Pages

Thursday, 25 May 2017

සත් සමුදුර අපට තනා සත්සමුදුරින් එතෙරදී අප හැර ගිය වියතානෝ....



පාසලේ වූයේ වෙනදා නොතිබුණු අමුතුම කලබලයකි. මිනිසුන් පිරිසක් විසින් ක්‍රීඩා පිටිය අසලම වූ පාසල් ගොඩනැඟිල්ලේ කොට බිත්තිවල සිට වහල දක්වා පොල් අතු පැලලි බඳිමින් ශාලාව ලහි ලහියේ ආවරණය කරමින් වුන්හ. එවකට හත වසරේ ඉගෙනිමින් වුන් මට මෙය මහා උභතෝකෝටික ප්‍රශ්නයක් විය. 

හීන් සීරුවේ අපගේ පංතිභාර ගුරුතුමිය වූ සුනීතා මිස් ළඟට කිට්ටු වී මේ ගැන මා විමසා සිටියේ ඉවසාගෙන සිටීමට බැරිම වූ තැනය. 

" හෙට ඉස්කෝලෙ චිත්‍රපටයක් පෙන්වනවා පුතා. ඔයාලට ඒක බලන්න පුළුවන්."

කුඩා අවධියේ පටන්ම චිත්‍රපට නැරඹීමේ උන්මාදයෙන් පෙළුණු චිත්‍රපට පිස්සකු වූ මාහට මීටත් වඩා වටිනා තොරතුරක් මිහිපිට තිබේදැයි කියා සිතා ගැනීමටවත් නොහැකි විය. එදා දවසත්, පහුවෙනිදා චිත්‍රපටය පෙන්වන වේලාව වනතුරුත් මා කෙසේ ගතකළාදැයි මට මතක නැත. එහෙත් ඉන්පසු ඉගැන්වූ කිසිම දෙයක් නම් මගේ ඔළුවට ගියේ නැතිබවනම් මතකය. 

පහුවදා එම සිනමා පටය " සත් සමුදුර " බවත්. එහි අධ්‍යක්ෂක, සිරි ගුණසිංහ නම් වූ මහා වියතකු බව සහ එහි සංගීතය සෝමදාස ඇල්විටිගල නම්වූ මහා සංගීත වේදියෙකුගේ බවත් සුනීතා මිස් අපට පැහැදිලි කළාය. එහි රඟපාන නළු නිළියන් ගැනත් විස්තර කළ ඈ මෙම සිනමා පටය සම්මාන රාශියක් දිනාගත් ඉතා විශිෂ්ට කෘතියක් බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේ එය නැරඹීමේ කුතුහලය සහ ආශාව සත් සමුදුරක්ම කරවමිනි. 

එය නැරඹූ මට , ස්වර්ණා මල්ලවආරච්චි, දෙනවක හාමිනේ, සිරිල් වික්‍රමගේ ආදීන්ගේ විශිෂ්ට රංගනයන් , සෝමදාස ඇල්විටගලයන්ගේ ඒ අමරණීය සංගීතය හා පණ්ඩිත් අමරදේවයන්ගේ මධුර ගායනය මා වෙනම ලොවකට රැගෙන ගිය බවක් හැඟුණි. ඒ අත්දැකීම මහා විශාල ඊයම්බරැ මෙන් ඉන් වසර 35ක් පමණ ගෙවී ගොස් ඇති අදටත් මා හදතුළ තැන්පත් වී ඇත්තේ එහෙයිනි. 

අද මට හදිසියේම " සත් සමුදුර" සිහියට ආවේ මුහුණු පොතේ පළවූ එක්තරා ඉතාමත්ම කනගාටුදායක දැන්වීමක් ඇස ගැටීමෙනි. එයනම් සත්සමුදුර නම් වූ ඒ අමරණීය නිර්මාණය කළ ඒ යුඟ පුරැෂයා , මහාචාර්‍ය සිරි ගුණසිංහයන්ගේ නික්ම යෑමයි. මිය යනවිට 92 හැවිරිදි වියේ පසුවූ එතුමන් 1970 වසරේ සිට මිය යනතුරුම විසුවේ කැනඩාවේය.

1967 දී එතුමන් සත්සමුදුර සිනමා පටය ජාත්‍යන්තර තලයේ තැබිය හැකි මට්ටමින් නිර්මාණය කළේ එවකට අපට තිබූ අවම පහසුකම් මධ්‍යයේය. එයින්ම එතුමන් සතුව තිබූ ප්‍රතිභාව හා හැකියාව අපට සිතා ගත හැකිය.

