඔබ අඩුව පුරවන්න කළුවර හිතේ
ළඟ තියෙන හෙට දිනෙක
එනු මැනවි යළි හනික​
ඔය මූණ සිපගන්න ඕනෑ පුතේ "

" දියුණුව" නමින්වූ කවි පංතිය ඉතාමත්ම සංවේදීය. තම තමන්ගේ දියුණුව පතා තමන්ව හැදූ වැඩූ දෙමාපියන් තනිකර දමා පිට රටකට යන දරුවන් නිසා තනිවූ මවක විසින් රට සිටින තම පුතු වෙත යවන ලියුමක ආකෘතියෙන්වූ මෙම නිර්මාණය මව්පියන් ලංකාවේ සිටියදී පිටරටක වෙසෙන මට මගේම මෑණියන් විසින් ලියූ ලියුමක් සේ හැඟිණි. බලන්න ඔබටත් කුමක්ද සිතෙන්නේ කියා. ඔබටත් එය එසේම වනු ඇතැයි සිතමි. 


"තාත්තා දැන් මාවවත් අඳුනන්නෙ නෑ දවසම නිදී
මාත් මේ හිටියාට පෙති මහ ගොඩක් ගිලිනව දවසෙදී
උඹත් මට හිටියනම් කියලා හිතෙනවා හැම පැයකදී
මටත් දවසක පෙන්නපන් නුඹ සොයාගත් දියුණුව රිදී" 

ඔහුගේ කවි සංකල්පනා එක තලයකට , එක මානයකට සීමාවී නැතිබව මේ කවි රස විඳීමේදී මට හැඟේ. ඔහු පියා ගැන ලියයි. තනිවූ මව ගැන ලියයි. අමනාප වූ නැඟෙනිය ගැන, වෙනස්වූ සොයුරා ගැන ලියයි. එසේ ලියන ඔහුම තමන්ගේ නැතිවූ පෙම ගැන ලියයි. එසේම කෙදිනකවත් හිමිකරගත නොහැකිවුවත් හදවතින් පමණක් අසීමිතව පෙම් කරන පෙම්වතුන් ගැන ලියයි. එසේම පැරණි සාහිත්‍ය සහ නාට්‍ය ආදියෙහි චරිතද ඔහු තම නිර්මාණ සඳහා වස්තු බීජ බවට පත්කර ගනී. " දික්තලා" නම්වූ මෙම කවිය එයට කදිම නිදසුනකි.

" දික්තලාව​
එක්තරා දිනයෙක​
මුහුණු පොත දිගහැර 
බිත්ති කැඩපත් පවුර මත​
ලෝකයට ම පේන සේ ලියන්නී

දියණිය අතින් අරගෙන​
පුතු සිය තුරුල් කරගෙන​
දත් විලිස්සාගත් දික්පිටියා හා
අත් පටලවා ගත් 'සෙල්ෆියක්' ද සමඟින්

'යුද දිවි අරණ වෙත පියමැන
මග ආ රස වසර විසිතුන​
පති භක්තියෙන් ගතවිණ​
නිති හිත පිරිසිදු ය ඔහු ගැන​'.........


මෙම කවිය වරක් කියවූ සැනින්ම මගේ හද ගැබෙහි තැන්පත් වූයේ එහි වූ අසිරිය නිසාමය.

එමෙන්ම ඔහු සමාජයේ එක් එක් කර්මාන්තයෙහි යෙදෙන කුඩා මිනිසුන් ගැනද ඉතාමත්ම හෘදයාංගමව කතා කරයි. " අජිත්" නමින්වූ කවි පංතිය අපට ගෙන එන්නේ මෙවැනි පුද්ගලයෙකුගේ ජීවිතයට ඔහු එබුණු අයුරයි.


ජීවිතේ ටම පෝරු ගතවී 
නැති අජිත් සුදු කෙස්ස කසනව​
පෝරුවෙන් මග වැටුණ නංගි ගෙ
පවුල සහ මව බලා ගන්නව 
සිනාසී පුන් කලස හදනව​. "

" පාරමී" නමින් මෙම කවි පොතට නම යොදන්නට පාදක වූ කවි පංතියද ඉතාමත්ම සංවේදීජනකය. සමාජයේ අපට හමුවන ජීවිතවල අන්ත අසරණවූ පැතිකඩක් ඔහු මෙයින් විවර කරයි. 


'කොරවී ඇඟිලි අත පය පූරුවෙ පවට​
හිරවී සිටිමි සදහට නොකළක ඇඳට​
වෙරදා පත්තු බැඳ පණ නැති අත පයට​
බිරිඳෑ පුරන පින් ඇති නිවනේ සැපට".

