අද( අගෝස්ත 23 ට) යෙදෙන නන්දා මාලිණියගේ ජන්ම සංවත්සරය නිමිත්තෙනි.
දිනය හරියටම මතකයේ නැතත් ඒ අසූව දශකයේ මුල් භාගයේ පාසල් නිවාඩුවක දිනයක් බවනම් ටක්කෙටම මතකය.
මම සුපුරැදු විලස පාසල් නිවාඩුව යටඳොලවත්තේ ලොකු ලොකු අම්මලාගේ නිවසේ ගතකරමින් පසුවූයෙමි. එයාර් ලංකා සමාගමේ සේවය කළ ලොකු අම්මාගේ දියණියක සිංගප්පූරැවේ සංචාරයක් නිමවා නිවසට පැමිණියේද ඒ දිනවලමය.
ඇය එන විට බොහෝදේ ගෙනැවිත් තිබිණි. කුඩා මගේ රස නහර පිනවූ ටොෆී හා චොකලට්වලට අමතරව මගේ සිත තදින්ම ඇඳ බැඳ ගත් තවත් අමුත්තකුද ඇය ගෙනවිත් තිබුණාය.
එය කැසට් රෙකෝඩරයක් වූ අතර එවැන්නක් මම මුලින්ම දැක්කේ එදාය. Panasonic කියා තම නාමය ඉතා ගාම්භීර අයුරින් තම ගතේ කොටාගෙන වුන් මෙම යන්ත්රරාජයා නිවි නිවි දැල්වෙන පුංචි විදුලි බුබූළු පෙලකින්ද සන්නද්ධ විය. කැසට් පටි වාදනය කිරීමට සහ අප කියන දේ පටිගත කිරීමේ අපූරැ හැකියාවක්ද එය සතුවිය. අප සැවොම එදා දවසම ගත කළේ එය වටකරගෙනය.
අපට එයට දමා වාදනය කිරීමට කැසට් පටියක් නොමැතිව ලත වෙමින් සිටියදී හැරදමා තිබූ ඉදිරිපස දොරින් ගෙට ඇතුළුවූ අමුත්තෙකි. මා අමුත්තෙකු යැයි සිතුවාට ඔහු අමුත්තෙකු නම් නොවීය. ඒ අප 'ලොකු අයියා ' නමින් හැදින්වූ එවකට විශ්ව විද්යාලයේ ඉගෙනුම ලබමින් වුන් ලොකු අම්මාගේ පුතාය.
අප වටකරගෙන වුන් යන්ත්රය දුටු ලොකු අයියාගේ මුවටද නැගුණේ යස හිනාවකි. ඊළඟ නිමේෂයේ අයියා ඔහුගේ බෑගය තුළින් එළියට ගත් යමක් දුටු අප සැමගේම මුවවල් විවර වුණි. එය බ්රවූන් පේපර් බෑගයක ඔතා තිබූ කැසට් පටයක් විය. එහි කවරය මට අදටත් ගලේ කෙටුවාක් මෙන් මතකය. එහි වූයේ ' පහන් කන්ද' යන්නයි.
අයියා කැසට් පටය , යන්ත්රයේ අදාළ පොකට්ටුවට බහා එය වාදනය කරන බොත්තම එබීය. පටය කැරකී රතු බල්බ නිවී දැල්වෙමින් වාදනයවීම ඇරඹිණි. කැසට් යන්ත්රයකින් මගේ ජීවිතයේ පළමුවරට ඇසුණේ ඇයගේ මධුර මනෝහර හඬයි. ගුවන්විදුලියේ උදාගී හෝ යම් සරල ගී වැඩසටහන්වල මේ හඬ ඇසී තිබුණත් මෙතරම් පැහැදිලිව එය ඇසුණේ එදාය. ඒ 'ස්ටීරියෝ හඬ ' නිසා බැව් අයියා පැහැදිලිකර දුන්නේ විමතියෙන් දෑස් දල්වාගෙන වුන් මගේ අතරමංවූ විලාසය දුටු හෙයිනි.
