Pages

Monday 11 May 2015

කට හඬ 35 කින් ගී ගයන ගායකයා......




කට ඇති පුතෙකු හා රැව ඇති දුවකු ලැබීම සෑම දෙමාපියෙකුගේම පැතුමයි. 

ලංකා ඉතිහාසය ගත් කළ බොහෝ කට ඇති පුතුන් අපට සිටියහ. සමහරැන් දේශපාලනය පැත්තෙන් තම වැඩ පෙන්වූහ. තවත් සමහරෙකු ආගමික අංශයෙන් තම සේවය රටට කළහ. තව පිරිසක් තම කටින් වැඩ ගනිමින් නිවේදකයෝ සහ ගායකයෝ වූහ. මේ අතර තවත් ඇත්තෝ තම කට නිසාම දිවිය පවා අහිමි කර ගත්හ. ඒ කට අවියකට වඩා ප්රබල වූ විටය. එමෙන්ම කටින් බතල හිටවන්නෝ සහ කටින් ණයට කහින්නෝද මේ විෂම වූ සමාජයේ අපට හමු වූහ. 

මාළුවා නහින්නේද කට නිසාය. එහෙයින් කට පාවිච්චි කළ යුත්තේ හොඳින් සිතා බලා පරිස්සමටය. 

නමුත් මා අද කතා කරන්නට යන්නේ 
මේ කිසිවකුත් ගැන නොව ගායනය සඳහා තම කට හඬ නැනවත්ව හා දක්ෂ ලෙස යොදා ගත් ලංකා පුත්රයකු ගැනය. 

තම කට හඬින් වැඩ ගත් ගායකයන් මෙන්ම ඔවුන්ගේ කට හඬ යොදාගන තමන්ගේ වැඩ පෙන්වූ සංගීතවේදීන්ද අපේ රටේ මෙන්ම ලෝකයේත් බොහෝ උන්හ. 

යමෙකුගේ කට හඬ, තමන්ගේ ඇඟිළි සලකුණ මෙන්ම ඒ ඒ පුදගලයාටම අනන්යවූ සාධකයක් බව ජීව විද්යාත්මක සත්යකි. 

පියාගේ කට හඬ යම් ආකාරයට ජානමය සම්බන්ධයෙන් උරැම කරගත් පුතුන් පියාට බොහෝදුරට සමානව ගී ගැයූහ. එය එතරම් අරැමයක් නොවිණි. 

එහෙත් එක් ගායකයෙකුට තවත් ගායකයන් 35 දෙනෙකුගේ පමණ කට  හඬින් ගී ගැයීමට හැකිනම් එය ආශ්චර්යක්මය.  එමෙන්ම "ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත " යන්නද බොරැ කරමින් ඔහුට වාදනයද හොඳින්ම කළ හැකිනම් ඔහු සැබෑම දක්ෂයෙකු , වාසනාවන්තයෙකු විය යුතුය. 

මේ සියළුම හැකියාවන්ගෙන් නිපුන් කට ඇති ලංකා පුත්රයා හමුවී ඔහුගේ සංගීතයට දැහැන්ගත වීමට වාසනාව මට ඊයේ උදා විය. 

නිලන්ත සිරි පතිරණ ඔහුගේ නමයි. දකුණු ලකේ ගාලු පුරවරයේ උපත ලැබූ ඔහු නියම වැඩ කාරයෙකි. 

වේදිකාවේ උන්නේ ඔහු පමණි. විදුලි ඕගනය මනාවට හසුරවමින් කළින් දත්ත කැවූ සියලුම සංගීතෝපාංගයන්ගේ නාදයන් මුසු කරමින් ඔහු ගී ගැයීය. ගායකයින් තිස් පස් දෙනා හා මුළු වාදක මඩුල්ලම ඔහුම විය. 

වරෙක පංඩිත් අමරදේවයන්ගේ හඬින් ගැයූ ඔහු ඊළඟ නිමේශයේ සමන් ද සිල්වා විය. සුනිල් එදිරිසිංහයන්ගේ හඬින්ම ගැයු හෙතෙම ඉන්පසු කපුගේ ශූරීන්ගේ හඬට පණ පෙවීය. 