එතුමා ලියූ " මස් ලේ නැති ඇට" කාව්‍ය සංග්‍රහය නවමු මාදිලියේ කවි වලින් සමන්විත විය. එමෙන්ම " අබිනික්මන", " හෙවනැල්ල", " මන්දාරම" හා " රතු කැකුළු " එතුමා අතින් ලියැවුණු අගනා නවකතාවන්  හා කාව්‍ය සංග්‍රහයන්ය මේවා අතුරින් " හෙවනැල්ල" නවකතාව රසික ප්‍රජාව අතර කතාබහට සහ ඉමහත් ප්‍රසාදයට පත්වූයේ එහිවූ කතා තේමාවේ වූ විශේෂිතබව නිසාය.

පසුගිය මාසයේ මා මාටින් වික්‍රමසිංහ සූරීන්ගේ " උපන්දා සිට" කෘතිය කියවන විට එතුමන් සිරි ගුණසිංහයන්ගේ " හෙවනැල්ල" ගැන එහි සඳහන් කර තිබෙනු දැකගන්නට ලැබිණි. වික්‍රමසිංහයෝ එහි විවේචනාත්මක අයුරින් ගුණදාස අමරසේකරයන්ගේ " යළි උපන්නෙමි" හා සිරි ගුණසිංහයන්ගේ " හෙවනැල්ල " විග්‍රහ කර තිබිණි. මෙම කෘති දෙකෙහිම කතා නායකයන්, එනම් හෙවනැල්ලේ ජිනදාසත් යළි උපන්නෙමි හි රණතුංගත් මරදානේ ගණිකාවන් වෙත චකිතයෙන් යුක්තව යෑම හා එහිදී හැසිරෙන ආකාරයත් ඔවුන්ගේ චරිත ලක්ෂණත් ඇසුරින් වික්‍රමසිංහයන් විවේචනය කර තිබුණේ ඒවායේ  රචකයන්වය. 

// "යළි උපන්නෙමි " කතාවෙනුත් " හෙවනැල්ලෙනුත්" එළියට එන්නේ ආත්ම සංයමයෙන් හා තැන්පත් නුවණින් තොරවූ වැටහෙන නුවණින් අඩු ශක්තිය ඇති සිත් දෙකකි. ඔවුන්ගේ හදවත් එක්තරා කඨිනත්වයකින් තොර නොවන බව කතා දෙකේ නායක චරිත වලින් හෙළිවෙයි. //( පිටුව 382- උපන්දා සිට) මෙතනින් වික්‍රමසිංහයන් විවේචනය කරන්නේ කෙළින්ම රචකයන්වය. එතුමා එසේ පැවසුවද රසිකයින් නම් මේ කෘති සෙනෙහසින් වැළඳ ගත්හ. 

එමෙන්ම සිරි ගුණසිංහයන් 'කතා කරන සිංහල 'සහ 'ලියන සිංහල 'යනුවෙන් දෙකක් පවත්වා නොගත යුතු බවත් සාර්ථක ලිවීමක් සඳහා ඉංග්‍රීසියේ මෙන්ම කතාකරන බසම යොදා ගැනීමේ ප්‍රායෝගිකබව හා කියවන්නාගේ හදට වැඩියෙන් දැනීමේ ප්‍රවණතාවය ගැන සඳහන් කරමින් මහත් බලපෑමක් කළේය. 

මේ මා සඳහන් කළේ සත් සමුදුරක් තරම් විසල් වූ එතුමන් කළ කාර්‍යභාරයෙන් සහ සේවයෙන් පුංචි දිය බිඳක් තරම් ප්‍රමාණයක් පමණි. එතුමා බිහි කළ නිර්මාණ යුඟ යුඟ ගානේ සාහිත්‍ය හා කලාවට පෙම් බඳින සහෘදයින් අතර පවතිනු ඇත. එමෙන්ම අවසාන වශයෙන් එතුමන් අප හැර ගියද එතුමන් විසින් අපට දායාද කළ " සත් සමුදුර" සදා කල්හීම රළ නගන බවද මට විශ්වාසය. සිරි ගුණසිංහ මහැඳුරැතුමනි, සුබ රාත්‍රියක් පතමින් ඔබගෙන් සමුගෙන යාමට මට අවසර...

පිපුණු කුසුම පරවුවා 
 බඹර කිකිණි ගොළුවුණා 
 මුතුකැට සුද සැඟවුණා 
 හසරැළි වියළී ගියා..... 
හසරැළි වියළී ගියා.....//

3 comments:

  1. සිරි ගුණසිංහ වියතාන්ට නිවන් සුව පතනවා.

    ReplyDelete
  2. මහා ප්‍රාඥයකුගේ නික්ම යෑම!!!

    ReplyDelete