එහි ගැයුණු ' පහන් කන්ද, සුළං කපොල්ලේ ' යන ගීතයන්හී තේරැම කුඩා මට නොතේරැනත් ඒවා යළි යළි අසමින් මම රස වින්ඳෙමි. අයියා ,මම තවත් ආශාවෙන් රස විඳි එහි අඩංගු ගීතයක්වූ ' බෝමැඩ වඟුරන කිරි කල දහසින්' ගීතයේ තේරැම මට පැහැදිලි කර දුන්නේය. එදා මා පෙම් බැඳීම ඇරඹූ ඇගේ හඬට වසර තිහක් පමණ ගතවී ඇති අදටත් ඇත්තේ ඒ ආදරයමය.
වසර තිහකට පෙර එදා යටඳොලවත්තේදී මගේ හදවත සොරාගෙන එහි ලැගුම්ගත් ඒ හඬ වෙනකිසිවකූගේවත් නොව දැයේ මහා කාන්තා හඬ පෞරෂය වන නන්දා මාලණියගේම වන්නේය.
එතුමිය 1943 වසරේ නිකිණි මස 23 වෙනිදා දකුණු ලකේ අලුත්ගම ලෙව්වන්දූව ග්රාමයේදී නම දෙනෙකුගෙන් යුත් පවුලක මෙලොව එළිය දුටුවාය. උප්පැන්නයේ නම වූයේ මිරිහාන ආරච්චිගේ නන්දා පෙරේරා යන්නයි. එතුමිය සුනෙත් ගෝකුල මහතා සමඟ විවාහයෙන් පසුව නන්දා මාලනී ගෝකුල වූ අතර දූවරැන් දෙදෙනකුගේ මවකද වූවාය. එහෙත් එතුමිය අප හදවත් තුළ ලැගුම් ගත්තේ මේ එකදු නමකින් හෝ නොව ' නන්දා මාලිනී' නමින්ම පමණි.
කුඩා අවධියේම කොළඹ කෝට්ටේ පුරවරයට පැමිණි ඈ ශ්රී ගුණානන්ද විද්යාලයේ සිප් සතර හැදෑරැවාය. පාසල් යන සමයේ සිටම ගායනයට දස්කම් පෑම නිසා ගුරැ අමරදේවයන්ගේ ඇරයුමින් ගුවන් විදුලියේ කරැණාරත්න අබේසේකර සූරීන්ගේ ළමුන් අතර ඉතාම ප්රචලිත වැඩසටහනක් වූ ළමා මංඩපයේ ගීත ගැයීමට වාසනාව ලැබිණි. එහිදී ඇය ගැයූ පළමු ගීතය වූයේ ' බුදුසාධූ' ගීතයයි.
ඉන්පසු බී වික්ටර් පෙරේරා සංගීතවේදීයා යටතේ සංගීතය හැදෑරෑ නන්දා මාලිනිය හේවුඩ්හි වසරක අධ්යාපනයක්ද ලැබුවාය. 1963 දී ඉංදියාවේ ලක්නව් නුවරට ගොස් සංගීතය හැදෑරෑ ඈ නැවතත් 1984 දී එම විශ්ව විද්යාලයට ගොස් විශාරද උපාධියද ලබාගත්තාය.
ඇයගේ කට හඬෙහි ඇති අපේ කම එසේත් නැතිනම් පොළොවෙ පයගසා ජීවත්වන ලේමස් ඇට නහරින් සැදුණු අව්යාජ ජීව ගුණයට මිනිසුන් පෙම් කළහ. හඬක් නැගිය නොහැකි පීඩිත පංතියේ , දුක්විඳින ජනතාවගේ හඬ, ඇයම වූයේ එහෙයිනි.
දිනෙන් දිනම ජනතා ප්රසාදයට පත්වූ නන්දා මාලිනිය මුලින්ම සංගීත ප්රසංගයකට තම දායකත්වය සැපයූවේ 1971 දීය. ඒ පණ්ඩිත් අමරදේවයන් සමඟ එතුමන්ගේ ' ස්වර්ණ ආරාධනා' ප්රසංගයට එක් වෙමිනි.
ඉන්පසු 1973 දී ඇයගේ පළමු ඒකපුද්ගල ගීත ප්රසංගය ඇරඹි අතර එය අති සාර්ථකව දිවයින පුරා දර්ශන වාර 530 ක් පවත්වා 1979 දී අවසන් කෙරැණි.