ක්ලැරන්ස්, ප්රියා, විජය කුමාරතුංගයන් හා මොහිදින් බෙග් වීමට ඔහුට ගතවූයේ තප්පරයකි. 

අප දෑස් දල්වා මේ අරැමය , හැකියාව බලා උන්නෙමු. 

එච් ඩී ප්රේමරත්නයන්ගේ සහරාවේ සිහිනය චිත්රපටයේ එන ප්රේමකීර්ති ද අල්විස් ශූරීන් ලියූ වළාකුලක් ගෙන මුවාකරමු හිරැ ගීතය විජයගේ හඬින් වේග රිද්මයෙන් ගයා ඊළඟ නිමේශයේ සුනිලුන්ගේ හඬින් ලයාන්විතව ගැයුවේ නරඹන්නන් අමන්දානන්දයට පත් කරවමිනි. 

ඉන්පසු ශබ්ද පරිපාලණය කළ ධම්මික සොයුරා ඕගනය වයද්දී නිමල් මෙන්ඩිස් ශූරීන් නිර්මාණය කළ ගඟ අද්දර මා ගීතය විජයගේ හඬින් අරඹා ඉන්පසු අමරදේවයන්, ප්රියා සූරියසේන, අතුල අධිකාරි, දයාන් විතාරන හා සමන්ද සිල්වාගෙන් අවසන් කළේ නරඹන්නන්ගේ ප්රීති ඝෝෂා මධ්යයේය. 

ධර්මදාස වල්පොල,කපුගේ, ටී එම් ජයරත්න , සෝමතිලක ජයමහ, සනත් නන්දසිරි , බෙග් මාස්ටර් හා අමරසිරි පීරිස් යන ගායකයන්ගේ ගී ගැයූ අපූරැව වර්ණනා කිරීමට මට වචන නැත. ඔබ එයට සවන්දිය යුතුමය. 

ලංකාවේ සිට කෙටි නිවාඩුවකට ලංඩනයට පැමිණි මේ නිහතමාණී වැඩකරැවා කටින් බතල හිටවන්නෙකු නොව නියම කට ඇති පුතකු බැව් ඔප්පු කොට හමාරය. 

ඉතාම කලාතුරකින් කෙනෙකුට පිහිටන මේ හැකියාවන්ගෙන් පිරිපුන් ජාතික වස්තුවක්වන් නිලන්ත සිරි පතිරණයන් ආරක්ෂාකර ගැනීම අප සැමගේම යුතුකමකි . මේ සටහන එතුමාට උපහාරයක්ම වේවා. 

මේ ගීතයන්ට සවන්දී බලන්න. 







චන්දන ගුණසේකර - එක්සත් රාජධානිය

6 comments:

  1. යූ ටියුබ් වීඩියෝ බ්ලොග් එකේ දී ම බැලීමට එම්බෙඩ් කළ හැකියි.

    Go to Share ==> Embed and copy paste the code.


    ReplyDelete
    Replies
    1. Rasikologist, ඒකෙ කොපිරයිට් ප්‍රශ්ණ හෙම නැද්ද? මමත් හිතුවේ මෙහෙම ලින්ක් එක දාන එක ඊට වඩා හොඳයි කියලා.

      චන්දන. ස්තුතියි මේ පෝස්ට් එකට

      Delete
  2. හැකියාවන් අැති කොල්ලෝ

    ReplyDelete
  3. //ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත // මේකෙ අර්ථය ඕනෑම කෙනෙක් තුල කුමක් හෝ දක්ෂතාවයක් තියනව කියන එක නෙවෙයි ද ?

    ReplyDelete
  4. woow අයියේ පිස්සු නෙහ්,, මීට කලින් එහෙම කෙනෙක් දැකලා නෑ,, ඔයාට ස්තුති

    ReplyDelete
  5. අටම් පහුර දුන් ලින්ක් එක හරහා මෙහි ආවේ. ඉන්දික කියල ප්‍රංශයේදී මෙවැනිම ගායකයෙක් දුටුවා. ලන්ඩනයේදී නම් මේ ගායනා මට මග හැරිලා තිබෙනවා. හොඳ දක්ෂයෙක්. ලියල ප්‍රසිද්ධියක් දුන්න එක හොඳයි.
    http://nelumyaya.com/?p=2394

    ReplyDelete