තමා ගෙනා කර්මය අනුව රෝගාතුරවී ඇඳටම වැටී කිසිවක් කරකියාගත නොහැකී වූ අසරණ සැමියෙකු තම බිරිඳ ගැන පහන් වූ සිතින් සිතන මෙම කවි පංතිය ඉතාමත්ම සංවේගීජනකය. දෑස් කඳුළින් තෙමා ලන්නේය.

සමස්තයක් වශයෙන් ගත් කල මෙම කවි මගින් සමාජයේ සෑම තාරතිරමකම ජන කොට්ඨාසයකටම ඔහු ආමන්ත්‍රණය කරන්නේය.හැම ඉසව්වක්ම හා මාණයක්මද ස්පර්ශ කරන්නේය.

මෙතරම් කාර්‍යබහුල දිවියක් ගෙවන සහ වෛද්‍ය වරයකු වශයෙන් ඉතාමත්ම වගකීම් සහිත රැකියාවක් කරන ඔහු , මෙතරම් අපූරුවට සහ පුළුල් ලෙස තම පරිකල්පනය විහිදුවේ කෙසේද යන්න මටනම් සිතා ගන්නටවත් නොහැකිය. මෙයින්ම ඔහුගේ හැකියාව පිළිඹිබු වන බව මගේ හැඟීමයි. 

මේ සුන්දර මතකයන්ද හිතේ තබාගෙන අප උත්සව ශාලව වෙත පියමැන්නෙමු. සුපුරුදු අව්‍යාජ සොඳුරු සිනාවෙන්ම ඔහු හා ඔහු ප්‍රිය බිරිඳ විසින් අප පිළිගත්හ. ඔවුන්ගේ මිණි කැටවන් පුත්‍ර රත්න ත්‍රිත්වයද එහි වූහ.

උත්සවයේ දෙසුම් සඳහා පැමිණ සිටි මගේ සාහිත්‍ය ලෝකයේ රජුන් වන් මහා කවි රත්න ශ්‍රී වියතාණන්, මා ඉතාමත්ම ප්‍රිය කරන ප්‍රතිභා පූර්ණ සාහිත්‍යවේදී මහින්ද මස්ඉඹුල කවියාණන් හා ශ්‍යාම අයියාගේ ලොකු මස්සිනාවූ මා ඉතාමත්ම ආදරය කරන ජැක්සන් ඇන්තනී කලාකරැවානන් දුටු අපට ඇතිවූයේ ඉතාමත්ම සතුටකි. සැනසීමකි. නිවීමකි. 

ඒ වියත් හා චතුර දෙසුම් අපගේ සවනලූ අමා පැන් සේ විය. අප සාහිත්‍ය සයුරේ ගිලිණි. එයින් ලැබුණේ දිව්‍යලෝක සුවයකි. 

ශ්‍යාම අයියා විසින් ඔහුගේ " පාරමී " පොත පුද කොට තිබූ ඔහුගේ ලොකු අයියාට , පොත පිළිගැන්වීමේ නිමේශය කාගේත් දෑස් තෙත් කළ අති සංවේදී අවස්ථාවක් විය. එමෙන්ම ශ්‍යාම අයියාගේ සොයුරියන්ගේ දියණියන් විසින් පොතේ වූ කවි ඉතාමත්ම කර්ණරසායන ස්වරයෙන් හා හද මන බැඳ ගන්නා විරිතෙන් ගායනා කිරීමද සැමගේම නෙතු සතුටු කඳුළින් නැහැවීමට සමත් විය.

අවසාන වශයෙන් 2017 අගෝස්තු පස් වෙනිදා කොළඹ මහවැලි කේන්ද්‍රයේදී ​පැවැති ඔහුගේ දෙවන කවි පොත " පාරමී" දොරට වැඩීමේ උත්සවය අති සාර්ථක වූ බව පැවසීමට කැමැත්තෙමි. එලෙසම ගතේ ලෙඩට සහනය සලසන වෛද්‍යවරයකු වශයෙන් හා හිතේ ලෙඩට සහනය සලසන කවියකු වශයෙන් තව තවත් චිරාත් කාලයක් ජනතාවට සේවය කිරීමට අවැසි ශක්තිය , දහිරිය හා හිතේ සැනසීම ශ්‍යාම් කුමාර මුණසිංහ නම්වූ මෙම සෞන්දර්වාදී සුන්දර මිනිසාට ලැබේවායි කියාද ඉතාමත්ම හෘදයාංගම හා ලෙංගතු සිතින් ප්‍රාර්ථනා කරමි. 





සටහන- චන්දන ගුණසේකර

2 comments:

  1. කවි විචාරයකුත් සමගින් හොද පෝස්ටුවක්. මුණසිංහ මහතා අව්‍යාජ අයෙකු බව තේරුම් ගැනීමට මෙම තොරතුරු ප්‍රමාණවත්. ඔබගේ පියාටත් සුවය පතමි

    ReplyDelete
  2. බෙහොම ස්තූතියි නිරහංකාර සටහනට මිත්‍ර

    ReplyDelete