1981 අගෝස්තුවේදී ඇරඹි ' සත්යයේ ගීතය' ඒකපුද්ගල ප්රසංගය නන්දා මාලිණියගේ කුටප්රාප්තිය විය. මහාචාර්ය සුනිල් ආරියරත්න , නන්දා සුසංයෝගය ලක් ඉතාහාස සංගීත වංශ කථාවේ නව පිටුවක් පෙරළීය. මෙම ගීතවල තනු නිර්මාණය කළ ආචාර්ය රෝහණ වීරසිංහයන් හා එච් එම් ජයවර්ධනයන් ප්රමුඛ සංගීතවේදීන් මෙම පිටුව තව තවත් වර්ණවත් කළහ. එවකට ජනතාවගේ හද ගැහෙනා රාවය කොටින්ම මුළු දිවියම ' සත්යයේ ගීතයේ' දැහැන්ගත විය.
එහෙත් ලංකා ඉතිහාසය කලු පැල්ලම්වලින් සැරසූ කාලකන්නී අඳුරැ යුගයේ ආරම්භය සනිටුහන් කළ වකවානුවද මෙයම වීම අප සැමගේම නොලැබීමය. ඒ යුගයේ අවාසනාවන්තම දරැකැලවූ අප , අපගේ යෞවනයේ දොරකඩ අබියස සිරවී සිටි කාලයයි. කෙසේ හෝ දුක් කඳුළු මැදින් දර්ශන වාර 500 ක් ගැයුණු සත්යයේ ගීතය 1984 අගෝස්තුවේදී අවසන් වුණි.
ඉන්පසු එළැඹුණේ මරණයේ අඳුරැ සෙවනැලි හැම කෙනෙකු පිටුපසම පතිතවී තිබූ ජීවිතය තඹ සතයක් තරම් වත් මායිම් නොකෙරෑ , නීතිය වල්වැඳුණු ඒ මූසල භයංකර යුගයයි. විදුලි කම්බි කඩා නගර හා ගම් අඳුරේ ගිලී තිබූ පාළු සීතල රාත්රී කාලවල අසල ගෙදරක බල්ලකුගේ උඩුබිරීම මරණයට අත වැනීමක් සේ අපට හැඟුණි. දැන් දැන් සපත්තු අඩි සද්ධයක හඬ ඇසේදෝයී නොනිදා පහන් කළ අපේ හදවත් ගැහෙන හඬට පවා අපම බිය වූ ඒ කාලකන්නී යුගයේත් ඈ නොබියව ඒ අසාධාරණයට එරෙහිව සිය කට හඬ අවදි කළාය.
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පන්හිදෙන් ගලා ආවේ මරණය තුරැලුකරගෙන වුන් යෞවනයේ සුසුම් පොදයි. ඇය ගීයක් කොට ගැයුවේ අපේ අදෝනාවයි. 1987 එතුමියගේ සංගීත ප්රසංගය ' පවන' බිහිවුයේ මේ වාතාවරණ මධ්යයේය. මරණයේ සීතල බය තුළින් එම ප්රසංගය මාස 18 ක් තිස්සේ වාර 205 පෙන්වීමට සමත්වූවාය. එවකට ' සත්යයේ ගීතය' හා ' පවන' කැසට් පටයක් ළඟ තබා ගැනීම පවා පොලීසියට දක්කාගෙන යාමේ හෝ ටයර් සෑයක අවසන් ගමන් යෑමට පවා හේතුවිය හැකි තරම්වූ වරඳක් විය. එවන් යුගයක පවා ඇය අප වෙනුවෙන් ගැයුවාය.
ඒ අවාසනාවන්ත යුගයෙන් වසර 22 කට පසු එතුමිය 2010 දී ' ශ්වේත රාත්රිය' නමින් ගීත ප්රසංගයක් පැවැත්වූවාය.
එදා මෙදා තුර ගායිකාවක, සංගීත අධ්යක්ෂකවරියක හා විශේෂයෙන්ම තම නැණ නුවන අනාගත පරපුරට බෙදා දෙන ගුරැවරියක ලෙස එතුමිය කරන්නාවූ කාර්ය භාරය නම් සුළුපටු නොවේ. එමෙන්ම නැගී එන ආධුනික ගීත රචකයන්ට හා සංගීතවේදීන්ට එතුමිය ලබා දෙන පිටුවහල අතිමහත්ය. ' අරලිය ලන්ද' වැනි සංගීත පට වල ගීත සියල්ලම ගැයුණේ ආධුනිකයනට අතහිත දෙන්නටය.
ගීත ප්රසංග මෙන්ම එතුමිය ගැයූ සරල ගී හා චිත්රපට ගීතද ජනතාව හදවතින්ම වැළඳ ගත්හ.
' පිපිණු මලේ රැව' , කඩ මංඩියේ' , සුදු හාමිනේ' , ' ඔබයි රම්ය සඳ කිරණ' හා තවත් මෙවැනි ගීත රාශියක්ම අමරණීය වන්නේ ඒ නිසාය.
එමෙන්ම සිනමා පට සඳහා ගැයූ ' රන් කෙන්දෙන්', ' අම්මාවරැනේ' හා ' මලකින් මලකට ගොස් පැණී බොන්නද' වැනි ගීත ඇතුළු ගීත රාශියක්ම ජනතාවගේ හද සන්තානතුළ සදහටම ලැගුම්ගෙන හමාරය. සරසවි සම්මාන එකොළහකින් හා ජනාධිපති සම්මාන අටකින් එතුමිය පිදුම් ලද්දේ මේ නිසාය.
මෙතෙක් කලක් එතුමිය දැයට දායාද කළ ගීත එකතුවන් පෙළගැසූවොත් එය මෙසේ දිස් වනු ඇත.
1) පෙරදා මහ රෑ
2) පහන් කන්ද
3) සත්යයේ ගීතය
4) හේමන්තයේදී
5) තාරැකා ඇස්
6) පවන
7) සිංදු හෝඩිය
8) කිඳුරියකගේ විලාපය
9) මධු බඳුන්
10) තරැ
11) මල්මද බිසව්
12) සිනමා ගීතාවලෝඛනය
13) කිරිමදු වැල්
14) ලංඩනයේදී ගැයූ ගී
15) යාත්රා
16) හඳහාමී
17) සංඛ පද්ම
18) පෙම්බර ලංකා
19) කුංකුම පොට්ටු
20) ග්රැමෆෝන් ගී
21) අරලිය ලන්දට
22) මලට රේණු
23) නිලම්බරේ
24) සාරි පොඩිත්තක්
25) පිරිත් පැන්
ධවල පැහැ ඔසරියෙන් සැරසුණු විච්චූරණ විලාසිතාවෙන් තොර ඇයගේ වත මඩල කෙතරම් නම් සුන්දරද? පොළවේ පයගසා ජීවත්වන අපගේ අම්මා, සොහොයුරිය හා වැඩකරන දුක්විඳින සියලූම කාන්තා නියෝජනය ඇයම නොවේද? ඇය ගයන්නේ අපගේ හද ගැස්මයි. අපේ ජීවයයි.
ආදරණීය අම්මේ, දයාබර සොයුරියේ ඔබ තව තවත් ගයන්න. දුක් විඳින අපේ හද සනසවන්න. ඒ සඳහා අවශ්ය ශක්තිය හා දහිරිය ඔබට නිරතුරැවම ලැබේවා. නිරෝගීසුව අත්වේවා. අපගේ ඒකායන ප්රාර්ථනය එයයි.
මැතිනියනී ඔබට චිරං ජයතු!!
චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය
අගෙයි.... වටිනා තොරතුරු ටිකක්.... අැයට අපිත් බොහෝ සෙයින් අාදරය කරන්නේ ලංකා ඉතිහාසයේ සංගීතය වෙනස් ම මානයකට ගෙන ගිය කාන්තාව නිසාය..... සුනිල් අාරියරත්නයන්ගේ පද රචනා බොහොමයක් අැයගේ හඩින් අලංකාර විය.... පවන ඒ ගමන් මගෙහි සන්ධිස්ථානය වන්නේය.....
ReplyDeleteGrate
ReplyDelete